18 April, 2025

Blog

ගාමිණීගේ හා මහින්දගේ සංග්‍රාම​

පුණ්‍යා සමරකෝන්

පුණ්‍යා සමරකෝන්

ගාමිණී දිසානායකයන්ගේ මහවැලිය හා මහින්ද රාජපක්ෂයන්ගේ යුද්ධය යන දෙකම ජනතාවගේ නිදහස උදෙසා දියත් කල සංග්‍රාම දෙකකි. එකක් ත්‍රස්ත බියෙන් නිදහස් වීමටය. අනෙක ආර්ථික හා සමාජීය නිදහස උදෙසාය. වසර තිහක් ඇදගෙන ගිය යුද්දය මහින්ද වසර හතරකින් නිම කලේය. වසර තිහක් ඇදගෙන යාමට සැලසුම් කර තිබූ මහවැලිය ගාමිණී වසර හතකින් නිම කලේය. 

මහින්ද තුවක්කුව ගනිද්දී ගාමිණි ගත්ගේ උදැල්ලය. මහින්ද යුධ හමුදාව මෙහෙයවද්දී ගාමිණී ශ්‍රම හමුදාව මෙහෙයවීය. මහින්ද අණ​ දෙද්දී ගාමිණී තමාම ආදර්ශකොට දුන්නේය. මහින්ද සතුරා ඝාතනය කරද්දී ගාමිණී සතුරා දිනාගත්තේය. මහින්දගේ අවිගත් සෙබල ගග ගම්බිම් ලෙයින් නහවා ගලද්දී ගාමිණීගේ  මහවැලි දිය වියලි බම් තෙත් කොට ගලා බැස්සේය. මහින්ද සතුරා මරා ඔහුගේ මිනිය ලග උද්දාම වෙද්දී ගාමිණී වියලි පොළොවෙන් මතුවුන සුහුඹුල් බලාපොරොත්තු දෙස බලා උද්දාම විය.  

ඒ සංග්‍රාම දෙක එසේ නිම වූවත් රට බාරදීමට සුදුස්සෙක් සොයද්දී ඇතැමුන්ට වසර සිය දහස් ගානකට ඇතිවෙන්න වැඩකරපු දිසානායක පවුල අමතක වීම පුදුමයකි.

දිසානායක පවුලේ දේශපාලනය අප දන්නා ඉතිහාසය තුල ඇරඹුම සටහන් කරන්නේ ඇන්ඩෲ  දිසානායකයි. ඇන්ඩෲ දිසානායක යනු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකි. නිදහස් සටන ප්‍රමුඛ ජාතික පෙළගැසීම් වලට ශක්තියක් වූ හෙතෙම ජන හිතවාදී දේශපාලන දර්ශනයකින් හෙබි මනා පෞරුෂයක් සහිත අයෙකි. බණ්ඩාරනායකගේ සිංහල භාෂා ප්‍රතිපත්තියේ අසුභවාදී බලපෑම් පිළිබඳ පෙන්වාදීමට උත්සහ කල සුලු පිරිස අතර ඇන්ඩෲ දිසානායකද වූ බව කියවේ. 

දිසානායක පවුලේ දේශපාලනය පෙරළිකාර මගකට අවතීර්ණ කළ ලයනල් ගාමිණි දිසානයක යනු ඇන්ඩෲ දිසානායකයන්ගේ වැඩිමල් පුතණුවන්‍ය​. ඔහු පෙරළි කරන්නට පටන්ගන්නේ දේශපාලන පිටියට පිවිසීමටත් මත්තෙනි. සිය පියා නියෝජනය කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නොලැබුන අවස්ථාව එක්සත් ජාතික පක්ෂයෙන් ලබාගත් ගාමිණී ජාතික දේශපාලනයට පිවිසෙන්නේ 1970 වසරේදීය. ඒ වන විට ඔහු අති දක්ෂ අධි නීතීඥ්ඥයෙකු ලෙස වෘත්තීය නිපුනතාවය ද, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දර්ශනපති උපාධියක් සහිතව අධ්‍යාපන සුදුසුකම්ද, සිය පියාගෙන් දේශපාලන පරිචයද ලබාගෙන සිටියේය. ජනතාවට වගකියන දේශපාලන භුමිකාවක් උදෙසා ඇන්ඩෲ දිසානයකයන් සිය පුතු මනාව සූදානම් කොට තිබුණි. 

1970 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමිවන්නේ ආසන 18 ක් පමණි. එවැනි දුෂ්කර අවස්ථාවකදී පවා සිය ආසනය රැකගැනීමට සමත් වන ගාමිණී 1977 ඡන්ද වාර්තාවක්ද තබමින්  ජේ. ආර් රජයේ දක්ෂතම හා කාර්යක්ෂම අමාත්‍යවරයකු බවට පත්වේ. ගාමිණී දිසානායකයන්ගේ කඩිනම් මහවැලි ව්‍යාපාරය නිදසින් පසු ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වූ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස ඉතිහාසගත වී ඇත. මහවැලි ව්‍යාපෘතියෙන් ජාතික විදුලිබල පද්ධතියට 30% ක දායකත්වයක් ලැබිණ. දහස් ගනණක් ජනතාවට ඉඩම් හිමිකම් ලැබිණ. කුඹුරු අක්කර ලක්ෂ 30 කටත් වැඩි ප්‍රමාණයක් අස්වැද්දිණ. කෘෂි, වාරි, ජල විදුලිය හා ධීවර, ග්‍රාමීය හා නගර සංවර්ධනය, අධ්‍යාපන හා සංස්කෘතික සංවර්ධය, ක්‍රීඩා හා  වෘත්තීය පුහුණු, ආර්ථික හා සමාජ සංවර්ධය යනාදී වූ සෑම සියලු පැතිකඩක්ම එකවර ආමන්ත්‍රණය කල මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය නිසාම ගාමිණී දිසානායකයන් හැදින්වූයේ විශ්මකර්ම කරන මිනිසා ලෙසයි. 

ඉනුද නොනැවතුන ඔහු මෙරටට ටෙස්ට් ක්‍රීඩා වරම් ලබා දෙමින් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට නොමැකෙන සේවාවක් ඉටුකලේය. ලෝකයේ ගමන් මග ගැන නිවැරදිව දුටු ඔහු ඉන්ග්‍රීසි හා පරිගණක දැනුම ලාංකීය දරුවන්ට ලබාදීමට කැප උනේය. 

රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳ ගාමිණි දිසානායකයන්ගේ පරිචය මහවැලියට මූල්‍යාධාර ලබාගැනීම උදෙසා එනගලන්ත පාර්ලිමේන්තුවේ දී ඔහු කල කතාවෙන්ම පැහැදිළි වෙයි.  

ඔහු ඉන්දු-ලංකා ගිවිසුම හරහා දෙමළ සිංහල ගැටුමට මානුෂීය විසදුමක් සෙවුවේය. වාර්ගික දුරස්ථ භාවය දුරු කිරීම උදෙසා සිංහල දෙමළ ජනතාව සම්මිශ්‍රකර එකට පදිංචි කලේය . සිංහල භාශා ප්‍රතිපත්තිය නිසා දැඩි පීඩනයට ලක්ව සිටි දෙමළ කතාකරන ජනතාවගේ මූලික අයිතීන් වෙනුවෙන් පෙනී සිටි ගාමිණි දෙමළ භාශාවට නිල වශයෙන් පිලිගැනීමක් ඇතිකොට ඉන්ග්‍රීසි භාෂාව පොදු භාෂාවක් ලෙස භාවිත කිරීමේ යෝජනා ගෙන ආවේය. ගාමිණී දිසානායකයන්ගේ මෙම යෝජනා වල ඇති සමාජ වටිනාකම හදුනාගත් බහුතරයක් දෙනා ඔහුට සහයෝගය දෙන්නට කැමැත්තෙන් සිටියහ. දෙමළ කතාකරන මිනිසුන්ගේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටි නායකයා ඝාතනය කිරීමට ප්‍රභාකරන් පෙළඹුණේ කෙසේදැයි අදහාගත නොහැකිය. එක්කෝ දෙමළ ජනතාව හුදකලා කරගෙන ඔවුන් නොමග යවමින් සිය අරගලය දිගින් දිගටම කරගෙන යාමේ වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ කැමැත්තට ගාමිණී දිසානායකයන්ගේ ප්‍රතිපත්ති හරස් වූවා විය හැකිය. නැතිනම් ඒ ඝාතනය ප්‍රභාකරන් ගේ ගිණුමට බැර වූ තවත් දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකිය.

දිසානායක පවුලේ දේශපාලනය ගැන කතාකරන විට ඉදිරියෙන්ම සිටින කාන්තා චරිතය වන්නේ ශ්‍රීමා දිසානායකය. ඇය ගාමිණී දිසානායකයන්ගේ බිරිඳ ව ඉතා අගනා දායක්ත්වයක් ලබා දුන්නීය​. සිය නීති වෘත්තීය ට මෙන්ම විධායක තලයේ සියලු වෘත්තීය අවස්තාවන් පසෙකලා සිය සැමියාගේ ජනතා මෙහෙවරට ශක්තියක් වූවාය. මහවැලියෙන් විස්කම් කරන්නට ගාමිණී දිසානායකයන්ට ශක්තියක් වූයේ ඔහුගේ දිරිමත් බිරිඳ හා සිය අමාත්‍යවරුන්ට ඊරිසියා නොකල, ඔවුන්ගේ උපරිම හැකියාවන් පෙන්වීමට අවස්ථාව ලබාදුන් ජනාධිපති ජයවර්ධනය. 

ජේ.ආර් ගේ පාලනයෙන් පසු පැවති ප්‍රේමදාස පාලන කාලය තුල රට පුරා භීෂණය ඇවිලින. උතුරේද දකුණේද දහස් සංඛාත ජීවිත අමු අමුවේ විනාශ විය. එතනින්ම මිනිසුන්ට එක්සත් ජාතික පක්ෂය එපාවිය. 1994 ජනාධිපතිවරණයට මුහුණ දීමට එක්සත් ජාතික පක්ෂයට සිදුවන්නේ එවැනි පසුබිමකය. ප්‍රේමදාස යුගයේ වැළලූ සමූහ මිණී වලවල් හාරා සිය දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරය ආර්ම්භ කල චන්ද්‍රිකා බණ්ඩාරනායක පහසුවෙන් මිනිසුන් අතරට ගියාය. 

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි ගාමිණී දිසානායකයන් ඝාතනය වූ විට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉදිරියට ආවේ ගාමිණී ගේ බිරිඳ ශ්‍රීමා දිසානායකය. 

ඇය ජනාධිපතිවරණය ජයගැනීමට නොහැකි විය. එය ඇගේ වරදක් නොව, දශකයක ලේ පැල්ලම් මැකීමට තවත් දශකයක්වත් පිරිත් පැන් ඉසිය  යුතුය. ඒ බව සියලු දෙනා දැන සිටියෝය. 

ඒත් ඇය ගාමිණී දිසානායකයන්ගේ දර්ශනය ජයග්‍රහණය කරවීම පිණිස කැප උනාය. ජනතා සේවයට යැයි පවසමින් ඇතැම් අය දේශපාලනයට පිවිසෙද්දී ජනතා සේවය පිණිසම ඇය දේශපාලනයට සමුදුන්නාය. ඇගේ ධනයෙන්, ඇගේ ශ්‍රමයෙන්, ඇගේ ධෛර්යයෙන් ඇය හැකිතාක් සිය ස්වාමියා ඇරඹූ ජනතා මෙහෙවර ඉදිරියටම රැගෙන ආවාය. ගුණවත්ව, නැනවත්ව ඇති දැඩි කළ සිය පුතුන් දෙදෙනා පියාගේ පාරේ යන්නට කියා දී දේශපාලනයට දායාද කලාය. 

ගාමිණී දිසානායක පදනම, වෘත්තීය හා තාක්ෂණ ආයතනය අදත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් දහස් ගනණකට නොමිලේ අධ්‍යාපන හා වෘත්තීය පුහුණුව ලබා දෙන්නේය. ගාමිණී දිසානායකයන්ට අවසන් කිරීමට නොහැකි වූ මහවැලි මහා සෑය වෙනුවෙන් ශ්‍රීමා දිසානායකයන් ගත් වෙහෙස අපමණය. පුතු නවින් දිසානායක හා ඇගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස එම උදාර නිර්මාණය දේශයට දායද කොට සිය සැමියාගේ සිහිනය සැබෑ කලාය. 

ගාමිණී සමුගෙන දැන් දශක තුනක් පමණ ගෙවී ගොස්‍ ය. ඒත් ගාමිණී දිසානායකයන්ගේ නාමය පාරිශුද්ධව අදත් එලෙසින්ම රැකීමට ඇයටත් ඇගේ පුතුන් දෙදෙනාටත් හැකි වී තිබේ. 

දැන් දිසානායක පවුලේ දේශපාලන කරළියේ සිටින්නේ ගාමිණී දිසානායකයන්ගේ වැඩිමල් පුතු නවින් දිසානායකය. තවමත් මේ රබර් බෝලය දිය යටය. 

අනාගත රටට සුදුස්සෙකු තෝරද්දී මේ තරම් පෙළහර පෑ දිසානායක පවුල ගැන කතා කරනවා මදිය. රාජපක්ෂ පවුල ගැන කතාකරනවා වැඩිය.

රාජපක්ෂ පවුලේ දේශපාලනය  ඇරඹෙන්නේ ඩී.ඒ. රාජපක්ෂගෙනි.

ඩී. ඒ. රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කළ  බණ්ඩාරනායක සමග සමීපව සිටි අයෙකි. ඔහුගේ පුතුන් වන මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ දේශපාලනයට පිවිසෙන්නේ වාමාංශික ප්‍රවාහයකය. මේ තිදෙනා අතුරින් වඩා කැපී පෙනෙන චරිතය වූයේ මහින්ද රාජපක්ෂයි. ඔහු 2005 වසරේ ජනධිපතිවරණයෙන් ජයගෙන වසර 10 ක් එම තනතුර හොබවයි. එම කාලය තුල දේශපාලනයට පිවිසි හා නොපිවිසි සියලු රාජපක්ෂවරුන් රජයේ ඉහලම නිලතල වලට හා හොඳම කැබිනට් අමාත්‍ය ධූරවලට පත් කරගනිමින් අවශ්‍ය ආකාරයට තණතීරුව සකස් කරගැනීමට ඔහු කටයුතු කරයි. බොහෝ වසර වල සමස්ත අයවැයෙන් 70% වෙන්වන්නේ රාජපක්ෂවරුන්ටය.

පිටිය හා තන තීරුව ගැලපෙන පරිදි සකසාගත් පසු මැච් එක ලේසියෙන් ගහන්නට රාජපක්ෂවරුන්ට හැකියාව ලැබුණී.

ගාමිණි දිසානායක උතුරේ ප්‍රශ්නය දෙස මානූෂීයව පිළිතුරු දෙන්නට වෑයම් කලේය. ඔහු එදා ඝාතනය නොවන්නට මහා යුද්ධ, ජන සංහාර ඇති නොවන්නට තිබුනි. තුවක්කු බෝමබ නැති සෑබෑ මානුෂීය මෙහෙයුම් දියත් වන්නට තිබුණි. එහෙවු ගාමිණී ඝාතනය කොට මහින්ද ජනාධිපති කොට ප්‍රභාකරන් සියදිවි නසා නොග්ගත්තේනම්, අද ප්‍රභාකරන් ජාතික දේශපාලනයේ කැපී පෙනෙන නායකයෙකු වන්නට තිබුණි . 

රාජපක්ෂ පවුල යුද්ධය නිමා කොට රටට භෞතික නිදහස දුන්නේය. සංහාරයකින් ත්‍රස්තවාදය පරාජය කල හැකි වුවද වර්ගවාදය, සුලු ජන පීඩනය හෝ නොසංසිදියාව නැතිකල නොහැකි බව සියලුදෙනා වටහාගත යුතුය. ඒ නිසා අද රටට අවශ්‍යව ඇත්තේ හොදින් හෝ නරකින් ප්‍රශ්නයේ මතුපිටට වෙඩිතබා ප්‍රශ්නය යට ගසන මිලිටරි පාලනයක් හෝ ජන සංහාර මතින් සිය වර්ගයාට පමණක් විමුක්තිය ගෙනෙන හිට්ලර්ලා නොවන බවද වටහාගත යුතුය. ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන්නේ ගාමිණී මෙන් ප්‍රශ්ණයේ අගමුල තේරුමගත හැකි, ඊට නිවැරදිව ආමන්ත්‍රණය කළ හැකි, මානව නීතීන්ට අනුව තීරණ ගත හැකි දර්ශනයක් හා හැකියාව සහිත ශක්තිවන්ත නායකයෙකි. 

මහින්ද රාජපක්ෂ උදාකල භෞතික නිදහස වෙනුවෙන් ඔහුට කෘතගුණ දැක්වීම හොඳය. ඒත් මේ රටේ අදටත් බහුතරයක් බත් කන්නේද, මේ තරමින් හෝ විදුලි ආලෝකය ලබන්නේද, ගාමිණී දිසානායකයන්ගේ මහවැලියට පින්සිද්ද වෙන්න බව අමතක නොකල යුතුය. ඒ නිසා රාජපක්ෂ පවුල රටට ඇති එකම විකල්පය නොවන බව සිහිකරගත යුතුය.

නිදහස පුරවැසියා සතු වන තාක් පාලකයාට පුරවැසියා වටින බවත් නිදහස අහිමි කරගත් මොහොතේ සිට පාලකයාට පුරවැසියාගේ කිසිඳු වටිනාකමක් නැති බවත් රූසෝ කියා ඇත. 

Latest comment

  • 0
    0

    මෙම ලිපියේ මෙසේ සඳහන් වේ. “මහවැලි ව්‍යාපෘතියෙන් ජාතික විදුලිබල පද්ධතියට 30% ක දායකත්වයක් ලැබිණ. දහස් ගනණක් ජනතාවට ඉඩම් හිමිකම් ලැබිණ. කුඹුරු අක්කර ලක්ෂ 30 කටත් වැඩි ප්‍රමාණයක් අස්වැද්දිණ”. ලංකාවේ සංඛ්‍යාෙල්ඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව 2018/2019 මහ කන්නයේ මුළු රටේම වගා කරන ලද කුඹුරු අක්කර ගණණ 1,848,414 කි. අස්වනු නෙලා ගත් අක්කර ගණන 1,789,333 කි. (බලන්න http://www.statistics.gov.lk/agriculture/Paddy%20Statistics/
    PaddyStatsPages/2018_19Maha(imperial).pdf )

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.