19 September, 2020

Blog

අතුරුලියේ රතන මුනිතුමාගේ අලුත්ම සිංදුව

පුණ්‍යා සමරකෝන්

පුණ්‍යා සමරකෝන්

1956 දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක චීවරධාරියෙකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබිණ. ඇත්ත වශයෙන්ම ඊට පෙරද දේශපාලන වශයෙන් ඔහු ඝාතනය කරනු ලැබුවේ චීවරධාරීන්ය. ඒ සිංහල භාෂා ප්‍රතිපත්තිය ගෙන එන ලෙස ඔහුට බලකරමිනි. බණ්ඩාරනායකගේ දේශපාලනය සිංහල භාෂා ප්‍රතිපත්තියත් සමඟ ඝාතනය විය. ඉතිහාසයේ බොහෝ කලු පැල්ලම් සැදූ සිංහල භාෂා පතිපත්තිය අදත් බණ්ඩාරනායක නාමයට කැළලකි.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම බණ්ඩාරනායකගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන ඡන්ද පොරොන්දු වලින් එකකි. ඇතැම්විට දේශපාලකයින් ඡන්ද පොරොන්දු දෙන්නේ ඉටු කරන්නටම නොවේ. දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරයක සිට වාමාංශික දේශපාලන ව්‍යාපාරයට පිවිසි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකට වමේ ඡන්ද ආකර්ෂණය කරගැනීම උදෙසා එම ඡන්ද පොරොන්දුව වඩා ඉවහල් විය. ඒ පිටුපස සක්‍රීය ව සිටියේ බණ්ඩාරනායකගේ මැතිවරණ ව්‍යාපාරයට සෘජුව සම්බන්ධ වූ චීවරධාරීන් ය.

පරිණත දේශපාලන දැනුමක් සහිත, ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තු, තමන්ගේ දරුවන්ට පිටරටවල ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය දුන්න බණ්ඩාරනායකට ඉංග්‍රීසි අධ්‍යාපනයේ වටිනාකම අමුතුවෙන් කියා දිය යුතු නොවේ. එකල තමන්ම දුන් ඡන්ද පොරොන්දුව ඉටු කිරීමෙන් ඇතිවිය හැකි අයහපත් සමාජ බලපෑම් පිළිබඳ බණ්ඩාරනායක රජය නොදැන සිටියා විය නොහැකිය. නමුත් ඡන්ද ව්‍යාපාරයට උදව් පදව් කළ චීවරධාරීන් ප්‍රමුඛ ජාතිවාදී වාමාංශික සාමාජිකයින් සුළුතරයකගේ බල කිරීම හා දැඩි ඉල්ලීම මත බණ්ඩාරනායක රජය එම ඓතිහාසික වැරදි තීරණය ගනු ලැබීය.

විවිධ භාෂා කතා කරන විවිධ ජන කොටස් වෙසෙන ශ්‍රී ලංකාව වැනි රටකට සිංහල භාෂා ප්‍රතිපත්තිය මහා විපත්තියක් ගෙන එනු ඇතැයි විද්වත්හු බොහෝ දෙනා තර්ක තර්ක කළහ. එහෙත් එම තර්ක විතර්ක වලින් වැඩක් වූයේ නැත.

එතෙක් ග්‍රීසි භාෂාවෙන් වැඩ කළ ආයතන සිංහලට මාරු විය. පාසැල් වල ඉංග්‍රීසියෙන් දුන් අධ්‍යාපනය සිංහලෙන් දීම ඇරඹිණ. 

ඉංග්‍රීසි පොදු භාෂාව නිසා මහා ජාතියටත් සුලු ජාතියටත් එහි ප්‍රශ්නයක් නොවිණ. ඉංග්‍රීසි පාලනයේ සුභවාදී ප්‍රතිපලයක් ලෙස ඒ වන විට මේ රටේ අතිමහත් බහුතරයකට ඉංග්‍රීසි කතා කළ හැකිය. ඉංග්‍රීසියෙන් වැඩ කළ හැකිය.

ඒ නිසා ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් කිසිදු ජන කොටසක් කිසිදු අපහසුතාවයකට පත් වූයේ නැත. 

හුදු දේශපාලන වාසි තකා නැති  ප්‍රශ්න ඇති කිරීම අපේ රටේ දේශපාලනයේ සාමාන්‍ය පුරුද්දකි. 

සිංහල භාෂා ප්‍රතිපත්තිය හඳුන්වා දී වැඩි කාලයක් ගියේ නැත. යන එන, වැඩ කරන, වැඩ කරවා ගන්න සෑම තැනකදීම සිංහල නොවූ ශ්‍රී ලාංකිකයෝ අනේකවිධ ගැහැට වින්දාහ. සන්නිවේදනය අඩාල වූ රටක, ජන සමාජයක සංහිඳියාවක් පවතින්නේ ද, ඇතිවන්නේ ද නැත.

උතුරේත් දකුණේත් ත්‍රස්තවාදයේ බීජ පැළවිය. රටම ත්‍රස්තවාදී කෝලාහලවල බියෙන් වෙළුණේය. ජාතික ආර්ථිකය බිඳ වැටිණ. සංවර්ධනය අඩාල විය. පාසලෙන් විශ්වවිද්‍යාලයෙන් සිංහලෙන් අධ්‍යාපනය නිමවා එළියට එන තරුණ තරුණියන්ට යන එන මං නැති විය. තේරුමක් නැති විප්ලව වලට ලක්ෂ ගණනක් තරුණ ජීවිත බිලි විය. ලෝක සාහිත්‍යයෙන් කලාවෙන් විද්‍යවෙන් හා නව සොයාගැනීම් වලින් නව දැනුමෙන් අපේ රටේ මිනිස්සු ඈත් වූහ.

ලංකාව ලෝකයෙන් හුදෙකලා වූ කොදෙව්වක් විය. ඒ හුදකලාව විසින් අපෝෂිත වූ ආකල්ප සහිත ජනතාවක් නිර්මාණය විය. රට දිනෙන් දින අගාධයටම ගමන් කළේය. 

දශක හතකට පසුව යළිත් බණ්ඩාරනායකගේ සිංහල භාෂා ප්‍රතිපත්තිය ගැන මතක් කරන්නට කාරණා යෙදුණේ තවත් ජාතිවාදී චීවරධාරියෙකු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් නිසා ය. 

ජාතික හෙළ උරුමයෙන් පාර්ලිමේන්තුවට ඇවිත් යළි ගෙදර ගිහින් දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අතුරලියේ රතන හිමි අයවැය විවාදයේදී පුදුම යෝජනාවක් කළේය. 

ඒ ප්‍රාථමිකයට ඉංග්‍රීසි ඉගැන්වීම තහනම් කිරීමේ යෝජනාවකි.

බණ්ඩාරනායක රජය සුළු දේශපාලන වාසි තකා එදා ගත් තීරණයේ වරද අදත් අප සියලු දෙනා අත් විදිමින් සිටිමු.

අප හැර  බ්‍රිතාන්‍යයේ යටත් විජිත වී සිටි කිසිදු රටක් එවැනි අමනෝඥ තීරණ ගත්තේ නැත. කැනඩාව, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව වැනි ඉංග්‍රීසි කොලනි අදත් සිය රාජ්‍ය භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව භාවිත කරයි.  

රතන හිමියෝ ඉංග්‍රීසි භාෂාව එපා කියන්නේ ඇයි දැයි පැහැදිළි නැත. ඒත් පනස් ගණන්වල බණ්ඩාරනායක කළ සෙල්ලං 2020 දී රතන හිමිට කළ නොහැකි බව උන්නාන්සේ දැනගත යුතුය.

අද ලෝක ජනගහනයෙන් මිලියන අටසිය පනහකට අධික පිරිසක් ඉංග්‍රීසි කතා කරති. ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරති. රටවල් 50 ක මව් භාෂාව ඉංග්‍රීසිය. රටවල් 195ක වැඩ කරන භාෂාව ඉංග්‍රීසිය. හොලිවුඩයේ භාෂාව ඉංග්‍රීසිය. ජාත්‍යන්තර වෙළදාම හා බැංකුකරණයේ භාෂාව ඉංග්‍රීසිය. විද්‍යාවේ භාෂාව ද ඉංජිනේරු තාක්ෂණයේ භාෂාවද ඉංග්‍රීසිය. සයිබර් අවකාශයේ භාෂාවද ඉංග්‍රීසිය.  

සිංහල භාෂාවෙන් දශක ගණනක් දුවපු රටේ තවදුරටත් ඉංග්‍රීසි නැතුව දුවන්නට බැරි නිසා තම දරුවන්ට ඉංග්‍රීසියෙන් ඉගැන්වීමට දෙමව්පියෝ අනේක දුක් විඳිති. ගෙවල් දොරවල් උසස් කොට දරුවන් පිටරට යවති. අස්ප ගණන් වියදම් කොට ජාත්‍යන්තර  පාසල් වලට යවති. සිංහලෙන් ඉගෙන ගත්තු ගුරුවරුන්ට ඉංග්‍රීසියෙන් උගන්වන හැටි කියා දෙන්නට රජය වසරකට මිලියන ගණන් වියදම් කරති. තමන් ජීවත් වෙන රටේ ඇති මෙම පැහැදිලි ප්‍රශ්න රතන හිමි දැන වදාළ යුතුය.

උන්නාන්සේගේ අලුත් යෝජනාවට මූහුණු පොතේ මිත්‍රයෙක් අපූරු කවියක් ලියා තැබුවේය.

සයුර බලා දත නියවා 

ඉන්න අයට බණ කීවා 

අතුරලියේ රතන මුනිතුමා

හෙළ බස පමණක් දීලා

ලක් සසුනට හෙට හැදුවා 

මුළු සිරිලක සතුටින් ගිලුනා… 

අතුරුලියේ රතන මුනිතුමා….

රටට ජාතියට ආදරේ කරන බව පෙන්වීමට ගොස් උන්නාන්සේ ඇන ගත් වාර අනන්තය. 

“වස විස නැති ලංකාවක්” තේමාවෙන් දේශපාලන කරළියට වැඩි උන්නාන්සේ රට තුළ ඊනියා බියක් ඇති කර සිය දේශපාලන අරමුණු දිනාගැනීමට යත්ත දරපු හැටි දන්නෝ දනිති. කැප දේ පමණක් ලොවට පෙන්වා අකැප දේ රහසේ සිදු කිරීම බාල ගණයේ පෘථග්ජන හැසිරීමකි. 

නිකරුනේ හිස මුඩු කල විට පොද වැස්සටත් මොලේ පෙඟෙන බවට විහිළු කතාවක් ඇත.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    මේ ලිපිය වැරදි ගණනාවකින් යුක්තයි. රතන හිමි ප්‍රාථමික අංශයට ඉංග්‍රීසි ඉගැන්වීම තහනම් කිරීමේ යෝජනාවක් කළෙ නැත. ඔහු කළේ ප්‍රාථමික අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබා දීම තහනම් කළ යුතුය යන යෝජනාවයි. නොකළ දේකට බණ්රඩානායක බැණුම් ඇහුවාට කවුරුත් දැනගත යුතු දෙය තමා මේ රටේ අධ්‍යාපන මාධ්‍යයන් සිංහලට / දෙමළට හැරෙව්වේ කන්නන්ගර බව. ඒක කළේ 1945 දී. මේ කාලේදී ජාත්‍යන්තර පාසල්වලින් දෙන සුපිරි ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ගන්න සල්ලි තියෙන්න ඕනෑ. සල්ලි තියන ඉහළ සමාජ පන්තියට තම දරුවන්ට සුපිරි ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම දැන් වාගේම ඒ කාලෙත් ගැටලුවක් නොවේ. සුද්දගේ කාලේ දී හොරොව්පොතානේ හේන් ගොවියකුගේ දරුවන් වූ කිරිබණ්ඩාටත් හා රන්මැණිකාටත්, අගලවත්තේ රබර්කිරි කපන්නෙකුගේ දරුවන් වූ කරෝලිස්ට හා පොඩිනෝනාටත්, ඒවගේ වෙනත් සිංහල හා දෙමළ දරුවන්ටත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබා ගන්න හැකියාවක් තිබුණේ නැහැ. මේ නිසා කන්නන්ගර මධ්‍ය විද්‍යාල ඇතිකර සාමාන්‍ය පවුල්වල දරුවන්ටත් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම ඇරඹුවා. අවුරුදු 150ක ඉංග්‍රීසිකාරයන්ගේ පාලනයකින් පස්සෙත් මේ රටේ ඉංග්‍රීසි සාක්ෂරතාව සතුටුදායක මට්ටමකට තිබුණෙ 4% කට අඩු ප්‍රමාණයකටයි. නවීන විද්‍යා දැනුම තම මවු බසින තම දරුවන්ට දෙන, ඉංග්‍රීසි නොදන්න ජනයා සිටින අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් නොදෙන ජපන්, දකුණු කොරියා, චීන ජාතීන් එංගලන්තයත් පසුකර ලබා ඇති දියුණුව අති වි්‍ශාලයි.

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.