28 March, 2024

Blog

කුණු කතා සහ රනිල්

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

රනිල් වික්‍රමසිංහ මහතා මේ ගෙවමින් සිටිනුයේ ඔහුගේ වෘත්තීය ජීවිතයේ අභියෝගාත්මක හා අපහසුම කාලපරිච්ඡේදයයි. ඔහු විසින් ශ්‍රී ලංකාවට යෝජනා කරමින් තිබෙන සමාජ, ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට කිසිදු අවස්ථාවක් මෙරට දේශපාලන ක්ෂේත්‍රයෙන්වත්, සමාජයෙන්වත් අඩුමතරමේ ස්වභාවධර්මයෙන්වත් නොලැබෙන තත්ත්වයක් තිබේ. දැනට වසර 17 කට පෙර මෙරට ජනාධිපති ධූරයට පත්වීමට නියමිතව සිටි ඔහු,එවකට තිබුණු දේශපාලන තත්ත්වය අනුව ප්‍රභාකරන් විසින් උදුරා ගනු ලැබුවා. එදා ඔහු විසින් යෝජනා කරන ලද සමාජ, ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කළේ නම් ලංකාවේ අද දවස මීට වඩා හාත්පසින්ම වෙනස්වීමට තිබුණි. අද මෙන් එදා අධිකරණය බරක් නොතිබුණු අතර ලංකාවට දැවෙන ප්‍රශ්නයක්ව තිබුණේ උතුරු, නැගෙනහිර බෙදුම්වාදී යුද්ධය පමණි. එදා ඔහු බලයට පත්වූයේ නම් විසදිය යුතු සංකීර්ණම ගැටලුව වූයේ උතුරු, නැගෙනහිර යුද්ධය පමණි. අනෙකුත් සියලුම සමාජ,ආර්ථික, දේශපාලනික හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔහුට කිසිදු ගැටලුවකින් තොරව විසදිය හැකි වාතාවරණයක් රට තුළ තිබුණි. එම යුගයේදී ලෝකයේ නව ලිබරල් ප්‍රතිසංස්කරණ සදහා විශාල ඉල්ලුමක් තිබූ අතර අපට ඒ සදහා හොදින් ජාත්‍යන්තර සහයෝගයද ලැබුණි. නමුත් අද තත්ත්වය ජාත්‍යන්තරිකව ඊට හාත්පසින්ම වෙනස් සංකීර්ණ තත්ත්වයකි. මෙම සන්ධර්භයේ සිට රනිල් වික්‍රමසිංහ විසින් මෙරටට යෝජනා කරන ලද ආර්ථික, සමාජ හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබදව විමසා බැලිය යුතුය.

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමේ සිට පරිසර විනාසය දක්වා සියල්ල පිළිබදව මෙරට සාම්ප්‍රදායික මාධ්‍ය, විශේෂයෙන් සිරස රූපවාහිනිය විසින් එහි වගකීම අග්‍රාමාත්‍යවරයා වෙත පැටවීමට මහත් උත්සහයක් ගන්නා බව පෙනේ. මෙම ආණ්ඩුවේ බල කේන්ද්‍රයන් දෙකකි. එකක් ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, අනෙක අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේත්ය. මීතොටමුල්ල කුණු කන්ද අදාළ පළාත් පාලන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, මහනගර අමාත්‍යාංශය මෙම ගැටලුව ඇති කළ ආරක්ෂක අමාත්‍යාංශය අයිතිවන්නේ රනිල් වික්‍රමසිංහට අදාළ නොවන බල කේන්ද්‍රයටය. නමුත් සිරස රූපවාහිනිය දිගින් දිගටම රනිල් වික්‍රමසිංහට චෝදනා කරමින් දෙස්දෙවොල් තබයි. මෙම ගැටලුව විසදීමට සහයවන කිසිදු ප්‍රවෘත්තියක් ඉදිරිපත් කිරීමට සිරස රූපවාහිනියට නොහැකිවූ අතර ඔවුන්ගේ ගද ගහන න්‍යාය පත්‍රය තුළම කටයුතු කළේය. සිරස රූපවාහිනියේ මාධ්‍ය භාවිතය ජනතාවගෙන් වියුක්ත වෙමින් හුදෙකලාව පවතින බව මාගේ පෞද්ගලික මතයයි. නමුත් අද වන විට පාඨලී චම්පික රණවක ඇමතිවරයා හා අග්‍රාමාත්‍යවරයා විසින් කුණු ප්‍රශ්නයට මෙන්ම මීතොටමුල්ල කුණු ප්‍රශ්නයට තිරසාර විසදුමක් ලබා දී තිබේ .

එදා  අග්‍රාමාත්‍යවරයා කුණු කන්ද නාය යාමෙන් පසු ඇතිවු තත්ත්වය කළමණාකරනය කොට එම ගැටලුව තිරසාරව විසදීමට විශාල මැදිහත්වීමක් කරනු  බව දකින්නට ලැබුණි. මීතොටමුල්ල කුණු කන්දට ඉතිහාසයක් තිබේ. එය එසේ මෙසේ ඉතිහාසයක් නොව ප්‍රබල ඉතිහාසයකි. පසුගිය රජයේ ඝෝඨාභය විසින් මෙහෙයවන ලද නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් කොළඹ පිරිසිදු කොට කොළඹ කුණු දැමීමට සොයාගත් ක්‍රමවේදයයි. ප්‍රථමයෙන් අක්කර 4 ක්වු එම ඉඩ ප්‍රමාණය පසුව තිරසාර හා ක්‍රමවත් කුණු බැහැර කිරීමේ ක්‍රමවේදයකින් තොරව අක්කර 19 ක් දක්වා වර්ධනය විය. එම ප්‍රදේශයේ ජනතාවගේ දෙපතුළටම කුණු කන්ද පැමිණියේය. ඝෝඨාභයලා කොළඹ ලස්සන කළේ වසර සිය ගණනක් පවතින විශාල පරිසර හානියක් හා ජල මූලාශ්‍ර දූෂණයක් සිදුකරමිනි. මීතොටමුල්ල කුණු කන්ද නිසාවෙන් එම ප්‍රදේශයේ ජල මූලාශ්‍රයන්ටත් පරිසර පද්ධතියටත් සිදුවූ හානිය අතිවිශාලය. මෙම කුණු කන්ද පිළිබද ගැටලුව විසදීමට මැදිහත්වූ සමාජ ක්‍රියාකාරීන්ට හා නීතීඥයින්ට තර්ජනය කරමින්, හිරේ දමමින්, අඩත්තේට්ටම් කරමින් මෙම කුණු කන්දේ ගැටලුව කිසිදු රජයකට පහසුවෙන් විසදිය නොහැකි විශාල අර්බුධයක් බවට පත්කළ අතර වර්තමාන රජය මුහුණදෙමින් සිටින පසුගිය ආණ්ඩුව විසින් ඇතිකරන ලද අනේකවිධ ගැටලු තේරුම් ගැනීමට මීතොටමුල්ල කුණු කන්ද හොදම උදාහරණයකි. මෙම කුණු කන්දේ ගැටලුව විසදීම ත්‍රස්තවාදය විසදීම තරම් සංකීර්ණ ගැටලුවක් බවට ප්‍රාදේශීය දේශපාලඥයින් විසින් පත්කර තිබේ. අන්තර්ජාලයේ සැරිසරනු ලබන ප්‍රසන්න රණතුංග හිටපු මහඇමතිවරයාගේ හොරෙන් පටිගතකරන ලද හඩපටයකට අනුව පෙනීයන්නේ මේ කුණු විකුණා කොමිස් ගැසීම දේශපාලඥයින්ගේ පරම අරමුණ වී ඇතිබවයි. කවුරුන් හෝ මෙම ගැටලුව විසදීමට උත්සහ කළහොත් එම උත්සහකරන්නාගේ, මීතොටමුල්ල ග්‍රාමසේවකගේ සිට පළාතේ මහඇමතිවරයා දක්වා මුදල් ඉල්ලන බව එම ප්‍රදේශයේ ජනතාවට ප්‍රසිද්ධ රහසකි.

මේ මීතොටමුල්ල කුණු කන්ද යනු පසුගිය රජය විසින් ඇතිකරන ලද එක් පරිසර ප්‍රශ්නයකි. එය කඩාවැටීමෙන් ජීවිත ගණනාවකුත්,නිවාස විශාල සංඛ්‍යාවකුත් විනාශයට පත්විය. එය රටේ සෑමදෙනාගේම අවධානයට ලක්වු ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. නමුත් මේ රටේ ජනතාව තේරුම්ගත යුතු එක් දෙයක් ඇත. ඒ රාජපක්ෂ රෙජීමය විසින් ඇතිකරන ලද දරුණු ආර්ථීක අර්බුධය ඉක්මනින් විසදා ලංකාව සුවපත් නොකළහොත් රටේ ආර්ථිකය ඉතා ඉක්මණින් කඩාවැටෙනු ඇත. එය එසේ වුවහොත් ඇතිවන හානිය මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටුනා මෙන් ලක්ෂ වාරයකටත් වඩා වැඩි හානියකි. එය මේ රටේ මේ ආණ්ඩුවට පක්ෂ, විපක්ෂ සියලු දෙනාටම බලපානු ලබන බරපතල කාරණයක් වනු ඇත. එම නිසා මේ රටේ ජනතාව හැටියට අප තේරුම්ගත යුත්තේ පසුගිය රාජපක්ෂ රෙජීමයේ දශකය විසින් ශ්‍රී ලංකාවට සිදුකර තිබෙන සමාජ, ආර්ථික, අධ්‍යාපන හා පරිසර හානියෙන් මිදීම සදහා රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කරනු ලබන ක්‍රමවේදයට සාධාරණ කාලයක් හා ඉඩක් ලබාදිය යුතු බවයි.

පසුගිය වසර ගණනාව තුළ ක්‍රියාත්මක කරන ලද ආර්ථික සමාජ හා දේශපාලනික වැඩපිළිවෙලෙහි ප්‍රතිඵල ලැබෙනුයේ මෙම වසරේ වුවත්, එම ජයග්‍රහණයන් උදුරා ගැනීමට සිදුකරන ලද ඔක්තෝබර් කුමන්ත්‍රණය අප රටේ ජනතාව විසින් පරාජය කරනු ලැබුෙව්, අප රටේ ජනතාව එතරම් අවාසනාවන්තයෝ නොවන බව ලෝකයට කියාපාමිණි. දැන් සිදුකිරීමට ඇත්තේ මෙම ලැබූ ජයග්‍රහණයන් ආරක්ෂා කිරීමයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.