Colombo Telegraph

ජාතිවාදය නැසීමට ජාතිවාදියෙකු හොයන ලංකාව

පුණ්‍යා සමරකෝන්

පුණ්‍යා සමරකෝන්

සැමුවෙල් මෝර්ටන් සුප්‍රසිද්ධ ස්වභාවික විද්‍යාඥයෙක්. 19 වන සියවසේ මුල් බාගයේ ඇමෙරිකාවේ පිලඩෙල්පියාවේ විසූ ඔහු සිය වර්ගවාදී උපන්‍යාසයන් සාධනය කරගැනීම උදෙසා සොහොන් කොත් යුධ බිම් හා ස්වභාවික විපත් වූ ස්ථාන පුරා ඇවිදිමින් මියගිය මිනිසුන්ගේ හිස්කබල් එකතු කලා. මෙම හිස්කබල් වල දිග පළල මනිමින් පර්යේෂණ සිදුකළ සැමුවෙල් අවසානයේදී නිගමනය කලේ උසස් හා පහත් ලෙස මිනිසුන් වෙන් වෙන්ව මැවීමේ මැවුම්කරුවාගේ ක්‍රමවේදය සියයට සියයක්ම නිවැරදි බවයි. 

ඔහුගේ නිගමන වල කිසිදු විද්‍යාත්මක පදනමක් නැති වුවත් බොහෝ වර්ගවාදී බටහිර ධනවතුන් සැමුවෙල්ගේ මෙම නිගමන ඉහලින්ම අගය කලා. සැමුවෙල්ගේ නිගමන වලට අනුව සුදු හමක් සහිත කොකේසියානුවන් බුද්ධිමත්ම අය වූ අතර මොංගෝලියානු ජාතිකයින්ට දෙවැනි තැන හිමිවුනා. අග්නිදිග ආසියාතිකයින්ට තුන්වෙනි තැන හිමි වූ අතර බුද්ධියෙන් අඩුම ජාතිය ලෙස ඔහු නම් කලේ කලු හමක් සහිත අප්‍රිකානු හා ඉතියෝපියානු සම්භවයක් ඇති අයයි.

වහලුන් ලෙස භාවිත කල කලු ජාතිකයින් බුද්ධියෙන් අඩු පහත් ජාතියක් ලෙස ස්වභාවික විද්‍යාඥයෙකු විසින් හැඳින්වීම වහල් හිමියන්ට ආශිර්වාදයක් වුනා. සැමුවෙල් මෝර්ටන්ගේ අවිද්‍යාත්මක නිගමන විසින් වහල් හිමියන්ගේ පහත් වර්ගවාදී හැසිරීම සාධාරණීකරනය කළ අතර වහල්භාවයට පත් මිනිසුන්ගේ මූලික මානව අයිතීන් මුලුමනින්ම නොසලකා හැරීමට ප්‍රමාණවත් ෙහ්තුවක් වුනා.

සැමුවෙල් මොර්ටන්ගේ මේ නියමයට 1984 දී බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයෙකු වූ ඇලෙක්ස් ජෙෆ්රි අභියෝග කළ අතර ඔහු සිය ජාන විද්‍යා පරීක්ෂණ මගින් ජාතීන් ලෙස මිනිසුන් වර්ග කිරීමට කිසිඳු විද්‍යාත්මක  පදනමක් නොමැති බව පෙන්වා දුන්නා.

ඒ කොහොම වුවත් අපි අදත් එල්බගෙන සිටින්නේ සැමුවෙල්ගේ න්‍යායේ බව අකමැත්තෙන් වුවද පිළිගත යුතුයි. ඒත් සමගම අප විසින් ජෙෆ්රිගේ විද්‍යාත්මක මතය විමසීමකින් තොරවම ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. 

වර්ගවාදයේ විද්‍යාත්මක, අවිද්‍යාත්මක තර්ක කෙසේ වෙතත් අද ලංකාවේ යළිත් ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ වර්ගවාදයයි. අවුරුදු 30 ක් එක දිගට දෙමළ සිංහළ වර්ගවාදය ගැන කතා කළ ලංකාව දැන් යළිත් මුස්ලිම් හා මුස්ලිම් නොවන වර්ගවාදය ගැන කතා කරන්නට පටන් අරන් තිබේ. 

මෙලෝ රහක් ඇති දෙයක් නැතිව සිටි මාධ්‍යට වගේම ආතක් පාතක් නැතිව සිටි බොහෝ දේශපාලකයින්ට කාලෙකට පසු හරි උණුසුම් මාතෘකාවක් ලැබී තිබේ. මොවුන් සියලු දෙනාගේ දර්ශනය පාට පාට තඩි ලොලි පොප් සූප්පු කරන, විකට කතා කියන, උඩ පනින නටන පිණුම් ගසන කුඩා කොලු රෑනකට සමානය. ඒත් වර්ගවාදය එතරම් සැහැල්ලුවෙන් සුප්පු කළ හැකි ලොලිපොප් එකක් නොවන බව සියලු දෙනා දත යුතුය. 

සිංහළ දෙමළ මුස්ලිම් බර්ගර් යනාදී වශයෙන් විවිධාකාර වූ ජනවර්ගයන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකාව එකී සම්මිශ්‍රණයේ අලංකාරයෙන්ම පොහොසත් වූ රටකි. සම්මිශ්‍රණය, සංවාදය, සංහිඳියාව, සාමය හා සහජීවනය වැනි වචන මිසක මේ රට සුන්දර කරන වෙනත් යමක් නැත. ඒ වචනාර්ථ වර්ගවාදය සක්‍රීය තැනක කිසිසේත් පවතින්නේ ද නැත.

වර්ගවාදය වහා ගිණි ඇවිලෙන සුලුය. වර්ගවාදය දඩමීමා කරගත් සියලු වර්ගවලට අයත් අන්තවාදී මාධ්‍ය හා දේශපාලඥ්ඥයින් කරන්නේ ඒ ගිනන්නට තමන්ගේ ආත්මාර්ථය නැමැති පිදුරු දමන එකය. දැන් ලංකාවේ සිදුවී ඇත්තේ එයයි. එහි වඩාත් විකාරරූපී කරුණ නම්, මේ රටේ ඇතැම් පිරිස් ජාතිවාදයට විසඳුම් සෙවීම පිණිස ජාතිවාදීයෙකු සොයමින් සිටීමයි. 

ජාතිවාදී හිට්ලර්ලා සොයන මිනිසුන්ට සැමුවෙල් මෝර්ටන්ට තරම්වත් එහි අගක් මුලක් තේරෙන්නේ නැත. ජාතිවාදී වර්ගවාදී අරගල හැමදාම මතු වන්නේ තවත් ජාතිවාදියෙකු හෝ වර්ගවාදියෙකු නිසාවෙන් බව ඔවුන්ට තේරෙන්නේ නැත. ඒ නිසාම ඔවුන් සිතන්නේ මේ ගැටලුවට ඇති එකම විසඳුම තවත් දරුණු ගණයේ වර්ගවාදියෙකු වන බවයි. 

මේ සමාජ ව්‍යසනය කියාපාන සමීපතම උදාහරණය ඇමති රිෂාඩ් බදියුදීන් ගැන ඇමති නවින් දිසානායක කළ ප්‍රකාශයයි. එහිදී ඔහු කීවේ යම් චෝදනාවක් ඔප්පු වන තුරු යමෙක් ත්‍රස්තවාදියෙකු ලෙස හංවඩු ගැසීම මනුෂ්‍යත්වයට නොගැලපෙන බවයි. එයද යළි ජාතිවාදයම වන බව කියූ නවින් තමා ඉදිරියේ අපේක්ෂා බංගත්වයට පත්වූ ජාතිවාදී මධ්‍යවේදීන්ට​ සිනාසෙන අයුරු ජාතිවාදීන්ගේ දරුණු මඩ ප්‍රහාරයන්ට ලක්වෙමින් තිබේ. 

ජාතිවාදයෙන් දශක ගණනාවක් බැටකමින් සිටින, ජාතිය හා ආගමට මුවාවූ අන්තවාදීන් අති බහුතරයක් වෙසෙන මේ දුප්පත් රටේ ජාතිවාදියෙකු නොවී පැවතෙන්නට බැරි බව නවින්ට කියාදෙන්නට අන්තවාදීන් තොරතෝන්චියක් නැතිව වලි කති. ගල් මුල් ප්‍රහාර එල්ල කරති. 

ඒ නානාවිධ ප්‍රහාර මැද්දේ නැගී සිටි නවින් පාර්ලිමේන්තුවේ දී ජාතිවාදය වර්ගවාදය හා ත්‍රස්තවාදය ගැන කෘතහස්ත පැහැදිළි කිරීමක් සිදුකළේය. ඔහුට ඒ සියල්ල ගැන සතුටුදායක පරිචයක්  ඇති බව ඒ කතාවෙන් පැහැදිළි වුනත්, ලංකාවේ වෙසෙන අති බහුතරයේ අන්තවාදී පිස්සුව ගැන පරිචයක් ඔහුට නැති බවක් පෙනේ. නැතිනම් කිසිදිනෙක මැදහත් නොවන ජනතාව අමතා මැදහත් සිතින් කතාකොට ඇනගන්නේ නැත. 

එහෙත් එසේ කියා මේ අන්තවාදී සනුහරයට ම ඉඩදී බලා සිටිය හැකිද? එකම රටක මිනිසුන් අතර ඇවිලෙන මේ මහා ගින්න කෙසේ හෝ නිවා දැමිය යුතු නොවන්නේද? 

මනසින් හා මනුෂ්‍යත්වයෙන් දියුනු සමාජයක් අපේක්ෂා කළ විද්වතෙකු වන ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්ට අනුව ජාතිවාදය යනු මිනිසාගේ ආත්මාර්ථනකාමී හැගීම් තුළ වැඩී  වේගයෙන් පැතිරෙන දරුණු මානසික පිළිකාවකි. “මානව” නමින් ඵල වූ සගරාවකට ඔහු මෙසේ කියා තිබිණ. 

‘‘ලොකු රටවල ජාතිවාදය නම් මෙම මානසික රෝගයෙන් පෙළෙන්නෝ මිනිසුන් ලක්ෂ ගණනක් මැරීම සඳහා පරමාණු ආයුධ තැනීම ආදී ලොකු උමතු කි‍්‍රයාවල යෙදෙනවා. ලංකාව වැනි කුඩා රටවල මෙම මානසික රෝගයෙන් පෙළෙන්නෝ මිනි මැරීම, කැති පොලූවලින් ඇන කොටා ගැනීම, තමන්ගේ නොවන භාෂාවකින් ලියන ලද නාම පුවරුවල තාර ගෑම ආදී කුඩා උමතු කි‍්‍රයාවල යෙදෙනවා.’’

නිතරම සත්‍යය හා තර්කය මත පිහිටා සෘජුව සිය අදහස් ඵල කළ ආචාර්ය අධිකාරම් අවිචාරවත් සමාජ සම්මතයන් දැඩිව විවේචනය කල අයෙක්. 

ලේඛකයෙකු වූ එස්. එම්. බන්දුසීල හමුවූ එක් අවස්ථාවක ආචාර්ය අධිකාරම් ඔහුගෙන් ප්‍රශ්නයක් අසනවා;

“ලංකාවෙ සිටින ලොකුම ත්‍රස්තවාදියා කවුදැයි ඔබ දන්නවා ද?”

බන්දුසීල මහතා විමසිල්ලෙන් දෙස බලා සිටිනවා. ආචාර්ය අධිකාරම් පිළිතුරු දෙනවා;

“ලංකාවෙ සිටින ලොකුම ත්‍රස්තවාදියා තමයි අන්තවාදියා නොහොත් වර්ගවාදියා නොහොත් ජාතිවාදියා “

දෙදෙනාම කොක්හඩලා සිනාසෙනවා.

Back to Home page