අපේක්ෂා නොකළ යාමයක දෙගොඩ තලා ගැලූ දේශපාලන සුනාමිය අවසන්ය. නිදහස් සන්ධානය අවතැන් විය. පොහොට්ටුව අදටත් අතුරුදන්ය. දැන් තිබෙන්නේ සුන්බුන් ඉවත් කොට කැඩී බිදී ගිය දේ යළි ඉදිකිරීමය. සුනාමියෙන් අවතැන්වූ අසරණයින්ට සහන සැලසීමය. වඩාත් වැදගත් වන්නේ සුනාමි අවධානම ගැන අවධානයෙන් සිටීමය. සුනාමියෙන් සිදුවිය හැකි හානි අවම කරගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමය. එසේ නොවුණහොත් ඊ ළඟ උදම් රළට රටම සේදීගෙන යනු නොඅනුමානය. සුනාමි ආවොත් ලේසි නැති බවත්, සුනාමි නිකන්ම එන්නේ නැති බවත් සියලු දෙනා තේරුම්ගත යුතුය.
සුනාමියට අදට වසර 14 කි. ලංකාවේ පමණක් සුනාමියෙන් මියගිය සංඛ්‍යාව 36000 ඉක්මවයි. තවත් දහස් ගණනක් අවතැන් වූහ. මේ ඛේදවාචකය සමරා සිවු දිසාවේම ජනතාව විවිධ පින්කම් පවත්වති, නිහඩව සිටිති, මළවුන් සිහිකරති. ඒ අතර සුනාමි සහණ මන්ඩලය, හෙල්පින් හම්බන්තොට වගේ යටගිය කතාද යළි කරළියට එති.
සුනාමි කියන වචනය අපිට දැන් හුරුය. එහෙත් 2004 වනතුරු එය අපට නුහුරු නුපුරුදු වචනයකි. අපි මුහුද ගොඩ ගලනවා කියා අසා තිබුනේ පැරණි ඉතිහාස කතා වලය. රහතන් වහන්සේ නමක් පැසෙන තෙල් හැළියක දමා වේදනාවට පත් කිරීමට එරෙහිව රටට දේව ශාපයක් වැදුණේය. ඒ ශාපය නිසා මුහුද ගොඩ ගැලුවේය. ගම් දනවු යට උනේය. මිනිසුන් බුරුතු පිටින් මිය ගියේය. මේ ශාපයෙන් මිදීමට රජුට සිය දියණිය මුහුදට බිලි දෙන්නට සිදු වුණේය. රත්‍රන් ආලේපිත නැවක බහා රජු සිය දියණිය මුහුදට යැවීමෙන් අනතුරුව ශාපය නිමා වී මුහුද සන්සුන් විය. මුහුද ගොඩ ගැලීම ගැන අපි අසා ඇත්තේ එම කතාවයි. ඒ නිසා මුහුදේ ජලකඳ බලාසිටියදී අඩු වෙද්දී, මුහුදු වෙරළ හිටපු ගමන් පෑදෙද්දී, අපේ මිනිසුන්ට අමුතු චූන් එකක් දැනුනේය. මේ විශ්මය කුමක්ද සිතා පස්වනක් ප්‍රීතියෙන් පිනාගොස් පවුල් පිටින් මුහුද දෙසට දිව ගියහ. මුහුද පස්සට යනවෝ කියා කෑගසමින් ඒ ආශ්චර්ය විඳ විඳ සිටියෝය. ඉතින් ආපස්සට ගිය මුහුද ගියාට වඩා සියදහස් ගුණයක වේගයකින් ආපසු ආවේය. අලුත් වෙරළේ ආශ්චර්යයෙන් මත් වූ සියලු දෙනාම උදම් රළට ගසාගෙන ගියේය.
විසි එක්වන සියවසේ මුල ස්වභාවික ප්‍රපංචයන්ගේ අසාමාන්‍ය චලන ගැන ලාංකීය කියවීම එතරම් දුක්ඛිත තත්ත්වයක පැවතුණි. දැන් නම් අඩුම තරමින් සුනාමි අවදානම දැනුම්දෙන සයිරන් නලාවේ හඬ ඇහෙනකොටම මුහුද එපා කියා දුවන්නට හෝ අපේ මිනිසුන් ඉගෙන ගෙන තිබේ.
2004 සුනාමිය ගැන තවත් බොහෝ අතුරු කතා ඇත. ඒවා සියල්ලම මහා ඛේදවාචකයන්ය . සුනාමියෙන් පසු දිනම සිට සුනාමි රළටත් වඩා උසට ආධාර රළ පහරක් ලංකාව දෙසට ගලාගෙන ආවේය. එතෙක් මෙතෙක් එතරම් විශාල ආධාර නැව් අපේ මුහුදු සීමාව දැක තිබුනේ නැත. මුදල් වශයෙන්ද, ආහාර ඇතුලු අනෙකුත් භාණ්ඩ වශයෙන්ද මහා ආධාර කන්දරාවක් ලැබිණ. සුනාමියෙන් අසරණ වූ පිරිස සුඛිත මුදිත කොට ඉතිරි මුදලින් රටම සංවර්ධනය කිරීමට තරම් එම මුදල් ආධාර ප්‍රමානවත් වූ බව දන්නෝ දනිති. දුන්නෝද දනිති.
සුනාමියෙන් වැඩිම හානිය සිදුවූයේ උතුරටය. එහෙත් අඩුම ආධාර ලැබුණේද උතුරටය. මේ නිසා විදේශ ආධාර සෘජුව තමන් වෙත ලබා දෙන ලෙස උතුරේ ජනතාව ආධාර දුන් රටවල් වලින් ඉල්ලීම්ද කර තිබිණ. සුනාමි සහන මණ්ඩලය පිළිබඳ යෝජනාව එවකට අමාත්‍යවරයකු වූ මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවට ගෙන එන්නේ ඒ අනුවය. එහෙත් එයින් උතුරේ ත්‍රස්තවාදය අයුතු ප්‍රයෝජන ගනු ඇතැයි අනුමානකොට ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය ඊට විරුද්ධ විය.
සුනාමියට වසර 14 ක් ගතවන අද දිනයේදී පවා ඉන්න හිටින්න හරිහමං තැනක් නැති මිනිස්සු සිටිති. දේශපාලන සුනාමියෙන් පසු යළි නිවාස අමාත්‍යාංශයේ වැඩ භාරගනිමින් සජිත් ප්‍රේමදාස නොනිදන යුගයක් ගැන කීවේය. එතුමා දැන් අවුරුදු තුනක් නිවාස ඇමතිය. රෑට කෙසේ වෙතත් දවල්ට වැඩකරන්නට ඇත. ඒත් සාමසර කන්ද පාමුල අවැතැන් වූවෝ තාමත් කූඩාරම්වලය, සාලාව අවි ගබඩාව පිපිරී අවතැන් වූ අයද අදත් ඉන්නේ කූඩාරම් වලය. ඒක සුනාමියට සම්බන්ද නැත. ඒත් අපට නිවාස ඇමති කෙනෙක් සිටින බව නිකමට මතක් විය.
හැම අවුරුද්දකම සුනාමි සමරණ විට මහින්ද රාජපක්ෂ නාමයද කරළියට එන්නේය. හෙල්පින් හම්බන්තොට ගිණුම දේශපාලන වේදිකාවේ රසවත් කතාවකි. සුනාමියෙන් විපතට පත් ජනතාවට සහන ලෙස කෝටි ගණනින් විදේශ ආධාර ලංකාවට ගලා ආවේය. එම ආධාර හෙල්පින් හම්බන්තොට නමින් පෞද්ගලික ගිණුමකට බැර කර ගත් බවට එවකට අගමැති වූ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දූෂණ හා වංචා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ලැබී තිබිණ. තවත් මූල්‍යාධාර තොගයක් රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික, සංස්කෘතික හා සමාජ සේවා පදනමට බැර කළ බවටද චෝදනා එල්ල විය. එම වංචාවේ වටිනාකම රුපියල් ලක්ෂ 830 ඉක්මවයි. එහෙත් එම වංචාව ගැන සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් කිරීම වෙනුවට සිදුවුණේ පැමිණිල්ල මෙහෙයවූ අයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමය. වංචාවට එරෙහිව යුක්තිය පසිදලීම කෙසේවෙතත් හෙල්පින් හම්බන්තොට ගිණුම ගැන පරීක්ෂණ කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බවට මහින්ද රාජපක්ෂ ගොනුකළ නඩුවේ තීන්දුව නම් නොපමාව ලැබිණ. ඒ කැකිල්ලේ තීන්දුව අනුව හෙල්පින් හම්බන්තොට වංචාව ගැන විමර්ශන සිදුකළ රහස් පොලිස් නිලධාරියා ඇතුළු තිදෙනකුට සිය පෞද්ගලික මුදලින් මහින්ද රාජපක්ෂට වන්දි ගෙවීමට නියම කෙරිණ. මෙම නඩු තීන්දුව ඉතිහාසයේ අපකීර්තිමත්ම නඩු තීන්දුව බව එවකට අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඊට වසර ගණනාවකට පසු දේශපාලන වේදිකාවක් මත දී පාපොච්චාරණය කළේය. එදා හෙල්පින් හම්බන්තොට නඩුවෙන් චූදිතයා වූ මහින්ද රාජපක්ෂ හිරේ නොයැවීම ගැන සරත්නන්ද ජාතියෙන් සමාව ගත්තේය.
සුනාමියට ගසාගෙන ගොස් මරණාසන්නව සිටි කාන්තාවකගේ රන් මාලය කඩා ගත් අයෙකු ඇය දූෂණය කොට මුහුදටම විසි කළ බවට කතාවක් තිබුණි. පන අදින මිනිසුන්ගේ අත් ඇගලි කපා රත්‍රන් එකතුකල අය ගැනද කතා තිබුනි.
සුනාමියට ලැබුනු ආධාර තොග පිටින් හොරා කෑ නිලදාරීන් ගැනද කතා තිබුනි . ඔවුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තකතීරුවන් ය. එකෙකුගේ දෙන්නෙකුගේ කෙසේවෙතත් සුනාමියෙන් අවතැන් වූ දහසකුත් එකක් අසරණයින්ගේ ආධාර සොරාකෑම තකතීරුකමටත් එහා ගිය තත්වයකි.
නළලේ අසූචි ඇති ඉස්සා තමන් ශුද්ධවන්තයා යැයි සිතා සිටින බව බවට පැරැණි කියමනක් ඇත.