24 April, 2024

Blog

අඳුරු නත්තල් අහසේ අමුතු තරුවකි: ජාතික ජනතා ව්‍යාපාරය 

ගෘෂා ඇන්ඩ්රූස්

රනිල්ගේ කැබිනෙට්ටුව අපට එක දෙයක් පෙන්වා ඇත. එනම් ව්‍යවස්ථාවේ කොඩියෙන් වසාගෙන සිටි ඔහුගේ “ඉහල පැලැන්තියේ, සංස්කෘතික, ප්‍රජාත්නත්‍රවාදී, ව්‍යවස්තාවාදී” හැත්තෑ හැවිරිදි පිදුරංගල පශ්චාත් භාගයයි. දසදහස් වෙනි වරටත් නැවත ඔහු පෙන්වා ඇත්තේ ඔහු කවුරුන්ද යන්නයි. ප්‍රජාත්නත්‍රවාදය වෙනුවෙන් වීදි බැසගත් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ලෙහෙසියෙන් අමතක කර හැට පැනපු ලජ්ජා නැති රාජකීය පිරිමින්ගේ කැබිනෙට්ටුවක් ඔහු ඊයේ පත් කර ගත්තේය. එම කැබිනෙට්ටුව රවී කරුණානායකගෙන්ද සමන්විතය. “මම ඕක වෙන බව කිව්වා” කීම මා අප්‍රිය කරමි. නමුත් අකමැත්තෙන් වුවද පාඨකයන්ට සහ එජාපයේ දුක්බර මෝඩයන්ට කියන්නට ඇත්තේ “ඕක මම කිව්වා!” කියා පමණි. මා විසින් දෙසැම්බර් 14 වන දින කලම්බු ටෙලිග්‍රාෆ් වෙත ලියු ලිපියක උධෘතයක් උපුටා දක්වමි: 

මෙය ඔබේ ජයග්‍රහණයක් වනුයේ හෙට පහන් වන තුරු පමණි. හෙට උදෑසන හිරු උදාවත මෙම තීන්දුව එජාපයේ තනි  භුක්තිය වනු ඇත. ඔවුන් සිය චෞර රාජ්‍ය නැවත ගොඩනගා රවී කරුණානායක, විජේදාස රාජපක්ෂ, වසන්ත සේනානායක, රාජිත සේනාරත්න වැනි ඩීල් කරුවන් සිංහාසනාරූඪ කිරීමේ පරම අයිතිය මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය තුලින් සොයා ගනු ඇත”.

අනේ පවු ! අජිත්, හර්ෂ සහ එජාපය!

අජිත් පී පෙරේරලා සහ හර්ෂ ද සිල්වා ලා මේ තත්ත්වය තව දුරටත් හොඳ අතට හැරේ යයි සිතන්නේ නම් ඔවුන්ට කිව හැක්කේ හීනෙන්වත් ඒවා නම් සිදු නොවන බවය.ඒ මන්ද යත් තේරුම් කිරීමට මම ඉහත ලිපියෙන් තවත් උධෘතයක් ගෙන හැර දක්වමි. 

දින පනහක් ඔවුන්ව සුරැකි එජාප පාක්ෂිකයින් සහ පොදු ජනතාව හෙට සිට අමතක වනු ඇත. එජාපයේ දේශපාලන සිරුරේ  දුවන්නේ එම ජනතා පීඩක, අවනීතික, දූෂිත ලෙයයි”.

ලේ පිපාසිත, ජන පීඩක, චෞර රජාපක්ෂ සහ ඔහුගේ ගැතිකම් කරන වහල්ලු මේ දින වල ඔවුන්ම උජාරුවෙන්  ඇවිදගෙන ගොස් වැටුණු වලෙන් ගොඩ ඒමට දඟලති. මහින්ද රාජපක්ෂ අද දිස් වන්නේ එදා දිස්නය දෙමින් සිටි දේශපාලන දේවතාවා ලෙස නොවෙයි. ලොම් හැලුණු කටු ගැසුණු දේශපාලන හිගන්නෙකු ලෙසය. එසේම, ඊයේ කැබිනෙට්ටුවෙන් පසු රනිල්ද රාජපක්ෂ මෙන්ම චෞර රෙජීමයක නායකයකු පමණි.

එජාපයට ඔලොක්කුවට සිනාසීම, “මම ඕක කිව්වේ නැද්ද කීම” වැනි බොළඳ ක්‍රියාවන් පසක තබා ලංකාවට ඉහලින් ඇති නත්තල් අහස දෙස බැලූ විට එය පෙනෙන්නේ අඳුරු හිස් අහසක් ලෙසය? 

නමුත් නැවතත් බලන්න. දේශපාලන අහසේ තනි තරුවක්  පායා එයිද?

එය එසේය.   

ජාතික ජනතා ව්‍යාපාරය 

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කුඩා කාමරයක දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ සමාජයේ පිළිගත් පැතිකඩක් නියෝජනය කරන කොටසක් ජාතික ජනතා ව්‍යාපාරය නමැති සමාජ ව්‍යාපාරය දැනුවත්  කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වුහ. සර්වෝදය ව්‍යාපාරයේ කොටසක් වන දෙශෝදය ව්‍යාපාරය ප්‍රධාන කොට ගෙන තව පාර්ශවයන් 13ක් සමග සන්ධානගත වූ ජාතික ජනතා ව්‍යාපාරය ලංකාවේ තුන්වන බලවේගය එක්සත් කොට එක කොඩියක් යටට ගෙන එන බවක් පෙනෙන්නට ඇත. රනිල්, මහින්ද වැනි චෞරයන් හට අභියෝග කිරීමට සමත් ප්‍රබල වෘත්තිකයින් සහ සමාජ ක්‍රියාකාරීන් ගෙන් සමන්විත මෙම ජනතා ව්‍යාපාරයෙහි අරමුණු සහ සංකල්පය වෛද්‍ය විනයා ආරියරත්න විසින් ඉතා පැහැදිලිව විස්තර කරන ලදී. එහි වීඩියෝව පහත දක්වමි .

ජාතික ජනතා ව්‍යාපාරය: නැවත කැඳවීමේ බලය විශ්වාස කරයි

ශීලාචාර දේශපාලනයට වෘත්තිකයන් ඒමට ශ්‍රී  ලංකාවේ නීතියෙන් බාධාවක් ඇත. එනම් රාජ්‍ය සේවකයන්ට සක්‍රීය දේශපාලනයේ නිරත වීම තහනම් වීමයි. පෞද්ගලික ක්ෂේත්‍රයේ පවා දේශපාලනයේ නිරත වීම උනන්දු නොකෙරෙන අතර එය රැකියාව අහිමි වීමට හේතුවක් විය හැක. එනිසා සිදු වන්නේ දේශපාලනයට  සක්‍රීය දායකත්වයක් ලබා දිය හැකි පිරිස ඉන් ඉවත්ව සිටීමයි. ජාතික ජනතා ව්‍යාපාරය සමාජ ව්‍යාපාරයක් වන අතර එහි ප්‍රධාන අරමුණ වන්නේ වගකීම සහිත පුරවැසියන් නිර්මාණය කිරීම සහ සමාජ ආර්ථික අභිවෘද්ධිය ඇති කිරීමයි. මෙම සමාජ ව්‍යාපාරයෙන් තෝරා ගත් කොටසක් අනාගතයේ සිය රැකියාව ඇත හැර දේශපාලනයට යොමු විය හැකි වුවද එසේ නොවන්නන්ට නීතිමය රාමුව තුළ ප්‍රජාත්නත්‍රවාදී ප්‍රවාහයට සහය දැක්විය හැක.  

ජාතික ජනතා ව්‍යාපාරයේ අනෙක් සාධනීය ලකුණ වන්නේ එය සමාජයේ විවිධ කොටස් නියෝජනය කිරීමයි. එය සමන්වීත වන්නේ ඉතා විචිත්‍රවත් පුරවසියන්ගෙනි. එයට වෘත්තිකයන්, තරුණ තරුණියන්, පරිසරවේදීන්, සමාජ සේවකයන්, සමාජ ක්‍රියාධරයන්, ලිංගික සමානාත්මතාවය වෙනුවෙන් සටන් වදින්නන්, අධ්‍යාපනඥයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, පරිපාලනක්යන් සහ කාන්තාවන් අයත්ය. මොවුන් ජාතික ප්‍රශ්න රැසකට සමාජ දේශපාලන පිළිතුරු සෙවීම සඳහා ඒකරාශී ව ඇත.

එක්සත් වෘත්තිකයන්ගේ සංගමයේ නියෝජිත ඉංජිනේරු පාලිත අබේවර්ධන මෙම සාකච්ඡාවේදී දැක්වූ අදහස් අයත් වීඩියෝව පහත දැක්වෙයි. “අප ඉදිරියට ආවේ වාහන පර්මිට් ඉල්ලීමට හෝ පඩි වැඩි කර ගැනීමට නොවෙයි. වර්තමාන දේශපාලකයන් යටතේ දේශපාලන ප්‍රවාහයට එක වීමට වෘත්තිකයන් අකමැතියි. අපි අධ්‍යාපන සුසුද්කම් ලබා තිබෙනවා, ධනය උපයා තිබෙනවා , අපි ඉදිරියට එන්නේ මේ සමාජ ව්‍යාපාරයෙන් හම්බ කිරීමට නොවෙයි. යමක් ආපසු රටට දීමටයි. ජන මතයට පිටු පාන ජනතා  නියෝජිතයින් නැවත කැඳවීමේ බලය සහිත රටක් ගොඩනැගිය යුතුයි”. 

ජාතික ජනතා ව්‍යාපාරය: සමාජ අසමානතාවයට එරෙහිය 

ජාතික ජනතා ව්‍යාපාරයේ පෙනෙන්නට තිබෙන වැදගත්ම ලක්ෂණය නම්  නම් එය ජාති, ආගම්, සමාජ ස්ථර අතික්‍රමණය කරමින් නිර්මිත වී තිබීමයි. බොහෝ විට මෙය දේශෝදය​ ව්‍යාපාරයේ බිම් මට්ටමේ ක්‍රියාකාරීත්වය නිසා එතුලින් ග්‍රාමීය ජනතාව වඩාත් ශක්තිමත්, යුක්තිය ඉල්ලා සිටීමට බිය නැති පුරවැසියන් ලෙස  සවිබල ගැන්වීම සිදු කළ හැක. මානසිකව සහ ආර්ථිකව දේශපාලන වහලුන් වන පුරවැසියන් තනනවා වෙනුවට වගකීමක් ඇති පුරවැසියන් තැනීමේ ශක්‍යතාවය ජාතික ජනතා ව්‍යාපාරයට ඇත.

මෙම මාධ්‍ය හමුවේ අවදි වුනු කටහඬවල් සංකල්පීයව, වාර්ගිකව සහ සමාජයීයව ගත් කළ විවිධය. මෙම ව්‍යාපාරයේ පාර්ශවකරුවකු වන විනිවිද සන්විධානයේ නාගානන්ද කොඩිතුවක්කු සිය අදහස් ඉදිරිපත් කිරීමේදී විවිධ පුද්ගලයන්ට පෞද්ගලික ප්‍රහාර එල්ල කරමින් එම සභාවේ වියත් බවට අභියෝග කළේය. නාගානන්ද වැනි පුද්ගලයන් මෙවැනි සමාජ ව්‍යාපාරයකට ගාවා ගැනීමෙදී එහි නායකයන් ප්‍රවේසම් විය යුතුය. මිනිසුන් අතර පාලම් සැදීමට හෝ සංහිදියාව ඇතිකිරීමට ස්වෝත්තමවාදී නාගානන්ද වැන්නවුන් අසමත්ය. මෙම සමාජ ව්‍යාපාරය එහි අරමුණු අතර තබා ගෙන තනි පුද්ගලයන්ගේ න්‍යාය පත්‍රයන්ට යටත් නොවීම ඉතා වැදගත්ය. මින් නාගානන්ද විසින් මීට පෙර යුක්තිය වෙනුවෙන් කළ ඇතැම් සාධනීය් දේ ලඝු කිරීමට අදහස් නොකරමි.

දැන්වත් නිවැරිදි වෙමු

අපගේ ජාතික විනෝදාංශය වනාහී දේශපාලනය කතා කිරීමත්, තක්කඩි දේශපාලනය විවේචනය කිරීමත්ය. මෙය දැන්වත් නැවැත්විය යුතුය. වසර ගණනාවක් තිස්සේ අපගෙන් බහුතරය කරනුයේ හිත හදා ගැනීමට ජවිපෙට සවන් දීමත්, ජන්ද පොලට ගොස් රනිල්ට හෝ මහින්දට ඡන්ද​ය දීමත්ය. ඔවුන් අපගේ ජන මතය පාවා දෙන බව දැන දැනම අපි එසේ කරනෙමු. අපව සමාජය සහ සංස්කෘතිය විසින් කොතරම් මොළ සෝදා ඇතිද යත් අපි කෙතරම් සීලාචාර දේශපාලනය ගැන බණ කියුවද අපට හුරු පුරුදු සම්ප්‍රදායික පක්ෂයට හැර අන් කිසිවකුට ඡන්ද​ය​ නොදෙමු. 

නමුත් ඊයේ පත්කළ කැබිනෙට්ටුව දුටු පසු නම් මම මේ පාරම්පරික පක්ෂ වල චෞරයන් ව ඉවසන්නේ නැත. ඡන්ද​ය දෙන්නේ ද නැත. 

අහස දෙස බලු විට මට පෙනෙන්නේ අඳුරු, ශෝකජනක, පරාජිත නත්තල් අහසකි. 

මගේ ඒකායන බලාපොරෝත්තුව නම් ජාතික ජනතා ව්‍යාපාරයේ නායකයන් එයට විද්වත් සහ ධෛර්යසම්පන්න නායකත්වයක් ලබා දෙනු ඇති යන්නය. 

ඔවු. 

අඳුරු අහසේ එක් අමුතු තරුවක් නිශ්චිතවම වෙයි. 

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    1

    Thanks, Grusha.
    .
    We’ve now got to think how to get these messages across to the mass Sinhala and Tamil readership. Colombo Telegraph helps us to get these across to an important section of the English-using intelligentsia. Even where that is concerned, I suspect that the vast majority are retired people like me.
    .
    And there are the highly educated young people like you; but again not all. Typically those already in media or such professions. Many others who do not follow all this should not be blamed for being ignorant of all that is being said on the web. They just don’t have the time. They are the people whom we rely on keep the system ticking.
    .
    You are a key person in this. We’re fortunate to have somebody as fluent as you in two languages. All citizens, ultimately, are beholden to you for having already achieved so much.

  • 1
    1

    දැන් ජනාධිපති හරිම නම්‍යශීලියි,’ ‘අපේ අති උතුම් ජනාධිපති උතුමාණෝ හරිම ෂෝක්’, ‘අපි දෝෂාභියෝග ගැන සිතලාවත් නෑ’ ආදී වශයෙන් දොඩවමින් අත්පොරවා උකටලීව සිටියහොත් කුමන්ත්‍රණකරුවන් යළිදු වටයකින් තම කූඨ අරමුණු මුදුන්පත් කර ගැනීමට තවත් ගේමක් ගහනවා නියත ය. ජනතාවට හැමදාම ආණ්ඩු රකිමින් සිටිය නොහැකිය. දෙවන වටයේ දී කුමන්ත්‍රණකරුවන් ජය ගැනීමට ද ඉඩ කඩ තිබේ.

    එබැවින් නත්තල් නිවාඩුවේ නිවාඩු නොගෙන කුමන්ත්‍රණ කරුවන්ට දඬුවම් දීම ගැන සැලසුම් සකස් කර නිවාඩුව නිමා වූ සැනින් එය ආරම්භ කළ යුතුය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.