28 March, 2024

Blog

අලි සබ්රිගේ ඇම්බියුලන්ස් කතා වස්තුව​!

පුණ්‍යා සමරකෝන්

පුණ්‍යා සමරකෝන්

නඩු කියන එක කෙසේ වෙතත් නඩු අහගෙන ඉදීම නම් හරිම රසවත් අත්දැකීමකි.

මගේ අප්පච්චිට වුවමනා වූයේ මම නීතිඥවරියක් කිරීමටය. ඒ නිසා නීතිඥවරියක් වූ මාගේ පවුලේ අයෙකු සමඟ නිතරම උසාවියට ගොස් නඩු කතා කරන හැටි අහගෙන ඉදීම මට පුරුද්දක් වී තිබුණි. කෙසේ  වෙතත් කාලයකට පසු දැන් ආයෙමත් ඒ පරණ පුරුද්ද අලුත් කර ගැනීමට අවස්ථාවක් ලැබී තිබේ. 

මේ දවස් වල ඒ රසය වඩාත් හොදින් අත්විදින්න පුලුවන් වෙන්නෙ විධායකය විසින් රටේ උත්තරීතර නීතිය නොසලකමින් බලය අත් හදා බැලීමට ගත් උත්සාහයක් ගැන නඩුවිභාගයක් උපරිමාධිකරණයේ විභාග වන බැවිනි. 

නඩු විභාගයේ දෙවන දිනයේදී පෙත්සම්කාර පාර්ශවයෙන් අපූරු තර්කයක් ඉදිරිපත් විය. එහිදී නීතිඥ මහතා පෙන්වා දුන්නේ වාහනයක් පැදවීමට අවසර ලබා දෙමින් යම් පුද්ගලයෙකුට රියදුරු බලපත්‍රයක් නිකුත් කරන්නේ මාර්ග නීති රීති වලට අනුකූලව වාහනය පැදවීමට විනා ඔහුගේ සිතැඟියාවන්ට අනුව මාර්ග නීති රීති නොසලකමින් රිය පැදවීමට නොවේ යන්නයි. එසේ යමෙකු රියදුරු බලපත්‍රයක් ලද පමනින් ගාල කඩාගෙන යන්නේනම් ඔහු උමතු වී ඇතැයි සලකා වහාම රියදුරු බලපත්‍රය අහෝසි කරන්නේය. මෙම සරල උදාහරණයෙන් ඔහු පැහැදිළි කළේ ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ලබාදී තිබුණද ජනාධිපතිවරයා විසින් එම බලය ක්‍රියාත්මක කළ යුතු වන්නේ ව්‍යවස්ථාවේ අනිකුත් නීති රීතීන් හා පිළිගත් දේශපාලන විනයටද අනුගතව බවයි. ඒ සියල්ල නොසලකා හරිමින් ව්‍යවස්තාව පටු ලෙස අර්ථනිරූපනය කරගනිමින් අත්තනෝමතිකව කටයුතු කිරීමට ජනාධිපතිවරයාට නොහැකි බව නීතිඥ මහතා සිය සරල උදාහරණයෙන් පෙන්වා දුන්නේය.

පසුදින මෙම තර්කයට ප්‍රතිඋත්තර බඳිමින් අනෙක් පාර්ශවයේ නීතිඥ මහතා, ජනාධිපති නීතීඥ අලි සබ්රි කියා සිටියේ රිය පැදවීමේ බලපත්‍රය මගින් ධාවනයට ලබා දෙන අවසරය සාමාන්‍ය මාර්ග නීතින්ට අනුව ක්‍රියාත්මක කළ යුතු වුවත්, ගිලන් රථයක් පැදවීමේදී  සාමාන්‍ය නීතිය නොසලකා හැරීමට රියදුරුට අවසර ලැබෙන බවයි.

වමෙන් ඉස්සර කිරීම, මාර්ග සංඥා නොසලකා ධාවනය කිරීම, වේග සීමා නොසලකා ධාවනය කිරීම, ඉරි කැපීම යනාදිය සාමාන්‍යයෙන් ගිලන් රථ රියදුරෙකුට නොසලකා හැරිය හැකි නීති ලෙස හදුන්වයි.  

අප දන්නා පරිදි රටක ව්‍යවස්ථාව යනු සාමාන්‍ය නීතියට එහා ගිය උත්තරීතර නීතියයි. එම උත්තරීතර නීතිය මාර්ගයක දී සමාන වන්නේ මා ඉහතින් සදහන් කල සාමාන්‍ය නීති ගනයට නොවේ. කිසිසේත්, කිසිදු රියදුරෙකුට, කිසිදු විශේෂ හේතුවක් මත  කඩකළ නොහැකි නීති ගනයටයි. එනම්, පදිකයින්ට හා අනෙකුත් රථ වාහන වලට අනතුරු සිදුකරමින් රිය ධාවනය, වැරදි දිශාවට ධාවනය වැනි දෑ සාමාන්‍ය රියදුරාටත් ගිලන්‍ රථ රියදුරාටත් එකසේ තහනම්ය. රටේ උත්තරීතර නීතිය කඩාගෙන ධාවනය කිරීමට කිසිදු බලපත්‍රයකට හැකියාවක් නැත. 

මෙම නඩු විභාගය අසා සිටි මගේ එක් මිත්‍රයෙක් ඇසුවේ ගිලන් රථ නීතිය යනුවෙන් අලි සබ්රි නීතිඥ මහතා හඳුන්වනු ලැබුවේ ජනාධිපති වරයාගේ පෞද්ගලික කෝන්තරයක් ද යන්නයි. මා ඔහුගේ පැනයට සිනාවකින් පිළිතුරු දුන්නෙමි. ඒ සමගම මට පරන සිදුවීමක් මතක් විය. 

දවසක් අධික තදබදයකින් යුත් ප්‍රධාන පාරක මහා කලබගෑනියක් සිදු විය. කාර්යාල වේලාව වූ බැවින් සියළු දෙනාටම සිය ගමනාන්තය එක හා සමානව වැදගත් විය. ඒත් පැවති තදබදය හේතුවෙන් හැමෝටම සිය රථය නවතාගෙන බලා ඉන්නට සිදුවිය. ඒ අතර තදබදයට හසුවූ ගිලන් රථයක් මහ හයියෙන් නාද කරමින් මාර්ගයේ ඉඩ ඉල්ලා සිටියා. ගිලන්‍ රථය නවතා ඉන් බැසගත් රියදුරු “ලෙඩා මිය ගියහොත් වගකීම තමුසෙලා ගන්නවා,” යැයි අනිකුත් රියදුරන්ට බැනවදිමින් හැසිරෙන ආකාරය මා දුටුවා. ඉස්මුරුත්තාව හැදුනු අන්දරේ කිරිපැණි කෑවා වගේ ගිලන් රථයට ඉඩ සලසා දීමට සියළු දෙනා කටයුතු කළා. එහෙත් හදිසියේම ගිලන් රථයේ රෝගියෙකු නොමැති බව දුටු පිරිස කලබල උනා. අවසානයේදී හෙළි වූයේ ගිලන් රථයේ කිසිදු රෝගියෙකු නොසිටි බවත්, රෝගියෙකු රැගෙන ඒම වැනි හදිසි කාරණයක් හෝ නොතිබූ බවයි. එලෙසම ගිලන් රථයේ රියදුරු අධික ලෙස බීමත්ව සිටි බවටද අනිකුත් රියදුරන් චෝදනා කළා. ඔවුන් එක්ව ගිලන්ථය හා රියදුරු පොලීසියට බාර දීමටද පසුබට උනේ නෑ. එදා පොලීසිය නීතිය හරියට ක්‍රියාත්මක කළේනම් ඒ ගිලන් රථ රියදුරුට සිය රැකියාව අහිමි වන්නට ඇතැයි මා විශ්වාස කරනවා. මන්ද සිය රාජකාරිය පිලිබඳව විනයක්, නීතියක් නොදන්නා නොහික්මුනු අයෙකු ගිලන්‍ රථයක් ධාවනයට කිසිසේත් නොගැලපෙන නිසායි.

මෙම සිද්ධිය මා විශේෂයෙන් සඳහන් කළේ නීති කඩාගෙන, නලා පිඹිමින්, පිඹගෙන එන සියළු ගිලන් රථ වල රෝගීන් නොසිටින බවත්, එවැනි හදිසි මානුෂීය කාරණාවක් හෝ නොමැති බවත් කියන්නටය. බොහෝවිට සිදුවන්නේ, රියදුරුගේ නොපනත් කමට ගිලන්‍ රථ බලපත්‍රයට හිමි විශේෂ වරප්‍රසාද සිය පෞද්ගලික ගමන් බිමන් සදහා භාවිත කිරීම බව සිහිපත් කිරීමටය. 

මෙම කාලසීමාව තුළ ජනාධිපතිවරයාගේ හැසිරීම හා පවසන දෑ නිරීක්ෂණය කිරීමේදී පෙනීයන්නේ ඔහුගේ ගිලන් රථ ධාවන බලපත්‍රය ඔහු යොදාගෙන ඇත්තේ කිසියම් රෝගියෙකුගේ ජීවිතය බේරා ගැනීමට නොව ඔහුගේ පෞද්ගලික ගමන් බිමන් බාධාවකින් තොරව යාමට බවයි. එහි හදිසියේ හරි රෝගියෙක් සිටියා නම් ඒ හිටපු ජනාධිපතිවරයා බවද මට නිකමට සිතේ.  

ජනාධිපතිවරයෙකු සිය ධුරයේ දිවුරුම් දෙන විට රටේ උත්තරීතර නීතියේ සෑම වගන්තියක්ම එලෙසින්ම රකින බවට පොරොන්දු වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව තවත් විශේෂ ප්‍රකාශයක් ද සිදු කළේය. ඒ මේ රටට  අවශ්‍ය වන්නේ රජෙක් නොව ජනතා සේවකයෙක් බවයි. එහෙත් ඒ ජනතා සේවකයා හරිහැටි සේවය නොකර ගතු කේලම් කියමින් ඇවිදින බවත්, තමා තුළ නැති පෞරුෂයක් ආරූඪ කරගනිමින් අමුතු ජාතියේ වැඩ කරමින් සිටින බවත් විහාරමහාදේවි උයනේදී මගේ හිතවත් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් චෝදනා කරනවා මට ඇසුනි. 2015 මේ රටේ හැට දෙලක්ෂයක ජනතාව ජනාධිපති වෙත පැවරූ වගකීම ඉටුකිරීම වෙනුවෙන් පාවිච්චි නොකෙරුණු විධායකයේ බලතල මහින්ද මහත්තයා අගමැති කිරීම වෙනුවෙන් පාවිච්චි කිරීම ගැනත් බොහෝ දෙනා කතාකරනවා මට ඇසී තිබේ. අම්මෝ දැන්නෙ මෙයා චණ්ඩි වෙලා ඉන්නෙ. මෙච්චරකල් කොහෙද අප්පේ හිටියෙ ? කියා සමහරු අසති. 

මොකක්දෝ කරුමයකට මට ගිලන් රථ කතාවට හිත ඇදී ගොස් ඇත. 

ජනාධිපතිවරයා මානසික ආතතියෙන් පෙළෙන බව වෙබ් අඩවියකට එළි කළ වෛද්‍යවරයෙකු ගැන කතාවක් පසුගිය දිනවල අසන්නට ලැබිණි. එහි ඇත්ත නැත්ත ගැන ඇත්තටම කියන්නට දන්නේ නැත. කුමක් වුවත් එයින් වැඩක් නැත. 

කොහොම වුනත්, මානසික ආතතියකින් පෙළෙන රෝගියෙකු ගිලන් රථයක් පැදවීමනම් රෝගියාගේ ද, මගියාගේද, පදිකයාගේද ඇගට ගුණ නැත. රියදුරුටද බේරීමක් නැත. ඔහු නවතින්නේ එක්කෝ හිරගෙදරය, නැත්නම් ප්‍රපාතයකය. 

Print Friendly, PDF & Email

Latest comments

  • 7
    1

    Punya, what a great writing. She just hit the nail on the forehead of Rajapalse acolyte Ali Sabry and his comical point of an ambulance argument. These Ali Sabry and other ilks who are batting for Mara Sira Conspiracy for either expecting benefits or these guys are captives of MaRa’s manupulation and tactics. When one becomes an acolyte of a Super criminal, the slave has no way out of escape as he is fully caught by his balls…. this must be the dilemma of Rajapakse acolytes common to all of them.

  • 4
    1

    Excellent. Keep up your good contributions.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.