24 October, 2019

Blog

රනිල් යටත් නොවේ

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

26 වැනි කළු සිකුරාදා දවස ලංකා ඉතිහාසයේ වඩාත් කුමන්ත්‍රණකාරී දිනයයි. එය උඩරට ගිවිසුම දේශීය රදළ නායකයින් හා ඉංග්‍රීසීන් විසින් අත්සන් කළ 1815 මාර්තු 10 වැනිදාට වඩා බරපතල දිනයකි. අඩුම තරමින් උඩරට ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථම දෙපාර්ශවය අතර බොහෝ සාකච්ඡා සිදුවිය. එසේම ජනතාව සමග ඒ පිළිබද සංවාදයක් තිබුණි. එසේම ඒ යුගයේ තිබු සියලුම සමාජ ගිවිසුම් වලට ගරු කිරීමට සියලු දෙනා තුලම අභිලාෂයක් තිබුණි, ගරු කෙරිණි.

නමුත් කළු සිකුරාදා නොහොත් 2018 ඔක්තෝබර් 26 වැනි දින සිදුවූයේ ලංකා ඉතිහාසයේ අශීලාචාරම රාජ්‍ය විරෝදී කුමන්ත්‍රණයයි. එය තුළ කිසිදු සමාජ ගිවිසුමකට ගරු කිරීමක් නොතිබුණි. ආණ්ඩුක්‍රමය අලුයම ලූ කෙල පිඩක් මෙන් ඉවත දැමුවේය. ජනවරම යනු කුමක්දැයි කුමන්ත්‍රණයට සම්බන්ධ වූ කිසිවෙකුටත් අවබෝධයක් නොවීය. බැලූ බැලූ අත අශිලාචාරත්වය හා අරාජිකත්වය විය.

මෙවන් අශීලාචාර ක්‍රමවේදයකින් ඔවුන් ගොඩනැගීමට උත්සහ කළ ආණ්ඩුව අවසන් කරනු ලැබුවේ මේ රටේ සිවිල් සමාජයේත් අධිකරණයේත් පාර්ලිමේන්තුවේත් අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වලත් නොපසු බට ධෛර්යයෙනි.

මරා සිරා ජුන්ටාව විසින් ප්‍රථමයෙන් රනිල් වික්‍රමසිංහයන් හට යටත් වන ලෙස විධානය කළේය. නමුත් රනිල් වික්‍රමසිංහ යටත් වීම ප්‍රතික්ෂේප කළේය. යටත් වීම වෙනුවට සටන් කිරීම තෝරා ගත්තේය. අරලියගහ මන්දිරය තුළ රැදී සිටීමට රනිල් ගත් තීන්දුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගත් යුක්ති සහගත තීන්දුවයි. එය මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගත් ශ්‍රේෂ්ඨතම තීන්දුවයි. එම නිසාම සිවිල් ප්‍රජාව ඉදිරියට පැමිණියේය. මධ්‍යම පන්තිය තම අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටියේය. සියලුම දේශපාලන පක්ෂ එක පිළකට පැමිණියේය. සියලුම දෙනා යටත් වීම ප්‍රතික්ෂේප කළේය.

රනිල් වික්‍රමසිංහ මේ ගෙවමින් සිටිනුයේ ඔහුගේ දේශපාලන දිවියේ හතරවන දශකයයි. ඔහු අඛණ්ඩව අවුරුදු හතළිහක් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. ඔහු ලෝකයේ මේ මොහොතේ ජීවත්වන රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර වැඩිම අත්දැකීම් සහිත දේශපාලනඥයෙකු වේ. ඔහු ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ශ්‍රී ලංකාවේ සමාජය, ආර්ථිකය හා දේශපාලනය ක්‍රමිකව වෙනස් වෙමින් පැමිණීම හොදින් දැක තිබේ. එසේම රට තුළ පැවති දීර්ඝ කාලීන සිවිල් අරගල දෙකක් අත්දැක තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ සිට අගමැති ධූරය දක්වාත් පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ ඇති වැදගත් තනතුරු ගණනාවක් දරා ඇත. ඔහු විසින් සිදුකරන ලද අධ්‍යාපනික හා කර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක වෙනස්කම්වල ප්‍රතිලාභ ලබන්නෝ ඔහු දිනපතා දකින්නේය. එම නිසාම රනිල් වික්‍රමසිංහ යනු මේ රටේ සාර්ථකම දේශපාලනඥයා බව මාගේ හැගීමයි. 

දේශපාලනඥයෙකු විසින් ලැබිය යුතු ජය පාරාජය දෙකම ඔහු හොදින් අත්විද තිබේ. ජනතා කැමැත්ත මෙන්ම අකමැත්තද ඔහු හොදින් භුක්තවිද තිබේ. ඔහු විටෙක වීරයෙකු ලෙසද, තවත් විටෙක ද්‍රෝහියෙකු ලෙසද මෙරට මාධ්‍ය හා දේශපාලන අංකූරන් විසින් හංවඩු ගසා තිබුණි. ඔහු පාගා යටපත්කොට බලය පවත්වා ගැනීමට උත්සහ කළ ප්‍රභාකරන්, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ වැනි නායකයන්ද තම පක්ෂයේම වූ ද්‍රෝහියෝද දේශපාලන වේදිකාවෙන් බැසගොස් තිබේ. නමුත් රනිල් වික්‍රමසිංහ අඛණ්ඩව දශක හතරක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් තවමත් මෙරට පුවත්පත්වල හා විද්‍යුත් නාලිකාවල සිරස්තල වල සිටී. ඒ අනුව රනිල් වික්‍රමසිංහ යනු මේ රටේ එතෙක් මෙතෙක් බිහි වූ සාර්ථකම වෘත්තීය දේශපාලනඥයාය. නමුත් ප්‍රශ්නය ඇත්තේ ඔහුගේ වෘත්තීයභාවයෙන් රටට ලබාදුන් ජයග්‍රහණය කුමක්ද හා ඔහුගෙන් රට අපේක්ෂා කරනුයේ කුමක්ද යන්නයි. අප විධිමත්ව සාකච්ඡා කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ ගැන නොව ඔහු විසින් රටට ඉටුකළ සාධාරණය කුමක්ද යන්නයි. 

රනිල් වික්‍රමසිංහ යෞවන කටයුතු ඇමතිවරයා හැටියට ශ්‍රී ලංකාවේ කටයුතු කළ කාලයේ ගොඩනගන ලද ව්‍යුහාත්මක වෙනස්කම් නිසාවෙන් අදත් ලංකාවේ තරුණ පරපුර දියුණු බටහිර ලෝකයේ තරුණ තරුණියන් මෙන්ම දැනුවත්, උගත් පෞර්ශයකින් යුත් ජීවන ක්‍රමයකින් ශක්තිමත් වූ තරුණ තරුණියෝ වේ. එම ව්‍යුහාත්මක වෙනස්කම් කොතරම් ප්‍රබලද යත් දශක හතරකට පසුත් ලංකාවේ තරුණ සංවර්ධනයේ පුරෝගාමී ආයතනය ජාතික තරුණ සේවා සභාවයි. ඉන්පසු පැමිණි කිසිදු තරුණ කටයුතු ඇමතිවරයෙකුට රනිල් වික්‍රමසිංහ පසුකාර යාමට නොහැකි තරම් දැනුමක්වත්, හැකියාවක්වත් නොතිබුණි. නමුත් අද ඔහු සිතනුයේ නව තොරතුරු තාක්ෂණ යුගයට ගැලපෙන පරිදි රටේ තරුණ කටයුතු වල විශාල ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකළ යුතු බවයි. ඒ බොහෝමයක් වෙනස්කම් සදහා ඔහු මූලික අත්තිවාරමද දමා තිබේ. 

එසේම රනිල් වික්‍රමසිංහ කර්මාන්ත ඇමතිවරයාව සිටියදී ඉදිරිපත් කරනු ලැබු කර්මාන්ත සංවර්ධන වැඩපිළිවෙලින් ගොඩනගන ලද බියගම හා කටුනායක නිදහස් වෙළද කළාප දශක තුනකට පසුත්, අදද ලංකාවේ විශාලතම කර්මාන්ත පුරයන්ය. රටේ නිෂ්පාදන ආර්ථිකයේ විශාලතම කොටස නියෝජනය කරනු ලබන්නේ බියගම හා කටුනායක වෙළද කළාප තුළින්ය. ඔහුට පසුව පැමිණි සියලුම කර්මාන්ත ඇමතිවරු ගමන් කරනු ලැබුවේද ඔහු පසුපසිනි. ඔවුන්ද උත්සහ කරනු ලැබුවේ රටපුරා නිදහස් වෙළද කළාප ඇති කිරීමටය. ඒවා අර්ධ සාර්ථක ව්‍යාපෘතියන්ය. නමුත් අද රනිල් වික්‍රමසිංහ ඉන්දියාව හා චීනය කේන්ද්‍ර කරගත් දියුණු නිෂ්පාදන ආර්ථික මොඩියුලයක් යෝජනා කරනු ලබයි. ප්‍රතිගාමී බලවේග එම ආර්ථික මොඩියුලයට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරමින් ඒ වෙනුවට රටට යෝජනා කරනු ලබන්නේ වසර තිහකට පෙර රනිල් වික්‍රමසිංහ යෝජනා කරන ලද නිදහස් වෙළද කළාප ආර්ථික මොඩියුලයයි. රනිල් වික්‍රමසිංහට අනුව එය යල්පැන ගිය අද තොරතුරු තාක්ෂණ යුගයට නොගැලපෙන ආර්ථික මොඩියුලයක් බව ඔහු කියයි. ඔහු යෝජනා කරනුයේ චීනය ඉන්දියාව පදනම් කරගත් නව ලිබරල් නිදහස් ආර්ථික ප්‍රතිපත්තියට මේ රටේ ජනතාවගේත් අනෙකුත් කොටස්වලත් විශේෂයෙන්ම ජනමාධ්‍යයේත් සහයෝගය ලබාදෙන ලෙසය. 

රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමතිවරයාව සිටි මීට වසර 25 කට 30 කට පෙර ක්‍රියාත්මක කරන ලද අධ්‍යාපනයේ ව්‍යුහාත්මක වෙනස්කම් අදද මේ රටේ අධ්‍යාපනයේ සාර්ථකම ඒකකයයි. ගුරුවරුන් පුහුණු කිරීම සදහා විද්‍යා පීඨ, වයස් සීමාවකින් තොරව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබිය හැකි විවෘත විශ්ව විද්‍යාල, ඉංග්‍රීසී ගුරුවරුන් පුහුණු කිරීම සදහා වූ ඩෙලික් ආයතනය, නවීන තාක්ෂණය ඉගැන්වීම ක්‍රමවේදයන්ගෙන් යුත් පාසල් අධ්‍යාපනය, උතුරු නැගෙනහිර දරුණු යුද්ධයක් පවතිද්දීත් පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යා යුතු බවට ජනතා ආකල්පය හා ජාතික අධ්‍යාපන ආයතනය ගොඩනගා විෂය මාලා සංවර්ධනය සිදුකිරීම, ආධුනිකත්ව මණ්ඩලය වැනි ආයතන ගොඩනගා රටේ වෘත්තීය අධ්‍යාපනය ගොඩනැගීම වැනි ව්‍යුහාත්මක වෙනස්කම් රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනතාවට ලබාදෙන ලද ජයග්‍රහණයන්ය. පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා තිබු බැමි ලිහිල් කිරීම නිසාවෙන් ඕනෑම පන්තියක, ඕනෑම කෙනෙකුට අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු වීම මගින් රනිල් වික්‍රමසිංහ අධ්‍යාපනයට කරන ලද සේවය ඔහුගේ වෘත්තීය ජීවිතයේ අභිමානය බව මාගේ හැගීමයි. 

එසේම 2001 – 2004 කාලයේ ඔහු මේ රටේ අගමැති ධූරය දරමින් ජනවාර්ගික අර්බුධයට සාමකාමී විසදුමක් සොයන අතරම ජාත්‍යන්තරය L.T.T.E ට එරෙහිව ශක්තිමත් කොට ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කොට සාමයෙන් විසදා ගැනීමට නොහැකි වුවහොත් යුද්ධයෙන් හෝ විසදා ගැනීම සදහා වූ අගමැතිවරයාගේ කැපවීම අනගිභවනීය බව මාගේ හැගීමයි. එසේම 2015 ජනවාරි 8 වනදා පරාජය කරන ලද රාජපක්ෂවාදී දරුණු රෙජීමය පරාජය කිරීමට තම පක්ෂයත්, රටත් පොළඹවා වර්තමාන ජනාධිපතිවරයාට එම මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඔහු ලබාදුන් කැපවීම හා  සහයෝගය නිසාවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට හැකි රටක් බිහි වී තිබේ. 

එසේම අදත් මේ රටේ ගැලවුම් කරුවා බවට ඔහු පත් වී තිබේ ඔහුගේ චරිතයේ මා දකින ප්‍රමුඛ ලක්ෂණය නම් ඔහුගේ ඇති ශිලාචාර බවයි. සැලකිය යුතු ප්‍රමාණයකින් අශීලාචාර ක්‍රමයකට හා සමාජයකට ශිලාචාර නායකයෙකු ලැබී තිබේ.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී”

  • 3
    0

    Agree that Ranil is a decent politician, particularly given the ‘level’ of the most of those in the Sri Lankan Parliament. However, you must be very brave to call him the most successful Sri Lankan politician. Appointing Ravi Karunanayake, one of the most crooked politicians, as the Finance Minister, and Arjuna Mahendran, another top grade crook, as the Central Bank Governor, are two of the gravest and most shortsighted decisions made by Ranil, which will hang around his neck as a symbol of his lack of judgment, forever. To me Ranil’s finest achievements are the establishment of the independent Commissions for Judiciary, Elections and Police, which are already proven to be critical for the survival of democracy in the current political crisis in Sri Lanka.

  • 0
    2

    Not that I’m a fan of any politician or a party, but this is an extreme biased article only..

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.