2 May, 2024

Blog

සජිත්ගේ ජාත්‍යන්තර ණය සමුළුව

පුණ්‍යා සමරකෝන්

පුණ්‍යා සමරකෝන්

මීට පෙර අවස්ථාවක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී හිඳ සජිත්ගේන්ම ගිනිපෙල්ලෙන් බැට කෑ හරීන් යළිත් සජිත් සමගම කනාමැදිරි සෙල්ලමක් අරඹා ඇත. හරීන් වඩාත් උනන්දු වන්නේ සුදුසු ජනාධිපතිවරයෙක් පත්කරගැනීමට වඩා සුදුසු ආර්යාවක් පත්කරගැනීමට යැයි කොල්ලෝ විහිලුවට කියති. අරමුණ කුමක් වුවත් හරීන් හා සජිත් බැමි පුරා පෝස්ටර් ගසාගනිමින් තනි සටනකට සැරසී ඇත. 

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක තීරණය එන්නත් කලින් එළඹෙන නොවැම්බරයේ තමාගේ දෑත් ශක්තිමත් කරන්නැයි සජිත් ඡන්ද දායකයින්ගෙන් ප්‍රසිද්දියේ ඉල්ලා සිටී. ඒ අතර සජිත් සිය ප්‍රතිපත්ති යැයි සිතිය හැකි කාරණාද ප්‍රසිද්ධ කරමින් සිටී. මැදියම් රාත්‍රිය තෙක් නිදිවරාගෙන සිටීම, පාන්දර අවදිවීම, ජනතා නියෝජිතයින් දුෂ්කරක්‍රියා වලට යොමු කරමින් ඇටසැකිලි බවට පත්කොට ජනතාව පෘෂ්ටිමත් කිරීම, මරණ දඩුවම හිමි වන සියලු දෙනා එල්ලා මැරීම ඒ අතුරින් කිහිපයකි. ඊයේ උතුරට ගොස් ඔහු කීවේ සිය ජාත්‍යන්තර හයිය පෙන්වීමට ණය සමුලුවක් මෙරට පවත්වන බවකි. 

ඉන් ඔහු අදහස් කලේ ලෝකයේ දුප්පත් රටවලට ණය දෙන රටවල් හා සංවිධාන කැඳවා ශ්‍රී ලංකාවේ දුගී බව පෙන්වා තව තවත් ණය ගැනීමට යන බවකි. ඒ ණය මුදල් වලින් උතුරේ ජන ජීවිතය සුඛිත මුදිත කරවන බවද ඇමති සජිත් ප්‍රේමදාස ආඩම්බර ලීලාවෙන් කියා සිටියේය. 

සජිත් ඇමතිවරයා ඊයේ උතුරේදී කියූ ණය සමුළුවේ කතාව සුලුවෙන් තැකිය නොහැකිය. 

2019 දී නිකුත් වූ මහ බැංකු වාර්ථාවට අනුව මෙම වසර තුළ පමණක් ගෙවිය යුතු ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 5.9 කි. ඒ ණය බර නිසාම ආර්ථික සංවර්ධන වේගය 3% කටත් අඩු අගයකට වැටුන බව මහබැංකු අධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ දී පැවති සමුළුවක් අමතමින් පැවසීය. ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ මෙම ප්‍රමාණය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් වසරක් තුළ ගෙවන වැඩිම ණය වාරික මුදල වන බවයි. එම මුදල් ගෙවීම පිණිස දැනට අයකෙරෙන බදු මුදල් වලට අමතර වශයෙන් තවත් රුපියල් බිලියන 3 ක් රජය විසින් උපයාගත යුතු විය. 

2018 වසරේ ජනාධිපති සිරිසේන මහතා අමුතු තාලයකට ආණ්ඩු මාරු කරන්නට යෑමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් වල අඩියටම වැටුනි. එය අලුතෙන් ණය ගැනීමේදී මෙන්ම ණය කාලය දීර්ඝ කරගැනීමකදී පවා රටට ඉතා අයහපත් ලෙස බලපාන්නකි. මේ තත්වය හේතුවෙන් ලබාගන්නා ණය මුදල් සඳහා වඩා වැඩි පිරිවැයක් දැරීමට රටට සිදුවිය. 

ජනාධිපති සිරිසේනගේ සභාපතීත්වයෙන් පවත්වාගෙන යනු ලබන ජාතික ආර්ථික සභාවේ මහලේකම් ලෙස කටයුතු කරන මහාචාර්ය ලලිත් සමරකෝන් පවසන පරිදි ශ්‍රී ලංකාව ගෙවිය යුතු සමස්ථ රාජ්‍ය ණය ප්‍රමාණය ආසන්න වශයෙන් අමෙරිකනු ඩොලර් බිලියන 63 ඉක්මවයි. එය රුපියල් වලට වරනැගූ විට ට්‍රිලියන 11.3 ඉක්මවන අගයකි.

කොළඹදී පැවති ආර්ථික සමුළුවකට එක්වෙමින් මහාචාර්ය සමරකෝන් තවදුරටත් කීවේ ඉදිරි වසර පහ තුළ ගණන් බලා ඇති පරිදි සෑම වසරකම රුපියල් බිලියන පහ බැගින් රාජ්‍ය ණය ගෙවිය යුතුව ඇති බවයි.

අධික විදේශ ණය හා බැඳි අනෙක් කාරණය වන්නේ අයවැය හිගයයි. මෙම හිගය ඉතිහාසයේ වැඩිම අගය වාර්ථා කලේ සජිත් ප්‍රේමදාසගේ පියා වන ආර් ප්‍රෙමදාස පාලන සමයේයි. 1981 දී 19.2% ක් දක්වා ඉහල ගිය අයවැය හිගය අනූව දශකය වන තුරුම සෑම වසරකම පාහේ ඉහලම අගයන් වාර්ථා කලේය. 1994 දී බලයට පත් චන්ද්‍රිකා  ආණ්ඩුවටද මෙම අයවැය හිගය අඩු කරගැනීමට නොහැකි විය. එය 10% ක් දක්වා අඩු වන්නේ 2001 දී ය. මේ වන විට එම ප්‍රතිෂතය 5.5% ක් දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් පහල බැස ඇති අතර 2020 දී එය 3.5% ක් දක්වා අඩුකරගැනීමට අපේක්ෂිතය. එම ඉලක්කය සපුරා නොගෙන රට මුහුණ පා ඇති ණය අර්බුදයට විසඳුම් සෙවීම අපහසුය. 

ඇමති සජිත් ප්‍රේමදාස ණය සමුළුවක් පවත්වා විදේශ ණය ලබාගැනීම ගැන කතාකරන්නේ රටේ මූල්‍ය තත්වය ගැන උකුණු ඔලුවක තරම්වත් දැනුමක් ඇතිව විය නොහැකිය. ණයට අරන් තාවකාලිකව සුඛ විහරණ දෙන්නට කතාකිරීමට තරම් රටේ අනාගත පාලන බලය ඉල්ලන අය අවිචාරශීලී වුවත් ණයට කා බී විඳවන විඳවිල්ල දන්නා ජනතාව ඒ කතා උපහාසයෙන් බැහැර කරන බව මේ ජනතා නියෝජිතයින්ට කවුරුන් හෝ කියා දිය යුතුව ඇත. 

සජිත් පුතා ප්‍රේමදාස තාත්තාගේ පොත් පමණක් නොව රටේ යම් ආර්ථික සමාජීය වශයෙන් සුභවාදී වෙනස්කම් ඇතිකල පාලකයින්ගේ පොත් ද කියවිය යුතුය. ලොකයේ අප වැනි රටවල් දියුනු වීම සඳහා අනුගමනය කළ ආර්ථික උපාය මාර්ග අධ්‍යනය කළ යුතුය. 

ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් සජිත් ආවොත් ඔබ සතුටුදැයි එස් බී දිසානායකගෙන් මාධ්‍ය වේදියෙක් ඇසුවේය. ඊට පිළිතුරු දෙමින් එස් බී සිනාසෙමින් කීවේ, 

අපෝ එයා එනවනං අපි ගොඩක් සතුටුයි. පාරවල් දිගට කොල්ලො ටයර් දාල පිච්චුව හැටි, ගංගාවල තරුණ මළ සිරුරු පා වුන හැටි, වදකාගාර වල විලාප ඇහුණ හැටි, කොල්ලන්ගෙ කන් වලට පරාල ඇන ගහපු හැටි මතක් කරල දෙන්න පුලුවන්නේ කියාය. 

සජිත් ප්‍රේමදාස හැමදාමත් කියන්නේ ආර් ප්‍රේමදාස යුගයක් මේ රටට යළි උදා කිරීම සිය අරමුණ බවයි. ඒත් 2020 දී 80 දශකයේ සිදුවූ ඓතිහාසික වැරදි යළි සිදු වීම පොදු ජන අපේක්ෂාව නොවන බව ඇමති සජිත් ප්‍රේමදාස දත යුතුය.

සජිත්ගේ ජනාධිපති සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් පෙනී සිටින අජිත් පී. පෙරේරා අමාත්‍යවරයා පසුගිය දිනක රූපවාහිණී වැඩසටහනකට එක් විය. එහි  නිවේදකයා සජිත්ගේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍යෙ පෙළ සුදුසුකම් පිළිබඳ අජිත්ගෙන් ප්‍රශ්න කලේය. ඊට පිළිතුරු වශයෙන් ඇමති අජිත් පෙරේරා කීවේ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සාමාන්‍ය පෙළට පෙනී සිටියේ ලන්ඩන් වලදී බවයි. උසස් පෙළද ලන්ඩන් වලදීම කළ බව අජිත් පෙරේරා ඇමතිවරයා වැඩිමනත් වශයෙන් සඳහන් කලේය. එහි ඇත්ත නැත්ත දැන් රටට රහසක් නොවේය. ඒ නිසා නොලියමි. 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.