26 April, 2024

Blog

ඔන්න වාන් ඇරියා…දැන් නාගනිවු!

පුණ්‍යා සමරකෝන්

පුණ්‍යා සමරකෝන්

සිරිසේන …කෝ මේ සිරිසේන… කියල විමල් ඒ කාලෙ කෑ ගහපු හැටි මට නිකමට වගේ මතක් උනා. සිරිසේන නං ඔය ඉන්නෙ හැබැයි කෝ මේ සාස්තර කාරයො ටික? ඡන්ද පවත්වන්නත් කලින්, මැතිවරණ කොමසාරිස්ටත් කලින් සාස්තරෙන් ප්‍රතිඵල​ කියන්න තරං වැඩකාරයොනෙ අපේ රටේ හිටියෙ. ඒත් දැන් මේ දවස් වල එක්කෙනෙක්වත් බෙහෙතකටවත් හොයාගන්න බැරි තරම්. 

2015 ජනාධිපතිවණයෙන් මහින්ද රාජපක්ෂ විශිෂ්ඨ ජයක් ලබනවා කියල කියපු සුමනදාස ජනවාරි අට වෙනිද ඉදලම ආගිය අතක් නැතිඋනා. අවුරුදු දෙකක් එහෙමම තියෙද්දි ජනාධිපතිවරණයකට ගිහින් ඉල්ලං කෑවෙ මොකද කියල මහින්දගෙන් ඇහුවාම එයා කරබාගෙන හිටිය. ඒත් ගොඩක් අය කිවුවෙ සුමනදාසගෙ සාස්තරේ අහල තමයි ලොක්ක ඔය කෙහෙල්මල කරගත්තෙ කියල. ජනාධිපතිවරණයේදී ජනමතය කොහොමද හැසිරෙන්නේ කියල කරපු සමාජ සමීක්ෂණ හැම එකකම ප්‍රතිඵලය හංසයාට වාසිදායක බව කියද්දීත් ඒ සමීක්ෂණ ප්‍රතිඵල අරං ආපු අය එලවගත්ත කියලත් ආරංචි තිබුන. එහෙම අවධානමක් නොසලකා සාස්තර අහගෙන තරග බිමට ආපු මහින්ද නිකන් අපරාදෙ අවුරුදු දෙකකට කලින් ගෙදර ගියා. යන යන තැනට වහින මහා මහින්ද එක්ක පවා සාස්තර කියන්නට බය නැති අපේ කාලයේ අනාවැකි කියන්නන් අද ආගිය අතක් නැත්තේ මොකද ?.

මට දින දෙක තුනකට ඉහතදී අහම්බෙන් මෙන් රූපවාහිණී තිරයේ සුප්‍රසිද්ධ වූ ජ්‍යෝතිශාස්ත්‍රඥයෙක් හමුවුනා. දැන් කවුද ඇත්තටම ආණ්ඩුව පිහිටුවන්නේ කියා මා ඔහුගෙන් ඇසූවිට ඔහු මහ හඩින් සිනා සී කීවේ බුදු අම්මෝ ඒකනං දෙයියො තමයි දන්නේ කියාය. 2015 දී මහින්ද පරදින බව තමා දැන සිටි බවත්, එළිපිට එසේ කීමෙන් ඇතිවිය හැකි ප්‍රශ්න ගැන සිතා පරදින බව නොකී බවත් මා මේ කියන අනාවැකිකරු පවසා තිබුන. දැනුත් සිද්දවෙන දේ දැන දැන නොකියා ඉන්නවාදැයි මම ඔහුගෙන් නැවත ඇසුවා. එවිට ඔහු කීවේ මේ පාරනම් රටේ දේශපාලන හැසිරීම ගැන කිසිම අදහසක් නැති බවයි. මා ඊට හේතු විමසූ විට ඔහු කීවේ, කවුරු ගැන සාස්තර කීවත් ජනාධිපති සිරිසේන ගැන අනාවැකි කියන්න ජගතෙක් මේ මිහිපිට නොවන බවයි. විනාඩි කිහපයක් අපි ඒ කතාවට හිනා උනත් එහි හිනාවට වඩා වැඩි දෙයක් ගැබ්ව ඇති බව මට පසුව කල්පනා විය. 

ඇත්තටම ජනාධිපති සිරිසේනගේ තීන්දු තීරණ ගැන පිටස්තරයෙකුට තබා ඔහුටවත් අනාවැකි කීම පහසු නැත. ඊ ළඟ​ මොහොතේ ඔහු කුමක් කරාවිදැයි ඔහුවත් දන්නේ නැති ගානය. මේ කියන දේ මේ වෙනස් කරන්නේය. කියූ දේ නොකියූවා සේ ඉන්නේය. දන්නා දේ නොදන්නා සේ ඉන්නේය. ඇසෙන දේ නෑසෙනා සේ ඉන්නේය. පෙනෙන දේ නොපෙනෙනා සේ ඉන්නේය, සක්‍රීයව අක්‍රීය සේ ඉන්නේය. එසේ මෙසේ කෙනෙකුට එසේ සිටිය නොහැකිය. ඉතින් ඔහු ගැන සාස්තර කීමට බැරි බව කී මගේ මිත්‍ර ජ්‍යොතිර්වේදියා නිවැරදිය. නිකන් ඉල්ලාගෙන කන්න ඔනෑ නැත.

දවසක් දීපිකා ප්‍රියදර්ශනී ස්වාධීන රූපවාහිනියට ඇගේ ගීත විචාරයක් සදහා පැමිණ ගැයූ ගීයක් මට මතක් විය. ඒ ගීය පෙම්වතෙකු ගැන ලියවුනක් බව ඇය කීවාය. ඒ පෙම්වතා සිරිසේනගේ ජාතියේ අයෙකු යැයි මට සිතේ.

කවිය ඔබ 

කවිය ඔබ 

තුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී 

සිත දෙගිඩියාවෙන් තවම නොලියූ 

කවිය ඔබ 

කවිය ඔබ. 

හාස්‍යයද, ත්‍රාසයද, පිරුණු සිරිසේන චරිතය ගැන චතුරිකාගේ ලියමන රසවත්‍ ය. එත් ඒ පොතේ නොලියවූ තවත් රස කතා තියෙන්නට ඇත. පෙම්වතිය හා බිරිද ලෙස ජයන්ති මහත්මියත් ඔහු ගැන තමාගේ අත්දැකීම් අලලා පොතක් ලියනවානම් මම වඩාත් සතුටුය. එය හුදී පාඨක හදවත් අමන්දානන්දයට පත් කරනවාට සැක නැත. 

සැප්තැම්බර් 26 වෙනිදා සිට රට දෙකට බෙදුනේය. පිරිසක් රටේ උත්තරීතර නීතියේ ගෞරවය ඉල්ලා සටන් කරති. අනෙක් පිරිස ව්‍යවස්ථාවට පිටුපා හෝ මහ මැතිවරණයක් ඉල්ලති. පිරිසක් පිට පිට බහුතරය පෙන්වති. පිරිසක් සුලුතරය තබාගෙන රට කරන බව කියති. පිරිසක් පාර්ලිමේන්තු සභාවට පැමිණ යෝජනා සම්මත කරගනිති, පිරිසක් පාර්ලිමේන්තු කැන්ටිමේ සභා වාර පවත්වති. 225 ක් අත්සන් කලත් රනිල් අගමැති නොකරන බවත්, රනිල් කෙරෙහි හිත මුලුමනින්ම බිඳී ඇති බවත් සිරිසේන ජනාධිපතිවරයා කියයි. ඒ ඔක්කකොම අස්සේ ජනාධිපතිවරයා හදිසියේ පත්කල අගමැති හා ඇමති තනතුරු අත්හිටුවා අධිකරණ තීන්දු එයි. බහුතරය නැතත් අගමැති කං ඇමතිකං නැතත් තමා අතට අහුවුන දේ කටට දාගෙන මිස පසු නොබසින බව මහින්ද කියයි. මේක එකම නාඩගමකි.

දැන් මේ නාඩගමට පුරා මාසයයි දින කිහිපයකුත් ගතවී තිබේ. මේ දින තිහ තුල මහා පෙරළියක් කළ බව සඳහන් කරමින් ඉරිදා පුවත්පත් පිටු පුරා දැන්වීම් ඵල කර තිබුනි. ඒ මහා පෙරළිය මට අනුව මෙසේය.  

සියලු රාජ්‍ය ආයතන මුළුමනින්ම අක්‍රීය වී ගොස්ය. කාගෙ කාගෙත් කිල්ලෝට වලට අවසානයේ වගකියන්න වෙන්නේ රාජ්‍ය සේවකයාට බැවින් ඉල්ලීම් පිට ඉල්ලීම කළත් මොලේ ඇති නිලධාරීහු ඇග බේරාගෙන පාඩුවේ සිටිති. සංචාරක හා ආශ්‍රිත කර්මාන්ත බින්දුවට වැටිලාය. සීසන් එකේ ලාබෙන් අවුරුද්දම දුවන හෝටල් අයිතිකාරයින් ඔලුවේ අතගසාගෙන හූල්ලයි. ව්‍යවසායකයෝ රට හැර යති. රටේ ආර්ථිකය සේදී යමින් පවතී. රුපියල දිනෙන් දින අහසටම නගිති. කොටස් වෙළදපල ගැන කතාකර වැඩක් නැත. අයවැයක් තබා අතුරු සම්මත ගිණුමක්වත් නැත. ලබන වසරේ රාජ්‍ය වියදම් ගැන කිසිම අදහසක් නැත. රටේ ජනතාව බාගයක් මහ පාරේය. ජනාධිපතිවරයා ණය සහන කපනවාද, සම්බාදක​ දමනවාද කියා ජාත්‍යන්තරය සාකච්ඡා අරඹා ඇත. ඇත්තටම ඒක ඇඩ් ගසා පෙන්වීමට තරම් ප්‍රගතියකි.

මේ දින තිහේ මහා පෙරළිය දෙස විමසුම් ඇසින් බලා සිටි රාජ්‍ය නිලදාරියෙක් ජනාධිපති සිරිසේන හමුවී මෙසේ කීවේය. 

සර් දැන්නම් කට ළඟටම​ පිරිල තියෙන්නේ. මේතත්වෙ තවත් වර්ධනය උනොත් පීඩනය දරාගන්න අමාරු වෙනව. ලොකු පිපිරීමක් උනත් වෙන්න පුලුවන්. ජනාධිපතිවරයා ලෙස ඔබතුමා කඩිනම් විසඳුමක් දෙන්න වෙනවා.  

මේ නිළධාරියාගේ පැහැදිළි කිරීම ඉතා හොදින් අසා සිටි ජනාධිපති සිරිසේන හුනස්නෙන් නැගිට්ටේය. සේවකයෙකුට කතා කොට සිය අවුකණනාඩි කුට්ටමත්, තැඹිලි පාට කමිසයත්, පුතා හා බිරිදත් ලෑස්ති කරන ලෙස පැවසීය. ජනාධිපතිවරයා තමන් පැවසූ  පීඩනකාරී තත්වයට ඉතා හොඳ කාලෝචිත විසදුමක් දෙනු ඇතැයි සිතූ නිළධාරියා ස්තුති කොට පිටව ගියේය. 

එදින රාත්‍රියේ වෙනදාටත් වඩා උද්යෝගයෙන් යුතුව රූපවාහිණී ප්‍රවෘත්ති විකාශය නැරඹූ නිළධාරියාට හදිසියේ පුටුවෙන් නැගිටුනේය. කකා සිටි බත් කට උගුරේ හිර උනේය. රූපවාහිණී තිරය මත තැඹිලිපාට කමිසයක් හැද අවුකන්නාඩි පැළද සිටි ජනාධිපතිවරයා වැසිදියෙන් පීඩිතව පැවති ජලාශයක වාන් දොරටු විවෘත කර මහත් සොම්නසින් යුතුව ඒ දෙස බලා සිටියේය.  

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    1

    Funny. Good to see someone seeing a bit of humor in this otherwise sorry saga.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.