26 April, 2024

Blog

බන්දුලගේ ස්වර්ගස්ථ වීම

පුණ්‍යා සමරකෝන්

පුණ්‍යා සමරකෝන්

2015 ජනාධිපතිවරණයේදී රස කතා වලට හොඳටම ප්‍රසිද්ධ වී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධනය. රුපියල් 2500 න් ජීවත් වෙන හැටි ගැන බන්දුල කියූ කතාව අදටත් හිනා යන විහිලුවකි. නුහුරු නුපුරුදු මෝඩි ගේ ඇඳුම ඇඳගෙන හිටපු පොදු අපේක්ෂක මෛත්‍රීපාල හරි අපහසුවෙන් හිටං ඉන්නා හැටි දැක බන්දුල කීවේ කොල්ල කුජීත වෙලා හක්ක පූට්ටු වෙලා විරෝපට්ටං ගහගෙන ඉන්නා බවයි. දැන් යළිත් බන්දුල මන්ත්‍රීතුමාගේ ඒ රස වෑහෙන කතා කරලියට ඇවිත් ඇත. ඒ මැතිවරණයක් හෝ පොදු අපේක්ෂකයෙක් නිසා හෝ නොවේ. ඔහු රට සවාරියක්​ ගොස් ස්වර්ගස්ථ වීමට (සංතෘප්තියට පත්වීමට) යෑමේදී පැපරාසි කැමරාවකට හසුවීම නිසාය. ඒ කැමරාවේ සටහන් වූ බන්දුල මන්ත්‍රීවරයාගේ පෞද්ගලිකත්වය පාස්කු ඉරිදා කලුසුදු රූපරාමු අතරින් රතු කමිසයකින් හා රතු ගවොමකින් සැරසී මූණු පොත් පුරා මතුවන්නට පටන් අරන් ඇත. ඒ රූපරාමු ගැන සමහරු ලියා තිබුනේ කොල්ල කුජීත වෙලා හක්ක පූට්ටු වෙලා ඇති බවකි. තවත් අය රුපියල් දෙදහස් පන්සියයෙන් ජීවත් වීමට උදාහරණයක් ලෙස එම පින්තූර දක්වා තිබුණි. ඒවාට දී ඇති අර්ථ කථන කෙතරම් හාස්‍ය ජනක වුවත් මෙතරම් අස්ථාවර රටක එතරම් අසංවර ව හැසිරීම කිසිඳු මාධ්‍යයක මේ මොහොතේ වගකීම නොවන බව කිව යුතුය. 

රහත් හොඳ නම් බඩත්ගිනි නම් කාටවත් අයිති නැති කෑමක් කෑවම මක් වෙනවාදැයි අයෙකුට ඇසිය හැකිය. මයි කාර් මයි පෙට්‍රොල් කියා කියන්නේද මේ අර්ථයෙනි. මේ හැම කියමනකින්ම රකින්නට උත්සහ කරන්නේ සිය පෞද්ගලිකත්වය පිණිස ඒ ඒ මිනිසාට ඇති පරම අයිතියයි. බන්දුල මන්ත්‍රීවරයා ගැන කියන්නට ඇත්තේද එයමය. එය ඔහුගේ වැඩක් බවය, ඒ ගැන ඔහුගේ පවුලටවත් නැති අමාරුවක් බුකියේ ඇත්තන්ට ඇතිවීම විහිලුවක් බවය. 

රතු ගවුම් කාරිය වනාහී ඇය කියන අන්දමට අධ්‍යාපන විද්‍යාව පිළිබඳව ගෝලීය මට්ටමේ ක්‍රියාකාරිනියකි. ඇය ආචාර්ය බන්දුල සමග වසර ගණනාවක් ඇසුරු කරන බවත් ආචාර්ය බන්දුලගේ නීත්‍යානුකූල බිරිඳ හා දියණියන් සමග ද සමීප සබඳතා පවත්වන බවත් පවසා තිබේ. ඉතින් එවැනි මිතුරියක සමග ඇති ගණුදෙනුවක අපුල කුමක්දැයි නොහැගේ. ඇති එකම ගැටළුවනම් අසම්පූර්ණ යල්පැනගිය ව්‍යාකූල සම්ප්‍රදායන් තුළ මිනිසුන්ගේ නිදහස ගැට ගසා තහනම් ගෙඩි හොරෙන් කෑමට පුරුදු කරන වංක සමාජ සංස්කෘතියයි. 

පාර අයිනේ පෙට්ටි කඩේකින් කඩල ගොට්ටක් මිලට ගෙන එය හප හපා නිදහසේ පාරේ ගමන් කරන මගියෙකු බුක්ති විඳින නිදහස හා ආචාර්ය බන්දුල පිටරටක වීදියක​ තම සිත්ගත් කතකගේ අතින් අල්ලාගෙන දැවිද යාමෙන් ලබන නිදහස අතර වෙනස කුමක්දැයි නොහැගේ. බඩේ ගින්දරට කැමැත්තෙන් කන කෑම ගැන කන මිනිසා මිස බලාසිටින මිනිසා කරදර විය යුතු නැත. යල්පැනතිය කෑම බලෙන් කැවීම, මිල නොගෙවා හොරාට කෑම, වැනි දෙයක්නම් ප්‍රසිද්දියේ විවේචනය කිරීමේ වරදක් නැත. එය යහපත් සමාජයකට මෙන්ම යහපත් සෞඛ්‍යටද හිතකර වන බැවිනි. 

තවත් විදිහකට කියනවානම්, තෙම්පරාදු කළ කැරපොත්තන් ලංකාවේදී පිළිකුල් සහගත වුවද වියට්නාමයේදී ඉතා රසවත් කෑමකි. වියට්නාමයේදී සංචාරකයින් කැරපොත්තන් කෑම ගැන ලංකාවේ මිනිසුන්ට ඔක්කාරය හැදෙන්නේනම් එය ඔවුන්ගේ ප්‍රශ්නයකි. ඒ ඒ සංස්කෘතිය වෙන වෙනම කියවාගැනීම අවශ්‍ය වන්නේ ඒ නිසාය. අපේ අය පුරුද්දට මෙන් හැම දේම එකට හැඳිගාගනිති. හිතේ හෝ ගතේ ප්‍රශ්නයක් තියෙනවානම් එය විසඳාගැනීම විඳවීමට වැඩිය හොඳය. නැතිනම් අන්තවාදී මුස්ලිම් තරුණයින්ට සිදු වුනා මෙන් වෙනත් විනාෂකාරී මාර්ග ඔස්සේ අසහනය එළියට එන්නේය. එය ප්‍රොයිඩ් ඉතා සරලව පැහැදිළිව කියා ඇත. 

මීවිත හා ලිංගික තෘප්තිය ත්‍රස්ථවාදය තුරන් කිරීමේ හොඳම ක්‍රමෝපාය වන බවත් එයින් තෘප්තිමත් වූයේනම් ඉස්ලාම් ත්‍රස්ථවාදය මෙතරම් ව්‍යාප්ත‍ නොවනු ඇති බවත් ලේඛකයාගේ අදහසයි. ඒ නිසා යමෙකු එවන් තෘප්තියක් සොයා යාම ගැන ඉන් විපත්තියට පත්වන හෝ සංතෘප්තියට පත්වන අය පැත්තක සිටියදී අන් අය කලබලවීම වැඩක් නැති වැඩකි. එවැනි වැඩ ගැලපෙන්නේ ලිඳ ලග සංගම්වලටයැයි ගැමියෝ කියති. 

අනෙක් අතට බන්දුල මන්ත්‍රීවරයා පිටරට ගොස් ඇත්තේ සිය පෞද්ගලික මුදලින් පෞද්ගලික අවශ්‍යතාවක් පිණිසය. ඒ මිනිසුන්ටද විවේකය ඕනෑය. බොහෝ අය සිතා සිටින්නේ දේශපාලනය කිරිකොස් කනවා තරම් ලේසි පාසු රාජකාරියක් කියාය. එහි ඇත්ත නැත්ත දන්නේ දේශපාලකයෝමය. විපක්ෂයේ හිඳිමින් දේශපාලනය කරන එක ඊටත් වඩා අමාරුය. විපක්ෂයේ රාජකාරි වඩා සූක්ෂමව කළ යුතුය. පොඩ්ඩ ගැස්සුනොත් සියල්ල අහවරය. බලයේ සිටින ආණ්ඩුව ඇනගන්නා තුරු විමසිල්ලෙන් සිටිය යුතුය. බලයේ සිටින අයට මෙන් රට වැසියා හෝ රටේ අනාගතය කිසිසේත් සැහැල්ලුවට ගත නොහැකිය. ඒ නිසා බලයේ සිටින අයටත් වඩා විපක්ෂයේ සිට දේශපාලනය කරන අයගේ සිත ගත සැහැල්ලුවෙන් තබාගත යුතුය. ඒ පිණිස යම් අසහනයක් වේනම් එය දුරු කරගත යුතුමය. 

සුන්නත් කිරීමට හෝ සුන්නත්දූලි කිරීමට හෝ කැලෑ කැපීමට හෝ ගෙන ආ මුසල්මාන කඩු හදිසියේම එළියට ආපු පුවතක් මීගමුව දෙසින් වාර්ථා වීමත් සමග වහ වහා සියලු සමාජ මාධ්‍ය අවහිර කිරීමට ජනාධිපති සිරිසේන පියවර ගත්තේය. මූණු පොත් පුරා විරෝපට්ටන් ගහගෙන හිටිය බන්දුල මන්ත්‍රීවරයා කෝකටත් තෛලය ලෙස සමාජ මාධ්‍ය තහනම් කරන සිරිසේන ජනාධිපතිවරයාට තමා බුකි කල්ලියෙන් නිදහස් කරගැනීම පිළිබඳ හදපිරි ප්‍රණාමය පළකරන පින්තූරයක් කාගේදෝ මූණුපොතක උදෑසනම පළවී තිබෙන අයුරු දැකගත හැකිවිය. රුපියල් 2000 කින් පිරිමසාගෙන ඉතිරි 500 ට ඩේටා දමාගෙන අනුන්ගේ VPN හරහා රටේ අති බහුතරයක් මූණු පොතට පැමිණෙන බව බන්දුල මන්ත්‍රීතුමා තබා සිරිසේන ජනාධිපති තුමාවත් නොදන්නේය.

ඒ කොහොම උනත් ආචාර්ය බන්දුලගේ අහින්සක සතුට බයිට් කරනවා වෙනුවට මාධ්‍යට කතාකරන්නට දින පතා, සතිපතා අලුත් වන භයානක විහිලු මේ රටේ දැන් ඇත.

පාස්කු ත්‍රස්ථ පහාරය ගැන ලැබුනු බුද්ධි අංශ වාර්ථා පිළිබඳව තමා දැනුවත් නොකිරීම ගැන කිපී ජනාධිපති සිරිසේන විසින් අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති ගෙදර නොයා උසාවි යාමට සැරසීම, ඉස්ලාම් අන්තවාදීන්ට උඩගෙඩි දුන් බව කියන අසාද් සාලි ජනාධිපති සිරිසේන විසින් ආරක්ෂක කවුන්සිලයට කැඳවීම ගැන පැතිරෙන ආරංචි, ඉස්ලාම් ත්‍රස්ථවාදය සමග සෘජු හා වක්‍රව සබඳතා පැවැත්වූ බවට මුස්ලිම් මැති ඇමතිවරුන්ට එල්ලවන චෝදනා විභාග නොකිරීමේ හේතු, රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ආරක්ෂක අංශ භාරයට පත්නොකර සුරක්ෂිතව රටින් පිටමං කිරීම ගැන ඇති ආරංචි, මරාගෙන මැරුණු ත්‍රස්ථවාදියාට අයත් තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් ලෙස පෙනීසිටි ත්‍රස්ථ සැකකරුවන්ට වහා ක්‍රියාත්මක වන පරිදි ඇප ලැබීම පිටුපස ඇති දේශපානය, පුධාන ප්‍රවාහයේ මෙන්ම සියලු ආකාරයේ සමාජ මාධ්‍ය විසින් වහා අවධානය කළ යුතු භයානක විහිලු අතරින් කිහිපයකි. දැන්වත් ඉතින් බන්දුල අතාරිමු. 

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    0

    ඔබේ ලිවීම ලස්සනයි

  • 0
    0

    Good writ up, beautiful

  • 0
    0

    යම් යම් කරුණු නිවැරදි නොවේ.රිෂාඩ් රටින් පිටමංවීමක් සිදු නොවින.තඹ කර්මාන්තශාලාවේ සේවකයන් නිදහස ලැබුවේ එය අයත් පොලිස් නිලධාරීන් විසින් උසාවියට කරුණු දැක්වීමේ දෝෂයක් නිසාය.එබැවින් කරුණු දැක්වීමේදී මධ්‍යස්ථ භාවය සුරකින්න.ඔබගේ ලිවීම අගය කරමි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.