18 July, 2019

Blog

ආපදා අවකළමනාකරණය – අප කවුරුත් එකී අපක්‍රියාවේ කොටස්කරුවෝ ද?

ජනක සෙනෙවිරත්න –

අප්‍රේල් 21 පාස්කු ඉරිදාව මුළු ශ්‍රී ලංකාවටම ඉරණම්කාරී දිනයක් විය. ඒ වනාහී, සාමයෙන් ජීවත් වීමේ අවශ්‍යතාවයෙන් යුත් අති බහුතරයකගේ අයිතීන්, පුද්ගලයන් කිහිප දෙනෙකුගේ තිරිසන් සහජාසයන් විසින් පැහැරගනු ලැබූ දිනයකි. ඒ දුෂ්ට මිනිසුන්ගේ දෘෂ්ටිවාද විග‍්‍රහ කිරීමට මම සුදුස්සෙකු නොවෙමි. මට කිව හැකි එකම දෙය වන්නේ, ඔවුන්ගේ ක‍්‍රියාවන් මගින් ශිෂ්ට මිනිස් චර්යාවන් සහ පිළිගත් සමාජ සාරධර්ම කෙලසා ඇති බව පමණි.

විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් විනාශ විය. ඊට අමතරව, දේපළ විනාශ විය. සංචාරක කර්මාන්තයේ කීර්තිය විනාශ විය. ජන ජීවිතය යථා තත්වයට පත්වීමටත්, ජන ජීවිතය සුරක්ෂිත කිරීමට සහ මේ දිවයිනේ එවැනි විනාශයක් නැවත ඇති නොවන තැනට වගබලා ගැනීමේ හැකියාව ආණ්ඩුවට ඇති බව ප‍්‍රදර්ශනය කිරීමටත් තව වසර ගණනාවක් ගතවනු ඇත.

තමන්ගෙන් සදහට වියෝ වූ ප‍්‍රියයන් පිළිබඳ ශෝකය සහ වේදනාව ඒ මිනිසුන්ට කෙතෙක් දැනෙනු ඇත්දැ යි සිතා ගැනීමත් උගහට ය. මුළු දිවයිනම ඒ ගැන අද හඬා වැලපෙති. මමත් ඔවුන් සමග හඬා වැලපෙමි. ඒ සමගම, මේ සා විනාශයක් ඇති වීම වළක්වා ගැනීමට සහ ඒ විනාශයේ පසු-ඵල විපාක නිසියාකාරයෙන් කළමනාකරණය කර ගැනීමට අසමත් මිනිසුන් ගැනත් මම කෝපයෙන් පසුවෙමි. එය, ආපදා අව-කළමනාකරණයට කියාපු උදාහරණයකි.

ආපදා කළමනාකරණය සහ ප‍්‍රවෘත්ති කළමනාකරණය

ඕනෑම රටක් සහ ඕනෑම පුද්ගලයෙකු හදිසි ආපදාවකට ප‍්‍රතිචාර පෑමට සූදානම්ව සිටිය යුතුය. එය, ජීවිතයේ අනිවාර්ය අංගයකි. ඒ ආපදාව, ස්වාභාවික එකක් විය හැකිය. මිනිසා විසින් ඇති කරගත් එකක් විය හැකිය. ලංකාවේ පොදු ක‍්‍රියාකාරකම් අංශය කෙරෙහි නිති සැලකිල්ලෙන් පසුවන වෘත්තිකයෙකු වශයෙන්, ආපදා කළමනාකරණය ආණ්ඩුවේ ප‍්‍රධාන වැදගත්කමකින් යුත් අංශයක් වශයෙන් ගැනුණු බව මම දනිමි. එහෙත්, යම් හේතුවක් නිසා, දැන් කාලයක සිට, ආපදා කළමනාකරණය පිළිබඳ පුළුල් සහ සංයුක්ත සැලැස්මක් සැකසිය හැකි යෝග්‍යතම ස්වාධීන වෘත්තිකයන් ආණ්ඩුවේ එකී අංශවල සිටින්නේද යන්න ගැන මට තිබුණේ කුකුසකි. එවැනි සැලසුම් හසුරුවනු ලබන ස්ථානවලට ඒ පිළිබඳ විශේෂඥයන් පත්කරනු වෙනුවට, නුසුදුසු පුද්ගයන් දේශපාලනික හේතු මත උපදේශකයන් වශයෙන් පත්කර ඇති අවස්ථා මම දනිමි. ඒ හේතුවෙන්, ඊට සුදුසු විශේෂඥයෝ අද ආසියානු කළාපීය ආපදා කළමනාකරණ සැලසුම් සකස් කිරීම සඳහා විදේශ රටවල් සඳහා සේවය කරමින් සිටිති.

එවැනි සැලසුමක් තමන්ට තිබුණේ යැයි ආණ්ඩුව කියන්නේ නම්, රටේ ජනතාවට සහ විදේශ ප‍්‍රවෘත්ති අංශවලට මේ පිළිබඳ තොරතුරු සපයන, ආණ්ඩුව නියෝජනය කරන තනි ප‍්‍රකාශකයෙකු සිටින බවක් අපට දැනගත හැකි විය යුතුව තිබුණි. ‘ආපදා කළමනාකරණ සැලැස්මක්’ තුළ, ආපදාවට අදාළ දත්ත සහ සත්‍ය තොරතුරු එක්රැුස් කරන, ඒ තොරතුරු සමාජයට මුදා හැරීමට කලින් ඒවා මුදාහැරීමේ කාලීන භාවයත්, ඒවායේ විශ්වසනීය මට්ටමත් සහතික කෙරෙන යාන්ත‍්‍රණයක් ආණ්ඩුවට තිබිය යුතුය. සමාජ මාධ්‍ය ඇතුළු සෑම විද්‍යුත් මාධ්‍යයක් හරහාම විසිහතර පැයේ රටට තොරතුරු සපයන ආණ්ඩුවේ ඒකකයක් තිබිය යුතුය.

එසේ තිබියදී ආණ්ඩුව කෙළේ, වැරදි ප‍්‍රවෘත්ති සමාජගත වීම වැළැක්වීම සහ ජාතිවාදී ප‍්‍රචණ්ඩත්වය පැතිරීම පිළිබඳ බිය හේතු කොටගෙන, සමාජ මාධ්‍ය ජාලා තහනම් කිරීමයි. බොරු ප‍්‍රවෘත්ති පැතිරීම එයින් වැළැකුණේ නැත. ශ‍්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය වාර්තාකරණය මම ඕස්ටේ‍්‍රලියාවේ සිට කිසි බාධාවකින් තොරව ලබා ගතිමි. ඒ ඔස්සේ නොනැවතී තොරතුරු ගලා ආවේය. මෙය, ඩිජිටල් තාක්ෂණයේ යුගයකි. සෑම ඩිජිටල් තොරතුරු දොරටුවක්ම වසා දැමිය නොහැක. තාක්ෂණය පිළිබඳ යම් වැටහීමක් ඇත්තෝ, වසා දැමුණු දොරටු විවර කර ගැනීමට වෙනත් මං සොයා ගනිති. මේ ප‍්‍රහාරය පසුපස සිටි රැුඩිකල් සංවිධාන මගින් දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් කෙරෙන බොරු ප‍්‍රවෘත්ති මුදාහැරීමෙන් වළක්වා ගැනීමට මේ මගින් හැකි වෙතැයි ආණ්ඩුව විශ්වාස කෙළේ ද? ආණ්ඩුව කළ යුතුව තිබුණේ සමාජ මාධ්‍ය නැමැති ප‍්‍රබල අවිය, සැබෑ තොරතුරු සහ දත්ත ආදිය සැපයීම සඳහා තමන්ගේ ප‍්‍රයෝජනයට ගැනීමයි.

එයින් එක දෙයක් සිදු විය. එනම්, රාජ්‍ය අංශයේ වෘත්තිකයන් මොන තරම් අකාර්යක්ෂම ද යන්න එයින් පෙන්නුම් කෙරුණි. දේශපාලඥයන් බොහොමයක් දෙනා මොන තරම් නොමේරූ නූගතුන් ද යන්න එයින් පෙන්නුම් කෙරුණි. සමහර දේශපාලඥයන් හැසිරුණේ ළිං මැඩියන් සේ ය. එක පුද්ගලයෙකු කීවේ මෙය, නවසීලන්තයේ මුස්ලිම් පල්ලියේ සංහාරයට පලිගැනීමක් වශයෙන් සිදු කළ ක‍්‍රියාවක් බවයි. ජනකාන්ත නායිකාවක් වශයෙන් සැලකෙන නවසීලන්තයේ අගමැතිවරිය, එවැනි සම්බන්ධයක් ඇති බවට තමාගේ බුද්ධි අංශ වෙතින් කිසි සාක්ෂියක් නොසැපයෙන බව කියා සිටියාය. ඊළඟට, සියලූ තොරතුරු එක් රැුස් කරගන්නා තෙක් සිටි නවසීලන්ත උපඅගමැතිවරයා, එවැනි සම්බන්ධයක් නැති බව සහතික බවත්, මෙවැනි ප‍්‍රහාරයක් සඳහා, නවසීලන්ත ප‍්‍රහාරයේ සිට ගතවූ කාලයට වඩා වැඩි කාලයක් සහ දීර්ඝ සැලසුම් කිරීමක් අනිවාර්යයෙන් අවශ්‍ය කරන බවත් කියා සිටියේය. තමන්ගේ රටේ සිද්ධියක් සමග ලංකාවේ සිද්ධිය සම්බන්ධ කිරීමට බැලීම බාල වැඩක් බවත්, තමන්ගේ නොහැකියාවන් වසා ගැනීමට වෙනත් රටක සිද්ධියක් මත මෙය බැර කිරීමට ලංකාවේ බලධාරීන් තැතනීම තමන්ට බලා සිටීමට නොහැකි බවත් ඔහු නොවලහා කියා සිටියේය. අපේ දේශපාලඥයන්ගේ සහ නිලධාරීන්ගේ බොළඳ නොමේරු කම ගැන ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අප ලැජ්ජා විය යුතුය.

විදේශ ත‍්‍රස්තවාදී ව්‍යාපාර සමග කටයුතු කොට ආපසු ශ‍්‍රී ලංකාවට පැමිණෙන ත‍්‍රස්තවාදී පුහුණුව ලද පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නීති ලංකාවේ නැතැ යි රටේ අගමැතිවරයා මෑතකදී විදේශ මාධ්‍යවේදියෙකු සමග පැවසීය. එය සැබෑවක්දැ යි මම නොදනිමි. එය සැබෑවක් නම් ඒ තත්වය වහා වෙනස් කළ යුතුව තිබේ. කෙසේ වෙතත්, මගේ ප‍්‍රශ්නය වන්නේ, රටේ අගමැතිවරයා වශයෙන් එවැනි කතාවක් කියා සිටි ඒ ගණනකට නොගත් සැහැල්ලූ ආකාරයයි. ඔහු කිව යුතුව තිබුණේ, වර්තමාන නීති යටතේ එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ අපහසුතාවක් ඇති බවත්, එසේ වුව ද එවැනි පුද්ගලයන් පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවත් ය. මා සතු අල්ප නීති දැනුමෙන් වුව මට එවැනි උත්තරයක් ගැන සිතාගත හැකිය. සමාජ අවශ්‍යතාවන් පිළිබඳව අපේ නායකයන් මොන තරම් ආගන්තුකයන් ද යන්න, ඔවුන්ට සාමාන්‍ය බුද්ධිය නැති කම කොතරම් ද යන්න එයින් මනාව පෙන්නුම් කෙරුණි. තවත් ඉහළ නිලධාරීන් සහ දේශපාලඥයන් මේ ව්‍යසනයෙන් ඇති වූ මරණ සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් ගත් විට හෑල්ලූ කිරීමට උත්සාහ කරනු පෙනුණි. මිනිසෙකුගේ ජීවිතයට ඇති වන හානියක් එසේ හෑල්ලූ කිරීමට තවත් මනුෂ්‍යයෙකුට කෙසේ නම් හැකි වන්නද? මෙය බටහිර ලෝකයේ සමාජ හර පද්ධති සහ අග්නිදිග ආසියාතික ලෝකයේ හර පද්ධති අතර වෙනස කියාපාන්නකි. තවත් දේශපාලඥයෙක්, මේ විනාශය ඇමරිකාවේ 9/11 ප‍්‍රහාරය සමග සන්සන්දනය කොට හෑල්ලූ කිරීමට බැලූවේය. මෙය ශ‍්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබඳ ප‍්‍රශ්නයකි. මිනිසෙකුගේ වටිනාකම මැනෙන්නේ පීඩාවට පත්වන මිනිසාගේ සමාජ තත්වය මත ය.

ලංකාවේ නිතර ඇති වන ජලගැලීම් සහ නායයාම් පිළිබඳ සිද්ධි මීට හොඳ උදාහරණයකි. මේ ආපදා සාමාන්‍යයෙන් ඇති වන්නේ බෑවුම් සහිත ප‍්‍රදේශ ආශ‍්‍රිතව ය. දිළිඳු ජනයා (නීතිකව හෝ අනීතිකව) තම ගෙවල් තනාගන්නේ මෙවැනි තැන්වල ය. මන්ද යත්, නිවාස තැනීමට යෝග්‍ය ඉඩකඩම් ඔවුන්ට නැති නිසා ය. නායයාමක් නිසා මෙවැනි ගම්මාන පොළොවට සමතලා වූ විට එම සිද්ධිය භාවාතිශය සේ මාධ්‍යයේ උලූප්පා දැක්වෙයි. ආණ්ඩුවේ දේශපාලඥයන් සහ බලධාරීන් එය ‘දෙවියන්ගේ ශාපයක්’ වශයෙන් ගෙනහැර පෑමට විටෙක උත්සාහ කරනු පෙනේ. එසේ කරන්නේ, විපතට පත් මිනිසුන් කිසිවක් කරකියාගත නොහැකි දිළින්දන් බැවිනි. සෑම ආණ්ඩුවක් යටතේම මෙවැනි තත්වයන් අප අත්දැක තිබේ. වැඩිම වුණොත් කෙරෙන්නේ, නායයාමට ඉඩ ඇති ස්ථාන පිළිබඳ සිතියම් සකස් කිරීම සහ ඇතැම් ස්ථානවල අනතුරුදායක බව හඳුනාගැනෙන ආම්පන්න සවි කිරීම පමණි. ‘නාගරික සංවර්ධන අධිකාරිය’ සහ ‘ජාතික ගොඩනැගීම් සහ පර්යේෂණ ආයතනය’, නායයාම්වලට ඉඩ ඇති මෙවැනි තැන්වල නිවාස තැනීම තහනම් කළ යුතුව තිබුණු අතර, මීට වසර ගණනාවකට ඉහතදීම ‘සංවර්ධන අනුගත සාරසංග‍්‍රහයක්’ සකසා ගත යුතුව තිබුණි. කෙසේ වෙතත්, මේ වන විට ‘ජාතික ගොඩනැගීම් සහ පර්යේෂණ ආයතනය’ මගින් ‘ඔරොත්තු දීමේ ගතිකත්වයන් පිළිබඳ සංහිතාවක්’ සැකසීමට පටන්ගෙන ඇති බව පෙනෙන්ට තිබේ.

ඈත පෙදෙස්වල ජල ගැලීම්වලදීත් මෙවැනි තත්වයක් දැක ගත හැකිය. 1990 මුල ගණන්වල මා රජයේ සේවයේ නියුතු කාලයේ කොළඹ ප‍්‍රභූ කොටස් විසූ විශාල ප‍්‍රදේශයක් ජල ගැලීම්වලින් යට විය. එය සිදු වුණේ, පොළොව යට ජල මාර්ග පද්ධති ඇහිරීම පිළිබඳ ව්‍යුහාත්මක ප‍්‍රශ්නයක් නිසා ය. මේ පද්ධති ඊට වසර 100 කට ඉහතින් බි‍්‍රතාන්‍ය ඉංජිනේරුවන් විසින් ගොඩනගා තිබුණු අතර ඒවායේ නඩත්තුව නිසියාකාරයෙන් සිද්ධ වී තිබුණේ නැත. එසේම, අවිධිමත් ඉඩම් පරිහරණයත් මේ ප‍්‍රශ්නයට බලපා තිබුණි. ජල මාර්ග ඇහිරෙන ආකාරයෙන් මිනිස්සු ගෙවල් තනාගෙන සිටියෝය. මේ කියන ජල ගැලීමේදී ඉහළ පැලැන්තියේ බොහෝ නිවෙස්වල පහළ තට්ටු වතුරෙන් යට විය. රජයේ ඉහළම පුද්ගලයෙකුගේ ගෙදර පුස්තකාලයත් එයින් විනාශ විය. මා සේවය කළ රාජ්‍ය ආයතනයේ ඉහළ බලධාරීන් වහා ක‍්‍රියාත්මක වූ අතර රජයේ ඉහළ පුද්ගලයන් දිනපතා අපේ අංශයට කතා කිරීමට පටන් ගත්හ. ඊට හේතුව, පීඩාවට පත්ව සිටියේ ඔවුන්ගේ පංතියේ පිරිසක් වීමයි. කෙසේ වෙතත්, එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, කොළඹ නගරයේ යටිබිම් ජල නල පද්ධතිය සංවර්ධනය කර ගැනීම සඳහා විදේශ ආධාරයක් ලබා ගැනුණි. ඉන් පසු සියල්ල විසඳුණි. ලංකාවේ මනුෂ්‍යයන්ගේ වටිනාකම් තීන්දු වන්නේ එලෙස ය.

ඕස්ටේ‍්‍රලියාවේ දේශපාලඥයන් ලංකාවේ විපත ගැන ප‍්‍රතිචාර දැක්වූයේ අවධාරණාත්මක සහ වෘත්තීයමය ආකාරයකිනි. මේ විපතින් මරණයට පත්ව සිටියේ ඕස්ටේ‍්‍රලියානුවන් දෙදෙනෙකු පමණි. ඔවුන් ද ද්විත්ව පුරවැසියන් ය. එහෙත් මුළු ඕස්ටේ‍්‍රලියානු ජනතාවම මේ සිද්ධිය ගැන කම්පාවට පත්වූහ. අගමැතිවරයාත්, විපක්ෂ නායකවරයාත් නැති වූ ජීවිත දෙක කෙරෙහි ඉහළම අගය පැවරූහ. ශ‍්‍රී ලංකාවේ ව්‍යසනය ගැන ඔවුන් දෙන්නාම සමස්ත ඕස්ටේ‍්‍රලියාවට දුන් පණිවිඩය පැහැදිලි ය. සංක්ෂිප්ත ය. මුලින්ම ඔවුන් දෙන්නා මේ ප‍්‍රහාරය කොන්දේසි විරහිතව හෙලාදැක්කෝය. මෙහිදී ශ‍්‍රී ලංකාව සමග තමන් එකට සිටගන්නා බව විවෘතවම කියා සිටියහ. ජාතික රූපවාහිනිය හරහා දිනපතාම දවසට දෙවරක් ලංකාවේ අලූත් තත්වය පිළිබඳ සමාලෝචනයක් ඉදිරිපත් කෙරුණි. අදාළ දත්ත පිළිබඳ නිශ්චය කරගන්නා තෙක් අවසාන නිගමනවලට පැමිණියේ නැත. සියලූ තොරතුරු රටට ගෙනහැර පෑවේ නිල ප‍්‍රකාශකයන් හරහා පමණි. මේ මැයි මාසයේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබුණත්, ඔවුන්ගෙන් කිසිවෙකු මේ සිද්ධිය තමන්ගේ දේශපාලනික වාසි සඳහා ප‍්‍රයෝජනයට ගැනීමට බැලූවේ නැත. ඔවුන්ගේ සන්නිවේදන උපාය මාර්ගය සංවිධිත වු අතර, ජනතාවට තොරතුරු සැපයුවේ ඉහළ වෘත්තිය මට්ටමකිනි. විපතට පත්වූ සාමාජිකයන් දෙන්නාගේ පවුල්වලට අගමැතිවරයා කතා කළ බව ද සැලයි. ඔවුන්ගේ සිත් සනසා ඇති ඔහු, අවශ්‍ය උපකාර කිරීමට ද පොරොන්දු වී තිබේ. ඕස්ටේ‍්‍රලියානු රාජ්‍ය නායකයන් එසේ කරන තෙක් ලංකාවේ දේශපාලඥයන් කිසිවෙකු එසේ විපතට පත්වූවන්ගේ ඥාතීන්ට ආමන්ත‍්‍රණය කොට නොතිබූ බවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප‍්‍රකාශයට පත්විය.

දෙවැනි කොටස ඉදිරියේදී බලාපොරොත්තු වන්න..

*2019 මැයි 8 වැනි දා ‘ඩේලි එෆ්.ටී.‘ පුවත්පතේ පළවූ “Disaster Mismanagement- Are We All Part of the Misdeed?” නැමැති ලිපියේ (පළමු කොටස​) සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.