25 April, 2024

Blog

තිරසාර සාමය ශ‍්‍රී ලංකාවේ අංක එකේ ප‍්‍රමුඛතාවයයි

මනෝ තිත්තවැල්ල

මනෝ තිත්තවැල්ල

මනෝ තිත්තවැල්ල

“තිරසාර සාමය අංක එකේ ප‍්‍රමුඛතාවය වන අතර එය එසේ විය යුතුද වේ. නව රජය, කල්පවත්නා සාමය සහ සංහිඳියාව ආරක්ෂා කිරීමට කැප වන බවට පොරොන්දුවක් ද සමගින් වැඩ භාරගත්තේ, යහපාලනයේ සිද්ධාන්තයන් මත පිහිටා කටයුතු කරන අතරම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ශක්තිමත් කරන බවටත් දිගු කලක් පැවති විපාක නොලැබීම සහ අසමානත්වය අවසන් කරන බවටත් ප‍්‍රතිඥා දෙමිනි.”

සහජීවන යාන්ත‍්‍රණයන් සම්බන්ධීකරණය කිරීමේ මහලේකම් කාර්යාලයේ මහලේකම් මනෝ තිත්තවැල්ල මහතා විසින් ජගත් සංවිධාන මහලේකම් බාන් කී මූන් මහතා සහභාගි වූ උත්සවයකදී කළ කථාව:

ගරු මහ ලේකම්තුමනි, ඔබගේ ප‍්‍රකාශය සහ දිගින් දිගටම ලබාදෙන සහයෝගය වෙනුවෙන් ස්තූතියි.

අරගල ගණනාවකින් සහ හිංසාවේත් විඳවීමේත් ප‍්‍රතිඵලයක් ලෙසින් ගතකළ වසර ගණනාවකින් පසු ශ‍්‍රී ලංකාව සාමයේ අගය හොඳින්ම දනියි. සමහරවිට ප‍්‍රථම වතාවට, අපට එමගින් ස්ථාවරත්වය, බලාපොරොත්තුව සහ අවස්ථාව අතින් සෞභාග්‍යමත් හා සාමකාමී අනාගතයක් පිළිබඳ සිතා බැලිය හැකියි.

තිරසාර සාමය අංක එකේ ප‍්‍රමුඛතාවය වන අතර එය එසේ විය යුතුද වේ. නව රජය, කල්පවත්නා සාමය සහ සංහිඳියාව ආරක්ෂා කිරීමට කැප වන බවට පොරොන්දුවක් ද සමගින් වැඩ භාරගත්තේ, යහපාලනයේ සිද්ධාන්තයන් මත පිහිටා කටයුතු කරන අතරම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ශක්තිමත් කරන බවටත් දිගු කලක් පැවති විපාක නොලැබීම සහ අසමානත්වය අවසන් කරන බවටත් ප‍්‍රතිඥා දෙමිනි.

සංහිඳියා යාන්ත‍්‍රණ සම්බන්ධීකරණය කිරීමේ මහලේකම් කාර්යාලය [Secretariat for Coordinating Reconciliation Mechanisms (SCRM)] පිහිටවූයේ මෙකී ප‍්‍රමුඛතාවයන් ඉදිරියට ගෙන යාම සඳහා ය. එහිදී තරුණ තරුණියන් සහ අරගලයේ වින්දිතයන් ඇතුලූ සිවිල් සමාජය සමගත් පුද්ගලික අංශය සමගත්, ජගත් සංවිධානය සහ සෙසු සංවර්ධන සහකරුවන් සමගත් එසේම ජාතික ආණ්ඩුවේ, පළාත් සභාවල සහ ප‍්‍රාදේශීය සභාවල ශාඛාවන් ගණනාවක් සමගත් අපි සමීප ව වැඩ කරමු.
සැබවින්ම මෙහිදී, අප ජාතික වශයෙන් පෙරමුණ ගෙන කි‍්‍රයාකරන සාමය ගොඩනැංවීමේ ව්‍යායාමයන්හිදී එක්සත් ජාතීන්ගෙන් අපට ලැබෙන සහයෝගය වෙනුවෙන්්, විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සාමය ගොඩනැංවීමේ අරමුදල මගින් ලබාදුන් මෑතකාලීන දායකත්වය වෙනුවෙන් ජගත් සංවිධාන මහලේකම්වරයාට මම ස්තූතිවන්ත වෙමි.

තිරසාර හෙවත් කල් පවත්නා සාමය, සංකීර්ණ මෙන්ම දීර්ඝ කාලීන පරිශ‍්‍රමයක් ද වේ. එහිදී පහත අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුය.

  • බලපෑමට ලක්වූ ප‍්‍රජාවන්ගේ හරයාත්මක දුක්ගැනවිලි එමගින් ආමන්ත‍්‍රණය කිරීම;
  • අතීතය දරාගනිමින් අනාගතය දෙස සුබවාදීව බැලීමටත් බලාපොරොත්තු සහගත වීමටත් මෙම ප‍්‍රජාවන්ට උදව් කිරීම;
  • වාර්ගික සහ ආගමික කණ්ඩායම් අතර විශ්වාසය සහ එකමුතුකම පිළිබඳ හැඟීම ඇතිකිරීම;
  • ජනතාවගේ අවශ්‍යතාවලට ඵලදායී ලෙස, සමාන ලෙස සහ විනිවිදභාවයෙන් යුතුව ප‍්‍රතිචාර දැක්විය හැකි පරිදි ආයතන ශක්තිමත් කිරීම.

ගතවූ මාස කිහිපය තුළ පමණක් මේ සම්බන්ධයෙන් වැදගත් මුලපිරීම් කිහිපයක් ම සිදුකර තිබේ.

මහජන අදහස් ලබාගැනීමේ කාර්ය සාධක බලකාය විසින් රට පුරා ප‍්‍රජාවන් සමග මහජන සාකච්ඡා පැවැත්වූ අතර, ඒවායේ මූලික වාර්තාවන්ගෙන් පෙනී යන්නේ සහයෝගයෙන් වැඩ කිරීමට තිබෙන කැමැත්ත, විශ්වාසය ගොඩනැංවීමේ අවශ්‍යතාවය, ගුණාත්මයෙන් ඉහළ මහජන සේවාවන් ලබාදීම පිළිබඳ කි‍්‍රයාකාරී සැලැස්මක සහ ජීව්‍ය කැපවීමක අවශ්‍යතාවය සහ තිරසාර ජීවනෝපායන් සඳහා අවස්ථා නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයයි.

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සහ නොමැති බවට සහතික නිකුත් කිරීම තුළින් ආණ්ඩුව ඉදිරි පියවර ගෙන තිබේ. රට පුරා විසිරී සිටින පවුල්වලට සිය ආදරණීයයන්ට සිදුවූයේ කුමක්දැයි සොයාගැනීමට හැකිවන යෝග්‍ය ඉදිරි පියවර ද ගෙන තිබේ. හානිපූරණ සහ සත්‍යය සෙවීමේ කොමිෂන් සභා ද ඉදිරියේදී පිහිටුවීමට නියමිත වන අතර, සුදුසු වගවීමේ යාන්ත‍්‍රණයක් ද පිහිටුවනු ඇත.

ඉඩම් නැවත ජනතාවට ලබාදීම තුළින් තවත් පවුල් සිය ගම්බිම් බලා පැමිණීමට සමත් වනු ඇත. තවත් බොහෝ දේ ඉදිරියට කිරීමට සැලසුම් කර තිබේ.

අපකීර්තියට පත්වූ සහ නිතරම වැරදි ලෙස යොදාගැනුණු ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාතික ආරක්ෂාව පිළිබඳ නව පනතක් ගෙන ඒමට නියමිත ය. පාපොච්ඡුාරණ මත පදනම් කර වැරදිකරුවන් කිරීමේ පුරුද්ද වෙනුවට වඩා නූතන, මානුෂික සහ ඵලදායී විමර්ශන පරිචයන් හඳුන්වා දීමට ද නියමිත ය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ප‍්‍රතිසංස්කරණය කිරීමේ කි‍්‍රයාවලිය ආරම්භ වී තිබේ. මෙයින් කල්පවත්නා දේශපාලන ස්ථාවරත්වයක් ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාලය [The Office of National Unity and Reconciliation (ONUR)] තවදුරටත් කි‍්‍රයාත්මක අතර පාසල්, රජයේ නිලධාරීන් සහ ප‍්‍රජාවන් සමග සිදුකරන මුලපිරීම් තුළින් සුහද අවබෝධය හා සමගිය වැඩිදියුණු කිරීම සඳහා එය කටයුතු කරයි.

අවබෝධාත්මක අධ්‍යාපනයක් සඳහා මනෝ සමාජයීය සහයෝගය හා උපකාරයේ තිබෙන තීරණාත්මක වැදගත්කම පිළිගෙන තිබෙන අතර, මෙකී මුලපිරීම්වලට සහාය දෙන සැලසුම් සකස් කර තිබේ.

ස්ත‍්‍රීපුරුෂ සමාජභාවී අසමානතා (gender inequalities) නිවැරදි කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම මෙකී සියලූ සැලසුම්වල හරය තුළ පවතින අතර, ඒවා මගින් ඔවුන්ට යුක්තිය, සාධාරණත්වය සහ සමානාත්මතාවය හිමිවනු ඇත.

සංහිඳියාව සහ අමිහිරි දේ නැවත නැවතත් සිදුනොවීම පිළිබඳ වැඩසටහන් ශ‍්‍රී ලංකාව කැප වී සිටින තිරසාර සංවර්ධන ඉලක්ක ගණනාවක ප‍්‍රගමනයට සහ දියුණුවට හේතු වේ.

මේ, දැනට සිදුකරමින් පවතින වැදගත් කාර්යයන් පිළිබඳ දළ චිත‍්‍රයක් පමණක් වන අතර, තවත් බොහෝ දේ කළ යුතුව ද තිබේ. නමුත් අප නිවැරදි දිශාවට ගමන් කරමින් සිටින බව මට විශ්වාස ය.

මෙහි තිබෙන ඉතාම වැදගත් දෙය වන්නේ තිරසාර සාමය සහ සංහිඳියාව ප‍්‍රවර්ධනය කිරීම ජාතික වගකීමක් සේ අප විසින් දැකීමයි. මෙය ශ‍්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ජීවත් වන සියලූම ජනතාවගේ හදවත සහ මනස ඉල්ලා සිටින කැපවීමකි. මේ සඳහා විශේෂයෙන්ම මෙහි රැුස්ව සිටින සියලූ දෙනාගේ සහයෝගය මම බලාපොරොත්තු වෙමි.

පරිවර්තනය: රදිකා ගුණරත්න

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.