13 August, 2020

Blog

එකමුතුව සඳහා කෙරෙන ආයාචනයයි! අපගේ විශ්ව විද්‍යාලවලින් නවකවදය තුරන් කිරීම සඳහා කෙරෙන ආයාචනයයි!

නවකවදයට එරෙහි විශ්ව විද්‍යාල ගුරුවරුන් –

නවක වදය, එය මර්දනය කිරීමටත් මුලින් උපුටා දැමීමටත් දැරූ  අනේක උත්සහයන් පරාජය කරමින්, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතියේ මුල් වකවානුවේ පටන් පැවතියාක් මෙන්ම අදටද නොවෙනස්ව විවිධ වේශයන්ගෙන් පවතී. මෙහි ආසන්නම ගොදුර වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන පසිඳු හිරුෂාන්‍ ය. මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණික ආයතනයෙහි  ශිෂ්‍යයෙකු වූ ශනිල්ක විජේසිංහ ඔහු තැබූ අවසන් සටහනේ දක්වා තිබූ පරිදි තම ගෙයි පිටුපස ගෙල වැලලාගෙන මියයන්නේ නවක වදයට ලක් වීම හේතුවෙන් ඇති වූ මාන්සික කම්පනය දරා ගැනීමට නොහැකි වූ තැනය. එම වසරේදීම රුහුණු විශ්ව විද්‍යාලයේ දර්ශ උදයන්ග ශිෂ්‍යයා සමාජ මාධ්‍ය භාවිත කරමින් නවක වදය නම් වූ චාරිත්‍ර ක්‍රමයේ කොටසක් ලෙස තමන්ට විඳින්නට සිදු වූ අමානුෂික ලිංගික හා කායික හිංසනය විස්තර කරන්නට විය. මේ හුදෙක් ඉතා මෑත කාලයේදී බොහෝ සෙයින් අවදානයට ලක් වූ වාර්තාවන් හි හමුවන නම්‍ පමණි. ඉන් පෙර රූපා රත්නසීලි (පේරාදෙණිය විශ්ව විද්‍යාලය, 1975), චමින්ද පුන්චිහේව (රුහුණු විශ්ව විද්‍යාලය, 1993), ප්‍රසන්ග නිරෝශන (කෘෂිවිද්‍යා පාසල, අගුණකොළපැලැස්ස, 1997), ස්. වරප්‍රගාශ් (පේරාදෙණිය විශ්ව විද්‍යාලය, 1997), කැළුම් විජේතුංග (හා(ර්)ඩි තාක්ෂාණික ආයතනය, 1997) ඇතුළු තවත් නම් සඳහන් නොවන බොහෝ පිරිසක් මේ කෲරත්වයේ ගොදුරු වී ඇත.

අධ්‍යයන ආයතන සහ විශ්ව විද්‍යාලවල උපසංස්කෘතියක් ලෙස වරදවා හඳුන්වනු ලබන නවකවදය එසේ හැඳින්වීම තුළින් යම් නීත්‍යානුකූලභාවයක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත. නවකවදය සමාජය තුළ සුලබව පවතින අසාධාරණ ධූරාවලියන්ගේ ම කොටසක් වන අතර සමාජයේ මූලික සම්මතයන් අභියෝගයට ලක් කරන ශිෂ්‍ය උපසංස්කෘතියකටත් වඩා  එය සමාජය තුළ ප්‍රමුඛව පවතින ධූරාවලි ආකෘතීන් සහ ඒ තුළින් පැන නැගෙන හිංසනය තුළ ආරක්ෂිතව ක්‍රියාත්මක වන්නකි. සමාජයේ දැනගැනීමට ලක් වන්නේ නවකවදයේ දරුණුතම අවස්ථාවන් පමණක් වන අතර එහි පීඩනය සිසුන් ඇතුළු සමස්ථ විශ්ව විද්‍යාල ප්‍රජාවම විසින් ඔවුන්ගේ එදිනෙදා ජීවිතය තුළ පුළුල්ව අත්විදිනු ලබයි. 

නවකවදය සදාචාර විරෝධීයි, අමානුෂිකයි; තවද එය නීති විරෝධීයි. නවකවදයට භාජනය වීමේ කායික හා චිත්තවේගී කැළැල් සමඟ ජීවත් වන උපාධිදාරීන් සහ වත්මන් සිසුන් ගණන කෙතරම්දැයි කිව නොහැකියි. එක් සිසුන් කණ්ඩායමක් විසින් තවත් සිසුන් කණ්ඩායමකගේ සංචරණය සඳහා ඇති නිදහස සීමා කිරීම (උදාහරණයක් වශයෙන් ආපනශාලාවක් තුළ), බලහත්කාරයෙන් අකමැති දෑ කෑමට සැලැස්වීම, එක්තරා ඇඳුම් පිළිබඳ සම්මතයකට එකඟ වීමට බල කර සිටීම ආදී ක්‍රියාවන් කිසිසේත් අනුමත කළ නොහැක. සහෝදර ශිෂ්‍යයෙක් මතට ටයරයක් අත හැරීම, ශිෂ්‍යයෙකුට වාචිකව අඩත්තේට්ටම් කිරීම පැහැදිලිවම අමානුෂික ය. අන් අයව නවකවදයට භාජනය කරන අයද මෙම මාන්සික හිංසනයේ කොටස් කරුවන් වන අතර, ඔවුන් ද ඒ අමිහිරි කැළැල් සමඟ සැමදා ජීවත් වේ. මෙය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පවතින පහසු ප්‍රතිකර්මයක් නොමැති ව්‍යාධියකි. නමුත් අපි ප්‍රතිකර්මයක් සොයන්නේ, අප මෙම ක්‍රියා පිළිවෙත සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතු නිසා ය. 

පසු ගිය කාලය පුරාවට ආචාර්‍යවරුන් සහ සිසුන් විවිධ අවස්ථාවන් වලදී ඔවුන්ගේ විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක වන නවකවදය විවේචනය කර ඇත, ඊට විරෝධය දක්වා ඇත. යම් ප්‍රගතියක් පෙන්නුවද, මෙම පරිශ්‍රමයන් නවකවද භීතිකාව විශ්ව විද්‍යාලවලින් තුරන් කිරීමට කිසිසේත් ප්‍රමාණවත් නැත. විශ්ව විද්‍යාල නවකවදය දශමයකිනිදු අනුමත නොකරන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු ය. විශ්ව විද්‍යාල පද්ධතියේ අප බොහෝ දෙනෙක් අපගේ ආයතනයන් තුළදී නවකවදය නැවැත්වීම සඳහා මැදිහත් වී ඇතුවාක් මෙන්ම ඉදිරියටද ප්‍රසිද්ධියේ නවකවදය විවේචනය කරනු ඇත. නමුත් අපගේ විශ්ව විද්‍යාල තුළ නවකවදය ක්‍රියාත්මක වන තාක් අප ඊට සාමූහිකව වගකිව යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රගතිශීලී, නිදහස් අධ්‍යාපන පද්ධතියක් තුළ නවකවදයට කිසිදු තැනක් නැත. නවකවදයෙන් නිදහස්වීමට නම්, නවකවදයට සාර්ථක ලෙස ප්‍රතිචාර දැක්විය හැකි ජාතික, සාමූහික ක්‍රියා පිළිවෙතක් සකස් කර ගැනීම සඳහා, විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් ලෙස අප ප්‍රධාන භූමිකාවක් නිරූපණය කළ යුතු ය. 

නීතියේ සහ රජයේ දුර්වලතා

අපගේ ව්‍යවස්ථාවේ 11 වන පනතින් හිංසනයෙන් තොරව ජීවත් වීමේ අයිතිය සහතික කරනු ලබයි. මෙය නියත අයිතියකි. 1998 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වරප්‍රගාශ් ශිෂ්‍යයාගේ මරණයෙන් පසුව නවකවදය තහනම් කිරීමේ පනත බලාත්මකකරන ලද අතර එම වසරේදීම නවකවදය අපරාධ නීතිය යටතේ සැලකීමට පියවර ගැනිනි. මෙම ව්‍යවස්ථාමය සහ නීතිමය වාරණයන් නීතිමය පදනමක් ඇති කර ඇතත්, සිවිල් සහ දේශපාලන සමාජයන්ගේ සහභාගීත්වය අවම වූ  නීති රාමුවක් තුළ එහි ක්‍රියාත්මක කිරීම සීමා සහිත වී ඇත. දේශපාලන පක්ෂ, විශ්ව විද්‍යාල, ශිෂ්‍ය සංවිධාන, දෙමාපියන් සහ මේ හා බැදුනු පොලිටිය මේවා ක්‍රියාත්මකභාවයට ගෙන ඒමට අපොහොසත් විය. එම නිසා පීඩාවට පත්වූ පාර්ශවයන් මෙම පනතෙහි පිහිට පැතීම ඉතාමත් අවම වන්නට විය. මෙම නවකවද විරෝධී පනත බොහෝ දෙනා අතිශය දරුණු එකක් ලෙස දකියි. දූෂනය, තුවාල කිරීම වැනි බරපතල චෝදනා සහ සින්දුවක් කීමට නියෝග කිරීම වැනි සාමාන්‍ය චෝදනා අතර වෙනසක් නොදකිමින් සෑම අවස්ථාවකම එකම ලෙස ක්‍රියාත්මක වීම සහ එහි ඇති දරුණු බව එය ක්‍රියාත්මක නොකිරීමට හේතුවක් කොටගෙන ඇත. නවකවද ප්‍රශ්නයට එරෙහිව දේශපාලනිකව, සමාජීයව සහ ශාස්ත්‍රීයව සටන් කළ යුතු ය. 

ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්ම, විශ්ව විද්‍යාල සහ අධ්‍යාපනය

අප රටෙහි උසස් අධ්‍යාපන මධ්‍යස්ථානයන් ලෙස, විශ්ව විද්‍යාල ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්ම සහ ප්‍රජාතන්ත්‍රීයකරණය සඳහා කැපවී සිටියි, නැතිනම් කැපවිය යුතුයි. මේ සම්බන්ධව අපගේ පළමු අවශ්‍යතාවය වන්නේ නිදහසේ, ප්‍රජාතන්ත්‍රවාදයේ, යුක්තියේ මූල ධර්මයන්ට, එකඟ නොවීමට සහ වෙනස්ව සිටීමට ඇති නිදහසට, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් ප්‍රශ්න කිරීමට ඇති නිදහසට යටත්ව කටයුතු කිරීමට විශ්ව විද්‍යාලවලින් ඉල්ලා සිටීම ය. 

දීර්ඝ කාලයක් පුරාවට සහ කිසිදු අපහසුවකින් තොරව, නවකවදයේ ගැබ් වී ඇති අයුක්තිය අප ප්‍රතික්ෂේප කර ඇත. අප සැමවිටම පෙන්වා සිටියේ අපගේ අසරණභාවයයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේදී විශ්ව විද්‍යාල පද්ධතියට අයත් අප නවකවදය, සියළුම ආකාරයේ හිංසනයන් සහ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාවන් පැහැදිලිවම හෙලා දකින ස්තාවරයක් දැරිය යුතු ය. මෙයට විශ්ව විද්‍යාලයේ තනතුරු සහ ක්‍රියාපිළිවෙත් රාශියක් ඇතුළත් වෙයි. 

විශ්ව විද්‍යාල තනිව, හුදෙකලාව ක්‍රියාත්මක වනවා නොවෙයි. මේවා පුළුල් සමාජයේ සහ අපගේ පුළුල් දේශපාලන සංස්කෘතියේ කොටස කි. විශ්ව විද්‍යාල පවතින්නේ ධුරාවලි සම්බන්ධතා පද්ධතියක් තුළ ය. සිසුන්, ගුරුවරුන් සහ විශ්ව විද්‍යාල බලධාරීන් අතර පවතින සබඳතා නිරූපණය කරන්නේ පුළුල් සමාජයේ පවතින ධුරාවලි මත පදනම් වූ සබඳතාය. කාංසාවන් සහ අනාරක්ෂිතභාවයන්, තරඟකාරීත්වය සහ වෙහෙසකර ජීවිත තරඟය, පංතිය, ස්ත්‍රීපුරුෂභාවය, ජාතිය මත පදනම් වූ වෙනස්කම් කිරීම් සහ බලගැන්වීම්, හැකියාවන්ගෙන් සහ නොහැකියාවන්ගෙන් ඇතුළුව තවත් බොහෝ දෑ නිසා පුළුල් සමාජය පීඩාවට පත් වී ඇත. විශ්ව විද්‍යාල පද්ධතිය ක්‍රියාත්මක වන්නේ මෙම ධූරාවලිය තුළම වන අතර, එම කාංසාවම, එම සමාජ බෙදීමම, එම කොන්කිරීමම ක්‍රියාත්මක‍ කරයි, අත්දකියි. මේවා විශ්ව විද්‍යාල පද්ධතියේ සෑම මට්ටමකම ප්‍රතිනිර්මාණය වී ඇත. නවකවදය යනු විශ්ව විද්‍යාල පද්ධතියට ආවේනික සහ පුළුල් සමාජයෙහි පවතින ධූරාවලීන් මත ක්‍රියාත්මක  විශ්ව විද්‍යාලීය සමාජ සබඳතා වල, සංකීර්ණ අවස්ථාවකි. උදාහරණයක් වශයෙන්, වාග් සහ කායික හිංසනයන්හි ඇති ලිංගික ස්වභාවය සහ කාන්තාවන් සහ ලිංගික සුළුතරයන් වෙනස්කොට සැලකීම ආදිය නිරූපණය කරන්නේ අනෙක් ආයතනයන්වල සහ පුළුල් සමාජයෙහි දක්නට ලැබෙන කොන් කිරීම් සහ වෙනස්කම් කිරීම්‍ ය; ඈත දුෂ්කර ගමක සිට පැමිණ නේවාසිකාගාරයක රෑදී සිටිමින්, නුපුරුදු වූ පරිපාලන සහ ඉගෙනුම් කියාවලියකට මුහුණ දීමට සිදු වන ශිෂ්‍යයෙකු පළමු වසරේදී අතිශයින්ම අනාරක්ෂිත වන්නේ, ඇය මිත්‍රත්වයේ නමින් රැගෙන යන නවකවදයේ පීඩනයට ගොදුරු වී කායිකවත් වාචිකවවත් හිංසනයට ලක් වීමට ඇති ඉඩකඩ පුළුල් කරමින් ය. විශ්ව විද්‍යාල බළධාරීන්, ගුරුවරුන් සහ සිසුන් අතර ඇති සත්‍ය වූ හෝ මවාගත් දුරස්ත බව, අධ්‍යාපනිකව සාර්ථක වීමේ පීඩනය, විශාල සිසුන් පිරිසකට කිසිසේත් ප්‍රමාණවත් නොවන සම්පත්වල හිඟතාවය, පළමු වසරේදී ශිෂ්‍යයෙකු මුහුණ දෙන ඒ සමාජ අසරණභාවයට හේතුවෙයි.

අප ඉදිරියේ ඇති කාර්‍යය

  • නවකවදයට එරෙහි අරගලය විවිධ මට්ටම් වලින් ක්‍රියාත්මක වන්නේ නම් සහ එය විවිධ වූ ආකාරයන්ගෙන් දියත් කෙරේනම්, අපට නවකවදයට එරෙහිව සාර්ථකව සටන් කළ හැක. එසේ කිරීමටනම් සාමාන්‍ය ශිෂ්‍ය සමූහයට විශ්ව විද්‍යාල ඇතුළතින් සහයෝගය මතුවිය යුතු ය. මහා ශිෂ්‍ය සංගමය වැනි විධිමත් ශිෂ්‍ය සංවිධාන විවෘතව සහ අවංකව නවකවදය නැවැත්වීමට කැප විය යුතු ය. විශ්ව විද්‍යාල බලධාරීන්, විශේෂයෙන්ම ඉහළ තලයන්හි සේවයේ නියුතු නිලධාරීන්, දැනට නවකවදය පිළිබඳව කටයුතු කරනා ආකාරයෙහි දැවැන්ත වෙනස්කම් කළ යුතු ය. අපට තව දුරටත් අගතිගාමී ලෙස අපගේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්නන් වී සිටිය නොහැකි යි. ඒ වෙනුවට, තම විශ්ව විද්‍යාල තුළ ඊට කිසි ලෙසකින්වත් ඉඩ නොදෙන ස්ථාවරයක් ඇති කිරීමට අවංකව කැප විය යුතු ය. තමන්ටම අභියෝග කරගන්නා, විශ්ව විද්‍යාලයේ භූමිකාව ප්‍රශ්න කරනා සංස්කෘතියක් බිහි කිරීමෙහි ප්‍රමුඛයන් වන්නේ විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්‍ ය. අප සාකච්ඡා කොට ප්‍රජාතන්ත්‍රවාදී හැසිරීමෙහි මූල ධර්මයන් මත ක්‍රියාත්මක වන පරිසරයක් ගොඩනැගිය යුතු ය. මහජනයාද මෙම සංවාදයට එකතු විය යුතු ය. විශ්ව විද්‍යාල “අප” ලෙසත් මහජනයා “ඔවුන්”ලෙසත් ඇති කරගෙන ඇති සංකල්පය බිඳහෙලිය යුතු ය. පොදුජනයා සහ සිසුන් අතර සහයෝගීත්වයේ හැගීමක් ඇති කළ යුතු අතර, සෑම අංශයක් තුළම මෙම සහයෝගීත්වය ඇති බව තහවුරු කළ යුතු ය.
  • නවකවදය සහ අනෙකුත් විවිධාකාරයේ හිංසනයන්ට අනුබල දෙන ආයතනික ආකෘතීන් සහ සම්මතයන් පිළිබඳව අප අධ්‍යයනය කළ යුතුයි, ගැඹුරින් සිතා බැලිය යුතුයි. එවන් සාකච්ඡාවක් ගොඩනැගිය යුත්තේ අධ්‍යාපනයේ පුළුල් පරමාර්ථ සහ එහි නිරතවන්නන් බලගැන්වීමේ  පරමාර්ථ පෙරදැරි කරගෙනය. එවන් ක්‍රියාවලියක් තුළින්, විශ්ව විද්‍යාලයේ සැමගේ ජීවිත වඩාත් යහපත් කළ හැකි ය.
  • තවද, සිසුන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සලසන, ශිෂ්‍ය පහසුකම් මනාව සපයන, සුදුසු අධ්‍යාපන උපකාර සේවාවන් සහිත, සිසුන්ගේ යහපැවැත්මත්, මාන්සික සෞඛ්‍යයත් පවත්වා ගැනීමට උපකාර කරන ඉගෙනීමට හිතකර පරිසර ගොඩනැගීම සඳහා අවශ්‍ය සම්පත් සැපයිය යුතු ය. එවන් සම්පත් දැනට විශ්ව විද්‍යාල සතුව නැත. නැතිනම් ඇත්තේ ඉතා සීමිතව ය. හිංසනයෙන් තොර හිතකර ඉගෙනුම් පරිසර ගොඩනැගිය යුතු අතර, ගුරු-සිසු සබඳතා අන්‍යෝන්‍ය ගරුත්වය මත පදනම් විය යුතු ය. සෑම සිසුවෙක්ම මෙලෙසින් බලගැන්වූ පරිසරයක් තුළ ඉතා සාර්ථකව ක්‍රියාකරනු ඇති අතර නවකවදයටත්, අනෙකුත් විවිධාකාරයේ හිංසනයන්ටත්/ වෙනස්කම්කිරීම්වලටත් එරෙහිව නැගීසිටීමට ඔවුන්ට විශ්වාසයක් ඇතිවනු ඇත.
  • නවකවදය පිළිබඳ මේ නිහඩ බව අවසන් වන්නේ, දීර්ඝ කාලයක් පුරාවට, ඉතා කලාතුරකින් පුළුල් සහ අවංක සාකච්ඡාවකට බදුන් වූ මෙම මාතෘකාව පිළිබඳව ගුරුවරුන්ටත් සිසුන්ටත්  අදහස් ඉදිරිපත් කළ හැකි සාකච්ඡා, විවාද සහ අනෙකුත් අවස්ථාවන් නිතිපතා පැවැත්වීම තුළින්‍ බව අප අවධාරණය කළ යුතු ය. දැනට පවතින නවකවදය සම්බන්ධ නීතීන්, විමර්ශන සහ අභියාචනා ක්‍රියාවලියන් විනිවිදභාවය හා ස්ථාවරභාවය තහවුරුවන පරිදිත්, පීඩාවට පත් පුද්ගලයන්ට, සාක්ෂිකරුවන්ට සහ සැකකරුවන්ට සාධාරණ ලෙස කඩිනමින් යුක්තිය ඉෂ්ට වන පරිදිත්  විමර්ශනය කොට, වැඩි දියුණු කළ යුතු ය.
  • අපගේ අත්දැකීම්වලට අනුව නම්, නවකවදය පවත්වාගෙන යනු ලබන්නේ දේශපාලන මැදිහත්වීම් තුළින්‍ ය. උපසංස්කෘතිය යැයි කියනු ලබන නවකවදය ඇතැම් අවස්ථාවලදී ප්‍රාදේශීය හා ජාතික මට්ටමින් පක්ෂ දේශපාලනයට සම්බන්ධ ය. විටෙක බලගතු දේශපාලනඥයින්, රජයේ සංස්ථාවන්, බාහිර ශිෂ්‍ය කණ්ඩායම් වැනි බලගතු බාහිර බලවේගයන්, නවකවද ක්‍රියාවලිය සහ ඒ හා සම්බන්ධ විමර්ශනවලට බලපෑම් කරයි. නවකවදයට විරුද්ධ වෙමින් එය තුරන් කර දැමීමට නම්, විශ්ව විද්‍යාල දේශපාලනික මැදිහත්වීම් වලින් නිදහස් වූ දැවැන්ත ආයතනික ස්වාධීනත්වයක් භුක්ති විඳිය යුතු ය. තවද, මහා ශිෂ්‍ය සංගම්වලට සහ අනෙකුත් ශිෂ්‍ය කණ්ඩායම්වලට සම්බන්ධ දේශපාලන පක්ෂ නවකවදය සම්බන්ධව ඔවුන්ගේ අදහස සහ විවේචනය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමටත් එය නැවැත්වීම සඳහා යම් ක්‍රියාමාර්ග ගැනීමටත් සාමූහිකව සහ අවංකව උත්සහ කළ යුතු ය. කෙසේවෙතත් ශිෂ්‍ය දේශපාලනය විශ්ව විද්‍යාල ජීවිතය තුළ අවශ්‍ය බව සඳහන් කළ යුතු ය. සමහරුන් සිතනා පරිදි මෙම ඉල්ලීම කිසිම අයුරකින් ශිෂ්‍ය දේශපාලන ක්‍රියාකාරකම් නැවැත්වීමට නොවේ. අප වෙහෙස විය යුත්තේ සියලු සිසුන්ට කිසිදු බියකින් තොරව තම දේශපාලන මතයන් ප්‍රකාශ කළ හැකි පරිසරයක් ගොඩනැගීම උදෙසාය.

අපි අපගේ විශ්ව විද්‍යාල තුළත් ඉන් පිටතත්, නවකවදය, අනෙකුත් විවිධ හිංසනයන්, අයුක්තිය සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් නිසා පීඩාවට පත් සියළු දෙනා සමඟ එකමුතුව නැගීසිටීමට බලාපොරොත්තු වෙමු.

Signed

Fazeeha Azmi, University of Peradeniya

Priyan Dias, University of Moratuwa 

Kasun Gajasinghe University of Peradeniya 

Camena Guneratne, Open University of Sri Lanka

Farzana Haniffa, University of Colombo

Chulantha Jayawardena, University of Moratuwa

Wijaya Jayatilaka, University of Peradeniya (Rtrd)

Viraji Wathsala Jayaweera, University of Peradeniya

Ahilan Kadirgamar, University of Jaffna

Ranga Kalugampitiya University of Peradeniya

Manikya Kodithuwaku, Open University of Sri Lanka

Ramya Kumar, University of Jaffna

Shamala Kumar, University of Peradeniya

Hasini Lecawasam University of Peradeniya

Sabreena Niles, University of Kelaniya

Arjuna Parakrama, University of Peradeniya

Kaushalya Perera  University of Colombo

Nicola Perera, University of Colombo

Ramesh Ramasamy, University of Peradeniya

Athulasiri Samarakoon, Open University of Sri Lanka

Muttukrishna Sarvananthan, University of Jaffna

Sumathy Sivamohan, University of Peradeniya

Mahendran Thiruvarangan, University of Jaffna

Ramila Usoof, University of Peradeniya

Gayatri Wijekoon, University of Colombo

Piyanjali de Zoysa, University of Colomb

*Please email skumar@agri.pdn.ac.lk if you would like to join and participate in future activity

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.