18 April, 2025

Blog

ඇමති ලාල්කාන්තගේ ප්‍රකාශය හා රිලා වඳුරු වසංගතයට ගත හැකි හොඳම විසඳුම

රාජසිංහ බණ්ඩාර

ආචාර්ය රාජසිංහ බණ්ඩාර

මා මෙම ලිපිය ලියනුයේ අධ්‍යාපනඥයෙකු හා නිදහස් ජනමාධ්‍යවේදියෙකු ලෙස මිස රාජ්‍ය නොවන සංවිධාන “NGO” වල සල්ලි මත යැපෙමින් ප්‍රසිද්ධිය සඳහා මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශ නිකුත් කරන පරිසර වේදියෙකු ලෙස නොවන බව මුලින් ම කිව යුතු ය.

මේ මස 2024 දෙසැම්බර් 5 දින පාර්ලිමේන්තුවේ දී විවාදාත්මක ප්‍රකාශයක් කරමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමති ලාල්කාන්ත මහතාතම වගාවන්ට හානි කරන රිලවුන් සම්බන්ධව තම වගා බිම තුළ ඕනෑ ම පියවරක් ගැනීමට ගොවීන්ට කිසිම නීතිමය බාධකයක් නැතැයි පැවසී ය. මෙම ප්‍රකාශය විකෘති කොට අර්ථ දක්වමින් ඇතැම් පරිසරවේදීන්ලාල්කාන්ත අලි ඇතුන් පවා මරා දැමීමට ගොවීන් උසිගන්වනවා ඇතැයි හැඟෙන ප්‍රකාශ මාධ්‍ය ඉදිරියට පැමිණකළ හැටි රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශවලින් මා නැරඹීමි. එහෙත් ඇමති ලාල්කාන්ත එම ප්‍රකාශය කර තිබුණේ වඳුරන් සහ රිලවුන් පිළිබඳව බව එදින පාර්ලිමේන්තු විවාදයට නැවත සවන් දෙමින් පැහැදිලි ලෙස ම මා වටහා ගතිමි.

ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය රට තුළ ඉතා අර්ථවත් සංවාදයකට මුල පිරී ය. රිලවුන්, වඳුරන් පමණක් නොව අලි ඇතුන්, මොණරුන්, දඬුලේනන් වැනි අනෙක් වන සතුන්ගෙන් ද තම වගාවලට පමණක් නොව ජන ජීවිතයට ද ඇතිව තිබෙන ආක්‍රමණික බලපෑම පිළිබඳව රජය දැනුවත් කිරීමට ඇමතිවරයාගේ ප්‍රකාශය වාන් දොරටු විවෘත කිරීමක් බඳු විය.

වී ගොවියන්ගේ සිට වගාකරුවන් ද, ගැමියන් මෙන්ම නාගරිකයින් ද පන්ති හා ජාති භේදයකින් තොරව පාරට බැස පරිසරවේදීන් ලෙස ලේබල් ගසා ගත් පිරිසට විරෝධය දක්වමින් රජයට බල කර සිටියේ රීලාවඳුරන් ප්‍රමුඛ වන සතුන්ගෙන් තම වගා භෝග හා ජන ජීවිතයට සිදුවී ඇති ව්‍යසනය නතර කිරීමට වහාම පියවර ගන්නා ලෙස ය. මෙම උද්ඝෝෂණයට එකතු වූ පිරිස් අතර පන්සල්වල සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද කැපී පෙනුණි. මේ තුළින් ප්‍රදර්ශනය වූයේ වන සතුන්ගෙන් සිදු වී ඇති ආක්‍රමණික බලපෑම වැළැක්වීමට රජය ගන්නා පියවරවලට පොදු මහජනයාගේ පූර්ණ අනුමැතිය ලැබෙන බව යි. කෙසේ නමුත් රජය ගත යුත්තේ කුමන පියවරක් ද යන්න ගැඹුරින් සිතා බැලිය යුතු ය.

මෙහි දී මා කරන යෝජනා ලෝකයේ බොහෝ රටවල වගාවලට මෙන්ම ජන ජීවිතයට හානි කරන ආක්‍රමණික වන සතුන් පිළිබඳවත් ඔවුන් පාලනය කිරීමට විවිධ රටවල ආණ්ඩු හෝ රාජ්‍යයන් විසින් ගෙන ඇති පියවර ගැනත් ගැඹුරු අධ්‍යයනයකින් පසුව කරණ යෝජනා බව සඳහන් කළ යුතු ය. සමස්තයක් වශයෙන් සැලකූ විට එක් රටක අත්දැකීම තවත් රටකට ඒ සැටියෙන් ම ගැලපීමට නොහැකි ය. ඊට හේතුව එක් රටක ආක්‍රමණික සත්ත්ව විශේෂයක් තවත් රටක කොහෙත්ම දක්නට නැත. (සත්ත්ව උද්‍යාන තුළ හැරුණු විට.) කැන්ගරුවන් හා හාවුන් ඔස්ටේ්‍රලියාවේ වගාවලට කරන හානිය ඉන්දියාවට අත්දැකීමක් නොවන්නේ කැන්ගරුවන් ඕස්ටේ්‍රලියාවට හා නිව්ගිනීවලට (New Guinea) ආවේණික සත්ත්ව විශේෂයක් වීම යි. ඉන්දියාවේ වගාවන් හා ජන ජීවිතයට ප්‍රබලව තර්ජනයක් ඇති කරන වන සතුන් වන්නේ රීලවුන් සහ වඳුරන් ය. ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ බරපතල ම ආක්‍රමික සතුන් වී ඇත්තේ වඳුරන්ට වඩා ප්‍රමාණයෙන් විශාල එහෙත් වඳුරන්ට සමාන බැබුන් (Baboon). මෙම සතුන්ගෙන් වගාවලට හා ජන ජීවිතයට වන හානිය අවම කිරීමට ඒ ඒ රටවල් ගෙන ඇති පියවරයන් ඒ ඒ රටවල් පිළිගන්නා දේශපාලන ක්‍රම, ආගමික විශ්වාස හා සංස්කෘතීන් අනුව වෙනස් වේ.

ඕස්ටේ්‍රලියාවේ වගාවන්ට කැන්ගරුවන්ගෙන්, වොලබීස් හා හාවුන්ගෙන් වන විනාශය අවම කිරීමට දඩයක්කරුවන්ට රජයෙන් විශාල ගෙවීම් කරති. ඔස්ටේ්‍රලියාවේ සංඛ්‍යා ලේඛනවලට අනුව මිලියන 49 ක පමණ කැන්ගරුවන් ජීවත් වෙන අතර එහි වගාවලට කරන විශාලත ම හානිය සිදු කරනුයේ කැන්ගරුවන් විසිනි. හැම වසරක ම මිලියන 1.5 ක පමණ සංඛ්‍යාවක් රජයේ ගෙවීම් ලබන දඩයක්කරුවන් විසින් මරා දමනු ලැබේ. නමුත් රජයේ ඉලක්කය වී ඇත්තේ වසරකට මිලියන 5 ක් මරා දැමීමයි. එසේ මරා දමන කැන්ගරුවන්ගෙන් ඕස්ටේ්‍රලියානු ආණ්ඩුව කැන්ගරු මස් විකිණීමෙන් හා අපනයනය කිරීමෙන් විශාල වෙළඳපොළක් ලබාගෙන ඇත. වාර්තාවලට අනුව ඔස්ටේ්‍රලියානු ඩොලර් මිලියන 200 ක ආදායමක් හැම වසරක ම රජය මගින් උපයා ගනියි.

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා වැනි ප්‍රාන්තවල මෙන්ම දකුණු අප්‍රිකාවේ ද ආණ්ඩු විසින් දඩයක්කරුවන්ට අවශ්‍ය පුහුණුවීම් ඇතුළු සියලු‍ පහසුකම් ලබා දී වගාවලට මෙන්ම ජන ජීවිතයට හානි කරන බැබුන් ඇතුළු තෝරාගත් ආක්‍රමණික වනජීවීන් ලක්ෂ ගණනින් මරා දැමීමට ඒ සඳහා විශේෂ පුහුණුවක් ලැබූ දඩයක්කරුවන්ට මුදල් ගෙවති. ඒ රටවල්වල දේශපාලන ප්‍රතිපත්තීන් හා ක්‍රිස්තියානි ආගමික විශ්වාසයන් අනුව දඩයක්කරුවන්ට නිසි පරිදි එම කටයුතු කරගෙන යාමට ඉඩ ලැබී ඇත. මෙහි දී දඩයක්කරුවන්ට ලැබී ඇති මාර්ගෝපදේශය වී ඇත්තේ අඩු ම වේදනාවකින් අදාළ සත්ත්වයා මැරෙන පරිදි හිසට හෝ පපු පෙදෙසට වෙඩි තැබීමයි.

අසල්වැසි ඉන්දියාවේ මිලියන පනහක පමණ වඳුරුරිළා ජනගහනයක් ජීවත්වන බව ගණන් බලා ඇති අතර ඉන්දියානු ගොවීන්ගේ හා සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට දැඩි ම හානියා කරන වන සතුන් ලෙස හඳුනාගෙන ඇත්තේ වඳුරන් හා රිලවුන් ය. Controlling Monkey Menace නමැති පර්යේෂණ වාර්තාවට අනුව ඉන්දියාවේ ජම්මු (Janmu) ප්‍රදේශයේ පමණක් ගම්මාන 250 ක ගැමියන්ට 2018 වසරේ ඔවුන්ගේ වගාවලට මෙම ආක්‍රමණික රිළා හා වඳුරන්ගෙන් සිදුවී ඇති හානිය ඉන්දියානු රුපියල් මිලියන 330 ක් පමණ බව ගණන් බලා ඇත. එසේ වුව ද ඉන්දියාවේ පවතින හින්දු ආගමික විශ්වාසයන් අනුවහනුමා’ (Hanuman) හින්දු දෙවිවරයකු ලෙස සැලකෙන බැවින් හනුමාට සමාන පෙනුමක් ඇති වඳුරන් මරා දැමීමට මහජන අනුමැතියක් නොලබනවා සේ ම ඉන්දියානු පාර්ලිමේන්තුවේ සිටින හින්දු ආගමික මන්ත්‍රීවරුන්ගෙන් ද අනුමැතියක් ලැබෙන්නේ නැත. ඒ සඳහා ඔවුන්ගේ විසඳුම වී ඇත්තේ රිලවුන් හා වඳුරන් වන්දිකරණයට ලක් කිරීම හෝ පිරිමි සතුන්ගේ වෘෂණ කෝෂ ගලවා දැමීමයි. මෙහි දී හාස්‍යයට කරුණ වන්නේ දෙවියන් ලෙස අදහන සත්ත්වයාගේ වෘෂණ කෝෂ ගලවා දැමීම ස්වර්ගයේ දොරටු විවෘත කරන්නේ ද යන්නයි. මෙය මා දකින්නේ එම සතුන්ට ස්වභාවධර්මයෙන් දී ඇති අයිතිය කුරිරු ලෙස උදුරා ගැනීමක් ලෙසයි.

ඉන්දියාව ගෙන ඇති ඉහත පියවර තුළින් එම රටේ ගොවියන්ට හා සාමාන්‍ය මිනිසුන්ට වන විනාසය තවත් සිය වසකින් හෝ අඩුකර ගැනීමට හැකි වේදැයි සැක සහිත ය. වන්දාධිකරණයට ලක් කරන වැඳිරියන්ට මෙන්ම වෘෂණ කෝෂ ඉවත් කළ වඳුරන්ට ද තවදුරටත් එම හානිය වගාවලට හා ජන ජීවිතවලට කළ හැකි බැවිනි. ලංකාවටත් වඩා බරපතළ උවදුරක් වී ඇති රිලවුන් සහ වඳුරන් මිනිසුන්ගේ වගා බිම්වලට පමණක් නොව ඔවුන්ගේ ජීවිතවල ගැවසෙන වාසය කරන හැම තැනකට ම පැමිණ කෑම මුට්ටි හට්ටි, ගෙවත්තේ වගා කරන එළවළු පලතුරු පමණක් නොව අතේ තිබෙන දේ පවා උදුරාගෙන පැන යයි. ඇතැම් විට රිළවුන් වැනි සතුන්ගේ සපා කෑමට ලක්වන අවස්ථා අනන්ත අප්‍රමාණ ය. සංචාරකයින් ඒ අතර වෙයි.

මෙම සියලු‍ තත්ත්වයන් සැලකිල්ලට ගත් විට කෙටි කාලීන වශයෙන් ලංකා රජය කළ යුතු වන්නේ වෙනත් රටක භාවිත කරන ක්‍රම ලෙසට අප රටේ භාවිත කිරීම වෙනුවට අප රටට උචිතම ක්‍රමය මේ සඳහා භාවිත කිරීමයි. වඳුරුරිළා ගහනය අඩු කිරීමට ඇති සුදුසුම විසඳුම වන්නේ ගම් හා නගර ආක්‍රමණය කර ඇති එම සතුන් ආයුධ පරිහරණය පිළිබඳ නිසි පුහුණුවක් ලැබූ සිවිල් ආරක්ෂක බලකාය, විශේෂ කාර්ය බළකාය හා අවශ්‍ය වුණොත් යුද හමුදාව යොදා මරා දැමීමයි දැමීමයි. ආයුධ පරිහරණය ගැන නිසි පුහුණුවක් ලබා නැති ගොවියන්ට එම බලය පැවරීමෙන් සිදුවන හානිය බෙහෙවින් අනතුරු දායකවීමට ඉඩ ඇත. අඩු ම වේදනාවකින් සතකු මරණයට පත්වන පරිදි වෙඩි තැබිය හැක්කේ නිසි පුහුණුවක් ලැබූ භටයින්ට පමණි. රිලවුන් වඳුරන් අල්ලා වෙනත් දූපත්වලට යැවීම විසඳුමක් නොවේ. අලි ඇතුන්ගෙන් වන හානියට ඇති කෙටි කාලීන විසඳුම වන්නේ ඔවුන් කැලෑවලට පලවා හැරීමත්, ශක්තිමත් අලි වැටවල් ඉදිකිරීමත් විය. දිගුකාලීන විසඳුම් වන්නේ රටේ වන ගහනය වැඩි කිරීමත්, අනවසරයෙන් අලින්ගේ නිජබිම්වල පදිංචි වී සිටින ගැමියන් එම ප්‍රදේශවලින් ඉවත් කොට තට්ටු නිවාස ඉදිකොට ඔවුන් පදිංචි කරවීම . දිගුකාලීන සැලසුම් සකස් කිරීමේ දී රජයේ දැඩි අවධානය යොමු විය යුත්තේ හුදු මිනිසුන් සතුටු කිරීමට වඩා ස්වභාව දහම හා මිනිසා අතර තුලනය රැකෙන පරිදි වන සතුන්ට හා මිනිසාට සහජීවනයෙන් ජීවත් විය හැකි පරිදි සැලසුම් සකස් කොට ක්‍රියාවට නැංවීම කෙරෙහි ය.

අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ ආක්‍රමණික ගම් වැදීමට හා හැසිරීමට මූලිකව වග කිව යුත්තා වන්නේ අපේ රටේ මිනිසුන් හා පැවති දූෂිත දේශපාලන රටාවන් . වන සතුන්ට ජීවත්වීමට තිබූ වනගහනය මිනිසුන් විසින් කොතෙක් අහිමි කොට ඇත්දැයි කිවහොත් මෑත කාලයේ කෙරුණු පර්යේෂණ අනුව අප රටේ වනගහනය මුළු භූමි ප්‍රමාණයෙන් 16 ක් පමණ වෙයි. නිසි සැලැස්මකින් තොරව මිනිසුන් සතුටු කිරීමට කැලෑ ඉඩම් ලබා දීමෙන් හා සංවර්ධන ව්‍යාපෘතිවලට යැයි කියමින් විනාශ කොට ඇති වන ගහනය මහා ජාතික අපරාධයකි.

නව ජන බලයට පත්ව ඇත්තේ මෙම තත්ත්වය වෙනස්කොට නව යුගයක්, තිරසර සංවර්ධනයක් රටට උදා කිරීමට පොරොන්දු දෙමින් . එහි දී සොභාදහමේ සංහිඳියාව රැක ගනිමින් වනසත්ව උවදුරට හා අලි මිනිස් ගැටුමට විසඳුම් ලබා දිය හැක්කේ කෙසේද යන්න ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ අවධානය පිණිස ඉංග්‍රීසි භාෂාවෙන් ලියා 2020 ජූලි 17 දා පළ කළ (Online)  Forgotten Black panther and President Gotabaya’s blind eye on the tragedy of the Wildlife ලිපිය අදටත් වලංගු ය.

පිළිබඳව අමාත්‍ය ලාල්කාන්ත මහතාගේත් නව රජයේත් අවදානය යොමු කරනුයේ බුද්ධිමතුන්ගේ මතයන්ට ගරු කරන නව යුගයක් උදා වී ඇතැයි යන විශ්වාසයෙනි. උතුරු නැගෙනහිර පැවැති තිස් අවුරුදු යුද සමයේ නැවත වනපෙත් බවට පත් වූ, වන සතුන්ට අයිති වන බිම් නැවත විනාස කිරීම වැළැක්වීමට දැඩි පියවර ගැනීම මෙහි දී අතිශයින් වැදගත් වෙයි.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.