
ආචාර්ය රාජසිංහ බණ්ඩාර
“ඉතිහාසය දෙස හැරී බලන මිනිසුන් යම් දිනක පුදුම වනු ඇත්තේ මිනිසුන් කළ වැරදි ගැන නොව දූෂිත පාලකයින් විසින් පමුණුවා ඇති දඬුවම් පිළිබඳව ය.” – ග්‍රීක දාර්ශනික ප්ලේටෝ
අධිකරණය තුළින් සැබෑ යුක්තිය පසිඳලීමට අවශ්‍ය පියවර ගැනීමට අවශ්‍ය පරමාධිපත්‍ය බලය වත්මන් ජනාධිපතිවරයාටත්, ජාතික ජන බලවේග ආණ්ඩුවටත් ජනතාව ලබා දී ඇත. එහි දී ගොඩ ගැසී ඇති නඩු ඉක්මනින් විසඳීමට පියවර ගැනීම පිළිබඳව පමණක් නොව මිනිසත් බව නොහඳුනන අතීතයේ අධිකරණවලින් දී ඇති අයුක්ති සහගත තීන්දු ඉදිරි පරම්පරාවට අත්නොවිඳීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට ද අවශ්‍ය පරමාධිපත්‍යය බලය වත්මන් ආණ්ඩුව සතුව ඇති බැවින් ජනාධිපතිවරයා, අධිකරණ අමැතිවරයා හා සමස්ත ආණ්ඩුවේ අවධානය පිණිස අධිකරණය ගැන මා දන්නා තිත්ත ඇත්ත පිළිබඳව ඇති අත්දැකීම් ජනතා අධිකරණය ඉදිරියේ තැබීමට කැමැත්තෙමි.
අප රට තිස් අවුරුදු ජාතිවාදී යුද්ධයකට ඇද දැමුවේ පාර්ලිමේන්තුව තුළ 5/6 ක බලයක් ලබාගෙන බලයට පැමිණි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ප්රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ය. ද්‍රවිඩ ජනතාවට එරෙහිව ඔහුත්, ආණ්ඩුවත් මිලේච්ඡත්වය මුදා හැරී සැටි එවකට වවුනියාවේ පදිංචිකරුවෙකු ලෙසත්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු ලෙසත්, යාපනයේ සිංහල මහා විද්‍යාලයේ සේවය කළ උපාධිධාරී ගුරුවරයකු ලෙසත් මා ඇසින් දුටුවෙමි.
1977 ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව බලය පිහිටවන විට මා සිටියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙසයි. ඔහු බලය පිහිටුවා වැඩි දිනක් ගතවීමට පෙර රට පුරා ජාතිවාදී කෝලාහල පැන නැගිනි. නුවර නගරය පුරා ද්‍රවිඩ ජාතිකයින්ට අයත්ව තිබූ කඩ කොල්ලකා ගිනි තැබූ සැටි මම දෑසින් දුටුවෙමි. මැරවරයන් අප විශ්ව විද්‍යාලයට පැමිණ ද්‍රවිඩ ශිෂ්‍යයින්ට පහර දීමට සැලැස්මක් ඇතැයි දැනගත් පසුව ශිෂ්‍ය නායකයකු වශයෙන් ක්‍රියාකළ මා ඇතුළු අප ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලයේ බලධාරීන් හා පොලිසිය සමඟ සාකච්ඡා කොට ද්‍රවිඩ ශිෂ්‍යයින් බස්වලින් ආරක්ෂා සහිතව නිවෙස්වලට යැවීමට වැඩපිළිවෙලක් සකස් කලෙමු.
සති අන්තයේ මා වවුනියාවට එන විට දක්නට ලැබුණේ ගිනිගත් නගරයකි. පාරම්පරිකව වවුනියාවේ පදිංචිව සිටි දෙමළ වැසියන්ගේ නිවෙස් ගිනි තබා විනාස කොට තිබුණි. වවුනියාවේ පදිංචි සිංහල ගැමියන් ගමේ පන්සල්වලට කැඳවා මෙම ප්‍රහාරය සංවිධානය කොට තිබුණේ කොළඹ සිට සහචරයන් සමඟ පැමිණි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකරුවකු හා ජේ.ආර්. ජයවර්ධනගේ කිට්ටු හිතවතෙකු වූ හේම බස්නායක ය. මේ සඳහා ඔහු ආරක්ෂක අංශවලින් සහ වවුනියාව පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකගේ සහයෝගය ලබා තිබුණි. සිංහල ගැමියන් නගරයට පහර දීම සඳහා ප්‍රවාහනය කර තිබුණේ ආරක්ෂක අංශවලට අයත් වාහනවල ය.
රට පුරා ඇති වූ මෙවැනි ජාතිවාදී අපරාධ ගැන සොයා බැලීමට පත් කළ සංෂෝනි කොමිසම ඉදිරියේ සත්‍ය හෙළිකිරීමට මාගේ අයියා රූපසිංහ සූදානම්ව සිටින බව දැනගෙන මූලස්ථාන පොලිස් පරීක්ෂක ඔහුට බොරු චෝදනා නගා අත්අඩංගුවට ගත් අතර රැඳවුම් භාරයේ සිටින විට අබිරහස් ලෙස මිය ගියේ ය. අත්අඩංගුවේ සිටියදී පොලීසියෙන් ඔහුට වස දී ඇතැයි පැවසෙන නිර්නාමික ලිපියක් අප නිවසට ලැබිණි. වයස අවුරුදු 26 ක් වූ මගේ අයියාට වයස අවුරුදු 01 ක් හා 02 ක් වන දියණියන් දෙදෙනෙකු විය. මේ කිරි දරුවන් දෙදෙනාට පිය සෙනෙහස සදහටම අහිමි විය.
මාගේ පියා දිස්ත්‍රික්ක කෘෂිකර්ම නිලධාරියෙකු වූ අතර සොහොයුරා එස්.එම්. කුමාරසිංහ ‘ජාතීන් අතර යුක්තිය හා සාමය පිළිබඳ ව්‍යාපාරයේ’ වවුනියා දිස්ත්‍රික්කයේ ලේකම් විය. සෑම ජනවර්ගයකම හිත දිනා රාජකාරි කළ මාගේ පියා දෙමළ භාෂාව ගැන විශාරද දැනුමක් අත්තෙකු විය.
එස්.එම්. කුමාරසිංහගේ ජාතික සමගිය සඳහා කළ කටයුතු නොරිස්සූ වවුනියාව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු සිංහල පොලිස් නිලධාරීන් සිව්දෙනකු මාගේ බාල නැගණියගේ මංගල දිනයේ කුමාරසිංහ වෛද්‍ය මිත්රයින් දෙදෙනෙකු හමුවට ගොස් රාත්‍රියේ වවුනියාව නගරයේ සිට ගෙදර පැමිණෙමින් සිටියදී මග රැක සිට ඔහුට මිලේච්ච ලෙස පහරදී අත්අඩංගුවට ගෙන තිබුණි. පොලිස් අත්අඩංගුව යටතේ ඔහු රෝහල් ගතකර සිටි සැටි පසුදා මා දුටුවෙමි. තුවක්කු කඳන්. හා බැටන් පොලුවලින් ගැසූ පහරවල් මෙන්ම මුහුණට මිට මොළවා ගැසූ පහරවල්වලින් ඔහුගේ තොල් හා ඇස් බැමි පුපුරා ගොස් ලේ පාටින් මුහුණ ඉදිමි තිබෙනු සැටි මා දුටුවෙමි. නීතියෙන් පැය 24 ක් තුළ සැකකරුවකු මහේස්ත්‍රාත්වරයෙක් වෙත ඉදිරිපත් කළ යුතු වුවත් පොලිසිය කළ තුවාලවල බරපතළකම මහේස්ත්රාත්වරයාට නිරීක්ෂණය නොවීමට කුමාරසිංහ මහේස්ත්රාත්වරයාට ඉදිරිපත් නොකොට සති දෙකක රැඳවුම් නියෝගයන් ලබාගෙන යාපනයේ හිරගෙදර රඳවා තැබීය. බීමතින් කඩුවක් රැගෙන පැමිණියා යැයි අභූත චෝදනාවක් පොලිසිය ගොතා තිබුණි. මෙම මිලේච්ඡ ක්‍රියාව තුළින් මාගේ බාල නැගණියගේ මංගල රාත්‍රියේ සතුට විනාශ කොට මුළු පවුලම බලවත් කම්පාවට පත් කර තිබුණි. මේ පිළිබඳව මා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ විට එහි දී සැලකිල්ලට ගෙන තිබුණේ තාක්ෂණික කරුණු පමණකි. මහේස්ත්‍රාත්වරයා සැකකරු නොබලා රිමාන්ඞ් භාරයට පත් කිරීමෙන් මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුට රු.1500 ක වන්දියක් ගෙවන ලෙස නියම කළේය. පොලීසිය කළ අපරාධයේ බරපතලකම සැලකූ විට මෙම වන්දිය මිනිස් සංහතියට නිගා දෙන තුට්ටු දෙකේ වන්දියකි. එසේ වුවද පෙත්සම්කරුට සිදුවී ඇති වදබන්ධන වෛද්‍ය වාර්තාවකින් සනාථ කොට නැති බව ද පැවසිණි. මෙම අවදියේ තුවක්කු ගත් පොලිසියටත් හමුදාවටත් එරෙහිව කටක් හෙල්ලීමට කිසිදු දෙමළ වෛද්‍යවරයෙකු එඩිතර නොවීය. වෙඩි උණ්ඩය ඉදිරියේ යුක්තිය නිහඬය. අප ඇසින් දුටු සාක්ෂි මෙහිදී සැලකිල්ලට ගෙන තිබුණේ නැත.
දෙවනවතාවට මා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරේ 1983 අගෝස්තු මාසයේ වවුනියාවේ ගුවන් හමුදාවේ නිලධාරීන් හා වවුනියාව පොලිසියේ ඇතැම් සිංහල නිලධාරීන් හවුල්ව සිංහල ගැමියන් හවුල් කරගෙන වවුනියා නගරයේ මුස්ලිම් ජාතිකයින්ට අයත් කඩ කොල්ලකෑම පිළිබඳ සැබෑ තොරතුරු මුස්ලිම් ව්‍යාපාරික වින්දිතයින් දැනගෙන ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට සැරසෙන විට එකී අපරාධය වසා දැමීමට ගුවන් හමුදාව හා පොලිසිය ගත් පියවරයන්ගේ ප්‍රතිඵලයක් වශයෙනි. මෙම අපරාධ සිදුවන මොහොතේ වවුනියාව නගර මධ්‍යයේ ඇති සාප්පුවක උඩුමහලේ සිට එවක පාර්ලිමේන්තු මන්ත්‍රී සිදම්බරම් ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයින් සමග බලා සිට ඇතැම් පුද්ගලයින් හැඳින ගෙන මගේ සොයුරු කුමාරසිංහට විස්තර පවසා ඇත. කොල්ලකෑමට භාජනය වූ කඩ හිමි ව්‍යාපාරිකයින් කුමාරසිංහ සොයාගෙන අප නිවසට පැමිණියේ මෙම අපරාධය ගැන ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා දැනුවත් කරන ලෙස ඉල්ලා සිටීමට ය. ඔත්තුකරුවන්ගෙන් ඒ බව දැනගත් ගුවන් හමුදාව පොලිස් බටයින් දෙදෙනෙකු ද සහිතව අප නිවසට පැමිණ කුමාරසිංහටත්, මටත්, දිවා ආහාරය සඳහා මා විසින් ආරාධනය කර තිබූ යාපනයේ දෙමළ මිත්රයින් දෙදෙනකු හා මා සමග සේවය කළ ක්‍රීඩා ගුරුවරයෙකු වූ චන්ද්‍රසේනටත් පහර දී අත්අඩංගුවට ගැනිණි. “මේ ඉන්නේ කොටි” යැයි කියා අප අත්අඩංගුවට ගන්නා විට මා විශ්ව විද්‍යාලයේ අධ්‍යායනය කළ පොත පත ද, විශ්ව විද්‍යාල ශිෂ්‍ය සටන් ගැන ප්‍රසිද්ධ කිරීමට ලියා තිබූ කෘතියේ අත්පිටපත ද, අප්පච්චි කියවීමට ගෙනත් තිබූ දෙමළ ප්රවෘත්ති පත්‍ර ද අත්අඩංගුවට ගැනිණි. ජනතා විමුක්ති පෙරමුණ නිෂ්පාදනය කොට බෙදා හැරී ‘විමුක්ති ගී’කැසට් පටයක් ද ඒ අතර විය.
අත්අඩංගුවට ගත් අප සැමදෙනා ගුවන් හමුදා කඳවුරට ගෙන ගොස් මා හැර අනෙක් සියලුදෙනා පසුදින වවුනියාව පොලිසියට බාර දෙන ලදී. කඳවුරේ අණ දෙන නිලධාරී ඔලිවර් ගුරුගේගේ නියමය පරිදි මා ආරක්ෂිතව නිවසට ගෙනැවිත් දෙමාපියන්ට භාරදුණි. එදා රෑ මා සොහොයුරු කුමාරසිංහ පොලිස් බැරැක්කයට රැගෙන ගොස් ඔහුට මාරාන්තික ලෙස පහරදී තිබුණි. උප පොලිස් පරීක්ෂක ඇන්තනී ඇතුළු පොලිස්කාරයින් හතර පස් දෙනෙක් වට කර කළ මෙම පහර දීමේ දී හතරැස් පුටු කකුල්වලින් ගසා ඔහුගේ දකුණු පාදය දෙකට කඩා තිබුණි. රහස් අවයව පුරා තලපයක් මෙන් සකසා ගත් මිරිස් තවරා තිබුණි. පහර කෑම නිසා සිහි නැතිව වැටුණු පසු ඔහු මා මිත්‍ර ක්‍රීඩා ඇදුරු චන්ද්‍රසේන රැඳවා සිටි පොලිස් සිර මැදිරියට ගෙනත් “තෝ මැරියන්” යැයි කියා දමා ගිය බව ඔහු මා සමග පැවසීය. සිර මැදිරිය තුළ පණ අදිමින් සිටි කුමාරසිංහගේ ඇඟ සීතල වෙමින් යන විට ඔහු මිය යතැයි බය වූ චන්දරේ පොලිසියට කෑ ගසා ඔහු රෝහලට ගෙනයන ලෙස ඉල්ලා සිටි විට එදින රාජකාරියේ නිරත වූ වැදගත් ද්‍රවිඩ පොලිස් නිලධාරියෙකු කුමාරසිංහ වවුනියාව රජයේ රෝහලට ඇතුළු කිරීමට සැලැස්වා තිබුණි. මේ ගැන දැන ගැනීමට ලැබී පසුදා උදෑසන රෝහලට යන විට මට දැක ගැනීමට හැකි වූයේ ඇඟ පුරා තැනින් තැන ලේ තැවරුණු හා කළු පැහැගැසුණු තැලුම් පහරවල්, ලේ පාටින් ඉදිමී තිබුණු මුහුණ, පිපිරී ගිය තොල් සහ ඇහි බැම, බැන්ඩේජ් දමා තිබූ ඔහුගේ කඩා දමා තිබූ පාදය ය. කුමාරසිංහ වයස 28 ක් වූ, අඩි හයක් උසැති, දුටුවන් ආකර්ෂණය කළ ඉතා කඩවසම් තරුණයකු විය. පොලිස් ම්ලේච්ඡෙයින් මෙම රූපය විනාශ කොට තිබිණි
මෙම සිද්ධියෙන් දින කීපයකට පසුව මැදියම් රැය පසු වූ පසු වවුනියාවේ පොලිස් අධිකාරී ආතර් හේරත්ගේ නිල රථයෙන් සිවිල් ඇඳුමින් පැමිණි පොලිස් උප පරීක්ෂක ඇන්ටනී ඇතුළු පොලිස් කාරයින් පිරිසක් අපේ නිවසට පෙට්රෝල් දමා ගිනි තබා තිබුණි. ඒ වන විට මගේ විශ්‍රාමික පියාත්, මවත්, ලොකු නංගීගේ කිරි දරුවාත් ඒ තුළ තද නින්දට වැටී සිට ඇත. ගේ ගිනිගන්නා බව දැන ඇහැරුණු මගේ බාල මල්ලි නාලක මහින්ද අසල්වැසියන්ගේ ආධාර ඇතිව ගින්න නිවා දමා ඇත. මේ දිනයේ මා සිටියේ රාජකාරිය සඳහා ගොස් යාපනයේ ය. පවුලේ සැම භීතියෙන් ඇලලිනි.
ඉහත කී නීති විරෝධී අත්අඩංගුවට ගැනීම, මිලේච්ඡ පහර දීම හා අපගේ නිවසට ගිනි තැබීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය තුළ මා මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව පෙත්සමක් ගොනු කළෙමි. මේ වන විට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ මැර හමුදාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් බිය වද්දා තිබුණි මා විසින් පැවරූ නඩුව අසමින් සිටි එක් විනිසුරුවරයෙකු වූ කොලින් තෝමේ Percy Colin-Thomé විනිශ්චය ආසනය තුළ කලාන්ත වී වැටිණි. ඉන් පසු මෙම නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය වී ඇත්තේ හදිසි නීති බලතල යටතේ රජයේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇතැයි ආරක්ෂක හමුදා සැක කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශයන්ට බලය ඇති බවත් පහරදීම්, තාඩන පීඩනය කිරීම් කිසිවක් සාක්ෂිවලින් ඔප්පු නොවන බවත් ය. එහෙත් ඉහත කී සියලු දේ පිළිබඳ ඇසින් දුටු සාක්ෂි අප ඉදිරිපත් කොට තිබිණි. ගුවන් හමුදාවේ, පොලිසියේ අපරාධ කරුවන්ගේ අපරාධ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දෑස පියා ගන්නේ ඇයි දැයි මා වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥවරයාගෙන් විමසූ විට ඔහු පැවසූවේ “අයිසේ ශ්‍රේෂ්ඨාධිකරණය තියෙන්නේ මේ system එක පවත්වාගෙන යන්න. Even with those obvious evidence they said no evidence to prove. සිද්ධ වෙච්චි වධ බන්ධන පෙනි පෙනිත් කියනව සාක්ෂිවලින් ඔප්පු වෙන්නෑ කියලා.”
මෙම තීන්දුව විවේචනය කරමින් එවකට සිටි අගවිනිසුරු නෙවිල් සමරකෝන්ට ලිපියක් ලිවීමට මා සැරසෙන විට මා මිත්‍ර ආචාර්ය දයාන් ජයතිලක එසේ නොකරන ලෙස උපදෙස් දෙමින් කියා සිටියේ අධිකරණයට අපහාස කළා යැයි චෝදනා කොට මා සිරගත කළ හැකි බවයි. එවිට මා නිහඩවීමි. නීතියෙන් හා අධිකරණයෙන් පිළිසරණක් නොවූ තැන මම සත්‍ය “ඇත්ත’’ පුවත්පත මගින් හෙළි කළේ “සත්‍ය වසාගත් ලෝකය” ශීර්ෂ පාඨය යටතේ ය.
මාගේ ආරාධනාවක් පරිදි දිවා ආහාරය ගැනීමට ගෙදර පැමිණ වද බන්ධනයට හා අත්අඩංගුවට පත් වූ ද්‍රවිඩ මිත්‍රයන් දෙදෙනා සහ ගුරුවරයා නිදහස් කිරීමට වවුනියාව පොලිස් අධිකාරී ආතර් හේරත් එක් අයෙකුගෙන් රු.20000 ක් බැගින් අල්ලස් ලබා ගෙන තිබුණි. 1983 රු.20000 ක වර්තමාන වටිනාකම රු.200000 ක් තරම් වේ. ආතර් හේරත් ත්‍රස්තවාදී මර්දනය කිරීමේ පනත අවභාවිත කරමින් ප්‍රදේශයේ ධනවත් ද්‍රවිඩ ව්‍යාපාරිකයින්ගේ තරුණ දූ දරුවන් ත්රස්තවාදීන් ලෙස අත්අඩංගුවට ගෙන ලක්ෂ ගණනින් පගාව ගෙන නිදහස් කිරීම ව්‍යාපාරයක් කොට ගෙන කෝටි ගණන් මුදල් උපයාගෙන තිබුණි. ඔහු හා එවකට වවුනියාව දිස්ත්‍රික්කයේ දිසා ඇමති වරයෙක්ලෙස ක්‍රියා කළ මැරවරකම්වලට කුප්රකටව සිටි දිසා ඇමතිවරයෙකු වූ මහින්දසෝමගේ කොන්ත්‍රාත්තුවක් මත ගමේ මැරවරයෙකු එවකට 18 වෙනි වියේ පසුවූ මාගේ බාල මල්ලි නාලක මහින්දගේ අත කපා දැමීය. මැරවරයා අත්අඩංගුවට ගෙන සිටින විට ඔහු ආරක්ෂා කරන ලෙස මහින්ද සෝම අනුරාධපුර සිරගෙදර නිලධාරීන්ට දැනුම් දී ඇත. මගේ මෑණියන්ගේ පැමිණිල්ලක් මත මැරවරයා අත්අඩංගුවට ගැනුණ ද නඩුව පවත්වාගෙන යාමට සාක්ෂි නැතැයි විනිශ්චයකාරවරයාට පොලිසියෙන් දැනුම් දී මැරවරයා නිදොස් කොට නිදහස් කර යුද හමුදාවේ සොල්දාදුවෙකු ලෙස බඳවා ගත්තේ ය. එහෙත් මෙම නඩුවට සාක්ෂි දීමට අපරාධය ඇසින් දුටු ගැමියන් කිහිප දෙනෙකු සූදානමින් සිට ඇත.
මහේස්ත්‍රාත්වරයා අඩු තරමින් මාගේ මෑණියන්ව හෝ උසාවියට නොකැඳවා අපරාධය මෙහෙයවූ පොලිසිය කී දේ පමණක් පිළිගෙන අපරාධ කරුවන් නිදහස් කළේ ඇයි?
අත කැපූ මැරවරයා හමුදාවට බඳවා ගැනීම ගැන අම්මා පැමිණිලි කළ විට කියා ඇත්තේ “යුද්ධ කිරීමට අවශ්‍ය ඒ වගේ අයයි. ඉදිරි කාලයේ හිරකාරයොත් ගන්න වෙයි.” කියා ය. එසේ කියා ඇත්තේ යුධ හමුදාවේ සම්බන්ධීකරණ නිලධාරී කර්නල් රත්නායකයි.
මේ පිළිබඳව අධිකරණය ඉදිරියේ අභියෝග කිරීමට මට අවශ්‍ය වුවද ආරක්ෂක අංශ සමග ගැටුමක් ඇතිවී ඇති හෙයින් වවුනියාව ප්‍රදේශයේ ගැවසීම මාගේ ජීවිතයට තර්ජනයක් බව වැදගත් හමුදා නිලධාරීන් කිහිපදෙනකු මට උපදෙස් දුන් බැවින් මා වවුනියාවට යෑමෙන් වැළකී සිටියෙමි. ආතර් හේරත්ට ස්වභාව ධර්මයේ නීතිය ක්‍රියාත්මක වී තිබුණි. PLOTE සංවිධානය විසින් ඔහු ඉලක්ක කොට අටවා තිබූ බෝම්බයකින් ඔහුගේ නිල කාමරය තුළ ඔහු කුඩු පට්ටම් වී ගොස් තිබුණි. එම දින රාජකාරියට ගොස් ඔහු පගාව ගත් සල්ලි ද සාක්කු තුළ තිබී හමුවී ඇත.
මෙම අත්දැකීම්වලින් පසුව අධිකරණයෙන් යුක්තිය සෙවීම ගැන මා තුළ වූ විශ්වාසය බලවත් සේ පළුදු වූ අතර අවසන් වරට ශ්‍රේෂ්ඨාධිකරණය තුළින් යුක්තිය සොයා යාමට මා පෙළඹුණේ ඒකාධිපති පාලනයන් වෙනස් වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත වූ විට ය. ඊට හේතු වූයේ නීති විරෝධී ලෙස ආධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් මා හට නිකුත් කර තිබූ සේවය අත්හැරයාමේ නියෝගයට එරෙහිව මා විසින් මානව හිමිකම් කොමිෂන් සභාවටත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවටත් ඉදිරිපත් කළ අභියාචනා සලකා බැලූ මානව හිමිකම් කොමිෂන් සභාවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් මා නැවත සේවයේ පිහිටුවා 2003.07.11 දින සිට විශ්‍රාම ගැන්වීමට කළ නිර්දේශවලට පටහැනිව අධ්‍යාපන අමාත්‍යාංශයත්, රාජ්‍ය පරිපාලන අමාත්‍ය අංශයත් කටයුතු කිරීම නිසා ය.
1 වෙනි ශ්‍රේණියේ විදුහල්පති ශ්‍රේණි ධාරියකු වූ මා නිදහස් ජනමාධ්‍යවේදියෙකු ද වීමි.
ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ සිටි දූෂිත අධ්‍යාපන ඇමතිවරයකු වූ, තල්ලු කරන යතුරු පැදියක ගිය, රීචඩ් පතිරණ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව සමයේ කෝටි ගණනක සුඛෝපභෝගී නිවසක් රත්මලානෙන් මිලදී ගැනීමට සල්ලි සපයා ගත්තේ කෙසේදැයි රාවය පුවත්පතේ පළවිණි. හිටපු ඇමති එස්.බී. දිසානායකක නුවර තනා ඇති සුඛෝපභෝගී මන්දිරයට සමාන අති සුඛෝපභෝගී නිවාසයක් ඔහු ගාල්ලේ ඉදිකරන විට මාබල් ඇතිරවීමට ගෙනවිත් ඇත්තේ එස්.බී. දිසානායකගේ නිවසේ මාබල් ඇතිර වූ කාර්මිකයින් බව මට දැනගන්නට ලැබුණි. මැරවරයෙකු හා ඝාතකයෙකු වූ ‘චණ්ඩි මල්ලි’ ගැන ඔහු ප්‍රසිද්ධ වේදිකාවල වර්ණනා කළේය.
රිචඩ් පතිරණ ගෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධව රට පුරා උපාධිධාරී ගුරුවරුන් හා විදුහල්පතිවරුන් නැගී සිටියේ ය. මෙම ප්‍රතිසංස්කරණවල අසාර්ථකභාවය පෙන්වා දෙමින් හා ප්රශ්නය විසඳීමට ගතයුතු පලදායී ක්‍රියාමාර්ග මොනවාදැයි පෙන්වා දෙමින් මා ‘දිවයින’ පුවත්පතට ලියූ ලිපිය ගැන උරන වූ ඔහු මා හට මරණ තර්ජනය කළේය. මා පෙන්වා දුන් පරිදිම ගුරු සටන ජයගත්තේ ය. එහෙත් රිචඩ් පතිරණ කළ මරණීය තර්ජන නිසා මා හට පණ බේරා ගැනීමට එංගලන්තයට පැන ඒමට සිදුවිය. කිසිවෙකු විසින් මා ඝාතනය කිරීමට පෙර අපේ අම්මාගේ හා අපේ පවුලේ කඳුළු කතාව මේ මුළු ලෝකයටම කීමට මා අධිෂ්ඨාන කොට සිටියෙමි. මා පොදුරාජ්‍ය මණ්ඩලයේ ජනමාධිවේදීන්ගේ සංගමයේ සාමාජිකයකු වූ බැවින් එම සංගමයේ ප්රවෘත්ති සඟරාවේ ප්‍රධාන කර්තෘ ඩේවිඩ් ස්පාක් David Spark අපගේ කඳුළු කතාව එංගලන්තයේ පළ කළේ ය. කුමාරසිංහ ඔහුගේ දරුවන් සහ බිරිඳ සමඟ ඔවුන්ගේ ආරක්ෂාවපතා එංගලන්තයට ගෙන්වා ගැනීමට මා පියවර ගත්තෙමි.
දේශපාලන තත්ත්වය යහපත් අතට හැරුණ පසු ලංකාවට පැමිණ ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට මා කල්පනා කළේ ප්‍රමාදයකින් තොරව නඩු විසඳාගත හැකි එකම තැන එය යැයි කල්පනා කළ බැවිනි.
එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නඩුව පවරා අවුරුදු තුනකට වැඩි කාලයක් ගත වුව ද යුක්තියක් ඉටුවූයේ නැත. රාජ්‍ය සේවා කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට නියම කර තිබූනේ මා හට නිකුත් කර තිබූ සේවය අත්හැරයාමේ නියෝගය ඉවත්කොට 2003.07.11 දින සිට මා විශ්‍රාම ගන්වා එම දින සිට විදුහල්පති 1 ශ්‍රේණිය නිලයට අදාළ වැටුප් ලබාදෙන ලෙස ය.
එසේ වුවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙනුවෙන් හා අනෙකුත් වග උත්තර කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය කියා සිටියේ මා හට විශ්‍රාම වැටුප ලබා දිය යුත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව එම තීරණය ගත් 2017 දින සිට බවයි. මා හට ලැබීමට නියමිත වසර 14 ක විශ්‍රාමවැටුපක් මෙයින් අහිමි කෙරිනි. මෙම නඩුව විභාගයට ගත් අවසන් දින මා බිරිඳ සමග ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විසඳන අයුරු බැලීමට විනිශ්චය ශාලාවට ගියෙමු. එදින සභාපතිත්වය දැරුවේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ය. මගේ නීතිඥවරයා කී දේ ප්‍රීති පද්මන් සූරසේන කනකට ගත් බවක් පෙනෙන්නට තිබුණේ නැත. එසේ වුවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය කී දේට බෙහෙවින් ඇහුම්කම් දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ විසඳුම අනුමත කරන සැටි බලා සිටියෙමි. මේ තුළින් මා හට ලැබිය යුතු විශ්‍රාම වැටුප 2003 සිට 2017 දක්වා එනම් වසර 14 ක කාලයකට අහිමි කෙරිණි.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය ඉටු නොවූ තැන මා රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න හමුවීමට ගොස් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මාගේ විශ්‍රාම වැටුප් අයිතිය පැහැර හැරීම ගැන පැමිණිලි කොට මා හට යුක්තිය ඉටු කිරීමට ඔහුට හා ආණ්ඩුවට බලය ඇති බව පෙන්වා දෙමින් මා හට යුක්තිය පසිඳලන ලෙස අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්නට භාරදුන් අභියාචනය සමග එංගලන්තයේ පළ කොට තිබූ අප පවුලේ කඳුළු කතාවේ පිටපතක් ද බාර දුනිමි. ඒ සඳහා සුදුසු පියවර ගන්නා ලෙස ඔහු අසල සිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාරට භාර කෙරිණි. එසේ වුවද තවමත් විසඳුමක් ලැබී නැත.
වෘත්තීය ජනමාධ්‍යවල වගකීම විය යුත්තේ ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කිරීමෙන් සමාජ යහපත සඳහා වන සුදුසුම දේ සමාජයටත්, බලය හොබවන්නන්ටත් පෙන්වා දීමය. ජනමාධ්‍යවේදියෙකු හා අධ්‍යාපනඥයෙකු ලෙස මා ඉටු කළේ එම වගකීමයි. ජනපතිදුනි, අධිකරණයෙන් ගත්තේ නිවැරදිම තීරණය යන්න ඔබේ මතය දෙස නැවත හැරී බැලීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි සාධක මාගේ ලිපි දෙකෙහි ගැබ්ව ඇත. අධිකරණය මගින් ජනතාව සිතන පතන යුක්තිය ලබාදෙන්නේ ද යන්න තීරණය කිරීමේ බලය ඇත්තේ රට කරවන ආණ්ඩුවටයි.
ත්‍රස්තවාදී මර්දන පනත, වගකීමෙන් ආරක්ෂා කිරීමේ පනත, හදිසි නීතිය වැනි අනපනත් මගින් අධිකරණ බලය යටපත් කරමින් යුක්තිය ජනතාවගෙන් උදුරා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සමයේ මේ රටේ සිවිල් යුද්ධයන් දෙකක් නිර්මාණය වී දශක ගණනාවක් අප මව්බිම ලෙයින් තෙත් වූ සැටි අමතක කළ යුතු නැත. එවැනි තත්ත්වයක් අප රට තුළ නැවත නිර්මාණය නොවීමට ඔබ රජය විසින් ඉදිරිපත් කොට ඇති ඊට සමාන පනත් ගැන ද ගැඹුරින් සිතා බලන්න. පසු ගිය ආණ්ඩු විසින් කළ අපරාධ කාලයේ වැලිතලාවට යට වීමට ඉඩ නොතබන බවට ඔබ පුන පුනා දෙන ප්‍රතිඥාව අනුව මගේ පවුලට සිදුවූ අපරාධ ගැනත් සොයා බලා අපරාධ කරුවන් නීතිය ඉදිරියට පමුණුවනු ඇතැයි ගෞරවයෙන් අපේක්ෂා කරමි. බරපතළ අපරාධ කරුවන් නීතිය ඉදිරියට පැමිණවීම කාලාවරෝධනයට යටත් නොවේ. ඔබ ජනාධිපතිවරයා ලෙස බලයට පත් වූ පසු රටේ අභිවෘද්ධිය හා යහපත් දේශපාලනයක් පතා පුවත්පත් ලිපි ගණනාවක් පළ කළෙමි. ඉන් එක් ලිපියක මාතෘකාව වූයේ “ජනාධිපති අනුර කුමාර සහෝදරය ඔබ කළ යුතු දේ හා නොකළ යුතු දේ” යන්නයි.
අවසන් වශයෙන් අප රටේ අධිකරණ මගින් හා ගෞරවනීය විනිසුරුවන් විසින් දී ඇති සාධාරණ, ශ්‍රේෂ්ඨ නඩු තීන්දු ගැන මා හිස නමා ගරු කරන බවද මෙහිදී සිහිපත් කරමි.