25 April, 2024

Blog

සත්ව​ හිංසනයෙන් තොර ශ්‍රී ලංකාවකට සත්ව​ සුබ සාධන පනත සම්මත කිරීම

රමේශ් වැරල්ලේගම​  –

රමේශ් වැරල්ලේගම​

ලොව බිහිවන සෑම ජීවියකුටම ඇති පළමු අයිතිය ජීවත්වීමේ අයිතියයි. මිනිසුන්ට මෙන්ම සත්ත්වයන්ට ද එම අයිතිය එක හා සමානය. මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් කොතෙකුත් අණ පනත් නීති රාමු පැනවුව ද සත්ත්වයන්ගේ අයිතින් වෙනුවෙන් එ වැනි අණ පනත් හෝ නීති පැනවෙන්නේ  ඉතා මංදගාමීව ය.

චාලි මේ කතාව නැවත අලුත් කළේය. තිරිසනකු ලෙස ඉපදුනත්, මිනිසුන්ගේ ආදරය කරුණාව දයාව මෛත්‍රිය සමග ජීවත්වීමට සිහින දුටු චාලි, මිනිසුන් ලෙස ඉපදී තිරිසනුන් ලෙස ක්‍රියා කරන මිනිසුන් ගැන පණිවුඩයක් තබා නික්ම ගියේය.

මේ සිදුවීම දැන් නොදන්නා කෙනෙක් නැති තරම්ය. මීගමුව කොප්පරා හංදිය අසල ව්‍යාපාරික නිවසක සුරතලයට ඇති දැඩිවූ චාලි සුනඛයා පසුගිය 31 වැනිදා රාත්‍රියේ ජීවිතය හා මරණය අතර සටනක නියැලුණේ ය . ඒ ස්වභාවිකව ඇති වූ  රෝගී තත්ත්වයකින් නොවේ. 

කිසියම් මිනිස් තිරිසනකු ලැබ්‍රෙඩෝ වර්ගයේ මෙම සුනඛයා ගිනි තබා තිබිණි. භූමිතෙල් ගසා පිළිස්සෙන චාලිට මෙම අවාසනාවන්ත ඉරණමෙන් මිදී පළායාමට හෝ අවස්ථාවක් නොවීය. ඊට හේතු වී තිබුණේ රාත්‍රියේ නිවැසියන් ද  නින්දට ගොස් සිටි නිසා චාලි ගේ කුඩුව වසා තිබීමයි.

චාලි

ගිනි ගන්නා තමන්ගේ සිරුරේ වේදනාව චාලි ට හොදින්ම දැනෙන්ට වද්දී මහ හඩින් කෑ ගැසීම හැර වෙනත් පිළිසරණ පැතීමේ භාෂාවක් චාලි දැන සිටියේ නැත. එන්න එන්න ම චාලිගේ විලාපයෙන් කොප්පරා හංදිය වෙලී ගියේය. චාලි රැක බලා ගත් ව්‍යාපාරිකයා, බිරිද සහ ඇයගේ පුතා නිවසේ දොර විවෘත කර බලන විට සුරතල් චාලිගේ කූඩුව එක ම ගිනි ජාලාවකින් වැසී තිබිණි.

වහා ක්‍රියාත්මක වී චාලිගේ හාම්පුතුන් ගින්න නිවා දැමුව ද ඒ වන විටත් චාලිගේ ශරීරය පුරා පිළිස්සුම් තුවාල ය. ගින්නෙන් පිළිස්සුණු සිරුරේ අභ්‍යන්තරව ගලන වේදනාවන් කියා ගන්නට තරම් හඩඟා කෑ ගසන්නටවත් චාලිට ශක්තියක් තිබුණේ නැත. රාත්‍රි කෑම ලැබුණු පිඟාන පවා ගිනි ගෙන ය.

කොළඹ සත්ත්ව රෝහලකට ගෙනවිත් ප්‍රතිකාර ලබන තෙක් තම පණ නල රැකගත් චාලි මේ නො මිනිස්කම් පිරුණු සමාජයේ තවත් ජීවත්වී පලක් ඇත්දැයි තමන්ම සිහි කර තීන්දුවක් ගත්තා මෙන් පැය කිහිපයක් තුළ මිය ගියේය. 

මිය යාමට පෙර සුරතල් වු චාලි සහ ඇඟ පුරා පිළිසුම් තුවාල මැද ජීවිතයට සුසුම්ලන චාලිගේ වීඩියෝ පට සහ ඡායාරූප සමාජ ජාල කළඹමින් ලොව පුරා විසිරෙන්නට ගත්තේ ඒ අවසරයෙනි.

ගිනි තබා මරා දැමු චාලි, සිය මරණයෙන් සත්ත්ව අවිංසාවාදය නැවත කරළියට ගෙනාවේය.අද නොවේ හෙට බාලගිරි දෝෂය සිහි කැඳ වමින් සත්ත්ව සුබසාධන පණත හමස් පෙට්ටියේ දමා මුණිවත රකින නිලධාරින්, ඇමැතිවරුන් සහ පාලකයන්ගේ දෑස් විවර කරන්නට චාලි යම් හෝ ප්‍රයත්නයක් දැරුවේය.

1907 අංක 13 සත්ත්ව හිංසා වැළැක්වීමේ ආඥාපනත මේ දක්වා සත්ත්වයන්ට ඇති එකම පිළිසරණයි. වසර සියයකට අධික කාලයක් ගතවී ඇතත් අද ට ගැලපෙන ලෙස සත්ත්ව අයිතිවාසිකම් නීතියකට ගෙන ඒමට රටක් ලෙස අප අපොහොසත්වී තිබේ.

2016 ජනවාරි මාසයේ කැබිනට් අනුමැතිය ලැබුණු සත්ව සුබසාධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිප ත්කර සම්මත කර ගැනීමට මේ දක්වා හැකිවී නැත. වන සතුන් ගැන විවිධ අණ පනත් අලුත් වූව ද පොදුවේ සත්ත්වයන් වෙනුවෙන් ගෙන එන සත්ත්ව සුබ සාධන පනතක අවශ්‍යතාවය ගැන රජය සිටිනුයේ නිද්‍රාශීලිව ය.

‘මීගමුවේ චාලි සුනඛයාගේ සිද්ධිය පමණක් නෙමෙයි. පසුගිය කාලය පුරාම සත්ත්ව හිංසන සිද්ධි වර්තා වුණා. අප දිගින් දිගටම සත්ත්ව සුබසාධන පනත පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු යැයි අරගලයක නිරත වන්නෙ ඒ නිසයි.අදටත් ක්‍රියාත්මක වන්නේ  1907 හඳුන්වා  දුන් නීතියක්.. අද රටට ගැලපෙන විධියට මේ නීති අලුත්වන්නට අවශ්‍ය  යි. අප රජයෙන් ඉල්ලා  සිටින්නේ  සත්ත්ව සුබ සාධන පනත හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ සම්මත කර එම අණ පනත් නීතියක් බවට පත් කිරීම’ යැයි සත්ත්ව සුබසාධන හවුලේ කැදවුම්කරු නීතිඥ වොසිතා විජේනායක මහත්මිය පැවැසුවා ය.

ඒ නිසා මීගමුව පොලිසිය මේ වනවිට අදාල සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කර ඇත.. 

මීගමුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යු.පී.එස් ප්‍රියන්ත මහතා ගේ උපදෙස් පරිදි සැරයන් රාජපක්ෂ (31097) සහ කොස්තාපල් ඉන්දික (39304) පරීක්ෂණ පවත්වති.

‘අපි දැනට පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා. නමුත් මේ දක්වා සැකකරුවකු අත්අඩංගුවට ගෙන නැහැ’ යැයි මීගමුව පොලිසියේ නිලධාරියෙක් සලයිකැන් භාරය කළ විමසීමේ දී සදහන් කළේය.

වෙනත් කතා මෙන් චාලිගේ කතාව ද තවත් දවස් ගණනකින් අමතකව යෑම සමාජ යථාර්ථයකි. නමුත් චාලි දුක්ඛිත මරණයකින් මියගියේ අනෙක් සත්ව වර්ගයාට ද නිදහසේ මරණයට හෝ යොමු වීමේ නෛතික අයිතියක් තිබිය යුතු බව පසක් කරමිනි.

මිනිස්සු තිරසනුන් විදියට වැඩ කරන විට අප අසා තිබෙන සුලබ වදන් පෙළක් තිබේ. ඒ බලු වැඩ කරන්න එපා මිනිහෝ යන්නයි. 

නමුත් දිග අදිමින් බාලගිරි දෝෂයට ලක් වූ සත්ව සුබ සාධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මැලිවන රජයේ බලධාරින්, ඇමැතිවරු මෙන්ම පාලකයන් ගැන චාලි දැන් සිටින තැනකට වී කල්පනා කරනවා විය හැක. 

බලු වැඩ කරන්න එපා මිනිහෝ යැයි චාලි තිරිසන් මිනිස්සු සිහිපත් කරමින් නො කියවනවා නම් පුදුම ය. 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.