20 March, 2019

Blog

‘ගින්නෙන් උපන් සීතල’ – කලාව සහ දේශපාලන යථාර්තය

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය සහ ඔවුන්ගේ දේශපාලන කතිකාවතේ අඩංගු වන ආවේණික සීමාවන් සම්බන්ධව විවිධ මතිමතාන්තර පවතී. විශේෂයෙන්ම රෝහණ විජේවීර සහෝදරයාගේ දේශපාලනය සහ ඔහුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවතින බොහෝ මතිමතාන්තරවල එකිනෙකට වෙනස් වෘත්තාන්ත පවතී. එවැනි වාතාවරණයක් තුල ‘ගින්නෙන් උපන් සීතල’ වැනි සිනමා කෘතියක් නිෂ්පාදනය කරන්නට ඉදිරිපත් වීමම පවා ප්‍රශංසාවට සහ අගය කිරීමට ලක් විය යුතු කාරණයක් වෙයි.

‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය 2018 ඔස්කාර් සම්මාන උළෙලේ ‘හොඳම චිත්‍රපටය’ ලෙස ද නිර්දේශ වී තිබුණි. ඉදිරියේ දී මෙම චිත්‍රපටය ඔස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය කරනවා ඇත. එබැවින් චිත්‍රපටය පිළිබඳව මට මෙතෙක් කියවන්නට ලැබී ඇති මූලාශ්‍රවල සඳහන් තොරතුරු මත මේ ලිපිය පදනම් වෙයි. මෙම චිත්‍රපටය හඳුන්වා දී ඇත්තේ “කාලයේ ගින්නෙන් පන්නරය ලැබූ ඒ යකඩ මිනිසුන්ගේ කථාව” යනුවෙනි. මෙම චිත්‍රපටයේ සංකල්පය රචනා කළ ආරියවංශ ධම්මගේ සහ එය අධ්‍යක්ෂණය කළ අනුරුද්ධ ජයසිංහ යන සහෝදරවරු විසින් ඉදිරිපත් කොට ඇති තොරතුරුවලට අනුව මෙම කෘතියේ නිර්මාණය වසර කිහිපයක අත් දැකීම්වල මෙන්ම ඒ අර්බුදකාරී කාල පරිච්ඡේදය පිළිබඳව කරන ලද අධ්‍යයනයක ද ප්‍රතිඵලයක් වේ.

රැඩිකල් ව්‍යාපෘති වෙනුවෙන් පෙනී සිටින නිර්මාණ කරුවන් වැඩි දෙනෙක් විප්ලවකාරී දේශපාලනයේ යෙදෙන අය නොවේ. එසේම විකල්ප දේශපාලනයේ නියැලෙන බොහෝ දෙනෙකුට රැඩිකල් කලා  නිර්මාණ සම්බන්ධයෙන් ඇත්තේ අල්ප අවබෝධයකි. පර්යේෂණාත්මක අධ්‍යයනයන් මත පදනම් වෙමින් කලාත්මක නිර්මාණයේ යෙදෙන්නට උත්සාහ කිරීම් දේශපාලනයට සම්බන්ධ වැඩි දෙනෙකුගෙන් බලාපොරොත්තු විය හැකි දෙයක් නොවේ.

ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය ව්‍යාපාරය සමඟ සම්බන්ධ වී සිටි අධ්‍යක්ෂකවරයා ‘ඉතාම හොඳින් මෙම නිර්මාණය ඉදිරිපත් කිරීමේ වුවමනාවක්’ පැවති බවට කර ඇති ප්‍රකාශයෙන් පෙනෙන්නේ ඔහු සම්ප්‍රදායයෙන් බැහැර වන බව යි. මේ කලා කෘතිය නිර්මාණය කිරීම සඳහා රෝහණ සහෝදරයා යටි බිම් ගතව සිටි කාලය තුල ඔහු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් ද දේශපාලන සගයන් ද හමු වී සාකච්ඡා කළ බවත් ඔවුන්ගේ සහාය ලැබූ බවත් ඔවුන්ගේ මඟ පෙන්වීම අනුව කටයුතු කළ බවත්, ඔවුන් විසින් “නිවැරැදි කර ගත යුතු තැන් පෙන්වා දෙන” ලද බවත් ඔවුහු පවසා ඇත.

කලා නිර්මාණයකින් යථාර්තය නිරූපනය කරනවාද නැද්ද යන තීරණය රඳා පවතින්නේ නිර්මාණ කරුවන් ඒ නිර්මාණයේ මවා ගත් චරිත සහ රූප රාමු සෞන්දර්යාත්මක ලෙසත්, නිවැරදි ආකාරයටත්, පැහැදිලිවත්, යථාරූපී ලෙසත් නිර්මාණය කර තිබේද යන්න මත යි. අනෙක් අතට, කලා නිර්මාණයක පිලි ගත හැකි හෝ නොහැකි බව හැම විටකම හුදෙක් දේශපාලන සිද්ධාන්ත මත පදනම් වී තීරණය කළ හැක්කක් නොවේ. කලා නිර්මාණයක කලාත්මක ස්වභාවය මැනිය හැක්කේ කලාවට ම අනුරූප වූ සිද්ධාන්ත හා නියාම පදනම් කොට ගෙනයි. කෙසේ වෙතත් මෙම ලිපියේ අරමුණ වන්නේ මෙම නිර්මාණයේ කලාත්මක භාවය පිළිබඳව විචාරයක් කිරීම නොවේ.

නිර්මාණයක දේශපාලන නිවැරැදි බව තීරණය වන්නේ විද්‍යාත්මකවත් තර්කානුකූලවත් කරන විග්‍රහයක් මගිනි. එම නිර්මාණය එක්තරා කාල වකවානුවක දී දෘශ්‍යමාන වන්නේ කවර ස්වරූපයෙන් ද, කවර හේතූන් මත ද යන්න පැහැදිලි කල හැක්කේ දේශපාලන වශයෙන් පමණකි. නිර්මාණයකට පවතින සමාජ ආර්ථික හා දේශපාලන වාතාවරණයෙන් වියෝ වී සිටින්නට නොහැකිය. එසේ වියෝ වුනු නිර්මාණයකට පැවැත්මක් හෝ ආරක්ෂාවක් නැත. අපේ යුගයේ කලා නිර්මාණවල ක්‍රියාත්මක ස්වභාවය නිර්ණය වන්නේ එවැනි නිර්මාණ සමාජය වෙනස් කිරීමේ ප්‍රයත්නයන් සමඟ සම්බන්ධ වන තාක් දුරට පමණි.

මේ ලිපියේ සඳහන් කරන කරුණු දැනට පවතින ජනතා විමුක්ති පෙරමුණ හෝ එහි නායකත්වය ඉලක්ක කර ගෙන ඉදිරිපත් කරන ඒවා නොවන බව අවධාරණය කිරීම මෙහිදී වැදගත් වේ.

මෙම ලිපියට ආසන්නතම සන්දර්භය වූයේ තිඹිරියාගම බණ්ඩාර සහෝදරයාගේ ‘දේශපාලනය සහ ජීවිතය නමැති “ගින්නෙන් උපන් සීතල”’ යනුවෙන් පළ කොට ඇති විචාරය යි. එහි මෙසේ සඳහන් වෙයි:

1. “දක්ෂිණාංශික රජය 83 වාර්ගික ගැටුම් දඩ මීමා කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරයි. එහි නායකයන් අත්අඩංගුවට ගැනීමට තැත් කළ විට ඔවුන්ට ආරක්ෂාව පතා යටි බිම් ගත දේශපාලන ජීවිතයක් වෙත යාමට බල කෙරුණි.”

2. “විජේවීර චරිතය අධ්‍යයනය කිරීම සඳහා විවිධ මූලාශ්‍ර ඇසුරු කිරීම හා ඒ බව නාමාවලියෙහි පවා සඳහන් කිරීම අනුරුද්ධගේ යහපත් ලක්ෂණයකි. අපේ ඇතැම් සිනමාකරුවන්ට එබඳු යහගුණ නැත. මිනිසකුට ජීවිතයේ දී බොරු කළ හැක. කලාවේදි බොරු කළ නොහැක.”

මා මෙහිදී එක්තරා පැහැදිලි කිරීමක් කළ යුතු වෙයි.

1983 කළු ජූලි විනාශය (pogrom) දියත් කරන ලද්දේ ජූලි 24 වනදා ය. ජූලි 25 දින වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි දෙමළ රැඳවියන් 37 දෙනෙකු ඝාතනය කෙරුණි. ජුලි 26 දින සමස්ත දිවයිනට ම බලපාන පරිද්දෙන් ඇඳිරි නීතිය පනවන ලදි. ජූලි 28 වන දා දෙවන වතාවටත් වැලිකඩ බන්ධනාගාරයේ තවත් සිරකරුවන් 15 දෙනෙකු ඝාතනය කෙරුණි. ජනාධිපති ජනතාව ඇමතූයේ ජූලි 28 දා යි. ජාතිවාදී කෝලාහල මාර්ගයෙන් බලහත්කාරය යොදවා රාජ්‍ය බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළේය යන චෝදනාව යටතේ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජූලි 31 දා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, නව සමසමාජ පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන ලදී.

ඒ දිනවල මා රැඳී සිටියේ කොළඹ ආමර් වීදියේ පක්ෂ මූලස්ථානයේත් කඩවත මාවරමණ්ඩියේ අප පදිංචිව සිටි නිවසේත් ය. මා පක්ෂ මූලස්ථානයේ රැඳී සිටි නිසා අපේ සාමාජිකයන්ගෙන් කළු ජූලි විනාශය මෙහෙයවූ කණ්ඩායම් පිළිබඳව විස්තර එකතු කර ගත හැකි විය. රහස් පොලිසිය විසින් අපව රඳවා ගනු ලැබූයේ ඊටත් දින දෙකකට පමණ පසුවයි. මා රඳවා ගෙන සිටියදී රජය විසින් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව නඟා තිබුන අභූත චෝදනාවලට මා එක් රැස් කර ගෙන තිබූ තොරතුරු උපයෝගී කර ගෙන අභියෝග කරන්නටත් මාස කිහිපයකට පසුව චිත්‍රා සහෝදරිය විසින් ගොනු කරන ලද හෙබයාස් කොර්පුස් ආයාචනයක් හේතුවෙන් රඳවා සිටි සියළු දෙනාටම චෝදනා විරහිතව නිදහස ලබන්නටත් හැකි විය.

ජුලි 31 වනදා ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමට පෙර ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් පැවති පක්ෂ ප්‍රතිපත්තිය පිළිබඳව සාකච්ඡා කරන්නට කැඳවූ මධ්‍යම කාරක සභාවේ පූර්ණ සැසිය පැවැත්වූයේ ජුලි 21 සිට 23 දක්වා වූ දින තුනේ දී ය. ඒ තංගල්ල විතාරන්දෙණියේ විජිත රණවීර සහෝදරයාගේ නිවසේ පිහිටා තිබූ පක්ෂ පාසලේ දී යි. මෙම සැසි වාරයේදී ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් එතෙක් පැවති පක්ෂ ප්‍රතිපත්තිය වෙනස් කරන්නට ගන්නා ලද තීන්දුව සමඟ මම කිසිසේත්ම එකඟ නොවූයෙමි. මා ඒ සැසියෙන් පිටව ආවේ ඒ තීන්දුව නිසාත් ඒ වන විට පක්ෂ නායකත්වය සමඟ වර්ධනය වී තිබුන අමතර මතවාදී වෙනස්කම් නිසාත් පක්ෂයෙන් ඉවත් වෙන්නට තීරණය කර ගෙනය.

මා මෙහි මතු කරන කාරණය වන්නේ රෝහණ සහෝදරයා යටි බිම් ගත වෙන්නට විජිත රණවීර සහෝදරයාගේ නිවස බලා පිටත්ව ගියේ පක්ෂය තහනම් කලාට පසුව නොව, කළු ජූලි විනාශය ආරම්භ කල දිනය වූ ජූලි 25 වන දාම බවයි. ඔහු පිටත්ව ගිය වාහනය පැදවූයේ තවමත් ජනතා විමුක්ති පෙරමුණ සමඟ කටයුතු කරන සේපාල ලියනගේ සහෝදරයා යි. රෝහණ සහෝදරයා එසේ යටි බිම් ගත වෙන්නට තීරණය කර තිබුනේ පක්ෂයේ දේශපාලණ මණ්ඩල සභිකයන්ගෙන් කරන ලද විමසීමකින් හෝ ඔවුන් සමඟ කල සාකච්ඡාවකින් පසුව නොවේ.

සෝමවංශ අමරසිංහ සහෝදරයා ආමර් වීදිය කාර්යාලයට පැමිණ මා මුණ ගැසුනේත්, පක්ෂ තහනම පිළිබඳව අනෙක් පක්ෂ සමඟ, විශේෂයෙන් ලංකා සමසමාජ පක්ෂය සමඟ මා විසින් කරන ලද සාකච්ඡාවකට සහභාගි වූයේත් ජූලි 31 දායින් පසු දිනක යි. ලංකා සමසමාජ පක්ෂයේ අදහස වූයේ අප යටි බිම් ගත විය යුතු බව වුවද, මම ඒ අදහස සමඟ එකඟ නොවූයෙමි. එසේම රෝහණ සහෝදරයා විසින් යටි බිම් ගත වෙන්නට ඒ අවස්ථාවේ තනිවම ගන්නා ලද තීරණය පිළිබඳවද මම කිසිසේත්ම එකඟ නොවීමි.

මේ සම්බන්ධයෙන් මා එදා දැරුවා වූත් අද දරන්නා වූත් මතය වන්නේ රජය පෙරලීමේ කුමන්ත්‍රණයකට කෙසේ වෙතත්, අඩු තරමේ 1983 ජූලි විනාශය සම්බන්ධයෙන් එක සිද්ධියකට හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ එහි නායකත්වයේ කිසිදු සම්බන්ධයක් නොපැවති හෙයින් ධනේශ්වර රජය නඟමින් තිබූ දේශපාලන හා සාපරාධී චෝදනාවලට අප විවෘත දේශපාලනයේ යෙදෙමින් පිළිතුරු දී ජනතාව තුල ඒ ප්‍රචාරය පරාජය කර දමන්නට කටයුතු කළ යුතුව තිබුණු බව යි. රෝහණ හා ගමනායක සහෝදරවරු වැනි නායකයන් සැඟවී ගත් විට 1983 ජූලි විනාශයට මෙන්ම රජය පෙරලීමේ කුමන්ත්‍රණයකට ද ජනතා විමුක්ති පෙරමුණ ඇත්තෙන්ම සම්බන්ධව සිටින්නට ඇතැයි යන දේශපාලන වශයෙන් සාවද්‍ය මතය සමාජයේ බොහෝ කොටස් අතර තහවුරු වී තිබුණි. කෙසේ වෙතත්, ඒ කාලයේ ජනතා විමුක්ති පෙරමුණ සිය පක්ෂ තහනම ඉවත් කරන්නට ලංකාවේ රජයට බල කරන ලෙස ජාතික සහ ජාත්‍යන්තර තලයේ දිගින් දිගටම නොයෙක් අන්දම් ඉල්ලීම් කලේය.

මා රහස් පොලිසියේ හතරවන තට්ටුවේ රඳවා ගනු ලැබ සිටියදී මෙන්ම 1983 දෙසැම්බරයේ නිදහස් කරනු ලැබූ පසුවත් රෝහණ සහෝදරයා විවෘත තලයට ගෙන එන්නට දැරූ සියළු උත්සාහයන් ව්‍යර්ථ වී ගියේය. රජයට ඔවුන්ගේ මතවාදය කාලයක් තිස්සේ රජ කරවා ලන්නට හැකි වූයේ මේ නිසා යයි මම තවමත් කල්පනා කරමි. පක්ෂ තහනම ඉවත් කරවා ගැනීම සම්බන්ධයෙන් මා ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා හමු වූ විට ඔහු පැවසූයේ පළමුව ‘රොහාන්’ පැමිණ කට උත්තරයක් දිය යුතු බවයි. ජනතා විමුක්ති පෙරමුණ සහ රෝහණ සහෝදරයා විවෘත දේශපාලනයට ගෙන එන්නට මා යෝජනා කළ හැම විටම මට ලැබුනු එකම පිළිතුර වූයේ එසේ කළ හොත් ඔහු මරා දමනු ඇති බවයි. එහෙත්, 1983-84 කාලය වන විට දකුණේ එවැනි මරා දැමීම් සිදු වූයේ නැත.

මා දන්නා තොරතුරුවලට අනුව ජනතා විමුක්ති පෙරමුණ සහ රෝහණ සහෝදරයා විවෘත දේශපාලනයට ගෙන එන්නට උත්සාහ කර ඇත්තේ මා පමණක්ම නොවේ. පසුගිය දා අභාවප්‍රාප්ත වූ ප්‍රින්ස් ගුණසේකර සහෝදරයාත්, (රෝහණ සහෝදරයාගේ එක් කුස උපන් සොහොයුරා වූ) ආනන්ද විජේවීර සහෝදරයා සහ (ඔවුන්ගේ සමීපතම මිත්‍රයෙක් සහ ඥාතියෙක් වූ) දෙවිනුවර ආරියදාස සෙල්ලහේවා මහතා මගින් පසුව රෝහණ සහෝදරයා සමඟ සම්බන්ධකම් පැවැත්වූ ‌එකල මුදල් ඇමතිව සිටි රොනී ද මැල් මහතාත් පසු කාලයක දී ඒ ඉල්ලීම ම කර ඇත. රෝහණ සහෝදරයාගේ නීතිඥයා ලෙස ප්‍රින්ස් සහෝදරයාත් ඔවුන්ගේ සුරැකියාවට රොනී ද මැල් මහතාත් රෝහණ සහෝදරයාගේ ආරක්ෂාවට ඉදිරිපත් වෙන්නට කැමැත්තෙන් සිටියදී පවා ජනතා විමුක්ති පෙරමුණට සහ රෝහණ සහෝදරයාට කරන ලද මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරන ලද්දේ මන්දැයි යන්න පැහැදිලි කළ නොහැකිය.

අනෙක් අතට මේ සම්බන්ධයෙන් කෙනෙකුට සාධාරණ දේශපාලන ප්‍රශ්නයක් ද නැඟිය හැකිය. එනම්, ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් විවෘත දේශපාලනයට නොපැමිණිමට තීරණය කරන්නට ඇත්තේ රජය විසින් 1983 ජූලි විනාශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව එල්ල කරන ලද චෝදනා ප්‍රයෝජනයට ගනිමින් දකුණේ සිංහල බහුතරය දිනා ගැනීම සඳහා කටයුතු කිරීමේදී දේශපාලන වාසියක් සලසා ගැනීමට අනියම් උත්සාහයක නිරත වී සිටි නිසාද යන්නයි. එවකට උතුරේ දෙමළ ජාතිකවාදී අරගලයට එරෙහිව සිංහල ජාතිකවාදය කර පින්නා ගෙන දකුණේ සිංහල ජාතිකවාදීන්ට සහ ජාතිවාදීන්ට ප්‍රබල වේදිකාවක් ගොඩ නඟා දෙමින් ඔවුන් සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කරන්නට ජනතා විමුක්ති පෙරමුණේ එදා සිටි නායකත්වය පසු කාලයේ දී කැපවී කටයුතු කළ ආකාරය අමතක කළ නොහැකිය.

මුලින්ම කොමියුනිස්ට් පක්ෂයේ නායකයෝ පොලිසියට භාර වූහ. පරීක්‍ෂණයකින් ඔවුන් සියළු දෙනාම නිදහස් කරන ලදුව පසුව පක්‍ෂ තහනම ද ඉවත් කරන ලදී. මුලදී සැඟවී සිටි නව සමසමාජ පක්ෂ නායකයෝ විජය කුමාරණතුංග සහෝදරයාගේ මැදිහත් වීමෙන් විවෘත දේශපාලනයට පැමිණි අතර අවසාන‌යේදී ඔවුන්ගේ පක්‍ෂ තහනම ද ඉවත් කරන ලදී. ඒ කාලයේදි රජය පෙරලා දමන්නට කුමන්ත්‍රණ කරන ලදැයි චෝදනා කොට නඩු පවරන ලද්දේ උතුරේ දෙමළ සටන්කාමී සංවිධානයක් සමඟ එක්ව කටයුතු කළ උඩුවරගේ හෙන්රි පෙරේරා සහෝදරයා ඇතුළු කණ්ඩායමකට එරෙහිව පමණි. 1971 අප්‍රේල් නැඟිටීම සම්බන්ධයෙන් අත් අඩංගුවේ සිටි ඔහු නිදහස ලැබීමෙන් පසු බාලා තම්පෝ සහෝදරයාගේ නායකත්වයෙන් පැවති විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂයට එකතු වී කලක් දේශපාලනයේ නිරතව සිටියේය. ලංකා කොමියුනිස්ට් පක්‍ෂයට වත් නව සමසමාජ පක්‍ෂයට වත් ජනතා විමුක්ති පෙරමුණට වත් එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු කොට තිබුනේ නැත.

යටි බිම් ගත දේශපාලනයේ සහ සන්නද්ධ කටයුතුවල නියැලී සිටි රෝහණ සහෝදරයා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් සියළු දෙනාම පාහේ 1989 නොවැම්බර් වන විට ඉතා කණගාටුදායක අන්දමින් මරා දමන ලදි. දිගින් දිගටම යටි බිම් ගතව සිටිනවා වෙනුවට ඔවුහු තම නිර්දෝෂීභාවය ජනතාවට ඔප්පු කරමින් පක්ෂ තහනම අභියෝගයට ලක් කළේ නම් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ දේශපාලන වශයෙන් ස්වයං-කාරක සිය දිවි නසා ගැනීම බොහෝ දුරට සිදු නොවන්නට ඉඩ තිබුනි. හැට දහසක පමණ ජීවිත විනාශය වළක්වා ගත හැකිව තිබිණි.

‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ චරිත සම්බන්ධයෙන් යම් අදහසක් ලබා ගන්නට මා හා සම්බන්ධ වීමට චිත්‍රපට සම්පාදකයන් මුලින් ගත් උත්සාහය හේතුවෙන් නිර්මාණ කරුවන්ට වඩා නිවැරදි ආකාරයටත් පැහැදිලිවත් යථාරූපී ලෙසත් චරිත මවා ගන්නට සහ රූප රාමු නිර්මාණය කරන්නට තිබූ වුවමනාව පැහැදිලි වෙයි. එහෙත් වැඩි කලක් නොයාම ඒ උත්සාහයන් වළක්වා ලන ලදි. ඒ සම්බන්ධයෙන් නිතැතින් ම පැන නැඟෙන ප්‍රශ්න වන්නේ ඒ කවුරුන් විසින් ද, කවුරුන්ගේ වුවමනාවක් වෙනුවෙන් ද, සහ කවුරුන්ගේ ඵල ප්‍රයෝජන ආරක්ෂා කරන්නටද යන්නයි.

දේශපාලන වශයෙන් බැළු විට, 1972 පමණ සිට 1983 ජුලි දක්වා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ පැවති ඉදිරි දැක්ම හා වැඩ පිළිවෙලද, 1983 ජූලි මස පක්ෂය තහනම් කිරීමෙන් පසු, විශේෂයෙන්ම 1986 පමණ සිට 1990 පමණ දක්වා වූ සන්නද්ධ අරගලය දියත් කරන ලද කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ ඉදිරි දැක්ම හා වැඩ පිළිවෙලද අතර පැවතුන වෙනස පිළිබඳ යථාර්තය කුමක්දැයි ‘ගින්නෙන් උපන් සීතල’ නමැති මෙම කලා කෘතියෙන් ජනතාවට එලි දැක්වූයේ නම් එය ලංකාවේ සමාජ සංවර්ධනයට වැදගත් අත් දැකීමක් ගෙන එනවා මෙන්ම ඒ සඳහා සෑහෙන සාධනීය දායකත්වයක් කරන්නට හැකිව තිබුන බවත් පෙනේ.

1989 සන්නද්ධ අරගලයට පෙර ජනතා විමුක්ති පෙරමුණ තුල ඇති කරන ලද ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ අත්දැකීම් මෙන්ම අති දක්ෂිණාංශයේ සිට අති වාමාංශය දක්වා පක්ෂය දෝලනය වීම සඳහා පැවති සමාජ හා දේශපාලන පදනම විග්‍රහ කොට සමාජ සන්තක කර ලීමේ කාර්ය භාරය තවමත් ශේෂ වී තිබේ.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.