

රමිඳු පෙරේරා
2019 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයෙන් පසුව, සංගීතඥයෙක් වන ඉරාජ් වීරරත්න එම මැතිවරණයෙන් සියයට තුනක් ලබාගත් ජාතික ජන බලවේගය සහ එහි නායක අනුර දිසානායක ඉලක්ක කොට ගෙන, අපහාසාත්මක හැඩයේ මියුසික් වීඩියෝවක් නිර්මාණය කළේය. එම වීඩියෝ පටයේ කථා නායක ලෙස සිටියේ ජනතා විමුක්ති පෙරමුණට මුලා වූ තරුණයෙකි. ජවිපෙ සාමාජිකයා පිලිබඳ තිබෙන දක්ෂිණාංශික ඒකාකෘතිය අනුව යමින් කොණ්ඩය වවාගත්, නාන්නේ නැති, කැට සල්ලි එකතු කරන — ජීවිතය කාලකණ්ණි කරගත් අයෙක් ලෙසට එම තරුණයාව නිරූපණය වූ අතර, වීඩියෝව අවසාන වූයේ අපහාසාත්මක ලෙස අනුර දිසානායකගේ පෙනුම සහිත අයෙක් සත්තු වත්තක කූඩුවක ලැග සිටින දර්ශනයකිනි. පරිකල්පිත අනාගතයකට අයත් වූ මෙම දර්ශනය අනුව, මෙම කූඩුව සත්වෝද්‍යානයේ තබා තිබුණේසමාජයට වෛර කළ, ‘ජවිපාවුන්’ නමින් වඳ වී ගිය සත්ව විශේෂයක් අතීතයේ සිටි බව මතක් කරදීම සඳහාය.
ඉරාජ් වීරරත්න මෙම වීඩියෝව නිර්මාණය කළේ ගෝඨාභය රාජපක්ෂ තම ජනප්‍රියත්වයේ කූටප්‍රාප්තියේ සිටි මොහොතේය. එම අධිසාර්ථකත්වය අබියස ජාතික ජන බලවේගය සියයට තුනට වැටුණේය. කෙසේ වුවද, ඉතිහාසය අතිශය සරදම්ජනක බව පෙන්වමින්, අවුරුදු පහකට පසුව අප තනිකර කණපිට ගැසූ මොහොතකට පැමිණ සිටිමු ; වසර කීපයකින් වඳ වී යනු ඇතැ’යි වීරරත්න අනාවැකි කී ‘ජවිපාවුන්’ බලයට පැමිණ ඇත, එම ජවිපාවුන් රැහේ නායකයා රටේ නායකයා වී ඇත, වීරරත්න උත්කර්ෂයට නැංවූ රාජපක්ෂවාදයේ පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පසුගියදා පැවැති මැතිවරණයෙන් සියයට 3 ක් වත් ගත නොහී, අන්ත අසරණ තත්වයකට මේ වනවිට ඇද වැටී ඇත.
‘දේශපාලනිකය’ අල්ලා ගැනීම
සැප්තැම්බර් 21 ජනාධිපතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කරන විට, අපට පැහැදිලිව පෙනී යන කරුණක් තිබේ. එනම්, 2019 දී පොදු ජන පෙරමුණ වෙත ලැබුණු ලක්ෂ 69 ක අති විශාල ඡන්ද පදනම තීරණාත්මක ලෙස ආක්‍රමණය කිරීමට ජාතික ජන බලවේගය සමත් වී තිබෙන බවයි. මෙම ඡන්දවලින් අනෙක් කොටස රනිල් වික්‍රමසිංහ වෙත ලැබී තිබෙන බව පෙනී යයි. සජිත් ප්‍රේමදාස 2019 දී මුලු ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 41 ක් ලබා ගත් අතර, මෙවර ඔහුට ලැබී තිබෙන්නේ සමස්ත ඡන්දවලින් සියයට 32 කි. එක්සත් ජාතික පක්ෂයේ බලකොටු වන කොලඹ දිස්ත්‍රික්කයට අදාල ඡන්ද බල ප්‍රදේශවල දී රනිල් වික්‍රමසිංහට ඡන්ද කැඩී යාම ප්‍රේමදාසගේ අවාසියට හේතු වී තිබෙන බව පෙනෙයි. ප්‍රත්‍යන්ත ප්‍රදේශවලට යන විට, සිය සාම්ප්‍රදායික ඡන්ද පදනමට පිටින්, බිඳී විසිරී ගොස් තිබෙන පොහොට්ටු ඡන්ද පදනමට ප්‍රමාණවත් තරම් ආමන්ත්‍රණය කිරීමට ප්‍රේමදාස මහතාට නොහැකි වූ බව පෙනෙන්ට තිබේ.
ආර්ථික අර්බුදය සහ 2022 ඇති වූ ජනතා උද්ඝෝෂණ නිසා පොදු ජන පෙරමුණේ අධිකාරිය දුර්වල වන විට, විපක්ෂයේ සිට ආණ්ඩු බලය ගන්ට ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය යන පක්ෂ දෙකම සැලසුම් ගැසුවේය. මෙහිදී ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ලෙස ආරම්භක වාසියක් විය — සජබ විපක්ෂයේ විශාලතම පක්ෂය වූ අතර, සාමාන්‍ය තත්වයක් යටතේ නම්, ආණ්ඩු පක්ෂයේ ජනප්‍රියත්වය පිරිහෙන විට, ආණ්ඩු බලය නිතරගයෙන් වැටෙන්නේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂයේ දෑතටය.
ආණ්ඩු බලය ගැනීම සඳහා සජබ අනුගමනය කළ උපාය මාර්ගය වූයේ රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිසංස්කරණවලට පක්ෂ වන ගමන්, පොදුජන සුබසාධනය පිලිබඳ යම් පෙනී සිටීමක් කිරීමය. මේ අනුව ඔහු ජනතාවට කළ ආමන්ත්‍රණය ප්‍රධාන වශයෙන් ආර්ථිකමය ආමන්ත්‍රණයක් විය. රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ව්‍යාපාරය ද ආර්ථිකමය ආමන්ත්‍රණයක් මත පදනම් වූවක් විය. සිය මැතිවරණ ලකුණ ලෙස ගෑස් සිලින්ඩරය යොදාගැනීමම මෙම ප්‍රවේශය මූර්තිමත් කරයි. මාලිමාව ආවොත් නැවත තෙල් හා ගෑස් පෝලිම් ඇති වන බවට කළ බිය ගැන්වීම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තේමාවක් විය.
ජාතික ජන බලවේගයේ පොදුජන ආමන්ත්‍රණය මින් වෙනස් වූයේ, එය හුදෙක් ආර්ථිකමය එකක් නොවූ නිසාය. ජනතාවට ආර්ථික කඩා වැටීම නිසා මුහුණ දෙන්ට සිදු වූ දුක්ඛ දෝමනස්සයන්, ‘දේශපාලන හේතුවක්’ සමග — එනම්, මෙතෙක් රට පාලනය කළ දේශපාලන පන්තියේ දුශ්චර්යාව සමග සුසම්බන්ධ කොට, අප මීට පෙර ද මෙම පුවත්පතට රචිත ලිපිවල විස්තර කොට ඇති ලෙස, ‘ප්‍රභූ තන්ත්‍රයට එරෙහිව ජනතාව’ යන දේශපාලන පසමිතුරුතාවය ස්ථාපිත කරන්ට ජාතික ජන බලවේගය කටයුතු කළේය.
සජිත් ප්‍රේමදාස අබිබවා ජාතික ජන බලවේගය ලබා තිබෙන ජය විසින් පෙන්නුම් කරන්නේ එම උපාය මාර්ගය සාර්ථක වී තිබෙන බවයි. ආර්ථික අර්බුදය නිසා චංචල වූ ජනතා මනසේ දේශපාලනික මානය හරියට අල්ලා ගත්තේ ජාතික ජන බලවේගයයි. මනුෂ්‍යයා හුදු ආර්ථික සතෙක් නොවේ. විශේෂයෙන් දේශපාලන ලෝකයට සම්බන්ධ වන විට, ආර්ථික සාධකයට අමතරව, වඩා ‘විශාල’ දෙයක් ගැන සිතන යොමුවක් ජනතා විඥානය තුල පවතී. මෙම වඩා විශාල දෙය විවිධ විය හැක — රට ජාතිය, ප්රජාතන්ත්රවාදය, යහපත් ආණ්ඩුකරනය, සමාජ සාධාරණත්වය, යුක්තිය ආදී විවිධ ස්වරූප ගත හැක.
මේ කවරක් වුව, ආර්ථිකය ගැන සිතන විට, යට කී ආකාරයේ දේශපාලන සංකල්පයන් අනුසාරයෙන් ඒ දෙස බැලීමේ යම් පෙලඹවීමක් ජනයා අතර ඇත. සංවිධානය කල විට, මෙම පෙලඹවීම අතිශය බලවත් විභව ශක්තියක් සහිත බලවේගයකි. ජාතික ජන බලවේගයේ සාර්ථකත්වයේ රහස මෙම විභව ශක්තිය හඳුනා ගැනීම සම්බන්ධයෙන් දැක්වූ තීක්ෂණ දේශපාලන ඉව බව කීම අතිශයෝක්තියක් නොවේ. ආර්ථික කඩාවැටීම සමග ඇති වූ ජනතා අතෘප්තිය දූෂිත ප්‍රභූ තන්ත්‍රය වෙතින් ජනතාව අතට බලය ගැනීම නම් වූ දේශපාලන ඉල්ලීම සමග සම්බන්ධ කොට, වාම ජනතාවාදී ව්‍යාපෘතියක් ඉදිරියට දැමීමට ජාතික ජන බලවේගය සමත් විය.
ග්‍රීක මිථ්‍යාව
ජාතික ජන බලවේගය් නැගීම සමග එහි ප්‍රතිවාදීන් නගන සුලභ චෝදනාවක් වන්නේ, වාම ජනතාවාදය නිෂ්ප්‍රයෝජන, පරාජය වීමට නියමිත දෙයක් බවට වූ විවේචනයයි. අර්බුදකාරී අවස්ථාවක, ජනතාව අතර ඇති වන අසහනය ජනතාවාදී ලෙස සංවිධානය කොට බලයට එන ව්‍යාපාරයක්, ආර්ථිකය ගැන සැබෑ දැක්මක් නැති නිසා ඉක්මනින් අර්බුදයට යන බව මේ අනුව කියැවේ. 2015 වර්ෂයේ ආර්ථික අර්බුදයට නතුව සිටි ග්‍රීසිය තුළ බලයට පත් වූ සිරිසා ව්‍යාපාරය (සිරීසා – රැඩිකල් වාමාංශයේ සන්ධානය නම් පක්ෂය හැඳින් වූ කෙටි නාමය) ‘අසාර්ථක වීම’ මේ සම්බන්ධ ජනප්‍රිය උදාහරණයක් ලෙස උපුටා දක්වනු දක්නට ලැබේ. ලංකාවට අදාලව මෙහි හැගවුම නම්, බලය ගත්තත්, ආර්ථිකය කරගත නොහී, ‘ටික දවසකින් අනුර දිසානායක අනාගන්නවා’ යන්නයි.
මෙම විවේචනයේ තිබෙන ගැටලුව නම්, එය වාම ජනතාවාදය යනු කුමක්ද යන්න ගැන තිබෙන නොදැනුවත්භාවය තුලින් එය ගලා එන්නක් වීමයි. වාමාංශික ජනතාවාදය නම් අදහස න්‍යායිකව සංකල්පගත කිරීමෙහිලා වැදගත් වැඩ කොටසක් ඉටු කළ, සමකාලීන බෙල්ජියම් ජාතික ශාස්ත්‍රඥවරියක වන ශන්තාල් මූෆ් පැහැදිලිව දක්වන ලෙස ජනතාවාදය යනු දේශපාලනය කිරීමේ ‘ආකාරයක්’, ආකෘතියක් මිස නිශ්චිත දේශපාලන–ආර්ථික වැඩපිලිවෙලක් නොවේ. ආර්ථික අර්බුදයක් තිබෙන මොහොතක, වාම ජනතාවාදී උපාය මාර්ගයක් යොදාගෙන බලයට පත්වන ආණ්ඩුවක්, සාර්ථක වනු ඇද්ද යන්න තීරණය වන්නේ එම නිශ්චිත අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන දේශපාලන–ආර්ථික වැඩපිලිවෙල අනුවය.
ග්‍රීසියේ උදාහරණයට යනවා නම්, මෙරට ලිබරල් මතධාරීන් සරලමතික ලෙස කියන ලෙස 2015 සිරිසා රජය බලයට පත් වූ විට එරට ආර්ථිකය කඩා වැටුණා නොවේ. සිරීසා ආණ්ඩුව බලයට පත් වූයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා මධ්‍යම බැංකුව සහ යුරෝපීය කොමිසම එකතුව, ග්‍රීසිය වෙත නියම කොට තිබූ කප්පාදු වැඩසටහන (austerity measures) නිසා සමාජය තුල විසාල මානුෂවාදී ඛේදවාචකයක් නිර්මාණය වී තිබූ මොහොතකය. මෙම ආයතන සමග සාකච්ඡා කොට, ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ජනතාවට ඇති බර අවම වන ලෙසට සංශෝධනය කරගත හැකි වනු ඇතැ’යි සිරිසා වැඩපිලිවෙල සකස් කළ අගමැති ඇලෙක්සිස් සිප්රාස් හා මුදල් ඇමති යානිස් වරුෆාකිස් කල්පනා කළහ. එහෙත්, සිරිසා බඳු සිය අධිකාරිය ප්‍රශ්න කරන පක්ෂ මට්ටු කළ යුතු යැයි කල්පනා කළ ජර්මනිය විසින් නායකත්වය දුන් යුරෝපා සංගමයේ නිලධාරී තන්ත්‍රය පෙරටත් වඩා දැඩි කප්පාදු පිලිවෙත් සහිත වැඩසටහනක් ග්‍රීසිය වෙත නියම කළේය.
එම වැඩසටහන පිලි නොගන්නේ නම්, ග්‍රීසියට වූ විකල්පය, යුරෝ මුදල් ඒකකයෙන් කැඩී ස්වාධීන මුදල් ඒකකයකට මාරු වීමය. මෙය අනවශ්‍ය තරම් අවදානමක් යැයි කල්පනා කළ අගමැති සිප්රාස් යුරෝපා කොමිසම ඉදිරිපත් කළ දැඩි වැඩසටහනට එකඟ වූ අතර, ඊට විරෝධය පළ කල වරුෆාකිස් ආණ්ඩුවෙන් ඉවත් විය. මෙරට ලිබරල්වාදීන් කියන ආකාරයට සිප්රාස් නව ලිබරල් කප්පාදු වැඩපිලිවෙලට විරුද්ධව ක්‍රියා කළා නොවේ. ඔහු කළේ එය අනුගමනය කිරීමය. යුරෝපීය කොමිසමේ හයිකාරකම අබියස, ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්නා ගමන්, පොදු ජන ජීවිතය වෙත වූ පීඩාව අවම කරන්ට සමත් දේශපාලන–ආර්ථික වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන්ට සිරිසා ව්‍යාපාරයට නොහැකි වූයේ මේ අනුවය.
බ්‍රසීල ආදර්ශය
කෙසේ වුවද, ‘අසාර්ථක වීම’ යනු වාමාංශික ජනතාවාදී ආකාරයට දේශපාලනය කරන සෑම ව්‍යාපාරයකට උරුම වූ, නලළේ කොටා ඇති ඉරණමක් නොවේ. වාම ජනතාවාදී ව්‍යාපාර බලයට අවුත්, සාපේක්ෂ සාර්ථකත්වයකින් කටයුතු කිරීම පිලිබඳ උදාහරණ ගණනාවක් විශේෂයෙන්ම සමකාලීන දකුණු ඇමරිකානු දේශපාලනය තුල පවතී. මේ අතර වන ප්‍රමුඛ නිදසුනක් වන්නේ, 2000 ගණන්වල බ්‍රසීලයේ ලූලා ද සිල්වාගේ පාලනයයි.
බ්‍රසීලය යනු 1980 ගණන්වල සිට, දශක ගණනක නව ලිබරල් ප්‍රතිපත්තීන් නිසා දැඩි සමාජ විෂමතාවයක් ඇතිව තිබූ රටකි. හිටපු කම්කරු නායකයෙක් වූ ලූලා ද සිල්වා එරට බලයට පත්වූයේ 2002 වර්ෂයේදීය. වාම ජනතාවාදී ලක්ෂණ සහිත වූ ඔහුගේ පක්ෂය බලය ගන්නා විට, බ්‍රසීලය සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් තුලය. මෙම වැඩසටහන රටේ ආර්ථික වර්ධනයට කරන බලපෑම ගැන ලූලා බෙහෙවින් විවේචනාත්මක විය. මෙම විවේචනාත්මක අදහස් නිසා, ඔහු බලය ගත් විට, ආර්ථිකය බිඳ වැටෙනු ඇතැ’යි සැකයක් එරට ව්‍යාපාර ලෝකය තුල විය. මෙම බිය සමනය කරනු පිණිස, තමුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් ඉවත් වන්ට අදහස් නොකරන බවට ප්‍රසිද්ධ ප්‍රතිඥාවක් දීමට පවා ලූලා ද සිල්වාට සිදුවිය.
බලයට පැමිණ මුල් කාලයේ, ලූලා ද සිල්වා අඩු වැඩි වශයෙන් ක්‍රියා කළේ ජා.මූ. අරමුදලේ ප්‍රතිපත්ති රාමුව තුළය. කෙසේ වුවද, ඔහුගේ පක්ෂයේ දීර්ඝකාලීන අරමුණ වූයේ එම ආයතනය මත වූ පරාධීනත්වයෙන් හැකි ඉක්මනින් එලියට පැමිණීමයි. ඔහු පොරොන්දු වී තිබූ සමාජ වැඩපිලිවෙල සාක්ෂාත් කරගැන්මට නම්, එම ස්වාධීනත්වය අත්‍යවශ්‍ය විය. යම් ප්‍රමාණයක ආර්ථික ස්ථායීතාවයක් ඇති කරගැන්මෙන් ඉක්බිති, 2005 වර්ෂයේ දී, තමුන් ජා.මූ. අරමුදල සමග වූ එකඟතාවය අලුත් නොකිරීමට තීරණය කල බවට බ්‍රසීල ආණ්ඩුව ප්‍රකාශයට පත් කළේය. සිය දෙවැනි ධූර කාලය තුල වඩා සංවර්ධනවාදී ආර්ථික ප්‍රතිපත්තියක් දියත් කළ ලූලා, ඊට සමගාමීව ක්‍රියාත්මක කළ බොල්සා ෆැමිලියා නම් දිලිඳුකම පිටුදැකීමේ ව්‍යාපාරයේ තුලින් අති විශාල ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ගැන්මට සමත් විය. 2008 වර්ෂයේ හේ විශ්‍රාම ගියේ බ්‍රසීලයේ සාර්ථකම හා ජනප්‍රියතම ජනාධිපතිවරයෙක් ලෙසටය.
බ්‍රසීලය බඳු උදාහරණ මගින් පෙන්නුම් කරන ලෙස, වාම ජනතාවාදී ව්‍යාපාරයක් අවශ්‍යයෙන්ම අසාර්ථක වන්ට නියමිත බවට වූ තර්කය පදනම් විරහිතය. එය සාර්ථක වේද නැද්ද යන්න තීරණය වන්නේ දේශපාලනය කිරීම සඳහා ජනතාවාදී ආකෘතිය භාවිතා කිරීම මත නොව, එම ආකෘතිය සමග ඉදිරිපත් කරන දේශපාලන–ආර්ථික වැඩපිලිවෙල කුමක්ද, එය සාර්ථක වීමට තිබෙන සම්භාවිතාවය කවරේද යනා දී වූ සාධක මතය. මේ නිසා ජාතික ජන බලවේගය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරිපත් කොට තිබෙන උපාය මාර්ගයේ හැඩ රුව විශ්ලේෂණය නොකොට, හුදෙක් වාම ජනතාවාදී ව්‍යාපෘතියක් වීම නිසාම එය අසාර්ථක වන බවට පැවැසීම පිලිගත හැකි තර්කයක් නොවේ.
අනාගත අභියෝග
ජාතික ජන බලවේගයේ අභිනව ආණ්ඩුවට මුහුණ දෙන්ට සිදුවන ප්‍රධාන අභියෝග ගණනාවක් පවතී. මේ ගැන සවිස්තරාත්මකව විමසා බැලීමට මෙම ලිපිය තුල ඉඩක් නැත. කෙටියෙන් සඳහන් කරන්නේ නම්, ණය අර්බුදය විෂයෙහිලා යම් සාධාරණ ණය කප්පාදුවක් ලබාගැනීමේ අභියෝගය, සහ ඊට අදාලව පවතින අභියෝගාත්මක ජාත්‍යන්තර වටපිටාව, ඉන්දියාව හා චීනය අතර තිබෙන ආතතිය කළමනාකරණය කරගැන්මේ අභියෝගය අන්තර්ජාතික තලයේ කැපී පෙනෙයි.
දේශීය වශයෙන් ගත්කල, අතීතයෙන් උරුම වූ රාජ්‍ය නිලධාරී තන්ත්‍රයක්, ආයතන පද්ධතියක් සමග ප්‍රගතිශීලී වෙනස්කම් සිදුකිරීමේ අභියෝගය, යලි සංවිධානය වන පොහොට්ටුව වාර්ගික–ජාතිකවාදය පෙරට ගැනීම තුලින් ජාතික ජන බලවේගයේ ජන පදනම් ආක්‍රමණය කිරීමේ අවදානම ආදී ලෙස කරුනු කාරණා පෙල ගැස්විය හැක.
මේ අභියෝග හමුවේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් අවශ්‍යයෙන්ම අසාර්ථක වේ යැයි නියමයක් නැත. දේශපාලනය යනු ආපතික (contingent) දෙයකි. සිප්රාස් අසාර්ථක වූ පමණින් අනුර දිසානායක අසාර්ථක නොවේ ; ලූලා ද සිල්වා සාර්ථක වූ පමණින් සාර්ථක ද නොවේ. සාර්ථක අසාර්ථකභාවය දේශපාලන–ආර්ථික වැඩපිලිවෙලෙහි ශක්තිමත්භාවය ද ඇතුලත් කරුණු ගණනාවක් මත රැඳී තිබෙන්නකි. දැනට අපට කිව හැක්කේ, 2022 මෙරට තුල මතු වූ මහජන අරගලයේ අභිලාෂයන් ප්‍රකාශමාන කරන ආණ්ඩුවක් බලයට පත්ව ඇති බවයි. දශක ගණනාවක් තිස්සේ මෙරට දේශපාලනය මත වූ පාදඩ ප්‍රභූ–ව්‍යාපාරික සංස්ථාපිතයේ අධිකාරිය දෙදරා ගොස් ඇති බවයි. ප්‍රජාතන්ත්‍රවාදයේ හා සමාජ සාධාරණත්වයේ දෘෂ්ටියෙන් දේශපාලනය දෙස බලන කළ, මෙය පැහැදිලිවම සතුටු විය හැකි මොහොතකි.