25 November, 2020

Blog

රාජපක්ෂගේ මානව හිමිකම් පිළිබඳ හඩු බෝම්බය ටික්, ටික්, ගායි

රංග ජයසූරිය

රංග ජයසූරිය

රංග ජයසූරිය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ෂයිඞ් රාඞ් අල් හුසේන් කුමරු ඔහුගේ සිව් දින ලංකා නිල චාරිකාව අවසන් කෙළේ සමාදාන සඳහනක් කරමිනි: විදේශීය විනිසුරන් සහභාගී කර ගැනීම ශ‍්‍රී ලංකාවේ විවාදාත්මක කාරණයක් බවත්, ශ‍්‍රී ලංකාවේද සම-අනුග‍්‍රහයෙන් සම්මත කර ගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව තුළ කුමක් නිර්දේශ කර තිබුණත්, අවසාන වශයෙන් ගත් විට ඒ ගැන තීරණයක් ගැනීම, ‘ශ‍්‍රී ලංකාවේ ස්වෛරී අයිතියක්’ බවත් ඔහු කියා සිටියේය.

මේ අතර, පසුගිය දශක ගණනාව තිස්සේ ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටී ඇතැයි පෙන්වා දීමටත් ඔහු අමතක නොකෙළේ්ය. එහෙත් ගත වූ වසර තුළ ඒ අංශයේ යම් ප‍්‍රගතියක් ඇතිව තිබීම පෙන්වා දීමට ඔහු අසමත් වීම අවාසනාවකි. විදේශීය විනිසුරන් සහභාගී කර ගැනීමේ යෝජනාව දුර්වල කිරීමට ඒ තත්වය හේතු විය හැකි බවත් මෙහිදී මතක් කළ යුතුය. කෙසේ වෙතත්, අද වන විට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දීප්තිමත් නිදහසක් පෙනෙන්ට ඇති බව ඔහු පිළිගත්තේය. (ඒ සමගම, උතුරේ පැවති භීතිය තවම තුරන්ව නැති බවත් ඔහු පෙන්වා දුනි).

කෙසේ වෙතත්, අප විසින් ලියා දෙන කතාවක් කියැවීමක් ඔහුගෙන් අපේක්ෂා කළ නොහැකි නිසාත්, අපේ රටේ දොස් මුළුමණින් තුරන්ව නැති නිසාත්, ඔහුගේ නිරීක්ෂණය පොදුවේ ගත් විට, අප කෙරෙහි පළ කළ සාධනීය එකකැයි ගත හැකිය.

එහෙත්, මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ කතාව ගැන සහ රටේ ජනතාව සහ ජාත්‍යන්තර ප‍්‍රජාව අරභයා අපේ ආණ්ඩුව ගන්නා කිසි ප‍්‍රයත්නයක් ගැන මොන විදිහකින්වත් සෑහීමට පත්නොවෙන කණ්ඩායම්, අඩු වශයෙන්, දෙකක්වත් සිටිති.

Mahinda lawyer 16, Feb 2016එක කණ්ඩායමක් වන්නේ, දෙමළ ඩයස්පෝරාවේ සිටින කෝකටත් විරෝධය පාන ආන්තික කොටස් ය. ‘ටැමිල් නෙට්’ වෙබ් අඩවිය හරහා මෙන්ම වෙනත් ඊලාම් ප‍්‍රවෘත්ති ජාල ඔස්සේ මේ පිරිස් සිය විසකුරු මතවාද නිරතුරුව වපුරති. ඔවුන් විසින් ප‍්‍රහර්ශයට නංවා නඩත්තු කරන ලද ත‍්‍රස්තවාදීන්ව ශ‍්‍රී ලංකා රජය මගින් නිශ්චිතවම පරාජය කරනු ලැබීම ඔවුන්ගේ ද්වේෂයට හේතුවයි. බටහිර අගනගරවල විරෝධතා පවත්වමින් රථවාහන තදබදයක් ඇති කිරීම හැරුණු කොට, එල්.ටී.ටී.ඊ. සංවිධානය සමූල ඝාතනය වීමෙන් වැළැක්වීම සඳහා ඔවුන්ට කිසිවක් කළ නොහැකි විය. ඒ නිසා අද ඔවුන් පෙලෙන දොම්නස අපට තේරුම්ගත හැක. එසේම, එය ඊළඟ පරම්පරාවේ ඇතැම් පිරිසකටත් දායාද විය හැක. මන්ද යත්, ඕනෑම විප‍්‍රවාසී ජන කණ්ඩායමකට සිදුවන්නා සේ ඔවුන්ටත්, තමන්ගේ අනන්‍යතාව පිළිබඳ අර්බුදයකට විදේශ රටකදී මුහුණදීමට සිදුවන බැවිනි. ඔවුන්ගේ ඒ අසහනයේ සැර බාල කරන යම් මැදිහත් වීමක් ලංකා ආණ්ඩුවෙන් කළ යුතුව තිබේ.

පෙනෙන්ට ඇති පරිදි, ඊළඟ කණ්ඩායමට නායකත්වය සපයන්නේ, ඉහත කී බිහිසුණු ත‍්‍රස්තවාදී ව්‍යාපාරය අතුගා දැමීමට දේශපාලන නායකත්වය සැපයූ පුද්ගලයාමයි. එය අවාසනාවන්ත තත්වයකි. කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ ස්වයං-නාශක භීතිකා රෝගයේ නරා වළට පැනීමට දැන් දත කට මදී. මෑතක් වන තෙක් ඒ කාරිය ඔහු භාර කර තිබුණේ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ජී. ඇල්. පීරිස් වැනි හෙංචයියන්ටයි. ඔවුන් කී තර්ක විතර්ක මේ රටේ පොදු ජනතාවට නම් වැටහුණේ නැත. දැන් ඔවුන් වෙනුවට මහින්ද රාජපක්ෂම සුක්කානම අතට ගැනීමට සැරසෙයි. වාර්ගික විනාශයේ පරණ තුවාල සුව කරගෙන ඉදිරියට යාමට බලාපොරොත්තු වූ ජනතාවකට එය මහත් කණගාටුවට කාරණයක් වනු ඇත.

මහින්ද රාජපක්ෂ දක්ෂ ක‍්‍රියාධරයෙකි. බිම් මට්ටමේ කාර්යශීලී ජනතා සංවිධායකයෙකි. එදා පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරලා දැමීම සඳහා පුරෝගාමී වූ ‘පාද යාත‍්‍රා’ ජන බලවේගය ගැන මතක ඇති අය ඊට සාක්ෂි දරනු ඇත. එසේම ඔහුට ආකර්ශනය වන ජනතාවක්ද සිටිති. ඒ, කාලයක් තිස්සේ ඔවුන්ව පෙලූ ත‍්‍රස්තවාදය අවසානයක් කිරීමට කෘතගුණ සැළකීමක් වශයෙන් ඔහුගේ වෙනත් අනේක පාප කර්මයන්ට සමාව දීමට සූදානම් පිරිසකි. එසේම හිටපු ජනාධිපතිවරයාගේ මොළ සෝදන යන්ත‍්‍රයට යට වූ පිරිස්ද මේ අතර සිටිති.

හිටපු ජනාධිපතිවරයා දැන් බලන්නේ නැවතත් බලය ඩැහැගැනීමටයි. තමන්ගේම වන පක්ෂයක් අටවාගෙන ඇති ඔහු, පක්ෂ කාර්යාලයක්ද විවෘත කෙළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාවට එරෙහිවත්, ඒ අරභයා ආණ්ඩුව ගන්නා ක‍්‍රියා මාර්ගයන්ට එරෙහිවත් සටන් පෙරමුණක් ගොඩනැගීම, එවැනි බලය ඩැහැගැනීමක් සඳහා කියාපු අවස්ථාවකි. අතීතයේ ජාත්‍යන්තරයේ නිරන්තර ප‍්‍රහාරයට ලක්වූ පාලනයක නායකයා වීම, ඔහුට තවත් ගැම්මක් වනු ඇත. මේ යෝජනාවට එරෙහිව නැගී සිටින්නැයි දැනටමත් ඔහු ජනතාවගෙන් ඉල්ලා තිබේ. ඔහු කියන පරිදි, මේ යෝජනාව මගින් කි‍්‍රයාත්මක කෙරෙනු ලැබෙන්නේ, සන්නද්ධ සේවා නිලධාරීන් යුද අපරාධ චෝදනා යටතේ ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට පැමිණවීමක අවදානමකි.

ජාතිකවාදය අවුස්සමින් ජනතාව සංවිධානය කිරීමට ඔහු කවදත් කාර්යශූර ය. ජනාධිපතිවරයා වශයෙන් බොහෝ කලක් ඔහු රට පාලනය කෙළේද ඒ ප‍්‍රතිපත්තිය ඔස්සේ ය. ඇති තතු එයාකාරයෙන් ගෙනහැර පෑමක් ඔහුට අවශ්‍ය නැත. සත්‍යයට ළඟින් යන දෙයක්වත් කීමට ඔහුගේ කැමැත්තක් නැත. සාධාරණ හෝ තාර්කික කරුණු ගෙනහැර දැක්වීම ඔහුට පුරුදු දෙයක්ද නොවේ. ජනතාව තුළ ඇති කරවන හුදු බියක් හරහාම සිය ව්‍යපාරය ගෙන යාමට ඔහුට පිළිවන. ජාත්‍යන්තරයේ සහභාගීත්වය පිළිගත්තත්, අවසාන විනිශ්චයකට එළැඹෙනු ඇත්තේ රටේ පවතින නීතිය යටතේ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මේ වන විටමත් කියා තිබේ.

එවැනි දේශීය යාන්ත‍්‍රණයක් තුළ විදේශීය විශේෂඥයන් සහභාගී කර ගැනීම ආරම්භ කෙළේද මහින්ද රාජපක්ෂමයි. පරණගම කොමිසමට උපදෙස් දීම සඳහා ඔහු ඩෙස්මන් සිල්වා සහ තවත් විදේශිකයන් දෙන්නෙකුට එදා ආරාධනා කෙළේය. එහෙත් අද තමාගේ දේශපාලනික පැවැත්ම වෙනුවෙන් ඒ අතීතය ඔහු යාප්පුවෙන් අමතක කරයි. මේ නිසා අද ඔහුට නැවත නැවතත් කියන්ට ඇත්තේ මානව හිමිකම් යෝජනාව දේශද්‍රෝහී ය යන්න පමණි. එය සිය ගණන් මහජන රැුළිවලදීත්, තවත් සිය ගණන් ප‍්‍රවෘත්ති සාකච්ඡුාවලදී මතුරන තරමට ජනතාව එය පිළිගනිතියි ඔහු සිතයි. මේ ව්‍යපාරය කරගෙන යාම සඳහා අවශ්‍ය අන්තේවාසිකයන් ඔහුට සිටී. එවැන්නන්ගෙන් කිසි දවසක ශ‍්‍රී ලංකාවට අඩුවක් තිබී නැත.

එහෙත් නග්න සත්‍යය වන්නේ, අද ආණ්ඩුව මුහුණදෙන අර්බුදය තවත් උග‍්‍ර කිරීමට හේතු වන පසුගිය මානව හිමිකම් යෝජනා දිනෙන් දින තද වුණේ, යුද්ධයෙන් පසුව ඔහුගේ පාලනය විසින් ගෙන ගිය අත්තනෝමතික ක‍්‍රියා කලාපය විසින් වීමයි. ජාතික අවශ්‍යතා, තමාගේ පුද්ගල සහ දේශපාලනික අවශ්‍යතාවන්ට ඔහු යට කෙළේය. යුද්ධයේ ජයග‍්‍රාහීත්වය තමා වෙනුවෙන් පාවිච්චි කළා මිස, එය මේ රටේ දැවෙන ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය කිරීම සඳහාවත්, යුද්ධය සිදු වු ආකාරය ගැන ජාත්‍යන්තරයේ කුකුස සමනය කිරීම සඳහාවත් ඔහු පාවිච්චි කෙළේ නැත. ඒ කරුණු සම්බන්ධයෙන් ඒ මේ අත වැනෙමින් සිටීම නිසා සිදුවුණේ, මේ රට ගැන විවේචනාත්මක ආකල්පයක් දැරූ කොටස් ශක්තිමත් කිරීමකි. ශ‍්‍රී ලංකාවේ යුද්ධය ගෙන ගිය ආකාරය සර්ව සම්පූර්ණ නොවිය හැකිය. කෙසේ වෙතත්. එවැනි තත්වයන් ඇති වු එකම රට ලංකාව වන්නේද නැත. වියට්නාමයේ සිට ඊශ‍්‍රායලය දක්වාත්, චෙස්නීයාවේ සිට සිරියාව දක්වාත්, එවැනි තත්වයන් දැක ගැනීමට තිබුණි. යුද අපරාධ ගැන පරීක්ෂණ පැවැත්වීම යනු, (මහින්ද රාජපක්ෂ කියන පරිදි) හමුදා නිලධාරීන්ව විදුලි පුටුවක් වෙත දක්කාගෙන යාමක් හෝ දීර්ඝ සිර දඬුවම් නියම කිරීමක් වන්නේද නැත.

හමුදාවක වැරදි ඔප්පු වූ විට, දේශපාලනික බලධාරීන් මෙන්ම අධිකරණ බලධාරීන්ද ඒ වැරදිවල පසුබිම සෙවිය යුතුය. එසේ වන විට, වෙනත් රටවලදී මෙන්, යම් සමාවක් සැලසිය හැකිය. කෙසේ වෙතත්, එවැනි වැරදි රටත් ජනතාවත් දැන ගත යුතුය. එසේම ඒ වැරදිවලින් පීඩාවට පත් වින්දිතයන්ගේ දුකට කන්දිය යුතු අතර ඒ සඳහා වන වන්දි ගෙවිය යුතුය. එක සිවිල් වැසියෙකුවත් ජීවිතක්ෂයට පත්වූයේ නැතැයි යන මෝඩ වින්දනය තුළ කල් ගෙවූ හිටපු පාලකයන්, යුද වින්දිතයන්ට හානිපූරණ සහන සැලසීමටවත්, සත්‍ය සොයා ගැනීම සඳහාවත් කිසි ප‍්‍රයත්නයක් ගත්තේ නැත. එසේ වුණේ, ‘දේශප්‍රේමී යුද්ධයක’ මායාවෙන් ඔදවැඞී සිටි හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලනික අවශ්‍යතාවන්ට එවැනි ආපහු හැරී බැලීමක් කිසි සේත්ම ගැලපුණේ නැති බැවිනි.

රටක් වශයෙන් අද අප පස්සෙන් පන්නන මහා අවතාරයේ හේතුව එයයි.

මහින්ද රාජපක්ෂ නැවතත් නිරත වන්නේ එම දේශපාලනයේම ය. ඒ, රටේ අනාගතයත්, ජාතික සමගියත් පසෙකින් තබා, තමාගේ දේශපාලනික උවමනාව වෙනුවෙනි. ඔහු එසේ කරන්නේ, ඉහතින් සඳහන් කළ ඩයස්පෝරා කල්ලි සේම ඔහුද, වෛරයෙන් පෙළෙන්නෙකු වීම නිසා ය. ඔහුගේ අතීත අක‍්‍රමිකතා සෙවීමත්, ඔහුගේ පුතා රක්ෂිත බන්ධනාගාරගත වීමත්, ඔහුගේ සහෝදරයන් සහ බිරිඳ නොයෙක් අක‍්‍රමිකතාවන්හි පාර්ශ්වකරුවන් වශයෙන් නීතිය ඉදිරියේ හඳුනාගනු ලැබ තිබීමත් නිසා ඔහු අද කෝපාවිෂ්ටව සිටී. ඔහුගේ ඒ කෝපය කෙනෙකුට තේරුම්ගත හැකිය. එහෙත්, ඒ කෝපය ඔස්සේ මුළු රටක්ම අගාධයට ඇදගෙන යාමට මැන බැලීම සහගහන අපරාධයකි.

*2016 පෙබරවාරි 14 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “Rajapakse’s HR Dirty Bomb, Ticking, Ticking” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.