13 January, 2025

Blog

ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ පවුලට රුපියල් ලක්‍ෂ 50 ක වන්දියක්, වැලිවේරිය පවුල්වලට කොපමණ වන්දියක් ගෙව්වාද ?

රනිල් වික‍්‍රමසිංහ –

එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන විපක්‍ෂයේ විරෝධය සහ ‘සමගි බලවේගය’ එකට ඒකාබද්ධව මේ ජන රැළිය සහ විරෝධතා ව්‍යාපාරය මේ ස්ථානයේ සංවිධානය කළේ ඒකාධිපති මහින්ද රාජපක්‍ෂ රෙජීමය වැලිවේරියේ කළ මිනිස් දඩයමට එරෙහිව එම ජනතාව වෙනුවෙන් යුක්තිය සහ සාධාරණත්වය ඉටු කරන ලෙසට බල කරමිනුයි.

රනිල් වික‍්‍රමසිංහ

පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට හමුදාව යොදවා වෙඩි තැබූ බව ආරංචි වූ වහාම ඒ පිළිබඳව කරුණු සොයා බලා වාර්තා කිරීම සඳහා මම අජිත් මාන්නප්පෙරුම මන්ත‍්‍රීවරයා මේ ස්ථානයට යොමු කළ අතර පසුදා උදෑසන මමත්, අපේ අනෙක් මන්ත‍්‍රීවරුනුත්, දේශපාලන නායකයිනුත් මේ ස්ථානයට පැමිණියා.

මම ගම්පහ, වැලිවේරිය නගරය එදා නියෝජනය කළා. මේ ජනතාව මට ඡන්දය දුන්නා පමණක් නොව, 1977 දී අප සියලූ දෙනාම එකට එකතු වී එවකට පැවැති ආණ්ඩුව පෙරළා එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් රටේ බිහි කළා.

නිදහස් වෙළෙඳ කළාප ආරම්භ කර මහා මාර්ග ඇතුලූ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් එදා මේ ප‍්‍රදේශ දියුණු කළේ බියගම මන්ත‍්‍රීවරයා ලෙස මමයි. එම නිසා ගම්පහ, වැලිවේරිය සහ එම ජනතාව මම කවදාවත් අත නොහරින බව කිව යුතුයි. ආණ්ඩුව මේ ජනතාවට යුක්තිය සහ සාධාරණත්වය ඉටු නොකර එම ජනතාව පාගා දැමීමට උත්සාහ කරනවා නම් රනිල් වික‍්‍රමසිංහ සමග හැප්පීමට ආණ්ඩුවට සිදු වනවා.

ගම්පහ, වැලිවේරියේ සිටින්නේ සාමාන්‍ය ජනතාවක් නොව, පරංගි සමග යුද්ධ කිරීම සඳහා සීතාවක රාජසිංහ රජතුමා මේ ප‍්‍රදේශයේ පදිංචි කරවූ ජනතාවකුයි. පරංගින්ට නිරුපද්‍රිතව පළා යන්න ඉඩ නොදී වට කර පහර දුන් මේ ජනතාව  ඕලන්දකාරයන්ට සහ සුද්දන්ට විරුද්ධව ද එදා සටන් කළා. එමෙන්ම යුද්ධය ආරම්භ වුණාට පසුව ආරක්‍ෂා හමුදාවන්ට වැඩියෙන්ම බැදුණේ මේ ප‍්‍රදේශයේ තරුණ තරුණියන් වන බව සිහිපත් කළ යුතුයි. එම නිසා අප එදා ගම්පහ දිස්ත‍්‍රික්කයේ ගනේමුල්ලේ කොමාන්ඩෝ කඳවුර පිහිටවූ අතර ෆීලික්ස් පෙරේරා සහ එතුමාගේ පියා වන සූරියපාලූවේ මුදලිතුමා ගෝනහේන ප‍්‍රදේශයේ විශේෂ කාර්ය බලකා කඳවුර පිහිටුවීමට කටයුතු කළා.

රටත් – ජනතාවත් වෙනුවෙන් ඉතිහාසයේ සිටම සටන් කළ මේ ජනතාව ත‍්‍රස්තවාදීන් ලෙස සලකා හමුදාව යොදවා ආණ්ඩුව මේ ජනතාවට වෙඩි තැබුවේ ඇයි? මේ ප‍්‍රශ්නය ඇති වූයේ හේලීස් සමාගමට අයත් අදාළ ආයතනයේ අපවිත‍්‍ර ජලය හේතුවෙන් මේ ප‍්‍රදේශයේ ජනයා සිය දහඩිය මහන්සිය වගුරුවා කැපූ ළිං වල ජලය අපිරිසිදු වන්නේ ද, නැද්ද යන කාරණය මතයි.

එසේ නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේ එම ප‍්‍රශ්නය ගැන සොයා බලා ඊට අවශ්‍ය පියවර ගැනීමයි. ඒ අනුව හේලීස් සමාගම වැරදි නම් එම සමාගම වසා දැමීමට ද, එම සමාගම නිවැරදි නම් ජනතාව මතු කරන ප‍්‍රශ්නය ගැන සොයා බලා ඊට විසඳුම් යෙදීම ද ආණ්ඩුව කළ යුතුව තිබුණා.

කෙසේ නමුත් ඒ කිසිවක් නොකළ ආණ්ඩුව ඒ වෙනුවට කළේ පිරිසිදු පානීය ජලය ඉල්ලා මේ ජනතාව අගෝස්තු පළමු වැනිදා සවස උද්ඝෝෂණය කළ ස්ථානයට හමුදාව යොදවා, ජනතාවට වෙඩි තබා තිදෙනෙකු ඝාතනයට ලක් කිරීමයි.

මේ සිද්ධියට දවස් විසි පහකට පසුව සිදුව තිබෙන්නේ කුමක්ද කියා පැහැදිලිව සොයා බැලිය යුතුයි. මේ වන විට අදාළ කර්මාන්ත ශාලාව සුපුරුදු පරිදි විවෘත කර තිබෙන අතර වෙඩි තැබීමේ සිද්ධියෙන් ජීවිතක්‍ෂයට පත්වූ අයගේ පවුල්වල සාමාජිකයින් ජනාධිපති මන්දිරයට කැඳවා තේ පැන් සංග‍්‍රහයක් ලබා දුන්නා. එමෙන්ම ගම්පහ, රතුපස්වලට නළ ජලය දී එම ජනතාවගෙන් ආණ්ඩුව ජල බද්දක් ද අය කර ගැනීමට කටයුතු යොදා තිබෙනවා.

මේ උද්ඝෝෂණයට පෙර විදුලිය වෙනුවෙන් පමණක් වැඩිපුර මුදලක් යෙදීමට සිදු වූ ගම්පහ, වැලිවේරිය රතුපස්වල ජනතාවට මේ වන විට ජල ගාස්තුවක් ද ගෙවීමට සිදු වෙලා. ඒ අනුව බැලූවාම මේ ක‍්‍රියාවලිය හරියටම ගහෙන් වැටුණ මිනිහාට ගොනා ඇන්නාට සමානයි.

මේ සිද්ධියට වගකිව යුතු අය අත්අඩංගුවට ගත්තාද? ඒ අයට නීතිය අනුව දඬුවම් කළා ද? නැහැ. ඒකාධිපති රෙජීමය ජනතාවට මෙසේ සලකන්නේ ඇයි? ජනතාව කළ වරද කුමක්ද?

ඇත්ත වශයෙන්ම ගම්පහ, වැලිවේරියේ සිදු වූ පළමු මිනිස් දඩයම වන්නේ ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ ඇමැතිවරයායි. එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් එම පළමු දඩයම වෙනුවෙන් මේ ප‍්‍රදේශයට කඩා වැදී එතුමා ඝාතනය කළා. ඒ අවස්ථාවේ දී මේ ප‍්‍රදේශයේ සාමාන්‍ය ජනතාව ද එම එල්.ටී.ටී.ඊ. බෝම්බ ප‍්‍රහාරයට ලක්ව ජීවිතක්‍ෂයට පත්වූ බව අපට මතකයි.

ඊට පසුව ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය කළේ පිරිසිදු පානීය ජලය ඉල්ලා ජනතාව උද්ඝෝෂණයේ යෙදී සිටි ස්ථානයට හමුදාව යොදවා ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කළ එම ජනතාවට වෙඩි තබා ඝාතනය කරමින් දෙවන මිනිස් දඩයම ක‍්‍රියාත්මක කිරීමයි.

මේ වෙඩි තැබීමේ සිද්ධියෙන් ජීවිතක්‍ෂයට පත්වූ තිදෙනාගේ පවුල්වලට වන්දි ගෙව්වා යැයි ආණ්ඩුව කියන නමුත් ඒ පවුල් වෙනුවෙන් කොපමණ වන්දියක් ගෙව්වාද කියා අප කවුරුවත් දන්නේ නැහැ. එම පවුල් වෙනුවෙන් වන්දියක් දුන්නා නම් එම වන්දිය සහ ප‍්‍රමාණය රහසක් ලෙස තබා ගෙන සිටින්නේ ඇයි? ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ අමාත්‍යවරයා ඝාතනයට ලක්වූ අවස්ථාවේ දී ඔහු වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 50 ක වන්දියක් ලබා දුන්නා අපට මතකයි. එසේ නම් මේ පවුල් වෙනුවෙන් ආණ්ඩුව වන්දි වශයෙන් දුන්නේ ඊට වඩා අඩු මුදලක් ද, ඊට සමාන මුදලක් ද, නැතිනම් ඊට වඩා වැඩි මුදලක් ද කියා වහාම රටට – ජනතාවට කරුණු හෙළිදරව් කළ යුතුයි.

ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරයා වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 50 ක වන්දියක් දුන්නා නම් මේ පවුල් තුන වෙනුවෙනුත් රුපියල් ලක්‍ෂ 50 බැගින් වන්දි ගෙවිය යුතු බව අපේ ස්ථාවරයයි. මේ ජනතාව වෙනුවෙන් උද්ඝෝෂණය කිරීමට අපට අයිතියක්, යුතුකමක් සහ වගකීමක් තිබෙන බව අවධාරණය කළ යුතුයි. පිරිසිදු පානීය ජලය ඉල්ලා ජනතාව ආණ්ඩුවට එරෙහිව කළ මේ උද්ඝෝෂණයේ දී පුද්ගලයින් දෙදෙනෙකු පල්ලිය ඇතුලත දී ද, තවත් පුද්ගලයෙකු මේ ප‍්‍රදේශයේ ගමන් කරමින් සිටියදී ද මැරුම් කෑ අතර ඊට හමුදාව වගකිව යුතුයි.

මේ සිද්ධියට වගකියන්නේ කවුරුන්ද? මේ අපරාධය කළේ කවුරුන්ද? හමුදාව මේ ස්ථානයට  කැඳවූයේ කවුරුන්ද? ජනතාවට වෙඩි තබන ලෙසට හමුදාවට අණදුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ආණ්ඩුව මේ වනතුරුත් රටට – ජනතාවට කිසිවක් කියා නැහැ.

මේ සිද්ධියට වගකිව යුතු අයට එරෙහිව නඩු පැවරීමට අපොහොසත් වූ පොලිසිය මේ ජනතාව වෙනුවෙන් මේ සිද්ධියට එරෙහිව ක‍්‍රියා කරන විපක්‍ෂයේ විරෝධයේ දේශපාලන නායකයින් 9 දෙනාට විරුද්ධව නම් ඉතාම ඉක්මනින් නඩු පැවරුවා. මේ අනුව පැහැදිලි වන්නේ මේ ආණ්ඩුව  යටතේ නඩු අසන්නේ සහ තීන්දු තීරණ ලබා දෙන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කාලයේ දී වගේ බවයි.

ජනතාව උද්ඝෝෂණය කළ මේ ස්ථානයට පොලිසිය නොයොදවා හමුදාව කැදවීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පැහැදිලිවම වගකිව යුතුයි. වේලූපිල්ලේ ප‍්‍රභාකරන් මැරූ අපට මේ වැඬේ කජ්ජක් ද කියා ප‍්‍රශ්න කරමින් හමුදාව මේ ජනතාවට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කළා. ඒ ආකාරයට ජනතාවට වෙඩි තැබීමට හමුදාවට උපදෙස් දුන්නේ කවුරුන් ද? එදා එම ස්ථානයේ දී මේ ප‍්‍රකාශය කළේ කිනම් අයෙකු ද කියා මම හොදින්ම දන්නා අතර ඒ පිළිබඳ සියලූ තොරතුරු වේලාවට රටට – ජනතාවට හෙළි කරනවා.

නීතියේ ආධිපත්‍යයක් තිබෙනවා නම් ජනතාවට එදා වෙඩි තැබුවේ කවුරුන් ද, ඒ කිනම් අයෙකුගේ අණකට අනුව ද, එම ස්ථානයට හමුදාව කැඳවූයේ කවුරුන් ද සහ ඒ මන්ද කියා අප කවුරුත් දැනගත යුතුයි.

එමෙන්ම මෙවැනි සිද්ධියක දී මරණයක් සිදු වුණාම ඒ ගැන විභාග කළ යුත්තේ මහෙස්ත‍්‍රාත්වරයා වන අතර එම මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණයෙන් පසුව එම මරණය මිනී මැරුමක් ද, සිය දිවි නසා ගැනීමක් ද, සාමාන්‍ය මරණයක් ද යන්න පිළිබඳව සහ මරණයට හේතු වූ සාධක කවරේද යන්න පිළිබඳව ඔහු කරුණු කාරණා ඉදිරිපත් කළ යුතුයි.

නමුත් මේ සිද්ධියේ දී සිදු වූයේ මහෙස්ත‍්‍රාත්වරයාට පෙර හමුදාව මේ සිද්ධිය පිළිබඳ සියලූ පරීක්‍ෂණ අතට ගෙන සිදු කිරීමයි. හමුදාවට ඒ සඳහා තිබෙන අයිතිය කුමක්ද? එසේ නම් ආණ්ඩුව කළ යුත්තේ යුද හමුදාපතිවරයාව මේ රටේ අගවිනිසුරු ධූරයට පත් කිරීමයි. ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් පහ කළා සේම වත්මන් අගවිනිසුරුවරයාට එරෙහිව ද යෝජනාවක් ඉදිරිපත් කරමින් ඔහු එම ධූරයෙන් පහ කර ඊට යුද හමුදාපතිවරයා පත් කිරීමේ හැකියාව ආණ්ඩුවට තිබෙනවා. එවිට ඔහුට රටේ යුද හමුදාපතිවරයා සේම අගවිනිසුරුවරයා ලෙස ද ක‍්‍රියා කළ හැකියි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කර මහේස්ත‍්‍රාත්වරය සිය තීන්දුව ලබා දුන්නාට පසුව හමුදාව කළ යුතුව තිබුණේ එම තීන්දුවට අදාළව ක‍්‍රියා කරමින් හමුදාවේ නිලධාරීන් සහ සෙබලූන් එම ස්ථානයේ දී එසේ ක‍්‍රියා කළේ මන්ද යන්න පිළිබඳව අභ්‍යන්තර පරීක්‍ෂණයක් සිදු කරමින් අවශ්‍ය පියවර ගැනීමයි.

කෙසේ නමුත් උද්ගත වී තිබෙන තත්ත්වය අනුව මේ රටේ නීතියේ ආධිපත්‍යයක් තිබෙනවා ද, නැද්ද කියා මනාව පැහැදිලි වනවා. මේ සිද්ධියේ දී මාධ්‍යවේදීන් දඩයම් කිරීමක් ද, සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් කිසිඳු පරීක්‍ෂණයක් සිදු වන්නේ ද නැහැ. මේ සිදුවීමෙන් දවස් 25 කට පසුව මාධ්‍යවේදීනී මන්දනා ස්මයිල් අබේවික‍්‍රම මහත්මියගේ නිවසට කණ්ඩායමක් කඩා වැදී නැවත මැර ප‍්‍රහාරයක් එල්ල කළා.

ඇයගේ නිවසට කඩා වැදුණේ කවුරුන්ද? ඒ ඇයි? මෙසේ කඩා වැදුණේ කිනම් අරමුණක් වෙනුවෙන්ද? ඇයගේ නිවසට මෙසේ කඩා වැදුණු කණ්ඩායමේ එක් අයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු අවිස්සාවේල්ලේ පදිංචි ඉන්දික සම්පත් කුමාරසිරි නැමැත්තායි. එම සිද්ධියේ දී තුවාල ලැබූ අය අතර සිටින ඔහුගේ සහෝදරයින් දෙදෙනාගෙන් එක් අයෙකු යුද හමුදා සෙබලෙකු වනවා. එමෙන්ම මේ කණ්ඩායමේ තවත් පුද්ගලයෙකු යුද හමුදා සෙබලෙකු බවට මේ වන විට කරුණු හෙළිදරව් වී තිබෙනවා. මේ අනුව පැහැදිලි වන්නේ ගම්පහ, වැලිවේරියෙන් ආරම්භ කෙරුණු දඩයම මේ වන විට කොළඹ දක්වා පැතිර ගොස් තිබෙන බව නොවේද?

මාධ්‍යවේදිනී මන්දනා ස්මයිල් මහත්මියගේ නිවසට කඩා වැදී පහර දීමේ සිද්ධිය ගැනත් කරුණු සොයා නොබලා එම සිද්ධියත් යට ගැසීමේ උත්සාහයක ආණ්ඩුව යෙදී සිටිනවා. ඇයගේ නිවසට කඩා වැදුණු කණ්ඩායමේ අයෙකු පොලිස් නිලධාරියෙකුට පවා පිහියෙන් ඇණ තිබුණත් මේ කිසිදු සිද්ධියක් ගැන ආණ්ඩුව කරුණු සොයා බලා පරීක්‍ෂණ කරන්නේ නැහැ. පොලිස් නිලධාරියාව ඝාතනය කිරීමට උත්සාහ කළ අයට විරුද්ධව නීත්‍යානුකඣලව ක‍්‍රියා කිරීමට ඉඩ නොදෙන්නේ ඇයි? අපට ඒ ඒ ස්ථානවල රැස්වීම් සංවිධානය කරන්න එපා යැයි කියන පොලිසියට පොලිසියේම නිලධාරියෙකුට පිහියෙන් ඇනීමට එරෙහිව ක‍්‍රියා කිරීමට නොහැකි නම් මේ රටේ තිබෙන නීතිය, යුක්තිය සහ සාධාරණත්වය  කුමක්ද? ඒ අනුව මන්දනා ස්මයිල් මාධ්‍යවේදිනියගේ නිවසට කණ්ඩායමක් කඩා වැදී පහර දුන් සිද්ධියට එරෙහිව ද මේ අයට කිරීමට තිබෙන්නේ විපක්‍ෂයේ විරෝධයේ දේශපාලන නායකයින්ට එරෙහිව නඩු පැවරීමයි.

අප සියලූ දෙනා එකට ඒකාබද්ධව මේ ජනතා ව්‍යාපාරය ගොඩනැගුවේ නීතිය, යුක්තිය සහ සාධාරණත්වය නැවත රජ කරවීමට වන නිසා ඒකාධිපති රෙජීමය එම කාර්යභාරය ඉටු නොකරන්නේ නම් අප සියලූ දෙනාම මහ පාරට බැස 2014 දී ආණ්ඩු මාරු කරන ජාතික මැතිවරණයක් ගෙන මේ ආණ්ඩුව පෙරළා යහපාලනයක් රටේ ඇති කරනවා.

ගම්පහ, වැලිවේරියේ මහජන රැස්වීම් සංවිධානය කිරීමට ආණ්ඩුව අපට ඉඩ නොදුන්නොත් අප මේ දිස්ත‍්‍රික්කය පුරා ගෙන් ගෙට ගොස් සෑම නිවසකම මිදුලේ ජනතා රැස්වීම් සංවිධානය කරමින් ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළගස්සවනවා.

ආණ්ඩුව සඳුදා (26) රාත‍්‍රියේ අපේ ජන රැුළියට එරෙහිව මේ ප‍්‍රදේශයේ පෝස්ටර් ගැසීමෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුව අතිශය භීතියට පත්ව සිටින බවයි. ආණ්ඩුව කිනම් පෝස්ටරයක් ගසා ජනතාව මුලා කිරීමට උත්සාහ කළත් ගම්පහ, රතුපස්වලට ආණ්ඩුව දුන්නේ ලේ වැගිරීමක් බව කිව යුතුයි.

ඒ අනුව මේ ව්‍යාපාරය ආණ්ඩුවට එරෙහිව අඛණ්ඩවම ඉදිරියට ක‍්‍රියාත්මක කරන අතරතුර මන්දනා ස්මයිල් මාධ්‍යවේදිනියගේ නිවසට කඩා වැදුණේ කවුරුන්ද කියා ප‍්‍රශ්න කරන අප එම සිද්ධිය යට ගැසීමට ද ආණ්ඩුවට ඉඩ තබන්නේ නැහැ.

මේ කණ්ඩායම මන්දනා ස්මයිල් මාධ්‍යවේදිනියගේ නිවසට කඩා වැදුණේ පුද්ගලික ආරවුලක් මත ද, පොලිසිය කියන ආකාරයට මංකොල්ලකෑමට ද, එසේත් නොමැති නම් ‘ක‍්‍රිෂ්’ වංචාවට අදාළ ලිපි ගොනුව පැහැර ගැනීමට ද කියා මම ප‍්‍රශ්න කරනවා.

‘ක‍්‍රිෂ්’ වංචාව යනු කොළඹකිට‍්‍රාන්ස් වර්ක් හවුස්කි එක විකුණා ඒ සල්ලි වංචා කිරීමේ සිද්ධිය වන අතර ඊට අදාළ සියලූ තොරතුරු ඇතුළත් ලිපි ගොනුව මන්දනා ස්මයිල් මහත්මිය සතුව තිබුණා. එසේ නම් මේ කණ්ඩායම ඇයගේ නිවසට මෙසේ කඩා වැදුණේ එම ලිපි ගොනුව පැහැර ගැනීමට නොවේද?

මන්දනා ස්මයිල් මාධ්‍යවේදිනියගේ නිවසේ තිබුණු නවීන විදුලි උපකරණ සහ ස්වර්ණාභරණ ඇතුලූ දේපොළ කොල්ලකෑමට මේ ආකාරයට හමුදා සාමාජිකයින් ද ඇතුලූ පස් දෙනෙකු එම නිවසට කඩා වදිනවාද? අපට අනුව නම් ඇයගේ නිවසේ එකම වටිනාකමකින් යුතු යමක් තිබුණා නම් ඒ ‘ක‍්‍රිෂ්’  වංචාවට අදාළ තොරතුරු ඇතුළත් ලිපි ගොනුවයි. එම ලිපි ගොනුව ආරක්‍ෂා කිරීමේ වගකීම සහ කාර්යභාරය අපටත් මේ වන විට පැවරී තිබෙන අතර මේ සිද්ධිය නිසාම එම ලිපි ගොනුවේ පිටපත් අපටත් ලැබී තිබෙනවා.

මේ ‘ක‍්‍රිෂ්’ වංචාව ඇතුලූ ආණ්ඩුවේ දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා වෙනුවෙන් ගෙවීමට සිදුව තිබෙන්නේ ගම්පහ, වැලිවේරිය ජනතාව ඇතුලූ සමස්ත ජනතාවටයි. එම නිසා ජනතාවට ආණ්ඩුව යුක්තිය සහ සාධාරණත්වය ඉටු නොකරන්නේ නම් ඊට එරෙහිව අප මේ සටන ඉදිරියට ක‍්‍රියාත්මක කරනවා. එමෙන්ම ගම්පහ, වැලිවේරිය ජනතාවට සහ වෙඩි තැබීමෙන් ජීවිතක්‍ෂයට පත්වූ තරුණයින් තිදෙනා වෙනුවෙන් ද ආණ්ඩුව නීතිය, යුක්තිය සහ සාධාරණත්වය ඉටු කරන තුරු මේ සටන අප සියලූ දෙනා එකට ඒකාබද්ධව අඛණ්ඩවම ක‍්‍රියාත්මක කරන බවට සහතික වනවා.

*පිරිසිදු පානීය ජලය ඉල්ලා සාමකාමී ලෙස උද්ඝෝෂණයේ යෙදුණු ගම්පහ, වැලිවේරියේ නිරායුද ජනතාවට හමුදාව යොදවා වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට එරෙහිව ‘සගි බලවේගය’ විසින් 2013-08-27 වැනි දින වැලිවේරිය කී‍්‍රඩාංගනයේ සංවිධානය කර තිබූ ජන රැළියේ දී අදහස් දැක් වූ එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා. 

Latest comments

  • 0
    0

    They will promote army goons instead of giving 50 laks for the deceased families

  • 0
    0

    valiveriya janathawata vandi anduwen den nathuwa vipakshen kohomath den nane.Ranil Wickramasinghe mahaththaya lokuwata kathakalata eya anduwata awa dawasata mona wage awl walata muna denna sidu weida hithaganna amarui.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.