26 April, 2024

Blog

සිදුවෙමින් පවතින්නේ කුමක්ද​?

රනිල් වික්‍රමසිංහ

පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී සිරිසේන, රාජපක්‍ෂ හවුලට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව ඔවුන්ට පිළිගන්න සිදුවුණා. 

පාර්ලිමේන්තුවේ සෑම කාරක සභාවක්ම තේරීම සඳහා තේරීම්කාරක සභාවක් පත්කළ යුතු බව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල සඳහන් වෙනවා. කතානායකතුමාට අමතරව පක්‍ෂවල සංයුතිය අනුව එම තේරීම්කාරක සභාවට දොලොස් දෙනෙකු (12) පත්කළ යුතුයි.

ඒ අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් නියෝජනය කරමින් පස්දෙනෙක් (05) ද, ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එක් (01) අයෙක් ද දෙමළ ජාතික සන්ධානයෙන් එක් අයෙක්ද පත් කළා. ඊට අමතරව සිරිසේන රාජපක්‍ෂ හවුලෙනුත් පස් දෙනෙක් (05) පත් කළා. මේ සංයුතියට ඔවුන් විරුද්ධ වුණා. නමුත් 23 වැනිදා අපි නමින් ඡන්දය ලබාගත්තා. අපට ඡන්ද 121 ක් ලැබුණා. අපේ තවත් එක් මන්ත්‍රි තුමෙකුව අසනීප වී සිටී නිසා එදා පාර්ලිමේන්තුවට පැමිණීමට හැකි වුණේ නැහැ. එතුමන් පැමිණියා නම් අපට ඡන්ද 122 ක් ලැබෙනවා. අපේ මේ ඡන්ද සංඛ්‍යාව ඉදිරියේදී තවත් වැඩිවන බව මට විශ්වාසයි. 

මේ අනුව පාර්ලිමේන්තුවේ නමින් ඡන්දය ලබාගෙන බහුතරය අප පෙන්වා තිබෙනවා. මේ කටයුත්ත සාර්ථකව අපට සිදු කිරීමට හැකි වුණේ කතානායකතුමා සෘජුව සිටිමින් ස්වාධීනව කටයුතු කළ නිසයි. 

ලෝකයේ කිසිදු කතානායකවරයෙක් මුහුණ නොදුන් ප්‍රශ්නවලට මෙරට කතානායකතුමාට පසුගිය සතියේ මුහුණ පෑමට සිදුවුණා. පසුගිය 14 වැනිදා සිට දින කිහිපයක් පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑමට එතුමා උත්සාහ කළත් ඊට ඉඩ ලැබුනේ නැහැ. සිරිසේන, රාජපක්‍ෂ හවුල පාර්ලිමේන්තු සභා ගර්භය කෙලෙසුවා. කතානායකතුමාගේ පුටුව කඩාබිඳ දමා විනාශ කළා. සෙංකෝලය සොරකම් කිරීමට උත්සාහ කළා. සෙංකෝලය තබන මේසය පෙරලා දැමුවා. එපමණක් නොවෙයි ක්‍රිස්තියානි ආගමට අයත් මන්ත්‍රීවරයෙක් බයිබලයෙන් දමා ගැසුවා. බයිබලයක්, කුරානයක්, ධම්මපදය වගේම ශුද්ධ වූ වටිනා පොත් ලෙස බෞද්ධ අප සලකනවා. එවැනි පසුබිමක තමන්ගේ ආගමේ ශුද්ධ වූ පොතෙන් දමලා ගසනවා නම් ඔවුන් මන්ත්‍රීවරුන්ද තිරිසන්නුන්ද කියා විමසීමට අපට සිදුවෙනවා. මන්ත්‍රීවරුන්ට මිරිස්කුඩු ගසමින් පාර්ලිමේන්තුවේ මහා විනාශයක් සිදු කරන මෙවැනි අයටද රට බාරදෙන්නේ කියා අප ජනතාවගෙන් විමසනවා. 

පසුගිය කාලය පුරාවටම කතානායකතුමා සෘජුව සිටිමින් ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳව අප එතුමට ස්තූතිය පළකළ යුතුයි. එතුමා ස්වාධීනව කටයුතු කළ නිසා සිරිසේන, රාජපක්‍ෂ හවුල අද එතුමාට දොස් නගනවා. කතානායකතුමා කළ වරද කුමක්ද? ස්ථාවර නියෝග නිසිපරිදි ක්‍රියාත්මක කිරීමද? එතුමා යට නොවුන නිසා ඒ අය එතුමාට යට වුණ බව කිව යුතුයි. 

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්දයට මේ අය බිය වන්නේ මන්දැයි ලෝකයේ මෙන්ම අපේ රටේද බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. කොපමණ අභියෝග එල්ල වුනත් කතානායකතුමා ස්වාධීනව කටයුතු කළ නිසා නැවත පාර්ලිමේන්තුවේ සාමකාමී තත්ත්වයක් ඇති කිරීමට හැකි වුණා. 

බුදුරජානන් වහන්සේ එදා ලිජ්ජවී රජ දරුවන්ට දේශනා කළේ ‘සාමයෙන් රැස්වෙන්න, සාමයෙන් සාකච්ඡා කරන්න, සාමයෙන් විසිර යන්න’ කියායි, එහෙත් බුදුදහම ආරක්‍ෂා කරනවා යැයි කියමින් නූතන දුටුගැමුණු ලෙස හඳුන්වා ගත්ත නායකයා යටතේ පසුගිය දිනවල කුමක්ද සිදුවූයේ. සාමයෙන් රැස්වුණාද? සාමයෙන් සාකච්ඡා කළාද? සාමයෙන් විසිර ගියාද? මේ හැම දෙයක් යහපාලනයෙන් අප ආරක්‍ෂා කළා. ඒ සියල්ල දුටුගැමුණු එක මොහොතකින් විනාශ කළා. යහපාලනයෙන් මේ රටේ නිසි ක්‍රමවේදයක් ගොඩ නැගුණා. පාරිලමේන්තුවේ කටයුතු සිදුවන බවටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ක්‍රියාකරන බවටත්, මාධ්‍ය නිදහස ආරක්‍ෂා වන බවටත් ජනතාව තුළ විශ්වාසයක් තිබුණා. ඒ ජනතා විශ්වාසය ඔක්තෝබර් 26 වැනිදා කඩා විනාශ කර දැමුවා. 

කෙසේද එය කළේ. මා අගමැති ධූරයේ සිටියදී මහින්ද රාජපක්‍ෂ ගෙනවිත් දැම්මා. නීති විරෝධි ලෙස ඇමතිවරු ඉවත් කළා. මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විට කුමක්ද පාර්ලිමේන්තුවේ අය කළේ. ගහගත්තා. කතානායකතුමාට අසුනට එන්න දුන්නේ නැහැ. කතානායක පුටුව කඩා දැම්මා. මිරිස්කුඩු ගැසුවා. මේ සියලූ දේ දෙස අපි නිහඩව අසුන්ගෙන බලා සිටියා. පාර්ලිමේන්තුව එවැනි තත්ත්වයකට පත්කරන්න අපට උවමනා වුනේ නැහැ. මේ සිදුවීම් හමුවේ අවසානයේ පොලීසිය කැඳවා පොලිස් ආරක්‍ෂාව යටතේ තම ධූරයේ වැඩකටයුතු කරගෙන යෑමට කතානායකතුමාට සිදුවුණා. මෙවැනි විනාශයක් කළ අයටද ඔබේ වටිනා ඡන්දය දෙන්නේ. මේ අයටද රටේ බලය දෙන්නේ කියා විමසිලිමත්ව බැලිය යුතුයි. 

පාර්ලිමේන්තුවේ මේ හැසිරීම නිසා තරුණ තරුණියන් තුළ පැවති විශ්වාසය හා බලාපොරොත්තු කැඩුනා. ජනතාව බලාපොරොත්තු වුනේ මෙවැනි පාලනයක් නොවෙයි. මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදයක් නොවෙයි. පසුගිය ජනාධිපතිවරණයේදී හා පාර්ලිමේන්තු මහමැතිවරණයේදී රටේ බහුතරයක් මහින්ද රාජපක්‍ෂ සහ ඔහුගේ පාලනය ඉවත් කිරීම සඳහා රටේ බහුතරයක් සිය ඡන්දය පාවිච්චි කළා. එලෙස ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ මහින්ද රාජපක්‍ෂ නැවත නීතිවිරෝධිව බලහත්කාරයෙන් පසුගිය 26 වැනිදා අගමැති ධූරයට පත් කළා. 

මෙලෙස ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකුට නැවත බලය ලබාදුන්නේ කෙසේද? මෙය ප්‍රජාතන්ත්‍රවාදීද? ඔහුව පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිනම් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ගෙන යන්නේ කෙසේද? එහි අවසන් ඵලය වුනේ පාර්ලිමේන්තුවේ මැර ක්‍රියා සිදුකර ජනතා විශ්වාසය සුනු විසුනු කර දැමීමයි. මේ තත්ත්වය තවදුරටත් ගියොත් ජනතාවගේ ඡන්ද බලයේ වටිනාකමක් පාර්ලිමේන්තුවේ වටිනාකමක් රටේ තරුණ තරුණියන් ඇතුළු සමස්ථ ජනතාවගේ අනාගතයක් නැතිවෙනවා. ඒ අයිතීන් ආරක්‍ෂා කර දීමට අද අප කැපවී සිටින බව කිව යුතුයි. 

මැතිවරණයකට මුහුණ දීමට අපි බය නැහැ. එහෙත් ඒ මැතිවරණය නීත්‍යානුකූල​ ආණ්ඩුවක් යටතේ පැවැත්විය යුතුයි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඒ ඡන්දය පැවැත්විය යුතුයි. එලෙස නොපවත්වනවා නම් එය ස්වාධීන ඡන්දයක් වෙන්නේ නැහැ. ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට සූදානම්. ඒ සඳහා සුදුසු දිනය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්‍ෂ එකට එකතු වී සාකච්ඡා කර තීරණය කළ යුතුයි. ඒ අනුව ඕනෑම දිනයක මැතිවරණය පැවැත්වීය හැකියි. ඊට මුහුණ දීමට අප සූදානම්. අප සමග සිටින කව්රුත් මහමැතිවරණයකට බය නැහැ. 

මේ අනුව මූලින් පවත්වන්නේ ජනාධිපතිවරණයද පාර්ලිමේන්තු මැතිවරණයද කියා තීරණය කළ හැකියි. ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තීරණය කරනවා නම් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයකගෙන් එය සම්මත කරගත හැකියි. එය අපට ප්‍රශ්නයක් නොවෙයි. 

නමුත් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා විය යුතුයි. ඒ අයිතිවාසිකම් ආරක්‍ෂා කරනවා සේම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කර ඒ ව්‍යවස්ථාවට අනුව මහමැතිවරණයකට යා යුතුයි. 

ස්වාධීනව පවත්වන කුමන මැතිවරණයකදී වුවද ජනතාවට තමන් කැමති පක්‍ෂයට හා පුද්ගලයාට ඡන්දය පාවිච්චි කළ හැකියි. නමුත් ඔබ තුළ විශ්වාසයක් තිබිය යුතුයි ඒ ඡන්දය ලබාගෙන ඔබේ විශ්වාසයට අනුව ආණ්ඩුව ව්‍යවස්ථානුකූලව වැඩකරන බවට. අවාසනාවකට මෙන් අද ඒ විශ්වාසය නැති වී ගොස් තිබෙනවා. 

අපේ ආණ්ඩුව බලයට පත්වී රටේ මාධ්‍ය නිදහස ඇති කළා. එහෙත් මාධ්‍යයට ඒ නිදහස ගැන නොතේරෙන බව මා ප්‍රකාශ කළා. අද මේ රටේ මාධ්‍යයට කුමක් ද සිදුව තිබෙන්නේ. පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ සුළු වෙලාවකින් සිරිසේන, රාජපක්‍ෂ හවුල ඉන් පිටව ගියා. ඊට පසු අනුර කුමාර දිසානායක, මංගල සමරවීර, විපක්‍ෂනායක ආර්. සම්බන්ධන් යන මහත්වරු පුළුල් ලෙස අදහස් දැක්වූවා. මේ එකක්වත් මාධ්‍ය නිසි පරිදි පළ කළේ නැහැ. අනුර කුමාර දිසානායක මහතා කළ කතාවේදී මහින්ද රාජපක්‍ෂටත්, මෛත්‍රීපාල සිරිසේනටත්, මටත් දොස් කිව්වා. එහිදි මා හිතුවා අඩුම තරමින් මට දොස් කියපු කොටස හෝ මාධ්‍ය පළ කරයි කියා. ඒ කොටසවත් දැම්මේ නැහැ. 

මේ සියල්ල මාධ්‍ය වාර්තා කළා නම් පාර්ලිමේන්තුවේ සිදුවුණේ කුමක්ද කියා ජනතාවට දැන ගැනීමට තිබුණා. නමුත් මාධ්‍ය වාර්තා කළේ මේ සම්බන්ධව පැවති මාධ්‍ය සාකච්ඡා පමණයි. මාධ්‍ය ස්වාධීනව ක්‍රියා කළා නම් මේ සිද්ධීන් දෙකම පළකළ යුතුයි. නමුත් එහෙම වුණේ නැහැ.

අද මේ රටේ මාධ්‍ය උත්සාහ කරන්නේ එදා රාජපක්‍ෂ යුගයේ රාජපක්‍ෂට යටවුණා සේ අද සිරිසේන, රාජපක්‍ෂ යුගයට යටවී ක්‍රියා කිරීමටයි. 

අද බලය නැති කණ්ඩායමක් මැරයන් මෙන් බලය ඉල්ලා සිටිනවා. මේ මැර කණ්ඩායම අගමැති, මුදල් හා ආර්ථික ඇමති, අධ්‍යාපන ඇමති වැනි නම්වලින් බෝඩ් ගණනාවක් පාර්ලිමේන්තුවේ ඔසවාගෙන සිටිනවා. ඒ අනුව ඔබට වුනත් අපි ඇමති කියා බෝඩ් ඔසවා ගෙන යා හැකියි.   

අද මේ කණ්ඩායම කූඩැල්ලා ලේ උරාබොනවා සේ බලෙන් එල්ලී සිටිනවා. ජනතා බලය යොදවා මේ කූඩැල්ලා ඉවත් කිරීමට අප සූදානම් විය යුතුයි. මේ සඳහා ඔබ දියත් කර තිබෙන මෙවැනි විරෝධතා මෙන්ම බෝධි පූජා වැඩසටහන් මා අගය කරනවා. මෙහි ඊලඟ පියවර අපි සංවිධානය වී පාරට බැසීම බව කිව යුතුයි. 

ජනතාවගේ අයිතීන් විනාශ කරනවා නම් ඒ අයිතීන් පාගා දමනවා නම් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට අප සූදානම් විය යුතුයි. ඒ අනුව ලබන 29 වැනිදා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්වෙනවා. එයට මුහුණ දීමේ ගමන අප ආරම්භ කළ යුතුයි. මෙම වැඩපිළිවෙලට එක්සත් ජාතික පක්‍ෂය හා එක්සත් ජාතික පෙරමුණේ අය පමණක් නොව අනෙක් පක්‍ෂවල අයත් රටේ සමස්ථ ජනතාවත් අත්වැල් බැඳගෙන එක්විය යුතුයි. ලේ උරා බොමින් බලෙන් එල්ලී සිටින කූඩැල්ලා මේ ජනතා බලවේගය යොදවා ඉවත් කර දැමීමට අප සූදානම් බව කිව යුතුයි. 

ඒ නිසා මේ සිරිසේන, රාජපක්‍ෂ යුගය අවසන් කරන්නට අපි සූදානම් වෙමු. අපි එක්රැස් වෙමු. සියලූ පාර්ශවයන් එකතු වී ප්‍රජාතන්ත්‍රවාදයත් යහපාලනයත් ආරක්‍ෂා කිරීම සඳහා ඉදිරියට යමු.  

*ඊයේ (24) දින මහනුවර නගරයේදී පැවති ‘යුක්තියේ ජනහඩ’ විරෝධතා රැලියට සහභාගි වූ ජනතාව අමතමින් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Are you acting through self interest or are you having a selfless interest?

    To get you to a state of selfless interest is the purpose of any religion.

    At least we need to use this principle when we look for a leader in the next election.

    1. Is the candidate acting mostly through self interest?
    2. Are you basing your decision because of self interest?

    Strive to be a selfless person like Buddha or any great person who lived by example in the past.

    Learn how to behave in a more inclusive culture and be a part of one nation.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.