19 April, 2024

Blog

ත්‍රස්තවාදය, ජාතිවාදය හා නිදහසින් පසු ප්‍රථම මුස්ලිම් අමාත්‍යවරයෙකු නොමැති රජය

රනිල් වික්‍රමසිංහ

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මාසයක් ගත වන විට ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය මර්දනය කිරීමට අපට හැකි වුණා. ඊට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන් පිරිසක් ජීවිතක්‍ෂයට පත්වූ අතර අනෙක් සියලූ දෙනා මේ වන විට අත්අඩංගුවේ පසුවෙනවා. මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඊට සම්බන්ධ සියලූ දෙනා මාසයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට හැකි වීම ලෝක වාර්තාවක් ලෙස හැදින්විය හැකියි. එවැනි සාර්ථකත්වයක් ලබාගත් රටවල් තිබෙන්නේ ඉතා ස්වල්පයක් පමණයි.

නමුත් මේ සම්බන්ධයෙන් මා තුළ එක් කණගාටුවක් තිබෙනවා. එනම්, මෙතරම් ඉක්මනින් මෙම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගත් රටේ ආරක්‍ෂක අංශ වෙත ඔවුන්ට හිමි ගෞරවය ලබාදීමට අපේ රටේ මාධ්‍ය කටයුතු නොකිරීමයි. මෙම ආරක්‍ෂක කටයුතු සිදු කළ පොලිසිය, බුද්ධි අංශ ඇතුලූ සියලූම ආරක්‍ෂක අංශ වෙත ප්‍රශංසාව හා ගෞරවය ලබාදීමට රටේ මාධ්‍ය පැකිලෙන්නේ මන්දැයි මා දන්නේ නැහැ. ඔවුන් රට වෙනුවෙන් සිදු කළේ විශේෂ සේවාවක්…

එංගලන්තය, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව වැනි රටවල් මේ සම්බන්ධයෙන් මා සමඟ පැවසූයේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු මෙතරම් ඉක්මනින් සොයාගත් වෙනත් රටක් නොමැති බවයි. 

ප්‍රහාරය සිදුවූ දින දහවල් කාලයේ දී මීට සම්බන්ධ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්නැයි මම උපදෙස් ලබා දුන්නා. එදිනම පස්වරුව වන විට අපේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ ජීවිත අහිමි කරගනිමින් වුණත් එම ත්‍රස්තවාදීන් පිළිබඳ අත්‍යවශ්‍ය තොරතුරු රැසක් සොයා ගැනීමට හැකි වුණා. එම සිදුවීමෙන් සතියක් ගත වීමට පෙර ඊට සම්බන්ධ ප්‍රධානම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. 

නමුත්, මෙතරම් විශිෂ්ඨ සේවයක් සිදු කළ රටේ ආරක්‍ෂක අංශ වෙත එම ගෞරවය හා ප්‍රශංසාව ලබාදීමට මාධ්‍ය කටයුතු නොකරන්නේ මන්දැයි මටත්, ජනතාවටත් විශාල ප්‍රහේලිකාවක් වී තිබෙනවා. එම නිසා මෙම සිදුවීමේ ද නම සඳහන් නොවූ වීරයන් වන්නේ අපේ ආරක්‍ෂක අංශ බව මම මේ මොහොතේ ප්‍රකාශ කරනවා. 

මේ අවස්ථාවේ දී රටේ ආරක්‍ෂක අංශ වෙත අවශ්‍ය ශක්තිය සහ සහයෝගය ලබා දෙමින් අප බලාපොරොත්තු වන්නේ අනාගතයේ දී රට තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදයක් නැවත ඇති නොවන වාතාවරණයක් ඇති කිරීමයි. මේ පිළිබඳව අපි දැනටමත් සාකච්ඡා කරමින් සිටිනවා. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදයට රට තුළ නැවතත් හිස එසවීමට ඉඩ නොහැකියි. ඔවුන්ට කිසිඳු අනුකම්පාවක් නොදැක්විය යුතුයි. ඔවුන් සම්පූර්ණයෙන් විනාශ කර දැමිය යුතුයි. 

එක් විෂ බීජයක් විනාශ වූ පමණින් තවත් විෂ බීජයක් හට නොගන්නවා යැයි සිතිය නොහැකියි. එම නිසා අප කළ යුත්තේ කඩිනමින් ඊට අවශ්‍ය පියවර ගැනීමයි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සේවය කරන ඔබ සියලූ දෙනාටත් මා පවසන්නේ එයයි. 

මේ ත්‍රස්තවාදී විෂ බීජය ඇති වන්නේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව වැඩි වුණොත් පමණයි. ජාතිවාදය රට තුළ පැතිරෙනවා නම් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව ඉහළ යනවා. එසේ නම් අපි පළමුවෙන් ජාතිවාදය පැතිරීම අවසන් කළ යුතුයි. 

1983 දී අපේ රටට සිදු වුණේ කුමක්ද? ජාතිවාදය පැතිරිම නිසා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව දස දහස් ගුණයකින් ඉහළ ගියා. ආරම්භයේදීම අවසන් කිරීමට හැකියාව තිබූ ජාතිවාදී කෝලාහලය විසදීමට වසර 30 ක් ගත වුණා. අප නැවතත් එවැනි තත්ත්වයක් ඇති කර ගත යුතු නැහැ.

මේ ත්‍රස්තවාදයට සම්බන්ධ සියලූ තොරතුරු දැන් අපට ලැබෙමින් තිබෙනවා. එම තොරතුරු හා ඒවා ලැබෙන මූලාශ්‍ර ආරක්‍ෂා කර ගනිමින්, රටේ ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොදිය යුතුයි. අපේ ආණ්ඩුවේ නිලතල දැරූ සියලූම මුස්ලිම් අමාත්‍යවරු සහ නියෝජ්‍යවරු එම ධූරවලින් ඉවත් වුණා. නිදහසින් පසු ප්‍රථම වතාවට මුස්ලිම් අමාත්‍යවරයෙකු නොමැති රජයක් දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ පිළිබඳව සියලූ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. ස්වල්ප දෙනෙක් මේ පිළිබඳව සතුටට පත් වුණත් එය රටට හිතකර තත්ත්වයක් නොවෙයි. 

මුස්ලිම් ජනතාව ගත වූ 30 වසරක යුද්ධයේ දී අපත් සමග එකට සිටි ජනතාවයි. ඔවුන් අතුරින් ස්වල්ප දෙනෙක් නොමග ගිය පමණින් අනෙකුත් සියලූ දෙනා ද ඒ මගට යොමු කරනවා නම් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය මර්ධනය කිරීමට කැප වෙන අයගේ වැඩ කටයුතු මීට වඩා දුෂ්කර වෙනවා. 

මේ දිනවල ජාතිවාදය මුල් කර ගනිමින් පෙළ පාලි යනවා. ව්‍යාපාරික ස්ථාන බලෙන් වසා දමනවා. මෙම ජාතිවාදී ක්‍රියා නිසා ව්‍යාපාර කර ගෙන යාමටත්, එම ව්‍යාපාර වෙනුවෙන් ලබාගත් ණය මුදල් ගෙවා ගැනීමටත් නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව ව්‍යාපාරිකයන් මා සමග පැවසුවා. එය බරපතළ ගැටලූවක්. රටේ මාධ්‍යය ද ඒ සඳහා උදව් කරනවා. මේ පිළිබඳව අප කල්පනා කළ යුතුයි. 

මේ රටේ ජනතාව ත්‍රස්තවාදයට මුහුණ දී තිබෙනවා. ශ්‍රී ලංකාව වටා තිබෙන සියලූම රටවල් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදයට මුහුණ දුන්නා. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදයට මුහුණ නොදුන් එකම රට ශ්‍රී ලංකාව වුවත් වර්තමානය වන විට අපටත් ඊට මුහුණදීමට සිදුව තිබෙනවා. එම නිසා ත්‍රස්තවාදයට දිගින් දිගටම මුහුණදිය නොහැකියි. මාලි වැනි රටවල්වල ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදිනවා. එවැනි අප්‍රිකානු රටවලත් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය වැළැක්වීමට ශ්‍රී ලංකාව උදව් කරමින් සිටිනවා. පසුගිය දා මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම්වල දී අපේ රණවිරුවන් දෙදෙනෙකුගේ ජීවිත අහිමි වුණා. 

ජාතිවාදය ඇවිස්සීම තුළින් සිදු වන්නේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රමාණය වැඩි වීමයි. හිටපු අමාත්‍යවරුන්ට මේ සම්බන්ධයෙන් චෝදනා තිබුණා. ඒ පිළිබඳව සම්පූර්ණ පරීක්‍ෂණයක් සිදු කරන ලෙස අපි අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. ඒ අනුව එම පරීක්‍ෂණ කටයුතු මෙහෙය වීම සඳහා නිලධාරීන් තිදෙනෙකු පත් කර තිබෙනවා. ඔවුන් චෝදනා ඉදිරිපත් කරන සියලූ දෙනා මුණගැසී කටඋත්තර සටහන් කර ගන්නවා. එම කට උත්තරවලට අනුව චෝදනා විභාග කර මාසයක් ඇතුළත එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව එවැනි සාක්‍ෂි හා තොරතුරු තිබෙනවා නම් ඕනෑම අයෙකුට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදිය හැකියි. ඒ අනුව මාසයක් ගත වීමට පෙර එම වාර්තාව අවසන් කිරීමට කටයුතු කරනවා. එම වාර්තාවට අනුව යම් පුද්ගලයෙකුට නඩු පැවරීමට තරම් චෝදනා තිබෙනවා නම් නඩු පැවරීමට කටයුතු කරනවා. එසේ නොමැති නම් ඔවුන් නිදහස් කරනවා. 

මේ රටේ නැවතත් ජාතිවාදයක් ඇති වීමට ඉඩ දිය නොහැකියි. ජාතිවාදය ඇති වීම යනු අයි.එස්.අයි.එස්. සංවිධානයට සහයෝගය දැක්වීමක් බව කිව යුතුයි. එම නිසා අප ඊට ඉඩ නොදිය යුතුයි. නොසිතූ ලෙස මුහුණ දුන් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. ඊට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නැයි මම සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.” 

2019.06.04 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස්.

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    මේ රටේ නැවතත් ජාතිවාදයක් ඇති වීමට ඉඩ දිය නොහැකියි. ජාතිවාදය ඇති වීම යනු අයි.එස්.අයි.එස්. සංවිධානයට සහයෝගය දැක්වීමක් බව කිව යුතුයි මේ කාර්ය ඉටුකිරීමේදී මංගල සමරවීරට මෙන් අනෙක් පාලකයිනටත් ප්‍රඥාව පහල වේවා.
    මංගල සමරවීර මිනිසුන් අතර සැබෑ මිනිසෙකි. ඔහු සබැ මිනිසෙකු පමණක් නොව තුන්කල් දකින උත්තම බෞද්ධයෙකි ලංකාවේ දැනට පවතින මිත්‍යාදෘෂ්ටික නිකාය ධාරී භික්ෂු සමාජයට ඔහු තනිවම නිර්භයව එල්ල කරන අභියෝගය සුළුපටු නොවේ. අද ඔහුට අභියෝග කරන .මෙම අසංවර චීවර ධාරින් අයත් වන්නේ යථාර්තයෙන් බැලුවොත් තලේබාන් නිඛායටයි. සිල්වත් භික්ෂන් වහන්සේලාට මෙය අදාල නොවේ.මේ තත්වය වනාහි හුදෙක්ම බෞද්ධ භික්ෂුව සහ බෞද්ධ සමාජය විසින් ප්‍රහාණය කලයුතුවූ පංච නිවරණ ධර්ම තදින්ම ග්‍රහණය කරගැනීමත් සහ නිර්මල බුදු දහම පසෙකලා අවිද්‍යාවෙන් මෝහනයට පත්ව අනවබෝදයෙන් කටයුතු කිරීමයි. නොසලකා හැරීමයි. එපමණකින් නොනැවතී බෞද්ධයින් මුලාකර ඔවුන්ගේ සසර ගමන තව තවත් අඳුරෙන් අඳුරට පත් කිරීමම පාප කර්මයක්ම වේ. කණගාටුවෙන් වුවද පැවසීමට සිදුව ඇත්තේ මේ රටේ බෞද්ධයින්ගේ අවාසනාවට මේ නිසාම දීර්ඝ කාලයක සිට මෙරට ඉන්දියන් සාගරයේ කඳුළු බින්දුව බවට පත්වී තිබෙන බවයි. මංගල සමරවීර වනාහි නිවැරදි මිනිසුන් සුදුසුවූ කාර්යයන් සදහා තෝරා ගැනීමේ විශේෂඥනතාවයක් දක්වයි. ඒ සදහා ඔහුගේ පෞද්ගලික කියවීමක් ඇතිබව පෙනේ. ඔහු ඇන්දවීමට හැකි කිසිවෙකුත් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ නොමැති බව පෞද්ගලික තක්සේරුවයි. ඔහුට බැලූ බැල්මට ඉතාම හොද දේශපාලන නාඩියක් තිබේ. එම දේශපාලන නාඩිය මහා පොළවේ සිටු වීමට තරම් බුද්ධිමත්, නිර්මාණශීලී හැකියාවක් හා උනන්දුවක් තිබේ. මෙතරම් බාධා, තර්ජන, ගර්ජන තිබියදීත් මංගල සමරවීරගේ පැවැත්ම තීරණය වූයේ එම සාධකයයි. එසේම ඔහුගේ ජීවිතයේ පෞද්ගලිකව පවත්වාගෙන යන සරළ බව අවශ්‍ය වේලාවට ගණුදෙනු කළ හැකි නිහතමානී බව එඩිතර බව ඔහුගේ ජීවිතයේත්, ආණ්ඩුවේ පැවැත්මත් ස්ථාවර කොට තිබේ.
    අවසාන වශයෙන් කිව යුත්තේ නිර්මල බුදු දහමට අනුව යමින් සියලු දෙනාට එකසේ සලකා රට තුල සංහිඳියාවක් ඇති කරවීමයි.
    බුදුන් වහන්සේගේ දේසනාවට අනුව භික්ෂු සමාජයේ විනය පවතින තුරු බුදු දහම නොනැසී පවතී

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.