16 September, 2019

Blog

ජනාධිපති සමාව කොතෙක් දුරට දූරදර්ශී ද?

ස්පෙක්ටේටර් –

ගිය සතියේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපතිවරයා දුන් සමාව විශාල ආන්දෝලනයකට තුඩුදී තිබේ. බොදුබල සේනාවේ නායකයා වන මේ කලහකාරී භික්ෂුව කවදත් කුපිතකාරී ක‍්‍රියාවන්ට මැදිහත්ව ඇති අතර, හිර ගෙදරින් සමාව ලද සැණින් පසුව පවා, මුස්ලිම් මූලධර්මවාදී ත‍්‍රස්තවාදය පිළිබඳ වර්තමාන ප‍්‍රශ්නයේදී තවමත් හැසිරෙන්නේ එයාකාරයෙනි.

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ වරදට බරපතල වැඩ සහිත 19 වසරක සිර දඬුවමකට නියම වූ මේ භික්ෂුව, එම දඬුවම එක විට වසර හයක කාලයක් තුළ ගෙවී යන සේ හිරේ සිටීමට නියමව සිටියේය. එවැනි තත්වයක් තුළ මෙවැනි අර්බුදකාරී අවස්ථාවක ඔහුට ජනාධිපති සමාවක් ලබා දීම බොහෝ දෙනා ප‍්‍රශ්න කරන කාරණයකි.

විවිධ ප‍්‍රජාවන් අතරේ වසර දහයක් තිස්සේ පැවති සාමකාමී සංහිඳියාව පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් පසු ඉරි තැලී ගිය බව කවුරුත් දනිති. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, මුස්ලිම් ප‍්‍රජාවගේ ක‍්‍රියාකාරකම් පිළිබඳ විශේෂයෙන් සොයා බැලීමේ මෙහෙයුම් දියත් වුණි. එසේ වුණේ, අප කාගේත් ආරක්ෂාව සඳහා නම් එය අත්‍යන්තයෙන් අනුමත කළ යුත්තකි.

එසේ වෙතත්, එම ප‍්‍රජාව පිළිබඳ ඒ විශේෂ සුපරීක්ෂාව සමග, ජාතීන් පිළිබඳ භීතිකාවක් සහ නග්න ජාතිවාදයක් සමග මුසු වූ අතාර්කික සමාජ සංවාදයක් ගොඩනැගුණි. ඒ අනුව, මුස්ලිම් ව්‍යාපාරික ආයතන වර්ජනය කිරීමට උසිගැන්වුණි. මේ වන විට, යමෙකුගේ රෝගයට ප‍්‍රතිකාර ගැනීමට යාමේදී වෛද්‍යවරයාගේ ජාතිය සොයා බලන තත්වයට පවා රට පත්ව තිබේ. සමාජ මාධ්‍ය ජාලවල වෛරී භාෂණය වැපිරී තිබේ. ජාතිවාදය සහ ‘උන් සහ අපි’ යන මානසික දෙබෙදුම ඉස්මත්තට පැමිණ තිබේ.

1983 විනාශයෙන් ශ‍්‍රී ලංකාව පාඩම් උගෙන නැති බවක් පෙනෙන්ට තිබීම අවාසනාවන්ත කාරණයකි. ඒ මහා විනාශයට හේතු වුණේ එක තනි සිද්ධියකි- උතුරේදී ඝාතනයට ලක්වූ සිංහල සොල්දාදුවන් 13 දෙනෙකු පිළිබඳ ආරංචිය නිසා දකුණේ මහා විනාශයක් උද්ගත විය. එය පසුව, වසර විසිපහක් තිස්සේ දිග් ගැස්සෙන මහා යුද්ධයකට හේතුකාරක වූ අතර රටේ බහුතර ප‍්‍රජාව ප‍්‍රචණ්ඩකාරී ම්ලේච්ඡු ජාතියක් වශයෙන් ලෝකයා ඉදිරියේ හංවඩු ගැසුණි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ අවස්ථාවල තවමත් ඒ නරක නාමය අප කෙරෙහි එල්ල වෙයි.

රටේ පවතින වර්තමාන තත්වය ඒ අතීත තත්වයෙන් වෙනසක් පෙන්නුම් නොකරන බව කීම අතිශයෝක්තියක් නොවේ. දැනටමත්, වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ කලහකාරී පිරිස් පාරට බැස ඇති කළ විනාශකාරී තත්වය, සන්නද්ධ හමුදා කලට වේලාවට මැදිහත් වීම නිසා, සෙසු පළාත්වලට පැතිරීමට කලින් වළක්වා ගැනීමට හැකි විය. මුළු රටේම කලහකාරී තත්වයක් ඇති වන තෙක් බලා සිටින දේශපාලඥයන් මේවා පිටුපස සිටින බව රහසක් නොවේ.

මේ තත්වය පිළිබඳ වරද, ආගමික අන්තවාදයේ සහ ජාතිවාදයේ බහට අන්ධ වූ මහ ජාතියට පමණක් බැර වන දෙයක් නොවන බවත් සැලකිල්ලට ගත යුතුය. එය ඒ හා සමානවම, මුස්ලිම් ප‍්‍රජාවේ නායකයන්ටත් බැර වෙයි. මක්නිසාද යත්, තමන්ගේ ප‍්‍රජාවේ අන්තවාදීන්ව ප‍්‍රසිද්ධියේ හෙලානොදැකීමත්, වර්තමාන අර්බුදය මැඩලීමට ගෙන යන ලද ආරක්ෂ පියවර කෙරෙහි විරෝධාකල්ප දැරීමත් නිසා ය.

ඥානසාර හිමියන්ව නිදහස් කෙරෙන්නේ මෙවැනි චංචල තත්වයක් රටේ අරක්ගෙන තිබියදී ය. නිදහස් වීමෙන් පසු පරණ පුරුදු ඔහු අතහැරියේ නැත. පාවිච්චි කරන වචන ඉස්සරට වඩා තරමක් සංවරශීලී වූවත්, ඒවායේ ස්වරය සහ තානය පරණ පරිදිම විය. සමහර ප‍්‍රකාශ විභාග කර බැලිය යුතු තරමට ප‍්‍රබල ය. ඒ බොහෝ කතා පසුපස තිබුණේ, ‘මං මේ දේවල් කිව්වා, ඒත් එතකොට ජාතිවාදියෙක් කියලා මාව හිරේට දැම්මා’’ යන්නයි.

ඥානසාර හිමියන්ට දෙන ලද සමාව සම්බන්ධයෙන් මතුවන කුකුස දනවන ප‍්‍රශ්නය වන්නේ, මේ වෙලාවේ එවැනි සමාවක් දුන්නේ මන්ද යන්නයි. අඩු වශයෙන් මේ භික්ෂුව අතීතයේ කියූ කතාවලින් සමහරක්වත් සත්‍ය වී ඇති බවත්, ඒවා ගැන නොසැලකිලිමත්ව සිටීමෙන් විනාශය ඇති වූ බවත්, එකී විනාශයේ පව් සමා කර ගැනීම සඳහා ඔහුට නිදහස ලබා දුන් බවත් පිරිසක් කියති. ඉස්ලාම් අන්තවාදය ඔහු පෙරදැක තිබුණු බවත් ඒ ගැන නිසි අවධානය බලධාරීන් වෙතින් යොමු නොවුණු බවත් ඒ පිරිසේ අදහසයි.

ඒ සම්බන්ධයෙන් සැලකිල්ලට ගත යුතු කාරණා කිහිපයක් තිබේ. ඥානසාර හිමියන් කී දේවල් නොතකා හැරියේ නම් එසේ වුණේ, ඔහුගේ ප‍්‍රචණ්ඩ විලාසය විසින් මුස්ලිම් ප‍්‍රජාවට එරෙහි හිංසනයකට ඉඩහසර සලසන අවකාශයක් විවර වෙමින් තිබුණු බැවිනි. අනික, ඔහුගේ අනතුරු ඇඟවීම් නොතකා හැර ඇත්තේ, නිදහස් වීමෙන් පසු ඔහුම කියා ඇති පරිදි, හුදෙක් පසුගිය වසර කිහිපය තුළ පමණක් නොව, පසුගිය දශක කිහිපයක් තිස්සේ ය.

කෙසේ වෙතත්, මේ සියලූ කරුණු මැද්දේ වැදගත් කාරණය වන්නේ උන්වහන්සේ කී කතා සැබෑ විණිද යන්නවත්, ඒ නිසා ඔහුට සමාව දීම යුක්ති යුක්ත වන්නේද යන්නවත් නොව. එසේම, ජාතිවාදී තත්වයක් උත්සන්න වෙමින් පවතින අවස්ථාවක ඔහු නිදහස් කිරීම කෙතරම් කාලෝචිතද යන්නත් නොවේ. ඇත්ත ප‍්‍රශ්නය වන්නේ ඔහුව එතරම් දීර්ඝ කාලයකට හිරේට නියම කෙරුණේ කුමක් නිසාද යන්නයි. එවැනි වැරදිකරුවෙකුට සමාව දීමෙන් සමාජයට සැපයෙන පණිවිඩය කුමක්ද යන්නයි.

ඥානසාර හිමියන්ව හිරේට නියම වුණේ උසාවියකදී විනිසුරුවරයෙකුට බැණ වැදීම, විනිසුරුවරයාගේ විනිශ්චය විවෘත උසාවියේම අභියෝගයට ලක්කිරීම සහ තර්ජනාත්මක සහ අවමානාත්මක ස්වරයෙන් විනිසුරුවරයාට ඇමතීම නිසා ය. මීට ප‍්‍රතිපක්ෂව වාචාල එස්. බීී. දිසානායක අධිකරණයට අපහාස කිරීම පිළිබඳ වරදට හිරේට නියම වුණේ, අධිකරණ තීන්දුවක් ‘බලූ තීන්දුවක්’ වශයෙන් ප‍්‍රසිද්ධියේ හැඳින්වීම නිසා ය. ඥානසාර හිමියන්ගේ වරද සමග සසඳද්දී දිසානායකගේ වරද ඉතා සුළු එකකි. එදා ඔහුටත් ජනාධිපති රාජපක්ෂ සමාව දුන්නේය.

ඥානසාර හිමියන් වැරදිකරු කෙළේ අභියාචනාධිකරණය මගිනි. ඔහුට එරෙහිව, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගෙනා සියලූ චෝදනාවන්ට, සැකයකින් තොරව, ඔහු වැරදිකරු බව එම තීන්දුවෙන් කියැවුණි. පසුව එම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද අනුමත කෙරුණි. ඒ අනුව බලන විට එකී තීන්දුව, නීතියේ ඉහළම ආකාරයෙන් පරීක්ෂාවට ලක්කොට එළැඹුණු තීරණයක් වශයෙන් ගත හැකිය.

හිරෙන් නිදහස් වීමෙන් පසුව පවා, තමාගේ ක‍්‍රියාකලාපය ගැන ඥානසාර හිමියන් පාපොච්චාරණයක් කොට නැත. පසුතැවීමක සේයාවක්වත් පෙනෙන්ට නැත. එසේ නම්, ඔහුගේ නිදහස් කිරීම යනු හුදෙක් දේශපාලනික කරුණු මුල් කරගත් තීරණයක් නොවන්නේද? ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණයක් ඉලක්ක කරගෙන, බහුතර ජනයාගේ ප‍්‍රසාදයට හේතු විය හැකි යැයි සිතා ගැලරිය පිනවීමට ගත් තීරණයක් නොවන්නේද?

මේ ආණ්ඩුව බලයට පත්වුණේ ‘යහපාලන’ වේදිකාවකිනි. එය අද සිහිනයක් වශයෙන් පමණක් පැවතීම වෙනම කාරණයකි. එහෙත්, ඊට කලින් පැවති ආණ්ඩුව, තමන්ට පක්ෂපාත තීන්දුවක් නොදීම නිසා එදා අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයක් ගෙනැවිත් අධිකරණයට අපහාස කිරීමේ ඉතිහාසය තවම රටට අමතක නැත.

එය නිවැරදි කිරීම මේ ආණ්ඩුවට පැවරුණි. ඇයව නැවත අගවිනිසුරු ධුරයට පත්කෙරුණේ එබැවිනි. එසේ කටයුතු කළ මේ ආණ්ඩුව දැන්, රටේ ඉහළම අධිකරණවලින් දඬුවම් ලැබූ සිරකරුවන්ට මෙසේ සමාව දීම අධිකරණයට කරන අර වාගේම අපහාසයකි. අප එක පියවරක් ඉදිරියට තබා තව පියවර දෙකක් ආපස්සට තබා නැත්ද? මෙය නම් යහපාලනයක් විය නොහැකිය. මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගිය බව කියන එක් හමුදා නිලධාරියෙකු දැනටමත් මේ ආණ්ඩුව යටතේ සේවයේ පිහිටුවා තිබේ. ‘පවතින තත්වය යටතේ ඔහුගේ සේවය අත්‍යාවශ්‍ය’ බව, ඊට හේතුවාචකයක් වශයෙන් දැනටමත් හමුදාපතිවරයා ප‍්‍රකාශ කොට තිබේ. එසේම, වෙනත් සිද්ධියක් පිළිබඳ පරීක්ෂණ සඳහා රැුඳවුම් භාරයේ තබාගෙන සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු, එසේ නොවිණි නම්, මුස්ලිම් ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයන් පිළිබඳ ප‍්‍රයත්නයන් මැඩලිය හැකි තත්වයක සිටියේ යැයි දැනට කරුණු අනාවරණය වෙමින් තිබේ. ඔහුවත්, ‘රාජකාරි අවශ්‍යතා’ මත නැවත සේවයේ පිහිටුවයිද? මේ කියන ‘අවශ්‍යතාවයේ මූලධර්මය’ අපව ගෙන යන්නේ කොයිබටද?

දේශපාලඥයන් රාජ්‍ය තාන්ත‍්‍රිකයන් බවට පත්වන්නේ, වඩාත් ජනප‍්‍රිය තීන්දු ගැනීමෙන් නොව, වඩාත් නිවැරදි තීන්දු ගැනීමෙනි. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව දීමේ සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ, රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ගේ මහා හිඟයක් අපේ රටේ ඇති බවයි.

2019 ජුනි 2 වැනි දා ‘සන්ඩේ ඔබ්සර්වර්’ පුවත්පතේ පළවූ “The Presidential Pardon, How Prudent is it?” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.