19 April, 2024

Blog

මාධ්‍ය නිදහස: බොහෝ මාධ්‍යවලට මගේ වාර්තාව අල්ලන්නේ නැහැ

රනිල් වික්‍රමසිංහ

ජාත්‍යන්තර  මුද්‍රිත මාධ්‍ය දිනය වෙනුවෙන් අද මෙම රැස්වීම පවත්වන්නේ ශ්‍රී ලංකාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරන අවස්ථාවකයි. තොරතුරු දැන ගැනීමේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මා 2003 වසරේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දීයි. එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වසර 13 කාලයක් ගත වුණා. Ranil @ WPD May 01 2016 Piv PM Media

පසුගිය වසර 10 ක පමණ කාලය තුළ දී මට දේශපාලනයෙන් ඈත් වන්නැයි ශ්‍රී ලංකාවේ මාධ්‍ය පැවසුවා. “ඔබ පරාජය වනවා. දිනන්න බැහැ. එල්.ටී.ටී.ඊ. කාරයා, නෝර්වේජියන් කාරයා, අමෙරිකන් කාරයා” යනුවෙන් මාධ්‍ය මට පැවසුවා. එලෙස නොකියූ මාධ්‍යයක් ඉන්නවා නම් මට කියන්න. මම ඒ අය කියූ දේ ඇසුවේ නැහැ. මම දේශපාලනයෙන් ඉවත් වූයේත් නැහැ. අනතුරුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පිහිටු වූ රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මට අවස්ථාව ලැබුණා.

මාධ්‍ය නිදහස වෙනුවෙන් ආණ්ඩුවක් ලෙස කළ යුතු දේ අප කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් කළේ අප සියලූ දෙනාම සටන් කරලයි. සිවිල් සමාජ, දේශපාලන පක්‍ෂ, ඇතැම් මාධ්‍ය එම නිදහස ඇති කිරීමට දායක වුණා. අප මෙතැනින් අවසන් කරන්නේ නැහැ. අලූත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරනවා. ඒ ව්‍යවස්ථාව මගින් මූලික අයිතිවාසිකම් තවත් ශක්තිමත් වෙනවා. ඒ අනුව මාධ්‍ය නිදහසත් ශක්තිමත් වෙනවා. ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කැබිනට් අනුකමිටුවක් පිහිටුවා තිබෙන අතර මා ඊට සහභාගි වෙනවා. ව්‍යවස්ථා මණ්ඩලයේ වැඩ කටයුතු පිළිබඳව මෙහෙයුම් කමිටුවේ ද සාකච්ඡා දෙකක් පැවැත්වීමට නියමිතයි. එම වැඩ කටයුතු කළ පසු මූලික රාමුව සැකසෙනවා. ඉන් පසුව රජය පාලනය කරන ආයතන පිළිබඳව කරන්නේ කුමක්ද? ඊට පෙර තව එක් ප්‍රශ්නයක් විසදාගත යුතුයි. අප ආණ්ඩුව විසින් කළ යුතු වැඩ කටයුතු සිදු කර තිබෙනවා. යම් යම් අඩුපාඩුකම් තිබිය හැකියි.

යළිත් ජනතාවගේ විශ්වාසය තහවුරු කර ගැනීමට මාධ්‍යයට වගකීමක් තිබෙන බව අද එළිදකින මෙම වාර්තාවෙන් ද කියැවෙනවා. මෑත කාලයේ දී මාධ්‍යවේදීන් කී දෙනෙක් ඝාතනයට ලක් වුණාද? යාපනයේ ඝාතනය වූ මාධ්‍යවේදීන් පිළිබඳව විපක්‍ෂනායක සම්බන්දන් මහතා ප්‍රකාශ කළා. උදයන් පුවත්පතේ මාධ්‍යවේදීන් ද ඒ අතර සිටිනවා. උදයන් පුවත්පත වැඩිපුරම දොස් කියා ඇත්තේ මටයි. අපගේ දේශපාලනය එකක් නොවෙයි. නමුත් මාධ්‍ය නිදහස වෙනුවෙන් උදයන් පුවත්පත ක්‍රියා කළා. ශ්‍රී ලංකාවේ මාධ්‍යයට මේ ටිකවත් පිළිගැනීමට තවම නොහැකි වී තිබෙනවා. පසුගිය වසරේ දී මා මගේ යුතුකම ඉටු කළා. මාධ්‍යයට එය කරන්න නොහැකිද? යාපනයේ අය දෙමළ නිසා මැරුවට කමක් නැතැයි කියා අප ඔවුන් පැත්තකට දමමු. මාධ්‍යයේ සමහර අය කියන්නේ එයයි. සත්‍යය එයයි. මේවා වහන්න අවශ්‍ය නැහැ.

අපි එක්නැලිගොඩ ගැන කතා කරමු. එයා කරපු වැරද්ද මොකක්ද? නිදහස වෙනුවෙන් කතා කිරීමද? ඔහු සරත් ෆොන්සේකා වෙනුවෙන් වැඩ කටයුතු කළා. අද කියන්නේ මොකක්ද? එක්නැලිගොඩත් එල්.ටී.ටී.ඊ. කාරයෙක්ලූ… එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සම්බන්ධකම් තිබුණාලූ. මේ කතා කරන්නේ මොනවාද? එක්නැලිගොඩ පැහැර ගන්නට පෙර වර්තමාන ජපාන තානාපති ධම්මික ගංගනාත් දිසානායක මහතා ද පැහැරගත්තා. මම සමහරුන්ට කතා කරලා ඔහු බේරුවා.

අපි හොඳ සිංහල, බෞද්ධ මාධ්‍ය බව අද මේ මාධ්‍ය පවසනවා. එක්නැලිගොඩ අතුරුදන් වීම පිළිබඳව සොයා බැලීම රණවිරුවන් පාවාදීමක්ලූ. මෙවැනි ප්‍රකාශ අපේ නමට කැළලක් බව රණවිරුවන් ගණනාවක් මා සමග පැවසුවා. මාධ්‍ය තමන්ගේ කෙනෙකුට සලකන්නේ මෙලෙස නම් මාධ්‍ය නිදහස ගැන කවර කතාද? අපට මාධ්‍ය නිදහස ගලේ කොටා ලබාදෙන්න බැහැ.

ආපසු එල්.ටී.ටී.ඊ. සංවිධානය එනවා යැයි මේ අය කියනවා. සමහරු ඒ බව කෙලින්ම වාර්තා කරනවා. තවත් සමහරුන් කෙලින්ම පළ කරන්නට නොහැකි නිසා මන්ත්‍රීවරුන් ලවා කියවා ගෙන ඒවා පළ කරනවා. මා මේ ගැන පොලිසියෙන් විමසුවා. එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්පූර්ණයෙන්ම තුරන් කර ඇති නිසා නැවත ඔවුන් නොඑන බව පොලිසිය පැවසුවා. අනතුරුව හමුදා බුද්ධි අංශයෙන් ද මේ පිළිබඳව මා විමසුවා. ඔවුන්ට ලබාදුන්නේ එම පිළිතුරමයි.

කොටි සංවිධානය නැවත එන බව කියමින් තම අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කරනවා. ඔවුන්ට කොටින්ගෙන් තොර පැවැත්මක් නැහැ. “දුටුගැමුණු රජ්ජුරුවෝ” නැවත එන්න හදන්නෙත් කොටි සංවිධානය අල්ලා ගෙනයි. ඒත් “රජ්ජුරුවොත්” ගිහින් ප්‍රභාකරන් එක්ක ගිවිසුම් ගැහුවා. කොටින්ට සල්ලි දුන්නා. එක්නැලිගොඩ එවැනි දේ කළේ නැහැ. මාධ්‍ය මෙවැනි දේ ඉස්සරහට ගෙනියන්නේ ඇයි? මාධ්‍ය මෙලෙස හැසිරෙන්නේ ඇයි? තමුන්නාන්සේලාට නැවත යුද්ධයකට යාමට අවශ්‍යද? මාධ්‍ය නිදහස නැති කරන්න අවශ්‍ය ද? අභියෝගය තිබෙන්නේ මාධ්‍යයටයි. තමුන්නාන්සේලාට මාධ්‍යය නිදහස අවශ්‍ය ද, නැද්ද? එපා නම් අපට කියන්න. එවිට අපට අවශ්‍ය දේ පමණක් උදේ සිට හැන්දෑ වනතුරු පළ කර ගත හැකියි.

දැන් මාධ්‍ය නිදහස උදෙසා සටන් කරන්නේ අපයි. මාධ්‍ය නිදහස එපා කියන්නේ මාධ්‍යයි. මෙවැනි දේ සිදුවෙලා තිබෙන්නේ මොන රටේද? මෙවැනි දේ දකින විට ජර්මන් ව්‍යවස්ථාව මට මතක් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගරු නොකරන අයට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් භුක්ති විදිය නොහැකි බව එහි සඳහන්ව තිබුණා. මේ රටේ ව්‍යවස්ථාවටත් එවැනි දේ ඉදිරිපත් කරන්නට ඕනෑද? මේවා අහන කොට මට බනිනවා. නම් කරනවා යැයි කියනවා. වසර 50 ක් ජනතාව වෙනුවෙන් මා සටන් කර තිබෙන නිසා මේවා ගැන කතා කරන්නට මට අයිතියක් තිබෙනවා. මේවායින් මම හම්බ කරලා නැහැ. සියල්ල නැති වුණා පමණයි. බොහෝ මාධ්‍යවලට මගේ වාර්තාව අල්ලන්නේ නැහැ. කර්තෘවරුන්ට, මාධ්‍ය අයිතිකරුවන්ට මේවා අල්ලන්නේ නැහැ. සමහරු මාධ්‍ය ‘බිස්නස් එකක්’ හැටියට කරනවා.

මාධ්‍ය නිදහස තහවුරු කරන්නේ කෙලෙස දැයි සිතන්න. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුලු ජාතික රජය ඊට කැප වී සිටිනවා. ඔබ මාධ්‍ය නිදහස තහවුරු කරන්නට සූදානම් දැයි මා ජනතාවගෙන් අසනවා. ඒ අභියෝගය අප හමුවේ තිබෙනවා. මේ වාර්තාව හොඳයි. පළමුවෙන්ම තමුන්නාන්සේලා ඉන්නේ කොතැන දැයි මාධ්‍ය ආයතනවලින් විමසිය යුතුයි. එමෙන්ම කර්තෘ සංසදයෙන් මේ පිළිබඳව විමසිය යුතුයි. අපේ වැඩ කටයුත්ත සිදු කර තිබෙනවා. දැන් ඉතිරිව තිබෙන්නේ ඔබේ වැඩ කටයුත්තයි. ඒ සඳහා මේ වාර්තාව රුකුලක් වන බව කිව යුතුයි.

*2016.05.03 වැනි දින කොළඹ 07, හෝටන් පෙදෙසේ පිහිටි ලක්‍ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවැති “ජනතාවට වගකියන මාධ්‍ය කර්මාන්තයක් උදෙසා….” වාර්තාව එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.