22 October, 2017

එළඹෙන මැතිවරණ, ඒකීයභාවය හා බුද්ධාගම පිළිබඳ විවාදය

රනිල් වික්‍රමසිංහ

Unitary යන වචනය පිළිබඳව ව්‍යවස්ථාදායක සභාවේදී වාද කිරීමට අපට හැකියාව තිබෙනවා. “ඒකීය වචනය ඇතුළත් වී තිබෙන බව ද්‍රවිඩ සන්ධානය දුටු  විට ඔවුන් සිය පැරැණි ස්ථාවරය පසුපසට ගනිමින් ප්‍රධාන පක්‍ෂ දෙක මෙම මූලික ප්‍රතිපත්තිවලට එකඟ වෙනවා නම් රටේ ස්ථාවර භාවයක් ඇති කිරීම සඳහා අපත් මේ පිළිබඳව සලකා බලන බව ඔවුන් ප්‍රකාශ කළා.

සලකා බැලීම යනුවෙන් ඔවුන් අදහස් කරන්නේ කුමක්ද?

*තලාව, ඥානෝදය පිරිවනේ දී 30 දින එක්සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරීන් හමුවීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්‍ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව: 

අද අපි අනුරාධපුරයේ සියලුම පාක්‍ෂිකයින් හමු වෙනවා. ඔවුන් සමග අදහස් හුවමාරු කර ගන්නවා. ආණ්ඩු බලය ලබාගෙන වසර 02ක් ගත වූ පසු පාක්‍ෂිකයන් ලෙස අපට කළ සහ නොකළ වැඩකටයුතු තිබෙනවා. ඇතැම් වැඩ කටයුතු ඉටු කිරීමට කල් ගත වූ නිසා අපේ පාක්‍ෂිකයින් සුළු පිරිසක් කනස්සල්ලට පත්වී සිටිනවා. ඒ පිළිබඳවත් අවධානය යොමු කරමින් නොකෙරුණු වැඩකටයුතු ඉටු කරමින් අපට ඉදිරියට යාමට සිදුව තිබෙනවා.

විශේෂයෙන්ම අප එක් කාරණයක් සිහි තබා ගත යුතුයි. අද අපේ රටේ පවතින පාලන ව්‍යුහය අනුව බලය කොටස් 03 කට බෙදී තිබෙනවා. පළමු කොටස බිම් මට්ටමේ තිබෙන ප්‍රාදේශීය සභා සහ නගර සභා යි. විවිධ කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට සීමා සහිත බලයක් තිබෙනවා. බොහෝවිට  මහ ආණ්ඩුව සමග ඔවුන්ගේ තිබෙන්නේ අඩු සම්බන්ධතාවයක්. දෙවන කොටස නම් පළාත් සභා ආයතනයි. 13 වන සංශෝධනය හරහා අපේ ආණ්ඩුව පළාත් සභාවලට නිසි බලයක් මේ වන විට ලබා දී තිබෙනවා.

තුන්වන කොටස මෙන්ම එහි ඉහළම කොටස ලෙස කටයුතු කරන්නේ ආණ්ඩුවයි. ජාතික ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවා ලෙස අපි එහිදී ක්‍රියා කරනවා. බිම් මට්ටමත්, මධ්‍යස්ත කොටස වන පළාත් සභාත්, මහ ආණ්ඩුව සමග ඇති සම්බන්ධතාවයේ අඩුවක් ඇති බැවින් ඇතැම් වැඩකටයුතු අපට සිදු කිරීමට නොහැකි වී තිබෙනවා.

එළඹෙන මැතිවරණය පැවැත්වෙන්නේ මනාප ක්‍රමයට නොවෙයි

බිම් මට්ටමේ ප්‍රාදේශීය සභා, නගර සභා ආදියේත්, පළාත් සභා ආයතනවලත් බලය එක්සත් ජාතික පක්‍ෂයට ලබාගැනීමට දැන් අවස්ථාව ලැබී තිබෙනවා. බිම් මට්ටමේ බලය ලබාගත් පසු නගර සභා, ප්‍රාදේශීය සභා වෙනුවෙන් ආධාර උපකාර කිරීම් තවත් වැඩි කිරීමට අපට හැකියාව ලැබෙනවා. එම නිසා අප එළඹෙන මැතිවරණයට හොදින් සූදානම් විය යුතුයි.

එළඹෙන මැතිවරණය පැවැත්වෙන්නේ මනාප ක්‍රමයට නොවෙයි. මෙහිදී පුංචි ඡන්ද කොට්ඨාශ 5000 ක් පමණ වෙනුවෙන් පැවැත්විය යුතුයි. ජනාධිපති වරණය පවත්වන්නේ එකවර සමස්ත රට වෙනුවෙනුයි. පාර්ලිමේන්තු සහ පළාත් සභා මැතිවරණ රටේ මැතිවරණ කොට්ටාශ 22ක පවත්වනවා. ඒ වගේම ප්‍රාදේශීය සභා, නගර සභා මැතිවරණ සමස්ත දිවයින පුරාම කොට්ඨාශ  5000 ක් පමණ වෙනුවෙන් පැවැත්විය යුතු වෙනවා. වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි  අපේක්‍ෂකයෙක් අපි ඒ මැතිවරණයට ඉදිරිපත් කළ යුතුයි. ඇතැම් අපේක්‍ෂකයන්ට මැතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බව පක්‍ෂය හෝ ප්‍රදේශයේ සංවිධායක විසින් පැවසුවොත් ඒ වෙනුවෙන් වෙනත් අයෙකු නම් කිරීමට අපට සිදු වෙනවා. ඒ වගේම මැතිවරණය සඳහා දුර්වල අපේක්‍ෂකයින් ව වැඩි වශයෙන් ඉදිරිපත් කළහොත් ඉදිරියේදී එම සංවිධායකටත් මැතිවරණ සඳහා තරග කිරීමට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ.

ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයත් කොට්ඨාශ ක්‍රමයට පැවැත්වීමට අප තීරණය කර තිබෙනවා. අපට අවශ්‍ය තරග කර පරාජයට පත්වීමට නොවෙයි අපට අවශ්‍ය ජයග්‍රහණයයි. බිම් මට්ටම ශක්තිමත් කිරීම ජයග්‍රහණය කිරීමේ අරමුණයි. එය ඉතා වැදගත් වනවා. එවිට මැද කොටස වන පළාත් සභා වෙතද අවධානය යොමු කළ හැකියි. ඒ වෙනුවෙන් අප සියලු දෙනාම වෙහෙස වී වැඩ කළ යුතුයි.

ප්‍රාදේශීය සභා මැතිවරණවලට ඉදිරිපත් වන නියෝජිතයින්ට යම් වාසියක් හිමි වෙනවා. එනම් මැතිවරණය වෙනුවෙන් විශාල ලෙස මුදල් අවශ්‍ය නොවීමයි. මෙම මැතිවරණවලදී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වන්නේ අපේක්ෂකයාගේ දහඩිය, මහන්සිය පමණයි.

1977 දී මේ ආකාරයට මමත් මැතිවරණවල යෙදී සිටියා. එහිදී සියලුම ගම්මානවල සංවිධාන කටයුතු එක් එක් පුද්ගලයින් විසින් භාර ගන්නවා. අපි මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ගෙයින් ගෙට යන විට ඔවුන් අපට ආහාර සහ තේ පැන්වලින් සංග්‍රහ කරනවා. එහිදී අපට විශාල වියදම් දැරීමට සිදු වුණේ නැහැ. බිම් මට්ටමේ රැස්වීම් 2  ට හෝ 3 ට පමණක් මගෙන් ශබ්ද විකාශන යන්ත්‍ර ඉල්ලා සිටියා. බොහෝ අය ඒවා ඉල්ලුවෙත් නැහැ. නමුත් මම මැතිවරණයට අවශ්‍ය පෝස්ටර් ඔවුන්ට ලබා දුන්නා. මැතිවරණයක් ඒ ආකාරයෙන් පැවැත්වීමට හැකියාව තිබෙනවා. නමුත් ඒ සඳහා ජනතාව අතර ජනප්‍රිය විය යුතුයි. එසේ නොමැතිව මේ කිසිදු කටයුත්ත සිදු කිරීමට නොහැකියි. අප මැතිවරණයට අපේක්‍ෂකයින් තෝරා ගත යුත්තේ ඒ ආකාරයටයි.

බිම් මට්ටමේ පැවැත්වෙන මැතිවරණයේදී අපට ඒ සියලු ඡන්ද කොට්ටාශ වෙනුවෙන් සංවිධාන 5000 ක් පමණ අවශ්‍ය වනවා. ඇතැම් කොට්ටාශවල ඡන්දය ප්‍රකාශ​ කිරීමේ ස්ථාන 2ක් හෝ 3ක් පිහිටා තිබෙනවා. ඒ සඳහා සංවිධාන ඇති කිරීම දැන් අප ඉදිරියේ ඇති කාර්යයි. ඒවා ඇති කිරීමට නම් අප ඒ වෙත දැඩි අවධානයක් යොමු කළ යුතුයි. මෙය ජාතික මට්ටමේ කථා බහකින් යුතුව ජාතික මට්ටමෙන් පවත්වන විශාල මැතිවරණයක් නොවෙයි.

මෙහිදී සාකච්ඡාවට බදුන් වන්නේ බිම් මට්ටමේ දී අප සිදු කළ සහ නොකළ වැඩකටයුතුයි. වසර 20 ක් බලයේ සිටි පුද්ගලයින් බිම් මට්ටමේදී කිසිදු කාර්යයක් සිදු කර නැත්නම් ඔවුන්ට තවත් වසර 05 ක් සඳහා බලය ලබා දීමෙන් ප්‍රයෝජනයක් නැහැ. 1997 සිට වසර 20 ක ඔවුන් බලයේ සිටියත් කිසිම කටයුත්තක් ඉටු නොකළා නම් අප ඔවුන්ට බලය ලබා දිය යුත්තේ ඇයි?

අප කෙසේ හෝ ඡන්දය ජය ගත යුතුයි. ජයග්‍රහණයෙන් පසුව බලය භාර ගනිමින් ඉදිරි මැතිවරණ අවස්ථාවේදීත් බලය ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කළ යුතුයි.

මේ සියල්ල  අතරතුර අපේ පාක්‍ෂිකයින්ගේ දැකිය හැකි එක් අඩුපාඩුවක් සහ විරුද්ධ පාක්‍ෂිකයින්ගේ දැකිය හැකි එක් දක්‍ෂතාවක් තිබෙනවා. ඒ ප්‍රාදේශීය සභා, නගර සභා හෝ පළාත් සභා තුළ ඇති බලය නොවෙයි. මහින්ද රාජපක්‍ෂ පාක්‍ෂිකයින්ගේ දැකිය හැකි විශේෂ ලක්‍ෂණයක් වන්නේ රුපියල් 10ක් වියදම් කර සිදු කරන කාර්යයට රුපියල් 100 ක් වියදම් වූ බව මවා පෑමයි. නමුත් අප රු. 100 ක වැඩකළත් බොරුවට මවා පාන්නේ නැහැ. ඒ තත්ත්වය වෙනස් කරගන්නා තුරු මැතිවරණයක් පැවැත්විය නොහැකියි. ඔවුන් රුපියල් 10 ක කාර්්‍යය රුපියල් 100 ක් යොදවා කළ බවට මවා පානවා නම්, අපි ඇත්තවශයෙන්ම රුපියල් 100 ක් යොදවා කරන කාර්යයට  නිසි අගය ලබා දිය යුතුය.

පසුගිය කාලය තුල අපේ ආණ්ඩුව සිදු කළේ කුමක්ද

අපේ ආණ්ඩුව ජාතික මට්ටමේ කළ කාර්යභාරය පිළිබඳව ඇමැතිතුමාත්, මහලේකම් තුමාත් ඔබට කරුණු පැහැදිලි කළා. අප ඉදිරියේදී ඒ පිළිබඳව ඔබට පොතක් ලබා දීමට සූදානම් වෙනවා. එය කියවා අහකට දමන්න එපා සියලූ සංවිධාන එය කියවා අප සිදු කළ වැඩකටයුතු පිළිබඳව ජනතාව දැනුම්වත් කළ යුතුයි. අප එය නොවැම්බර් මාසයේදී පමණ ලබා දෙනවා.ඒ වාගේම තවත් පොතක් ඔබ පවත්වාගෙන යා යුතුයි.

තමන්ගේ ප්‍රදේශයේ සංවිධායක සමග එකතු වී තමන්ගේ ප්‍රාදේශීය සභාවට තමන් පසුගිය වසර 2-3 තුළ සිදු කලේ කුමක්දැයි එහි සටහන් කළ යුතුයි. විරුද්ධ පාක්‍ෂිකයින් වංචාවෙන් මුදල් හම්බකරගත්තේ කෙසේදැයි යන්නත් එහිම සටහන් කරන්න.

මැතිවරණය වෙනුවෙන් විශාල ප්‍රචාරයක් අවශ්‍ය වෙනවා. පළාත් සභාව තුළ තමන් ජනප්‍රියයි නම් 55% ට වඩා මනාප ලබා ගැනීමට හැකියාව තිබෙනවා. බොහෝ අවස්ථාවල තම ප්‍රදේශයෙන් බැහැර සිටින පුද්ගලයින් ප්‍රාදේශීය සභා මැතිවරණයක් වෙනුවෙන් ගමට එන්නේ නැහැ. මැතිවරණය සිදු කිරීමේදී එයත් සිහි තබා ගත යුතුයි.

බිම් මට්ටමේ වැඩකටයුතු සිදු කරන අතරම අපි තවත් කාරණයක් දෙස අවධානය යොමු කළ යුතුයි. අප ජාතික ආණ්ඩුවක් ලෙස බලයට පත් වුණත් එහි කොටස් 02 ක් තිබෙනවා. පළමුව අප ක්‍රියා කළේ එක්සත් ජාතික පෙරමුණ ලෙසයි. දැන් අප කටයුතු කරන්නේ ජාතික ආණ්ඩුවක් ලෙසයි. නමුත් මැතිවරණයේදී තරග කිරීමට එක්සත් ජාතික පක්‍ෂය සමග සිටින සියලු පක්‍ෂ එකට එකතුවීමට තීරණය කළා. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය මෙන් ප්‍රාදේශීය සභා මැතිවරණයටද සියලූ දෙනා එකට එකතු වෙනවා.

පළාත් පාලන ආයතන මැතිවරණ සඳහා අප ඉදිරියේදී සංවිධාන ඇති කරනවා. එම නිසා ඇතැම් අවස්ථාවල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අපේක්‍ෂකයින්ටත් අපත් සමග මැතිවරණයේදී කටයුතු කිරීමට සිදු වෙනවා. නමුත්  ඒ සඳහා ඉඩ කඩ ලබා දිය හැකිවන්නේ අනිවාර්යෙන් ජයග්‍රහණය කළ හැකි පුද්ගලයන්ට පමණක් බව අප පැවසුවා. ඒ ආකාරයට අප වැඩ කටයුතු සිදු කළ යුතුයි.

එමෙන්ම පසුගිය කාලය තුල අපේ ආණ්ඩුව සිදු කළේ කුමක්ද යන්න පිළිබඳව ඔබට මතක් කළ යුතුයි. අප වසර 02 ක් බලයේ සිටියා. අප ආණ්ඩු බලය භාර ගන්නා විට රටේ විශාල ප්‍රශ්න තිබුණා. අසමගිය, ආර්ථිකයේ කඩා වැටීම්, ණය ගෙවීමට ප්‍රමාණවත් නොවන ආදායම ආදිය ඒ අතර ප්‍රධාන වුණා. බලය ලබා ගැනීමෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණය  තවත් වසර 05 න් එළඹෙන බව අප දැන සිටියා.  එම නිසා පළමු වසරේදී සංවර්ධනය සඳහා අවශ්‍ය අඩිතාලම අපි නිර්මාණය කළා.

අපි රටේ ණය බර පාලනය කළා. හම්බන්තොට වරාය ආදියේ ප්‍රශ්න අපි විසදාගත්තා. ඒ වගේම ඉදිරි වසරේ සිට අපට තවත්  ආයෝජන ලැබෙනවා. ඒ ආකාරයට අපි වසර 02 ක් තුළ සංවර්ධනයට අවශ්‍ය මූලික අඩිතාලම් දැමුවා. ඉදිරි වර්ෂවලදී එහි ප්‍රතිඵල ලබා ගත හැකියි.

ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ වාර්තාව හා බුද්ධාගම

ඒ සියලු වැඩකටයුතු සිදු කරන අතරවාරයේ, රවී කරුණානායක මන්ත්‍රීතුමා මුදල් ඇමැතිව සිටි කාලයේ සිටම බිම් මට්ටමේ සියලු වැඩකටයුතු සඳහා අපි අවශ්‍ය මුදල් ලබා දුන්නා. ඒ මුදල් වියදම් කළ ආකාරය පිළිබඳව දැන් ජනතාව දැනුම්වත් කළ යුතුයි. ඒ ආකාරයට පසුගිය වසර 02 ක තුළ  අප ලබා ගත් ප්‍රතිඵල රටට පෙන්වා දිය යුතුයි. මේ සියලු වැඩ කටයුතු අතර මේ රටේ ආගමික සහ ජාතික සංහිදියාව ඇති කිරීමත් අප සිදු කළා.

අතීතයේදී ජාත්‍යන්තරය අපව හැදින්වූයේ මානව හිමිකම් උල්ලංඝණය කළ රටක් ලෙසයි. මාධ්‍යවේදීන්, ක්‍රීඩකයින් මරා දැමුවා. ඒවා ලෝකයේ වෙන කිසිඳු රටක් සිදු නොකළ  ආකාරයේ ක්‍රියා. නමුත් අපි ඒ වැරැදි නිවැරදි කර ගත්තා. අද ලෝකය ජාත්‍යන්තර වශයෙන් අපව පිලිගන්නවා. කවුරුවත් අපව කොන් කරන්නේ නැහැ. ජපානය, චීනය, ඉන්දියාව, රුසියාව, ඇමරිකාව මේ සියලු රටවල් අප සමග එකතුව කටයුතු කරනවා.

නමුත් අප විශේෂයෙන්ම අවධානය යොමු කළ යුත්තේ මේ රටේ දීර්ඝ කාලීන සාමය ඇති කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එක් කරමින් ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති කරන්නේ කෙසේදැයි  අප අවධානය යොමු කළ යුතුයි. ව්‍යවස්ථා දායක සභාවක් සහ මෙහෙයුම් කමිටුවක් ඇති කරමින් අප වැඩකටයුතු ආරම්භ කර තිබෙන්නේ ඒ සඳහායි.

මේ ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ වාර්තාව නිකුත්වීමටත් පෙර බුද්ධාගම අනතුරේ, බුද්ධාගම නැති කරනවා යනුවෙන් ඇතැම් පුද්ගලයන් චෝදනා කළා. නමුත් ඇත්ත වශයෙන්ම ඒ තුළ බුද්ධාගමට ඇති ස්ථානයේ කිසිම වෙනසක් සිදු කර නැහැ. බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අපි ඒ ආකාරයෙන්ම ලබාදී තිබෙනවා.

ඒකීයභාවය පිළිබඳ විවාදය​

මේ රටේ ඒකීයභාවය අපි කිසිදු ලෙසකින් හෝ දියාරු කරන්නේ නැහැ. මේ තුලින් අපි උත්සාහ කරන්නේ ඒකීයභාවය ආරක්‍ෂා කිරීමටයි. දුටුගැමුණු රජතුමාගේ කාලයේ සිටම ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්. ශ්‍රී ලංකාද්වීපයම එක් රටක් ලෙස කටයුතු කළා. එහි බලය රජතුමා යටතේ පැවතුණා. එදා අතීතයේ සිට අද දක්වාම ශ්‍රී ලංකාව ලෙස හඳුන්වන්නේ එකම භූමියකටයි.

දකුණු ඉන්දියාව දුර්වල වූ අවස්ථාවකදී එහි කොටසක් අල්ලා ගැනීමට හෝ මාලදිවයිනේ කොටසක් අල්ලා ගැනීමට හෝ රජ දවසේ සිට මේ දක්වා අප කටයුතු නොකළේ අප ඒකීය රාජ්‍යයක් නිසයි. එදා සිට අද දක්වාම ශ්‍රී ලංකා භූමියත් ඊට අයත් දූපත් කිහිපයක් ඒකීය රාජ්‍යයක් ලෙස පැවතුණා.

අවුරුදු දහස් ගණනක ඉතිහාසය පුරාම මහාවංශයෙත් සඳහන් වන ආකාරයට අපි ඒකීය රාජ්‍යයක් ලෙස පැවත එනවා. එදා සිට වෙනත් රටවල් ආක්‍රමණය කිරීමට හෝ වෙනත් රටක කොටසක් අපේ රටේ කොටසක් ලෙස නම් කිරීම හෝ අපි සිදු කර නැහැ.

ඒ වගේම ශ්‍රී ලංකාවට අයිති මේ භූමි ප්‍රමාණය බෙදා වෙන් කිරීමට අපි ඉඩ දෙන්නේත් නැහැ. එසේ නම් ශ්‍රී ලංකාව මීටත් වඩා ප්‍රමාණයෙන් විශාල කිරීමටත් මේ භඣමි ප්‍රමාණය බෙදා වෙන් කරමින් අඩු කිරීමටත් අප කටයුතු කරන්නේ නැහැ. ඊට ඉඩ ලබා දෙන්නේත් නැහැ.

රටේ ඒකීය භාවය දියාරු කිරීමට අපට කිසිදු වුවමනාවක් නැහැ. 1815 දී බ්‍රිතාන්‍ය ජාතිකයින් මේ රටේ බලය ලබා ගැනීමෙන් පසුව 1948 දී එනම් මීට වසර 70 ට පෙර අපට නැවත නිදහස ලබාගැනීමට හැකියාව ලැබුණා.

නිදහස ලබා ගැනීමෙන් පසුව නැවත රජතුමා යටතේ පාලනය වන ක්‍රමයක් රටට ගැලපුණේ නැහැ. රජවරු පත් කිරීමට මේ රටේ ජනතාව අකමැති වුණා. රට පාලනය කිරීමේ බලය හිමි වූයේ පාර්ලිමේන්තුවට සහ ජනතාවටයි. එය හඳුන්වන්නේ ස්වෛරී භාවය ලෙසයි. ස්වෛරී භාවයේ කේන්ද්‍රස්ථානය පාර්ලිමේන්තුව සහ මහජනතාවයි

ශ්‍රී ලංකාව නම් භූමි භාගයෙහි ජීවත් වන සියලු දෙනා මේ රටේ මහජනතාවයි. මේ රට අයිති වන්නේ රටේ  මහජනතාවටයි. අපට අයිති මේ රටේ ඒකීය භාවය දියාරු කිරීමට අප ඉඩදෙන්නේ නැහැ. 1972 ජන රජයක් බවට පත්වෙමින් ඒකීය රාජ්‍ය යන වචනය අපි ව්‍යවස්ථාවට ඇතුල් කළා. 1978 ව්‍යවස්ථාවටත් එය ඇතුළත් කළා. 13 වන සංශෝධනයේදීත් එය වෙනස් කළේ නැහැ. එසේ නම් ඒකීය රාජ්‍ය සංකල්පය අප විනාශ කරන්නේ නැහැ. යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත තුළත් ඒකීය රාජ්‍ය යන සංකල්පය කිසිදු වෙනසකින් තොරව ඇතුළත් කර තිබෙනවා.

1972 ඉංග්‍රීසි ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ Unitary රාජ්‍යලෙසයි. ඉන් අදහස් වන්නේ ඒකීය යන අර්ථය නොවේ. මෙය ඒකීය රාජ්‍ය සංකල්පය තරම් පැරැණි සංකල්පයක් ද නොවෙයි. 18 වන ශතවර්ෂයේ නවීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සැකසෙන කාලයේ මෙම සංකල්පය ඉදිරිපත් කළේ මහා බ්‍රිතාන්‍ය විසිනුයි. එංගලන්තය, ස්කොට්ලන්ත සහ වේල්සය එකතු කරගනිමින් මහා බ්‍රිතාන්‍යය නිර්මාණය වුණා. රට පාලනය කිරීමේ බලය හිමි වන්නේ පාර්ලිමේන්තුවට බව එහිදී ඔවුන් ප්‍රකාශ කළා. එදා මහා බ්‍රිතාන්‍ය ස්වෛරී භාවය පාර්ලිමේන්තුව තුළ මධ්‍යගත කළේ ඒ ආකාරයටයි. එය ජනතාවට පමණක් හිමි වූයේ නැහැ. එය පාර්ලිමේන්තුවේ මධ්‍යගත කළේ ඒ නිසයි.

මහා බි්‍රතාන්‍ය තුළ රාජ්‍යයක් ඇති කරමින් එහි ස්වෛරී බලය ඒ ආකාරයට පාර්ලිමේන්තුවට ලබාදුන්නා . එය හදුන්වන්නේ Unitary සංකල්පය ලෙසයි. ඉන් පසුව බලය බෙදා වෙන් කිරීමේ ක්‍රමය වූ ෆෙඩරල් සංකල්පය ඇමරිකාව විසින් ගෙන ආවා. මෙම Unitaryසහ ෆෙඩරල් සංකල්පයට අනුවයි නවීන රටවල් ගණනාවක් වර්ථමානයේ පාලන කටයුතු සිදු කරන්නේ.

කෙසේ වුවත් බ්‍රිතාන්‍යයේ Unitary සංකල්පය තුළ අපේ රටේ වැනි බලය බෙදාහැරීමක් දක්නට නැහැ. ශ්‍රී ලංකාව ඒකීය රටක් බැවින් 13 වන සංශෝධනය සිදු කිරීමට හැකි වුණා.

Unitary සංකල්පය යටතේ බලය බෙදාහැරීමට හැකි දැයි ඇතැමුන් අධිකරණයෙන් ප්‍රශ්න කළා. එවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතරයක් පැවසුවේ රටේ ඒකීය භාවයට හානියක් නොවනවා නම් එහි ස්වෛරීභාවයට බලපෑමක් නොවනවා නම් බලය බෙදිය හැකි බවයි. පළාත් සභා ක්‍රමය ඇති කළේ ඒ අනුවයි.

පසු කාලයේදී එංගලන්තයත් ස්කොට්ලන්තයට බලය ලබා දුන්නා. ස්කොට්ලන්ත සභාවක් ඇති කරමින් අපි පළාත් සභා වලට බලය ලබාදුන් ආකාරයට ස්කොට්ලන්තයට පාලන බලය ලබා දුන්නා. නමුත් මහා බ්‍රිතාන්‍යය ඉන් නැවතුණේ නැහැ. ස්කොට්ලන්තයට ජනමත විචාරණයකින් තනි රාජ්‍යයක් වීමට අවශ්‍ය නම් තමන් ඊට ඉඩ ලබාදෙන බව 2012 වර්ෂයේදී එංගලන්තය පැවසුවා.

Unitary සංකල්පය තුළ මෙතෙක් කල් එවැනි ක්‍රමයක් පැවතුණේ නැහැ. ඔවුන් 2015 දී ස්කොට්ලන්තය තනි රාජ්‍යයක් විය යුතු ද නැද්ද යන්න පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්වුවා. බහුතරයක් එහිදී පැවසුවේ තනි රාජ්‍යයක් බවට පත්වීමට අවශ්‍ය නැති බවයි. නමුත් අනාගතයේදී ඔවුන්ට අවශ්‍ය නම් මහා බ්‍රිතාන්‍යයෙන් වෙන් වී තනි රාජ්‍යයක් බවට පත්වීමට හැකියාව තිබෙනවා.

ඒ අනුව එම ක්‍රියාවලියේදී ඒකීය සංකල්පය දියාරු කිරීමක් සිදුව නැහැ. අපේ රටේ ගැටලුව වන්නේත් Unitaryයන වචනය හරහා ඒකීය භාවය දියාරු කිරීමක් සිදු කරනවාද නැද්ද යන්නයි. පසුගිය වසරේ අගභාගයේදී මම ඩයස්පෝරා ක්‍රියාකාරීන් මුණගැසුණු අවස්ථාවේදී ඔවුන් පැවසුවේ, ඒකීය භාවය සංකල්පයට ඔවුන්ගේ විරුද්ධත්වයක් නොමැති බවයි. අවශ්‍ය ඕනෑම අවස්ථාවක ජනමත විචාරණයකට යාමට අවස්ථාව තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙහෙයුම් කමිටුව එම වාර්තාව සකසන විට ඒකීය යන වචනය සම්බන්ධයෙන් ගැටළුවක් ඇති වුණේ නැහැ. එයට සියලු දෙනාම එකඟවුණා.

නමුත් Unitary යන වචනයෙන් ඒකීය භාවය දියාරු කිරීමක් සිදු වනවා ද නැද්ද යන්න පිළිබඳව මත දෙකක් ඇතිවී තිබුණා. “Unitaryයන වචනය ව්‍යවස්ථාවේ ඒකීය යන වචනයට නොගැලපෙන බව ඇතැමුන් ප්‍රකාශ කළා. ඇතැමුන් ඊට විරුද්ධ වුණා. ඒ පිළිබඳ අනාගතයේදී  සාකච්ඡා කිරීමට හැකියාව ලැබේවි.

එම නිසා අපේ ව්‍යවස්ථාවට ඒකීය රාජ්‍ය යන වචනය කිසිදු ගැටළුවකින් තොරව ඇතුළත් කර තිබෙනවා. නමුත් Unitary යන වචනය රටේ ඒකීය භාවය දියාරු කිරීමක් කරනවා ද නැද්ද යන්න පිළිබඳව ඉදිරියේදී රට තුළ සාකච්ඡා කිරීමට හැකියි.

එම නිසා ඒකීය රාජ්‍ය යන සංකල්පය මේ වනවිටත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙන අතරම මේ සම්බන්ධ විවාදය ආරම්භ වූ පසු Unitary සංකල්පය තුළ රටේ බෙදීමක් ඇති කරනවා ද නැද්ද යන්න පිළිබඳව සාකච්ඡා කළ හැකියි.

අපට රටේ ඒකීය භාවය කිසි ලෙසකින්වත් දියාරු කිරීමට නොහැකියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වන යම් කිසි වචනයක් හේතුවෙන් රටේ ඒකීය භාවය දියාරු වෙනවා නම් එය ඉවත් කළ යුතුයි. එසේ සිදු නොවනවා නම් ගැටළුවක් නැහැ. ඒ පිළිබඳව පක්‍ෂ අතර සාකච්ඡා කරමින් එකඟත්වයකට පැමිණිය යුතුයි.

ද්‍රවිඩ සන්ධානයේ ස්ථාවරය

Unitary යන වචනය පිළිබඳව ව්‍යවස්ථාදායක සභාවේදී වාද කිරීමට අපට හැකියාව තිබෙනවා. “ඒකීය වචනය ඇතුළත් වී තිබෙන බව ද්‍රවිඩ සන්ධානය දුටු  විට ඔවුන් සිය පැරැණි ස්ථාවරය පසුපසට ගනිමින් ප්‍රධාන පක්‍ෂ දෙක මෙම මූලික ප්‍රතිපත්තිවලට එකඟ වෙනවා නම් රටේ ස්ථාවර භාවයක් ඇති කිරීම සඳහා අපත් මේ පිළිබඳව සලකා බලන බව ඔවුන් ප්‍රකාශ කළා.

සලකා බැලීම යනුවෙන් ඔවුන් අදහස් කරන්නේ කුමක්ද? පළමු කාරණය ඒකීය රාජ්‍ය සංකල්පය. දෙවන කාරණය ඒකීය රාජ්‍ය සංකල්පය තුළ උපරිම බලය බෙදා හැරීම, කිසිවෙකුටත් මදි පුංචි කමක් සිදු නොවන සේ මූලික අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම තුන්වන කාරණයයි. හතරවන කාරණය නම් පාර්ලිමේන්තුවට අමතරව තවත් සෙනට් සභාවක් ඇති කිරීම සහ පස්වන කාරණය ශක්තිමත් අධිකරණයක් පිහිටුවීම ඔවුන් ඉල්ලා සිටින්නේ. මෙම කාරණා 05 යි.

ඔවුන් ඒකීය භාවය සංකල්පය පිළිබඳව සලකා බැලීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. මේ අවස්ථාව පිළිබඳව අප රටට පැවසිය යුතුයි.

ව්‍යවස්ථාවේ ඇතුළත් වචන පිළිබඳව අප එකඟත්වයක් ඇති කර ගත යුතුයි. කෙසේ වුවත් ඒකීය භාවයසංකල්පයට පිළිබඳව දෙමළ සන්ධානයේ පවා ගැටළුවක් නැහැ. Unitary යන වචනය රටේ ඒකීය භාවය දියාරු කිරීමක් කරනවාද නැද්ද යන්න පිළිබඳව මේ සම්බන්ධ ඉදිරි පියවරයන්හිදී විවාදයට ගැනීමට හැකියි.

එසේ නම් වසර 50 ක් 60 ක් තුළ මේ රට වෙනුවෙන් කිරීමට නොහැකි වූ විශාල වැඩකොටසක් දැන් අප සිදු කර තිබෙනවා. ඒකීය භාවය ආරක්‍ෂා කරගනිමින් අප ඉදිරියට යනවා නම් මීළඟ මැතිවරණයට පෙර රටට ගැලපෙන ඉතා හොඳ ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට හැකි වෙනවා.

ඔබව හමුවීමට අද මෙම ස්ථානයට පැමිණි නිසා මේ පිළිබඳව ඔබව දැනුම්වත් කිරීමට මම කල්පනා කළා. ඔබ සියලු දෙනා මාර්ගයෙන් මෙය ගමට රැගෙන යා යුතුයි. ජාතිවාදය, ආගම්වාදය රට තුළ ඇති කිරීමට කිසිවෙකුටත් ඉඩ දෙන්න එපා. අප ගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජාතිවාදී හෝ ආගම්වාදී නොවෙයි.

මෙහි වෙනත් කරුණු පිළිබඳව කතා කිරීමට නොහැකි වූ විට ඇතැම් පුද්ගලයින් ජාතිවාදය හා ආගම්වාදය පිළිබඳව කතා කරමින් ගැටළු ඇති කිරීමට උත්සාහ දරනවා. අප ඊට ඉඩ නොදී අපේ වැඩසටහන ඉදිරියට ගෙන යා යුතුයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.