26 April, 2024

Blog

රාජපක්‍ෂට සිදුවූ මහසෙන් ඇබැද්දිය​

රනිල් වික්‍රමසිංහ

රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණය කරන ලද වැලි මලුව යළිත් සැදැහැවතුන් වෙනුවෙන් ලබාදුන්නා. මේ වැලි මලුව මට විවෘත කරන්න බැහැ. ඒ දුටුගැමුණු රජතුමා මුලින් විවෘත කර ඇති නිසයි.

මේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජය මැදිහත් වුණා. ඊට පෙර 19 වන ශතවර්ෂයේ බෞද්ධයන්ගේ පෞද්ගලික මුදලින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වුණා. මුදල් ඉපැයූ හැම කෙනෙක්ම මේ පිංකම් සඳහා කොටසක් ලබා දුන්නා. අපේ මිත්තනියත් ඊට ආධාර කළා. මේ කටයුතු බාරගත්තේ ඩී.එස්. සේනානායක, ඩී.බී. ජයතිලක මැතිතුමන්ලාගේ කාලයේදීයි. එදා පළාත් පාලන ඇමැතිවරයා වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඒ කටයුතු බාරගත්තා. ඉන්පසුව ජේ.ආර්. ජයවර්ධන මහතා ඒ කටයුතු කළා. අප ඉදිරියට ගෙනයන්නේ ඒ සිරිතයි.

රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු දැන් අප අවසන් කරමින් සිටිනවා. රුවන්වැලි මහා සෑය කොටසක් පමණයි.  දුටුගැමුණු රජතුමා මෙහි එනවිට මහා විහාරය ක්‍රියාත්මක වෙමින් තිබුණා. තමන්ට එදා සහයෝගය දුන් මහා විහාරයේ භික්‍ෂුන් වහන්සේලා උදෙසා දුටුගැමුණු රජතුමා මහා සෑය ඉදිකළා. ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය වූයේ මහා විහාරයයි. මහා විහාරයේ ත්‍රිපිටකයට විවිධ රටවලින් ඉල්ලීම් ලැබුණා. අග්නිදිග ආසියාව, බුරුමය ආදී රටවලින් ඉල්ලීම් ලැබුණා. අග්නිදිග ආසියාවේ පැරණිම භික්‍ෂුන් වහන්සේලා අරගෙන දිඹුලාගල සිට තායිලන්තයට, ලාඕසයට, කාම්බෝජයට, වියට්නාමයට ගියේ මහා විහාර සිරිතේ භික්‍ෂුන් වහන්සේලා බව කිව යුතුයි.

ලෝකයේ යුදෙව්වන්ට වඩා ථෙරවාදී බෞද්ධයන් ඉන්නවා. යුදෙව්වන් තමන්ගේ විලාප තාප්පය යළි ප්‍රතිසංස්කරණය කොට ආරක්‍ෂා කරනවා. සීක් ජාතිකයන් බෞද්ධයන්ට වඩා අඩුයි. ඔවුන් රත්තරන් දේවස්ථානය ආරක්‍ෂා කරගන්නවා. මුස්ලිම් ජනතාව මහමද් තුමන්ගේ සොහොන ආරක්‍ෂා කරනවා. එහෙත් බෞද්ධයන් හැටියට අපේ කේන්ද්‍රස්ථානයට කරලා තියෙන්නේ කුමක්ද? අපි මුකුත් කරලා නැහැ. බුදු දහම ගැන හැම කෙනෙක්ම කතා කරනවා. නමුත් බෞද්ධ කේන්ද්‍රස්ථානය ආරක්‍ෂා කරලා නැහැ. මහා විහාරය ප්‍රතිසංස්කරණය කළ යුතු බව 2003 වසරේදී අප කිව්වේ ඒනිසයි. අප නව සංඝාවාසයක් ලබාදෙන්නම් යැයි කිව්වේ ඒ නිසයි.

මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා තිබුණත් ප්‍රගතිය ප්‍රමාණවත් නැහැ. මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, විශ්ව විද්‍යාල පුරාවිද්‍යා ප්‍රධානීන්, ඇතුළු ප්‍රවීණයන්ගෙන් යුතු කමිටුවක් පත් කර දිගු කාලීන සැලැස්මක් දෙන ලෙස අධ්‍යාපන ඇමැතිතුමාගෙන් මම ඉල්ලා සිටියා. හැම වසරකම යම් මුදලක් වෙන් කර මෙම කැණීම් කටයුතු සිදු කළ යුතුයි. ඉතා ඉක්මනින් අදාළ සැලසුම මට ලබාදෙන්න. අප එතැන් සිට වැඩකටයුතු කරන්නම්. එමෙන්ම ලෝකය සමග එක්ව ථෙරවාදී බෞද්ධ ත්‍රිකෝණයක් නම් කරන ලෙස මා අධ්‍යාපන ඇමැතිතුමාට දැනුම් දුන්නා. ඒ සඳහා විදේශ ඇමැති තුමාගේද සහය ලබාගත හැකියි. මියන්මාරය, තායිලන්තය සහ අපගේ අනුරාධපුරය එක්කරමින් එම ථෙරවාදී ත්‍රිකෝණය හදන්නැයි මා උපදෙස් දුන්නා.

දැන් මේ වැඩකටයුතු සඳහා අමාත්‍යවරුන් කැපවිය යුතුයි. තානාපතිවරුන්ට කතා කොට එම රටවල්වලට ගොස් කටයුතු කළ හැකියි. අවශ්‍ය නම් මට තායිලන්ත අගමැතිතුමාටත්, අවුන්සාන් සුකී මියන්මාර් අගමැති තුමියටත් ලිපි ලබා දිය හැකියි. එසේ නම් අපි එම වැඩකටයුතු කරනවා. එම බෞද්ධ ස්ථාන සම්බන්ධ කරගෙන අප වැඩකටයුතු කළ යුතුයි.

මහා විහාරයට විශාලතම හානිය වුණේ සොලින්ගෙන් නොවේ. වෙනත් කාගෙන්වත් නොවේ. විශාලතම හානිය වුණේ වෛතුල්‍යවාදීන්ගෙන් බව කිව යුතුයි. පළමුවෙන්ම අභයගිරියෙන් ඉන් පසුව ජේතවනාරාමයෙන් වෛතුල්‍යවාදීන් කටයුතු සිදු කළා. ජේතවනාරාමයෙන් කොපමණ හිරිහැර කළාද කිව්වොත් මහා විහාරය කඩා දැමුවා. ස්වාමීන්වහන්සේලා ඝාතනය කළා. අවසානයේ ජනතාවට මෙය එපා වුණා. මහසෙන් කියන්නේ ශ්‍රේෂ්ඨ රජකෙනෙකු වුණත් ඔහුට ජනතාව විරුද්ධව කැරලි ගැහුවා. එසේ කැරලි ගසා ජනතාව එක්ව සෝණ ඇමැතිවරයා මරා දැමුවා. රජතුමා පැනලා ගියා. හමුදාපති රජුට විරුද්ධ වුණා. අවසානයේ රජුම පැමිණ මහා විහාරයේ සංඝයා වහන්සේලාගෙන් සමාව ඉල්ලා නැවත රට පාලනය කරන විට ඒ ශ්‍රේෂ්ඨ රජුගේ බලතලත් ක්‍රමයෙන් අඩුවී ගියා.

අනුරාධපුර අවසානයේ දිඹුලාගල, පසුව තෙත් කලාපයට පැමිණ අන්තිමට මහනුවරටත් පැමිණියා. ඒ වනවිට උපසම්පදා භික්‍ෂුන් නොමැතිවීම නිසා තායිලන්තයට යන්නට සිදුවුණා. තායිලන්තයට ගිය විට උපාලි ස්වාමීන් වහන්සේ ඇතුළු කණ්ඩායමක් උපසම්පදාව ලබාදීමෙන් වැලිවිට සරණංකර සංඝරාජ වහන්සේ නැවත ශාසනය ආරම්භ කළා. ඒ අනුව මල්වත්ත, අස්ගිරිය යනුවෙන් පාර්ශව දෙකක් ආරම්භ කළා. අස්ගිරිය වනවාසී පාර්ශ්වයක් වශයෙන් පැවතුණා. උන්වහන්සේලාට වනාන්තරගතව භාවනා කිරීමට අවශ්‍ය වුණා. බෞද්ධ ප්‍රබෝධය ඇරැඹුණේ එලෙසයි. ඊට පසුව අමරපුර සහ රාමඤ්ඤ නිකායත් පිහිටුවනු ලැබුවා. ඉන්පසුව අපගේ දානපතියන් සැදැහැවතුන් එක්ව බුදු දහමේ විශාල දියුණුවක් ගෙන ගියා. බ්‍රිතාන්‍යයේ සහයෝගයත් ලැබුණා. මේ නිකාය තුන රැකගෙන එම පාර්ශ්ව රැකගෙන ඉදිරියට ගමන් කළා. ඒ සමගම ලංකාවට නිදහස ලැබුණා.

නිදහස ලැබීමෙන් පසුව 1972 ව්‍යවස්ථාවෙන් බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙන බවට සඳහන් කළා. ඒ වගන්තිය 1978 ව්‍යවස්ථාවේත් සඳහන් වෙනවා. බුදු දහමට ප්‍රමුඛස්ථානය දුන්නාට බෞද්ධයන් රට පාලනය කළාට එම ආරක්‍ෂාව වසර පහ හයකට පෙර ලැබුණේ නැහැ.

තම විරුද්ධවාදියකුට දළදා මාලිගාවේ පූජාවක් කරන්නට ඉඩදුන් නිසා මල්වත්ත පාර්ශ්වය කඩා අලුත් පාර්ශ්වයක් හදන බවට මල්වතු මහා නාහිමියන්ට තර්ජනය කළා. එදා සවස මල්වතු විහාරයේ පැවැති සාකච්ඡාව ගැන මා කිවයුතු නැහැ. මල්වතු පාර්ශ්වය කඩනබව කිව්වා. අලුත් නිකායක් හදන බව කිව්වා. මහසෙන් රජ්ජුරුවො වගේ කටයුතු කළා. ඒ විතරක් නොවේ මේ පූජා භූමියේ දැන් තිබෙන්නේ අටමස්ථානයයි. අපට ඇති ප්‍රධාන එකම සෑය වන්නේ රුවන්වැලි මහා සෑයයි. ජේතවනාරාමය සහ අභයගිරිය මේ තත්ත්වයට ගේන්න එපා. පුරා විද්‍යාත්මක වටිනාකම අනුව එම සිද්ධස්ථානත් සංරක්‍ෂණය කරමු යැයි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පැවැසුවා. විශාල සෑය තුනක් ඒ අනුව තියෙනවා. වන්දනාමාන කරන්නේ මෙම මහා සෑයටයි.

අටමස්ථානාධිපති හිමියන්ටත් නොකියා කළේ කුමක්ද? රුවන්වැලි සෑයටත් වඩා උස තවත් මහා සෑයක් ඉදිකරන්න හැදුවා. රුවන්වැලි සෑයට වඩා උස සෑයක් හදන්න ලංකාවේ කොහේවත් බැහැ. ඒ සෑය හදලා ඊළඟට කරන්න හිටියේ කුමක්ද? මල්වත්ත නිකාය කඩා හදන්නට සිටි පාර්ශ්වය එතැනට ගෙන ඒමයි.

මේ අලුත් සෑයත් අභයගිරිය, ජේතවනාරාමය වගේ සංරක්‍ෂණය කරාවි. ලංකාවේ උසම ස්ථූපය මේක තමයි කියමින් බොහෝ අය සාදු කියමින් ඒ ස්ථූපයට වන්දනා කරාවි. මේ වගේ දේවල් ඉතිහාසයේ කරන්න බැහැ. අන්තිමට වුණේ මොකක්ද? මහසෙන් රජතුමාට වුණා වගේ සිද්ධියක් වුණා. අන්තිමට බලය නැතිව ගියා. මහසෙන් රජතුමා අඩුගානේ කරදර දැකලා, එතැනින් ප්‍රශ්නය අවසන් කරගත්තා. සංඝයාවහන්සේලා මුණ ගැසුණා.

දැන් ඒ වැඩ කටයුත්ත නතර කර තිබෙනවා. දැන් මහසෙන් රජු කළ දේ කළ යුතුයි. එසේනම් අපේ මල්වත්තේ මහා නාහිමියන් මුණගැසී බැගෑපත්ව බිම වැතිරිලා ඊට පසුව ඉදලක් ගෙන මාසයක් උදේ සවස මල්වතු විහාර භූමිය ශුද්ධ කළ යුතුයි. ඒක පුන්‍ය ක්‍රියාවක්. ඊට පසුව අටමස්ථානයේ නාහිමිට ඒ ආකාරයටම වැදලා මාසයක් උදේ සවස ශ්‍රී මහා බෝධිය වටා ශුද්ධ පවිත්‍ර කළ යුතුයි. ඊට පසුව රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නාහිමිට වැද මාසයක් උදේ සවස රුවන්වැලි සෑය ශුද්ධ පවිත්‍ර කළ යුතුයි. එතකොට නම් සමාව දෙන්න පුළුවන්.

අලුත් සෑයත් අටමස්ථානයට බාරදෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වීමෙන් පසු අපි පැමිණ සංඝයා වහන්සේට දැනුම් දුන්නා.

අප නව ව්‍යවස්ථාවක් හදනවා. තවම සකස් කරන්නේ අතුරු වාර්තාවක් පමණයි. ප්‍රධාන මූලධර්මවලට අමතරව සමහර ස්ථානවලට විකල්ප යෝජනා ඉදිරිපත් කරනවා. ජනතා අදහස් ලබාගත් පසුව ව්‍යවස්ථාදායක සභාවේදී එම අදහස් සාකච්ඡා කළ හැකියි. ඉන්පසුව අපි ප්‍රධාන වාර්තාවක් හදා ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරනවා.

මේ සාකච්ඡාවේදී මමත් අලුත් යෝජනාවක් ඉදිරිපත් කරනවා. ආණ්ඩුවකට ආගමික සංවිධානයකට ඇගිලි ගහන්න බැහැ යන යෝජනාවයි. ඒ අනුව නිකාය සහ පාර්ශ්ව වල සංයුතිය වෙනස් කරන්නට හැකියාවක් නැහැ. මෙම සම්ප්‍රදායන් පිළිනොගන්නා ආණ්ඩුවක් එනවා නම් හැමදාම බුදු දහම අනතුරේ. එම නිසා මේ ගැන සංඝයා වහන්සේලා සමග කතා කළා. ව්‍යවස්ථාදායක සභාවට අතුරු වාර්තාව පැමිණි පසු මා මෙම යෝජනාව ඉදිරිපත් කරනවා. ඒ සඳහා ඔබ වහන්සේලාගේ සහයෝගයත් අවශ්‍යයි.

බදු දහමට තිබෙන අනතුරුවලින් ආරක්‍ෂා කරගත යුත්තේ ඒ ආකාරයටයි. එමෙන්ම මේ ස්ථාන දියුණු කරන්නට අපට අමාත්‍යංශ ගණනාවකින් උදව් කරනවා. බුද්ධ ශාසන අමාත්‍යංශය ඒ කටයුතු කරනවා. එමෙන්ම සංස්කෘතික අමාත්‍යංශය ඒ කටයුතු කරනවා. ජනපති මා ඇතුළු හැම කෙනෙක්ම අවශ්‍ය උපකාර කරනවා.

බෞද්ධ පිරිවෙන් අධ්‍යාපනය දියුණු කිරීමටත් අප කටයුතු කරනවා. මහා විහාරය කේන්ද්‍රස්ථානය කරන වැඩ සටහන් අප ආරම්භ කරමු.

*2017.07.08 දින අනුරාධපුර, රුවන්වැලි මහා සෑය අභියස පැවැතී ආගමික වතාවත්වලට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැක්වූ අදහස්

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.