15 December, 2017

Blog

අප යායුතු මඟ

රනිල් වික්‍රමසිංහ

ආන්ද්‍ර ප්‍රදේශ් හි මහ ඇමැති චන්ද්‍රබාබු නයිඳු මහතා පෙන්නුවා ඔහුගේ තාක්ෂණික පාලන ක්‍රමය. හැම පළාතකටම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම එකතු වන ආදායම එක පැත්තකට, වියදම තවත් පැත්තකට. හැම අමාත්‍යාංශයකම ආදායම්, වියදම්. ඒ වගේම එතුමා අපට පෙන්නුවා විශාඛා පට්නම් නගරයේ හැන්දෑ වරුවේ, දවල් කාලයේ විදුලිය දැල්වෙනවාද, නැද්ද කියා. ඒ සියල්ල එතුමාගේ පරිගණකයෙන් පරීක්‍ෂා කරන්න පුළුවන්. අපේ පරිපාලනයත් එතනට යා යුතුයි.ranil-w-pic-supplied-by-his-medai-on-16112016

අරලියගහ මන්දිරයේදී 2017.01.13 වන දින රාජ්‍ය කළමනාකරණ සහකාර III ශ්‍රේණිය සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව:

අද ඔබ සියලූ දෙනාම රාජ්‍ය කළමනාකරණ සහකාරවරුන් ලෙස රජයේ සේවයට එකතු වෙනවා. ඔබ මේ සේවයට එකතු වන්නේ ලෝකයේ විශාල පරිවර්තනයක් සිදුවන අවස්ථාවකදීයි. තාක්‍ෂණික පරිවර්තනයක්, ආර්ථික පරිවර්තනයක් සිදුවෙමින් ලෝක බලය හා ආර්ථික බලය ආසියාවට පැතිරී ආසියාව විශාල වශයෙන් දියුණුවට පත්වන අවස්ථාවකයි. මෙය ඉන්දියන් සාගරයට පත්වීම අපට විශාල වාසියක්.

එවැනි විශාල පරිවර්තනයක් සිදු වෙනවා. තව අවුරුදු 30 – 35 කින් ඔබ මේ සේවයෙන් විශ්‍රාම යන විට අදට වඩා වෙනස් ලෝකයක් දකින්න පුළුවන්. ඇතැම් විට සමහර අය මේ සේවයට වඩා පුද්ගලික සේවාවන්හි යෙදී ඉහළ යා හැකියි. ලෝකය සීග්‍රයෙන් වෙනස් වෙනවා. ශ්‍රී ලංකාවත් ඊට ඇතුලූ වී තිබෙනවා.

1990 සිට දශක දෙකහමාරක් තුළ දී වෙළෙඳ ආර්ථිකය යෙදීමෙන් ලෝකයේ දියුණුවක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම 2008 දී පසුබෑමක් ද ඇති වුණා. කෙසේ හෝ යම් පසුබෑමක් ඇති වුවත් ආසියාවේ දියුණුව අඩාල වී නැහැ. වෙළෙඳ ආර්ථික ක්‍රමය හැම තැනකටම පැතිරී තියෙනවා. ඊට පෙර ඉපදුණු අයට මතක ඇති ඉන්දියාව, චීනය ආදී රටවල පැවතුනේ හැමදේම රජය විසින් ඉටු කළ යුතු ක්‍රමයක්.

මෙහි පැමිණි සිටින ඔබ කවුරුත් එදා ඉපදිලා සිටි අය කියලා මං විශ්වාස කරන්නේ නැහැ. එකල අපට උදේ වරුවෙ පාන් රාත්තලක් ගන්න පෝලිමේ ඉන්න සිදු වුණා. වාසනාවන්ත අයට පාන් ලැබුණා. අවාසනාවන්ත අයට ගුල්ලෝ ලැබුණා. එවැනි තත්ත්වයක් එදා තිබුණා. එකල අපට ලැබුණේ අවුරුද්දකටම රෙදි යාර 2 ක් පමණක් බව අද මේ විදියට ඇද පැළද සිටින අයට කිව යුතුයි. එකල මට වාහනයක් තිබුණු අතර එම වාහනයට අවුරුද්දකට ලැබුණේ ටයර් දෙකක් පමණයි.

මම ඒ කාලේ චීනයට ගොස් තිබෙනවා. මම දැක්කා එකල චීන මිනිස්සු හිටපු තත්වය. එහෙත් ඒ සෑම රටක්ම වෙළෙඳ ආර්ථිකය පටන් ගත්තා.

වෙළෙඳ ආර්ථිකය ක්‍රියාත්මක කළා. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ක්‍රියාත්මක කළා. චීනය කොමියුනිස්ට් ක්‍රමය යටතේ ක්‍රියාත්මක කළා. සමහර අය ඒකාධිපති ක්‍රමය යටතේ ක්‍රියාත්මක කළා.

වෙළෙඳ ක්‍රමය කියන්නේ ආසියාවේ පැරණිම ක්‍රමය. කෙතරම් පැරණිදැයි කියනවා නම් බුදුන් වහන්සේ මුලින්ම මුණගැසිලා පළමුවැනි පණිවුඩය මෙහාට එව්වේ වෙළෙඳුන් දෙදෙනෙක් හරහායි. ඒ තපස්සු බල්ලූක. මිහිදු හාමුදුරුවෝ මෙරටට වැඩම කළේ ඊට අවුරුදු 200 – 300 කින් පමණ පසුවයි. බුද්ධාගම, ජෛන ආගම, ඉස්ලාම් ආගම ආදී සියල්ලම මේ වෙළෙඳ ක්‍රමය පදනම් කර ගෙන සම්බන්ධ වුණා. එයින් විශාල දියුණුවක් ඇති වුණා.

රජයේ කාර්යභාරය කුමක්ද කියා අපි අද අලූතින් සිතිය යුතුයි. රජය හැම එකක්ම පාලනය කරන්න ගියොත් කිසිම දියුණුවක් ඇති වෙන්නේ නැහැ. වාහනයක් පදවන විට අපි කකුල් දෙකෙන් එකවර ඇක්ස්ලේටරයයි, බ්‍රේක් එකයි පාගන්නේ නැහැ. ඉදිරියට යන්න නම් ඇක්ස්ලේටරයේ කකුල තියලා, බ්‍රේක් එකෙන් කකුල අයින් කර ගන්නවා. ඒ ආකාරයට රජයේ කටයුතු මොනවාද, රජයේ නොවන කටයුතු මොනවාද කියා දැනගත යුතුයි. පුද්ගලික අංශය යොදවන්නේ කුමක් සඳහා ද, පුද්ගලික හා රාජ්‍ය අංශය ඒකාබද්ධව යොදවන්නේ කුමක් සඳහා ද යන්න තීරණය කර වැඩ කටයුතු කළ යුතුයි. දේශීය ආයෝජකයන් හා විදේශීය ආයෝජකයන් කටයුතු කරන්නේ කෙසේද?

අද මේ ස්ථානයට පැමිණි ඔබ බොහෝ දෙනෙක් කොළඹ අය නොවෙයි. ඒ වගේම අනෙකුත් නාගරික ප්‍රදේශවල අය ද නොවෙයි. මෙහි සිටින වැඩි පිරිසක් ග්‍රාමීය පරිසරයක් සහිත කුඩා නගරවලින් පැමිණි අයයි.

මෙම ප්‍රදේශ නවීකරණය සදහා ගැමි ආර්ථිකයේ වෙනසක් සිදු කළ යුතුව තිබෙනවා. කෘෂිකර්මය නවීකරණය කළ යුතු අතර කර්මාන්ත ඇති කළ යුතුයි. මේ ආකාරයට රට ඉදිරියට ගෙන යාමට ආණ්ඩුවට මුදල් නැහැ. දේශීය ආයෝජකයන්ටත් ප්‍රමාණවත් මුදල් නොමැති හෙයින් විදේශීය ආයෝජකයන් මගින් මෙය සිදු කළ හැකියි.

එදා චීනය විදේශීය ආයෝජන යොදවා තමන්ගේ ව්‍යාපාර ආරම්භ කළා. උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ, කටුනායක වෙළෙඳ කලාපය ගත හැකියි. චීනය විශාල වශයෙන් පළවෙනි අවුරුදු 10 තුළ විදේශීය ආයෝජන දියුණු කළා. දෙවැනි අවුරුදු 10 දී දේශීය ආයෝජන සමග එකතු වූ අතර තෙවැනි දශකයේ දී දේශීය ආයෝජකයන් ඉදිරියට පැමිණ ක්‍රියාත්මක කරගෙන යනවා. අපිත් ක්‍රියාත්මක විය යුත්තේ ඒ ක්‍රමවේදය අනුවයි. යල් පැනපු අදහස් මගින් රට දියුණු කළ නොහැකියි. මේ සියල්ලම රජයට තනිව කළ නොහැකියි. උතුරු කොරියාව හැර ලෝකයේ කිසිදු රටකට සියලූ දෙනාටම රජයේ රැකියා ලබාදීමට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ වගේම සියලූ දේ රජයේ පාලනය යටතේ දියුණු කිරීමට ද හැකියාවක් නැහැ.

විවෘත ආර්ථිකයක්, විවෘත සමාජයක් කියන්නේ වෙනත් ආයතනවලට වාණිජ ආර්ථික ආයතන ක්‍රියාත්මක කිරීමට ඉඩහැරීමයි. එම නිසා අපේ රටේ මේ ක්‍රමය ඉදිරියට ගෙන යාමට එකඟතාවයක් තිබිය යුතුයි. එම එකඟතාවය ලබා ගැනීමට අපි පියවර දෙකක් ගනු ලැබුවා. පළමුවැන්න වන්නේ, පක්‍ෂ ගණනාවක් එකතු වී සාමය, සංහිදියාව, දේශපාලන හා ආර්ථික වෙනසක් වෙනුවෙන් පොදු අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරීමයි. එම පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ජනාධිපති ලෙස පත්වීමෙන් එම පළමු පියවර තැබීමට අපට හැකි වුණා.

දෙවැනි ක්‍රමය වන්නේ පාර්ලිමේන්තු ඡන්දයෙන් අනතුරුව ප්‍රධාන පක්‍ෂ දෙක එකතු වී ආණ්ඩුවක් පිහිටුවීමයි. මේ ආකාරයට ප්‍රධාන පක්‍ෂ දෙක අවුරුදු 5 ක් වැඩ කර රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කරනවා. ඊළඟ මැතිවරණයට අප වෙන වෙනම ඉදිරිපත් වුවත් රටේ ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැහැ. කුමන මුහුණු ඉවත් කරනවාද, කුමන මුහුණු තෝරා පත් කර ගන්නවාද කියා ජනතාව තීරණය කරාවි. අපට එක පිම්මකට ඉදිරියට යාමේ හැකියාව මේ තුළින් ඇති වෙනවා.

ඉන්දියාවේ කොංග්‍රස් පක්‍ෂය වෙනස් වෙලා, භාරතීය ජනතා පක්‍ෂයේ මෝඩි අගමැතිතුමයි බලයට පත් වුණා කියා ප්‍රතිපත්තිමය වශයෙන් විශාල වෙනසක් වෙන්නේ නැහැ. එංගලන්තයේ ටෝනි බ්ලයාර් අගමැතිවරයාගේ ගෝර්ඩන් බ්‍රවුන්ග් මහතාගේ, ඩේවිඩ් කැමරන් මහතාගේ එසේ අගමැති ධූර වෙනස් වූ පමණින් එරට විශාල ප්‍රතිපත්තිමය වෙනසක් සිදුවූයේ නැහැ. වෙනස තිබෙන්නේ ජනමත විචාරණයේ පමණයි. ඒ වගේම අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාගෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් එම ධූරයට පත්වුණ ද එරට ප්‍රතිපත්තිවල විශාල වෙනසක් ඇති වන්නේ නැහැ.

ජපානයේ තත්ත්වය ද එසේමයි. එවැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල මුලික ප්‍රතිපත්ති පවතින අතර ඒවා ක්‍රියාත්මක කරනවා. ඉන් ස්ථාවර භාවයක් ඇති වෙනවා. චීනය, වියට්නාමය පිළිබඳ මිනිස්සු කියන්නේ ආණ්ඩුව වෙනස් වෙන්නේ නැහැ. ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ. අපිට එසේ කළ නොහැකියි. අපි කියන්නේ අපේ ආණ්ඩු වෙනස් වෙනවා, ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ කියලා. අපි ජාතික ආණ්ඩුවක් ඇති කළේ එය පෙන්වීමටයි. පක්‍ෂ කිහිපයක් එකට වැඩ කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. නමුත් අපි ඒ වැඩ කටයුතු කර ගෙන යනවා.

ඒ ආකාරයට අපි කටයුතු කරමින් පසුගිය වසරේ දී මේ රටේ ණය බර අඩු කර ගත්තා. රාජ්‍ය ආදායම වැඩි කර ගත්තා. ඒ අනුව ඉදිරියට යාමට පළමු පියවර ගනු ලැබුවා. එහිදී අප ගත් පියවර නිසා පසුගිය සතියේ දින 11 – 12 තුළ දී ආර්ථිකයේ විශාල වෙනසක් කරන්න මුළ පිරුවා.

අපට හම්බන්තොට වරාය වෙනුවෙන් ගෙවීමට තිබුණා. අපි ගත් පියවරයන් නිසා ඒ ණය බර අඩු කර ගත්තා. ඩොලර් මිලියන 5000 ක ආයෝජන ලබා ගන්නවා. අපට ජීඑස්පී ප්ලස් ලැබුණු නිසා යුරෝපීය වෙළෙඳපොළට ඇතුලූ වීමට අවස්ථාව ලැබෙනවා. තවත් නොබෝ කලකින් චීන, ඉන්දීය, සිංගප්පූරු වෙළෙඳපොළට ඇතුළුවීමට හැකියාව ලැබෙනවා. ත්‍රිකුණාමලය වරාය දියුණු කිරීමට ඉන්දීයාවේ, ජපානයේ ආයෝජන ලැබෙනවා. මේ ආකාරයට විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙන නිසා මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් මේ දියුණුව හරහා සීග්‍රයෙන් මේ දියුණුව ඉදිරියට ගෙන යා යුතුයි.

ඒ සදහා මම ජනාධිපතිතුමා සමග සාකච්ඡා කර ඉදිරි වසර කිහිපය වෙනුවෙන් ආර්ථික න්‍යාය පත්‍රයක් සකස් කරනවා. එක් එක් අමාත්‍යාංශ මගින් ආණ්ඩුවේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්නේ කෙසේද? තමන්ට බාර වී ඇති ව්‍යාපෘති හා පුද්ගලික අංශයට භාර දී ඇති ව්‍යාපෘති ඒ සියල්ල හඳුනාගෙන එම න්‍යාය පත්‍රය සකස් කරනවා. ඉන් පසු එය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සියලූ දෙනාටම දැනුම් දෙනවා. ඒ තුළින් අපි විශාල ප්‍රතිසංවිධානයක් ඇති කරනවා. එමගින් තව අවුරුදු 30 – 35 ක් වෙන කොට මීට වඩා වෙනස් ජීවිතයක් අපට ලබා ගන්න පුලූවන්.

ඔබ සේවයට ඇතුලූ වූ පසු ඔබට ලිපි ගොනු කිහිපයක් පරිහරණය කිරීමට සිදුවනු ඇතිදැයි මම මුලින්ම ඔබේ ලේකම්තුමාගෙන් විමසා සිටියා. එහිදී එතුමා කියා සිටියේ ලිපි ගොනු 50 – 100 ක් පමණ වනු ඇති බවයි. මම ඔබට එක් දෙයක් කිව යුතුයි. තවත් අවුරුදු 30 – 35 කින් ඔබ විශ්‍රාම යන විට එකම ලිපි ගොනුවක්වත් බලන්න සිදු වන්නේ නැහැ. සමහර විට ජංගම දුරකථනයක නැත්නම් කුඩා යන්ත්‍රයක සියල්ල ඇතුළත් වී තිබිය හැකියි. මේ වනවිටත් යුරෝපීය රටවල පරිපාලන කටයුතු සිදු වන්නේ ඒ ආකාරයටයි.

ආන්ද්‍ර ප්‍රදේශ් හි මහ ඇමැති චන්ද්‍රබාබු නයිඳු මහතා පෙන්නුවා ඔහුගේ තාක්ෂණික පාලන ක්‍රමය. හැම පළාතකටම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම එකතු වන ආදායම එක පැත්තකට, වියදම තවත් පැත්තකට. හැම අමාත්‍යාංශයකම ආදායම්, වියදම්. ඒ වගේම එතුමා අපට පෙන්නුවා විශාඛා පට්නම් නගරයේ හැන්දෑ වරුවේ, දවල් කාලයේ විදුලිය දැල්වෙනවාද, නැද්ද කියා. ඒ සියල්ල එතුමාගේ පරිගණකයෙන් පරීක්‍ෂා කරන්න පුළුවන්.

අපේ පරිපාලනයත් එතනට යා යුතුයි. ආර්ථික න්‍යාය පත්‍රය ගෙනත් තිබෙන්නේ රැකියා ආර්ථිකයක් බිහිකර 2030 – 31 වන විට මේ රට වැඩි ආදායම් ආර්ථිකයක් සහිත රටක් බවට පත් කිරීම සඳහායි. ඒ ගමන අප යා යුතුයි. එහි වාසිය ලැබෙන්නේ ඔබටයි.. ඔබේ දරුවන්ටයි… රට දියුණු වූ විට, රටේ ආර්ථිකය දියුණු වූ විට ඔබ දියුණු වනවා. ඒ නිසා එම න්‍යාය පත්‍රය සමග රජයේ සේවය යොදවනවා. විශේෂයෙන් මේ රටේ ඒ විපර්යාසය, පරිවර්ථනය සිදුවන 2032 දී වත් අපේ රට වැඩි ආදායම් ආර්ථිකයක් සහිත රටක් බවට පත් කරමු.

අප දැන් සිටින්නේ මැදි ආදායම් ආර්ථිකයක් සහිත රටකයි. එතැන් සිට අප ඉදිරියට යා යුතුයි. වැඩි ආදායම් ආර්ථිකයක් සහිත රටක් ලෙස අපේ රට දියුණු කරන්න නම්, අපේ ග්‍රාමීය පළාත් දියුණු කරන්න නම්, ඔබ සියලූ දෙනා දියුණු වෙන්න නම් අපි මේ ගමන යා යුතුයි. ඔබ සියලූ දෙනාට බාර දෙන්නේ ඒ වැඩකටයුත්තයි. යල් පැනගිය අදහස් මගින් සාකච්ඡා කොට පළක් නැහැ. අපට ආයෝජකයන්, දැනුම, තාක්‍ෂණය වුවමනා නම් ඒවා යොදා ගනිමින් දියුණු විය යුතුයි.

සිංහල රජ කාලයේ වැව් අමුණු හදන්න අවශ්‍ය තාක්‍ෂණය ගෙන ආවේ පිටිනුයි. එසේම වාරි ඉංජිනේරු තාක්‍ෂණයත් ගෙනාවේත් පිටින්. බුදුන් වහන්සේගේ ධර්මයත් අපට ලැබුණේ පිටින්. ඒ නිසා මේ සියල්ල අපේ වාසියට යොදා ගැනීමට අපි දැන ගත යුතුයි. රාජ්‍ය කළමනාකරණ සේවය අද එහි කොටසක්. ඔබ සියලූ දෙනා මේ කළමනාකරණ සේවයට ඇතුලූ වූ විට රාජ්‍ය පරිපාලනයේ ප්‍රබල පිරිසක්. අපි බලන්නේ ඊළඟ අවුරුදු කිහිපය තුළ දී විශේෂයෙන් ලෝක වාණිජ ව්‍යාපාරවල තියෙන කළමනාකරණ ප්‍රතිපත්ති අපට එකතු කර ගැනීමයි. එසේ නම් අපි සියල්ල එතැනට එකතු වෙමු.

දැන් අපට යන්න තිබෙන ගමන මේ රට දියුණු කරන්නයි. පරිවර්තනයක් ඇති කරන්නයි. ඔබේ ජීවිත කාලය තුළ දී මේ රට වැඩි ආදායම් සහිත රටක් බවට පත් කරන්නයි. එවිට ඔබට හොඳ, නිවසක්, වාහනයක්, ඔබේ දරුවන්ට හොඳ අනාගතයක් තිබෙනවා. දරුවන්ට මෙරට හෝ විදේශ අධ්‍යාපනය ලබා දෙන්නත් පුලූවන්. කාලයෙන් කාලයට රට යන්නත් පුලූවන්. එවැනි තත්ත්වයක් මේ රටේ ඇති කළ යුතුයි. කළමනාකරණ සේවයට එකතු වූ ඔබට ඒ වෙනුවෙන් විශාල වගකීමක් තිබෙනවා. එය ඉෂ්ඨ කරන්න. පරිගණක, ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කර ගන්න. රාජ්‍ය සේවයට එකතු වූ ඔබේ දැනුම වැඩි කරන්න අපි සැලසුම් ගණනාවක් කර තිබෙන බවත් සඳහන් කරන්නට කැමතියි.

 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.