25 April, 2024

Blog

අද ශාසනයට තිබෙන විශාලම තර්ජනය වන්නේ ශාසනයේ පිරිහීමයි

රනිල් වික්‍රමසිංහ

අපේ නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළ පරිදි මම මේ විහාරස්ථානයට කිහිප වතාවක්ම පැමිණ තිබෙනවා. මේ විහාරස්ථානයේ මෙවැනි විශාල සමාධි බුද්ධ ප්‍රතිමාවක් ඉදිකර අද වැනි දිනක එය විවෘත කරනු ඇතැයි මා බලාපොරොත්තු වුණේ නැහැ.

මේ කටයුතු සඳහා අද දිනය යොදා ගැනීම පිළිබඳව විශේෂයෙන් මා සඳහන් කළ යුතුයි. මේ උත්සවය සඳහා ජනාධිපතිතුමන් දින දෙකක් ලබා දුන්නා. මේ දින දෙකෙන් තෝරා ගන්නේ කුමන දිනය දැයි මගෙන් විමසා සිටි අවස්ථාවේ දී මා කියා සිටියේ 22 වැනි අද දින තෝරා ගනිමු කියායි. ඒ සඳහා හේතු දෙකක් තිබෙන බවත් මා කියා සිටියා. එක් හේතුවක් වන්නේ මැදින් පුරපසළොස්වක පොහොය දිනය යෙදී තිබීමයි. අපේ නායක ස්වාමීන් වහන්සේ ඩී.එස්. සේනානායක මැතිතුමන්ට බොහෝ ගෞරවයක් දක්වන අතර අද දිනට එතුමාගේ අනුස්මරණ දිනය යෙදී තිබීම අනෙක් හේතුවයි.

Ranil Wඩී.එස්. සේනානායක මැතිතුමා පිළිබඳ බොහෝ දෙනෙක් නොදන්නා පැත්තක් තිබෙනවා. ඒ බුද්ධාගම හා බුද්ධ ශාසනය දියුණු කිරීම සඳහා එතුමා ගනු ලැබූ පියවර පිළිබඳවයි. එදා එතුමා දේශපාලනයට එන විට සිටියේ වැඩිමහල් සහෝදරයිනුයි. එතුමා දේශපාලනයට පැමිණියේ, එකල අමද්‍යප ව්‍යාපාරයට සහභාගි වූ බවට චෝදනා කරමින් හේන්ඬි පේදිරිස්ට සුද්දන් වෙඩි තබන අයුරු එතුමා දැකීමෙන් පසුවයි.

ඩී.එස්. සේනානායක මැතිතුමා දේශපාලනයට පැමිණි පසු මේ රටට නැවත නිදහස ලබා ගැනීම වෙනුවෙනුත්, නිදහස ලබා ගැනීමෙන් පසු බුද්ධ ශාසනය දියුණු කිරීම වෙනුවෙනුත් එතුමා ක්‍රියා කළා. ඒ සඳහා එතුමාට ඉතා ස්ථිර සහ තද ප්‍රතිපත්ති තිබුණා. ඇත්ත වශයෙන්ම එම ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්‍ෂයේ සෑම නායකයෙකුම පිළිපැදිය යුතුව තිබෙනවා. මේ සියල්ලම කළේ යහපත් සංඝ රත්නයක් හා ශාසනයක් බිහි කිරීම සඳහායි.

එකල මෙතරම් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එදා ඉතා වැදගත්, උගත් ස්වාමීන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් වැඩසිටියා. ඒ උගත් සංඝ පරපුර ඉදිරියට ගෙන යාම අපේ වැඩසටහනයි. ඒ සඳහා අපේ ඉන්දරතන නායක ස්වාමීන් වහන්සේ ඇතුළත් වනවා. උන්වහන්සේ උගත් ස්වාමීන් වහන්සේ නමක්. මම පැමිණ ඉන්දරතන ස්වාමීන් වහන්සේට කරුණු ලබා දුන් බව උන්වහන්සේ කියා සිටියත් ඊට වඩා කරුණු බොහොමයක් උන්වහන්සේ මා වෙත ලබා දී තිබෙනවා.

බුද්ධ ධර්මයත්, අපේ සංස්කෘතියත් අවසාන වශයෙන් රැදී තිබුණේ මේ ප්‍රදේශයේ විහාරස්ථාන වන පැල්මඩුල්ල විහාරස්ථානය, ශ්‍රීපාද විහාරස්ථානය, නැදුන්ගමුව විහාරස්ථානය, සංඛපාල විහාරස්ථානය ආදී රජමහා විහාරස්ථානවලයි. එනම් සුද්දන් උඩරටට යන විට බුද්ධ ධර්මයත්, සංස්කෘතියත් රැදී තිබුණේ සබරගමුව පළාතේයි.

බෞද්ධ පුනරුත්තාපනයේ නියමුවා ලෙස ක්‍රියා කළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ ශ්‍රීපාද අඩවියේ නායක ස්වාමීන් වහන්සේ ලෙස ක්‍රියා කළා. එක් කාලයක උන්වහන්සේට නඩු කීමට ද සිදු වුණා. නඩු පොත් අතරට පැමිණ තිබෙන අලූත්ම නඩු අතරට එම නඩුත් ඇතුළත් වී තිබෙනවා. ඒ වගේම මහාවංශය මුල්කිරිගල විහාරයේ තිබෙන බව ජෝර්ජ් ටර්නර් මැතිතුමාට දැනුම් දුන්නේ පැල්මඩුල්ල විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේයි. එදා ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ගියේ එවැනි විහාරස්ථානවලටයි. ශ්‍රීපාද විහාරස්ථානය, සමන් දේවාලය වැනි ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථාන තිබෙන රත්නපුරයට අපේ නායක ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ප්‍රතිමාවත් ඇතුළත් කොට තිබෙනවා.

ඉන්දරතන ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයට, දෙල්ගමුව රජමහා විහාරස්ථානයේ සිට සමන් දේවාලයට දළදා වහන්සේ වැඩම වූ අවස්ථාවේ දී තේවාවන් සිදු කළ ස්වාමීන් වහන්සේ විවේක ගත්තේ මේ ස්ථානයේයි.

අපේ ඉන්දරතන ස්වාමීන් වහන්සේ ඉටු කළ ශාසනික සේවාව හේතුවෙන් උන්වහන්සේට කෝට්ටේ සංඝ සභාවේ විනිශ්චය සභා ලේකම් ධූරය මෙන්ම කෝට්ටේ සංඝ සභාවේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක ධූරය යන තනතුරු හිමි වී තිබෙනවා.
ඒ වගේම ඩී.එස්. සේනානායක මැතිතුමාගේ වැනි ශුද්ධ වූ පාලනයක් මේ රටේ ඇති කිරීම වෙනුවෙන් උන්වහන්සේ විශාල කැපකිරීමක් කොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත් කිරීම සඳහා විශාල උනන්දුවකින් කටයුතු කළා. ඒ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිහිටුවනු ලබන ආණ්ඩුවෙන් බුද්ධ ශාසනය දියුණු කිරීම සඳහා පියවර ගනු ඇතැයි යන බලාපොරොත්තුවෙනුයි.

උන්වහන්සේ බලාපොරොත්තු වූ පරිදි ඒ වැඩ කටයුතු සිදු කරන බව මා කියන්න කැමතියි. ඒ සඳහා ඉන්දරතන ස්වාමීන් වහන්සේ ද උදව් උපකාර කළ යුතුයි. ඔබවහන්සේ පිරිසිදු චරිතයක් තිබෙන උගත් ස්වාමීන් වහන්සේ නමක්… ඔබවහන්සේ අනෙකුත් ස්වාමීන් වහන්සේලාට අලි පැටව් විකුණන බවට සාක්‍ෂි තිබෙන තත්ත්වයට වැටුණ ස්වාමීන් වහන්සේ නමක් නොවෙයි. ඔබවහන්සේ රජයේ බලයෙන් කොළඹ තිබෙන පන්සල් බලෙන් අල්ලා ගෙන සිටින ස්වාමීන් වහන්සේ නමක් නොවෙයි. ඔබවහන්සේ මැණික් ව්‍යාපාරයෙන් ගත් මුදල් වෙන කොහේදෝ යැවූ නායක ස්වාමීන් වහන්සේ නමක් නොවෙයි. ඔබවහන්සේ බෞද්ධයෙකු ලෙස ඉපදී බෞද්ධයෙකු ලෙස ඉන්නවා. ඔබවහන්සේවත්, ජනාධිපතිතුමාවත්, මමවත්, මේ ස්ථානයේ සිටින ගිහියන්වත් එංගලන්තයෙන්, ප්‍රංශයෙන් ගෙන්වා ගත් බෙහෙත් ගාගෙන අව්වේ සිටින අය නොවෙයි. ඔබ වහන්සේ එවැනි ක්‍රියා නොකරන නිසා නායක ස්වාමීන් වහන්සේ නමක් ලෙස ඔබ ගෞරවයට පාත්‍ර වෙනවා.

අද ශාසනයට තිබෙන විශාලම තර්ජනය වන්නේ ශාසනයේ පිරිහීමයි. එවැනි පිරිහීමක් ඇති වන්නේ ශාසනය ඇතුළතිනුයි. ඒ පිරිහීමෙන් ශාසනය ආරක්‍ෂා කිරීම ගිහියන් වන අපට සිදු කළ නොහැකියි. එම කටයුතු මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුලූ මහා සංඝ රත්නයට බාර වන බව මා කියන්න කැමතියි.

එහෙත් ඔබවහන්සේ මේ ශාසනය දියුණු කිරීමට, පිරිවෙන් අධ්‍යාපනය, අනෙකුත් අංශ පිළිබඳව ඔබවහන්සේගේ අවධානය යොමු කර තිබෙනවා. එම නිසා ඒ වැඩකටයුතු සිදු කරමින් මුළු රත්නපුර දිස්ත්‍රික්කයටම නැවත ප්‍රසිද්ධියක් ලබාදීමට මේ සිද්ධස්ථානය, මේ බෞද්ධ ප්‍රතිමාව ඉදිකිරීම ගැන බෞද්ධයන් හැටියට ඔබවහන්සේට ස්තූතිවන්ත වෙනවා.

*2016.03.22 වැනි දින රත්නපුර, හිදැල්ලන ශ්‍රී මහා විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම වෙනුවෙන් පැවැති උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    අගමැති තුමාගෙන් වටිනා කතාවක්. බුදු දහම නගා සිටුවිමටනම්, අප වන ආරම ආරක්ෂා කල යුතුය්. තවත් වන ආරාම තැනිය යුතුය්. ඒවායේ වැඩ වසන භාවනානුයෝගී සංගයා වහන්සේලාගෙන් ගිහියන්ට අනුසාසනා ලබා ගැනීමට පුළුවන් වන විදියේ පහසුකම් තැනිය යුතුය්. එනම්, විඩාබර ගිහියෙකුට සති අන්තයේ හෝ නිවාඩුවක එවන් ආරාමයකට ගොස් භාවනාව පුරුදු කිරීමට කුටි සහ අනෙකුත් පහසුකම් තැනිය යුතුය්. එතකොට මේ සමාජය ඉබේටම යහපත් වේවි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.