25 April, 2024

Blog

එජාපය සවිබල ගන්වන ‘පුනරුද සැලසුම’

රසික ජයකොඩි

රසික ජයකොඩි

ජනාධිපතිවරණයේ දී  ලද අනපේක්ෂිත පරාජයත් සමග එක්සත් ජාතික පක්ෂය මේ වන විට කිසියම් අන්දමක ව්‍යාකූල තත්ත්වයක සිටින බව කිසිවෙකුටත් රහසක් නොවේ.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්කළ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද ලක්ෂ 14කින් එම මැතිවරණයේ දී පරාජයට පත් වූයේ ය. මුලදී ජනාධිපතිවරණය කරට කර සටනක් වනු ඇතැයි බොහෝ දෙනෙකු සිතා සිටියත්, අවසන් ප්‍රතිඵලයෙන් තහවුරු වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිතුවාට වඩා පහසුවෙන් දිනුම් කණුව පසු කළ බවය.

ඒ කෙසේ වුවත් සජිත් ප්‍රේමදාස මහතා යනු තවමත් එක්සත් ජාතික පක්ෂය තුළ සිටින සාපේක්ෂව වඩාත් ජනප්‍රිය නායකයාය. ඔහුගේ පරාජයෙන් පසුව වොක්ෂෝල් වීදියේ මැතිවරණ කාර්යාලයට පැමිණි පාක්ෂිකයන් විශාල පිරිසක් කීවේ එජාපය මෙවර මැතිවරණයේ දී ලක්ෂ 55ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේත් සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකයා වූ නිසා බවයි. එසේ නොවන්නට මැතිවරණ පරාජය මීටත් වඩා දරුණු විය හැකිව තිබූ බව පක්ෂය තුළ පවතින පොදු මතයයි.

මෙවර මැතිවරණයේ දී ප්‍රකාශ වූ ජනතා තීන්දුව මාස කිහිපයක් තිස්සේ හිතා බලා ගත් එකක් මිස, හදිසියේ එක රැයකින් ගත් එකක් නොවන බව ප්‍රතිඵලවල සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කරන විට පෙනී යයි.  එනම් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරු වුණත්, මෙවර ජනාධිපතිවරණයෙන් ‘යහපාලන’ ආණ්ඩුව ගෙදර යැවීමට ජනතාව කලින්ම තීරණය කර තිබුණු බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව සම්බන්ධයෙන් පොදුවේ ජනතාව තුළ පැවති අපේක්ෂා භංගත්වය නිසා ගෝඨාභය රාජපක්ෂ කඳවුර මුල සිටම තරගයේ වැඩි වාසි ලබා ගෙන තිබුණු බව පැහැදිලිය.

පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලයට වැඩිම බලපෑමක් කළ සාධකය වශයෙන් මට පෙන්නෙන්නට තිබෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයයි. ජීවිත 260කට අධික ප්‍රමාණයක් බිලිගත් ඒ ප්‍රහාර මාලාවට තුඩු දුන් ජාතික ආරක්ෂාවේ බිඳ වැටීම් වලට සමස්ත රජයම වග කිව යුතු බවට ජනතාව තීන්දුවක් දී තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරක්ෂක ඇමතිවරයා වශයෙන් ද කටයුතු කරමින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මූලික වගකීම දැරුවත්, ජනතාව තීරණය කොට ඇත්තේ ප්‍රේමදාස මහතා ඇතුළු  පසුගිය රජයේ සියලු දෙනාම එම ආරක්ෂාවේ හිඩැස් සම්බන්ධ වගකීම භාර ගත යුතු බවයි. එය ප්‍රේමදාස මහතාට බෙහෙවින් අවාසි ලෙස බලපෑ සාධකයක් විය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සිංහල විරෝධී සහ බෞද්ධ විරෝධී පක්ෂයක් ලෙස රාජපක්ෂ කඳවුර නියෝජනය කළ අන්ත ජාතිවාදී කණ්ඩායම් සහ රාජපක්ෂ හිතවාදී මාධ්‍ය මවා තිබූ වැරදි චිත්‍රය ද මෙම ප්‍රතිඵලයට බලපෑවේ ය. ඔවුන්ගේ කාර්යය වඩාත් පහසු වුණේ ආණ්ඩුව නියෝජනය කළ ඇතැම් ජේෂ්ඨ ඇමතිවරුන් පොදුජන මනසට අසංවේදී වෙමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කර නිකුත් කරන ලද ඇතැම් ආන්දෝලනාත්මක ප්‍රකාශ නිසාය.

මේ නිසා සිංහල-බෞද්ධ ජනතාව සමූහයක් ලෙස එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කොට තිබිණි. එසේ කිරීමෙන් ඔවුන් ලබා දුන් පණිවුඩය වූයේ තවමත් මේ රටේ ‘රජුන් තනන්නන්’ වීමට බහුතර සිංහල-බෞද්ධ ප්‍රජාවට හැකියාවක් ඇති බවය.

කෙසේ වුවත් දැන් ජනාධිපතිවරණය අවසන් ය. මීළඟට එන්නේ මහා මැතිවරණයයි. එය එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත අභියෝගයකි. ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිතයන්ට පවසා ඇත්තේ ව්‍යවස්ථානුකූලව මේ පාර්ලිමේන්තුව විසුරුවන්නට ඉඩ ලැබෙන මුල්ම අවස්ථාවේ ම එය සිදු කරන බවටය. ඒ ඉඩ ඔහුට හිමි වන්නේ මාර්තු මුල් සතියේ ය. ඒ අනුව එළඹෙන මහා මැතිවරණය සඳහා තවත් ඇත්තේ දින 100කට ආසන්න කාලයක් බවට අනුමාන කළ හැකිය.

මේ දින 100 ඇතුළත බොහෝ දේවල් සිදු විය හැකිය. දැනටමත් අලුතින් පත් වූ ආණ්ඩුව තමන්ට ඡන්දය දුන් නාගරික සහ අර්ධ නාගරික මධ්‍යම පාංතික ජනතාවගේ අපේක්ෂා බිඳ හෙළන මට්ටමේ වැරදි කිහිපයක් සිදු කොට තිබේ. එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කළ යුත්තේ එම අපේක්ෂා බිඳ වැටීම සිය පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරය තුළට අන්තර්ග්‍රහණය කරගැනීම සඳහා උපායශීලී වීමයි.

මේ සඳහා එක්සත් ජාතික පක්ෂයට දින සියයක් තුළ සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවිය හැකි ‘පුනරුද සැලැස්මක්’ අවශ්‍ය වේ. මෙය හුදු නාමික පුනරුද සැලැස්මක් නොව, ඉතා තීරණාත්මක අංශ කිහිපයක් ආවරණය කරන ඉලක්කගත සැලසුමක් විය යුතුය. ඒ අනුව පුළුල් අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ, පක්ෂ යාන්ත්‍රණය ප්‍රතිසංවිධානය මෙන්ම පක්ෂ ප්‍රතිරූපය කළමනාකරණය කිරීමද මේ පුනරුද සැලැස්මේ අනිවාර්ය අංග විය යුතුය.

පක්ෂයේ අභ්‍යන්තර ප්‍රතිසංවිධානය නායකත්ව වෙනසක් සමග ඇරඹිය යුතුය යන්න පොදුවේ තහවුරු වී තිබෙන මතයයි. රනිල් වික්‍රමසිංහ මහතා ඉක්මනින් නායකත්වයෙන් ඉවත් වනු ඇති බව පක්ෂ මහලේකම් වරයා පසුගිය දා ප්‍රකාශ කළේ ඒ බව සියලු දෙනාම වටහාගෙන සිටින නිසා විය යුතුය. මේ නිසා ජනතාවට වඩාත් සමීප විය හැකි නායකයෙකු මෙන්ම ඉකුත් වසර හතරහමාර තුළ සිදු වූ ඇතැම් අඩුපාඩුවල අප්‍රසන්න මතක මකා ලිය හැකි නව මුහුණක් ද එක්සත් ජාතික පක්ෂයට අවශ්‍යය. එය මේ මොහොතේ  දුර්මුඛව සිටින පාක්ෂිකයා දිරිමත් කරවන උපායමාර්ගයක් වනු ඇත.

එමෙන්ම ඉකුත් ජනාධිපතිවරණයෙන් තහවුරු වූ තවත් කාරණයක් වූයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ යාන්ත්‍රණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉගෙන ගැනීමට බොහෝ පාඩම් ඇති බවයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන මැතිවරණ රැලි සහ ජාතික තලයේ මැතිවරණ කටයුතු පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන විට පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරය පාදක වූයේ දත්ත මත පදනම් වූ මෙහෙයුම් සහ ඉතාම පුද්ගලික මට්ටමින් ජනතාව ආමන්ත්‍රණය කරන ගෙන් ගෙට යාමේ වැඩසටහන් මතය. එමනිසා ඉදිරියේ දී පොහොට්ටුවේ මැතිවරණ යාන්ත්‍රණය සමග තරග  කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට ග්‍රාමීය වශයෙන් ඉතාම පුළුල්ව විහිදුණු සංවිධාන ජාලයක් අවශ්‍ය වේ.

මෙම පුනරුද සැලසුමේ ඉතාම වැදගත් අංගය වන්නේ පක්ෂයේ ප්‍රතිරූපය කළමනාකරණය කරගැනීමයි. මෙය බලයේ සිටින විටත් එක්සත් ජාතික පක්ෂය බෙහෙවින් දුර්වලතා පෙන් වූ එක් අංශයක් බව අවිවාදිතය.  එක්සත් ජාතික පක්ෂය සිංහල-බෞද්ධ විරෝධී දේශපාලන ව්‍යාපාරයක් බවට දැවැන්ත ප්‍රචාරක මෙහෙයුමක් දියත්  කොට පක්ෂයට එරෙහිව බහුතර සිංහල බෞද්ධ ජනතාව පෙළ ගස්වන්නට රාජපක්ෂවාදී බලවේගයට හැකියාව ලැබුණේ මේ දුර්වලකම නිසා ය. එමනිසා සිංහල බෞද්ධ ප්‍රජාව ද ඇතුළුව සියලුම ජනකොටස්වලට  පිළිගත හැකි පක්ෂයක් බවට එක්සත් ජාතික පක්ෂය පරිවර්තනය කරලීම සඳහා මනා සැලසුමකින් යුතුව පක්ෂයේ ප්‍රතිරූපය කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වේ.

මේ සියල්ල තව දුරටත් කාලයට බාර දීම නුවණට හුරු නොවේ. මේ සියලුම වෙනස්කම් වලට නිසි ප්‍රවේශයක් ලෙසට වර්තමානයේ උද්ගත වී ඇති නායකත්ව ප්‍රශ්නයට නිශ්චිත විසඳුමක් ඉක්මනින් සොයා ගැනීම මූලිකම අවශ්‍යතාවකි. මේ සියලු ගැටලු නිරාකරණය කරගෙන එකම අරමුණකමකින්, එකම දිශාවකට පක්ෂය ගමන් කරන දිනය හැකි ඉක්මනින් උදාකරගැනීම සියලු දෙනා අභියස ඇති වගකීමකි.

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    2

    Bull Shit.. Sajith lost because floating voters identified him as a joker worse than MY3 and they didn’t wanted to have another joker as their president..!

    • 2
      1

      Not just that the rascals worked closely with grassroot level by abusing the gullible while UNP did my even notice the depth. Blatant lies misled entirety for their comeback. In a civilized world protest marches should already stand against abusive media TV channel s such as Guru, Derana and not forgetting Sirasa. But pseudo democracies such as ours would never allow proper systems be placed marginalising evil and inhuman ones.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.