19 April, 2024

Blog

සොරගුණේ කැලය මැදින් කාමර 2,000 හෝටලයට හා ගොල්ෆ් පිටියට යළිත් වරක් පාර කැපේ

රවීන්ද්‍ර කාරියවසම් –

සොරගුණේ වනාන්තරය නසමින් මේ වනවිට රන්වන් ගුහාව, දඩයම්පොළ හරහා මහා මාර්ගයක් ඉදිකිරීමට ආරම්භ කර ඇත.  මෙම මාර්ගය ඉදිවෙමින් පවතින්නේ මීට වසර කිහිපයකට පෙර ජනතාවගේ උද්ඝෝෂණ මත යටගිය කාමර දෙදහසක හෝටල් සංකීර්ණය හා ගොල්ෆ් පිටිය ඉදිකරන බෙරගල ගොල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය සඳහා බව ඉතා පැහැදිලිය.  මිනිස් වාසයක් නොමැති මෙම වනය මැද කිසිදු අවසරයකින් තොරව නීති විරෝධී ලෙස ඉදිකරන මාර්ගය හා ගොල්ෆ් ව්‍යාපෘතිය වේළි ඔය හා සොරගුණේ ප්‍රදේශවල පරිසරය හා ජන ජීවිතයට අහිත කර ලෙස බලපානු ලබයි.

එමෙන්ම ගොල්ෆ් පිටියට අවශ්‍ය යටිතල පහසුකම් හා කුටි කිහිපයක් ඉදිකිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර වනාන්තරය විනාශ කරමින් මේ වන විට ගොල්ෆ් පිටිය හා හෝටලයට අවශ්‍ය සියළු දේ ඉදි කෙරෙමින් ඇත. මැර බලය යොදා ගනිමින් කිසිවෙකුට එම ප්‍රදේශයට යාමට ඉඩ නොදී මෙම මාර්ගයේ කටයුතු හා කුටි ඉදිකිරීම ආරම්භ කර ඇත.

SONY DSCප්‍රධාන වශයෙන් වේළිඔය ව්‍යාපෘතිය පෝෂණය කරන කාල්කන්ඔය, දෙමටආර, වේළිඔය, පතහඔය යන ප්‍රධාන ජල මාර්ගවල පෝෂක ප්‍රදේශ වන සොරගුණේ වනාන්තරය තුළ අක්කර හය සිය විසි අටක කැලෑ ඉඩම් එළිපෙහෙලි කර හෝටල් ව්‍යාපාරයකට හා ගෝල්ෆ් පිටියකට පවරා දීමේ කටයුතු මේ වන විට සිදු කර හමාරය. එලෙස පවරා දුන් ඉඩම් භාවිතයට ගනිමින් දැනට මාර්ග දෙකක් ඉදි වෙමින් පවතී.

මෙම අක්කර 628ක ඉඩම පවරා දී ඇත්තේ රුපියල් මිලියන හයක් පමණ මුදලකටය. රජයෙන් රුපියල් මිලියන 850ක් පමණ වැයකොට ගොඩනගන ලද වේළිඔය අමුණ ව්‍යාපාරයද මෙලෙස සිදුකරන වන විනාසය නිසා අසාර්ථක වනු ඇත. වේළිඔය ව්‍යාපෘතිය හේතුවෙන් ගොවි පවුල් දහස් ගණනාවක් ජීවිතය සරි කරගන්නා අතර පානීය ජලය ආදී තම එදිනෙදා සියලූ ජල අවශ්‍යතා ද සපුරා ගනුයේ මෙමගිනි. වේළිඔය ව්‍යාපාරය සඳහා ප්‍රධාන වශයෙන් ජලය ලැබෙන සොරගුණේ වනාන්තර ඉඩම් තුළ අරළු, බුළු, නෙල්ලි, ගම්මාළු, කහට වැනි ඉතා වටිනා ශාකද ඌව මැන්ඩොරා නැමති මෙම ප්‍රදේශයට පමණක් සීමා වූ ඉතා දුර්ලභ ශාක විශේෂ ද   දැක ගත හැකි අතර මෙම පරිසර පද්ධතිය ප්‍රදේශයේ ජල උල්පත් ආරක්‍ෂා කරන එකම වනාන්තර ප්‍රදේශයයි. දැනට ඉදිවෙමින් පවතින අනවසර මාර්ගයත්, මාර්ගය තැනීමෙන් අනතුරුව ඉදි වීමට නියමිත හෝටල් සංකීරණය හා ගොල්ෆ් ව්‍යාපෘතියත් හේතුවෙන් අපූර්ව වූ ජෛව විවිධත්වයත් ජල පෝෂිත ප්‍රදේශ රැසකුත් විනාශ වී යනු ඇත.

එයට අමතරව උඩවලව බෝගහපට්ටිය යා කරන සම්ප්‍රදායික අලි මංකඩ වැටී ඇත්තේද මෙම සොරගුණේ වනාන්තරය තුලින්ය. ජෛව විද්‍යාත්මකව ඉහළ වටිනාකමක් ඇති සොරගුණේ වනාන්තරය කපා හෝටල් සහ ගෝල්ෆ් ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා 2011-04-11 දින ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ අධ්‍යක්‍ෂවරයෙකු විසින් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් අවසරය ඉල්ලා ඇත.සොරගුණේ වනාන්තරය සතු ඉඩම් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට හා සොරගුණේ දේවාල සතු රාජකාරි ඉඩම් ලෙස දැනට පවතින අතර එය වේළිඔය ව්‍යාපාරයේ ප්‍රධාන ජල පෝෂිත ප්‍රදේශය ද වේ.

1931 අංක දහනවය දරණ විහාර දේවාල ගම් ආඥා පනතට අනුව විහාරය හෝ දේවාලය සතුව ඇති රාජකාරි ඉඩම් වලින් එම පුජනීය ස්ථාන වලට නිල පංගුව ඉටු නොවන්නේ නම් පමණක් එම ඉඩම් වෙනත් අයවළුනට පවරා දිය හැකි නමුදු වැසියන් විසින් දේවාලය සතු අනුනවයක් වු රාජකාරි ඉටුකරමින් සිටිය දී සිය මඩිය තරකරගැනීම උදෙසා පරම්පරා උරුමයන් නසමින් සොරගුණේ කුඩා කතරගම දේවාලය සතු වනාන්තර ඉඩම් බෙරගල ගොල්ෆ් රිසෝට් නැමති හෝටල් ව්‍යාපෘතිය හා ගෝල්ෆ් පිටි ඉදිකිරීම සඳහා ඇල්ෆා ඇන්ඞ් ඔමෙගා ප්‍රයිවට් ලිමිටඩ්, අංක 65, ධර්මපාල මාවත,කොළඹ 07 යන ආයතනය වෙත මෙම අවසරය ලැබෙන්නේ වාසු රාසයියා නැමැති ඇමරිකාවේ පදිංචි පුද්ගලයාගේ හෝටල් දොළ දුක නිවීම සඳහාය.

සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක නිළමේ දේවාලේ නිළ රාජකාරි ඉටුකරමින් සිටින වැසියන් පාරට ඇද දමා ඇමරිකානුවන්ගේ මනදොළ පිනවීම සඳහාමේ වන විට කටයුතු කරමින් සිටී. දැනට ඉදි වෙමින් පවතින මාර්ගය හා ගොල්ෆ් රිසොට් හෝටල් ව්‍යාපෘතිය ඉදි කිරිමට යාමෙන් පරිසරයට හා වේළිඔය ව්‍යාපෘතියට සිදුවන දැවැන්ත පරිසර හානිය පිළිබඳ ඌව පළාත් සභා මහ ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ වෙත 2011-07-04 දින කොටවෙහෙරමංකඩ, කණ්ඩියපිට, අළුත්වැව,හම්බෙගමුව යන ග්‍රාමසේවා වසම්වලට අයත් ගම්මාන 35ක පමණ ජනතාවගේ ජිවිත සුරක්ෂිත කිරීමේ අවශ්‍යතා පැහැදිලි කරමින් වේළිඔය ව්‍යාපාරයේ ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් ලිපියක් භාරදී ඇත. පසුව එම ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම්වරයා, ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙම කාරණය පිළිබඳ දැනුම් දී වේළිඔය ජල පෝෂක ප්‍රදේශය ආරක්ෂා කර හෝටල් හා ගොල්ෆ් ක්‍රීඩාංගනය ඉදි කිරීම වලක්වාලන ලෙස ඉල්ලා සිටිය ද මෙය වලක්වාලීම උදෙසා කිසිදු පියවරක් මේ වන තෙක් ගෙන නොමැත.

මිනිසුන් දහස් ගණනක් ගොවිතැන් බතින් තම ජීවිතය ආරක්‍ෂා කරගන්නා වේළිඔය ප්‍රදේශයට ජලය ලබා ගැනීමට වෙනත් කිසිදු මාර්ගයක් නොමැති අතර ප‍්‍රදේශයේ තිබෙන පුරාණ වැව් විසිහත ද පෝෂණය වන්නේ කාල්කන් ඔය,වේළිඔය වැනි ජළධාරාවන්ගෙන් ය. එම ජල මූලාශ්‍ර පෝෂණය කරන සොරගුණේ වනාන්තරය විනාශ කිරීම මගින් ගම්මාන තිස් පහක පමණ ජනතාවගේ ජීවිත ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් අස්ථාවර වනවාට නිසැකය. එමෙන්ම මෙම ප්‍රදේශ දිය බිඳක් නොමැති ප්‍රදේශ බවට පත්වීමට බෙරගල ගෝල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය හා මෙලෙස ඉදිවෙන මාර්ගය විශාල බලපෑමක් වනු ඇත . අනෙක් කාරණය නම් එක්සත් ජාතීන්ගේ පරිසර ආරක්ෂණ ඒජන්සිය Un Environment Protection Agency පවසන අන්දමට ජාත්‍යන්තර මට්ටමේ ගොල්ෆ් පිටියක් පවත්වාගෙන යාම උදෙසා දිනකට ජලය ලීටර් බිලියන 9.5 අවශ්‍ය වනු ඇත. එය එසේ නම් වේලිඔය ව්‍යාපෘතියට හානි නොකර ගොල්ෆ් ව්‍යාපෘති කිරීමට හැකියාවක් නොමැත. මේ වනවිට, ලෝකයේ බොහෝ රටවල් වලින් ගොල්ෆ් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම නතරකර ඇත්තේ එය පරිසර විනාශකාරී ක්‍රීඩාවක් ය යන කාරණය හේතු කොට ගෙන ය. මෙම ක්‍රීඩාව 1996 ඇට්ලන්ටා ඔලිම්පික් ක්‍රීඩා ලැයිස්තුවෙන්ද ඉවත්කරන ලද ක්‍රීඩාවකි. මෙය තවදුරටත් ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස නොගෙන සිටීමට Global Anti Golf Movement නමැති ජාත්‍යන්තර පරිසර සංවිධානය විසින් අදටත් ඔලිම්පික් කමිටුවට බලපෑම් කරමින් සිටියි.

භූමිය අවම බොරැල්ල කැළණි වැලි දුම්රිය මාර්ගයට නුදුරුව අක්කර 70 වැඩි භුමි ප‍්‍රමාණයක රාජකීය ගොල්ෆ් පිටිය පිහිටා ඇත. එම පිටියේ නඩත්තුව වෙනුවෙන් අධික ලෙස කෘතිම පොහොර භාවිතා කරනු ලබයි. එය සොරගුණේ ඉදිවීමට නියමිත ගොල්ෆ් පිටියටද අදාළ කාරණයකි. ඒනිසා ජලය සමග මිශ්‍ර වී පහළ නිම්නයට ගලායන රසායනික ද්‍රව්‍ය ජලය හා මිනිසුන් ලෙඩ නොකරන්නේද? ඇතැම් විට මෙලෙස පසට හෝ ජලයට එක්වන රසායන වියෝජනය වීමට වසර 20 පමණගතවිය හැකි වග ගොවිපල යුද්ධය නැමති කෘතිය අනාවරණය කර තිබේ.  ලෝකයේ කොතැනක හෝ ගොල්ෆ් පිටියක් ආරමිභ වන්නේ නම් එහි වෙ‍ළෙඳ ප්‍රචාරණය සඳහා භාවිතාකරන  ප්‍රචලිත ක්‍රමය වන්නේ ඒ සමග දියුණුවන යටිතල පහසුකම් හා අතුරු ව්‍යාපාර ගැන උදම් ඇනීමය. මෙහිදී Golf Tourism and Mass Tourism යනුවෙන් බර වචනද මේ සඳහා භාවිතා කරති.

බහුවිධ වේලි, පාරවල්, වරායන්, ගුවන්තොටුපල, හෝටල්, පාලම් හා සාප්පු සංකීර්ණ ගැන මොවුන් උදම් අනයි. දැනට වසර 15 කට 10 කට පමණ පෙර වික්ටෝරියා ගොල්ෆ් පිට්ටනිය සඳහා මහාබේරියතැන්න ගොවිපල නතු කර ගැනීමේදී ව්‍යාපෘති ආයෝජකයන් කියුවේ ද මෙම බයිලාවම විය. එහිදී ද පාරවල්, ගමටත් එක්ක ජල සැපයුම්, විදුලිය, රැකී රක්ෂා ගැන උදම් ඇනුවේය. සොරගුණේ ගොල්ෆ් පිටිය සම්බන්ධව පරිසර තක්සේරු වාර්තාව සකස් කර KEML(Environment Management Limited) ආයතනය වේලි ඔයේ ගොවි ජනතාවට අද දවසේ කියන්නේ ද මෙයමය. අද වසර 15 කට 18 කට පසු වික්ටෝරියා ගොල්ෆ් පිටියෙන් රටට ඇති කළ ආර්ථික ලාභය කුමක්ද?

එමනිසා සිදුවන හා සිදුවීමට නියමිත පරිසර විනාශය වළක්වා වේළිඔය ව්‍යාපෘතිය ආරක්‍ෂා කර දෙන ලෙස 2011/ 07/11 දින ප්‍රදේශවාසී භික්‍ෂූන් වහන්සේලා හා වේළිඔය ඒකාබද්ධ ගොවිසංවිධානය විසින් අති ගරු ජනාධිපති තුමන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර 2011/06/03 එස් සි1/05/15/30256 අංකය දරණ ලිපිය මගින් ජනාධිපති ජෙෂ්ඨ සහකාර ලේකම් මේධා බෙම්මුල්ල විසින් ඉදිරි කටයුතු සදහා වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කර ඇත.මෙලෙස යොමුකරන ලද ලිපිය මගින් වාරිමාර්ග දෙපාර්තෙමින්තුව වෙත ඉදිරි කටයුතු කර ගෙන යාම සදහා බලය පැවරෙන අතර ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අදහස වන්නේ බෙරගල ගොල්ෆ් රිසෝට් හෝටල් ව්‍යාපෘතිය හා සිදු කිරීමට නියමිත පරිසර හායනය මගින් වනාන්තර ඉඩම් විනාශ වී යාම ප්‍රදේශයේ ජල හිඟයකට හේතුවන බවයි .

සොරගුණේ වනාන්තර ප්‍රදේශය ඇතුළුව දැනට ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කරන ලෙස ඉල්ලීම් කර ඇති සමනළ වැව වනාන්තර ප්‍රදේශය තුළ වාර්තා වන සත්ව විශේෂ ගණන 309කි. අවේණික විශේෂ ගණන 59කි.

උභය ජීවීන් විශේෂ 23ක් ද, උරග විශේෂ 76 ක් ද, ක‍්ෂීරපායීන් විශේෂ 44 ක් ද, පක්ෂි විශේෂ 208 ක් ද, මත්ස්‍ය විශේෂ 39 ක් ද මෙහි දැනට වාර්තා වී ඇත. (Source- A Vertebrate Faunal Survey of Samanala Wewa, Towards Declaration as a Wildlife National Park, (2010) ,L. J. Mendis Wickramasinghe,Herpetological Foundation of Sri Lanka (HFS),.Natural Resource conservation and management program ,Green movement of Sri Lanka, Nugegoda)

මෙයට අමතරව මෙතෙක් වාර්තා නොවූ තවත් ආවේනික ජීවී විශේෂ ගණනාවක් මෙම ප්‍රදේශයෙන් හමුවිය හැකිය. ආවේණික ජෛව විවිධත්වයට ද ප්‍රබල හානියක් මෙම අනවසර මාර්ගය හා හෝටල් ව්‍යාපෘතිය මගින් සිදු වේ.

සොරගුණේ වනාන්තරය තුල ඉදිකරන මාර්ගය හා ඉදිවීමට නියමිත බෙරගල ගොල්ෆ්රිසෝට් හෝටල් ව්‍යාපෘතිය නීත්‍යානුකූල ලෙස තහනම් විය යුතු අදියරට පැමිණ ඇති නමුත් මේ වන විටත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සිදු වෙමින් පවතී. බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තෙමින්තුව, ජනාධිපති කාර්යාලය, වාරිමාර්ග දෙපාර්තෙමින්තුව, ඌව ප්‍රධාන අමාත්‍ය කාර්යාලය, ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය ඇතුළු වගකිව යුතු ආයතන 26 ක් වෙත මෙම හෝටල් ව්‍යාපෘතියෙන් ඉදිකිරීම් නිසා වන හානිය පිළබඳ දැනුවත් කරමින් සිදුවීමට යන දැවැන්ත පාරිසරික විනාශය වලක්වා ලන ලෙස ඉල්ලීමි කළ ද; සිදුවීමට යන පරිසර හානිය වලක්වාලීම සදහා මේ වනතෙක් කිසිදු වගකිවයුතු ආයතනයක් කටයුතු කරනොමැති බව හැඟෙන්නේ වනාන්තරය හරහා හෝටල් ව්‍යාපෘතිය සදහා හොර රහසේ මහා මාර්ග ඉදිකිරීම් වැනි අනවසර කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතින නිසාය.

මේ වනවිට සොරගුණේ ගොල්ෆ් ව්‍යාපෘතිය ඉදිකිරීමට බලාපොරොත්තු වන වාසු රාසයියා ඇතුළු ඔහුගේ ලංකාවේ ගෝලබාලයන් මෙම ව්‍යාපෘතිය සඳහා ගොවි ජනතාව කැමති බව පෙන්වීම උදෙසා ගම්වැසියන්ට මුදල් ලබාදී බලහත්කාරයෙන් ඔවුන්ගේ අත්සන් ලබාගනිමින් සිටී. එමෙන්ම මෙම ව්‍යාපෘතියට විරෝධය දක්වන්නන් මුදල් දී නිහඬ කිරීමට උත්සාහයක නිරතවෙමින් ද සිටී.කෙසේ වෙතත් EML ආයතනය පරිසර තක්සේරු වාර්තා සෑදීමට අමතරව රහස් ඔත්තු සේවාවක් සපයන බව අප දන්නේ 2011.11.28 වන දින වේළි ඔය ඒකාබද්ධ ගොවි සංවිධානයේ රැස්වීමටපැමිණි EML ආයතනයේ පරිසර විද්‍යාඥ ධමිමිකා මෙනවිය හා සමාජ විද්‍යාඥ රංජිත් මුදලිගේ මහතා හා එම ආයතනයේ රාජකාරි රථයේ පැමිණි අනෙකුත් අය විසින් අපගේ සාකච්ඡාව පටිගතකර දැනට සොරගුණේ හෝටල් ව්‍යාපෘතිය කිරීමට බොහෝ වෙහෙස ගන්නා උදය කුමාර නැමැත්තාට ලබාදීමෙන්ය. උදය කුමාර නැමැත්තා මා වෙත දුරකථන ඇමතුමක් ලබා දී ඒ බව තහවුරු කළේය.

දහස් ගණනක් ගොවි ජනතාවගේ ජීවිත මහපාරට ඇද දමමින් ඇමරිකානුවන්ට ගොල්ෆ් ගැසීමට පිට්ටනි සකස් කිරීම හා වනාන්තරය දෙකඩ කරමින් මාර්ග තනා මේ බිම වනසා දැමීම කෙතරම් අසාධාරණ ද යන්න වග වටහා ගත හැක්කේ බත් කන මිනිසුන්ට පමණකි. ඩොලර් කුට්ටිවලට යටවෙමින් වේලිඔය ගොවි ව්‍යාපාරයේ ගොවිජනතාවගේ ජීවිත උගසට තැබීම නවතා දැමිය යුතු කාලය පැමිණ ඇති අතර දැනට යෝජනා කරන මෙන් ඉල්ලා ඇති සමනළ වැව ජාතික වනෝද්‍යානය තුළ මෙම වනාන්තර කොටස ආරක්ෂාව සඳහා පියවර ගත යුතුය. සුළු ආර්ථික වාසි තකා තම වරිගයේ උන් ඇමරිකානුවන් ඉදිරිපිට දණ ගැස්ස වීමේ ප්‍රතිපත්තියෙන් බැහැර වී සොරගුණේ වනාන්තරය, ඉඩම් ආරක්ෂා කර පරිසරය සුරක්ෂිත කිරීමත් දහස් ගණනක් වූ ගොවි පරපුරේ උරුමය සුරැකීමත් දේශයට සෙනෙහස දක්වන අප සැමගේ යුතුකම නොවන්නේද?

*රවීන්ද්‍ර කාරියවසම් – පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.