20 April, 2024

Blog

ගලේ පැහැරූ බළලුන් මෙන් එජාපයේ ඇතමුන් තවමත් හැසිරෙන්නේ ඇයි?

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

මහාචාර්ය අති පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක මාහිමි අපවත්වීම ජාතියටම මුහුණ දීමට සිදු වූ මහා අභාග්‍යයකි. මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ වියෝගයෙන් පසුව, සාධාරණ සමාජ ක‍්‍රමයක අපේක්ෂාව තුළ සිරවී සිටි බොහෝ දෙනෙකුගේ අවධානය මුන්වහන්සේ වෙත යොමු වී තිබුණි. එය පොදු පැතුමක් ලෙසින් වර්ධනය වෙමින් පවතින අතරතුරදී අනපේක්ෂිත ලෙසින් උන්වහන්සේ අප අතරින් වෙන් විය. තිරයෙන් පිටුපස සිදුවීම් වලදී හොඳ මිනිසුන් එක් කිරීමට උන්වහන්සේ තුළ පැවැති කැමැත්ත හා උනන්දුව ප‍්‍රබල ලෙසින්ම ප‍්‍රදර්ශනය විය. ඒ සඳහා නායකත්වයක් දීමට උන්වහන්සේ එකඟතාවයකින් පසු විය. විවිධ තරාතිරම් වලට පත් වූ පොදු අපේක්ෂා බිඳ වැටෙන අයුරින් කටයුතු කරමින් සිටින කොටස් පිළිබඳව උන්වහන්සේ ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටි බවද පැහැදිලි විය. ඔවුන් පිළිබඳව සෘජුව හා නොපැකිල අදහස් පළ කිරීමට උන්වහන්සේ පසුබට නොවීය. සිංහල ජාතිය, බෞද්ධයා මෙන්ම සියලූ ජාතීන් හා ආගම් පිළිබඳව ද උන්වහන්සේ සමාන ගෞරවයකින් හා සැලකිල්ලකින් කටයුතු කළ අතර, ආක‍්‍රමණික ලෙසින් ක‍්‍රියාත්මක වන විවිධ බලවේග කෙරෙහිද උන්වහන්සේගේ අවධානය යොමු වී පැවතුන බවද පෙනී ගියේ ය. ඒවා ගැන කථා කිරීමටද නොබියව ඉදිරිපත් විය. අද උන්වහන්සේ අප අතර නැත. රටේ සමාජ ප‍්‍රගමනයේදී අත්‍යාවශයෙන්ම තිබිය යුතු සඟරුවනගේ නායකත්වය තුළ රික්තයක් හට ගැනීම එම අහිමි වීම අපට අත්කර දුන් ඉරණම වී ඇත.

බෙල්ලන්විල හිමිපාණන්ගේ මතවාදයට එරෙහිව එයට බියවැදී සිටියේ කවුද යන්න උන්වන්සේ පැහැදිලිව අවබෝධ කරගෙන සිටි බව හොඳින්ම පෙනී ගිය කාරණයකි. එබඳු ප‍්‍රති විරෝධතාවන් තමන් වෙතට එල්ල වූ අභියෝග ලෙසින් පැවති බවද උන්වහන්සේ හොඳින් තේරුම් ගෙන සිටි බවද ලඟින් ඇසුරු කළ පිරිස්වලට රහසක් නොවීය. කෙසේ වුවද අද සමාජ බලවේග වලට උන්වහන්සේගේ නායකත්වය ලබාගත නොහැකිය.

2015 ජනවාරි 08 වෙනස තුළින් ජනතාව උදාකර ගත් ජය රැුක ගැනීම සඳහා වංචා හා දූෂණ වලින් තොර බවට සත්‍ය ලෙසින් හඳුනාගත් කොටස් සමඟ ශක්තිමත් එකඟතාවයන් ඇති කර ගනිමින්ද, දූෂිතයන්ට රැුකවරණය සලසන කොටස් හලා දමමින්ද, ඉදිරියට ම යාමට සහයෝගය දැක්වීම උන්වහන්සේට පිදිය හැකි උපරිම ගෞරවය වන්නේය.

උන්වහන්සේගේ ආදාහන කටයුතු සම්බන්ධයෙන් රජය වෙනුවෙන් ඉදිරිපත් වූ ජනාධිපතිවරයායටත් කථානායක කරූ ජයසූරිය මහතාටත් ජනතා ගෞරවය පිරිනමමු.

යූ.ඇන්.පී.යට බැඳුම්කරයෙන් ගැලවීමක් නැත

විනිසුරු මඬුල්ලකින්ද සමන්විත කොමිෂන් සභා විමර්ශනයකින් හෙළිදරව් වී ඇති කරුණු කාරණා රැුසකි. එම තොරතුරු හෙළි වීමට පෙර මෙන්ම එයින් පසුවද වංචාව හා වංචනිකයන් සම්බන්ධයෙන් එ.ජා. පක්ෂය ප‍්‍රදර්ශනය කරන පිළිවෙත ජනතාවට පැහැදිලිය. තවමත් හොරකම වසා දැමීමට හා එයට අදාල සාපරාධී ක‍්‍රියාමාර්ගයේ බැරෑරුම්කම​ අවම කිරීමට යූ.ඇන්.පී. නායකයින් දරණ කූට ප‍්‍රයත්නය ඉතා පැහැදිලිය.

වංචනික ලෙස උපයාගත් මහා මුදල් සම්භාරය නිවැරදි ලෙස නිශ්චිතවම ගණනය කිරීමටත් කලින් සාමාන්‍ය තක්සේරු පදනමින් නිගමනය කර තිබෙන අලාභය (වංචනික උපයා ගැනීම්) ආපසු අයකර ගැනීම මගින් සිද්ධියේ සාපරාධී පසුබිම සිවිල් අපරාධයක් බවට පරිවර්තනය කරමින් වංචනිකයන් නිදොස් කර ගැනීම යූ.ඇන්.පී. නායකයින්ගේ නවතම ප‍්‍රයත්නය වී ඇත. කොමිෂන් සභාව සිය වාර්තාවේ ඉතා පැහැදිලිව පෙන්වා දී ඇති මෙම වංචනික ගණුදෙනුව මගින් ගණන් බැලිය නොහැකි තරමේ අලාභයක් රටටත්, ජාතියටත් සිදුකර තිබීම පිළිබඳවත් වොහාරික පරීක්ෂණයක් මඟින් එය වැඩි දුරටත් සොයා බැලිය යුතු බවටත් ඉදිරිපත් කර ඇති යෝජනා නොතකා හරිමින් තක්සේරු අවම ප‍්‍රමාණයට මුළු අලාභය ලඝු කිරීමට ඔවුන් දරණ වෑයම හෙලාදැකිය යුතුය. යහපාලන සම්මුතියටත්, ඒ පිළිබඳව දැඩි විශ්වාසයක් තබාගෙන සිටි ජනාධිපතිවරයාටත් මෙම ක‍්‍රියාමාර්ගය බරපතල අපහසුතාවයක් ඇතිකර ඇත. යූ.ඇන්.පී. නායකයින් වැටී ඇති මඩ ගොහොරුවේ කොටස්කරුවන් වීම වළක්වා ගත හැකි එකම ක‍්‍රමය වන්නේ තරාතිරම නොබලා දූෂිතයන් හෙළිදරව් කරමින් ඔවුනට එරෙහිව නිසි පියවර ගැනීම පමණකි. ජනාධිපතිවරයා රටට කරමින් යන ප‍්‍රසිද්ධ ප‍්‍රකාශවලින් පැහැදිලි වන්නේ නිශ්චිත ලෙසම වැරදි කළවුන්ට අනුබල දුන් අයට සහ ඔවුන් ආරක්ෂා කිරීමට උප්පැරවැට්ටි යොදන අයට එරෙහිව ක‍්‍රියාමාර්ග ගැනීම සිදුවන බවයි. මෙහිදී නීති ක‍්‍රියාමාර්ග වලට යොමු වීම සමගම දේශපාලන සදාචාරය යටතේද පියවර ගැනීම කළ යුතුය. අසම්මත හා සාධාරණීකරණය කළ නොහැකි තීන්දු තීරණ හා බලපෑම් කළ සියලු දෙනාට රටේ වගකිවයුතු තානාන්තර දැරීමට ඉඩ නොදිය යුතුය.

රවී කරුණානායක මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ ආකාරය මේ සඳහා හොඳම උදාහරණය ලෙස ගත හැකිය. සම්මුතිය එසේම තිබියදී, පැරණි දූෂිතයන්ට අනවශ්‍ය ජැක් ගැසීම් වලට ඉඩ නොදෙමින්, එය සම්මුතිවාදීවම සිදු විය. ඔහුට ඉල්ලා අස්වීමට සැලැස්වීම ඒ අවස්ථාවේදී ගත හැකි හොඳම විසඳුම් මාර්ගය විය. එම ඉල්ලා අස්වීම සහ දැනට රවී කරුණානායක පසුපස දියත් වෙමින් පවතින නීති ක‍්‍රියාමාර්ග වලින් ඔහු බලවත් ලෙසින් කැළඹී ඇති බව පෙනී ගියද ඒවාට​ ඔහු මුහුණ දිය යුතුමය. ඔහුගේ පක්ෂය එබඳු තත්ත්වයක් යටතේ ඔහු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න ජනතාවට පැහැදිලි වනු ඇත. එය දේශපාලන පක්ෂයක ප‍්‍රශ්නයක් විනා ජාතික ප‍්‍රශ්නයක් නොවන්නේ ය. වංචනික හා ප‍්‍රශ්නගත ලෙසින්ද සාරධර්ම උල්ලංඝනය වන අයුරින්ද සිදුකර ඇති දේ සම්බන්ධයෙන් වෙනත් අය වගකිව යුතු නැත.

එ.ජා.පයේ දැනට සිටින සිය වගකීම් පැහැර හැරී අය දූෂිත කටයුතුවලට දායක වූවන් හා තමන්ගේ බලතල අත්තනෝමතික ලෙසින් යොදවා ගැනීම හේතුවෙන් ඔප්පුකර තිබෙන දූෂිත ක‍්‍රියාවලට වගකිවයුතු සියලූ දෙනා තරාතිරම නොබලා ඉවත් කළ යුතුව ඇත. රවී කරුණානායක සූත‍්‍රයම ඒ සඳහා අනුගමනය කිරීම සුසුදුය. ප‍්‍රබල පක්ෂයක කීප දෙනෙක් ඉවත් කිරීම යහපාලන ඉදිරි ගමනට කිසිම බාධාවක් නොවන බවත් ශල්‍ය කර්මයකින් අබාධිත කොටස් කපා ඉවත් කිරීම හොඳ සෞඛ්‍යයකින් තවදුරටත් ජීවත් වීමට මඟ පාදා ගැනීමක් වන බවද සඳහන් කළ යුතු වේ.

ජනාධිපති කොමිෂන් සභාවේ විෂය ක්ෂේත‍්‍රයට සීමා වී පරීක්ෂන කටයුතු කිරීමට සිදුවීම නිසා ඇතැම් අදාල තොරතුරු හා විෂය ක‍්‍රියා යටපත් වී ගිය නමුත් ඉදිරි අධිකරණ ක‍්‍රියාවලදී ඒ සියලුම කරුණු සමාලෝචනකයට භාජනය විය හැකි පරිද්දෙන් සාක්ෂි මෙහෙයවීම හා හරස් ප‍්‍රශ්නවලට යටත් කළ යුතු වන්නේය. එවිට දැනට එබඳු ක‍්‍රියා පිළිවෙතක් අනුගමනය නොකිරීම නිසා හෙලිදරව් නොවී පවතින ඇතැම් වගකිවයුත්තන්ගේ ක‍්‍රියා කලාපයන් ජනතාවට දැකගත හැකි වනු ඇත.

වංචනිකව කටයුතු කළ පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගම උපයා ගත් අනිසි ලාභය බිලියන 12 ක් පමණක් බව පෙන්වා දී ඇති නමුත්, සත්‍ය වශයෙන්ම සේවක අර්ථසාධක අරමුදල රක්ෂණ සංස්ථාව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ඔවුන් විසින් අලවි කර තිබෙන බැඳුම්කර මගින් පමණක් රු. බිලියන 31ක් ඉක්මවන අයුතු ලාභ උපයා ගැනීමක් සිදුකර තිබෙන බව එම සමාගමේ දැනට අත්අඩංගුවේ පසුවන ප‍්‍රධාන විධායක නිලධාරියාගේ ප‍්‍රකාශයක් අනුවම ඔප්පු වී තිබේ.

එසේ නම් බිලියන 12 ක ලාභයක් පමණක් උපයාගත් බවට ඔවුන්ගේ පොත්පත් සකස් වූයේ කෙසේද යන්න වැඩිදුර පරීක්ෂණයකට හා විමර්ශනයකට භාජනය විය යුතු කාරණයකි. පොත්පත්වල සඳහන් නොවන එම අයුතු ලාභය බෙදී ගියේ කා අතරද, එමගින් දේශපාලන ප‍්‍රතිලාභ ලබාගත් දේශපාලන පක්ෂ මොනවාද යන කරුණු හෙළිදරව් කරගත හැකිවනු ඇත. පසුගිය දිනවල අසන්නට ලැබුණු චැම්පේන් කාණු දිගේ ගලා බසිනා විවාහ මංගල උත්සව, හදිසි පොත් හා ප‍්‍රකාශන මුද්‍රණය හා බෙදා හැරීම්, ලොකු ලොක්කන්ගේ විදේශ සංචාර, බැංකු කොටස් මිලදී ගැනීම්, දැවැන්ත මුදල් සම්භාරයන් නීතිඥ ගාස්තු හැටියට ලබා දීම් සහ පාද සටහන් සඳහා කරතිබෙන අයුතු බලපෑම් හා සලසා දී ඇති බවට සැක පහළවන දිරි ගැන්විම් යනාදිය පිළිබඳව හෙළිදරව් කර ගත හැකි වනු ඇත. මෙය නිසැකයෙන්ම සිදුවිය යුතුය.

මක්නිසාද උපයා ගත් මුළු ලාභය රුපියල් බිලියන 12 ක් පමණක් වේ නම් එම මුදල අගමැතිවරයා පවසන අන්දමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් තවමත් රඳවාගෙන සිටී නම්, අරක්කු ස්කාගාර, ජාතික සංවර්ධන බැංකු කොටස්, නව පුවත්පත් ව්‍යාපාර, ඇමතිවරුන්ගේ සුඛෝපභෝගී මහල් නිවාස කුලී ගෙවීම් හා දේශපාලන ව්‍යාපාර සඳහා විශාල මුදල් යෙදවීම් සිදුවී ඇත්තේ කෙසේද යන්න පුදුම සහගතය. එසේ වුවද 12 ට අමතරව තවත් බිලියන 20 ක් පමණ උපයාගෙන තිබීම දැන් ඔප්පු වී තිබීම නිසා එම සැකය තවදුරටත් පැවතිය යුතු නැත. වැඬේ සිදුවී ඇති ආකාරය පැහැදිලිය.

ගලේ පැහැරූ බළලුන් මෙන් එ.ජා.ප යේ ඇතමුන් තවමත් හැසිරෙන්නේ ඒ නිසාද?

අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමන්ට ජනතාව ලබා දුන් පැහැදැලි වරම යටතේ දූෂිතයන් තෝරා බේරාගෙන එ.ජා.ප. යේ සහ අනෙකුත් දේශපාලන පක්ෂවල කොටස් සමග පිරිසිදු නිර්මල පාලනයක් තවදුරටත් ඉදිරියටම ගෙනයාම සඳහා අවශ්‍ය පියවර නොබියව හා අප‍්‍රමාදව ගැනීමට කාලය එළඹී ඇති බව රට ජාතිය වෙනුවෙන් පෙන්වා දෙමු.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    What is mentioned in your writ up is just a part of what we all have been telling all this time. But why you have failed to talk/ mention any thing about other frauds and corruption committed by highly corrupt previous regime. Those who were bitten by luxurious cobras living in A/C rooms, just a communication owner becoming owner of three story mansion and more, “magay wuvath magay nowena maliga” owners, multi millioner turned sales repes and so on. You all are trying to drag the country back to unacceptably corrupt regime again. When you make this type of pretend to be expert comments do not single out some and criticize some for petty personal gains. Enough is enough. Punish those involved in the bond issue get on with other more important issues and help honest capable UNPers to lead the government to develop this country.

  • 0
    0

    Bond issue is unacceptable behaviour from a UNP led government. That is something we all agree. But the positive outcome of this event is that people gained power to put enough pressure for the government to correct its action and to punish the wrongdoer. You can be sure that there will not be any adverse consequences for voicing these things. These are the necessary checks and balances of a society to ensure that no one is above the law. This is a complete turnaround from the previous regime. Wish you had the opportunity talk about all the wrong things previous regime did as well. Continue to highlight the wrong things at the same tone irrespective of the party or the person. That could generate more respect to you and credibility to your articles. Keep up the good work.

  • 0
    0

    Dear Sydney
    Thank you
    That is exactly what I am doing
    Perhaps you did not see what I wrote about the presidential commission report on serious corruption and abuse of power
    I prepared a summary of the entire report and released it to the press

  • 0
    0

    See both RAVI THE LIAR and Ranil were accusing Arjun Mahendran. but, he is not arrested yet. Victor Rathnayakae’s wife is rrested for some JEwellaery theft. Just imaginge, how that is possible under CCTV camaras (which I think they had) to steal steal Rs 138 million qorth Jewellery. Yet, RAVI is not arrested yet. I heard Arjun Mahendran is also saying THEY (UNes in sinhala) can not arrerste me because they told me. I strongly believe that Maithripala also has some in diffeent accounts and even underneath the bed. I heard there is a teacher who was sent to jail for 8 years because she got a bribe of Rs 25,000.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.