27 April, 2024

Blog

මොකද වුණේ?

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

මූලික වශයෙන් පසුගියදා අවසන් වූයේ පළාත් පාලන මැතිවරණයයි. මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ඓතිහාසික හා තීරණාත්මක මැතිවරණයකි. මන්දයත් මේ මැතිවරණයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනය උඩුයටිකුරු කළ සිදුවීම් කිහිපයක්ම සිදුවිය. ඉන් එකක් නම් නව මැතිවරණ ක්‍රමයයි. දෙවන කාරණය වන්නේ යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු තබන ලද ප්‍රථම මැතිවරණයයි. තුන්වන කාරණය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෝදාපාලු කොට බිහි වූ නව පක්ෂයක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිංහල ප්‍රදේශවල තීරණාත්මක ජයක් ලැබූ මැතිවරණයක් වීමයි. ඉහත සදහන් කාරණා කිහිපයත්, තවත් හේතු ගණනාවක් නිසාත් මෙම පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ දේශපාලනයට තීරණාත්මක බලපෑමක් එල්ල කළ මැතිවරණයකි. නමුත් මෙම ලිපියෙන් මා කීමට අදහස් කරන්නේ එක්සත් ජාතික පක්ෂයට සිදු වූයේ කුමක්ද යන්න පැහැදිලි කිරීමකි.

මෙම මැතිවරණය පවත්වද්දී වර්තමාන රජය බලයට පත්වී වසර 3 ක් ගෙවී තිබිණි. ආණ්ඩුව විශාල වැඩකොටසක් සැලසුම් කරමින් ක්‍රියාත්මක කර තිබුණද එම වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමේදී ඇතිවෙමින් තිබූ ප්‍රතිවිරෝධතා හෝ ජනමතය පිළිබද විමසා බැලීමට අවස්ථාවක් නොලැබුණි. විශේෂයෙන් පසුගිය ආණ්ඩුවේ දූෂිත බලවේග සියල්ලම පාහේ රජයේ සියලුම ස්ථරවල ක්‍රියාත්මකව තිබියදී ඔවුන් සමග එකගව කටයතු කිරීමේදී විශාල ප්‍රතිවිරෝධතා සමාජය තුළින් පැන නැගුණද පිළිබදව විමසා බැලීමට ආණ්ඩුවට විධිමත් අවස්ථාවක් නොලැබුණේ මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසාත්, දිගින් දිගටම මැතිවරණ කල් දැමීමත් නිසාවෙනි. මෙම මැතිවරණ කල්දැමීමේ සිදුවීම මගින් ආණ්ඩුවේ වැඩකටයුතු හා රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාවලිය පිළිබදව ජනමතය විමසා බැලීමට අවස්ථාවක් ආණ්ඩුවට නොලැබුණි. එබැවින් ආණ්ඩුවේ කටයුතු ජනතා අභිලාෂයන් අභිබවා සිදුවෙමින් පැවතුණද පිළිබදව නිශ්චිත සමාලෝචනයක් හෝ තක්සේරුවකට පැමිණීමට අවස්ථාවක් නොලැබීම මෙම මැතිවරණයෙන් පසුබෑමට විශාල හේතුවක් ලෙස මට පෙනේ. එය ආණ්ඩුවේ කටයුතු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු සම්බන්ධයෙන්ද අදාළය.

නමුත් මෙම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ පසුබෑමට ප්‍රධාන වශයෙන් හේතු ගණනාවක් බලපෑවද විශාලතම හානිය සිදුකළ ලැබුවේ එක්සත් ජාතික පක්ෂයට හා එහි නායකත්වයට එරෙහිව ක්‍රියාත්මක වූ විශාල ප්‍රචාරණ කුමන්ත්‍රණයයි. එය කුමන්ත්‍රණයක් යැයි මා කියන්නේ 2015 ජනවාරි 08 වෙනිදා පරාජය කරන ලද බලවේග සියල්ල ජනාධිපතිවරයාද යොදාගනිමින් මෙම කුමන්ත්‍රණයට සහභාගී වීමයි. එහි පැතිකඩයන් කිහිපයක් තිබුණි. එම කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ විශාල තනතුරු සංඛ්‍යාවකට මහින්ද රාජපක්ෂ සමග ක්‍රියාත්මක වූ එක්සත් ජාතික පක්ෂය හා එහි නායකයා කෙරෙහි දැඩි විරෝධයක් දැක්වූ නිලධාරීන්ගෙන් පුරවා දැමුණි. මාගේ පෞද්ගලික තක්සේරුව නම් ජනාධිපතිවරයාට එහි දිග පළල හා ගැඹුර පිළිබදව අවබෝධයක් නොතිබූ බවයි. එම කුමන්ත්‍රණකරුවන් විසින් එක්සත් ජාතික පක්ෂයටත් එහි නායකයාටත් අවලාද, මඩ හා චෝදනා මෙන්ම විරෝධතා සංවිධානය කිරීමේ වැඩසටහනක් කරළියට ආවේය. මෙම වැඩසටහන මගින් ගොඩනගන ලද බැදුම්කර චෝදනාව, රට විකුණන චෝදනාව, පාක්ෂිකයින්ට නොසැලකීමේ චෝදනවා ඇතුලු චෝදනා ගණනාවක් සමාජගත කළ අතර සදහා එක්සත් ජාතික පක්ෂ නායකයා හා වෛරයෙන් සිටින රූපවාහිනි නාළිකාවක් විශාල මැදිහත් වීමක් සිදුකළේය. එම ව්‍යාපෘතිය මගින් ජනාධිපතිවරයා හා එක්සත් ජාතික පක්ෂය අතර තිබූ බැදීම තීරණාත්මක ලෙස බෙදා වෙන් කළේය. එමෙන්ම ජනාධිපතිතුමා හා එක්සත් ජාතික පක්ෂය අතර තිබූ අන්‍යෝන්‍ය විශ්වාසය හා බැදීම විනාශ කර දැම්මේය. එසේම එම මාධ්‍ය ආයතනයේ කුඩා මාධ්‍යවේදීන්ගේ සිරසක් නැති හැසිරීම ජනාධිපතිවරයාට විශාල හානියක් සිදුකරන ලද අතර එක්සත් ජාතික පක්ෂයටද, එක්සත් ජාතික පක්ෂයේ නායකයාටද තීරණාත්මක හානියක් කළේය. මාගේ පෞද්ගලික තක්සේරුව නම් ඔවුන් සිදුකරමින් තිබූ පාඩු පිළිබදව එම ආයතනයේ සේවය කරන්නන්ටද එහි දිග පළල හා ගැඹුර පිළිබද අවබෝධයක් නොතිබූ බවයි. මෙම ක්‍රියාවලිය මගින් ජනවාරි 08 වෙනිදා ජනවරම එහෙම් පිටින්ම ආපසු හැරවූ අතර ජනාධිපතිවරයාට එම ජනවරම සම්බන්ධයෙන් වූ අයිතිය නැත්තටම නැති කර දැමීය.

රාජපක්ෂවරුන්ගේ නැවත නැගීසිටීමේදී තදින් උදව් කළ හා කුමන්ත්‍රණය කළ අනිත් ප්‍රබල කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයා සමග සිටින මැති ඇමතිවරුන්ගෙන් කණ්ඩායමකි. ඉන් සමහරක් දෙනා අවබෝධයෙන්ද, සමහරක් දෙනා අනවබෝධයෙන්ද කටයුතු කරමින් රාජපක්ෂවරුන්ට වාසි සැලසෙන අකාරයෙන් කටයුතු කළේය. එහි පරාසය අල්ලස් කොමිසමෙන් දිල්රුක්ෂි ඩයස් ඉවත් කිරීමේ සිට FCID ආයතනය වසා දැමීම දක්වාත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ගේ මළගෙවල් වලදී එක්සත් ජාතික පක්ෂයට බැනීමේ සිට ජනාධිපතිවරයා කැබිනට්ටුවෙන් නැගිට යාම දක්වා වේ. මෙම කටයුතු වලින් ජනාධිපතිවරයාටත්, එක්සත් ජාතික පක්ෂයටත්, අගමැතිවරයාටත් විශාල හානියක් සිදු වූ අතර මෙම සිදුවීම් දැන හෝ නොදැන රාජපක්ෂවරුන්ට වාසි වන ආකාරයට ජනමාධ්‍ය ඉදිරිපත් කළේය.

මෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ගේ විචක්ෂණශීලී නොවන හෝ දෙපිටිකාට්ටු ක්‍රියාකලාපය නිසා ඔවුන්ගේ වල ඔවුන්ම කපා ගත්තේය. නමුත් මෙම තත්ත්වයේදී එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීත්වය සම්මානයක් දියයුතු තරම් හොද ඉවසිලිවන්ත ක්‍රියාකාරීත්වයක් බව මාගේ හැගීමයි. මෙහි සදහන් කළ කාරණා වලට අමතරව එක්සත් ජාතික පක්ෂයටම ආවේණික ගතිලක්ෂණ ගණනාවක්ම රාජපක්ෂවරුන්ගේ නැගී සිටීමට බලපෑ නමුත් ඒවා සියල්ලත්, ඉහතින් සදහන් කළ කාරණාත් ඉතාම පහසුවෙන් නිවැරදිකර ගත හැකි ඒවා වන අතර ඒවා නිවැරදි කොටගෙන ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ එකග ක්‍රියාකාරීත්වය තුළින් යහපාලන ආණ්ඩුවට නැවත ශක්තිමත්ව නැගී සිටිය හැකි බව මාගේ විශ්වාසයයි. කෙසේ වුවත් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අවබෝධයෙන් හා එකගත්වයෙන් සිටින තුරු මෙම ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් සහිත ශක්තිමත් ආණ්ඩුවකි. යථාර්තවාදී සත්‍ය එයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වූවද එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් ගොඩනැගිය හැකි අතර මෙම මැතිවරණයේ ප්‍රතිඵල මත වුවද එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට දෙතැයි විශ්වාස කරනු ලබන ජනාධිපතිවරණයක් පහසුවෙන් ජයග්‍රහණය කළ හැකිය.

දැන් පොහොට්ටුව පිපී මලක් බවට පත් වී තිබේ. මීළගට තිබෙන්නේ මල පරවන යුගයයි.

*ලේඛකයා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    saralai bn hora alanawa kiyala awata horu elluwada?boruwak vitharai,badu gahala jiwana bara wedikara,maha benkuwa kolla kala janathawage wiswase nethi kara,ubala kade giya athi bn heheee :P

  • 4
    0

    තුෂාර හෙට්ටිආරච්චි මහත්මයා ඔබ මීට පෙර ලියූ ලිපියේ යූ එන්පී එක මේ ඡන්දයෙන් දිනන සභා ගණනත් ලියා තිබුණා. දැන් මේ තරමට පැරදිලාත් ඔබ ලැජ්ජා නැතිව මේ ආණ්ඩුව ඉදිරියට ගෙන යන හැටි කතා කරනවා. ඔබ දන්නා එකම දේ ඉතාම නින්දිත විදියට යූඇන්පී එකට කහින එක විතරයි. සම්බන්ධිකරණ ලේකම් කියන ඔබගේ තනතුරෙන්ම තේරෙනවා ඔබ ඔබට රස්සාව දුන් අය වෙනුවෙන් කහින එකත්, ඔවුන්ගේ කුණු හෝදන එකත් ඇර වෙන කිසිම දේශපාලනයක් නොතේරෙන අනුවණ අයෙකු බව. හැම පක්ෂයේම ඔබ වැනි අය සිටිනවා. රාජපක්ෂලා වික්‍රමසිංහලා වැනි දේශපාලන වංචනිකයන් අපරාධකරුවන් ගොඩ නැඟී වර්ධනය වීමට ඔබ වැනි අය විශාල දායකත්වයක් සපයනවා. . අපේ රට මෙහෙම විනාශ වීමට ඔබ වැනි දේශපාලන හෙංචයියන් ද සෑහෙන දුරට වගකිව යුතුයි. ඔබට යම්තම් හෝ ආත්ම ගවුරවයක් තියෙනවා නම් වෙන ශිෂ්ට සම්පන්න රැකියාවක් හොයා ගෙන මහන්සි වී යමක් කරලා ජීවනෝපාය හදා ගන්න

  • 3
    0

    Wow what a long winded analysis!! BUT ….

    අවසාන වශයෙන් කිවහැක්කේ රාජපක්ෂවරුන්ට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ස්ථිර වශයෙන්ම ජයගතහැකි හෝ ප්‍රබල සටනක් දියහැකි එකම දිස්ත්‍රික්කය ඡන්ද ලක්ෂ තුනක් පමණ පවතින ශ්‍රී ලංකාවේ දුෂ්කරම හා කුඩාම දිස්ත්‍රික්කය වන මොනරාගල පමණි. මොනරාගල හැරුණුකොට අනෙකුත් සියලුම දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂය ජයගනු ඇතිබව මාගේ තක්සේරුවයි.

    https://www.facebook.com/thushara.deshpriya/posts/1726418507419821

    This is YOU, just six days ago. You are not a political analyst, or if you are, then a VERY INCOMPETENT one.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.