23 April, 2024

Blog

බැඳුම්කර කොමිසන් සභා වාර්තාවට පසු වදනක්

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

ලාංකීය​ මූල්‍ය ක්ෂේත්‍ර​යේ සිදු වූ විශාලතම වංචාව වශයෙන් සැලකෙන මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිසම සිය වාර්තාව පසුගිය දින ජනාධිපතිවරයාට භාර දී ඇත. එම වාර්තාව ඒ ආකාරයෙන් තවමත් ප්‍ර​සිද්ධියට පත්කර නැති වුවද, වාර්තාවේ අඩංගු වැදගත් නිර්දේශ පිළිබඳව ජනාධිපතිවරයා විශේෂ ප්‍ර​කාශයක් ජනවාරි මස 03 වන දින කරන ලදි.

පළමුව මෙම වංචාව යට ගැසීම සඳහා ගෙන ගිය දැවැන්ත බලපෑමට යටත් වීමට ඉඩ නොදී නිත්‍යානුකූලව පත්කරන ලද කොමිසන් සභාවක් මගින් විමර්ශනයක් කිරීමට සලස්වමින් වාර්තාවක්ද නිකුත් කරවා ගැනීම ගැන රටේ ජනතාවගේ කෘතඥතාවය ජනාධිපතිවරයාට පල කරමු.

2015 පෙබරවාරි 27 වන දින අසම්මත මැදිහත්වීම් යටතේ මුලින් ඉල්ලුම් කරන ලද රුපියල් මිලියන 1000 ක් වෙනුවට රුපියල් මිලියන 10000 ක් වටිනා බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් රට තුළත් ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළත් ඇති වූ ආන්දෝලනය හමුවේ අගමැතිවරයා 2015 මාර්තු 17 වන දින පාර්ලිමේන්තුවට ප‍්‍රකාශයක් කරමින් තමා පෙබරවාරි 27 වෙනිදාම මෙම කාරණය ගැන සොයා බැලීමට කොමිටියක් පත්කළ බව කියා සිටියේය. එම කොමිටිය එ.ජා.ප. නීතිඥයින් 3 දෙනෙකුගෙන් සමන්විත වූ අතර එහි සාමාජිකයන්ට සොයා බැලීම සඳහා නිර්දේශ කර තිබුණේ සිදු වූ බවට චෝදනා එල්ල වී පැවති වංචාව පිළිබඳව නොව පසුගිය කාලයේදී බැඳුම්කර නිකුත් කිරීමේදී සිදු වූ අක‍්‍රමිකතාවන් ගැනය. ත්‍රි පුද්ගල කමිටු වාර්තාව නිකුත් වූ නමුත් එම වාර්තාවෙන් නිර්දේශ කළ වැඩිදුර පරීක්ෂණයක් සිදු නොවීය. වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ නමුත් ඒ ගැන විවාදයක් කිරීමට අවස්ථාවක් ද නොවීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 80 කට වැඩි සංඛ්‍යාවක් විසින් අත්සන් කොට කථානායකවරයාට භාරදෙන ලද අර්ජුන මහේන්ද්‍රන් වහාම ඉවත්කළ යුතු බවට වූ විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ දින නියමයක් නොමැතිව ඇතුළත් වී තිබුණි. මේ සියලු කරුණු මෙසේ තිබියදී බැඳුම්කර නිකුත් කිරීමේදී සිදු වූ අක‍්‍රමිකතාවය පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු කෝප් කාරක සභිකයන්ගේ විශේෂ කාරක සභාවකට යොමු කරන බව කථානායකවරයා නිවේදනය කළේය.

පළමු කෝප් කාරක සභාව 2015 මැයි 22 සිට 2015.06.26 වන දින දක්වා කටයුතු කළ නමුත් හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා ඩිව් ගුණසේකර මන්ත‍්‍රීවරයාගේ සභාපතිත්වයෙන් පැවති පළමු කෝප් කොමිටි වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ නොහැකි විය.

මේ අතර ප‍්‍රශ්නයට භාජනය වී සිටි බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් දිගටම සිය තනතුරේ වෙනසක් නොමැතිව රාජකාරියේ යෙදී සිටියේය.

මැතිවරණයෙන් පසුව පත් වූ නව පාර්ලිමේන්තුව සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාගේ සභාපතිත්වයෙන් කෝප් කාරක සභාවක් පත් කරමින් බැඳුම්කර මගඩිය විභාග කිරීම එයට පැවරීය. 2016 පෙබරවාරි මාසයේදී ආරම්භ වූ එම කෝප් පරීක්ෂණය අවසන් කොට 2016 ඔක්තෝබර් මස 28 වන දින එහි වාර්තාව පාර්ලිමේන්තුවේ සභාපති කරන ලදි. එම වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය කරන ලද්දේ 2016 ජනවාරි මාසයේදී ය.

මෙම පරීක්ෂණයට විවිධාකාර බාධක එල්ල වූ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සකස් කළ අවසාන වාර්තාවට එ.ජා.ප. කෝප් කොමිටි සාමාජිකයින් පාද සටහන් යොදමින් එහි නිර්දේශවලට බලපෑමක් ඇති කළහ.

මේ සියලු කරුණු මගින් බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් නිත්‍යානුකූල නිගමනයකට එළඹිය නොහැකි වීම නිසා ජනාධිපතිවරයා විසින් ස්වකීය බලතල යටතේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන ලදි.

2017 දෙසැම්බර් මාසයේදී ජනාධිපතිවරයා අතට පත් කෙරෙන ලද්දේ එම කොමිසන් සභා වාර්තාවයි.

කොමිසන් සභාව පත් කිරීමට පෙර පළමු බැඳුම්කර මගඩියට පසුව තවත් මහා පරිමාණ අක‍්‍රමිකතාවයන් 2016 මාර්තු 29 සහ 31 වැනි දින වලදී සිදුකර ඇත. ඒවායේ විශාලත්වය පළමු බැඳුම්කරයට වඩා අති විශාලය. පළමු අවස්ථාවේදී රු. මිලියන 40 ක් ඉල්ලුම් කර බිලියන 77.732 ක වටිනාකමින් යුත් බැඳුම්කර නිකුත් කිරීම සහ දෙවන අවස්ථාවේදී රුපියල් බිලියන 20 ක් ඉල්ලුම් කොට බිලියන 50 ක් දක්වා බැඳුම්කර නිකුත් කිරීමද සිදු වී ඇත.

මෙම අක‍්‍රමිකතාවන් සියල්ල සම්බ්නධයෙන් දීර්ඝ සාක්ෂි විභාගයකින් පසුව කොමිසමේ නිර්දේශ සහ සොයා ගැනීම් වාර්තා කර ඇත.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, මහ බැංකු අධිපති මහේන්ද්‍රන්, ඔහුගේ බෑණා වූ අර්ජුන ඇලෝසියස්, පර්පචුවල් ටෙ‍්‍රසරීස් සමාගමේ මූල්‍ය ප‍්‍රධානී කසුන් පලිසේන සහ තවත් කීප දෙනෙක් සාපරාධී ක‍්‍රියා හා සිවිල් නීති කඩ කිරීම් යටතේද, අල්ලස් හා දූෂණ චෝදනා යටතේද නඩු පැවරීමට නියම වී ඇත.

අයුතු ලෙසින් උපයාගත් බවට ගණන් බලා ඇති අලාභය පර්පචුවල් ටෙ‍්‍රසරීස් සමාගමෙන් ආපසු අය කර ගැනීම සඳහා නව නීති පනත් කෙටුම්පත් කළ යුතු බවද කොමිසම නිර්දේශ කර ඇත. අයුතු ලෙස උපයාගත් මුළු ලාභය රුපියල් බිලියන 11 ක් ඉක්මවන බවද කොමිසම නිගමනය කර ඇත.

මෙම නීති කටයුතුවලට මුහුණ දීම සඳහා විදේශික පුරවැසියෙකු ව අර්ජුන මහේන්ද්‍රන් ඉදිරිපත් වන්නේද? ඔහු ඉදිරිපත් නොවන්නේ නම් ඔහුව එම තනතුරට බලවත් විරෝධතා මැද පත්කළ අගමැතිවරයා ඔහු ඉදිරිපත් කිරීමට මැදිහත් වන්නේද?

අසම්මත ලෙසින් මැදිහත් වෙමින් බැංකු අධිපති ක‍්‍රියාත්මක කළ ක‍්‍රමවේදයට හේතුව අගමැතිවරයා විසින් ලබා දුන් උපදේශයන් බව ඔහු ප‍්‍රකාශ කර ඇත. ඒ අනුව එහි වගකීම එවැනි උපදේශයක් ලබා දුන් පාර්ශවයන්ට නොපැවරේ ද?

වංචනික ලෙස කටයුතු කිරීම සඳහාත්, කෝප් කොමිටියේ පරීක්ෂණය කෙරීගෙන යන අතරතුරදීත් වැරදිකරුවන් වූ පුද්ගලයන් සමග දුරකථන පණිවිඩ හුවමාරු කරගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වන්නේ ද?

සම්මත ක‍්‍රමවේදයට පිටු දකිමින් ලබා දුන් උපදේශය ක‍්‍රියාත්මක කිරීම හේතුවෙන් රජයටත් ශ‍්‍රී ලංකා මහ බැංකුවටත් වෙනත් රාජ්‍ය ආයතනවලටත් ඇති වූ පාඩුව සඳහා වගඋත්තරකරුවන් වන්නේ කවුද?

දේශපාලන සදාචාර පැවතුම් මත පිහිටා තම වගකීම් නිසි අයුරින් ඉටු නොවීම නිසා මහා විශාල වංචාවක් සහ පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් දේශපාලන බලධාරීන් සිය තනතුරු හා ධුර වලින් ඉල්ලා අස් වන්නේද? එසේ නැත්නම් ඔවුන් සිය තනතුරුවලින් ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා පියවර ගන්නේ ද?

විදේශිකයෙකු වගකිව යුතු තනතුරකට පත් කිරීම නිසා රටට ඇති වූ පාඩුව පිළිබඳ එබඳු පත් කිරීමක් නිර්දේශ කළ දේශපාලකයින් පිට වගකීමක් නොපැවරෙන්නේ ද?

පාර්ලිමේන්තුවේදී වංචනික ලෙස උපයා ගත් මුදල් ආපසු අයකර ගැනීම සඳහා පනතක් සම්මත කර ගැනීමට යාමේදී එයට විරුද්ධ වන කිසිවෙක් වෙතොතත් ඔවුනට එරෙහිව දේශපාලන තීරණ ගැනීමට ඒ ඒ පක්ෂ කටයුතු කරන්නේද?

පාර්ලිමේන්තුවේ එබඳු නීතියක් සම්මත කර ගැනීමට බාධා ඇති වුවහොත් ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට කටයුතු කරන්නේ ද?

දැනට සාපරාධී කටයුතු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් වී ඇති පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගැනීමටත් ඔවුන්ගේ නිශ්චල හා චංචල දේපොල පැවරිය නොහැකි බවට උසාවි නියෝගයක් ලබා ගැනීමටත් අප‍්‍රමාදව කටයුතු කරන්නේ ද?

යන ප‍්‍රශ්න ජනතාව තුළ පවතී. ඒවා පිළිබඳව රජයේ වගකිවයුතු අංශයකින් පාර්ලිමේන්තුවට ප‍්‍රකාශයක් නිකුත් කිරීම අතිශයින් වැදගත් හදිසි අවශ්‍යතාවයක් වනු ඇත.

වංචාව, දූෂණය, රාජ්‍ය බලය හා දේපොල අනිසි ලෙස භාවිතා කිරීම, නුසුදුසු පුද්ගලයන් රාජ්‍ය අංශයේ තනතුරු වලට පත් කිරීම නිසා සිදුවන්නක් බව ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශනයේ සඳහන් වී ඇත.

මේ අනුව, වංචාකාරී ලෙස බැඳුම්කර ලබා ගැනීමට අනුබල දෙමින් ඉල්ලූම් ඉදිරිපත් නොකිරීමට රවී කරුණානායක මුදල් ඇමතිව සිටියදී ලබාදුන් උපදේශය අනුගමනය කළ රාජ්‍ය බැංකුවල සභාපතිවරුන්ද, දැනට සිවිල් හා සාපරාධී නීති කඩ කිරීම්

සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති රවී කරුණානායක විසින් ඔහුගේ බලතල යටතේ පත් කරන ලද සියලුම සංස්ථා හා රාජ්‍ය අංශවල සභාපතිවරුන්, අධ්‍යක්ෂවරුන් හා විශේෂ නිලතල වලට පත් කරනු ලැබූවන්ද, වහාම බලපැවැත්වෙන පරිදි ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ජනතාව ඉල්ලා සිටී.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.