9 June, 2023

Blog

මහ සඟරුවන මැදිහත් වේ!

රුසිරිපාල තෙන්නකෝන් –

රුසිරිපාල තෙන්නකෝන්

මේ රටේ දැවෙන ප‍්‍රශ්න සම්බන්ධයෙන් තීරණාත්මක අවස්ථාවන්හිදී මහ සඟරුවනගේ මැදිහත්වීමේ ප‍්‍රවණතාවයක් පසුගිය දිනවල දකින්නට තිබීම ඉතා වැදගත් කාරණයකි. සිදු වූ දේශපාලන විපර්යාසයන්ට පුරෝගාමී නායකත්වය ලැබුණේද මහ සඟරුවන මුල්කරගත් සමාජ බලවේග වලින්ය. එයින් සනාථ වූ සත්‍යය වූයේ ප‍්‍රබල සමාජ බලපෑමක් ඇති කිරීම සඳහා මහා සංඝයා වහන්සේලාගේ ද දායකත්වය අත්‍යාවශ්‍ය බවය. ශ‍්‍රී ලාංකීය සමාජය තුළ තවමත් පවතින ප‍්‍රධාන සංස්කෘතික ලක්ෂණයක් ලෙසින් පිළිගත් කාරණයක් වී තිබෙන්නේ සමාජයේ අති බහුතරය තවත් අපගේ සඟරුවනගේ මඟ පෙන්වීම් අගය කරන බවයි. ශාසනික සේවාවට අතිරේකව ව්‍යාකූලත්වයට පත්වන සමාජ ප‍්‍රශ්න සම්බන්ධයෙන්ද උපෙක්ෂා සහගත මැදිහත්විමක් අපේක්ෂා කළ හැක්කේ පූජක පක්ෂයෙනි. බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීම ඒ අතරින් ප‍්‍රධාන තැනකට වැටේ.

අප රටට නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබඳ කිසිම විවාදයක් නැත. අසීමිත දේශපාලන බලයකින් ශක්තිමත්ව සිටි පාලන කාලයක් තුලදී ජනතාව මත පටවන ලද 1978 ව්‍යවස්ථාව අද රටටම හිසරදයක් වී ඇති බවත් එහි අනිසි ප‍්‍රති විපාක මුළු රටම අත් විඳිමින් සිටින බවත් සත්‍යයකි. එහෙත් නව ව්‍යවස්ථාවක් මගින් එම ව්‍යවස්ථාව ප‍්‍රතිස්ථාපනය කිරීම එබඳුම ආකාරයට හදිසියේ හෝ අත්තනෝමතික අයුරින් සිදුවිය යුතුද? කලක් පවත්නා සියලූ දෙනාටම එකඟ විය හැකි සියලු කරුණුවලට අවධානය යොමුකළ ව්‍යවස්ථා සංශෝධනයකින් කාටත් යහපත් සිදුවේ. එනිසාම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් විවිධ පාර්ශව අතර නොයෙකුත් මත ගැටුම් උද්ගත වී පවත්නා අවස්ථාවක එම කාර්යයට අවතීර්ණ වීම ප‍්‍රඥගෝචර කාර්යයක් විය නොහැකිය. එබඳු දෙයක් නිවැරදිව හා සාධාරණව සිදුවිය හැක්කේ ජනමතය නිවැරදිව නියෝජනය කෙරෙන නියෝජිත මණ්ලයක් හරහා පමණි. අද ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාවය යටතේ ඉස්මතු වී පවතින ප‍්‍රධාන කාරණයක් වන්නේද නිසි අයුරින් ජනමතය නියෝජනය නොකෙරෙන පාර්ලිමේන්තුවක් තිබීමයි. පිළිගත හැකි ජන නියෝජනයක් අත්වීමට නම් ජනමතය ප‍්‍රකාශ වන ආකාරයට නියෝජිතයින් පත්කර ගැනීමේ පිළිගත් ක‍්‍රමයක් පැවතීම අත්‍යාවශ්‍ය කාරණයකි. අපට නැත්තේද එවැන්නකි. වඩා හොඳ මැතිවරණ ක‍්‍රමයක් ඉල්ලා සිටින්නේද එනිසාය. එබැවින් මේ කාරණය සම්බන්ධයෙන් ගෞරවණීය මහ සඟරුවන තමන් වහන්සේලාගේ අති උත්තම නියෝජනය පවතින සංඝ සභාවකින් නිවේදනයක් නිකුත් කරමින් පළමුව හොඳ මැතිවරණ ක‍්‍රමයක් ඇතිකළ යුතු බවට ප‍්‍රකාශයක් කිරීම අතිශයින් වැදගත් මෙන්ම කාලානුරූපී පියවරක් බව සඳහන් කළ යුතුය.

ගත වූ කාලය දෙස හැරී බැලීමේදී ඉතා පැහැදිලි ලෙසින් පෙනී යන එක්තරා කාරණයක් වන්නේ අවසාන ව්‍යවස්ථා සංශෝධන (19 වන සංශෝධනය) අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීන් සෑම දෙනෙකුගේම අවධානය මෙම කාරණයට යොමු නොකළ බවයි. එසේ නැතහොත් ලැබුණ ස්වරණමය අවස්ථාව උවමනාවෙන්ම ඔවුන් සියලුදෙනා විසින් පැහැර හැරිය බවයි. අප රටේ උත්තරීතර සංඝ සභාව මෙම තත්ත්වය ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටීම සතුටට කාරණයකි. එනිසාම සඟරුවන වෙතින් මෙබඳු නිවේදනයක් නිකුත් වීම සිදුවිය. හොඳ ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට හොඳ මන්ත‍්‍රී මණ්ඩලයක්ද, හොඳ මන්ත‍්‍රී මණ්ඩලයක් ඇතිකර ගැනීමට හොඳ මැතිවරණ ක‍්‍රමයක්ද, අවශ්‍ය වේ. එනිසා ඊනියා ව්‍යවස්ථා ප‍්‍රතිස්ථාපනයක් තුලින් කබලෙන් ලිපට නොවැටී යහපත් ලෙසින් රටේ ශුභ සිද්ධිය මුල්කරගෙන තීන්දු තීරණ වලට එළඹීමට හැකි මන්ත‍්‍රී මණ්ඩලයක් පත්කර ගැනීමේ ක‍්‍රමවේදයක් ඇතිකර ගැනීම ප‍්‍රමුඛස්ථානයේ ලා සැලකිය යුතු වන්නේය.

වැඩ වර්ජන වලට යොමුවන වෛද්‍යවරුන් නිසා අසරණ රෝගීන්ටත් පොදුවේ ජනතාවටත් මුහුණ දීමට සිදුවන අනේක විද දුක් ගැහැට ගැනද, මහ සඟරුවන අවධානය යොමු කිරීමද අතිශයින් කාලෝචිත ක‍්‍රියාවකි. ජාතික යැයි කියාගන්නා ප‍්‍රශ්නයක් පිළිබඳව ක්ෂණික විසඳුම් වේගයෙන් ඉල්ලා සිටිමින් එයට අභියෝග කිරීම සඳහා ජන ජීවිතය අපහසුතාවයට පත් කිරීමට ඉඩදී බලා නොසිට ප‍්‍රශ්න විසඳා ගත යුතු ආකාරයට ඒවාට​ නැඹුරු වෙමින් විසඳුම් මඟක් කරා යාමට වෛද්‍යවරුන්ට සංඝයා වහන්සේලා අනුශාසනා කිරීමට ඉදිරිපත් වීම ප‍්‍රශංසනාත්මක පියවරකි. එය බෞද්ධ ජනතාවගේ පමණක් නොව මුළු මහත් ජන සමාජයේම ගෞරවාදරයට භාජනය වන පියවරකි. සෑම දෙනෙක්ම නිසැකයෙන් අගය කරන පියවරකි. පවත්වාගෙන යමින් තිබෙන වෛද්‍ය විද්‍යාලයක් වහාම වසා දමන ලෙසට බල කිරීම මොනම ආකාරයකින් වත් සදාචාරාත්මක පියවරක් හැටියට සැලකිය නොහැකිය. එබඳු දෙයක් සිදු කිරීම එකම විසඳුම වුවත් එය ප‍්‍රායෝගික ලෙසින් කළ හැකි ආකාරයකට සිදුවිය යුතුය. අප රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පවතින දහසකුත් එකක් දුර්වලතාවයන්, අඩුපාඩු, නොපනත්කම්, අසාධාරණ, පුළුල්, ලෙසින් ජන අවධානයට යොමු විය යුතුය. ඈත අතීතයේ පටන් ශ්‍රේෂ්ඨ වෘත්තියක් ලෙසින් පිළිගැන්මට භාජනය වී පවතින වෛද්‍ය වෘත්තිය සියලූදෙනා ගරු කරන ක්ෂේත‍්‍රයෙකි. ජන වහරට අනුවද කියැවෙන්නේ එක්කෝ රජකම නැත්නම් වෙදකම යනුවෙනි. එය දෙවෙනි වන්නේ රජකමට පමණකි. අද එම වෘත්තිය ඉතා ශෝචනීය ලෙසින් බරපතල ආචාරධර්ම බිඳ වැටීමකට භාජනය වී තිබීම පැහැදිලිවම පෙනෙන්න තිබෙන දෙයකි. මුදල් ඉපැයීම මුල් කරගත් කූට ව්‍යාපාරයක තත්වයට ඇතමුන් එම ශ්‍රේෂ්ඨ වෘත්තිය පත්කර දමා ඇත. ඇතැම් වෛද්‍යවරු රෝගීන් බැලීම පමණක් නොව ඔවුනට අවශ්‍ය උපකරණ හා බෙහෙත් යනාදිය ව්‍යාපාරික මට්ටමින් සපයන ඒජන්තවරුන් බවට පත්ව ඇත. තමා ලඟට ප‍්‍රතිකාර ගැනීමට එන රෝගියෙක් රැුගෙන එන බුලත් අත දෙස නොබලාම කසාය සීට්ටුව ලියා දුන් වෛද්‍යරු අප දැක ඇත. ඔවුන්ට ජනතාව සැලකුවේ දෙවිවරුන්ට මෙනි.

ඒ මුදල් ගැන නොතකා ඒ වෛද්‍යරුවන් ලබා දුන් සේවය නිසාය. අද වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම සඳහා වැය කරන කාලය සහ මුදල සේවයක් කිරීමට දැරූ උත්සාහයක් හැටියට නොව මුදල් හරිහම්බ කර ගැනීම සඳහා කරන ලද ආයෝජනයක් ලෙසින් බහුතරයක් සලකන නිසා වෛද්‍ය උපාධිය ඉතා ඉක්මනින් මුදල් උපයාගත හැකි ව්‍යාපාරික සංකේතයක් බවට පත්ව ඇත.

මේ සියලුම කරුණු සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය වහ වහා යොමුවිය යුතුව ඇත. වෛද්‍ය වෘත්තියෙන් ඔවුන්ට සැලසිය යුතු සේවාව පිළිබඳව සාමූහිකව සාකච්ඡා කොට රජයට කරුණු දැක්වීමට ජනතා සංවිධාන බිහිවිය යුතුය. එවන් වාතාවරණයකදී අපගේ මහ සඟරුවන වෛද්‍ය වැඩ වර්ජන පිළිබඳව විවෘත ප‍්‍රකාශයක් කරමින් එයට මැදිහත් වෙමින් ජනතාව බේරා ගැනීමට ඉදිරිපත් වීමද පුණ්‍යකර්මයකි.

උන්වහන්සේලා විසින් උපෙක්ෂාවෙන් අවධානය යොමු කළ යුතු තවත් කරුණු කාරණා බොහොමයකි. අතිපූජ්‍ය මාදුළුවාගේ සෝභිත ස්වාමින්ද්‍රයන් වහන්සේ මුල් වූ ව්‍යාපාරය ඉදිරියටම යා යුතුය. උන්වහන්සේගේ අභාවයෙන් පුරප්පාඩු වී පවතින එම කාර්යභාරය සඟ සභාවක් වශයෙන් හෝ ඉටුවිය යුතුමය. නැතහොත් ජනතාව යළිත් අසරණ වනු ඇත. ඒ සඳහා ඉදිරිපත් වන මහ සඟරුවනට ජනතා සහයෝගය කිසිම අඩුවක් නොමැතිව ලැබෙනු ඇත. පූජ්‍ය සෝභිත හිමියන් සාධාරණ මැතිවරණ ක‍්‍රමයක් ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රදර්ශනය කළ කැපවීම, දූෂණය පිටු දැකීමට ඇතිකළ උවමනාව අද සමාජය තුළින්ද, දේශපාලනය තුළින්ද පසුගාමී ලෙසින් ඇද වැටෙමින් පවතී. දූෂණය පිටු දැකීමට අවශ්‍ය වූයේ කාටවත් දඬුවම් ලබා දීමට තිබූ උවමනාවක් නිසා නොවේ. එමඟින් සිදුවන ජාතික ව්‍යසනය හා අපරාධය තුරන්කර ගැනීමටය. එහෙත් අවාසනාවකට අද සිදුවී ඇත්තේ කුමක්ද? මහා විශාල ඝෝෂාවක් නංවමින් දියත් කළ දූෂණ මර්ධනය, දූෂණය හෙලි දැක්වීම සඳහා ආරම්භ කරන ලද ව්‍යාපාර, ක‍්‍රමයෙන් දිය වෙමින් පවතී. ලහි ලහියේ පිහිටුවාගත් විශේෂ ආයතනද දියකර හරමින් පවතී. තොරතුරු ලැබී ඇති බවට ප‍්‍රචාරය කළ මහා පරිමාණ වංචනික මුදල් උපයා ගැනීම් පිළිබඳ විස්තර මිහිදන්කර දැමීම අරඹා ඇත.

පැවති දූෂණයද ඉක්මවා යන නව දූෂණ රැුල්ලක්ද යහපාලන සෙවණැල්ලේම ගොඩ නැගෙමින් පවතී. ජන සමාජය යහමගට ගෙන යා හැක්කේ වංචාව හා දූෂණය නැතිකර දැමීමෙන් පමණකි. එනිසා දේශපාලන හිතවත්කම් වර්ධනය කර ගැනීම සඳහාත්, කෙසේ හෝ බලය තහවුරු කර ගැනීම සඳහාත්, අල්ලස දූෂණය හා අක‍්‍රමිකතාවන් දඩමීමා කර ගැනීමට සහ යටත් කර දැමීමට එරෙහිව සමාජ හඬක් ඇතිවිය යුතුය.ඒ සඳහාද මහ සඟරුවන පෙරමුණ ගත යුතුය.

‘‘දූෂණයෙන් තොර සමෘද්ධිමත් දේශයක් කරා’’ යන තේමාව යටතේ පූජ්‍ය පක්ෂයේ ආශිර්වාදය ලබා ගනිමින් සමාජ බලවේග ඉදිරියටම යා යුතුය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.