19 April, 2024

Blog

තවත් සතියක් ගෙවී යයි – මහ බැංකු වාර්ෂික වර්තාව නිකුත් වේ !

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

ශ‍්‍රී ලංකා මහ බැංකුව 2016 වසර වෙනුවෙන් නිකුත් කෙරෙන වාර්ෂික බැංකු වාර්තාව නිකුත් වී ඇත. රටේ ආර්ථිකය ඇතුළු අංශ ගණනාවක් විශ්ලේෂනාත්මක ලෙසින් විදහා දක්වන මහ බැංකු වාර්තාව රජයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ජනතාවට නිවැරදි හා නිල තොරතුරු ලබාගත හැකි ක‍්‍රමය ලෙස සියලූ දෙනාම පිළිගත් කාරණයකි. එහෙත් එය එසේම වන්නේ වාර්තාව අගතියෙන් තොරව සත්‍ය තොරතුරු හා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්නේ නම් පමණකි. දැනට විවාදයට ලක්වෙමින් ජන මාධ්‍ය හරහා හෙළිදරව් වී ඇති තොරතුරු අනුව මෙවර මහ බැංකු වාර්තාව රටේ ආර්ථික තත්ත්වය පෙන්නුම් කෙරෙන ඇතැම් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීමේදී ඒවා වැරදි ලෙස පෙන්වා ඇතැයි කියැවේ. මේ හේතුව නිසා ආර්ථිකය පිළිබඳ සත්‍ය තත්ත්වය පෙන්නුම් නොකරන අතර ඉදිරිපත් කර තිබෙන තොරතුරු අනුවත් රටේ ආර්ථිකය සහ මුල්‍ය තත්ත්වය අයහපත් බව සඳහන් වී ඇත.

2016 බැංකු වාර්තාවේ පළමුවන ෙඡ්දයේ දක්වා ඇති තොරතුරුවලට අනුව 2016 වසර තුලදී සියලූ අංශ සඳහා වූ ආර්ථික කාර්ය සාධනය අයහපත්ව පැවති බව අවංකවම පිළිගෙන ඇත. 2015 ට සාපේක්ෂව ආර්ථික වර්ධන වේගය 4.8% සිට 4.4% දක්වා අඩු වී ඇත. එ්ක පුද්ගල ආදායම ශ‍්‍රී ලංකා රුපියල්වලින් පෙන්නුම් කරන විට රු. 522,355 සිට රු. 558,363 වැඩිවීමක් නිරූපණය කරන කලද, සත්‍ය වශයෙන්ම එම වටිනාකම පෙන්නුම් කෙරෙන ඇ. ඩොලර් වටිනාකම අනුව එය ඇ.ඩො. 3843 සිට 3815 දක්වා අඩුවීමක් පෙන්වයි. ඇ. ඩොලරයට සාපේක්ෂව රුපියල් අවප‍්‍රමාණ වී ඇති බැවින් එය රුපියල්වලින් පෙන්වන විට වැඩිවීමක් ලෙස පෙනී යයි. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව සකස් කෙරෙන උද්ධමන අනුපාතය 2015 දී 2.2% ක් වූ අතර 2016 වසර තුලදී එය 4% ක්වා වැඩි වී ඇත. දල දේශීය ආදායමේ ප‍්‍රතිශතයක් වශනේ ගත්විට 78% ක්ව තිබූ රාජ්‍ය ණය ප‍්‍රමාණය 79% ක් දක්වා වැඩි වී තිබෙන බව පෙන්නුම් කරයි. අපනයන ප‍්‍රමාණය පහල වැටී ඇත. ආනයන අපනයන අතර වෙළඳ ශේෂය තවදුරටත් අයහපත් ලෙසින් වැඩි වී ඇත. 2015 වසරේදී ඇ.ඩො. බිලියන 7.3 ක් වූ විදේශීය සංචිත වටිනාකම 2016 දී ඇ.ඩො. බිලියන 6.0 ක් දක්වා පහල වැටී ඇත.

මෙම සියලූම දත්ත හා සංඛ්‍යාලේඛන වලින් පෙන්නුම් කරන්නේ දෙවසරක පාලන කාලය තුලදී ආර්ථිකය විධිමත් පාලනයකට නතුකර ගැනීමට රජය අපොහොසත් වී ඇති බවයි. තවද එම තත්ත්වය තවදුරටත් බලවත් ලෙසින් අවපාතය දෙසටම යොමුවී පවතින බවයි. මහබැංකු වාර්තාවෙන් හෙළිදරව් කර ඇති තොරතුරු එ් ආකාරයෙන්ම පිළිගනු ලැබුවත් රටේ අනාගතය පිළිබඳව කෙරෙන අනතුරු හැඟවීමක් ලෙසට මෙම තත්ත්වය සැලකිල්ලට ගත යුතු වේ.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන ආකාරයට උද්ගත වී ඇති තත්ත්වය මීට වඩා භයානක ස්වරූපයක් ගනී. මහ බැංකු වාර්තාවේ පෙන්වන සංඛ්‍යාලේඛන සමහරක් විකෘති කිරීම් හැටියට ඔවුන් ප‍්‍රසිද්ධියේම චෝදනා නඟමින් කරුණු ඉදිරිපත් කර ඇත. 2016 මහ බැංකු වාර්තාව නිකුත් වීමෙන් පසුව දිනපතා ආර්ථික පුවත් පලකෙරෙන පුවත්පතක් මගින් කර ඇති හෙලිදරව්ව අනුව, ආර්ථික වර්ධන වේගය ගණන් බැලීම සඳහා සාවද්‍ය සංඛ්‍යාත්මක දත්ත උපයෝගී කරගෙන තිබෙන බවත් ඒ අනුව මහ බැංකු වාර්තාවෙන් නිවැරදි ස්වරූපය පිළිඹිබු නොවන බවත් පෙන්වා දී ඇත. 2017 මැයි 16 වන දින කර ඇති එම හෙළිදරව්ව අනුව 2016 වසර සඳහා ආර්ථික වර්ධන අනුපාතය හැටියට පෙන්වා දී ඇති 4.4% වැරදි බවත් එය නිවැරදිව ගණනය කළ විට එම ප‍්‍රමාණය 2.2% ක් බවත් සංඛ්‍යාලේඛන තොරතුරු පදනම් කරගෙන ඔප්පුකර ඇත. මෙය අතිශයින් භයානක තත්ත්වයකි. දරුණු ලෙස අවප‍්‍රමාණ වී තිබෙන තත්ත්වය ජනතාවගෙන් වසන් කිරීමකි. එය පිළිකාවක් වසන්කර ගැනීම වැනි තත්ත්වයකි.

අද ජනතාවට ඉතා හොඳින් පැහැදිලි වී ගිය කාරණයක් වන්නේ යහපාලන රජයේ මුදල් පාලන කටයුතු මුළුමනින්ම අයාලේ ගිය බවකි. මුදල් අමාත්‍යංශය එකම අවුලක් බවට පත්කරගෙන ඇත. එයට අයත් බොහොමයක් අංශ එයින් ඉවත් කර වෙනත් අමාත්‍යංශ යටතට පත්කර ඇත. ශ‍්‍රී ලංකා මහ බැංකුවද රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ පාලනය යටතට ගෙන ඇත. මහ බැංකුවේ පෙර නොවූ විරූ මහා මුදල් කොල්ලයක් හැටියට ජනතාව පිළිගෙන ඇති බැඳුම්කර මගඩියද සිදුවී ඇත්තේ මෙම තත්ත්වය තුලය. මුදල් විෂය භාර ඇමතිවරයාට එරෙහිව දැනටමත් බරපතල පැමිණිලි හා විවේචන එල්ල වී ඇත. අනිසි බලපෑම් කිරීම්, රජයේ ආදායමට පාඩු සිදුවන තීරණ ගැනීම් ඇතුළු විශාල සැක සහිත ගණදෙනු පිළිබඳව විවේචන ප‍්‍රසිද්ධ වී ඇත. ඉලක්කම් හරඹ තුලින් ජනතාවගෙන් සත්‍යය වසන් කරගෙන වැඩි දුරක්, වැඩි කාලයක් යා නොහැක. ජාතියම මුහුණ දෙන බරපතල ව්‍යසනයක් ලෙස පාලකයින් අප‍්‍රමාදව මුදල් අමාත්‍යංශය විධිමත් පාලනයක් තුලට ගෙන ආ යුතුය.

වහාම සිදුකෙරෙන කැබිනට් සංශෝධනයක් දෙස ජනතාව බලා සිටී

දැනට ටික දිනක සිට දේශපාලන කරලියේ තදින්ම විවේචනයට භාජනය වී පවතින කාරණයක් ලෙස මුදල් අමාත්‍යංශය ඇතුළු අංශ කිහිපයක කැබිනට් අමාත්‍ය සංශෝධනයක් ගැන ජනතාව බලාපොරොත්තුවෙන් සිටිති. එබඳු පියවරක් රටේ ආර්ථිකයට යහපතක් වනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. එහෙත් ජනතා අභිලාෂය එය වී තිබේ. විවිධ මතවාද වලින් උසි ගැන්වුන සහ විවිධ පුද්ගලික න්‍යාය පත‍්‍රයන් යටතේ ඔවුන් තුල පවත්නා අපේක්ෂාවන් හේතුවෙන් සිවිල් සමාජයේ ක‍්‍රියාකාරී කොටස්ද වත්මන් අර්බුදයට පිළියමක් ලෙස කැබිනට් සංශෝධනයක් ගැනම අවධානය යොමු කරති. එහෙත් සිදුවිය යුත්තේ එයින් ඔබ්බට යන ප‍්‍රතිපත්තිමය විප්ලවීය වෙනසකි. අපක්ෂපාතීත්වය, අවංඛභාවය පිළිබඳ ජනතා පූර්ණ විශ්වාසය දිනා ඇති වත්මන් ජනාධිපතිවරයා යටතේ, සියලූම දේශපාලන පක්ෂවල එකතුවක් හැටියට, සෑම කොටසක්ම කිසියම් අනුපාත පදනමකට කැබිනට්ටුවක් තුල නියෝජනය වන ජාතික රජයක් වහාම උදාකර ගැනීම දීර්ඝ කාලීනව රටට සහනයක් ගෙන එන හොඳම විසඳුම් මාර්ගය වේ. එහෙත් එය අතිශයින් දුෂ්කර කාර්්‍යයක් වන බවද නොරහසකි. එසේ වන්නේ දේශපාලන කරලියේ සිටිනවුන්ගේ බල ලෝභය සහ ආත්මාර්ථකාමීත්වය නිසාවෙන් පමණකි. දුෂ්කර වීමට එකම හේතුව ද එයම වන්නේ ය. එම නිසා රටවැසියන් සියලූදෙනා එක්ව ජනාධිපතිවරයාගෙන් ප‍්‍රබල ලෙස ඉල්ලා සිටිමින් වහාම නියම ජාතික රජයක් පිහිටුවීමට පියවර ගන්නා ලෙස බලකළ යුතුය. එම කාරණයේදී බාල මහළු, උගත් නූගත්, සියලූම රටවැසියන් ආගමික නායකයින් ජනාධිපතිවරයාට සහාය දක්වනු ඇත. එබඳු පියවරකට එරෙහිව වන ආත්මාර්ථකාමී බලලෝභී දේශපාලකයින් මුළුමනින්ම දේශපාලන ලෝකයෙන් පලවා හැරීමේ ආරම්භයද එය වනු ඇත.

දූෂණය පිටු දැකීම

අද මුළුමනින්ම අරුත් සුන් වදනක් වී ඇති දූෂණය පිටුදැකීම ජනතාව දකින්නේ නිකම්ම දේශපාලන මායාකාරීත්වයක් ලෙසින්ය. වචන වලට පමණක් සීමා වූ යහපාලනය, විදේශීය බලවේග සමනය කිරීම සඳහාත්, කලින් රෙජීමය වෙනස් කිරීමට ඇතැම් විදේශික බලවේග ලබා දුන් දායකත්වයට කෘතගුණ දැක්වීම සඳහාත් පමණක් බව පැහැදිලි වෙමින් පවතී. ඒ සඳහා කඩිමුඩියේ බිහිකරගත් සුවිශේෂ ආයතන එක එක දිය කරමින් පවතී.ඒවා ආරම්භ කල වේගය, මුල් කාලයේදී එම ආයතන සම්බන්ධයෙන් රජයේ ඇතැම් කොටස් දැක්වූ උනන්දුව අද ඇත්තේම නැත. එසේ නම් කර ඇත්තේ බරපතල නොමඟ යැවීමක් හා වංචාවක් නොවන්නේද?

දූෂණය පිටු දැකීම ගැන රජයේ දැක්ම ඉංග‍්‍රීසි බසින් ජාත්‍යන්තරයට ප‍්‍රසිද්ධ කළේ මෙසේය.

Fighting corruption and strengthening the rule of law is another important element in the government agenda.  One of the first steps of the government upon taking office was to give new life to existing institutions with an anti-corruption mandate and to form several new bodies charged with fighting corruption.  In this respect, the Presidential Commission of Inquiry into Serious Acts of Fraud, Corruption and Abuse of Power (PRECIFAC), the Commission to Investigation of Allegations of Bribery & Corruption (CIABOC), the Financial Crimes Investigations Division (FCID) have begun regular hearings dedicated to rooting out sources of corruption and to bring perpetrators to justice!

‘‘රජයේ න්‍යාය පත‍්‍රයේ තවත් එක් අංශයක් වන්නේ දූෂණයට එරෙහිව සටන් වැදීම සහ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමය. මේ සඳහා රජය විසින් ගන්නා ලද එක් පළමු පියවරක් වන්නේ දූෂණ මර්ධන සඳහා වූ වරම් සහිත ආයතන වලට නව ජීවයක් ලබා දීමත් දූෂණ මැඞීම සඳහා බල ගැන්වූ නව ආයතන බිහි කිරිමත්ය. මේ යටතේ වංචා, දූෂණ සහ බලය අයුතු ලෙස යොදා ගැනීම් සම්බන්ධයෙන් වූ බරපතල ක‍්‍රියා සම්බන්ධයෙන් විභාග කිරීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීම, අල්ලස් හා දූෂණ චෝදනා විභාග කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීම, සහ මූල්‍ය අපරාධ විභාග කිරීම සදහා දැනටමත් ආයතනය බිහිකර තිබෙන අතර ඒවා දූෂණයට මුල්වන හේතු සාධක මුලිනුපුටා දැමීම සහ වැරදි කලවුන් නීතිය ඉදිරියට ගෙන ඒමට​ කැපවුනු ආයතන වශයෙන් දැනටමත් නිරන්තර ලෙස පරීක්ෂණ පවත්වාගෙන යාම ආරම්භ කර ඇත’’

අහෝ ! එය එසේම සිදු වූයේ නම් කොතරම් හොඳද? කියා අසනවාට වඩා යමක් ජනතාවට කළ නොහැකිය. මෙම ආයතන සියල්ලක්ම සීඝ‍්‍රයෙන් වාෂ්ප වීම අපගේ දැස් ඉදිරිපිට දැන් සිදුවන්නේය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.