16 December, 2017

Blog

ඉතිහාසය රන්ජන් නිදොස් කරනු ඇත

රුසිරිපාල තෙන්නකෝන් –

රුසිරිපාල තෙන්නකෝන්

රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත නීතිඥ සංගමය විසින් නඩු පැවරීමට යන බව වාර්තා වී ඇත. රන්ජන් රාමනායක බොහෝ අවස්ථාවලදී ආවේගශීලීව සහ සමහර විට ද්වේෂ සහගතව ප‍්‍රකාශ කරන කෙනෙක් බව ඇත්තකි. එහෙත් ඔහු රටේ අධිකරණය සහ නීතිඥ වෘත්තිය සම්න්ධයෙන් කර ඇති ප‍්‍රකාශය අපහාසාත්මක වන්නේ කෙසේදැයි අපට සිතාගත නොහැකිය. ඔහු ඉලක්ක කරගත් විනිසුරුවරයෙකු හෝ මහේස්ත්‍රාත්වරයෙකු හෝ නීතිඥයෙකු සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කළ බවක් නම් පෙනෙන්නට නැත.

කෙසේ වුවද නීතිඥ සංගමය රටේ වගකිව යුතු ආයතනයකි. නීති වෘත්තිය සම්බන්ධයෙන්ද පොදුවේ අධිකරණ සංහතිය සම්බන්ධයෙන්ද ඔවුන්ගෙන් විශාල කාර්යභාරයක් ඉටුවිය යුතුව ඇත. එසේ තිබියදී රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයාගේ ප‍්‍රකාශයක් පසුපස එළවා යාමට තරම් පෙළඹවීමක් ඔවුනට ඇතිවූයේ කෙසේද යන්න බලවත් ප‍්‍රශ්නයකි.

නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමට යාමේදී නීතිය හරස්වන අවස්ථාද, නීතිය පළිහක් කරගනිමින් දූෂණ, වංචා කරගෙන යාමට කටයුතු කරන අවස්ථාද, නිදහස් මතවාදයන් පළ කිරීම වැළැක්වීම සඳහා නීතිය අභියෝගාත්මක ආයුධයක් වශයෙන් යොදා ගන්නා අවස්ථාවන්ද එමටය. මුදල් බලය උපයෝගී කරගනිමින් අපහාස නඩු පැවරීම, එසේ කිරීමට තර්ජනය කිරීම, කෝටි ගණන් වන්දි ඉල්ලා එන්තරවාසි එවීම අද ක‍්‍රීඩාවක් බවට පත්ව ඇත. රාජ්‍ය ආයතන පවා මේ තත්ත්වයට වැටී තිබේ. මෑතකදී එක්තරා රාජ්‍ය බැංකුවක සැක සහිත ගණුදෙනුවක් සම්බන්ධයෙන් මුළු රටම කථා කරන අවස්ථාවකදී එක් පුද්ගලයෙක් එම කාරණය පිළිබඳ විවේචනාත්මකව කථා කිරීම නිසා එම පුද්ගලයාට එරෙහිව රුපියල් මිලියන 500 ක් අපහාස වන්දි ලෙසින් ගෙවන ලෙස දන්වා එන්තරවාසියක් එවා ඇත. රාජ්‍ය බැංකුවට රුපියල් මිලියන 500 ක අපහාසයක් සිදුවී ඇත්තේ සිද්ධියක් පිළිබඳ එල්ල කරන ලද විවේචනයක් නිසා නම් මේ රටේ රාජ්‍ය ආයතන ගැන ජනතාවට කථාකළ නොහැකි වනු ඇත.

රන්ජන් රාමනායකගේ ප‍්‍රකාශය ජන මතය ප‍්‍රදර්ශනය කිරීමකි. බොහෝ දෙනෙක් කෙළින් කථා නොකරන, දූෂණයට පිටුපා කරබාගෙන සිටින, යුගයක රන්ජන් රාමනායකලා දහසක් හිටියත් මදිය. නීතිඥයින් විනිසුරු වරුන්ගෙන් ලකුණු දමා ගැනීමට නොයෙක් දේ කරති. දරදිය අදිති. ඒ බව දන්නෝ දනිති. එහෙත් බහුතරය කට පියාගෙන සිටිති. විනිසුරුවන්ගේ හොඳ පොතට වැටීම නීතිඥයින්ට හොඳය. නඩු දිනා ගත් තරමට ඔවුන්ගේ හොද්ද බොරවන බැවිනි. එනිසා මේ නඩු පැවරීමද එබඳු හොඳ පොතට ඇතුළු වීමේ වෑයමක් ලෙසින් සැලකිය හැකිය.

අප රටේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් අතිශයින් අපකීර්තිමත් දේ කොතෙකුත් වාර්තා වී ඇත. වාර්තා නොවූ දේ ඊට වඩා වැඩිය. සමහරක් දේ වාර්තා කළ නොහැකි තරම් පහත්ය. විශ‍්‍රාම ගත් අගවිනිසුරුවරයෙක් තමා රාජකාරි කරද්දී ලබාදුන් තීන්දු ගැන කණගාටුවන බව ප‍්‍රසිද්ධියේ කියා ඇත. ඔහුගේ පසුතැවිල්ල කාටවත් වැදගත් නැත. එය ඔහු විසින් කළ අපරාධයට වන්දියක් ලෙසින් ඔහුගේ හෘද සාක්ෂිය පාරනු ඇත. එහෙත් ඔහුගේ වැරදි තීරණය නිසා මුළු මහත් සමාජයට ඇතිකළ මහා විපත නැවත කිසිදාකවත් නිවැරදි කළ නොහැකි වනු ඇත. කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ​, අල්ලස් ගැනීම, මත්ද්‍රව්‍ය භාවිතය යනාදී සකලවිධ විෂම ක්ෂේත්‍රයන් තුළ අපවාද ලැබූ විනිසුරුවන් පිළිබඳව හෙළිදරව් වීම් කොතෙකුත් සමාජය තුළ ඇත. එය අප රටේ පමණක් නොව මුළු මහත් මිනිස් සමාජයටම පොදු ලෙසින් දක්නට ලැබී ඇති අවාසනාවන්ත තත්ත්වයකි.

ඉතා මෑත කාලයකදී ආණ්ඩු පෙරලියකින් පසුව නිලයේ සිටි විනිසුරුවරයෙක් රාජ්‍ය ප‍්‍රධානියෙකු මුණගැසී, තමා ඔහු වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් බව කියමින් තවදුරටත් එම තනතුරේ රැුඳී සිටීමට ආයාචනා කිරීමේ සිද්ධියක් ද අපට වාර්තා විය. මොනතරම් නිහීන බාල්දු ක‍්‍රියාවක්ද මෙය. නඩුකාරයෙකුට තබා වැසිකිලි සෝදන කම්කරුවෙකුටවත් ආත්ම ගෞරවය බින්දුමාත‍්‍රයක්වත් තිබේ නම් මෙවැනි ක‍්‍රියාවක් කළ හැකිද?

සත්‍ය වශයෙන්ම නිර්ණාමිකව හෝ නීති ක‍්‍රියාමාර්ග වලදී ජනතාවට මුහුණ දීමට සිදු වූ අකටයුතුකම් පිළිබඳව තොරතුරු එක්රැුස් කිරීමක් සිදු වුවහොත් හොඳ හොඳ විස්තර සමාජයට ලබා ගැනීමට හැකිවනු ඇත.

මානසික ආතතිය නිසාත්, ආබාධ නිසාත් සිය දිවි නසාගත් විනිසුරුවන් පිළිබඳ අප අසා ඇත. නීතියේ පිළිසරණ ලබා ගැනීමට පැමිණි අසරණ කාන්තාවන් ලිංගික අතවරවලට නතුකළ විනිසුරුවන් ගැනද වාර්තා වී ඇත. නඩුකාරයන් වූ පමණට සියලු දෙනා අභ‍්‍රමශ‍්‍රීලී හෝ අවිර්ජ්ජනීය ලෙසින් සැලකිය නොහැක. පූජනීය නායකයින්ගේ තත්ත්වයක් විනිසුරු වරයෙකුට ලැබෙන්නේ අති විශාල පරිත්‍යාගයකින් සිය රාජකාරිය මිනිස් බව ඉක්මවා ඉටුකරන විට පමණකි. එබඳු චරිත එමට ඇත. එහෙත් එය කාටත් පොදු ලක්ෂණයක් ලෙසින් ආදේශ කිරීමට ජනතාව කිසි දිනෙකවත් සූදානම් නොවනු ඇත.

බැටිස්ටාගේ දුර්දාන්ත පාලනය බිඳ දැමීමට කියුබානු ජන විප්ලවය මෙහෙයවූ පිදෙල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගෙන බැටිස්ටාගේ උසාවිය වෙත ගෙන ආ අවස්ථාවේ දින කීපයක් තුළ එම අධිකරණය අමතා එතුමා කළ ඉතිහාසගත දේශනය විනිසුරුවරුන් ගැන අපට අපූරු හැඳින්වීමක් ලබා දී ඇත. ‘‘ඉතිහාසය මා නිදොස් කරනු ඇත’’ යන මාතෘකාවෙන් එතුමා එදා කළ දීර්ඝ දේශනයේ එක් කොටසක් රන්ජන් රාමනායකගේ නිදහස පිණිස මෙහි සඳහන් කිරීම වැදගත් වේ යැයි විශ්වාස කරමු.

‘‘කුසගින්නේ හඬන තමා ජාතක කළ දරුවාගේ බඩගින්න නිවාදැමිම සඳහා පාන්ගෙඩියක් සොරා ගන්නා මිනිසා සිපිරිගෙට යවන නඩුකාරයා, හැන්දෑවට වයින් බොමින් සාද පවත්වන්නේ කා සමගද? රක්ෂණ ආවරණ වන්දිය ලබා ගැනීම සඳහා කම්කරුවන්ද සමගින් සිය කර්මාන්තශාලාව ගිනිබත් කරන, කෝටි ප‍්‍රකෝටි ගණනින් මහජන මුදල් සොරා කන, කොල්ලකන, වංචනික ලිපි ලේඛන සකස් කරමින් රජයට ගෙවිය යුතු බදු මුදල් වංචා කරන, අපරාධ කටයුතු සඳහා ගෙවීමට ඇති දඩ මුදල අල්ලසක් මගින් නොගෙවා සිටින ධනපති ව්‍යාපාරික පැලැන්තිය සමගය. ඔවුන්ගේ අපරාධ කිසි දිනෙකවත් හෙලිදරව් කිරීමට විනිසුරුවන් ඉදිරිපත් නොවෙති. ඔවුන් කිසි දිනෙක සිපිරිගෙයක ඇතුලත බිත්ති හතර නොදකිනු ඇත. ඒත් ඒ සිපිරිගෙය කුසගින්නෙන් හඬන දරුවාගේ වේදනාත්මක කෑගැසීම ඉවසාගත නොහැකිව සරල සොරකමක් කරන මිනිසාට සැමදා විවෘතව පවතී.”

අධිකරණයේ ස්වාධීනත්වය අපට අතිශයින්ම වැදගත්ය. යුක්තිය හා සාධාරණත්වය අපේක්ෂා කළ හැක්කේ එමගින්ය. අධිකරණ පද්ධතියේ ඇතැම් අඩුපාඩුකම් ගැන කථා කිරීම අපරාධයක් ලෙස සලකන නීතිඥයින්, තමන් ඉදිරිපත් වන නඩුවකට අපේක්ෂිත තීන්දුව නොලැබුණ විට රන්ජන් එළිපිට කරන දේ මත්පැන් වීදුරුවක් ඉදිරියේ තබාගෙන අමු කුණුහරුපයෙන් කරන අවස්ථා අප දැක ඇත. සත්‍යය එයයි. එහෙත් ඒ කුණුහරුප බැණ වැදීම සමාජ ගතවන්නේ නැත. අඩාපාලියක් වශයෙන් හෝ ප‍්‍රසිද්ධියේ කීමෙන් නම් යම්කිසි ආකාරයක ප‍්‍රතිඵලයක් අත්වීමට ඉඩ ඇත. එසේ වුවද ඒ සමගම රන්ජන්ට සිදුවූවා මෙන් දණ්ඩනයකට භාජනය වීමටද ඒ නිසාම සිදුවිය හැක.

වෛද්‍ය වෘත්තිය සැලකිය යුතු ප‍්‍රමාණයකට මුදලට වහල් වී ඇත. ශල්‍ය කර්මයකට ගාස්තුව නියම කරන්නේ රෝගියාගේ ගෙවීමේ හැකියාව ගැන කිසිවක් නොසිතාය. ඇතැම් විට ශල්‍ය කර්මයක් දිවි ගලවා ගන්නා මිනිසාට ජීවිත කාලයටම ගොඩ ඒමට​ නොහකි ණය බරකට යට වීමට සිදුවන්නේ අර ගාස්තුව නිසාය. නඩුවකට යන සේවාදායකයෙක් නීතිඥයාගේ ගාස්තුවේ පීඩනයට අසුවන්නේද එසේය. වෘත්තිකයන්ගේ ගාස්තුවලට මිල නියමයක් හෝ උපරිමයක් නැත. එය පුද්ගලයාගේ හැටියට, නීතිවේදියෙක් නම් ඔහුගේ හදවතේ හැටියට වෙනස් වන්නකි. බොහෝ විට සේවා දායකයාගේ පාලනයෙන් තොරවම තමා පිට පැටවෙන බරක් ලෙසින් එය තීරණය වනු ඇත.

සමහර නීති ක‍්‍රියාවලට එළඹෙන මිනිසුන් ‘‘අනේ මේක නොකර සිටියානම් මීට වඩා හොඳයි’’ කියනවා අපට ඇසී ඇත. ඒ දරාගත නොහැකි ගාස්තු නිසාය. ගැමි කාන්තාවක් වෙනුවෙන් නඩුවකට පෙනී නීතිවේදියෙක්, ඇයට ගාස්තු ගෙවීමේ ප‍්‍රශ්නයක් ඇතිවූ නිසා පැළඳ සිටි කරාබු දෙක බලයෙන් ගලවා ගැනීම වැනි සිද්ධීන්ද වාර්තා වී ඇත්තේ ශ‍්‍රී ලංකාවෙන්මය.

එනිසා ජන හද ගැස්ම, වේදනාව, රන්ජන් රාමනායක මුවින් පිට කිරීමේ අපරාධයට ඔහුට වන්දි ගෙවන්නට සිදුවුවහොත් මිනිසුන් හැටියට ඔහුට සහාය වීමට මිනිසුනට සිදුවනු ඇත. නීතිවේදීන් නැතිව සිය දුක් ගැනවිල්ල උසාවියක ඉදිරිපත් කිරීමට නීති සැකසිය යුතුය. එසේ ඉදිරිපත් වන දුක් ගැනවිල්ලකට සාවදානව ඇහුම්කන්දී සාධාරණය ඉටුකරන විනිසුරුවරුන්ගේ සේවය ජනතාවට ලබා ගැනීමේ පහසුකමද සමාජයට ලැබිය යුතුය.

Print Friendly, PDF & Email

Latest comments

  • 5
    2

    Very good article publishing the real facts about the Lawyers.. We all stand against the BOSL for their silly action.

  • 1
    0

    අ‌ෙනක් සෑම ක්‌ෙෂ්ත්රයක ‌ෙස් ම අධිකරණය තුළ ද දූෂිතයන් ‌ෙමන්ම ‌ෙහාද මිනිසුන් ද ඇත. ‌ෙක‌ෙස් වුවත් රංජන්ට ‌ෙම‌ෙස් අධිකරණය වි‌ෙව්චනය කිරී‌ෙම් සදාචාරාත්මක අයිතියක් ඇද්ද යන්න සැක සහිත ය. ඔහු‌ෙග් ද කැරැට්ටුව ‌ෙනා‌ෙහාද නිසා ය. එ‌ෙස් ම, නීතිඥ ‌ෙහ්මන්ත වර්ණකුලසූරිය ද ‌ෙපන්වා දුන් පරිදි, පසුගිය දා අරලිය ගහ මැදුරට නීතිපති ‌ෙගන්වා තර්ජනය කිරී‌ෙම් තිරශ්චීන ක්රියා‌ෙව් රංජන් ද ප්රබල‌ෙයකි. එම නිසා ‌අධිකරණ විනිසුරන්ට තම දබර ඇගිල්ල දික් කරන ‌ෙම් හාදයා ‌ෙවත ඔහු‌ෙග් අ‌ෙනක් ඇගිලි 4 එල්ල වී ඔහුවම ප්රශ්න කිරීම ‌ෛදව‌ෙය් සරදමකි.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.