26 April, 2024

Blog

යුද අපරාධ අමතක කරමු

කේ.ජී.පිලිප් ශාන්ත –

කේ.ජී.පිලිප් ශාන්ත

යුද සමයේ වන්නි ප්‍රදේශයේ අණදෙන නිලධාරියා වූ ජනරාල් ජගත් ජයසූරිය යුද අපරාධ කළ බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීමත් සමග සිංහලබෞද්ධ සමාජය කැළඹීමට පත්ව තිබේ. ඒ කැළඹීම වඩා තීව්‍ර වන්නේ පරීක්ෂණයක් පවත්වන්නේ නම් තමා ජනරාල් ජයසූරියට එරෙහිව සාක්ෂි දෙන බව ඔහු කීමෙනි. මේ නිසා සිංහලබෞද්ධ ෆේස්බුක් වාසීහු නොපමාව තම පිළිකුල පළ කරමින් සිටිති. එසේම සමහරු 2010 ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකාට ලබාදුන් චන්දය ඉල්ලා අස්කර ගනිමින් සිටිති.

යුද අපරාධයන් සම්බන්ධයෙන් යළිත් සමාජය තුළ කතාබහක් ඇතිවූයේ බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාධිපතිව සිටි ජනරාල් ජගත් ජයසූරිය එරටින් ශ්‍රී ලංකාවට පළා ඒමෙන් පසුව ය. ඔහු එසේ ශ්‍රී ලංකාවට පළා ආවේ එරටදී ඔහුට එරෙහිව යුද අපරාධ චෝදනා මත අධිකරණ ක්‍රියාමාර්ගයන් ගැනීමෙන් පසුව ය. ජනරාල් ජගත් ජයසූරිය යුද සමයේ කළා යැයි පැවසේන යුද අපරාධ සම්බන්ධයෙන් දකුණු ඇමෙරිකානු මානව හිමිකම් සංවිධාන කිහිපයක් ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ අතර ඒ වෙනුවෙන් පෙනී ඉන්නේ කාලෝස් ෆර්නැන්ඩනර්ස් නම් ප්‍රසිද්ධ නීතීඥයෙකි.

යුද්දයක දී මිනිසුන් මිය යෑම තාර්කික ය. එහෙත් යුද්දයකට මුවා වී මිනිසුන් ඝාතනය කරවීම යුද නීතිය අනුව පවා වැරදි ය. අන්තර් ජාතික නීතිය අනුව යුද අපරාධ කිරීම දඩුවමකට ලක් කළ යුතු වරදකි. යුද්දයක දී මිනිසුන් මිය යෑම තාර්කික වුවත් යුද අපරාධයන්ට ඉඩ තබා නැත්තේ ආයතනික වශයෙන් විනය ගරුකභාවය හා ආචාර ධාර්මිකභාවය රැක ගත යුතු නිසා ය.

ශ්‍රී ලංකාවේ ද යුද සමයේ අපරාධ වූ බවට චෝදනා එල්ල වුණි. විශේෂයෙන් බටහිර රටවලින් ඒ චෝදනා එල්ල වූ අතර සිදුවූවා යැයි කියන යුද අපරාධ චෝදනා මත සිංහල දකුණෙන් කිසිම දේශපාලන අභියෝගයක් රජයට එල්ල නොවුණි. ඊට හේතුව කොටි සංවිධානයේ මිලිටරිමය අභියෝගයට එරෙහිව යුදමය විසදුම ඉදිරියට ගැනීමට පක්ෂ වූයේ රාජපක්ෂවාදීන් පමණක් නොවූ නිසා ය. ඇත්ත වශයෙන්ම එදා යුද්දයට එරෙහි වූයේ මුළු ලංකාවෙන්ම දහසකට අඩු සිංහල ජනතාවක් විය හැකිය.

ඒ නිසා යුද අපරාධ චෝදනා එල්ල වන හැමවිටම එය මුළු මහත් ශ්‍රී ලංකාවටම එරෙහිව එල්ල වන අභියෝගයක් ලෙස දැකීමට සමාජය යොමු විය. දේශපාලන භේදයකින් තොරව අභියෝගය අර්ථ දක්වා ගත්තේ තමන්ගේ රටට, ජාතියට, යුද හමුදාවට එරෙහිව එල්ල වන ආක්‍රමණයක් ලෙසිනි. නමුත් යුද්දයක දී වැරදි සිදුවේ නම් ඒ වැරදි අවම වශයෙන් අභ්‍යන්තරිකව හෝ විසදා ගැනීමේ අවශ්‍යතාවක් සමාජයට නොවීය. යුද්දයට න්‍යායාත්මක සහාය දුන් හුදෙකලා බුද්ධිමය කොටස් පවා අභ්‍යන්තරික යුද අපරාධ පිරීක්සීමක අවශ්‍යතාවක් පෙන්නුම් කළ ද සමාජය එය බරපතල ලෙස තේරුම් නොගත්තේ ය. අවසානයේ ඒ සම්බන්ධයෙන් කිසිත් නොකරන ස්ථාවරයකට සමාජය තල්ලු විය.

දකුණේ සිංහල සමාජයේ ක්ෂිතිමය ආශාව වන්නේ උතුරු නැගෙනහිර දියත් වූ  යුද්ධයේ දී යුද අපරාධයන් සිදු නොවූ බව උපකල්පනය කිරීමයි. එහෙත් ඊට විසි වසරකට පමණ පෙර සිංහල දකුණේ දී දියත් වූ යුදමය වාතාවරණය යටතේ දී යුද අපරාධ සිදු වූ බව ඇසින් දුටු අයම මේ උපකල්පනය කිරීම උත්ප්‍රාසය උපදවන්නකි. එදා රජයේ හමුදා කැරළිකරුවන්ගෙන් පළියට පළිය ගත්තේ ඇහැට ඇහැක් දතට දතක් න්‍යායෙනි. කැරළිකරුවන් විසින් සිදු කළ මනුෂ්‍ය ඝාතනයන් අසල ඊට පසු දා විසි තිස් ගුණයකින් යුත් මළ සිරුරු ගෙනවිත් දැමීම ආරක්ෂක හමුදාවන්ගේ විනෝදාංශය මෙන් විය. කැරළිකරුවන් විසින් බිම් බෝම්බ අටවා ප්‍රහාර එල්ල කළ අවස්ථාවන්හි දී බිම් බෝම්බ වලින් හෑරෙන වලවල් පිරෙව්වේ මළ සිරුරු වලිනි. ඒ මළ සිරුරු කැරළිකරුවන්ගේ වෙන්නටත් පුළුවන. නොවෙන්නටත් පුළුවන. කෙසේ හෝ වේවා කැරළිකරුවන් මරා දැමීමට ආරක්ෂක හමුදාවන්ට හැකිවන්නේ සටනක දී පමණි. ආයුධ බිම තබා යටත්වීමක දී පවා සටන්කරුවන් මරා දැමීමට යුද නීතීන් අනුව ආරක්ෂක හමුදාවකට නොහැකිය.

මේ වාතාවරණය තුළ උතුරු නැගෙනහිර දී දියත් වූයේ මානුෂික යුද්දයක් යැයි කීම ප්‍රචාරක උපක්‍රමයක් පමණි. ඇත්තටම එය මානුෂික යුද්දයක් නම් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අභ්‍යන්තර වශයෙන් හෝ පරීක්ෂණයක් පවත්වා නිදොස් විය හැකිය. නමුත් යුද්දයේ පාර්ශ්වකරුවන් මෙන්ම නරඹන්නන් ද කොයි යම් අන්දමේ හෝ පරීක්ෂණයකට එකග නොවන්නේ යටි අරමුණෙනි.යුද අපරාධ සම්බන්ධයෙන් කතා බහක් එල්ල වන පළමු මොහොතේ දී ම වියරු ස්වරූපයෙන් ඊට විරුද්ධව නන්දෙඩවීම දකුණේ සමාජයේ ස්වරූපයයි. එවැන්නක් සිදු කර තමන් නිදොස්වීමට ඇති ඉඩකඩ ඔවුන් බැහැර කරන්නේ ක්ෂණිකවම ය.

යම් වරදක් සිදුව ඇත්නම් එය ආවරණය කිරීම රටටත් යුද හමුදාවටත් කීර්තිමය හානියකි. එහෙත් බොහෝ අය සිතන්නේ චෝදනාව වහං කර ගැනීමට ය. නමුත් වරදක් සිදුව ඇත්නම් විවෘත පරීක්ෂණයක් මගින් එම වැරදි නිවැරදි කර ගත හැකිය. එය රටට මෙන්ම යුද හමුදාවට ද ගෞරවය එක් කර ගැනීමකි. එසේම සිදුවී ඇති වැරදි නිවැරදි කිරීමේ දී සදාචාරමය හා ආචාර ධාර්මික කරුණු අදාළ කර ගත යුතු නැත. කළ යුතු එකම දේ වන්නේ පරීක්ෂණයක් පැවැත්වීමත් වරද හා වරදකරුවන් හදුනා ගැනීමත් ය. ඒ අර්ථයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා  අසත්‍යයක් පවසන්නේ නම් එය බරපතල නොහික්මුණුකමකි. නීතිය නොතකා හැරීමකි. එහෙත් ඔහු සත්‍යයක් පවසන්නේ නම් එහි විනය, ආචාර ධාර්මික  හා සදාචාරමය ප්‍රශ්න නොවිමසා ඒ ගැන පරීක්ෂණ පැවැත්විය යුතුය.

යුද අපරාධ චෝදනාවන්ගේ සත්‍ය අසත්‍යතාව ගැන කිසිත් නොදන්නා සිංහල දකුණ පරීක්ෂණයකට විරුද්ධ වන්නේ අභිමානය පිළිබද ගැටළුවක් හිස මත දරාගෙන යැයි හැගේ. එහෙත් එවැනි අදහසක් වින්දිතයන් තුළ ඇති කරන්නේ අමිහිරි හැගීමකි. නමුත් 1988/89 ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ කැරැල්ලේ දී ආරක්ෂක හමුදා විසින් ඝාතනයට ලක් වූ දකුණේ සිංහලයන්ගේ වින්දිතයන් උතුරට අදාළව යුද අපරාධ ගැන සංවේදී නොවේ. එසේම යුද අපරාධ ගැන බොහෝ අය කතා කරන්නේ පරමාදර්ශීව නොවේ. සමහරුන්ට එය උපයෝගීතාව පිළිබද ගැටළුවකි. සමහරුන්ට බලය අහිමිවීම හා පවතින බලය රැක ගැනීම පිළිබද ගැටළුවකි.

යුද්දය නිසා උතුරු දකුණු සමාජයන් දෙකම අසීමිත ලෙස පීඩා වින්දේය. එහෙත් යුද්දය මේ සමාජයන් දෙකෙහිම ඉල්ලීමක් නොවීය. 2005 ජනාධිපතිවරණ අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ පවා සදහන් වන්නේ වේළුපිල්ලෙයි ප්‍රභාකරන් හා මුහුණට මුහුණ සාකච්ඡා පවත්වා ප්‍රශ්නය විසදන බවය. ඒ අනුව යුද්දය කිසිවකුගේ අවශ්‍යතාවක් නොවීය.  නමුත් යුද්දය ආරම්භ විය.

යුද්දය නිසා පීඩාවට පත්වූ සමාජයට කිසිම හවුහරණයක් නොවීය. යකඩෙන් මෙන්ම රුධිරයෙන් ද හේතූන් සෙව්වේ යුද්දය සදහා ය. එසේ පීඩනයට පත් වූ සමාජයම අවසානයේ යුදමය සංස්කෘතිය අර්බූදයකට යන විට ශෝක වේ. යුද්දයෙන් කොටි සංවිධානය පරාජය කර රාජ්‍යයේ අනන්‍යතාව ස්ථිර කළ ද යුදමය ජයග්‍රහණයට අදාළව රාජ්‍ය දේශපාලනිකව ප්‍රශ්න කිරීම අවසන් නොවුණි. පසුව රාජ්‍ය සංස්කෘතිකව ද ප්‍රශ්න කෙරුණ අතර යුද ජයග්‍රහණය නිසා බලාපොරුත්තු නොවූ දෑ සිදුවෙමින් පැවතුණි.

පීඩාකාරී රාජ්‍ය අර්බූදයකට යමින් තිබීම ප්‍රගතිශීලී ය. පීඩාවට පත්වූවන් දැන් කළ යුත්තේ සොටු පෙරමින් ඇඩීම නොවේ.  පීඩාකාරීත්වය වර්ධනය කළ අධිපතිවාදී මත ගැටීමට සලස්වා අර්බූදයකට යැවීම අනිවාර්යෙන් කළ යුතුය. ඒ සදහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ක්‍රියාකාරීත්වය අගය කළ යුතු තරම් වටිනාකමකින් යුක්ත ය. ඔහුගේ සාක්ෂිය අනුව පීඩාකාරී අධිපති රාජ්‍ය අභියෝගයට ලක්වීම අනිවාර්ය කරුණකි.

මේ ලිපිය ලියමින් සිටින විට කොළඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අපූරු අදහසක් තම මුහුණු පොතට එක් කළේ ය. ඔහු පවසන්නේ සංහිදියාව නම් දෙයක් පිළිබදව අප සාකච්ඡා කරන්නේ නම් යුද අපරාධ සම්බන්ධයෙන් වූ ඉතිහාසය අමතක කළ යුතු බවය. ඒ සදහා දෙමළ සමාජයෙන් හා දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලීමක් කිරීමයි. එහෙත් ඒ සදහා සූදානමක් දකුණේ සිංහල සමාජය තුළ ද තිබිය යුතු අතර කොටි සංවිධානයේ ඝාතනයන් ද අමතක කිරීමට අපට හැකිවිය යුතුය. එහෙත් ඒ සදහා සිංහල දකුණ සූදානම් ද යන්න ගැටළුවක් බව ඔහු සදහන් කරයි.

“ඇත්ත වශයෙන්ම යුද අපරාධ චෝදනාව අද සිංහල-බෞද්ධ ජාතිකවාදී දේශපාලන බලවේගවලට ඉල්ලමක් වී ඇති බව පෙනේ. හරියට මැතිවරණ සමයේ විදුලි පුටුව සේ ම ය. අර ෆේස්බුක් හී මේජර් වරයෙක් සෑම විනාඩියකටම වරක් “යුධ අපරාධ” පිළිබදව මතක් කරමින් තමන්ගේ ඊළග මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යාම “යුධ අපරාධ” සිංහල-බෞද්ධ දේශපාලනයට කොයිතරම් අවශ්‍යද යන්න පෙන්නුම් කරයි. දෙමළ ඩයස්පෝරාව කරන්නේද මේ හා සමාන දෙයකි. ඒ පිරිස්වලටද ජාත්‍යන්තරව සිය ව්‍යාපාරය ගෙන යාමට මේ යුද අපරාධ චෝදනා කතිකාව කදිම ඉල්ලමකි.”

ආචාර්ය නිරාමාල් රංජිත් දේවසිරි වැඩිදුරටත් සදහන් කරයි.

සංහිදියාව යන්න රාජ්‍ය නොවන සංවිධානයන්ගේ විෂය කරුණක් නොවී මේ සමාජයේ කදුළු හලන ජනතාවගේ සෝ සුසුම් තේරුම් ගන්නා හදවතක් බවට පත් කර ගන්න නම් යුද්දයේ පාර්ශ්වකරුවන් අතින් සිදුවූ සියළු අපරාධ අමතක කළ යුතුය. යුද අපරාධකරුවන්ට දඩුවම්දීම අත්‍යවශ්‍ය නම් සංහිදියාව අමතක කළ යුතුය. එහෙත් යුද අපරාධකරුවන්ට දඩුවම් දීමට වඩා සමාජයට වැදගත් වන්නේ සංහිදියාව ය. ඒ නිසා කොටි සංවිධානයේ ඝාතනයන් මෙන්ම රජයේ ආරක්ෂක හමුදාවන්ගේ යුද අපරාධයන් ද අමතක කළ යුතුය. යළිත් එවැනි අපරාධ සහගත යුගයක් උදාවීම වැළැක්විය හැක්කේ එමගිනි. සිදුවූ අපරාධයන් අමතක කළ යුත්තේ වගකීම් විරහිතව නොවේ. එකිනෙකාට දඩුවම් කරමින් සමාජය බෙදීමකට ලක් නොකර දෙපාර්ශ්වයේ එකගතාව මත අපරාධයන් අමතක කළ යුත්තේ සංහිදියාව මත පදනම් වෙමිනි.

Shan.info1978@gmail.com

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    සංහිදියාව උදෙසා දෙපක්ෂයේම අපරාධ අමතක කරන්නේ නමි ඊට ගොදුරැ වූවන්ගෙන් සමාව ලබාගැනීම සහ සමාව දීමද ඉටුවිය යුතුය.

  • 0
    0

    අනිවාර්යෙන්ම

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.