20 April, 2024

Blog

ජාතික ගෙවීම් ක‍්‍රමය පිළිබඳ ප‍්‍රශ්නයක්

රුසිරිපාල තෙන්නකෝන් –

රුසිරිපාල තෙන්නකෝන්

මේ දිනවල ජාතික ගෙවීම් පද්ධතියක් හඳුන්වාදිම සම්න්ධයෙන් මාධ්‍ය මැදිහත්වීම සහිත තරමක ආන්දෝලනයක් උද්ගත වී ඇත. එම යෝජනාව ආශ‍්‍රිතව ගොඩනැගී ඇති ව්‍යාපාරික උනන්දුව ජාතික අවශ්‍යතාවය යටපත් කරගෙන නැගී සිටීමට දරණ ප‍්‍රයත්නයක් ලෙසින් පෙනීයාම මෙම මතභේදකාරී තත්ත්වයට හේතු වී ඇත. මෑතකදී විවිධ නව යෝජනා ව්‍යාපෘති හඳුන්වා දීමේදී රටතුල හටගත් ප‍්‍රශ්න ද ඒවාට​ පසුබිම් වී පැවති සැකසහිත දේශපාලන/ව්‍යාපාරික සම්බන්ධතාවයන්ද හේතුවෙන් නව යෝජනා පිළිබඳ සමාජ අවධානය යොමුවීම වැඩිවීමේ ප‍්‍රවණතාවයක් පවතී. විනිවිද භාවය සහ යහපාලනය සුරක්ෂිත කිරීමේ රජයේ ප‍්‍රකාශිත ප‍්‍රතිපත්තිමය එකඟතාවය නිසා එම තත්ත්වය වඩාත්ම වර්ධනය වී තිබේ. සමස්තයක් හැටියට සමාජ බලවේග සහ මාධ්‍ය ව්‍යාපාර විසින් කෙරෙන එබඳු මැදිහත්වීම් රටේ යහපත පිණිස ඵලදායක වී ඇත.

ජාතික ගෙවීම් පද්ධතියක් පිළිබඳ සංකල්පය අප රටට පමණක් අදාල වූවක් නොවන බව මුලින්ම අවබෝධ කරගත යුතුය. එය හුදකලාව පැවතිය හැකි හෝ අප රටට ආවේණික සුවිශේෂ ක‍්‍රියාවලියක් ලෙසින් හෝ නොසැලකිය යුතුය. නව තාක්ෂණයේ ප‍්‍රගමනය සමග ගෝලීය වශයෙන් ඇති වෙමින් පවතින තාක්ෂණික දියුණුව ලෝකයේ සෑම රටක් පුරාම ප‍්‍රචලිත වෙමින් පවතී. එම නව තාක්ෂණික වෙනස්කම් වලට මූල්‍ය ක්ෂේත‍්‍රය ප‍්‍රබල ලෙසින් භාජනය වී ඇත. ඒ යටතේ මුළු ලෝකය පුරාම ක‍්‍රියාත්මක වන අරමුදල් හුවමාරුව ඉතා සීඝ‍්‍ර දියුණු තත්ත්වයකට පත්ව ඇත. ලෝකයේ එක් කෙලවරක සිට අනෙක් කෙලවර දක්වා එක් ක්ෂණයකින් ඕනෑම මුදල් වර්ගයක් ප‍්‍රමාණාත්මක සීමාවන්ට යටත් නොවී යැවීමේ හුවමාරු හා පැවරුම් ක‍්‍රම දැනට ක‍්‍රියාත්මකව පවතී. මෙබඳු නවීනතම මුදල් සංසරණ ක‍්‍රමවේද හේතුවෙන් රටවල බැංකු පද්ධති වල මෙහෙයුම් ක‍්‍රියාකාරකම් බරපතල නවීකරණයට භාජනය වීමක් ඉබේම සිදු වේ. එබඳු වෙනස්වීම් ජාත්‍යන්තර වශයෙන් කිසියම් නියාමන විධිවිධානයකට යටත්ව ක‍්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයක්ද ඒ අනුවම උද්ගත වන නිසා අන්තර්ජාතික ගෙවීම් බේරුම්කිරීම සඳහා වූ ජාත්‍යන්තර බැංකුව නම් වූ ආයතනයක් මඟින් එම ක‍්‍රියාවලිය සඳහා අවශ්‍ය වන රෙගුලාසි හා නියාමන කොන්දේසි පද්ධතියක් හඳුන්වා දීම සිදුවී ඇත. ලෝකයේ සියලුම රටවල මූල්‍ය ක්ෂේත‍්‍ර එම නියාමන ක‍්‍රියාවලිය තුල අන්තර්බද්ධ වී පවතින නිසා ජාත්‍යන්තර වශයෙන් මූල්‍ය සංසරණ කටයුතුවල නියැලීමේ පහසුකම් තකා සෑම රටක්ම එම නව තාක්ෂණ බලපෑම් තුලින් පෝෂණය වූ ක‍්‍රියාවලියේ කොටස් කරුවන් වීම සිදු වේ.

ශ‍්‍රී ලංකාව තුල මෙම පිළිවෙත ප‍්‍රතිපත්තිමය වශයෙන් කියාත්මක වීමේ ආරම්භය 2005 අංක 28 දරණ ගෙවීමේ හා බේරුම්කිරීමේ පද්ධති පනත නම් වූ පාර්ලිමේන්තු පනතක් නීතිගත කිරීමේ අවස්ථාව දක්වා දිවයයි. මෙම පනත 2005 සැප්තැම්බර් මස 20 වන දින සිට සම්මත වී පවතී. එම පනතේ පූර්විකාව වශයෙන් සඳහන්ව ඇත්තේ ගෙවීම් නිෂ්කාශනය සහ බේරුම් කිරීමේ පද්ධති විධිමත් කිරීම සඳහාද ශ‍්‍රී ලංකා මහ බැකුවේ පොත්පත් අනුව සුරැුකුම්පත් නියාදනය සඳහා මූල්‍ය සේවා සැපයුම්කරුවන් විධිමත් කිරීම සඳහා සහ විද්‍යුත් ක‍්‍රම මගින් චෙක්පත් ඉදිරිපත් කිරීම සඳහා විධිවිධාන සැලසීම පිණිස සහ ඒ සම්බන්ධ කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පණතක් බවයි.

තවද එම පනතේ අරමුණ වශයෙන් සඳහන් වී ඇත්තේ,

අ) ගෙවීමේ, නිෂ්කාශනය කිරීමේ සහ බේරුම් කිරීමේ පද්ධති විධිමත් කිරීම අධීක්ෂණය සහ සමීක්ෂණය සඳහා විධිවිධාන සැලසීම.

ආ) ශ‍්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යන සුරැුකුම්පත් ගිණුම්වල සුරැුකුම්පත් නියාදනය සඳහා විධිවිධාන සැලසීම ; සහ

ඇ) මූල්‍ය සේවා සැපයුම් කරුවන් විදිමත් කිරීම. අධීක්ෂණය සහ සමීක්ෂනය සඳහා විධිවිධාන සැලසීම; සහ

ඈ) විද්‍යුත් ක‍්‍රමයෙන් චෙක්පත් ඉදිරිපත් කිරීම සඳහා විධිවිධාන සැලසීමත්ය.

මෙම පනතේ සඳහන් වන කාර්‍යයන් පිළිබඳ අර්ථ දැක්වීම යටතේ පහත දැක්වෙන කරුණු ඇතුලත් කර ඇත.

‘‘මුදල් සේවා’’ යන්නෙන් මුදල් සුරක්ෂිතව තබා ගැනීම, මුදල් පේ‍්‍රෂනය, චෙක්පත් සඳහා මුදල් ගෙවීම, සහ ව්‍යවහාර මුදල් හුවමාරුව ඇතුළුව මුදල් හා සම්බන්ධ සේවා අදහස් වේ.

‘‘ගෙවමේ පද්ධතිය’’ යන්නෙන් මුදලින් ගෙවීම සහ ගෙවීම් කිරීමේ ගනුදෙනු මර්ගයෙන් මුදල් වටිනාකම පැවරුම සඳහා පහසුකම් සලසන ආයතන සහ යාන්ත‍්‍රණ අදහස්වන අතර එයට ගෙවීම් බැඳීම් නිෂ්කාශනය කිරීමේ සහ බේරුම් කිරීමේ යාන්ත‍්‍රණයද ඇතුලත් වේ.

‘‘පියවීමේ පද්ධති’’ යන්නෙන් බැංකු සහ වෙනත් මූල්‍ය ආයතන විසින් ඔවුනොවුන්ගේ ගිනුම් ගලපා ගැනීමෙන් බැංකු විසින් හා වෙනත් මූල්‍ය ආයතන විසින් ගෙවීම් කිරීමට හා නිෂ්කාශණය කරන සුරැුකුම්පත් පැවරීම සඳහා වූ බැඳුම් ඉටුකිරීම සඳහා වූ යාන්ත‍්‍රණය අදහස් වේ;

ඉහතින් දක්වා ඇති පනතේ අරමුණු සහ අර්ථකථන අනුව ඉතා හොඳින් පැහැදිලි වන්නේ යෝජිත ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධතිය පිළිගත් මූල්‍යසේවා ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක විය යුතු බය. තවද පනතෙහි දක්වා ඇති නියාමන උක‍්‍රමවලට අමතරව සහ මේ පනත යටතේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බලතල වෙනත් බලතලවලට අමතරව විය යුතු බවටද වගන්ති ඇතුලත් වී ඇත. මෙයින් පැහැදිලි වන්නේ පනත යටතේ ක‍්‍රියාත්මක වන ඕනෑම කාරණයක් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියට යටත්ව සිදුවිය යුතු බවය.

අප රටේ මෙම පනත සම්මත වී වසර දෙකකට පසුව 2007 දී ඉන්දියාව මේ හා සමාන පනතක් සම්මත කර ගන්නා ලදි. කලාපයේ තවත් රටවල් කීපයක්ම මේ ආකාරයේ පනත් සම්මත කරගෙන ඇත. ජාත්‍යන්තර මෙහෙයුම් බලපෑම් යටතේ එසේ සිදුව ඇති බව මෙයින් පැහැදිලි වේ.

අප රටේ ඉතිහාසය අනුව මහ බැංකුව හරහා ක‍්‍රියාත්මක වෙමින් පැවති වානිජ බැංකු චෙක්පත් නිෂ්කාශණ ක‍්‍රියාවලිය 2000 දශකයේ මුල් භාගයේදී බාහිර ආයතනයක් හරහා සිදු කිරීම් ඇරඹින. ඒ සඳහා සී/ස ලංකා ක්ලියර් පුද්. සමාගම නමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවට 50% කොටස් හිමිකමක්ද සෙසු වාණිජ බැංකුවලට ඉතිරි 50% කොටස් හිමිකමද සහිත නව සමාගමක් ලියාපදිංචි කරන ලදි. 2005 පනතේ ප‍්‍රතිපාදනයන් අනුව විද්‍යුත් නිෂ්කාශණ ක‍්‍රියාවලියක් අරඹමින් එයද මේ සමාගම හරහා දියත් කළ අතර මේ දක්වාම එය එසේ සිදුවෙමින් පවතී. මෙයට අමතරව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය සහ නියාමනය යටතේ පවතින පොදු මුදල් හුවමාරු මධ්‍යස්ථාන යාන්ත‍්‍රණයක් හරහා අරමුදල් මාරු කිරීම් සහ ගෙවීම් ක‍්‍රමයක්ද මෙම සමාගම විසින් පවත්වාගෙන යන ලදි. පසුව හඳුන්වා දෙන ලද ශ‍්‍රී ලංකා රේගුවට විද්‍යුත් මුදල් හුවමාරු ක‍්‍රම යටතේ ගෙවීම් කිරීම සඳහා පසුකමක්ද ශ‍්‍රී ලංකා මහ බැංකු අනුමැතිය යටතේ ක‍්‍රියාත්මක කිරීමට මෙම සමාගම සැලසුම් කරමින් තිබිණ. මෙම කාරණා සියල්ලක්ම සිදුවූයේ ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් 2005 අංක 28 දරණ පනත යටතේ සැලසුම් කළ යුතු ගෙවීම් හා බේරුම් කිරීම් පද්ධතියක් හඳුන්වාදීමේ ප‍්‍රතිපාදනය යටතේය. ඒ සඳහා ජාතික ගෙවීම් කවුන්සිලය යනුවෙන් මණ්ඩලයක් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මූලිකත්වයෙන් පිහිටුවාගෙන තිබුණි. එම ගෙවීම් කවුන්සිලය අදියර කීපයකින් ජාතික ගෙවීම් පද්ධතියක් ආරම්භ කිරීම සඳහා පියවර හඳුන්වා දෙමින් තිබුණි.

මේ අතර විදුලි සංදේශන හා සංඛ්‍යක (ඩිජිටල්) යටිතල් පහසුකම් පිළිබඳ අමාත්‍යංශයට අනුබද්ධව පිහිටුවා ඇති ආයතයක් වන ICTA – (තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ඒජන්සිය​) නම් වූ ආයතනයක් ජාතික ගෙවීම් පද්ධතියක් ඇති කිරීම සඳහා යෝජනාවක් කෙටුම්පත් කිරීම ආරම්භ කොට ඒ සඳහා සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත අධීක්ෂණ කමිටුවක් පත්කල බව 2016 ජුනි මස 06 වන දාතමින් යුත් ලිපියක් මඟින් ශ‍්‍රී ලංකාව මහ බැංකුවේ අධිපතිවරයාට දන්වා ඇත. විෂයය සම්බන්ධව පසුගිය දිනවල උද්ගත වූ ආන්දෝලනය පැන නැගීමට හේතුවූයේ මෙම කාරණයෙන් පසුව හා එයට අදාලව හෙළිදරව් වූ තොරතුරු නිසා බව පැහැදිලි වී ඇත.

මෙය සැකසහිත කාරණයක් බවට පත්වූයේ පහත දැක්වෙන කාරණා හේතුවෙනි.

1. 2015 දී පවත්වන ලද ජාතික තොරතුරු තාක්ෂණ සම්මේලන වාරයේ ICTA වෙනුවෙන් ප‍්‍රකාශනයක් කරමින් ජාතික ගෙවීම් පද්ධතියක් සකස්කර ඇති බවත් එම කාර්යයට පුද්ගලික සමාගම් 13 කින් අභිමතය පලකෙරෙන යෝජනා ඉදිරිපත් වී ඇති බවත් ඒ  අතරින් ICTA ආයතනය සඳහා විද්‍යුත් ක‍්‍රියාකාරී පද්ධතියක් සකස් කිරීමට සමාගම් 3ක් තෝරාගත් බවත් නිවේදනය වීම.

2. මේ වන විට ජාතික ගෙවීම් පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතියක් ලැබී නොතිබුණි. ශ‍්‍රී ලංකා මහ බැංකුවෙන්ද ICTA විමසුම් කර නොතිබිණි. ශ‍්‍රී ලංකා මහ බැංකුව ICTA ට එබඳු ඉල්ලීමක් කර තිබ්ණේද නැත.

3. 14 දෙනෙකුගෙන් සමන්විත කොමිටියක් මගින් ජාතික ගෙවීම් පද්ධතියක් හඳුන්වාදීම සලකා බලමින් සිටින බව ICTA ආයතනය 2016 ජුනි මාසයේදී ශ‍්‍රී ලංකා මහ බැංකුවට ලිපියකින් දැනුම් දෙයි.

4. 2016 ජුලි මාසයේදී කැබිනට් මන්ඩලය ජාතික ගෙවීම් පද්ධතියක් හඳුන්වා දීම ප‍්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරයි.

5. 2016 ජුලි මාසයේදී ලියාපදිංචි කරන ලද පුද්ගලික සමාගමකට එම කාර්යය සඳහා සේවා පසුකම් ලබා දීමට තීරණය කළ බවද ICTA ආයතනය ප‍්‍රකාශ කරයි.

6. ශ‍්‍රී ලංකා මහ බැංකුව එම කමිටු වාර්තාව නොයෙකුත් හේතුන් මත පිළිගත නොහැකි බව මුදල් ඇමතිවරයාට දන්වයි.

7. මුදල් ඇමති රවී කරුණානායක සියලු බැංකු ප‍්‍රධානීන්ට ලිපියක් යවමින් ICTA ආයතනය මගින් සකස් කෙරෙන ජාතික ගෙවීම් පද්ධතිය හරහා ගනුදෙනු කරන ලෙසට දන්වයි.

මෙම තත්ත්තවය යටතේ රටේ මාධ්‍ය පද්ධතිය ක‍්‍රියාත්මක වෙමින් තෝරාගත් සමාගමේ අධ්‍යක්ෂවරුන් පිලිබඳවද, ඔවුන්ගේ ව්‍යාපාරික සබඳතා පිළිබඳවද, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ එකඟත්වයක් හෝ අනුමැතියක් ලබා නොමැති බවද, ICTA  යෝජනාව පිටුපස ප‍්‍රබල ව්‍යාපාරික අවශ්‍යතායන් ඉටුකර ගැනීමේ ප‍්‍රයත්නයක් පවතින බවද, දැනටමත් මහ බැංකුවේ සහ සෙසු වානිජ බැංකුවල අයිතිය හා අනුග‍්‍රහය යටතේ ක‍්‍රියාත්මක වන ආයතනයක් මහ බැංකු රෙගුලාසි වලට අනුකුලව ගෙවීම් සහ පියවුම් කාර්යභාරය පවත්වාගෙන යන බවද එම කාර්යය ජාතික මට්ටම දක්වා පුළුල් කිරීමේ පියවර දැනටමත් අරඹා ඇති බවද, හෙළිදරව් කිරීම අගය කළ යුතු කාරණයකි.

එම හෙළිදරව්ව තුලින් පැහැදිලි වූයේ රටේ සම්මත නීති රීති පවා අභිබවා යමින් නිර්දය ලෙසින් කීප දෙනෙකුගේ ව්‍යාපාරික වානිජ අවශ්‍යතා මුදුන්පත් කර ගැනීමට දැරූ තවත් උත්සාහයක් යටපත් කර දැමීමට මාධ්‍ය ව්‍යාපාරය දායක වූ බවයි.

ජාතික ගෙවීම් හා බේරුම් කිරීමේ පද්ධතියක් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධීක්ෂණය පරිපාලනය සහ වගකීම යටතේ ක‍්‍රියාත්මක වීම අනිවාර්ය අවශ්‍යතාවයකි. ප‍්‍රශ්නගත කූට ව්‍යාපාරික පසුබිමක් සහිත පුද්ගලයින්ගෙන් සෑදුන පුද්ගලික සමාගම් හරහා එබඳු භාරදූර ජාතික ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක විය නොහැකිය. එවැනි දෙයක් සිදුවුවහොත් අනාගතයේදී දිනයක රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු මහා මුදල් සම්භාරයක් මකර කටට ගිය බව අසන්නට ඇතැම්විට සිදුවිය හැක.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මගඩිය මුල් වරට හෙලිදරව් වූ අවස්ථාවේදී වගකිවයුත්තන් නිසි පියවර ගැනීමෙන් වැලකී සිටි නිසා පළමු වතවාටත් වඩා විශාල වංචාවක් නැවතතත් සිදුවිය. අර්ථසාධක අරමුදල පාදක කරගනිමින් ගෙනයමින් තිබූ වංචාකාරී ක‍්‍රියා දිගටම කරගෙන යාමට වංචනිකයින්ට එයින් ඉඩ සැලසුනි. එබඳු දෙයක් හෝ ඊටත් වැඩි බරපතල දෙයක් වන ජාතික ගෙවීම් පද්ධතියක් පුද්ගලික සමාගම් හරහා මහ බැංකුවේ රෙගුලාසිවල පාලනයෙන් බැහැරව සිදුවීමට ඉඩ නොදිය යුතුය යන දැඩි සථාවරයක සිටිමින් මෙම කාරණය පිළිබඳ අවශ්‍ය පරිද්දෙන් හෙළිදරව් කිරීම සියලූ පුරවැසියන් විසින් අගය කළ යුතු කාරණයකි.

ජාතික ගෙවීම් පද්ධථියක අවසාන සම්පූර්ණ අදියර වන විට රජයේ දෙපාර්තමේන්තු අතරේද පුරවැසියන් හා රජය අතරද බැංකු පද්ධතිය අතරද, විදේශ රටවල් සමගද සම්බන්ධ වූ සංකීර්ණ ගෙවීම් පියවුම් හා බේරුම් කිරීම් ජාලයක් ඇතිවන බැවින් මෙම කාරණයේ ආරම්භය ඉතා සුපරික්ෂාකාරී අන්දමින් සිදුවිය යුතුමය.

ජනතාව සහ රට වෙනුවෙන් අපට ඉදිරිපත් කිරීමට සිදුවන විකල්ප යෝජනාවක් තිබේ. නව තාක්ෂණයේ වර්ධනයේ නියම ඵල ප‍්‍රයෝජනය ක‍්‍රමවත්ව රටට ලබා දෙන වැඩ පිළිවෙලක් දෙසට රජයේ අවධානය යොමු විය යුතුය. රටපුරා වයි ෆයි වැනි යෝජනා වෙනුවට, ප‍්‍රමුඛතාවය යටතේ රටේ අමාත්‍යංශ සියල්ල එකිනෙකටත්, ජනාධිපති කාර්යාලයටත් බද්ධ කෙරෙන ඩිජිටල් තාක්ෂණ ක‍්‍රමයක් හඳුන්වා දුනහොත් වම් අත නොදන්නා පරිදි දකුණු අතින් කෙරෙන වැඩ කටයුතු නතර වීමත්, කයිවාරුවලට සීමා වූ ඇමතියන් කරන කටයුතු පිළිබඳ නියම තත්වය රටට දැන ගැනීමටත් එමගින් ඉඩ සැලසෙනු ඇත.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    බරපතල මූලය අර්බුදයකට මුහුණ දී ඇති ශී ලාංකීය රජය ජාවාරමි කාරයන් ලංකර ගෙන කරගෙන අත්පත් කරගත් විනාශයන් ගෙන් පාඩමි උගෙන ගෙන නැති බව පැහැදිලිය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.