27 July, 2017

සත්‍යය භාර ගැනීමට ශ‍්‍රී ලංකාව පස්ස ගැසීම

ටෙජ්ශ‍්‍රී තාපා –

යුද්ධය, ලේ ගොහොරුවකි. මරණය, විනාශය සහ තුවාල පමණක් නොව, නිරතුරුව පවතින අවිශ්වාසය ද ඉන් ජනිත කෙරේ. එය සුව කිරීම සඳහා, අදහස් හුවමාරුව, අවබෝධය සහ සියල්ලටමත් වඩා, වැරදි හරිගස්සා ගැනීම අවශ්‍ය කෙරේ. මේ කාර්යයේ දී ශ‍්‍රී ලංකාවේ රජය තමන්ගේ ජනතාවට මෙන්ම ජාත්‍යන්තර ප‍්‍රජාවටත් ප‍්‍රතිඥා දී ඇති මුත්, තවමත් පස්ස ගසයි.

බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග ශ‍්‍රී ලංකාව ගෙන ගිය යුද්ධයේදී ලක්ෂයක් සිවිල් ජනතාව ඝාතනය වූ බවට ගණන් බලා තිබේ. ඊටත් වැඩි ගණනක් තුවාල ලබා ඇත. උන්හිටි තැන් අහිමි කරගෙන ඇත. ඒ අස්සේ, දෙමළ සහ මුස්ලිම් සුළුතර ප‍්‍රජාවත්, රටේ බහුතර සිංහල ප‍්‍රජාවත් අතර පෑහිය නොහැකි සේ පෙනෙන විවරයක් තව තවත් පුළුල් වී තිබේ.

යුක්තිය සහ වගවීම පිළිබඳ සොයා බැලීමට ශ‍්‍රී ලංකාවේ රජය 2015 ඔක්තෝබර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ප‍්‍රතිඥා දීමෙන් අනතුරුව, එකී ප‍්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමේ අරමුණින් 2016 දී දීප ව්‍යාප්ත ජනතා අදහස් සොයා බැලීමක් දියත් කෙරුණි. එම කාර්යය, 11 දෙනෙකුගෙන් සැදුම්ලත් ‘ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායකට’ පැවරුණි. එම කණ්ඩායම තුළ, සියලු වාර්ගික, ආගමික සහ ප‍්‍රාදේශීය ජනවර්ගවල හරස්කඩක් නියෝජනය කෙරුණු අතර, එහි සභාපතිනිය ඇතුලු අඩකට ආසන්න සංඛ්‍යාවක් කාන්තාවන්ගෙන් සමන්විත වූහ.

මහජන අදහස් විමසීමේ ප‍්‍රවිචාරණ ක‍්‍රියාවලිය සංකීරණ එකක් විය. ‘ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය’ විසින් ප‍්‍රාදේශීය සිවිල් සමාජ, දේශපාලනික, ස්ත‍්‍රීවාදී, සුවසේවා සහ ආගමික නායකයන්ගෙන් යුත් ‘කලාපීය කාර්ය සාධක බලකායන්’ බඳවා ගනු ලැබූ අතර, විවිධ පළාත් සහ දිස්ත‍්‍රික්කවල මහජන අදහස් විමසීම් කරගෙන ගියේ ඔවුන් ය. මේ ‘කලාපීය කාර්ය සාධක බලකායන්හි’ ඇතැම් සාමාජිකයන් ‘හියුමන් රයිට්ස් වොච්’ වෙත අදහස් දැක්වූ පරිදි, එම ප‍්‍රවිචාරණය ආණ්ඩුවෙන් වැඩි සහායක් නොලැබ කරගෙන ගිය දුෂ්කර කාර්යයකි. විශේෂතම කාරණය වන්නේ, ආරක්ෂක අංශ කෙරෙහි නිරන්තර බියෙන් පසු වූ මිනිසුන් පවා මේ ප‍්‍රවිචාරණ ක‍්‍රියාවලිය ඉදිරියේ තම අදහස් දැක්වීමට ඉදිරිපත්ව තිබීමයි.

සිංහල මහ ජාතිය වැඩිපුර වෙසෙන දකුණේ පවා විශාල සහභාගීත්වයක් දක්නට ලැබුණු බව ‘කලාපීය කාර්ය සාධක බලකායන්’ ප‍්‍රකාශ කර සිටී. එපමණක් නොව, අදහස් පළ කිරීමේ වැඩි කැමැත්තක් නැතැයි සැළකෙන ආරක්ෂක අංශවල සාමාජිකයන් පවා ඒවා ඉදිරියේ ස්වකීය අදහස් දැක්වූ බව කියැවේ. ඊට හේතුව, ‘ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායට’ අයත් සාමාජිකයන් කෙරෙහි ඔවුන් තුළ පැවති විශ්වාසයයි. එසේම, බිය සහ දුෂ්කරතා මධ්‍යයේ පවා, ‘සංක‍්‍රාන්ති යුක්ති ක‍්‍රියාවලිය’ අවබෝධ කර ගැනීමට සහ යුක්තිය වෙනුවෙන් කටයුතු කිරීමට ඔවුන් තුළ පැවති උනන්දුවයි.

2016 අගෝස්තු මාසයේදී සිය ප‍්‍රවිචාරණ කටයුතු අවසන් කළ ‘කලාපීය කාර්ය සාධක බලකායන්’ ස්වකීය දිස්ත‍්‍රික් සහ පළාත්වල වාර්තා ප‍්‍රධාන ‘ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය’ වෙත ඉදිරිපත් කෙළේය. අනතුරුව මේ විවිධ වාර්තා සංගෘහිත කළ ‘ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය’ ඒවා තුළින් සොයාගත් කරුණු සහ නිර්දේශ තෝරා බේරාගෙන ඒ සියල්ල එක් මධ්‍යම වාර්තාවකට ගොනු කොට, 2017 ජනවාරි 3 වැනි දා ආණ්ඩුවට භාර දුන්නේය. එහි ඉතා ප‍්‍රබල නිර්දේශ ඇතුළත් වෙයි. දේශීය සහ විදේශීය විනිසුරන්ගෙන් සමන්විත, කාල නිර්ණයකින් තොර අධිකරණ බලයකින් යුත්, යුද අපරාධ අධිකරණයක් ඇති කරන මෙන් එයින් ඉල්ලා සිටී. එවැනි අධිකරණයක් සඳහා සිංහලයන්ගේ සහාය ද ලැබී තිබේ. ඒ, ඊට දශක තුනකට කලින් අතුරුදහන් කිරීම්වලට ගොදුරු වූ සහ ඒ ගැන වගවීමක් නොතිබූ ඉතිහාසයක් එම ජනතාවටත් ඇති බැවිනි. එසේම එම වාර්තාව, රට පුරා සිදුව ඇති අතුරුදහන්වීම් සොයා බලන ලෙසත්, මූල්‍යමය සහ සංකේතමය වන්දි ගෙවීම් සිදු කරන ලෙසත්, ව්‍යවස්ථාමය සහ දේශපාලනික විසඳුම් ඇති කර ගන්නා ලෙසත්, දීර්ඝ කාලයක් තිස්සේ ඇදෙමින් පවතින ඉඩම් ආරාවුල් නිරාකරණය කරන ලෙසත්, වින්දිතයන්ගේ මනෝ-සමාජ අවශ්‍යතා කෙරෙහි තත්පර වන ලෙසත් ඉල්ලා සිටී.

වාර්තාව භාර දී අඩ වසරක් ගෙවී ගොසිනි. ඒ වැදගත් කාර්ය භාරය ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවේ අවධානයෙන් දැන් ගිලිහී ගොසිනි. පිටරට සවාරි යන නිලධාරීන් ප‍්‍රවිචාරණ ක‍්‍රියාවලිය ගැන පම්පෝරි ගැසුවත්, එය මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව කෙරෙහි ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවේ කැප වීම ප‍්‍රදර්ශනය කිරීමක් වශයෙන් හුවා දැක්වුවත්, දේශීය වශයෙන් ගත් විට එම වාර්තාව මුළුමණින් නොතකා හැර තිබේ. එකී යෝජනාව පිළිබඳ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතිය සමාලෝචනය කරන විදේශීය ආණ්ඩු, ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ තවත් වාර්තාවක් මෙසේ පිළිකන්නට වීසි කොට ඇත්තේ මන්දැයි ප‍්‍රශ්න කළ යුතුය. මේ අතර, ජාතික මට්ටමේ කාර්ය සාධක බලකා සාමාජිකයන් සේම කලාපීය මට්ටමේ කාර්ය සාධක බලකා සාමාජිකයෝ ද දුෂ්කරතාවකට මුහුණදී සිටිති. මීට පෙර බොහෝ ආණ්ඩු මගින් සම්පාදනය කරන ලද පරීක්ෂණ වාර්තා කුණු කූඩයට ගොස් ඇති බව දැන සිටි නමුත්, පාලකයන්ගේ අව්‍යාජත්වය පිළිබඳ සැකසාංකා තිබියේ වී නමුත්, මේ පිරිස මේ කාර්ය සඳහා එක් වූයේ ජනාධිපති සිරිසේනගේ ආණ්ඩුව තමන්ගේ ප‍්‍රතිඥාවන්ට කැප
වෙතැයි පැවති විශ්වාසය නිසා ය. එහෙත් දැන් ඒ ගැන ඇත්තේ ද අපේක්ෂා භංගත්වයකි.

මේ ප‍්‍රවිචාරණ ක‍්‍රියාවලියේ අහ්ලාදය මෙන්ම අපේක්ෂා භංගත්වයත් ‘ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ’ එක් සාමාජිකයෙක් මෙසේ විස්තර කෙළේය: ‘‘අදහස් විචාරණයේදී, වැඩි සහයෝගයක් නොදක්වන කොටස් පවා සහයෝගය දුන්නා. ඇත්තටම මිනිසුන්ට තමන්ගේම වන අදහස් තිබුණා. ඒත් 2017 ජනවාරි වෙනකොට, මොකක්ද මේ වෙන්නේ කියලා මං හිතන්න පටන් ගත්තා.’’ කලාපීය කාර්ය සාධක බලකායන්හි සාමාජිකයන්, විශේෂයෙන් අවුරුදු ගණන් තිස්සේ පළාතේ ජනතාව සමග විශ්වාසය ගොඩනගමින් සිටි ප‍්‍රජා නායකයන්, කිසි ප‍්‍රගතියක් නොමැති කම නිසා ඇති වන ජනතා කෝපය තමන් වෙත එල්ල වන බව අවබෝධ කරගෙන තිබේ. තමන්ගේ පළාත්වල ප‍්‍රජාවන් නිතර නගන ප‍්‍රශ්න ඉදිරියේ ඔවුහූ නිරුත්තර වෙති. මෙය තවත් කඩ කළ පොරොන්දුවක් ද? මෙවර එය සිදු කොට ඇත්තේ ජනතාව විශ්වාසය තැබූ නියෝජිතයන් විසින්ම බව අනාවරණයව තිබේ. ‘‘මිනිස්සු අපිත් එක්ක ඉන්නේ හරි කේන්තියෙන්. මං එක්ක පවා තිබිච්ච ඒගොල්ලන්ගේ විශ්වාසය නැති වෙලා.’’ එක් ‘කලාපීය ප‍්‍රවිචාරණ කාර්යසාධක බලකායක’ සාමාජිකයෙක් ‘හියුමන් රයිට්ස් වොච්’ සමග කීය. ‘‘දැන් මගෙත් විශ්වාසය හිඳිලා.’’ ඔහු තවදුරටත් කීය. ප‍්‍රවිචාරණ වාර්තාවේ දැක්වෙන කරුණු ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව ප‍්‍රසිද්ධියේ පිළිගත යුතුව තිබේ. රට පුරා වෙසෙන අගතියට පත් සියලු වාර්ගික සහ ආගමික ප‍්‍රජාවන් දරණ අදහස් මිස වෙන කිසිවක් නොවන එම වාර්තාවේ නිර්දේශ, යුක්තිය පසිඳලීමේ ප‍්‍රබල යාන්ත‍්‍රණ හරහා නිසි පරිද්දෙන් කි‍්‍රයාවේ යෙදැවිය යුත්තේය.

එය හුදෙක් ජාත්‍යන්තරයට දෙන ලද ප‍්‍රතිඥා මස්තකප‍්‍රාප්ත කිරීමටම නොව, තමන්මත් විශ්වාස කරන පරිදි, සාමය යනු යුද්ධයේ නිමාවක් පමණක් නොවී, යුක්ති ධර්මය ද අන්තර්ගත කරගන්නා සාමයක් බව තමන්ගේම රටවැසියන්ට සහතික කරලීම සඳහා ආණ්ඩුව එම පියවර ගත යුතුව ඇත.

*2017 ජුලි 13 වැනි දා ‘ඩේලි එෆ්.ටී’ පුවත්පතේ පළවූ “Sri Lanka’s Difficulty with Truth” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly

No comments

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment