26 April, 2024

Blog

තවත් උණුසුම් සතියක් – මධ්‍යම අධිවේගී මාර්ගය හා තවත් කතා

රුසිරිපාල තෙන්නකෝන් –

රුසිරිපාල තෙන්නකෝන්

සතියේ වඩාත්ම සංවාදයට භාජනය වූ මාතෘකාව වූයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර, එනම් රඹුක්කන හරහා පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස සඳහා ලබා දීමට යෝජිත ටෙන්ඩරය පිළිබඳ ඇතිවී තිබෙන ජංජාලයයි. මාධ්‍ය මගින් කරන ලද හෙළිදරව් කිරීම් හේතුවෙන් ජනාධිපතිවරයා කිරිඇල්ල ඇමතිවරයා කැඳවා සමාජයෙන් ඉදිරිපත් කරන ප‍්‍රශ්න පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් පවත්න ලෙසත් අදාල ටෙන්ඩර් පටිපාටිය සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් කටයුතු කරන ලෙසටත් උපදෙස් ලබා දුන්නේ ය. පසුගිය දිනෙක පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී අමාත්‍ය කිරිඇල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වූ නමුත් ප‍්‍රශ්නයට අදාලව පැන නැඟී තිබුණු ගැටලු හා අවිනිශ්චිතකම් හෝ මතුකරන ලද අක‍්‍රමිකතාවන් ගැන පැහැදිලි පිළිතුරු මාධ්‍යයට එහිදී ලබාගත නොහැකි විය. ඇමතිවරයා කෙටි මුහුණදීමකින් පසුව එම සාකච්ඡාවෙන් ඉවත්ව යාම දැනට උද්ගත වී තිබෙන සැක සහිත තත්ත්වය තවදුරටත් ව්‍යාකූල වීමට හේතු වී ඇත.

මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් කෙරෙන ප‍්‍රසිද්ධ විවේචනවලට පාදක වූ ප‍්‍රශ්න රැුසකටම තවමත් නිශ්චිත පිළිතුරු ලැබී නැත. එමනිසා ඒවා සඳහන් කිරීම අවශ්‍ය වේ.

1. ජපාන රජයේ අනුග‍්‍රහයක් ලැබෙන බැවින් ප‍්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමක් වෙනුවට ජපාන කොන්ත්‍රාත්කරුවන්ගෙන් පමණක් ටෙන්ඩර් කැඳවීමට සිදු වූ බව ඇත්ත ද?

2. එසේනම් ජපාන රජයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා ලැබෙන අනුග‍්‍රහය කුමක්ද?

3. දැනට ව්‍යාපෘතියට අවශ්‍ය ණය මුදල වාණිජ පදනමක් මත ජපන් බැංකුවකින් ලබාගන්නා වූ එකක් නොවන්නේද?

4. එසේනම් එම ණය මුදලට අයකරන වාණිජමය පොලිය සහ ආපසු ගෙවීමේ වැඩ පිළිවෙල වෙනත් කිසිම වාණිජ බැංකුවකින් ලබාගත නොහැකි තරම් සහනදායක වූවක්ද?

5. ඒ බව තීරණය කිරීමට පෙර වැඩිදුර සොයා බැලීමක් කළාද?

6. වෙනත් කිසිම වාණිජ බැංකුවකින් මෙම අනුපාතයන්ට වඩා අඩු පොලියක් සහ ආපසු ගෙවීම් ක‍්‍රමයක් ලබාගත නොහැකි බව ඇමතිවරයාට තහවුරු කිරීමට හැකිද?

7. එවැනි විශේෂ පහසුකමක් හෝ සහනයක් නොමැති නම් ජපාන සමාගම්වලට පමණක් මෙම ටෙන්ඩර් විවෘත කිරීමට විශේෂ හේතුවක් තිබෙනවාද?

8. ශ‍්‍රී ලංකාවේ ටෙන්ඩර් පටිපාටියට ගරු කරන බවට ජපන් තානාපති විසින් එවන ලද ලිපිය හැරෙන්නට රාජතාන්ත්‍රික වශයෙන් ජපන් රටේ මැදිහත්වීමක් තිබෙන බව සනාථ කිරීමට ඇමතිවරයා සතුව වෙනත් කිසිම සාක්ෂියක් තිබෙනවාද?

9. ජපන් රජයට සමහර කාරණා සම්බන්ධයෙන් උපදෙස් දෙන උපදේශකයකුගේ ලිපියක් ජපාන රජයේ ස්ථාවරය හැටියට ඉදිරිපත් කිරීමට ඇමතිවරයා කටයුතු කරන්නේ මක් නිසාද?

10. එය සත්‍යය වසන් කිරීමක් හා ජනතාව නොමඟ හැරීමක් නොවන්නේද?”

11. රජයේ ටෙන්ඩර් අනුමත කිරීම් කොමිටිය වරක් ප‍්‍රතික්ෂේප කළ සමාගමකට නැවත වරක් ඉල්ලුම් කිරීමට අවස්ථාවක් ලබා දී තිබේද?

12. දෙවන වර ඉල්ලුම් කළවිට එය ලබා දීමට තීරණය කිරීමෙන් පසුව එම ටෙන්ඩරයේදීම ප‍්‍රතික්ෂේප වූ තවත් ටෙන්ඩර්කාර සමාගමක් සමග ඒකාබද්ධව අධිවේගී මාර්ග කොන්ත්‍රාත්තුව බෙදාගෙන හවුලේ කරගෙන යන ලෙසට ඇමතිවරයා ඉල්ලා සිටින්නේ මක් නිසාද?

13. එය රටේ ටෙන්ඩර් අනුමත කිරීමේ පටිපාටියට එකඟ නොවන ක‍්‍රියාවක් නොවන්නේද?

14. අධිවේගී මාර්ගය තැනීම පිළිබඳ ගරුතර මහානායක ස්වාමින් වහන්සේලා විසින් කරන ලද සාමාන්‍ය විමසුමක්, මහා මාර්ගය ඉක්මනින් හදා නිමකරන ලෙසට තමන්නට කෙරෙන බලපෑමක් හැටියට ඇමති කිරිඇල්ල හුවා දැක්වීමට උත්සාහ කරන්නේ මක්නිසාද?

15. අගමැතිවරයා මෙම කාරණය ගැන පැය භාගයක්ම පැහැදිලි කළා යනුවෙන් ඇමතිවරයා අදහස් කරන්නේ එයට වඩා යමක් ප‍්‍රකාශ කිරීමට තමා අකමැති බවද?

16. මාධ්‍යයේ විවේචන එල්ල වන්නේ අගමැතවරයාගේ ඊනියා පැය භාගයේ දේශනයෙන් පසුව බව ඇමති කිරිඇල්ල පිළිනොගන්නේද?

17. මේ සා විශාල මහජන මුදල් සම්භාරයක් වැය කිරීමේදී එමගින් කාගේ හෝ සාක්කුව පුරවා ගැනීමක් හෝ අනවශ්‍ය පොලියක් හෝ රටට බර පැටවෙන ගෙවීම් ක‍්‍රමයක් හෝ නැති බව තහවුරු කරගැනීමට ජනතාවට තිබෙන අයිතිය ඇමතිවරයා පිළි නොගන්නේද?

මේ සියලුම ප‍්‍රශ්න ගැටළු උද්ගත වන්නේ මහා බලාපොරොත්තු සහිතව ඒකාධිපති වියවරුවකින් කටයුතු කළ පාලනයක් වෙනස්කර ගත් ජනතාව සහ එයට දායකත්වය සැපයූ මාධ්‍ය වෙතින් බව අමතක නොකළ යුතුය. යලිත් වරක් සිදුවන්නේ පරණ කථාන්දරයම නම් ජනතාව ‘‘දන්න යකා නොදන්න එකාට වඩා හොඳයයි’’ සිතමින් ඒ දෙසට යළිත් නැඹුරුවීමට ඇතිවන ප‍්‍රවණතාවයට ඇමතිවරයා වගකිව යුතුය.

අමාත්‍ය කිරිඇල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේ සම්පූර්ණ පටිගත කිරීම​:

රන්ජන් රාමනායක නීතිය ඉදිරියට

නඩු දමන්නේ මහජනයාය. එසේ නැතහොත් කිසියම් වරදක් වෙනුවෙන් වරදකරුවන්ට එරෙහිව රජය විසින්ය. අප රටේ නීතිය අනුව එබඳු සියලූ පාර්ශවයන් නියෝජනය කිරීමට ඉදිරිපත් වන්නේ නීතිඥවරුන්ය. ඔවුන් අගතියට පත් පාර්ශවය මෙන්ම අගතියට පත්කළ පාර්ශවය වෙනුවෙන්ද ගාස්තුවක් ලබාගෙන පෙනී සිටිති. එසේ ලබා ගන්නා ගාස්තුව ඔවුන්ගේ ජීවනෝපායද වේ. නඩුවට ඉදිරිපත් වන්නන් විසින් එසේ ගෙවන ගාස්තුවෙන් නීතිඥයින් සිය අඹුදරුවන්ද පෝෂණය කරති. රන්ජන් රාමනායක විනිසුරුවරුන් පිළිබඳව කරන ලදැයි කියන කාරණයක් මුල්කරගෙන නීතිඥයින් රාමනායක මතා අධිකරණය ඉදිරියට පැමිණවීමට පියවර ගෙන ඇත. අපහාසයක් හෝ අපවාදයකට භාජනය වූ කිසිවෙක් රන්ජන් රාමනායක අධිකරණයට කැඳවීමට කටයුතු කර නැත. නීතිඥයින්ට දේශපාලකයන් හොඳින් තබා ගැනීම අවශ්‍ය වේ. එමෙන්ම සෑම විටකම නීතිඥයින් විනිසුරුවරුන්ගේද හිත දිනාගෙන කටයුතු කිරීමටද සැදී පැහැදී සිටිති. එසේ නොවුන හොත් ඔවුන්ගේ පැවැත්මට එය හානිදායකය.

කෙසේ හෝ වේවා ! සමාජය රන්ජන් රාමනායකගේ ඇතැම් මැදිහත්වීම් අගය කරන බව නම් රහසක් නොවේ. ඔහු නීතිඥ වෘත්තිය විවේචනය කිරීම අගය කරමින් ලියැවුණු ප‍්‍රසිද්ධ ලිපි වලට මාධ්‍ය හරහා ලැබෙන ප‍්‍රතිචාර අනුව ජනතාව නීතිඥයින් සම්බන්ධයෙන් කොතරම් සංවේදී ප‍්‍රතිචාරයක් දක්වන්නේද යන්න පැහැදිලි වේ. කලකට පෙර වෛද්‍යවරයා, නීතිඥයා ජනතාවගේ පරම මිතුරෙකු ලෙසට සමාජ පිළිගැනීමක් පැවතුනි. එහෙත් දැන් එය එසේමදැයි නොදනිමු. බොහෝ සේවාවන් හා වෘත්තීන් දැඩි ලෙස වාණිජකරණය වී ඇති බැවිනි.

තරම් වැදගත්කමක් නොපෙනුනත් රන්ජන් රාමනායක වැනි කීප දෙනෙක් ජගත් සමුළුවට ජනාධිපතිවරයා කැඳවාගෙන ගියේ ඇතැම් විට කිසියම් පණිවිඩයක් සමාජගත කිරීමට විය හැක.

එජාපයේ අවුල්

එජාපය නායකයෙකුගේ බසට අවනතව පැවති පක්ෂයකි. එය එසේ වූයේ එහි නායකයින් ඉතා ශක්තිමත් ලෙසින්, තමාටම ආවේණික පෞරුෂවයකින් පක්ෂයේ කටයුතු මෙහෙයවා ඇති බැවිනි. එහෙත් දැන් සිදුවෙමින් පවතින සමහර සංසිද්ධීන් වලින් පෙනී යන්නේ පක්ෂය සමාජය තුළ පවත්වා ගතයුතු ප‍්‍රතිරූපයට වඩා පෞද්ගලික සබඳතා රැුක ගැනීමේ උවමනාවක් මත පක්ෂයේ කටයුතු මෙහෙයවමින් පවතින බවකි. ජනාධිපති කොමිෂන් සභාවක් පත්කොට විභාග කළයුතු තරමේ බැංකු බැඳුම්කර මගඩිය පක්ෂයේ නායක කාරකාදීන්ගේ හිතාදරකම් වලට කලක් යටපත් කරගෙන සිටියේය. මැතිඇමති කම්වලට පත් කිරීමේදී ද එබඳුම ආකාරයේ ආකල්පයකින් කටයුතු සිදුවෙමින් පවතින බව පෙනී යයි. කිසියම් ප‍්‍රශ්නගත පසුබිමක් නිසා ඉල්ලා අස්වීමට සිදු වූ රවී කරුණානායක හිටපු ඇමතිවරයා සම්බන්ධයෙන් පක්ෂයේ පැරණිතම ජ්‍යෙෂ්ඨයෙකු වූ ජා ඇල සංවිධායක ජෝශප් මයිකල් මහතාගෙන් පසුගිය දිනෙක එල්ල වූ අභියෝගාත්මක විවේචනයෙන්ද මෙය පැහැදිලි වේ. ජෝශප් මයිකල් හිටපු ඇමතිවරයා ඉතා තදබල ලෙසින් කලකිරීමට පත්ව ඇති බව හොඳින්ම පැහැදිලි විය. සාමාන්‍ය සංවිධායකයෙකු හැටියට දැනට සිටියද ජෝශප් මයිකල් යනු එජාපයේ හොඳ ප‍්‍රතිරූපයක් ගොඩ නඟාගත් ප‍්‍රාදේශීය නායකයෙකි. සාමාන්‍ය ජනතාව අතරින් දේශපාලනයට පිවිසි ඔහු එ.ජා.ප. ය සාමාන්‍ය මිනිසුන්ටද අයත් පක්ෂයක් බව තහවුරු කිරීමේ සාධකයක් විය. ජෝශප් මයිකල් වැන්නවුන් ලබාගන්නා ඡන්ද ප‍්‍රමාණයට වඩා වැදගත් වන්නේ ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය පක්ෂ ප‍්‍රතිරූපයට බලපවත්නා ආකාරයයි. එබඳු චරිත අසතුටට පත්වීම පක්ෂයට හොඳ නැත. සමාජයේ නරක නාමයක් ලබා සිටින අය මුදල් බලයෙන් නම්මාගත් මානවකයන් කීපදෙනෙක් යොදවා ගනිමින් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් කොන් කිරීම අයහපත් ප‍්‍රතිඵල ලඟාකර වීමට හේතුවක් වනු ඇත.

යළිත් ජනතාකරණ භීතියක්

පසුගිය දිනවල සමාජ සංවාදයට නැවතත් යොමු වූ කාරණයක් වන්නේ තෝරාගත් රාජ්‍ය ආයතන කීපයක් පුද්ගලික ව්‍යාපාර බවට පත් කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනාවයි. රාජ්‍ය බැංකු, ගුවන් සේවා, බලශක්ති, වරාය වැනි අතිශයින් කේන්ද්‍රීය හා ප‍්‍රබල ස්ථාන පුද්ගලික අංශය සතු කිරීමේ වෑයමක් එම යෝජානවලට ඇතුලත්ය. අප රටේ ඉතිහාසයට එබී බැලීමේදී එ.ජා.ප. ය බලයේ සිටි සෑම වකවානුවකදීම මෙම ක‍්‍රියාදාමය හිස ඔසවමින් පැවතී ඇත. විවිධ ස්වරූපයෙන් කරලියට එන්නේ එකම පිළිවෙතක් බවද පැහැදිලිය. මෙම ආකල්පයේ අවසාන විග‍්‍රහය වන්නේ රජය කොටස් හිමි ප‍්‍රධාන ව්‍යාපාරික සමාගම වශයෙන්ද, අනිකුත් සියලු සේවා අනුබද්ධ ව්‍යාපාරික සාමගම් වශයෙන්ද ක‍්‍රියාත්මක වන රාජ්‍ය පාලනයකි. එබඳු තත්වත්වයක් තුළ ඇමතිවරුන්ට කරන්නට එතරම් දෙයක් ඉතිරි නොවනු ඇත. සේවාව යන සංකල්පයද ඉවත්ව යනු ඇත. බස්කාරයා දුවන වෙලාවට බසයට ගොඩවිය යුතුය. දුම්රියද ලාභ වැඩි වෙලාවට පමණක් දුවනවා ඇත. ජනතාව ඒ වේලාවට ගමන් යාමට තම කාල සටහන සකසා ගත යුතුව ඇත. ව්‍යාපාරිකයා සහ ව්‍යාපාරික ලෝකය ජනතාව පාලනය කරනු ඇත. මෙම යෝජනා ඉදිරිපත් කරන අය එම යෝජනා මඟින් සිය නොහැකියාවම ප‍්‍රදර්ශනය කරන බව ඔවුනට නොපෙනේ. මක් නිසාද ඔවුන් පැමිණ ඇත්තේ වැඩ කිරිමට නොවන බැවිනි.

ගුවන් සේවය, බැංකු, ජලය, විදුලිය පුද්ගලික අංශයට ලාභදායී ලෙසින් පවත්වාගෙන යාමට හැකි නම් රජයට එසේ කළ නොහැකි වන්නේ මක්නිසාද යන්න බලවත් ප‍්‍රශ්නයකි. පාලන බලය යොදාගනමින් අනිසි ක‍්‍රියා කරමින් අක‍්‍රමිකතා යට ගසමින් හා ඒවායේ ප‍්‍රතිලාභ බෙදා ගනිමින් රාජ්‍ය ආයතන විනාශය කරා යොමු කරන අකාර්යක්ෂම දේශපාලකයින් විසින්ම ඒවා විකුණා දැමීමට පිඹුරුපත් සකස් කිරීම හාස්‍යයකි. එහෙත් ජනතා ප‍්‍රතිචාරය ඔවුන් සිතා සිටින තරමට වඩා වෙනස් බව ඔවුනට පැහැදිලි වන විට ප‍්‍රමාද වී වැඩිය. ජනතාවට ඇති ප‍්‍රශ්නය වන්නේ ඔවුන් වෙනස්කර ගැනීම නොව ඔවුන් බලයේ සිටින කාලය ජනතාවගේ වටිනා කාලයක කා දැමීමක් වීමය.

මහ බැංකුවට චෝදනා

ඉල්ලා අස් වූ මුදල් ඇමතිවරයා නිර්දය ලෙසින් ශ‍්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් විවේචනය කරමින් ආර්ථික අවපාතයට හේතුව ඔවුන් බව ප‍්‍රකාශ කොට ඇත. එයට නව මහ බැංකු අධිපතිවරයා පිළිතුරු සපයා තිබේ. එහෙත් ඊටත් වඩා හොඳින් කරුණු කාරණා පැහැදිලි කිරීමට මහ බැංකු අධිපතිවරයාට කරුණු හා සාධක තිබෙන බව අපි දනිමු. එසේ වුවද අද මහ බැංකුව යටත් වී තිබෙන දෙමුහුන් දෙබිඩි පාලනය නිසා ඔහුගේ පැහැදිලි කිරීම් සීමා වී ඇති බවක් පෙනී යයි. මුදල් ඇමතිවරයාට මහ බැංකුව අයිති නැත. මහ බැංකුව අගමැතිවරයාට පැවරී ඇත. මහ බැංකු අධිපති පත් කරන්නේ ජනාධිපතිය. මෙබඳු තත්වයක් යටතේ මහ බැංකු අධිපතිවරයාට ඉතාමත් බරපතල තෙරපීම් යටතේ කටයුතු කිරීමට සිදුව ඇති බව රටම දනී. එමෙන්ම මෙබඳු අභව්‍ය විවේචන එල්ල කරන හිටපු මුදල් ඇමතිවරයා කල කී දෑ සහ දැනට කරන කියන දේද වටහා ගැනීමට තරම් ජනතාව අඥනයින් නොවන බව මහ බැංකු අධිපතිවරයාට සහයෝගයක් වශයෙන් සඳහන් කර සිටිමු.

අනේවාසික තැන්පත්කරුවන්ගේ විදේශීය මුදල් තැන්පතු සඳහා ගෙවන පොලියෙන් නව බදු අය කිරීමක් ගැනද රජය මෙයට වඩා පරිස්සම් විය යුතුය. රටේ අපනයන ආදායමට පමණක් දෙවැනි විදේශ රැුකියා මගින් ලැබෙන පේ‍්‍රෂණ ආදායමේ ඇති වැදගත්කම කිසිසේත්ම සුළු කොට තැකිය යුතු නැත. මොනතරම් මූල්‍ය අපහසුතා තිබුණද එම විදේශීය පේ‍්‍රෂණ තව තවත් දිරි ගැන්වීමට පියවර ගැනීම විනා ඒවාට සීමා තහංචි පැමිණවීම කාලෝචිත ක‍්‍රියාවක් නොවන බව සඳහන් කළ යුතුය.

මෙම පේ‍්‍රෂණ සඳහා රජයට කිසිම වියදමක් සිදු නොවේ. රටට ඉබේම ගලා එන වටිනා සම්පතකට තහංචි හා බදුබර පැටවීම කාගේ න්‍යායක්දැයි අපි නොදනිමු. සත්‍ය වශයෙන්ම සිදු විය යුත්තේ ඊට හාත්පසින්ම වෙනස් ලෙසින් විදේශ ආයෝජන, අනේවාසික තැන්පත් හා විදේශීය පේ‍්‍රෂණ තව තවත් දිරි ගැන්වීම සඳහා වැඩියෙන් සහන සැලසීමයි.

වැඩි පොලියට රජය විසින් ණය වශයෙන් වාණිජ බැංකුවලින් විදේශීය විනිමය ලබාගන්නා අතරම රටතුල පවත්වාගෙන යන විදේශීය විනිමය තැන්පත්වල පොලිය මත බදු මුදලක් පැනවීම ඉතාමත් අදූරදර්ශී තීරණයක් බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

රටේ ආර්ථිකය

පොල් ගෙඩිය බෑ දෙකක් කොට විකිණීමට සිදුවී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යා ලේඛන හා තොරතුරු අනුව රටේ නියඟයට භාජනය වී අසරණ බවට පත්වී ඇති ජනතා සංඛ්‍යාව සහ බිම් ප‍්‍රදේශය අති විශාලය. ජීවන වියදම අඩු වීම හා අඩුකිරීම සිහිනයක් බඳුය. බියර්, වයින්, සිගරට් වලට යොමුවන අවධානය, අධිවේගී මහා මාර්ගවලට යොමුව පවතින සැලකිල්ල, නව වයි ෆයි කලාප දිරිගැන්වීමේ මනාපය, ප‍්‍රමුඛතා ලැයිස්තුවක පහලට දැමීමට කාලය එළඹී ඇත. ප‍්‍රජා සහන, දිගුකාලීන ජල සැපයුම් මාර්ග, විකල්ප බලශක්ති ව්‍යාපාර රටේ ප‍්‍රම්ඛතාවයන් විය යුතුය.

මෙවර අයවැය දේශීය සම්පත්වලට වටිනාකම් වැඩි කෙරෙන ප‍්‍රතිපත්ති සංකල්ප දෙසට යොමුවිය යුත අතර, වැසී ගිය නිෂ්පාදන හා කර්මාන්ත අංශ නගා සිටුවීමේ පියවර දෙසටද විශේෂයෙන් යොමු විය යුතුය. ඒවා මෙගා පොලිස් වලට වඩා ප‍්‍රායෝගික මානව හිතවාදී පියවර වනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.