5 November, 2024

Blog

බුද්ධාගමේ අත්තිවාරම කෙලසූ ගල්කිස්සේ රංගනය

චාමර ලක්ෂාන් කුමාර –

චාමර ලක්ෂාන් කුමාර

බෞද්ධ භික්ෂුන් වහන්සේලා යනු බුද්ධ ධර්මය දැරීමත් ඒ අනුව කටයුතු කිරිමත් වෙනුවෙන් ජීවිතය කැප කළ පිරිසකි. ගිහි ජනතාවට දානය, පරිත්‍යාගය, චිරාත් කාලයක් මුළුල්ලේ හුරු කරවනු ලැබූයේ භික්ෂුව විසිනි. ඒ ශික්ෂණය තුළ ගොඩනැඟුණු හැදියාව තුළ ශ්‍රී ලාංකිකයෝ ආගන්තුක සත්කාරයට ළැදි පිරිසක් ලෙස ලොව පරසිදුව සිටියෝය. එසේ නමුත් අතරින් පතර ඊට වඩා වෙනස් ලෙස පිටස්තරයන්ට සැලකීම් සම්බන්ධව අමිහිරි කතාන්දර අසන්නට නොලැබුණා නොවේ. කෙසේ වෙතත් සම්පූර්ණ චිත්‍රය දුර්වර්ණ කිරීමට තරම් ඒවා ශක්තිමත් නොවීය.

මියන්මාරයේ රොහින්ගියා පළාතේ සිට මෙරටට සරණාගතයන් ලෙස පැමිණ සිටි කාන්තාවන් හා අතදරුවන් ඇතුළු සුළු පිරිසකට එරෙහිව ගල්කිස්සේදී රඟ දැක්වුණු අප්‍රසන්න නාටකය වසර ගණනාවක් තිස්සේ ආගන්තුක සත්කාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පවත්වාගෙන ආ හොඳ නම ක්ෂණයකින් වෙනස් කිරීමට තරම් ප්‍රබල විය. ගල්කිස්සේ නාටකයේ පිටපත කවුරුන් විසින් ලියන ලද්දක් දැයි පිටතට නොපැමිණිමුත් එය අධ්‍යක්ෂණය කරමින් එහි ප්‍රධාන චරිතය රඟපෑවේ අක්මීමන දයාරතන නමැති කලක් ජාතික හෙළ උරුමය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ භික්ෂුවය.

රෝහින්ගියා සිට සරණාගතයන් ලෙස මෙරටට පැමිණ සිටි එම පිරිස මෙරට තාවකාලිකව රඳවා තබා තිබුණේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමිසමේ තාවකාලික භාරකාරත්වය යටතේය. සියවස් ගණනාවක් මියන්මාරය තුළ වාසය කළ රෝහින්ගියා මුස්ලිම්වරුන්ට අද අත්ව ඇති ඉරණම සැබැවින්ම කනගාටුදායකය. රොහින්ගියා මුස්ලිම් තරුණයන් ආයුධ අතට ගනිමින් විශාල සංහාරයක් එහි සිදු කරමින් සිටිනමුත් මියන්මාරයේ අසල්වැසි බංග්ලාදේශය ඇතුළු රටවලට දිනකට විසිදහස බැගින් පලා යමින් සිටිනුයේ “අර්කාන්රොහින්ගියා ගලවා ගැනීමේ හමුදාවේ” ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් නොවේ. දේශ සීමා, ජාති කුල-මල ආගම් භේදයෙන් තොරව සන්නද්ධමය ක්‍රියාකාරිත්වයන් ජනිත කරනුයේ විනාශය මිස වෙනකක් නොවේ. ඇඳිවත පමණක් රැගෙන සියලු සේසත අහිමි කර ගනිමින් බංග්ලාදේශය ඇතුළු තදාසන්න රටවලට පලා යමින් සිටිනුයේ ඊට කිසිම සම්බන්ධයක් නැති අහිංසකයන්ය.

සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන් ගල්කිස්සේදී කලබල වී තිබුණේ රොහින්ගියාවරු මුස්ලිම්වරුන් වීම හා මේ සිදුවීම මුල් කරගනිමින් වත්මන් රජයට පටු ජාතිවාදී මුහුණුවරකින් යුතුව ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රචාරාත්මක හා දේශපාලන තලයේ වාසියක් ලබා ගැනීමේ අරමුණින් බව ඉතා පැහැදිලිය. නමුත් රොහින්ගියා සරණාගතයන් මෙරටට පැමිණීම ඇරැඹුණේ මීට වසර නවයකට ඉහතදී බව අනාවරණය වීමත් සමඟ ඔවුන්ගේ එම කුරුමානම වැරැදී ගියේය. ශ්‍රී ලංකාව තුන්වන ලෝකයේ අවසංවර්ධිත රටක් වුවද දේශපාලන රැකවරණ පතා මෙරටට ද අසල්වැසි රටවලින් සරණාගතයෝ පැමිණෙති. පාකිස්තානයේ බහුතර මුස්ලිම් ජනතාවගේ හිරිහැරයට පත් ක්‍රිස්තියානි පවුල් මෙන්ම අමිදි මුස්ලිම්වරුන් ද සරණාගතයන් ලෙස මීගමුව ඇතුළු වයඹ වෙරළ තීරයේ ජීවත් වන බව ප්‍රකට කාරණයකි. මෙරටට පැමිණීමෙන් පසු දේශපාලන රැකවරණ ලබනමුත් ඔවුනට රැකියාවක් කිරීමට නීතියේ අවසර නොලැබේ. දේශපාලන රැකවරණ පනත මෙරටින් යුරෝපයට සංක්‍රමණය වන්නන් හා මෙරටට සංක්‍රමණිකයන් ලෙස පැමිණෙන්නන් අතර පැහැදිලි වෙනසක් එහිදී දැකගත හැකිය.

බොදු බළ සේනාව රාවණා බලය ඇතුළු සෑම සංවිධානයක්ම නූතනත්වයට එරෙහිව ගෝත්‍රිකවාදී මානසිකත්වයෙන් හැසිරෙන මුත් හාස්‍යයකට මෙන් ඔවුන්ගේ පැවැත්ම රැඳී ඇත්තේ නූතනවාදී මෙවලම් මතය. බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ ව්‍යුත්පන්නව සමාජයෙන් ඈත්ව කටයුතු කරන ඔවුනට ජනමාධ්‍යයෙන් තොර පැවැත්මක් නොමැත. එබැවින් සිය පැවැත්ම වෙනුවෙන් තමන් නොදැවී සිටින බව පෙන්වීමට සති දෙක තුනකට වතාවක් මෙබඳු සංදර්ශන පැවැත්වීමට ඔවුහු පුරුදුව සිටිති. එවැනි සූදානමක මාධ්‍ය විසින් මයික්‍රෆෝන මේ අයට ඇල්ලීමෙන් ද කරනුයේ විශාල වරදක්මය. ඒ මොවුනගේ හැසිරීම මූලික බෞද්ධ ප්‍රතිපත්තීන් හා කිසිසේත්ම නොගැළපෙන බැවිනි.

බෞද්ධාගමේ අත්තිවාරම ලෙස සැලකෙනුයේ පරාර්ථ සේවාවයි. සැබෑ බෞද්ධයෙකු හට තමන්ගේ නිවන් සැපය පවා අනුන් වෙනුවෙන් අත්හැරීමට ශක්තියක් තිබිය යුතුය. අතීතයේදී ගිහියනට දානය, පරිත්‍යාගය හුරු කරවනු ලැබුවේ බෞද්ධ භික්ෂුව විසිනි. තම නිවෙසට පැමිණෙන කෙනෙකුට ආහාර වේලක්, තේ කෝප්පයක් පිරිනැමීම හුරු කළේ එම ආභාසයයි. බුදුදහම අවධාරණය කළ එම මාහැඟි ආදර්ශය ගල්කිස්සේදී බෞද්ධ භික්ෂූන් වහන්සේ විසින්ම ‍නොසලකා හැරීම කනගාටුවකටත් වඩා ලජ්ජාවට කාරණයකි. උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉන්දියාවේදී මාධ්‍ය අමතමින් දලයි ලාමා තුමා මියන්මාරයෙන් ඉල්ලා සිටියේ බුදුන් දෙසූ මඟ අනුව ගමන් කරන ලෙස වුවත් ගල්කිස්සේ සිදුවීමට සම්බන්ධ වූ භික්ෂුන් වහන්සේ එහිදී හැසිරුණු ආකාරය අපට සිහි ගැන්වූයේ ‘බජාර් එකේ චණ්ඩියාගේ’ රංගනයයි. භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ චර්යා රටා අතිශය සංවර හා සංවර්ධිත බවකින් යුක්ත විය යුතු අතර ආහාරපාන ගැනීම, ඇඳීම, පෙරවීම, ගමන-බිමන, කතාබහ ඇතුළු සියලු කටයුතුවලදී මහා සංවර භාවයකින් හා සිහියෙන් යුතුව එය සිදු විය යුතු බව බුදු රජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී පෙන්වා දී ඇත.

එම ශාසන සම්ප්‍රදායට මුළුමනින්ම එරෙහිව යෑමක් ගල්කිස්සේ කලහකාරී ලෙස හැසිරුණු භික්ෂූන් වහන්සේ වෙතින් පිටතට පෙනෙන්නට තිබිණි. ඒ ඇතැමු භික්ෂුන් වහන්සේට තිබුණු ගැටලුව වූයේ රොහින්ගියාවරුන්ගේ දරුවන් මෙරට පාසල්වලට යෑමය. එය මහා විකාර සහගත තර්කයකි. ශ්‍රී ලංකාව වැනි රටවල් මෙතරම් පසුගාමී වී ඇත්තේ මෙබඳු තකතීරු සිතුවිලි නිසාය. ළමයකු අධ්‍යාපනය හැදෑරීමට සුදුසු මට්ටමක සිටිනවා නම් ඒ සඳහා අයිතියක් හා හැකියාවක් ඔහුට හිමි විය යුතුය. ඉංග්‍රීසින් මෙරට පාලනය කරන සමයේ මුල් ගුරුවරුන් ගෙවල්වලට යමින් දරුවන් පාසල් කරා ඇදගෙන ඒම පිළිබඳ කතා අප එමට අසා ඇත.

සහතිකවම රොහින්ගියාවරුන්ගේ කුඩා දරුවන් තමන්ගේ මහ එවුන්ගේ ගැටලුවලට වගකිව යුතු නැත. හයහතර නොතේරෙන ඔවුහු ත්‍රස්තවාදීහු නොවෙති. කොතැනක සිටියත් දරුවන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් හිමි විය යුතුය. සැබෑ මනුෂ්‍යත්වය යනු එයයි. රොහින්ගියා සරණාගතයන්ට එරෙහිව චණ්ඩි පාට් දමන මේ බෞද්ධ භික්ෂූන් වහන්සේ පිටුපස සිටිමින් බොහෝ විට ඔවුන්ට ශක්තිය සපයන්නේ ශ්‍රී ලංකාවෙන් පිටත රැඳී සිටින විදෙස්ගත ප්‍රජාවන්ය. විදේශයන්හිදී දෙවැනි පන්තියේ පුරවැසියන් වී ඇති එම කණ්ඩායම එහි වාඩුව ගැනීමට තම “මුල” රැකගැනීම වෙනුවෙන් නිර්ලෝභිව වියපැහැදම් කිරීමට සූදානම්ව සිටිති. රාවණා බලය බොදු බළ සේනාව වැනි සංවිධාන එම සිතැඟියාවලට ගැළපෙන සේ කටයුතු කරමින් එම “කොන්ත්‍රාත්තුව” මනාව ඉටුකරමින් සිටිති.

සමස්තයක් ලෙස නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දියුණුව අඩාළ කරමින් එය අවලක්ෂණ කළ ප්‍රධානතම කාරණයක් වූයේ අන්‍ය මත නොඉවසන අන්තවාදී කණ්ඩායම්හි ක්‍රියාකාරිත්වයය. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සෑම සමාජයක්ම තුළම එම අන්තවාදය දැකගත හැකි විය. මෙම අන්තවාදයට මුහුණ දීම වෙනුවට බොහෝ විට ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන් හුරුව සිටියේ එය අබිමුව පිටකොඳු බිඳ ගත් නිවටයන් සේ හැසිරීමටය. විශේෂයෙන්ම සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී කණ්ඩායම්හි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් බොහෝ විට අනුගමනය කළේ නිද්‍රාශීලි ප්‍රතිපත්තියකි. ගල්කිස්සේ දී මෙම අපකීර්තිමත් සිදුවීම පවා සිදු වූයේ පොලීසිය බලා සිටියදීය. එලෙස ප්‍රචණ්ඩත්වය මුදා හරිමින් නිදැල්ලේ හැසිරෙන භික්ෂුන්ට එරෙහිව නීතිය වෙනම හැන්දකින් ක්‍රියාත්මක වීම පැහැදිලිවම ගැටලුවක් වනවා සේම එය රජයේ කීර්තිනාමයට ද බලවත් කැළලකි.

Latest comments

  • 0
    2

    “රජයේ කීර්තිනාමයට ද බලවත් කැළලකි.”????

    යකාගේ කීර්ති නාමේ. අනේ යනව හලෝ යන්න. බෞද්ධයන්ගේ චන්ද වලින් බලේට ඇවිල්ල රනිල් ඉස්සෙල්ලම කලේ බොරු අලි කතාවක් ගොතලා පන්සල් වල අලි හිට්යා කියලා හාමුදුරුවරු හිරේ දාපු එක. ඊළඟට සිංහල බෞද්ධ රටේ පිරිත් දැම්මට නඩු දැම්ම. මහනායක හාමුදුරුවරුන්ගේ වචන නොතකා හැරියා. පන්සල් වල පිං කැට කැඩුව. හාමුදුරුවරුන්ට ඇමතිවරු ලවා අපහාස කළා චීවරධාරියෝ කිව්වා, බිස්නස් කරනවා කිව්වා, මැරයෝ කිව්වා, සත්තු කිව්වා. එයිනේ සිංහල බෞද්ධ ගෙවල්වලට චන්දෙ ඉල්ලගෙන. හොඳට සලකයි මිනිස්සු.

    • 2
      1

      බෞද්ධ කිය කියා නමුත් ක්‍රෝධය කුහකකම ඊර්ෂ්‍යාව මානය හා වෛරය ඔඩු දුවපු මනසක් තමයි ලන්කාවේ සාමාන්‍ය ජනයාට තිබෙන්නෙ. මෙය පිටරට ජීවත්වී ලන්කවට එන යන මට නිතර හැන්ගෙන දෙයක්. මෙය ලාන්කීය සංස්කෘතියේ අන්ගයක් වෙල අදවෙනකොට. නැතිනම් අති දුප්පත් අනාත වුන මනුස්සයාගැන හිතන්න තරම් හිත උනුවීමක් ඒ පාහර චීවරදාරීන්ට නැති එක අපි ජාතියක් හැටියට ඉතාමත්ම අදුකොට ලක්විය යුතුයි. ආඅගමට වඩා ඉස්සෙල්ලාම වැඩගත් වියයුත්තේ මනුස්සකම. යුරෝපීය ජාතීන් ලන්කවෙ තමිල් සින්හල අනාතයින්ට සලකපු විදිය ගැන බලන්ක කොට අපේ රටේ බහුතරයක් බොරු බෞද්ධ කමක් පෙන්නුම් කරන ජාතිවදී තිරිසන්නු කියල කිව්වොත් නිවැරදියි.

      • 1
        3

        ඔය කතාව ගැලපෙන්නේ ශ්‍රී ලංකා සහ යුඑන්පී දේශපාලකයන්ට මිසක් සිංහල බෞද්ධයන්ටවත් මහා සංඝ රත්නයටවත් නෙමෙයි.

        මිනිස්සුන්ගේ තිබුණු මනුස්සකම, බෙදා හදා ගැනීම, අනුන් ගැන සිතීම නැති කලේ යුඑන්පී ආණ්ඩුව රටට හඳුන්වලා දීපු විවෘත ආර්ථිකය ක්‍රමය. සියලු ගුණ ධර්ම අමතක කරලා බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරලා තමන් විතරක් හැදෙන්න මිනිස්සුන්ව වෙනස් කලේ යුඑන්පී ආණ්ඩුව. දැන් මේ ආණ්ඩුව JRටත් එහා ගිහින්, මහා බැංකුව කොල්ල කාල හරි තමන් හැදෙන්න, රටේ සියලු සම්පත් විකුනලා හරි තමන්ගේ ආණ්ඩුව රැකගන්න, රට බෙදලා සිංහල ජාතිය නැති කරලා, සුළු ජාතීන්ගේ පිහිටෙන් රටේ බලය පවත්වාගෙන යන දීන, තුච්ඡ, ජාතිද්‍රෝහී, දේශද්‍රෝහී පාවා දීමක් දක්වා ඇවිල්ල තියෙනව. දැන් තියෙන්නේ ආණ්ඩුවට බණ කියන වෙලාවක් නෙමෙයි, මොන විදියකින් හරි ආණ්ඩුවේ පාවාදීම නවත්තන වෙලාවක්.

        • 0
          0

          You are so biased for some reasons. When it comes to attack UNP then OPEN economic policies are the worst. Your sodomite Wimal weerawanse became that rich thanks to OPEN economic politicies: i really dont know what and how rich you are. But please never forget, any ct being gathered illegally you will have to pay in a form of karma. You guys are the worst of this society. ඔබ කිරිමැටි ගිලින කිම්බුලෙක් වැනි පුද්ගලයෙක්. අන්ත්වාදි එවුන්ගේ නියාය ප්රතරයකට වැඩ කරන බව ඉතා පැහැදිලියි ඔබගේ තර්ක කොහේද යන්නෙ මල්ලෙ පොල් මට්ටමෙ බව අවුර්දු 10 දරුවට පවා වැටහෙනව. මහබැන්කුවේ කොල්ල කැම පටන්ගත්තෙ 2015 වේ නොව, ඊට කලින් ඉන්දල බව දැන් හෙතු ඇතිව ඔප්පු වෙල නිසා හා එහි සන්කීරන බව නිසා මෙහි ඇත්ත තත්වය ලන්ගදිම එලියට එනව. රජතුමාට අදාල එවුන්ගේ වන්දිබට්ටයන් බැන්කුවට පත කරල ඇති වුන් වටපිට ලන්ගදිම එලියට එනව. බැන්කුව තුල පැවතිය යුතු නිද්හස නීතිමය ඒකාකයක් තිබුනු නැති බව ඔප්පු කරල් මේ රජ පැමිනි පසුව. කරපු හ නටපු නැටිලි වහාගන්නට “ බැන්කු කොල්ලය“ කිය කිය දැනට විභාග කරගෙනයන දෙවල් ගැන කත කරනවට වඩ -තවම විභාගවලට භාජනය නොකරපු ඉතාබරපතල අපරාද ගැන කත කරන්නෙ නැති තිරිසන් මිනිහෙක්. විව්රුත ආර්තිකය අයුතුවටම දූශිතව පාවිච්චිකලෙ ගිය රජයේ හිටපු තක්කඩියන් බව මුලුලොවටම පැහැදිලි වුන.

          • 0
            0

            Mudianse

            වෙන තැනකත් කිව්වා වගේ අන්ධයන්ට ඉටිපන්දම් පත්තු කරලා මට පුරුද්දක් නැහැ. යමක් වටහා ගැනීමේ හැකියාව කෙනෙක්ගෙන් කෙනෙක්ට විවිධයි.

            මට ඕනේ දේශපාලන අදහසක් දරන්න මට අයිතියක් තියෙනවා. අගක් මුලක් මැදක් නැති ඔබේ මැටි දේශපාලන අදහස් මමත් අනුගමනය කරන්න ඕනේ කියලා කොහෙද නීතියක් තියෙන්නේ?

            හුඟක් පැහැදිලිවම පේන විදියට හුඟ දෙනෙකුට තියෙන අමාරුව මගේ අදහස් නෙමෙයි, මම විමල් එක්ක ඉන්න එක. විමල් දේශපාලන ජීවිතේ පටන් ගත්තේ මහින්ද එක්ක නෙමෙයි. මහින්දලා පැත්ත පලාතක හිටපු නැති කාලේ තමයි විමල් අනිකුත් දේශප්‍රේමීන් සහ හාමුදුරුවරු සහ නීතිඥවරු එක්ක එකතු වෙලා රට වෙනුවෙන් සටන් කලේ. විමල් තමන්ගේම ප්‍රතිපත්ති තියෙන, ඒ ප්‍රතිපත්ති කිසි දවසක බල ලෝභය ආත්මාර්ථකාමය වෙනුවෙන් අදටත් වෙනස් නොකරන හොඳ දේශපොලන දැක්මක් තියෙන දේශපාලන නායකයෙක්. විමල්ට ගරැහුව කියලා විමල්ට සහයෝගය දෙන මිනිස්සු විමල්ගෙන් ඈත වෙන්නේ නැහැ, එහෙම ඈත් කරන්නත් බැහැ. මොන හේතුවක් නිසාවත් මම විමල්ව අතාරින්නෙ නැහැ. 2015 පෙබරවාරි ඉඳන් අපිට රට වෙනුවෙන් අරමුණක් තියෙනව. අපි අනිවාර්යයෙන්ම ඒ අරමුණ ඉෂ්ඨ කරගන්නවා.

            2015 ට එහා කරොපුව මට කියලා හරි යන්නේ නැහැනේ. මහබැංකු මංකොල්ලය පටන් ගත්තේ 2015ට ඉස්සෙල්ල නම්, ජනාධිපති කොමිසම පත් කරන්න තිබුනේ ඒකටනේ. ගිය ආණ්ඩුව හොරකම් කළා කියලා මේ ආණ්ඩුව ඊට එහා හොරකම් කරන එකද විසඳුම? අනුන්ට හොරු කියන්න ඉස්සෙල්ල තමන් හොරු නොවී ඉන්න ඕනේ.

            රට වෙනුවෙන් කතා කරන එක අන්තවාදය නම්, රට පාවා දීමට කියන්නේ මොකක්ද?

            (p.s. I will have to disappoint you because my income now or previous has nothing to do with politics or karma. Not all people are bank robbers.)

    • 2
      1

      චම්පා ඔබ මනුස්සයෙක්ද මනුස්ස්වේශයෙන් ජීවත්වන තිරිසනෙක් කියන එක මට ප්රශනයක්,ඔබ හා මා දුටු නපුරු කමින් වියරුවී අනාතයින්ට බැන්වැදුන පින්ගුත්තරයන් රකින්නට ඔබ මෙලෙස ඉදිරිපත්වීමම ඇති ඔය කියන බෞද්ධකම පාවාදීමට. මා බෞද්ධ වී ඔබ වාගෙ උතපත්තිය ලැබුවත්, ඔබවගේ එවුන්ගේ හැදියාව මෙලෙස කියවන්නට ලැබෙනකොට හිතෙන්ව, ඔබවැනි එවුන්ගේ පිරිස ලන්කාවෙ බහුතරය නම්, ඉදිරිය හරිම දරුනු කියල.

      • 0
        2

        MsMaralathoni

        මට අන්ධයන්ට ඉටිපන්දම් පත්තු කරලා පුරුදු නැහැ. හැබැයි, තමුන් තිරිසනෙක් නිසායි මනුස්සයෙක් ලියපු දෙයක් කියවා තේරුම් ගැනීමේ හැකියාවක් නැත්තේ. මගේ comments තුනෙන් එකකවත් මම රෝහින්ග්‍යා අනාථයන්ට අදාලව කිසිම දෙයක් ලියලා නැහැ. මම පැහැදිලිව quote කරලා තියෙනවා මම comment එක ලියලා තියෙන්නේ මෙකොකට අදාලවද කියලා.

        බොරුවෙන් ජීවත් වෙලා බොරු ලියලා අනුන්ට ගරහලා පුරුදු වෙලා යමක් ඉවසීමෙන් කියවා තේරුම් ගැනීමේ ශක්තිය නැතිවෙලා ගියාට මම මක් කරන්නද?

        • 2
          1

          අද ඇති නිද්හස බලන කොට තිබුන මුගාබෙ වාගෙ රජයට වඩ දහස් ගුනයකින් උතුම් බව ප්‍රජාතන්ත්‍රවාදි හිතන කියන මිනිසුන් හා තිරිසන්න්නුට පවා පැහැදිලි නමුත් ඔබ වැනි අයට ඒබව යම්තාක්දුරටවත් නැතිවීම මුලුසමජයටම පාපයක්. පක්ශ හා පුද්ගලික දේශපලන්යෙන් ජනතවා මුදාගෙන රටේ ඉදිරිය බැලීම තමයි කලයුත්තෙ.
          මෙවැනි අයගේ සංඛ්‍යා ඉහල බවත් පේනව, රාජපක්ශෙ, විමල් වීරවන්ස වාගෙ නූගත් අය පස්සෙ යන ජනය ගැනැ අද සන්සන්දනය කරහම. රටක මොන නායකයෙකු හා පක්ශ දේශපාලනය ඔය තරම් දූශිත වුවහොත් කිසිම සාමජයක් දියුනුවට ලක්වෙන්නෙ නැහැ. එය ඉර හන්ද වාගෙ විස්වාසයි.

          • 0
            0

            කවුද දැන් පස්සේ යායුතුයි කියන උගතා? රනිල්ද? මහ බැංකුව මංකොල්ල කන හැටි, ආර්ථිකය කඩා වට්ටන හැටි, රටේ සම්පත් විකුණන් කන හැටි, ඒකීය රට බෙදලා ජාතිය විනාශ කරන හැටි, රට පාවාදෙන හැටි, ජීවිත පරිත්‍යාගයෙන් රට බේරාගත්ත හමුදාව පාවල දෙන හැටි ඉගෙන ගන්නවත් ඒවා කරන මිනිස්සුන්ට සහයෝගය දෙන්නවත් මම දේශද්‍රෝහියෙක්වත් ජාතිද්‍රෝහියෙක්වත් නෙමෙයි. සාමාන්‍ය කෙනෙක් පාවලා දෙනවට වඩා උගතෙක් රට පාවලා දෙන එක ඉතාම පිළිකුල්.

            රනිල් සාම ගිවිසුම් ගහත්දී, සුනාමියෙන් පස්සේ ප්‍රභාකරන්ට ජාත්‍යන්තරය එක්ක කෙලින්ම ගනුදෙනු කරන්න නීතිමය අයිතිය දෙත්දී, උතරු නැගෙනහිර එකතු කරලා වෙනම රටක් හදා ගන්න මූලික පදනම දාලා දෙත්දී, ඒවාට විරුද්ධව විමල් සහ තව දේශප්‍රේමී හාමුදුරුවරු තමයි සටන් කලේ රට වෙනුවෙන්. ඒ කාලේ පැත්ත පළාතේ නොහිටපු මිනිස්සු, රටට කවදාවත් ආදරය නොකළ මිනිස්සු රනිල් වගේ ද්‍රෝහීන්ට උදව් කරන එක පුදුමයක් නෙමෙයි.

            විමල් වගේ දේශප්‍රේමියෙකුට සහයෝගය නොදී රනිල් වගේ දේශද්‍රෝහියෙකුට සහයෝගය දෙන්න මම මරලතෝනි වගේ මංමුලා වෙලා කියල හිතුවද?

  • 0
    1

    Colombotelegraph.com, ඔබ කියන ආකාරයට මෙතැන බුද්ධාගමේ අත්තිවාරමක් කෙලිසී නොමැතිවන අතර එහි හරය කෙලෙසිය නොහැකිදෙයක් ද වේ. තවමත් සුපේශල ශික්ෂාකාමී භික්ෂූන් (වනාන්තරේ) සහ බුද්ධ දර්ශනය අනුව සියල්ල උපේක්ෂාවෙන් ඉවසා සිටින ගිහියන් ද සමාජයේ සිටිනාබව අමතක නොකරන්න.
    රට, ජාතිය සහ තෙවනුව ආගම මිසක, ආගම පළමුකොට තබාගෙන මෝඩයන්ව තව තවත් අන්දවන දේශපාලුවන් සහ ඔවුන්ගේ හෙන්චය්යන් සමාජයේ නිරුපද්‍රිතව වැජඹෙන තාක්කල් අප සහ අපේ රට ගොඩ ආනොහැකි අගාධයකට ඇදවැටෙමින් පවතී.
    ආගම් තමන්ගේ ජාතිය කරගත් බොහෝ ජනකොටස් ඇති රටවල් ක්‍රමයෙන් දියවී යන ආකාරය අද අපට ආදර්ශ සහිතව පැහැදිලිව දැකබලා ගතහැක.
    මේ සඳහා අපට අවශ්‍ය රටට සහ ජාතියට ආදරය ඇති ශ්‍රී ලාංකිකයන් මිස දේශපාලුවන්ගේ සහ අවස්ථාවාදීන්ගේ රූකඩයන් බවට පත්වූ බෞද්ධ, දමිළ සහ මුස්ලිම් වර්ගවාදීන් නොවේ.
    මෙතැනදී ආණ්ඩුවට සහ විධායකයට රටේ සහ ජනතාවගේ ආරක්ෂාව සහ සුභසිද්ධිය වෙනුවෙන් ගතයුතු ඉක්මන් ක්‍රියාමාර්ග බොහෝ ඇත.
    රටේ දැනට පවතින තත්වයනම් හරියට “ගුරුවරය නැති ඉස්කෝලෙ වගේය” දැනට රට අරාජික නොවුනත් එසේ වියහැකි බවට පූර්වාදර්ශ දැන් දැන් අපට දැකබලාගත හැක.
    අවසානවශයෙන් “සබ්බේ සංඛාරා අනිච්චාති” (සියල්ල වෙනස්වනසුලුය) යන්න කවුරුත් සිහිතබා ගතයුතුවේ.
    එම වෙනස සමහරවිට සියල්ලෝම එකහාසමානව සතුටු කළහැකි හෝ එකඟ වියහැකි ක්‍රමයක් ද නොවනු ඇත!!!!

    • 0
      0

      Kamal D Ranasinghe

      ඔබ කියනව; “..බුද්ධ දර්ශනය අනුව සියල්ල උපේක්ෂාවෙන් ඉවසා සිටින ගිහියන් ද සමාජයේ සිටිනාබව අමතක නොකරන්න…”

      “…රට, ජාතිය සහ තෙවනුව ආගම මිසක, ආගම පළමුකොට තබාගෙන… “

      ඔබේ කතාව විහිළුවක්. බුද්ධාගම නොතිබෙන්න අද සිංහල සමාජයක් මේ රටේ නැහැ.
      සිංහල සංස්කෘතිය, සිංහල උරුමයන්, වටිනාකම්, සිංහල සිරිත් විරිත්, ආකල්ප සමඟ සිංහල සමාජය හැදුනේ, වැඩුනේ, පෝෂණය වුනේ බුදු දහම නිසා.

      සිංහල බෞද්ධයෝ උපේක්ෂාවෙන් හිටියා නම් අද ලංකාවක් නැහැ. අතීතයේ පටන් අපේ සිංහල බෞද්ධ රජවරු තමයි දිවි හිමියෙන් මේ රට ආරක්ෂා කලේ. ද්‍රවිඩ හෝ මුස්ලිම් ජාතීන් නෙමෙයි. එහෙම නොකර උපේක්ෂාවෙන් බලා හිටියා නම් අද මේ රට චෝල රාජ්‍යයක්, ඉන්දියාවේ ප්‍රාන්තයක්. රට පරසතුරන්ට හසුවුණු වෙලාවල අපේ රජවරුන්ව කුමාරයන්ව පන්සල් වල තියාගෙන ආරක්ෂා කලේ අපේ හාමුදුරුවරු. සි හලයන්ට රට වෙනුවෙන් සටන් කරන්න ධෛර්යය, ශක්තිය දුන්නේ අපේ හාමුදුරුවරු.

      අපේ සිංහල හාමුදුරුවරු නොහිටින්න බ්‍රිතාන්‍යයන් මේ රටෙන් යන්නේ නැහැ. බ්‍රිතාන්‍යයෝ බය වුනේ කහ සිවුරට. පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි මේ රටට එන්න ඉස්සෙල්ල ලංකාවේ හිටපු හැමෝම බෞද්ධයෝ.

      ගම්වල සිංහල බෞද්ධ දෙමව්පියවරු තමන්ගේ දරුවන්ව හමුදාවට දන් දුන්නේ නැත්නම්, බෞද්ධයන් සහ හමුදාව උපේක්ෂාවෙන් බලා හිට්යා නම් සිංහල, දෙමල, මුස්ලිම් දේශපාලන නායකයන් හැම දෙනාම ඝාතනය කරලා, අද රට පාලනය කරන්නේ ප්‍රභාකරන්.

      සිංහලයන් කියන්නේ නිර්භීත රණකාමී ජාතියක්. ඉතිහාසය පුරාම අයුක්තියට එරෙහිව නැගී හිටපු ජාතියක්. සටන් කරන්න ඕනේ තැන සටන් කරනවා, කෑගහන්න ඕනේ තැන කෑගහනව, ඉවසන්න ඕනේ තැන ඉවසනවා, භාවනා කරන්න ඕනේ තැන භාවනා කරනවා.

      සිංහල රටයි, සිංහල ජාතියයි, බුද්ධාගමයි එකිනෙකින් වෙන් කරන්න බැරි එකට බැඳුනු පුරුක් 3ක්. මේ පරගැති ආණ්ඩුව ඒ විදියට වෙන් කරන්න හදන නිසා තමයි සිංහල බෞද්ධයන්ට ඊට එරෙහිව නැගී සිටින්න වුනේ.

      මහා සංඝ රත්නය සහ සිංහල බෞද්ධයෝ එදත් මේ රට ආරක්ෂා කළා, අදත් මේ රට ආරක්ෂා කරනව, හෙටත් මේ රට ආරක්ෂා කරයි. එහෙම කරන්නේ සිංහල ජාතියයි බුද්ධාගමයි ආරක්ෂා කරගන්න ඕනේ නිසා.

      රටට හෙණ ගැහැව්වත් බලා ඉන්න ආත්මාර්ථකාමී, මුදලට රට ජාතිය ආගම පාවා දෙන සිංහලයොත් ඉන්නවා. ඒ කොටස බෞද්ධයෝ කියල මම හිතන්නේ නැහැ. එහෙම කරන්නේ ආගම දහමක් නැති මිනිස්සු.

  • 1
    1

    Lakshan Kumar: You article is not a thoughtful article. You should have thought first whether the stuff you correct are correct. Right now, Sri lanka buddhists are oppressed and subjugatd. It is the christian and islamic thinking that works. Ancient Sri lanka showed hospitality to every foreigner. They were buddhists and were sinhala. So why do you blame the country without thinking about the reality. those days they showed hospitality and but not now. As you say, Akmeemana Daya rathne cn be a rogue who wants to come to power again. That may be a setup too because, during the TRUMP’s (Republican) political rallies, Democrats (Hilary Clinton) side use to create troubles inside the rally to show that People of TRUMP are violent, low class people. The important thing is there the class struggle is between those who-have and not- have. Wth respect to BANGALI-Speaking Bangladeshi migrents in Burma. What you have written is all lies. Balgladesh sperates only from the Iraweddi river and during the dry season, people can across the river to the Myammar. In other times, they use a home made rafts. Thise muslims are not violent. It is the Saudi arabia trained Pakistanis who kill Muslims, Hindus as well as set fire to police stations and fire at Army. Read this article. Please be HOnest and informed.https://www.globalresearch.ca/who-is-responsible-for-ethnic-cleansing-in-myanmar/5611486

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.