19 March, 2025

Blog

බැඳුම්කර මගඩියේ නවතම හෙළිදරව්වීම් !

රුසිරිපාල තෙන්නකෝන් –

රුසිරිපාල තෙන්නකෝන්

ජනාධිපති කොමිෂන් සභා පරීක්ෂණයකට භාජනය වී පවතින ශ‍්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර මගඩිය පිළිබඳ සිද්ධියේ නවතම තොරතුරු රැුසක්ම දිග හැරෙමින් පවතී. මෙතෙක් කිසිවෙකුගේ නිසි අවධානයට යොමු නොවුන හා ප‍්‍රයෝගකාරී ලෙසින් යටපත් කිරීමට ගොදුරු වූ කරණා කොමිසම හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පරීක්ෂණය මෙහෙයවන නීතිඥයින්ගේ තීක්ෂණ හා දැඩි උනන්දුවකින් මැදිහත්වීමේ ආකල්පය හේතුවෙන් ඉස්මතුවීමට පටන්ගෙන ඇත. සේවක අර්ථසාධක අරමුදල උපයෝගී කර ගනිමින් වංචනික ලෙසින් විශාල මුදල් උපයා ගැනීම් පිළිබඳවත්, දේශපාලන බලධාරීන්ට විවිධ ආකාරයේ අල්ලස් හා නීති විරෝධී තුටු පඬුරු ප‍්‍රදානය කිරීම් පිළිබඳවත් මේ වන විට සාක්ෂි ඉදිරිපත්ව තිබේ.

විගණකාධිපතිවරයා ද්විතීය වෙළඳපොලේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව ශ‍්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින තොරතුරු ලබා ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදී කිසියම් පෞද්ගලික බලපෑම් සහ බල පුළුවන්කම් යටතේ ක‍්‍රියාත්මක වූ සමහර නිලධාරීන් විවිධ හේතු කාරණා දක්වමින් එම තොරතුරු ලබා දීම මඟහැරී ආකාරය අපට මතක ඇත. මෙම තත්ත්වය පිළිබඳව විගණකාධිපතිවරයා දෙවන COPE කමිටුවට පැමිණිලිකල බවද වාර්තා වී ඇත. අවසානයේදී නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරමින් අවශ්‍ය තොරතුරු ලබා දීම මඟ හැරීමට සහ ප‍්‍රමාද කිරීමට ඔවුන් කටයුතු කළ ආකාරය ද ඉතිහාසයට එක්ව ඇත.

මුදල් අමාත්‍ය රවී කරුණානායකට පදිංචිය සඳහා අධි සුඛෝපභෝගී තට්ටු නිවාසයක් ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මහින්දානන්ද අළුත්ගමගේ මන්ත‍්‍රීවරයා ලිපි ලේඛන පවා ඉදිරිපත් කළ අවස්ථාවේදී එය අගමැතිවරයා ඇතුළු රජයේ එ.ජා.ප. කණ්ඩායමේ මැදිහත්වීමෙන් යටපත් කළ ආකාරයත් එසේම වාර්තාගත වී පවතී. එසේ වුවද ජනාධිපති කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්ෂියක් මඟින් එම තට්ටු නිවාසය මුලින් බදුකරයක් යටතේ ලබා දීමටත් පසුව මුදලට විකිණීමටත් කටයුතු කළ එහි අයිතිකරුගේ ප‍්‍රකාශය නිසා මුළු රටේම ප‍්‍රබල ආන්දෝලනයක් හටගෙන ඇත. එම සාක්ෂිකාරිය ගණුදෙනු දෙකම සම්බන්ධයෙන් සවිස්තර ලෙස තොරතුරු හා ලිපිලේඛන ලබාදී ඇති බැවින් තවදුරටත් එම ගනුදෙනුව සම්බන්ධයෙන් පරික්ෂාකර කරුණු නිරාකරණය කර ගැනීමට විනිශ්චය මණ්ඩලයට සිදුවී තිබේ.

මේ සඳහා රවී කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයාට කොමිසමෙන් නොතීසි නිකුත්කර ඇතත් මේ වන විට දෙවතාවක්ම ඔහු ඉදිරිපත් වීමෙන් වැලකී ඇත. ඒ සඳහා සිය නීතිඥයින් මගින් කොමිසමට කරුණු දැක්වීමක් කර ඇති නමුත් ඉතා පැහැදිලිව පෙනී ගොස් තිබෙන කාරණයක් වී තිබෙන්නේ ඔහුගේ සාක්ෂි විභාග කිරීමට කොමිෂන් සභාවේ විනිශ්චයකාරවරුන් දක්වන තරමේ උනන්දුවක් රවී කරුණානායක විසින් නොදක්වන බවයි. අවසාන වශයෙන් රවී කරුණානායක සාක්ෂි දීම සඳහා සහභාගී විය යුතුව තිබුනේ 26 වන දිනදීය. නමුත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරයා කොමිසමට දන්වා සිටියේ එදිනට ආරක්ෂක මණ්ඩල රැුස්වීමකට සහභාගී වීමට සිදුව ඇති බැවින් තම සේවා දායකයාට පැමිණිය නොහැකි බවයි. ඊළඟ දින දෙකේදී පාර්ලිමේන්තු සභාවාරයන්ට සහභාගී වීමට තිබෙන බැවින් පැමිණිය නොහැකි බවද, ඊලඟ සඳුදා දිනය වූ ජූලි 31 වන දා තම සේවා දායකයා මාලදිවයිනට යන බැවින් අගෝස්තු 2 වන දිනට ප‍්‍රථම සාක්ෂි විභාගය සඳහා සහභාගී විය නොහැකි බව දන්වා සිටියේය. මෙම කරුණු ඉතාමත් සාවදානව සලකා බැලූ ජනාධිපති කොමිසමේ විනිසුරු මණ්ඩලය තම පරීක්ෂණයේ සාක්ෂි විභාගය ඉක්මනින් අවසන් කිරීමේ අවශ්‍යතාවයත් රවී කරුණානාරයකගේ සාක්ෂි ලාබ ගැනීමේ වැදගත්කමත් අවධාරණය කරමින් සෙනසුරාදා දිනයක වූවත් ඒ සඳහා අවස්ථාව සලස්වා දීමට සූදානම් බව දන්වා සිටින ලදි. එහෙත් රවී කරුණානායකගේ නීතිඥවරයාට සෙනසුරාදා දිනයක විභාගයකට ඔහුට පෙනී සිටීමට ඇති හැකියාව පිළිබඳ උපදෙස් ලැබී නැති බව පවසමින් අගෝස්තු 2 වන දිනට ඔහුගේ සාක්ෂිය ලබා දීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

මෑතකදී මේ රටේ සිදු වූ මහා පරිමාණ වංචාවක් ලෙසින් ප‍්‍රසිද්ධ විභාගයක් රජයේ අවශ්‍යතාවය මත පවත්වාගෙන යමින් තිබෙන අවස්ථාවකදී එම රජයේම වගකිව යුතු අමාත්‍යවරයෙක් මෙම කොමිෂන් සභාව ඉදිරියට පැමිණීම සම්බන්ධයෙන් ප‍්‍රදර්ශනය කරන ආකල්පය කොතරම් පුදුම සහගතද? තම රජයේ පරීක්ෂණයක් සඳහා අන් සියලුම කටයුතු දෙවැනිව සලකමින් ස්වේච්ඡා දායකත්වයක් ලබා දීම වෙනුවට පරීක්ෂණය අවසන් කිරීමේ වැදගත් කම පවා නොසලකා හරිමින් සාක්ෂි දීමට නොපැමිණිම ජනතාවගේ පැත්තෙන් බලන විට අගය කළ නොහැකි පියවරකි. සිද්ධියේ පසුබිම සහ එයට රවී කරුණානායක මහතා අවස්ථා ගණනාවකදීම සම්බන්ධ වී ඇති ආකාරයද අනුව ඔහුගේ මෙම ප‍්‍රතික‍්‍රියාව දෙස සැකසහිතව බැලීම ගැන ජනතාවට දොස් පැවරිය නොහැක. බැඳුම්කර අර්බුදය ආරම්භ වූ අවධියේ සිටම මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ ප‍්‍රබල සහ ආන්දෝලාත්මක මැදිහත්වීම් සලකා බැලීමේදී ඉදිරිපත් වී ඇති ප‍්‍රශ්නගත සාක්ෂිය සහ තොරතුරු තවදුරටත් තහවුරු කර ගැනීමේ වැදගත්කම පැහැදිලි වන්නේය.

1. ප‍්‍රථම ප‍්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සිදුවූයේ 2015 පෙබරවාරි 27 වන දින දීය.

2. රුපියල් බිලියන 1 ක් වටිනා බැඳුම්කර නිකුතුවක් සඳහා 2015.02.25 දිනය යටතේ දැන්වීම් පලකර තිබීම.

3. 2015.02.26 වන දින ශ‍්‍රී ලංකා මහ බැංකු පරිශ‍්‍රයේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක, එ.ජා.ප. සභාපති මලික් සමරවික‍්‍රම, මහාමාර්ග අමාත්‍ය සහ එ.ජා.ප. මහලේකම් කබීර් හෂීම් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ වෙනත් අමාත්‍යංශ නිලධාරීන් කීප දෙනෙක් සහභාගී වූ රැුස්වීමක් පවත්වා මහා මාර්ග කොන්ත‍්‍රාත්කරුවන්ට ගෙවීම සඳහා මාසික රාජ්‍ය මුල්‍ය අවශ්‍යතාවය ඉක්මවන රුපියල් බිලියන 15 ක් අවශ්‍ය වී ඇති බව තීරණය කිරීම.

4. පළමු බැඳුම්කර සිද්ධියේ අර්බුදය සම්බන්ධයෙන් අගමැතිවරයා 2015 මාර්තු 17 වන දින පාර්ලිමේන්තුවට ප‍්‍රකාශයක් කළ අවස්ථාවේදී එවකට විපක්ෂ නායක වශයෙන් සිටි නිමල් සිරිපාල ද සිල්වා මන්ත‍්‍රීවරයා අගමැතිවරයාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බව කථානායකවරයාට දන්වා සිටී. එවිට රවී කරුණානායක ඇමතිවරයා තදබල ලෙස එම ඉල්ලීමට විරෝධය පල කිරීම.

5. දෙවන COPE වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇති වූ විවාදයේදී රජය වෙනුවෙන් ඉතාමත් දැඩි හා ප‍්‍රබල ප‍්‍රකාශයක් කරමින් කිසිම වංචනික කටයුත්තක් සිදුවී නැති බව තහවුරු කිරීමට රවී කරුණානායක ඇමතිවරයා කටයුතු කිරීම.
මෙම කාරණය සම්බන්ධයෙන් ජනමාධ්‍ය හරහා ඇති වූ සංවාද හා සාකච්ඡා වලදී කිසිම ආකාරයක පාඩුවක් සිදුවී නැති බවට රවී කරුණානායක මහතා දිගින් දිගටම කරුණු ඉදිරිපත් කිරීම.

6. විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ මතය හා කරුණු සම්බන්ධයෙන් ප‍්‍රබල ලෙසින් විවේචනාත්මක වූ ප‍්‍රකාශ කීපක්ම රවී කරුණානායක අමාත්‍යවරයා විසින් කිරීම සහ විගණකාධිපතිවරයාගෙන් වාර්තාවේ කරුණු අභියෝගයට ලක්කිරීම.

7. කොමිෂන් සභාවේ කටයුතු සිදුවෙමින් පවතින අතරතුරදී කලින් මුදල් අමාත්‍ය වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් වී ඇති ගැසට් පත‍්‍රයක් පෙන්වමින් විශාල අවුල් සහගත තත්ත්වයක් මවා පෙන්වීමට කටයුතු කිරීම.

8. තවද අතිරේක මුදල් අවශ්‍යතාවයක් උද්ගත වූ බව සනාථ කිරීමටත්, එම අවශ්‍යතාවයට නිල තත්ත්වයක් ආරූඪ කිරීමටත් මුදල් ඇමති හැටියට රවී කරුණානායක විසින් ලිපියක් යවා තිබුණ බව ඔප්පු කිරීමට පියවර ගැනීමත්ල පසුව එය ඉතාම සැකසහිත ලිපියක් ලෙසින් සැලකීමට සිදුවීමත්ල එය ඊට කලින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අදාල නිලධාරීන් විසින් දැන නොතිබූ බවත් කොමිසම ඉදිරියේ විභාග වූ සාක්ෂිවලින් ඔප්පු විය.

9. පළමු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් ප‍්‍රාථමික වෙළෙඳුන් අතර උද්ගත වූ ව්‍යාකුල තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ පවත්වන ලද රැුස්වීමකට රවී කරුණානායක සහභාගී වෙමින් ප‍්‍රාථමික වෙළඳුන්ට තර්ජනාමත්වක බැණ වැදීම.

10. රුපියලේ වටිනාකම අස්ථාවර තත්ත්වයකින් පවතින්නේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගේ කඩාකප්පල්කාරී ක‍්‍රියා නිසා බවට ප‍්‍රකාශ කරමින් ඔවුන්ගේ නම් හෙලිදරව් කරන බවට අභියෝග කිරීම.

11. රවී කරුණානායක අමාත්‍යවරයා ශ‍්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ට අවමාන සිදුවන ආකාරයට විවේචන හා ප‍්‍රකාශ කිරීම පිළිබඳ පුවත් හා මාධ්‍ය වාර්තා පළවීම.

ඉහතින් දක්වා ඇති ආකාරයේ අසාමාන්‍ය මැදිහත්වීම්, බියවැද්දීම්, තර්ජන කිරීම් පිළිබඳ තොරතුරු හා විස්තර අවස්ථා ගණනාවකදීම ප‍්‍රසිද්ධියට පත්වෙමින් බැඳුම්කර ගනුදෙනුවේදී රවී කරුණානායක ඇමතිවරයාගේ නම සඳහන් වීමත්, ඒ අතර ඔහුට නිවසක් ලබා දීම සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත්වීමත් ජනතාව තුල මහත් සැක උපදවන තත්ත්වයක් ඇතිකළ බව වසන් කළ නොහැකි සත්‍යයකි.

බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන පර්පචුවල් ටෙ‍්‍රසරීස් සමාගමට සම්බන්ධ හා අනුබද්ධ වෙනත් සමාගම් වලට විශේෂ බදු සහන අනුග‍්‍රහයන් ලබා දීම සහ තවත් එක් සමාගමකට නැගෙනහිර ප‍්‍රදේශයේ අරක්කු නිශ්පාදනාගාරයක් සඳහා බලපත‍්‍රයක් ලබාදීම යන කාරණා පිළිබඳවද ජන සමාජය තුල විවිධාකාර තොරතුරු සංසරණය වෙමින් තිබේ.

මේ සියලූම කරුණු සහිත පසුබිමක් තුල ප‍්‍රශ්නගත චූදිත සමාගම රවී කරුණානායක ඇමතිවරයාගේ පවුලේ පදිංචිය සඳහා අති සුඛෝපභෝගී තට්ටු නිවාසයක් විශාල මුදලක් ගෙවා ලබාදීම සම්බන්ධයෙන් කොමිසම ඉදිරියේ දිගහැරුන සාක්ෂිය මුළු රටම මහත් ආන්දෝලනයකට පත් කළ පුවතක් වීම ගැන පුදුමයට පත්වීමට හේතුවක් නැත.

සත්‍යය හෙළිදරව් වනතෙක් මුළු රටම බලා සිටී.

Latest comment

  • 0
    0

    රටේ වගකීමක් දරන ඔබතුමාගේ මතක ශක්තිය හීන වෙමින් යන බව පෙනෙනවා , විශ්රාම ගැනීමට කාලය ඇවිල්ලා ? ඔබලා බලයට ගෙනා අපි හදවතින් වැළපෙමු

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.