20 April, 2024

Blog

දූෂිතයන් තුරන් වේද?

රුසිරිපාල තෙන්නකෝන් –

රුසිරිපාල තෙන්නකෝන්

මේ දිනවල එක පිට එක හෙළිදරව් වෙමින් පවතින සුවිශේෂ කරුණු කාරණා දෙස විමසිලිමත් ඇසකින් බලන විට පෙනී යන පැහැදිලි දෙයක් ඇත. සෑම පැත්තකම සිටින සොරුන් තක්කඩියන් හා දූෂිතයන්ද, එබඳු අයට නතුවී යටවී ආත්මය පාවා දුන්න අයද සමාජ තලයෙන් ක‍්‍රමයෙන් ඉවතට විසිවී යාමේ ප‍්‍රවණතාවයක් ඇතිවී තිබෙන බවය. එය යහපත් දිසාවකට සමාජය තල්ලු වීමේ ආරම්භයක් වන අතරම වෙස් වලාගත් දූෂිතයන්ගේ අවසානය පටන් ගැන්මක් ලෙසින්ද සැලකිය හැක.

ක‍්‍රියාත්මකව පවතින අදිසි බලවේග එකවරම දෙආකාරයකින් යහපත් දිසාවකට සමාජය විසින් යොමු කරමින් සිටී. ජනතා පැතුම ලෙසින් අනිවාර්යෙන්ම සිදුවිය යුතු පැරණි පාලනයේ දූෂිතයන් එක එකා දණ්ඩනයට භාජනය වෙන අතරම වත්මන් පාලනය තුළ හොල්මන් කරන දූෂිතයන්ද මනා ලෙස හෙළිදරව් වෙමින් පවතී. මෙය අනිවාර්යෙන්ම සමාන්තරව සිදුවිය යුතු ක‍්‍රියාදාමයකි. පැරණි දූෂිතයන් ඉවත්කරන්නේ තවත් දූෂිත පැලැන්තියක් බිහි කිරීම සඳහා නම් එයින් පලක් නොවන්නේ ය. දෙකම එකවර සිදුවුවහොත් හොඳ නව සමාජ ඉදිරි ගමනක් සඳහා පෙළගැසීමට ජනතාවට හැකිවනු ඇත. එනිසා මෙම ක‍්‍රියාදාමය ඉදිරියටම නිරුපද්‍රිතව ගෙනයාම සමාජ සුබ​සිද්ධිය සඳහාම වනු ඇත. ඇතැම් විට මෙබඳු තත්ත්වයක් යටතේ අහිතකර දිසාවකට යොමු වීමක්ද සිදුවීමට හොඳටම ඉඩ තිබේ. එනම් පරණ දූෂිතයන්, වත්මන් දූෂිතයන්ද සමග සම්මුතියකට පැමිණීමේ ඉඩ කඩයි. දැනටමත් වත්මන් දූෂිතයන්ගේ පිළිසරණින් රැුකවල් ලබන පැරණි දූෂිතයන් සිටින නිසා මෙම ප‍්‍රවණතාවයට හොඳටම ඉඩක් තිබෙන බව අමතක නොකළ යුතුය. කෙසේ වුවද එම තත්ත්වයට හිස එසවීමට නොහැකි ලෙසින් නව සමාජ බලවේග ක‍්‍රියාකාරීත්වයක් තිබෙන බැවින්ද රටේ විධායකය යහපත් සමාජ පරිවර්තනයක් දෙසට අවංකවම යොමුවී සිටින බැවින්ද එබඳු අභාග්‍ය සම්පන්න සිදුවීමකට ඉඩක් නොලැබෙනු ඇත.

ඡන්ද ව්‍යාපාරය සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් සිල් රෙදි බෙදූ නිලධාරීන් නීතියේ රැුහැණට කොටුවී ඇත. අයුතු ලෙස ධනය උපයමින් ජනතාවට අගතියක්ම සිදුකළ දේශපාලකයින්ද ඔවුන්ගේ පවුල්වල අයද ක‍්‍රමයෙන් කොටු වෙමින් සිටිති. බලය අයුතු ලෙස යොදා ගනිමින් ජනතාවගේ ඇස්වලට වැලි ගැසුවන්ද, රාජ්‍ය බලය උපයෝගී කර ගනිමින් පුද්ගලික ජීවිතයේ එදිරිවාදී කම් පිරිමසා ගැනීමට පවා මිනීමරුම් වැනි අපරාධ කළවුන්ද, රහස් තොරතුරු හෙළිදරව් කළ මාධ්‍ය ව්‍යාපාරය ඝාතණ ව්‍යාපාරයක් මගින් තෙරපාගෙන සිටිය වුන්ද, මහජන මුදල් විවිධ උප්පරවැට්ටි හරහා සිය පුද්ගලික දේපොල වර්ධනය සඳහා යොදා ගත්තවුන්ද ක‍්‍රමයෙන් නීතියේ ග‍්‍රහණයට අසුවෙමින් සිටිති. විදෙස් රටවල සුළු රැුකියා වල නිරත වෙමින් පණනල ගැටගසා ගනිමින් සිට පවුල් බලය නිසා දේශපාලන ලෝකයට ප‍්‍රවිශ්ඨ වී ඉක්මනින් ප‍්‍රකෝටි පතියන් බවට පත්වූවන්ද මේ ලැයිස්තුවේ සිටිති. ක‍්‍රමයෙන් මේ සියලූ දෙනාම දණ්ඩනයට භාජනය විය යුතුය.

මේ අතර යහපාලන යුගයේ ආරම්භයේ සිටම දියත් කළ විවිධ වංචාකාරී ව්‍යාපාර පිළිබඳ තොරතුරු සමාජය ඉදිරියේ දිග හැරෙමින් පවතී. ඉතා විචක්ෂණශීලී බවකින් තොරතුරු හෙළිදරව් කරමින් සහ විමර්ශන කටයුතු කරමින් සිටින මාධ්‍ය ව්‍යාපාරයත්, සිවිල් සමාජ සංවිධානත්, මෙම කාරණයේදී අගය කළ යුතු මෙහෙවරක නිරතව සිටී. එමනිසා ඇතැම් අවස්ථාවලදී රාජ්‍ය බලය සහ දේශපාලන සවිය පාවිච්චි කරමින් සත්‍යය යටපත් කිරීමටත් වැරදි තොරතුරු මගින් ජනතාව නොමඟ යැවීමටත් පරික්ෂණ හා විමර්ෂණ ක‍්‍රියාමාර්ගවලට අනිසි බලපෑම් කිරීමටත්, සමහර දේශපාලකයින් පියවර ගන්නා බවත් පෙනී යයි. එහෙත් ජනතාව ඉතාමත් සංවේදී ලෙසින් මෙබඳු කාරණා සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බැවින් එබඳු උප්පරවැට්ටි සාර්ථක කර ගැනීමට ඔහුනට නොහැකි වනු ඇත.

වත්මන් රජයේ ඇතැම් බලධාරීන්ගේ අනුග‍්‍රහය පැරණි පාලන යුගයේ දූෂිත ක‍්‍රියාවල නිරත වූ බවට හඳුනාගත් පුද්ගලයින්ට ලබා දී ඇති බව හෙළිදරව් වී ඇත. ඉතා මෑතකදී දැනගන්නට ලැබුන කෝට්ටේ ප‍්‍රදේශයේ වටිනා ඉඩමක් අයථා ලෙසින් පරිහරණයට ගැනීම පිළිබඳ චෝදනාව පිටුපස මේ ආකාරයේ අපූර්ව සම්බන්ධතාවයක් තිබුණ බව හෙළි වී ඇත. මහින්ද රාජපක්ෂ පාලන සමයේ වංක මුදල් ගණුදෙනුවලට සම්බන්ධ බවට තොරතුරු හෙළිදරව් වී තිබුණ පුද්ගලයෙක් වත්මන් රජයේ ප‍්‍රබල අමාත්‍යවරයෙකු සමග මෙම ඉඩම් ගණුදෙනුව සිදුකළ බවට තොරතුරු හෙලිවී තිබේ. මහජනතාව වෙත සපයනු ලබන විවිධ සේවා මගින් විශාල මුදල් ඉපැයෙන අවස්ථා පාදක කර ගනිමින් කූට අරමුණින් ව්‍යාපාර ලෝකයට අයුතු වාසි උදාකර දීමට පියවර ගත් අවස්ථාවන් ද මෑතකදී අනාවරණය විය. නව තාක්ෂණය මුල් කරගෙන බොහෝ දෙනෙක් නොදන්නා ක්ෂේත‍්‍ර දඩමීමා කර ගනිමින් ජනතාව වෙතින් උපයා ගන්නා රාජ්‍ය ආදායම පුද්ගලික සමාගම් වලට පැවරීම ඉලක්ක කරගත් එබඳු කූට වෑයම් මාධ්‍ය හෙළිදරව් කිරීම් මගින් නවතා දැමීමට හැකි වී ඇත.
රජයේ හොඳම මොළකාරයන් හවුල් වී, කාලයක් පසුගිය රජය සමයේදී කරගෙන ගොස් තිබෙන ඇතැම් අක‍්‍රමික කි‍්‍රයා කලාපයන්හි පූර්වාදර්ශය යටතේ, කල්වේලා ඇතිව සැලසුම් කොට නිර්දය ලෙසින් අණ පනත් පිළිවෙත් සහ නීති රීති පවා උල්ලංඝනය කරමින් අර්ථසාධක අරමුදල පවා වංචාවට භාජනය කරමින්, දියත් කළ මහ බැංකුවේ මහා බැඳුම්කර වංචාව මෙම යුගයේ සිදුකළ විශාලතම වංචාව හැටියටත්, රජයට විශාලතම පාඩුව සිදුකළ ගණුදෙනුව හැටියටත්, දැන් සියලූදෙනාම පිළිගෙන හමාරය. එයට සම්බන්ධ වූවන්ගේ සුලමුල හෙළිවෙමින් පවතී. ලොකු ලොකු නම් ඉතා ඉක්මනින් එයට එක්වීමට නියමිත බවටද විශ්වාස කිරීමට තොරතුරු ඇත. රජයේ විධායක ප‍්‍රධානියාගේ අණින් දියත්ව පවතින කොමිෂන් සභා විභාගයකට පවා බාධා පමුණුවමින්, සිදුකර තිබෙන අපකීර්තිමත් ක‍්‍රියා යටපත් කර ගැනීමට මාරාන්තික වෑයමක රජයේ එක් පාර්ශවයක් නිරතව සිටී.

පිරිසිදු දේශපාලන ක‍්‍රියාවලියක් රට තුළ බිහිවීමට මෙම හෙළිදරව් වීම් මහෝපකාරී වනු ඇත. පැරණි දූෂිතයන්ද, නව පාලනය තුල දූෂිත ක‍්‍රියාවල නිරතවන අයද සමාජයෙන් තුරන් කිරීමට මෙය හොඳ අවස්ථාවක් වනු ඇත. එසේ වන විට ආණ්ඩු හදා ගැනීම සඳහා වෙන කරන්නට දෙයක් නැති කමට ලංකරගත්, ලංකර නොගත යුතු පිරිස්ද හලා දැමීමට හැකිවනු ඇත. එබඳු පසුබිමක් තුළ උදාවන තත්ත්වය අවස්ථාවදීන්ට ඉතාමත් අවාසිදායක වුවක් වනු ඇත. යහපත් පෙළගැස්මක් සඳහා ප‍්‍රගතිශීලීන්ට, උගතුනට හා බුද්ධිමතුන්ට රට වෙනුවෙන් එක් වීමටද එය ඉතා හොඳ අවස්ථාවක් වනු ඇත. දේශපාලනය ව්‍යාපාරයක් කරගත් අයද, ඉදිරි දැක්මක් නොමැති අයද, රට වෙනුවෙන් ස්වාධීනව සිතමින් නියම නායකත්වයක් ලබා දීමට නොහැකි අයද පරගැති චින්තනවලින් පෝෂිතව රට අගාධයට ගෙන යන්නවුන්ද මෙබඳු වාතාවරණයක් තුල විසිවී යනවා ඇත.

එනිසා කලින් පාලන සමයේදී දේශපාලන බලපෑම් වලට යටවී දූෂිත ක‍්‍රියාවල නිරත වූවන්ද, වත්මන් පාලන කාලයේදී වංචනික හා දූෂිත ගණුදෙණු වල නිරතව සිටින වුන්ද යන දෙපාර්ශවයම පිටු දකිමින්, සුපිරිසිදු නායකත්වයක් යටතේ රට ඉදිරියට ගෙන යාමට හැකි යහපත් පාලනයක් බිහි වීමට එමගින් අවස්ථාව සැලසෙනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.