20 April, 2024

Blog

සිල්රෙදි, බැදුම්කර සහ සිරස

තුෂාර වන්නිආරච්චි –

තුෂාර වන්නිආරච්චි

පසුගිය සතියේ ලංකාවේ දේශපාලනයේ ප්‍රධානත ම සිද්ධිය වන්නේ ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිටගේ සිරගත වීමයි. එම සිදු වීම ශ්‍රී ලාංකික මධ්‍යම පාංතිකයන් අතර ආස්වාදජනකයක් ඇතිකරන අතර පසුගිය රෙජීමයට සම්බන්ධ අයට බියකරු වූ සිහිනයක් ම වේ. ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන හිටපු රජයේ නිලධාරීන් දෙදෙනා බන්ධනාගාර ගත වූයේ රජයේ මුදල් රුපියල් මිලියන 600 ක් අවභාවිත කිරීම නිසා වෙනි. නමුත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පසුගිය රෙජීමයේ අය මෙම සිදු වීම සිංහල බෞද්ධ පුනරුදයට ඔවුන් ගේ ඇති කැපවීම හා සේවාව අවතක්සේරුවට ලක්කිරීමක් ලෙස පෙන්වා දීමට උත්සාහ කරයි. බුදු දහමේ කොතැනකවත් රාජ්‍ය මුදල් හොරකම් කොට හෝ වංචා කොට බුදු දහම ආරක්ෂා කළ යුතුයැයි සඳහන් කොට නැත .

මෙම වංචාව රජයේ  නිලධාරියෙකුට තබා ශීලාචාර කිසිවෙකුට අනුමත කළ නොහැකි හොරකමකි. එනම් රටේ සිල් රෙද්දක සාමාන්‍ය මිල රුපියල් 250 පමණ වේ. එයට රුපියල් පනහක පමණ අමතර මුදලක් ප්‍රවාහනයට හා අසුරුම් කිරිමට එකතු වුවත් මිල රුපියල් 300 වේ. ඒ අනුව රෙදි මිලියන දෙකක් බෙදා දිය හැකි වුවත් බෙදා දී ඇත්තේ ලක්ෂ අටක් පමණි. එම ප්‍රමාණය වුවද රට වටා වට දෙකකට ප්‍රමාණවත්ය. එනම්  සිල් රෙද්දක බෙදාදීම වෙනුවෙන් හොරකම් කරන ලද මුදල රුපියල් 350 කි. මේ අනුව රුපියල් මිලියන හයසියයෙන් අඩුම තරමින් මිලියන් 300ක් නැතහොත් ලක්ෂ 30000ක් සාක්කුවකට ගොස් තිබේ. මෙම නඩු විභාගය මගින් එය විභාග කර නොමැති අතර එයද විභාග කර දඩුවම් කල යුතුය.

සැබවින්ම මෙම නඩු  විභාගය මගින් දඩුවන් කර ඇත්තේ අපරාධයේ කොටසකට පමණි. එනම් රජයේ මුදල් අවභාවිතා කිරීමටය. නමුත් විමර්ශනය කොට නඩු පැවරිය යුතු ප්‍රධානම නඩු නිමිත්තක් ඉතිරිව ඇත​. එයනම් සිල් රෙදි මුවාවෙන් රජයේ මුදල් ලක්ෂ 300000 ආසන්න සංඛ්‍යාවක් හොරකන් කිරීමය. එයද විමර්ශනය කොට නඩු පැවරිය යුතු අතර වැරදිකරුවන්ට දඩුවම් කළ යුතු වේ. එම නඩුවේදී ආගමේ නාමයෙන් හොරකන් කරන ලද මුදල හා හොරුන් හෙලි වනු ඇත.

එමෙන්ම ලංකාවේ දේශපාලනය තුළ පසුගිය සතියේ සිදුවූ තවත් තීරණාත්මක සිදුවීමක් වන්නේ බැදුම්කර ගනුදෙනුවට රෝසි සේනානායකගේ පුතා සම්බන්ධයැයි සිරස රූපවාහිනිය වර්තා කිරීමයි. බැදුම්කර කොමිසම තනිකරම සත්‍ය හෙලි කිරීමටත් වඩා දේශපාලන මඩ ගැසීමක් බවට රටේ මාධ්‍ය මෙන්ම කොමිසමේ නීතීවේදීන් පත් කර ගෙන තිබේ. කවුරුන් හෝ සාක්ෂිකරුවෙකුගේ හෝ එක්සත් ජාතික පක්ෂ දේශපාලනඥයෙකුගේ නමක් හෝ නායකයෙකුගේ නමක් සදහන්  කළහොත් එය විශාල ලෙස උලුප්පා දක්වමින් මාධ්‍ය කටයුතු කරයි. එමගින් එක් අතකින් කොමිසමේ කටයුතු වලට බාධාවක් වන අතර අනිත් අතින් සත්‍ය හෙලි කර ගැනීමට බාධාවකි. මෙරට ජනතාව වර්තමන දේශපාලන තත්ත්වය ගැන උනන්දුවක් දක්වන අතර රටේ යහපාලනය ඇති කිරීමේ මෙන්ම වැරදිකරුවන්ට දඩුවම් දීම ජනතාවගේ අපේක්‍ෂාවයි. 

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සාම්ප්‍රදායික සතුරන් වුවත් මෙම දෙපාර්ශවය එකතුව සමගි රජයක් මගින් රට පාලනය කිරීමේ කටයුතු සිදුකිරීමේදී දෙපාර්ශවය අතින්ම එකිනෙකා විවේචනය කිරීම සිදුවුවද දෙපාර්ශවයෙන්ම සිදුකළ වැරදි පිළිබදව රටේ ජනතාව හොදින් දෑස් දල්වා බලා සිටී. එනමුත් රටේ ජනමාධ්‍ය සියල්ලම පාහේ සැගවුණු න්‍යාය පත්‍රයක් තුළ කටයුතු කරන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ සංහිදියාවේ  ප්‍රතිලාභ ජනතාවට ලබාගැනීමේ හැකියාව ඇහිරී තිබේ. ඒ සදහා හොදම උදාහරණය නම් සිරස රූපවාහිනියේ හිමිකරු කිලී මහරාජාගේ දුෂ්ඨ සහගත හැසිරීමයි. එම රූපවාහිනී චැනලය හිතාමතාම එක්සත් ජාතික පක්ෂයත් එහි නායකත්වයත් අශීලාචාර ලෙස විවේචනය කරමින් සැගවුණු දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරයි. මහරාජා ආයතනයේ අධිපති මහරාජාවරුන්ගේ අභිප්‍රාය මෙරටේ දේශපාලනයට ඔවුන්ගේ ඉත්තන් යවා රටේ නිල නොවන පාලකයින් බවට පත්වී රට මංකොල්ල කෑමය. එම ආකල්පයත් මහින්ද රාජපක්ෂලාගේ තිබූ ආකල්පයත් අතර විශාල වෙනසක් නැත. සිරස හා මහරාජාවරු කල්පනා කරනුයේ මේ රටේ සියලුම තීරණාත්මක තනතුරුවල සිටිය යුත්තේ ඔවුන්ගේ කීමට නටනා හෙංචයියන් බවයි.

රටේ ජනාධිපති ධූරය හා අගමැති ධූරය සම්බන්ධයෙන්ද ඔවුන්ගේ මතය එයයි. එසේම එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන්ද මහරාජා ආයතනයේ මතය වන්නේ මෙම ප්‍රධාන පක්ෂ දෙක ඔවුන්ගේ අතකොලුවක් බවට පත්වී එම සමාගමේ ජාවාරම්කාර ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට ඉඩ ලබාදිය යුතු බවයි. එම තත්ත්වය කෙතරම් දුරදිග ගොස් ඇත්දැයි  කල්පනා කලහොත් මේ රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, මුදල් ඇමතිවරයා, කර්මාන්ත ඇමතිවරයා වැනි තීරණාත්මක චරිත පත්කිරීමේ බලය ඔවුන් අත තිබිය යුතුයැයි සිරස රූපවාහිනිය අයත් මහරාජා ආයතනය කල්පනා කරන අතර ඒ සදහා අදාළ බලපෑම්ද සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂ සමගි ආණ්ඩුව පවත්වාගෙන යාමට ඇති ප්‍රධානතම බාධාව වන්නේ සිරස රූපවාහිනියයි.

*ලේඛකයා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකි

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.