26 April, 2024

Blog

ඉදිරි මග කිම? ප්‍රතාපවත් නායකයෙකු ද ? සාමාන්‍ය පුරවැසියෙකු ද ?

රුවන් වීරසිංහ  –

ආචාර්ය රුවන් වීරසිංහ

ආචාර්ය රුවන් වීරසිංහ

ඉදිරි වසර පහ සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපති වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතායි (ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පාර්ලි‌‌මේන්තුව තුළ සම්මත වේය යන උපකල්පනය මත). කෙසේ වෙතත්, දැන් පෙනෙන්නට ඇත්තේ, යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හේතු කොට ගෙන,  නව දේශපාලන තරගයක් අගමැති තනතුරට සහ බොහෝ දුරට විපක්ෂ නායක තනතුරට ක්‍රියාත්මක වන බවයි. මින් පෙර ජනාධිපති, ප්‍රධාන අමාත්‍ය, සහ නගරාධිපති වැනි තනතුරු සඳහා පැවති මේ දේශපාලන ක්‍රියාකාරීත්වය දැන් ක්‍රියාත්මක වන්නේ අගමැති තනතුර සඳහායි ! මේ රජයට හිමි වූ ජනවරම වන නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම පසෙක තබා ශ්‍රීලනිපය සහ ජාතික හෙළ උරුමය ඇතුළු සභාගයේ හවුල්කාර පක්ෂ පවා ඉහත කාරණය ගැන තම උනන්දුව මේ වන විටත් ප්‍රකාශ කර ඇත. තරමක් උත්ප්‍රාසයක් දනවමින්, ආණ්ඩුවෙන් පිටත සිටින ජවිපෙ සහ දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර සිටින්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට පෙර සපුරාලිය යුතු පරම අවශ්‍යතාව නම් ශ්‍රී ලංකා ව්‍යවස්ථාවට 19 වැනි සංශෝධනය ගෙන ඒම බවයි.

මට ප්‍රසිද්ධියේ අසන්නට ලැබෙන සංවාදවලින් පෙනී යන්නේ, විශේෂයෙන්ම පක්ෂ දේශපාලනය තුළ මෙන්ම උසස් අධ්‍යාපන ආයතන තුළ, ශ්‍රී ලාංකිකයන් වන අප සැම “ප්‍රබල නායකයෙකු” පිළිබඳ මතයක එල්බ ගෙන සිටින බවයි. නායකයන් පෙනී සිටින්නේ කුමන කාරණා වෙනුවෙන් ද යන්න මෙහි දී ද්විතීක වෙයි. වර්තමාන ජනාධිපතිවරයාගේ මැදහත් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සැළකෙන්නේ පමණට වඩා මෘදු හෝ දුර්වල සහ රටට අහිතකර පාලනයක් ලෙසයි. බුද්ධිමතුන් යයි කියා ගන්නන් තුළ පවා රැව් පිළි රැව් දෙන පොදු අපේක්ෂාව නම්  “බටහිර බලවේගවලට එරෙහිව නැගී සිටිය හැකි” ජනාධිපතිවරයෙකු අපට අවශ්‍යය යන්නයි (මේ හරහා ඔවුන් අප රට වැනි ප්‍රමාණයේ රටකට මෙවැනි දෙයක් සිතීමට හැකි යැයි යන මුළාව පොදු ජනයා අතරට ගෙන යයි.)  ආචාර්ය දයාන් ජයතිලක යනු මේ ආඥාදායක-සම නායකත්වය “මේ හෝරාවේ හදිසි අවශ්‍යතාව” ලෙස (දශකය ගැන කියනු කිම?)  හිස මුදුනින් පිළිගන්නන් සඳහා හොඳම උදාහරණයි. මෙයින් ගම්‍ය වෙන්නේ එවැනි නායකයන් වීරයන් ලෙස වන්දනාමාන කිරීම අප සංස්කෘතිය මගින් අපට තුළට කා-වද්දා ඇති බවයි. අන් සියලු ආකාරයේ නායකත්ව ආකෘති සැළකෙන්නේ දුර්වල සහ පහත් නායකත්ව ලෙස ය.

Maithri Mahindaමේ නායකත්ව ආකෘතිය බස්-රියදුරු (සහ මගීන්ගේ) උපමාව ඇසුරින් විස්තර කළ හැක. මේ ආකෘතියේ දී නායකයාව හඳුනා ගන්නේ අපගේ ගමනාන්තය දන්නා රියැදුරු ලෙස වන අතර මගීන් (මේ උපමාවේ දී පුරවැසියන්)  ,ඔවුන් සාමාන්‍යයෙන් කරන පරිදිම, ඒ ගැන කිසිදු උනන්දුවක් නොදක්වයි. අපගේ ගමනාන්තය ගැන උනන්දුවක් දක්වන මගීන් පවා ඒ ගැන තම අදහස අන්‍ය මගීන්ට දනවනුයේ ඔවුන්ගෙන් එය විමසා සිටිය හොත් පමණි. රියැදුරු අවංක සහ සියලුම මගීන්ගේ යහපත එක හා සමානව සළකන කෙනෙකු වන තාක් මේ ආකෘතිය ප්‍රවේසම් සහගත වෙනු ඇත. මේ ආකෘතියේ බිඳ වැටුම් ලක්ෂය නම් රියැදුරු සහ ඔහු ගන්නා තීරණයි. මෙහි ඇති අවදානම නම් අප අපගේ ගමනාන්තයෙන් බොහෝ ඈතට ගොස් ඇති විට ඒ ගැන අප්‍රමාදව දැන ගැනීමේ හැකියාවක් අපට නොමැති වීමයි. එවැනි අවස්ථාවක දී පවා අප යන දිශාව වැරදි බව රියැදුරුට ඒත්තු ගැන්වීම සඳහා දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදු වෙනු ඇත. මන්ද අපට සුදුසු යැයි ඔහු සිතන තැනකට අපව රැගෙන යාමේ වරම අප විසින් දැනටමත් ඔහුට පවරා ඇති බැවිනි. මගීන්ගේ අදහස්වලට සවන් දීම කිසිසේත්ම අනිවාර්ය නොවනවා පමණක් නොව බොහෝ විට අනවශ්‍ය යැයි ද සැළකේ.

මීට ප්‍රතිවිරෝධී නායකත්ව ආකෘතියක් නම් අධ්‍යක්‍ෂවරයෙකු (conductor) විසින් මෙහෙය වෙන වාද්‍ය-වෘන්ද ආකෘතියයි (orchestra model). මෙය තරමක් වෙනස් ආකෘතියකි. මෙය අපගේ සංස්කෘතියට තරමක් ආගන්තුක ආකෘතියක් බව මුලින්ම කිව යුතුයි. වාද්‍ය වෘන්දයක දී, සෑම සාමාජිකයෙකු විසින්ම  (මේ උපමාවේ දී පුරවැසියන් ) තමන්ගේ කොටස හැකි උපරිම අයුරින් වාදනය කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එකී කාර්යයේ දී කාර්ය සාධනයේ දී ඔවුහු හුදු “මගීන්” ලෙස නොහැසිරේ (මේ උපමාවේ දී ආණ්ඩුකරණයේ දී). මෙහි දී නායකයා, සියලුම තීරණ ගන්නා තැනැත්තා යන භූමිකාවෙන් ඈත් වී, එක් එක් සාමාජිකයාට තම භූමිකාව රඟපෑමේ දී එය අන්‍ය සාමාජිකයන්ට අනර්ථකාරී ලෙස නොව එය අන්‍ය සාමාජිකයන්ට උපකාරී වන ලෙස රඟපෑමට අවශ්‍ය පසුබිම සකසා දේ. එසේ වුව ද තවමත් වාද්‍ය වෘන්දයේ සාර්ථක අසාර්ථකභාවයත් එහි සමස්ත ධ්වනියත් තීරණය කරන්නේ අධ්‍යක්ෂවරයායි. එසේ වුව ද, මේ ආකෘතිය තුළ දී, එක් එක් සාමාජිකයාට තමන් ඇතුළත් වන ක්‍රියාවලියට නිෂ්ක්‍රියව සහභාගී වනු වෙනුවට තමන්ට පැවරෙන භූමිකාව සක්‍රියව රඟපෑමේ වගකීම පැවරේ. වෙනත් වචනවලින් කියතොත්, ඔවුන් තම නායකයා සමග කටයුතු කිරීමේ දී එක්ව ක්‍රියා කළ යුතු ය. එනම් ඔවුන් සහභාගීත්වයෙන් ක්‍රියා කළ යුතු ය.

ශ්‍රී ලංකාව තුළ වසර ගණනාවක් ගුරුවරයෙකු ලෙස කටයුතු කිරීමෙන් මා අත්දුටු යථාර්ථය නම් “මම නොවරදින සුලු පුද්ගලයෙකු නොවෙමි” යන කාරණයක ඒත්තු ගැන්වීම කොතරම් දුෂ්කර කාර්යක් ද යන්නයි. අපගේ සංස්කෘතිය තුළ මෙය මෙතරම් දුෂ්කර වීමට හේතුව නම් ගුරුවරුන්ගෙන් ඔවුන් උගන්වන විෂය ක්ෂේත්‍රයට අදාළ සියලු දෑ දැන සිටීම අපේක්ෂා කිරීමයි. තමාගේ සීමාව ගැන යථාර්ථවාදී තක්සේරුවක් ඇති ගුරුවරුන් දකින්නේ දුර්වල හෝ අදක්ෂ ගුරුවරුන් ලෙසයි. මීට ප්‍රතිපක්ෂව, තමන් සියල්ල දත් යැයි හුවා දක්වන්නන් දැඩි ගෞරවයකට පාත්‍ර වේ. මන්ද ඔවුන් විසින් තමන් විශේෂඥ භාවයක් දරන විෂයක් ගැන පවා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බැවිනි (කෙසේ වෙතත් අද වන විට අන්තර්ජාල ව්‍යාප්තියත් සමග ඔවුන්ගේ මේ ආකල්පය/හැසිරීම තරමක් අභියෝගයට ලක් වී ඇත). පරිපාලන නායකත්වය සම්බන්ධයෙනුත් මේ සංසිද්ධිය මෙලෙසින්ම අදාළ වේ. තමන් සේවය කරන පිරිසගේ ජීවිතවලට තමන් ගන්නා තීරණ කෙසේ බලපායි ද යන්න ගැන කිසිදු තැකීමකින් තොරව “ඉතා සැහැල්ලුවෙන්” තම ආයතන පාලනය කිරීමේ වරම ආයතන ප්‍රධානීන්ට පැවරෙන්නේ මේ හේතුව නිසා ය. අප සමාජයේ අඩු අවබෝධයක් සහ අධ්‍යාපනයක් ඇති පිරිස් අතර ඇති පොදු හැඟීම නම් මේ පාලකයන්ට මෙලෙස හැසිරීමට අයිතියක් ඇත, මන්ද මේ “ඔවුන්ගේ කාලයයි” යන මතය ඔවුන් අතර මුල් බැස තිබීමයි.

2015 ජනවාරියේ දී, ශ්‍රී ලාංකිකයෝ – යටත් පිරිසයෙන් සබුද්ධික හෝ දැඩි ලෙස පීඩිත කොටස් – පවත්නා තත්ත්වය ප්‍රශ්න කිරීමට ඒකරාශී වුහ. එය ඓතිහාසික ඡන්දයකි. ප්‍රථම වතාවට, එහි දී අපගේ පුරවැසියන් ඔවුන්ගෙන් පූර්ව නිගමය කළ චර්යාව අභිබවා ගිය චර්යාවක් ප්‍රදර්ශනය බවක් පෙනෙන්නට තිබිණි. රෝ සංවිධානය, ඇමරිකාව, හෝ බ්‍රිතාන්‍යය මෙහි දී කවර භූමිකාවක් රඟපෑව ද අති විශාල ශ්‍රී ලාංකික පුරවසියන් ප්‍රමාණයක් පැවති රෙජීමයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බව සැඟවිය නොහැකි කරුණකි. මේ “වෙනසක් සඳහා වූ ජයග්‍රහණයේ” ජනසංඛ්‍යානය දෙස බැලූ විට පැහැදිලිව පෙනී යන කරුණක් නම් අතිශයින්ම පීඩාවට පත් සහ අගතියට පත් කොටස් හැරුණු කොට පැවති රෙජීම පෙරළීමට ඡන්දය ප්‍රකාශ කර අන් පිරිස නම් තොරතුරු ලබා ගැනීමේ අවකාශය තිබුණු පිරිස් (ග්‍රාමීය ප්‍රදේශවලට වඩා නාගරික සහ උපනගාරික ප්‍රදේශ) බවයි. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලට සමගාමීව, නුතන ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යාවශ්‍ය මූලිකාංගයක් වන තොරතුරු ලබා ගැනීමේ හැකියාව, හුදු තොරතුරු දැන ගැනීමේ අයිතිය පමණක් නොව, තහවුරු කිරීම සියල්ලටම වඩා වැදගත් වන්නේ එබැවිනි.

එසේනම්, බලයෙන් නෙරපන ලද ඔවුන්ගේ නායකයා අගමැති තනතුරට පත් කළ යුතු යැයි කියමින් පැවති රෙජීමයේ ඇතැමුන් කල්ලි ගැසෙන්නේත් එවැනි කතාබහක් සමාජයේ පැතිර යන්නේත් මන්ද? මෙයට ඇතුළත් වන්නේ පක්ෂ නීති උල්ලංඝනය කරමින් මහින්ද රාජපක්ෂ හිතවාදී රැළියට සහභාගී වූ පසුගිය වසර 10 තුළ වාසිසහගත ලෙස තමන් උපාය ගත් දෑ අහිමි වීමට යන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 26 දෙනා පමණක් නොවේ, පක්ෂ නායකත්වය තුළ සිටින බොහෝ දෙනෙකුගේ ද (මෑතක දී නව රජයේ අමාත්‍යධුර භාර ගත් ඇතැම් අයත් ඇතුළුව) අභිලාෂය මෙයයි.

වාසනාවකට, මේ අවස්ථාවේ දී ඔවුන්ට අසීමිත ලෙස ජනතා මුදල් මේ සඳහා වියදම් කිරීමේ අවකාශය ඇහිරී ඇත. කෙසේ වෙතත්, ඔවුන්ගේ රෙජීමය සමයේ ආධාර කළ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් ඔවුන්ට මුල්‍ය ප්‍රතිපාදන සැපයෙන බවක් පෙනේ. එම ප්‍රමාණය අවප්‍රමාණ කළ නොහැකි මුත් එය කිසි සේත්ම ජනාධිපතිවරණය සඳහා පොම්ප කළ මහජන ධනස්කන්ධයට සම කළ නොහැක (තවමත් හෙළි වෙමින් පවතී). කෙටියෙන් පවසතොත්, මහජනයාගේ බුද්ධිශෝධනයෙන් ඇති වන බලපෑම නැවත ඇති කිරීම දුෂ්කර ක්‍රියාවකි.

සිවිල් සමාජයේ තත්ත්වය කුමක් ද? අපට බොහෝ දෑ ඉගෙනීම තිබේ. අප ප්‍රකාශ කරන සෑම දෙයකටම ආඥාදායක රෙජීමයකින් බැට කෑ අපට දැන් අපගේ අදහස් දැක්වීමට පුර්ණ අවකාශය සැලසී තිබේ. එම නිදහස කොතරම් විශාල ද යත් අපට එය භාවිත කළ යුත්තේ කෙසේ ද කියා වත් සිතා ගැනීම අසීරු වී ඇත! උදාහරණයක් ලෙස ශ්‍රීලනිපය තුළ තම පක්ෂයේ ජනාධිපතිවරයා ලබා දී ඇති නිදහස අභියෝගයට ලක් වී ඇති අතර එය පක්ෂ විනය සීමා ඉක්මවා ගොස් එය ඇතැම් මධ්‍යම කාරක සභා සාමාජිකයන් ඉවත් කිරීමට දක්වා දුර දිග ගොස් ඇත. මාධ්‍ය තුළ මෙය සිදුවන්නේ පසුගිය දින 100 තුළ නව රජය කිරීමට සමත් වූ දේවල් සහ පසුගිය රජය දින 3500 පමණ කාලයක් තුළ කිරීමට සමත් වූ (හෝ නො හැකි වූ) දේවල් සංසන්දනය කරමින් නව රජය ගැන කරන විවේචන ස්වරූපයෙනි. මේ අතර, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ උපකල්පනවල ඇති පරස්පරතාව (යම් මූලික අධ්‍යාපන මට්ටමක්) සහ අප සමාජයේ වර්තමාන තත්ත්වය (විශේෂයෙන්ම දශක කිහිපයක ආඥාදායක පාලනය) හේතු කොට ගෙන, මහජනයා තමන් තෝරා ගත යුත්තේ පැරණි රෙජීමය ද නව පාලනය ද යන්න නිසි ලෙස තීරණය කර ගත නොහැකි අනතුරට මුහුණ පා සිටී.

රදලවාදී වැඩවසම් ආකෘතියේ සිට නූතන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයේ දක්වා අප යන ගමන දිගටම ගමන් කිරීමේ ඇති අතිශය වැදගත්කම ගැන අප සමාජයේ අන්‍ය පුරවැසියන් දැනුම්වත් කිරීමේ භාරදූර වගකීම සබුද්ධිකයන් වන, එනම් දැනුමෙන් සහ අවබෝධයෙන් සන්නද්ධ පිරිසක් වන, අප මත පැවරී ඇත. එනම් බස්-රියදුරු-මගී ආකෘතියේ සිට අධ්‍යක්ෂ-වාද්‍ය-වෘන්ද ආකෘතිය දක්වා අප ගමන් කළ යුතුව ඇත. අප රට ගමන් කළ යුතු දිශාව තීරණය කිරීමේ දී අප සැමගේ හඬත් ඔවුන්ගේ හඬත් සැලකිල්ලට ගැනෙන සහ ගත යුතු ආකෘතියක් වෙත ගමන් කළ යුතුව ඇත. එම ආකෘතිය තුළ දී අප ඡන්දය ප්‍රකාශ කොට පසෙකට වී නිහඬව බලා නොසිට මැතිවරණ අතර කාලයේ දී ද සක්‍රියව ආණ්ඩුකරණ ක්‍රියාවලියට එකාබද්ධව කටයුතු කරනු ඇත. එවැනි ආකෘතියක් තුළ සිදුවන ආණ්ඩුකරණය ජනතාව විසින්, ජනතාව සඳහා, ජනතාව පාලනය කෙරෙන සැබෑ ආණ්ඩුකරණයක් වනු ඇත.

ප්‍රබල නායකයන් සිටි සිංගප්පූරුව, මැලේසියාව සහ චීනය වැනි පෙරදිග රටවල ‘සාර්ථකත්වය’ මත මේ තර්කය ගොඩ නැගී ඇති බව පැහැදිලි ය. බොහෝ විට මේ තර්ක ගෙන එන්නේ මේ රටවල වාසය නොකළ පුද්ගලයන් විසිනි. එසේත් නැති නම් ඔවුන් එම රටවල වාසය කර ඇතත් ඔවුන් විසින් ඇමතෙන පිරිස් මේ රටවල වාසය නොකළ අයයි! මේ රටවල ‘සංවර්ධනය’ ළඟා කර ගෙන ඇත්තේ අප විසින් ඕනෑම ආණ්ඩුවකින් අපේක්ෂා කෙරෙන මූලික නිදහස කප්පාදු කරමිනි (පිට පිට පැමිණි පසුගිය ආණ්ඩු කිහිපයම විසින්ම මේ නිදහස උල්ලංඝනය කෙරුණ ද). ඒ වෙනුවට තරමක් දුෂ්කර මාර්ගයක් තෝරා ගනිමින් මන්දගාමී සාර්ථකත්වයක් උදා කර ගෙන ඇති ඉන්දියාව දෙස බලන්න – එය සාර්ථකත්වය මගින් පෝෂණය වන නිදහස කප්පාදු නොකරන සාර්ථකත්වයකි.

එසේ නම් ඉදිරි මග කිම? අපට අවශ්‍ය වන්නේ ඉතිහාසයේ ආපස්සට ගොස් ජනතාවගේ අඥානභාවය මත යැපෙන පැරණි වැඩවසම් ආකෘතියක් කරා ගමන් කිරීම ද ? නැත්නම් මේ වසරේ ඇරඹුණු නව දේශපාලන සංස්කෘතිය වැළඳ ගනිමින් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය තුළ සිදුවිය යුතු දුර්වලතම සාමාජිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සහතික කෙරෙන දැනුමෙන් සහ අවබෝධයෙන් සන්නද්ධ සමාජයක් කරා ගමන් කිරීම ද ? මේ සමාජ-ජාල මාධ්‍ය සහ ක්‍රියාවාදී පිළිවෙත තුළ ඇත්තේ එක මගක් පමණි, ඒ ඉදිරියට යාම පමණි, යළි ආපසු නොහැරෙමු.

මා මේ කරන්නේ යූඑන්පියට, ජනාධිපතිවරයාට හෝ වර්තමාන ආණ්ඩුවේ කොටසකට කඩේ යාමක් ද? කිසි සෙත් ම නැත! ඒ අපට දේශපාලනය දේශපාලකයන්ට පමණක් පවරා දී පසෙකට වී සිටිය නොහැකිය යන්න මගේ දැඩි විශ්වාසය බැවිනි. මම කැප වී කටයුතු කරන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා වූ ගමනට ද? සත්තකින්ම ඔව්! සිවිල් ව්‍යාපාරය ශක්තිමත්ව ගොඩනැගිය හැකි ස්ථාවර යටිතලය එයයි. විධායක ජනාධිපතිධුරය සතු නොහික්මුණු වග-නොකියන බලය සහ ආණ්ඩුව තුළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට කිසිදු ඉඩකඩක් නොමැති තත්ත්වයක් තුළ, අපට ඇත්තේ අප විසින් පත් කළ අයගේම පිහිට පමණි. 19 වැනි සංශෝධනය මගින් ව්‍යවස්ථා සභාවට සහ ස්වාධීන කොමිසන් සභාවලට බලය පැවරීමත් එහි ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ වගන්තියත් හරහා ආණ්ඩුකරණයේ දී වාද්‍ය-වෘන්ද ආකෘතිය භාවිත කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙනු ඇත.

අප මේ අවස්ථාවේ දී මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ගැන කරදර විය යුතු ද? ඔව් සහ නැහැ. එය වැදගත් කාරණයක් මුත් එය කිසිසේත්ම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය තරම් වැදගත් නොවේ. එය “තිබිය-යුතුම” දෙයක් නොව “තිබේ-නම්-හොඳ” දෙයකි. අපට අවශ්‍ය වන්නේ මැතිවරණය තුළින් (කෙටියෙන් කියත හොත් කවර මැතිවරණ ක්‍රමයක් යටතේ වුව ද) කවරෙකු බලයට පත් වුව ද ඔවුන් වගකියන තත්ත්වයේ තබන ආණ්ඩුකරණ පද්ධතියක් සහතික කිරීමයි. එනිසා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම මඳක් පමා වීමේ වරදක් නැත. නව රජයේ පොරොන්දුවලට කිසිදු හවුල්කාරීත්වයක් නොමැති කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මෙය සම්මත කර ගත යුතු යයි පැවසීම තුළ අපට දැනෙන්නේ මෙය ව්‍යවස්ථාදායකයේ කටයුතුවලට හිතාමතා කෙරෙන බාධා කිරීමක් ලෙසයි. මෙයින් පෙනී යන්නේ ‘සාමාන්‍ය ජනයා සවිබල ගැන් වී දේශපාලකයන්ගේ ක්‍රියා සොයා බැලීමට පටන් ගැනීම නමැති නපුරු සිහිනය’ බොඳ කර, හැකි ඉක්මනින් පැරණි රෙජීමය බලයට ගෙන ඒමට ඔවුන් තුළ ඇති බලවත් උවමනාවයි.

අප අපගේ හඬ පැහැදිලිව සහ ප්‍රබලව නගමු: අපට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ විස්වාසනීය මන්ත්‍රීවරු – දිනෙන් දින හෙළි වන මහා පරිමාණයේ දූෂණ වංචා මගින් දූෂිත වූ පුද්ගලයන් නොව – තෝරා පත් කර ගැනීමට අවස්ථාව අවශ්‍යයි. ඔවුන් පත් කර ගන්නේ සමානුපාතික නියෝජනය ක්‍රමයට ද හෝ ආසන ක්‍රමයට ද යන්න මීළඟට පත් වන පාර්ලිමේන්තුව මගින් තීරණය කළ හැකි කාරණයකි.

*2015 අපේ‍්‍රල් 20 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Way Forward: Charismatic Leader Or Ordinary Citizens? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය – දුලිප් හේරත්

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.