20 April, 2025

Blog

මහින්ද මහතාණෙනි, සරසවි සිසුන් යළිත් වරක් මුලා නොකරනු !

රුවන් විජේවර්ධන

රුවන් විජේවර්ධන -ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

රුවන් විජේවර්ධන -ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

එළඹෙන මහ මැතිවරණයෙන් සිය කඳවුරේ නියත පරාජය මේ වන විට අවබෝධ කරගෙන සිටින හිටපු ජනාධිපති සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් අපේක්‍ෂක මේ වන විට විහිළු සහගත පොරොන්දු ජනතාව හමුවේ තබමින් සිටී. මේ වන විට ඔහුගේ එකම අභිප්‍රාය වී ඇත්තේ ඕනෑම විහිළු සහගත පොරොන්දුවක් ලබා දී ඡන්ද දායකයා මුලා කොට, තරුණ පරපුර රවටා කෙසේ හෝ බලය අත්පත් කර ගැනීමය. මේ හරහා හිටපු ජනාධිපතිවරයා ඉතාම බරපතල ලෙස මෙරට ඡන්ද දායකයාගේ බුද්ධියට නිගා කරමින් සිටී.

වසර දහයක් තිස්සේ දැඩි මර්දනකාරී පාලන ක්‍රමයක් පවත්වාගෙන ගිය මහින්ද රාජපක්‍ෂ මෙරට ශිෂ්‍ය ප්‍රජාවගේ සියලූ මානුෂික අයිතීන් නිර්ලජ්ජිත ලෙස පාගා දැමුවේය. වසර ගණනාවක් තිස්සේ මෙරට ශිෂ්‍ය ප්‍රජාව ඉල්ලා සිටියේ වැඩි වූ ජීවන වියදමට සරිලන ලෙස එවකට රුපියල් 2500 ක් වූ මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කරන ලෙසය. එකී අතිශය සාධාරණ ඉල්ලීමට රාජපක්‍ෂ රෙජිමය තම පරාජයේ පතුලටම වැටෙන තුරු පිළිතුරු දුන්නේ කඳුළු ගෑස්, බැටන් පොලූ ප්‍රහාර සහ ජල ප්‍රහාරවලින් මිස එක රුපියලක් හෝ වැඩි කිරීමෙන් නොවේ. මෙයින් එම රෙජිමය දිනෙන් දින තහවුරු කළේ මෙරට ශිෂ්‍ය ප්‍රජාවගේ සාධාරණ ඉල්ලීම් ගැන තමන්ට අබමල් රේණුවක තරම් හෝ තැකීමක් නොමැති බවය.

වසර දහයකට ආසන්න කාලයක් බලයේ සිටි මහින්ද රාජපක්‍ෂට මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 4000 ක් දක්වා ඉහළ නංවන්නට මතක් වූයේ ජනාධිපතිවරණයෙන් පැරදී ගෙදර යන්නට ඔන්න මෙන්න කියා තිබියදී ය. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ මහින්ද රාජපක්‍ෂ ඉදිරිපත් කළ අයවැය මුළුමනින්ම ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සකස් කළ අයවැයක් වූ අතර එහි අඩංගු බහුතරයක් යෝජනා ඡෙන්ද ගුණ්ඩුෙ වශයෙන් ඉදිරිපත් කළ ඒවාය. අවසන් මොහොතේ මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 4000 ක් දක්වා වැඩි කරන බව සඳහන් කළේද තමන්ට එරෙහිව නැගුණු දැඩි ශිෂ්‍ය විරෝධය යටපත් කිරීම සඳහා වුවද එය මහින්ද රාජපක්‍ෂ විසින් දැරූ තවත් අසාර්ථක උත්සහයක් විය. එම ඡන්ද ගුණ්ඩු කිසිවකට නොරැවටී මෙරට විශ්ව විද්‍යාල සිසුන්ගේ මෙරට විශ්ව විද්‍යාල සිසුන්ගෙන් අති බහුතරයක් පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ රෙජිමය පරදවන්නට සිය ඡන්දය පාවිච්චි කළහ.

ජනාධිපතිවරණයෙන් පසු බලයට පැමිණී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු රජය සිය මුල් අයවැයේදීම මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000 ක් දක්වා වැඩි කරන්නට කටයුතු කළේ ශිෂ්‍ය ප්‍රජාවගේ අවශ්‍යතා මනාව තේරුම් ගෙන තිබූ නිසාය. මහපොළ වැඩි කිරීම සඳහා මහපාරේ උද්ඝෝෂණය කිරීම අනවශ්‍ය බවත් එය වහා විසදිය යුතු දැවෙන ප්‍රශ්නයක් බවත් මනාව අවබෝධ කරගත් යහපාලන රජය එය ඉටුකර දීමට ක්‍ෂණික පියවර ගත් අතර එය පක්‍ෂ භේදයකින් තොරව මෙරට සමස්ත ශිෂ්‍ය ප්‍රජාවේම පැසසුමට සහ ප්‍රසාදයට පාත්‍ර විය.

අද පරාජිත මහින්ද රාජපක්‍ෂ කියා සිටින්නේ තමන් බලයට පැමිණියහොත් මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 6000 ක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බවය. මේ ඔහු රවටන්නට උත්සාහ කරන්නේ කාවද? වසර 10 ක් බලයේ සිටියදී සිදු නොකළ දෙය ජනාධිපතිවරණයෙන් පරාජය වී ගෙදර ගිය ඔහුට සිදු කරන්නට පුළුවන්ද? පරාජිත රාජපක්‍ෂගේ මැතිවරණ පොරොන්දු විහිළුවක් වන්නේ එම කාරණය නිසාය. මෙහි බොහෝ දෙනා නොදන්නා සත්‍යය නම් නියත පරාජය පෙනි පෙනී සිටින තත්ත්වයක් යටතේ තම පොරොන්දුවලට ඇතුළත් කරන ඉලක්කම් සම්බන්ධයෙන් කිසිදු වගකීමක් අනවශ්‍ය බව ඔහුගේ තර්කය වන බවයි.

ඒ අනුව එළඹෙන මැතිවරණයෙන් තමන් නියත වශයෙන්ම පරාජයට පත්වන බව දන්නා අයෙකුට ඕනෑම මැතිවරණ පොරොන්දුවක් ඕනෑම අයුරකින් ලබාදිය හැකිය. ඒ, ඒවා ඉටු කරන්නට තමන් කිසි දින බලයට නො එන බව ඔහු හොදාකාරවම දන්නා නිසාය. අද මහින්ද රාජපක්‍ෂට ද උදා වී ඇත්තේ එම ඉරණමයි. එහෙත් අප ඔහුගෙන් ඉල්ලන එකම දෙය මෙවැනි විහිළු සහගත මැතිවරණ පොරොන්දු ලබා දී විශ්ව විද්‍යාල සිසු ප්‍රජාවගේ සහ ඔවුන්ගේ බුද්ධියට නිගා නොකරන ලෙසය.

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.