30 May, 2023

Blog

අප ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කරන්නේ කෙසේද?

රනිල් වික්‍රමසිංහ –

මා අද අම්පාරට පැමිණියේ පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාව අම්පාර දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කරවීම සඳහා වැඩ කටයුතු කළ එක්සත් ජාතික පක්‍ෂයේ සියලූ දෙනාට ස්තූතිය පළ කිරීමටයි.

Ranilමේ අම්පාර දිස්ත්‍රික්කයෙනුත්, නැගෙනහිර, උතුරු සහ මධ්‍යම පළාත්වලිනුත්, කොළඹ, ගම්පහ, පුත්තලම, පොලොන්නරුව යන දිස්ත්‍රික්කවලිනුත් ලබා දුන් ජයග්‍රහණය නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වුණා. එතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු අප දින 100 වැඩසටහන ක්‍රියාත්මක කරනවා. එම නිසා මාගේ යුතුකම වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම සඳහා වැඩ කටයුතු කළ ඔබ සියලූ දෙනාට නැවතත් ස්තූතිය පළ කිරීමයි.

දයා ගමගේ මහතා රාජපක්‍ෂ රෙජීමයේ සෑම බලවේගයකටම මුහුණ දුන් අතර එතුමාට බොහෝ පාඩු විඳීමට සිදුවුණත් නොසැලී ඔබ සමග සිටියා. ඕනෑම අවස්ථාවක ඕනෑම අමාරු වගකීමක් වුවත් බාර ගත්තා. මා ලංකාවේ නොසිටි අවස්ථාවක දී පවා සියලූ වගකීම් බාර ගෙන පසුගිය වසරේ මැයි දින උත්සවය සාර්ථකව අම්පාරේ පැවැත්වීමට එතුමා කටයුතු කළා. දයා ගමගේ මහතා සිදු කළ සේවය කිසි විටෙක අමතක කළ නොහැකි අතර ඉදිරි පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු ලෙස එතුමා ද සිටිනු ඇති බව අප බලාපොරොත්තු වනවා. ඒ වගේම අනෝමා ගමගේ මහත්මිය දැක්වූ සහයෝගය අගය කළ යුතුයි. පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරමින් මේ වන විට දක්‍ෂ නියෝජ්‍ය ඇමැතිවරියක ලෙස කටයුතු කරමින් සිටිනවා.

නැවත අපට සහයෝගය ලබාදීම සඳහා පී. දයාරත්න මහතාත් අද අප සමග එකතු වී සිටිනවා. අප එතුමාගේ සහයෝගය ලබාගත යුතුයි. එතුමා කලක් අපේ පක්‍ෂයේ මන්ත්‍රීවරයෙක් ව සිටි අතර අප දෙදෙනාම එකට පාර්ලිමේන්තුවට ගිය අයයි. අප ජයග්‍රහණය කිරීමට නම් අපේ ඡන්ද ප්‍රමාණය වැඩි කර ගත යුතුයි. ඒ සඳහා පී. දයාරත්න මහතා සමග තිබෙන ඡන්ද ද අපේ පැත්තට ලබා ගත යුතුයි. අප බහුතරය ලබාගතහොත් ප්‍රසාද මන්ත්‍රී ධූරයත් අපට ලැබෙනවා. එම නිසා එතුමාගේ සහයෝගයත් ලබා ගෙන එකට එකතු වී වැඩ කටයුතු කළ යුතුයි. පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එවැනි බලවේග අප එකතු කර ගත්තා.

කල්මුණේ නගරය දියුණු කිරීමට මා එදා පොරොන්දු වුණා. නාගරික සංවර්ධනය අයත් වන්නේ රාවුෆ් හකීම් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය යටතේ බැවින් මා එතුමා සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කළා. කල්මුණේ නගරය දියුණු කිරීම සඳහා වන වැඩ කටයුතු අප කර ගෙන යා යුතුයි. එම වැඩ කටයුතු මාගේ අධීක්‍ෂණය යටතේ අදාළ අනුකමිටුව මගින් සිදු කිරීමට නියමිතයි අතර එහි සැලසුම් සකස් කිරීම රාවුෆ් හකීම් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය මගින් සිදු කිරීමට නියමිතයි. ඒ වගේම අනෙකුත් ප්‍රදේශ ද දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන අතර කල්මුණේ නගරය ඉදිකළ පසු මුස්ලිම්වරුන්ට ද හොඳ නගරයක් ලැබෙනවා. එම කටයුතු එදා අපට සිදු කිරීමට නොහැකි වුණත් මෙවර අප එම කටයුතු සිදු කරනවා.

දැන් අප ඉදිරි මහ මැතිවරණය පිළිබඳව කල්පනා කළ යුතුයි. ඒ මැතිවරණය අප සිදු කරන්නේ කෙසේද? එය ජයග්‍රහණය කරන්නේ කෙසේද? ඒ සඳහා අපේ මහ ලේකම් කබීර් හෂීම් මහතා අලූත් වැඩසටහන් කිහිපයක් මේ සතියේ සිට ක්‍රියාත්මක කරනවා. අප්‍රේල් අවසන් කාලයේ දී අප මැතිවරණයට සූදානම් විය යුතුයි. එම නිසා ඔබ එක්සත් ජාතික පක්‍ෂයට අලූතින් සාමාජිකයන් බඳවා ගැනීමට කටයුතු කළ යුතුයි. අලූතින් සාමාජිකයන් ලක්‍ෂ 10 ක් බඳවා ගැනීම අපේ අරමුණයි. සියලූ දෙනාවම ඒකරාශී කර ගනිමින් අපට නොලැබුණු ඡන්ද ද ලබා ගත යුතුයි. ඉන් පසුව අප ජයග්‍රහණය කර රට හදා, එක්සත් ජාතික පාක්‍ෂිකයන්ටත් උදව් කිරීමට අවස්ථාව ලබා ගන්නවා.

අද අපට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති අතර අපට සිටින්නේ සුළුතරයක් පමණයි. එසේ වුවත් අපි අපේ ගමන ගොස් මැතිවරණයෙන් ජයග්‍රහණය කළ යුතුයි. අපේ කටයුතු ඉදිරියට ගෙන යා හැක්කේ එම මැතිවරණය ජයග්‍රහණය කළ පසුවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අප වැඩ කටයුතු කර තිබෙනවා. එම නිසා ඒ පිළිබඳ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ද ඇමැති ධුර ලබාදීමට එතුමාට හැකියාව ලැබුණු අතර ඊට අප ද උදව් කළා. ඉදිරි මැතිවරණයෙන් පසු අපට එකට එකතු වී වැඩ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට එය හොඳ පියවරක් ලෙස මා දකිනවා.

මේ කුමක් සඳහා වුවත් පළමුව අප ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කළ යුතුයි. අප විශාලම පක්‍ෂය විය යුතු අතර පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබාගන්නා පක්‍ෂය විය යුත්තේ අපයි. ඒ සඳහා අප අනෙකුත් සියලූ දෙනා සමග වැඩ කළ යුතුයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වූ පසු දින 100 වැඩසටහන අප ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දී අප කියා සිටියා. මැතිවරණයකින් පසු සීඝ්‍රයෙන්ම වැඩ කටයුතු කළ බවට මේ දක්වා වාර්තා තබා තිබෙන්නේ 1977 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමායි. එම ආණ්ඩුවේ මුල් කාලයේ මා එහි නියෝජ්‍ය ඇමැතිවරයෙකුව සිටියා. එම ආණ්ඩුව යටතේ මාස 6 ක් ගත වීමට පෙර විවෘත ආර්ථිකය ඇති කළා. ශ්‍රී ජයවර්ධනපුර රටේ අගනුවර බවට පත් කළ අතර මහ කොළඹ ආර්ථික කොමිසම ඇති කළා. නිවාස සංවර්ධන ක්‍රමය සහ විධායක ජනාධිපති ක්‍රමය ද එම කාලය තුළ ඇති කළා. ඒ අනුව මාස හයක් තුළ රටේ ආර්ථිකය සහ දේශපාලන ව්‍යූහය අප වෙනස් කළා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත්, කැබිනට් මණ්ඩලයත් සමග දින 100 වැඩසටහන ද ඒ ආකාරයටම ක්‍රියාත්මක කර මේ ආණ්ඩුව යටතේ මාස 3 දින 10 ක් අවසන් වන විට විශාල ප්‍රතිඵලයක් ලබාදීමට හැකි වනු ඇතැයි මා අද ආඩම්බර වනවා.

අප බලයට පත්වුණේ ජනතාවට අමාරු කාලයකයි. සහනයක් නොලැබුණු කාලයකයි. අප බලයට පත්වුණේ ජනතාවට සහන ලබා දී ඔවුන්ගේ ජීවන බර අඩු කර රටේ ආර්ථිකයේ මුදල් පරිහරණය නිවැරදි කිරීමටයි. ඒ අනුව අප පළමුව බඩු මිලත්, ඉන්ධන මිලත් අඩු කළා. එම කටයුත්ත මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට කළ හැකිව තිබූ නමුත් ඔහු එය කළේ නැහැ. කෙසේ වෙතත් අපේ ආණ්ඩුව යටතේ දින කිහිපයක් ගත වන්නට මත්තෙන් ඉන්ධන මිල අඩු කර එයින් ජනතාවට විශාල සහනයක් ලබාදීමට කටයුතු කළා.

ලෝකයේ ඉන්ධන මිල අඩු වන විට රටේ ඉන්ධන මිල ද අඩු කළ යුතුයි. ලෝක ඉන්ධන මිල වැඩි වනවා නම් රටේ ඉන්ධන මිල ද වැඩි කළ යුතුයි. එහි වාසිය සැලසෙන්නේ ජනතාවටයි. නමුත් එම වාසිය පසුගිය වසරේ රටේ ජනතාවට ලබා දුන්නේ නැහැ. හෙජිං ගිවිසුම නොතිබුණා නම් ඉන්ධන සඳහා මීටත් වඩා සහන ලබාදිය හැකිව තිබුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල අඩු කිරීමට අප කටයුතු කළා. අප මේ ආණ්ඩුව ආරම්භ කළේ ජනතාවට එවැනි විශාල සහන ලබා දෙමිනුයි. දැන් ඒ ප්‍රශ්න නොමැති නිසා ජනතාවට අද ජීවත් විය හැකියි.

ඒ වගේම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කළ අප ඔවුන්ට රුපියල් 5000 ක මාසික අන්තර්කාලීන දීමනාවක් ලබාදීමට කටයුතු කළා. වැටුප් මණ්ඩවලට අයත් පුද්ගලික අංශයේ වැටුප් වැඩි කරමින් සිටින අතර වැටුප් මණ්ඩවලට අයත් නොවන කාර්යාල හා සාප්පු සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අප ක්‍රියා කරමින් සිටිනවා. මේ මගින් ජනතාවගේ අතට මුදල් ලැබී මුදල් පරිහරණය වැඩි වනවා. එම නිසා සිංහල අවුරුදු සමයේ වෙළෙ¼දාම දියුණු වනවා.

එදා විශාලම ප්‍රශ්නය තිබුණේ ග්‍රාමීය ආර්ථිකයේයි. එම නිසා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා අර්තාපල් මිල රුපියල් 40 මට්ටමේ තබා ගැනීමටත්, කිරි ලීටරයක මිල රුපියල් 10 කින් වැඩි කිරීමටත්, තේ සහ රබර් සඳහා විශේෂ දීමනාවක් ලබාදීමටත් තීරණය කළා. නමුත් තේ සහ රබර් සඳහා විශේෂ දීමනාවක් ලබාදීමේ කටයුතු මදක් ප්‍රමාද වූ අතර එසේ සිදු වුණේ භාණ්ඩාගාරයේ ප්‍රමාණවත් මුදල් නොතිබුණු නිසයි. ඇත්ත වශයෙන්ම භාණ්ඩාගාරයේ මුදල් තිබුණේ ඉකුත් සතිය දක්වා පමණයි. සොරකම් කළ භාණ්ඩාගරයකින් එකවර මුදල් ලබා ගැනීමට නොහැකි නිසා මුදල් ගෙවීමට සිදු වන්නේ එම මුදල් සොයා ගැනීමෙන් පසුවයි.

ඒ වගේම දයා ගමගේ මහතා ද සඳහන් කළ පරිදි වී කිලෝවක් රුපියල් 50 ක මුදලකට මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලබා දී තිබෙන අතර අවශ්‍ය තවත් මුදල් වෙන් කර ඉදිරි සතියේ දී ද වී මිලදී ගැනීමට කටයුතු කරනවා. සෑම ගොවියෙකුටම වී කිලෝවක් සඳහා රුපියල් 50 ක් නොලැබීමට පුලූවන්… නමුත් අපට අවශ්‍ය වන්නේ ගොවියාට හොඳ මිලක් ලබාදීමටයි. සමහරුන් වී අස්වැන්න කමතේ දීම විකුණන අතර ඔවුන් කියා සිටියේ එහිදී වී කිලෝවක් සඳහා රුපියල් 30 ක් ලැබෙන්නේ නම් ප්‍රමාණවත් බවයි. ඒ අනුව සමහරුන් වී අස්වැන්න අතරමග දී විකුණුවත් ඔවුන් එයින් ලාභයක් ලබාගත යුතුයි.

වී අස්වැන්න මිලදී ගැනීම සඳහා මැදිහත් වී, වී කිලෝවක් රුපියල් 50 කට මිලදී ගන්නා විට වී කිලෝවක මිල වැඩි වනවා. අප මේ කටයුතු ක්‍රියාත්මක කරන්නේ ඒ ආකාරයට වී කිලෝවක මිල වැඩි වන ආකාරයටයි. ඒ වගේම ගොවියගේ ගොවි ණයවලින් ද කොටසක් කපා හැරීමට අප කටයුතු කළා.

උකස් තැබූ රත්රන් භාණ්ඩ සඳහා සහන ලබාදීමට ද අප කටයුතු කරනවා. අප මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කළ විට ජනතාවගේ අතේ මුදල් ඉතිරි වනවා. එවිට එම මුදල් සිංහල අලූත් අවුරුදු කාලයට වියදම් කිරීමට ජනතාවට හැකියාව ලැබෙනවා. මුදල් පරිහරණය වැඩි වූ විට ආර්ථිකයේ විශාල දියුණුවක් ඇති වෙනවා. රටේ ආර්ථිකය සාමාන්‍ය මිනිසාගේ ආර්ථිකයක් බවට පත් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. අප ඒ සඳහා විශාල බරක් දැරූ අතර කෙසේ හෝ මේ වැඩ කටයුතු ඉදිරියට කර ගෙන ගොස් මැතිවරණයෙන් පසුව හොඳ ආර්ථිකයක් ඇති කරමු යැයි අප කියා සිටියා.

මේ වන විට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් වෙමින් තිබෙනවා. ජනතාවට එය විශාල ශක්තියත්… අප ආණ්ඩුව පිහිටුවා මාස 3 ක් වත් ගත වී නොමැති තත්ත්වයක් තුළ අපට ඒ කටයුතු කිරීමට හැකි වුණා. අපට ඉදිරියේ දී බොහෝ වැඩ කටයුතු ප්‍රමාණයක් කිරීමට තිබෙනවා.

තරුණ තරුණියන්ට නොමිලයේ අන්තර්ජාල වයි – ෆයි පහසුකම් ලබාදීමට කටයුතු කළ අතර ගැබිණි මව්වරුන්ට මුදල් ලබාදීමට කටයුතු කළා. මීට පෙර කිසිඳු ආණ්ඩුවක් මේ කටයුතු සිදු කළේ නැහැ. අපට මේ සඳහා ද මුදල් ගෙවිය යුතුව තිබෙනවා. ඒ වගේම බස් ගාස්තු ද අඩු කරමින් ජනතාවට සහන ලබා දුන්නා.

අප ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටයි. අප කියා සිටියේ කැබිනට් මණ්ඩලය තුළින් පාර්ලිමේන්තුවට වගකියන ක්‍රමයක් ඇති කරන බවයි. විධායක ජනාධිපතිවරයාගේ ඒ බලතල ඉවත් කිරීමට නම් ජනමත විචාරණයක් අවශ්‍ය වනවා. මේ අවස්ථාවේ ජනමත විචාරණයක් අනවශ්‍ය බැවින් කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට වගකියන ක්‍රමයක් ඇති කරනවා. අප ඉදිරිපත් කර තිබෙන ප්‍රධානතම වෙනස එයයි. ඊට අදාළ සංශෝධනය අප මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ සමගම ස්වාධීන මැතිවරණ, පොලිස්, රාජ්‍ය සේවා, අධිකරණ යන කොමිෂන් සභා නැවත ස්ථාපිත කරනවා.

ඒ වගේම දැන් ජනතාවට විශාල නිදහසක් තිබෙනවා. කාලයකට පසු ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා විවේචනය කිරීමේ නිදහස ලැබී තිබෙනවා. එසේ කළා කියා කිසිවෙකු සුදු වෑන්වලින් රැගෙන යන්නේ නැහැ. සියලූ දෙනා නීතිය අනුව ක්‍රියා කළ යුතුව තිබෙනවා. දැන් නිදහස් වාතාවරණයක් මේ රටේ අලූතින් ඇති වී තිබෙනවා. නීතිය රජ කරවීම සඳහා සෑම අවස්ථාවකම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

ඒ වගේම දේශපාලන ක්‍රමයේ වෙනසක් ඇති වී තිබෙනවා. මාධ්‍යයට නිදහස ලැබී තිබෙනවා. ජනතාවට තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත ද අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉදිරියේ දී කටයුතු කරනවා. ඉදිරි මැතිවරණය මනාප ක්‍රමය යටතේ පැවැත්වෙන අවසාන මැතිවරණය බවට පත් කිරීමට ජාතික විධායක සභාවේ දී සාකච්ඡා කළා. ඒ අනුව අනුපාත ක්‍රමය සහ කේවල ක්‍රමයෙහි සම්මිශ්‍රණයක් සහිත මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම සඳහා කොමිසමක් පත් කර වාර්තා ලබා ගන්නවා. මේ ක්‍රමයේ දී පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කළ යුතු නම් එය 250 කට යටත්ව සිදු කිරීමත්, ආසන බෙදා වෙන් කරන ආකාරය පිළිබඳවත් සියලූ පක්‍ෂ සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිනෙනවා නම් අපේ‍ර්ල් මාසයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.

ඒ අනුව රටේ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහාත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දු ඉටු කිරීම සඳහාත් අප මේ කටයුතු සිදු කරනවා. අපට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති වුවත් සියලූ දෙනාගේම සහයෝගය ලබා ගෙන එය සම්මත කර ගැනීමට හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

දූෂණවලට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබා දෙන බව එදා අපි කියා සිටියා. අද ඒ කටයුතු ආරම්භ කර තිබෙන අතර දූෂණය නැති කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. මේ දූෂණ සහ අපරාධ පිළිබඳව සොයා බැලීමට අල්ලස් හා දූෂණ කොමිසමට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරියක් පත් කිරීමට අප කටයුතු කළ අතර එහි අලූත් අංශ කිහිපයක් ඇති කිරීමට ද පියවර ගත්තා.

නමුත් මා එක් දෙයක් පැහැදිලිව කිව යුතුයි. සරත් ෆොන්සේකා මහතාට එරෙහිව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා නඩු කියූ ආකාරයට කිසිවෙකුට නඩු කීමට මා කැමැති නැහැ. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පැය 24 කින් ඉවත් කළ ආකාරයට අප කටයුතු කිරීමට සූදානම් නැහැ. අප පැමිණියේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමටයි. එම නිසා පසුගිය කාලයේ සිදු වූ දූෂණ, වංචා පිළිබඳව සොයා බැලිය යුත්තේ නීතියට අනුවයි. එසේ නොවුණහොත් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව කටයුතු කළ ආකාරයට නඩු ඇසීමටත්, එසේ නොමැති නම් පැය 24 න් ඉවත් කිරීමටත් සිදු වේවි. අපි කිසි විටෙක ඒ ආකාරයට කටයුතු කිරීමට සූදානම් නැහැ.

බොහෝ දෙනෙකුට එරෙහිව මේ වන විට චෝදනා පත්‍ර ඉදිරිපත් කර තිබෙන අතර සමහරුන් අධිකරණය හමුවට ගොස් තිබෙනවා. එතැන් සිට එම චෝදනා පිළිබඳව පරීක්‍ෂණ ඉදිරියට සිදු කෙරෙනු ඇති… කෙසේ වෙතත් අප කටයුතු කළ යුත්තේ නීතියට අනුව වන අතර නීතියට පිටින් වැඩ කිරීමට අපට හැකියාවක් ඇත්තේ නැහැ. දූෂණ හා වංචාවලට සම්බන්ධවූවන්ට නීතිය ක්‍රියාත්මක නොකරනු ඇති බව අප බලයට පත්වූ පසු ඇතැම් අය කියා සිටියා. නමුත් පළමු දෙතුන් දෙනාට එරෙහිව නඩු පැවරූ පසු දැන් සාක්‍ෂි ලැබෙමින් පවතිනවා. දැන් තිබෙන ප්‍රශ්නය වන්නේ මේ පරීක්‍ෂණ ඉදිරියට කර ගෙන යාම සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැතිවීමයි. ඒ වගේම වංචා හා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින් අල්ලා ගත් පසු ඔවුන් පිළිබඳව පරීක්‍ෂණ කර පිටරටවල තිබෙන මුදල් සොයා ගන්නේ කෙසේද යන්න පොලිසියේ ඇතැම් නිලධාරීන්ට පළපුරුද්දක් ඇත්තේ නැහැ. එම නිසා එම නිලධාරීන් වෙනම පුහුණු කරවන අතර පිටරටවල තිබෙන මුදල් සොයා ගැනීම සඳහා අමෙරිකාවෙන්, ලෝක බැංකුවෙන්, ඉන්දියාවෙන්, එංගලන්තයෙන් උදව් ඉල්ලා තිබෙනවා.

මෙය ඉතා විශාල මුදල් අධිරාජ්‍යයක්…. ඉතා සූක්‍ෂම ආකාරයට මේ කටයුතු කර තිබෙනවා. කොන්ත්‍රාත්තුව ගෙන එයට කොමිස් දමා, ඒ කොමිස්වලටත් උඩින් තවත් කොමිස් එකක් දමා තිබෙනවා. දැන් මේවා පිළිබඳව සොයාගෙන යනවා.

අප නීතියට යටත්ව මේ වැඩ කටයුතු කරන නිසා කිසිවෙකුගෙන් දෝෂාරෝපණ එල්ල වන්නේ නැහැ. අපි නීතියේ ආධිපත්‍යයට යටත්ව මේ කටයුතු සිදු කරන නිසා සියලූ දෙනාගේ ආධාර අපට ලබා දෙනවා.

පොරොන්දු වූ පරිදි සියලූ වැඩ කටයුතු අවසන් කර දින 100 වැඩසටහන අවසන් කරනවා. ඉන් අනතුරුව මැතිවරණයට ගොස් එය ජයග්‍රහණය කළ යුතුයි. එහිදී එක්සත් ජාතික පක්‍ෂයට බහුතරයක් ලබා ගෙන නැවත සියලූ දෙනා සමග එකතු වී ආණ්ඩුවක් පිහිටුවනවා.

සමහරුන් අමාත්‍යවරුන් ද, තවත් අය නියෝජ්‍ය අමාත්‍යවරුන් ද ලෙස පත් වන අතර අලූතින් කාරක සභා පත් කර ඒවාහි සභාපති, උප සභාපති ධූර තවත් පිරිසකට ලැබෙනවා. නව රැකියා ලක්‍ෂ 10 ක් ඇති කිරීමටත්, ආදායම් මාර්ග වැඩි කිරීමටත්, මේ ආකාරයට මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කළ යුතුයි.

යුද්ධය හේතුවෙන් අපේ රට වසර 5 ක් පසුපසට ගොස් තිබෙනවා. අපි එකට එකතු වී හරියට වැඩ කළොත් පසුපසට ගොස් තිබෙන ඒ වසර 5 පමණක් නොව තවත් වසර පහක් ඉදිරියට යාමට හැකියාව ලැබෙනවා. පළමුව අප රට ගැන සිතා වැඩ කළ යුතුයි. අපට ලබාදිය හැකි හොඳම පණිවුඩය අප මේ නව මාර්ගයේ යමු යන්නයි. එය කළ හැකි බව දින 100 කින් විශාල වැඩ කොටසක් ඉටු කරමින් අප පෙන්වා දී තිබෙනවා. දින 100 ක් තුළ මෙවැනි වැඩ කොටසක් ඉටු කළා නම් වසර 5 ක දී ඉටු කළ හැකි වැඩ කොටස කොපමණ දැයි ඔබට සිතාගත හැකියි. ඒ සදහා අවස්ථාව ලබා ගැනීමට ජනතාව අතරට ගොස් ඡන්දය ලබා ගැනීමට කටයුතු කරන්නැයි මා ඔබගෙන් ඉල්ලා සිටිනවා.

*2015.04.05 වැනි දින අම්පාර, දයා ඇපරල් කර්මාන්තයේ පැවැති එක්සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරී සහ සාමාජික හමුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස් 

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    3

    සිරිසේන ජනාධිපතිවරයා සුලුතර පක්‍ෂකින් අගමැති පත් කිරීම සහ තම අත්සන යෙදූ ලිපියකින් බලහත්කාරය යොදවා අග්‍ර විනිශ්චයකාරවරයා ඉවත් කිරීම පැහැදිලිවම තම විධායක බලය ව්‍යවස්ථාවට පටහැනිව අයුතු ලෙස යොදා ගැනීමක්. නමුත් එවැන්න අනාගත දෝෂාභියෝගයකට අමු ද්‍රව්‍ය බව ඔහුට පෙනෙන්නෙ නැහැ. සිරිසේන එ් තරමට බලයෙන් මත්වෙලා. මහින්ද වගේ අවුරුදු 10ක් සිරිසේන රජ කම් කොලා නම් තව කොහොම තියෙයිද? අපි එහෙම කියන්නෙ කටට අාවට නොවෙයි. ලප කුමාර තමයි කියන්නෙ “හඬ චම්පකගෙ උනාට අත මෙෙත්‍රිගෙ” කියල. විධායක බලය අගමැතිට පවරල රට අස්තාවර නෙකරන එකටයි ජප්පොන්ට තද වෙලා තියෙන්නෙ. කොහොම උනත් දැන් සිරිපාලත් කියනව එයාගෙ ශ්‍රිලනිපත් 19 වෙනි සංශෝධනයට විරුද්ධයි කියල. දැන් ඉතින් රනිල්ටයි ලප කුමාරයටයි වෙන්නෙ ජෝඩු දමල ගඟට පනින්නයි. බලාගන යනකොට කැඳ හැලි ජහපාලනය දින 100 යට ගහපු බෙරේ කුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.

    බලයට පත්වී දින 100 ක සුලු කාලයට සිරිසේන බලයෙන් මත් වෙලා යථාර්ථයට අන්ධ වෙලා. එයා හිතන්නෙ තර්ජනයෙන් ගර්ජනයෙන් තමන් කොල්ල කා ගත්ත ශ්‍රිලනිප ට දෙන චන්ද හසුරවන්න පුලුවන් කියලයි. සිරිසේනයි චෞරවියයි හිතන්නෙ මහින්දට ලැබුන චන්ද ලක්‍ෂ 58 දැන් දෙන්නගෙ සාක්කුවෙ කියලයි. සිංහලයො 58%ක් චන්දෙ දුන්නෙ පැරදිච්ච මහින්දටයි. සිරිසේනට විරුද්ධවයි. මහින්දට ලැබුන චන්ද සිරිපාල ලා වැන්න් නිසා ලැබුන චන්ද නෙවෙයි. මහින්දට ලැබුන ලක්‍ෂ 58න් 90% ක් බුලත් කොලෙන් නෙවෙයි බුලත් නැට්ටෙන් ඉල්ලුවත් මහින්දට ලැබෙනවා සහතිකයි. මහින්ද නැතිව මෙෙත්‍රිගෙ ශ්‍රිලනිප ට එ් චන්ද වලින් ලැබෙන්නෙ 10% ටත් අඩුවෙන්. නැගගන එන නුගේගොඩ මිනිහා පැහැදිලිව කියන්නෙ එ්කයි.

    පරන ක්‍රමට චන්දෙ තිබ්බත් අලුත් ක්‍රමයට තිබ්බත් වැඩි අාසන ගනනක් තියෙන්නෙ දකුනෙයි. එ්වා ලැබෙන්නෙ සිංහල චන්ද මතයි. ලප කුමාරයගෙ කතාවෙන් පෙනෙන්නෙ එන මහ චන්දය ‘first past the post’ ක්‍රමයට තියන එක ස්ථීර බවයි.

    රනිල් එජා පාක්‍ෂිකයන්ගෙ ඔලුවලට කාවද්දන්නෙ ජනාධිපතිවරණයෙදි හන්සයට චන්දෙ දීපු උන් ඔක්කොම පාර්ලිමේන්තු මැතිවරනෙදි එජාප යට චන්දෙ දෙනව කියලයි. නමුත් අැත්ත කතාව නම් හන්සයට දීපු චන්ද ලක්‍ෂ 62 පක්‍ෂ ගනනාවක් අතර බෙදෙනවා කියන එකයි. එජාපටයි ජවිපෙටයි හවුලෙ චන්දෙ ඉල්ලත හැකිද? බැහැ. ජප්පොන්ගෙ චන්ද ලක්‍ෂ 3 හරි 5 හරි අර 62 න් අඩු වෙනවා. TNA ම්ස්ලිම් කොංග්‍රස් චන්දත් අඩුවෙනවා. එජාප චන්ද මල්ල ලක්‍ෂ 40ට බහිනවා. රනිල් රැවටිලා පි. දයාරත්න එජාප යට හැරුනට මහින්දට ලැබුන චන්ද එකක් වත් එජාපයට හැරෙන්නෙ නැහැ.

    අැමරිකාවෙ බකිම්හැම් මාලිගයකින් ගෙනාපු රත්තරන් අස්සයො ගැන කියල මහින්දට හොරා හොරා හොරා කියල පච කෙලල සිංහලයව ගොනාට අන්දලා වෙෙරයෙන් මුසපත් කරලයි සිංහලයො ටික දෙනෙක් ගෙ චන්දය කඩා ගන ලක්‍ෂ 4.5 ක වැඩි චන්දයෙන් සිරිසේන ජනපති උනේ. දැන් කැඳහැලි ට්‍රයෝකාව පිහිටුවල දින 100ත් ඉවරයි. තවම අල්ලපු රත්තරන් අශ්වයකුත් නැහැ, ශිරන්තිගෙ රත්තරනුත් නැහැ, ලැම්බොගිනිත් නැහැ, හෙලිකොප්ටරුත් නැහැ. එ් උනාට අතට අහු උන අලි හොරු, හෙජිං හොරු, අර හොරු, මේ හොරු ඔක්කොම හොරු මදිවට මර්වින් මැරයත් යහපාලනයට අරක් අරන් සුද්ද වන්තයො වෙලා. මොන උප්පරවැට්ටි දැම්මත් මහ බැංකු ට්‍රෙෂරි බොන්ඩ් වලට යහපාලන නඩය ගහපු ගැහිල්ල වහ ගන්න බැරි උනා. මුලු රටම එ් ගැහිල්ල ගැන දන්නවා. අද අපේ ගම් වල හන්සයට චන්දය දුන්න සිංහලයො ඉන්නෙ කොල පාට ලේ තියන උන් විතරයි. අපේ ගම්වල මොලේ තියන මධ්‍යස්ත මිනිස්සුන්ට ලැජ්ජයි හන්සයට චන්දෙ දුන්න කියන්න.

    අගමැති රනිල් කල්මුණේ නගරය දියුණු කරල මුස්ලිම්වරුන්ට ද හොඳ නගරයක් ලබා දෙන්න කටයුතු කරන බව කියනවා. එහෙම කියන්නටත් කරන්නටත් එයාට (රනිල්ට) අයිතියක් තියන බවත් අපි පිළිගන්නවා. එ් සමගම අපිත් අගමැති තුමාට යමක් කිව යුතුයි. මම කියන්න යන්නෙ අගමැති පත් කොරපු හැටි නෙවෙයි. අපේ පලාත් වල මහින්ද පටන් ගත්ත සංවර්ධන වැඩ ගෙඩිය පිටින් නතර වෙලා කියන එකයි. දැරණියගල බස් ස්ටැන්ඩ් එකේ වැඩ ජනවාරි ඉඳල නතර කරල. මොරගහහේන අළුත් බස් ස්ටැන්ඩ් එකේ වැඩ තව ටිකයි කරන්න තියෙන්නෙ, එ් ටිකවත් ඉවර කලේ නැහැ. හොරණ – පාදුක්ක කහවල හරහා පාරට ගල් දමල තලල නමුත් කර්පට් කරන එක නවත්වලා නිසා ගල් සේදිලා ගිහින් කානුවල. පනාගොඩ සිට අැඹුල්ගම දක්වා කි.මී.6 කාර්පට් කිරීම බාගෙට කරල නවතලා මැෂින් අාපහු ගෙනිහින්. කහතුඩුව කොළඹ වත්තෙ ගල් දමල තාර නැහැ. ඔය මම කිව්වෙ මා දන්න ටික පමණයි. නමුත් හැම තැනම තත්වෙ ඔිකයි කියල රට පුරාම මිනිස්සු කියනවා. රනිල් තුමා සුලු ජාතීන්ගෙ අගමැති මිසක් සිංහලයන්ගෙ අගමැති නෙවෙයි කියල අපට හිතෙනවා.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.