26 February, 2024

Blog

පවිත්‍රා වන්නිආරච්චි සමනල වැව හා වනාන්තර අක්කර 2000ක් ඉවත් කර නීති විරෝධී විදුලි වැටකින් අලි – ඇතුන්ගේ වාසස්ථාන දෙකඩ කිරීම අඛණ්ඩව කරයි

සජීව චාමිකර

සජීව චාමිකර

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙස කටයුතු කරන පවිත්‍රා වන්නිආරච්චි හා ඇය ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කරන බලංගොඩ, ඇල්ලෙපොල, රංජිත් පුෂ්පකුමාර හා එක් වී සමනල වැව වනාන්තර පද්ධතිය දෙකඩ කරමින් නීති විරෝධී ව විදුලි වැටක් ඉදිකිරීම සඳහා කිලෝමීටර 7 ක් පමණ දිග, අක්කර 30 කට වැඩි වනාන්තර තීරයක ශාක කපා ඉවත් කර වනාන්තර එළිපෙහෙළි කිරීම අද වන විට අවසන් කර ඇත. මෙම වනාන්තරය රජවක වන රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

සමනල වැව වේල්ලේ කුඹල්ගම සිට කිලෝමීටර 15 ක පමණ දිගින් යුත් විදුලි වැටක් ඉදි කිරීම සඳහා මෙම වනාන්තර එළි කිරීම සිදු කරයි. ඒ මගින් සමනල වැව ජල පෝෂක වනාන්තරය කොටස් දෙකකට වෙන් කර ඇති අතර අලි – ඇතුන් ගේ වාසස්ථාන සම්පූර්ණයෙන් ම අවහිර කර දැවැන්ත හානියක් සිදු කර ඇත. මේ නිසා අලි – ඇතුන්ට පමණක් නොව අනෙක් විශාල ක්ෂීරපායී සතුන්ට ද සමනල වැව දෙසට පිවිසීමට ඇති අවස්ථාව සම්පූර්ණයෙන් ම විදුලි වැට මගින් අවහිර වනු ඇත.

මෙම විදුලි වැට ඉදි කිරීම හේතුවෙන් සමනල වැව, කොස්ගම තලාව, කොස්ලන්ද, සොරගුනේ හා වෑඑළිය ඇතුළු අක්කර 2000 කට වැඩි වනාන්තර ප්‍රදේශයක් අලි – ඇතුන්ට අහිමි වේ. නිවැරදි සැලැසුමකින් තොර ව විශාල වනාන්තර පද්ධතියක් දෙකඩ කර අලි – ඇතුන් ගේ වාසස්ථාන අවහිර කර විදුලි වැට ඉදි කිරීම හේතුවෙන් අනාගතයේ දී දැවැන්ත අලි – මිනිස් ගැටුමක් මෙම ප්‍රදේශයේ වර්ධනය වනු ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි මුල්ගම, වටවල, පෝටකඩ, වල්ලකළමුල්ල, දෙනිපිටිය, ගොමිඅරාව, කෙරතල, වෑගුණපට්ටිය හා බලිදුවැව යන ගම්මානවලට අලි – ඇතුන් පිවිසීම වැළැක්වීම සඳහා මෙම විදුලි වැට ඉදි කිරීමට යෝජිත වී ඇත. ඒ සඳහා සමනල වැව වනාන්තරය දෙකඩ කර විදුලි වැටක් ඉදි කිරීම අවශ්‍ය නොවන අතර මෙම ගම්මාන වට කර පෝටකඩ සිට ඇල්ලකඳුර ගල දක්වා විදුලි වැට සකස් කළ විට මේ සියලූ ම ගම්මානවලට අලි – ඇතුන් පිවිසීම පාලනය වේ. මේ වන විට කෙරතල ගම්මානය වටා විදුලි වැටක් සකස් කර ඇත. ඒ ආකාරයෙන් අනෙක් ගම්මානවලට ද අලි – ඇතුන් පිවිසීම පාලනය කළ හැකි ය. ඒ වෙනුවට දැවැන්ත වන විනාශයක් හා සුවිශේෂී වනාන්තර පද්ධතියක් දෙකඩ කිරීම අවශ්‍ය නොවේ.

උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට මිල්ලගල අලිමංකඩ හරහා කල්තොට, දූවිලි ඇල්ල දක්වා අලි සංක්‍රමණය වීමේ දී මෙම ගම්මානවලට අලි – ඇතුන් පිවිසීම වැළැක්වීම මෙම විදුලි වැට ඉදි කිරීමේ අරමුණ වී ඇත. නමුත් උඩවලවේ සිට පොකුණුතැන්න, මිල්ලගල, බෝගහපට්ටිය, ඉලුක්පැලැස්ස, දූවිලි ඇල්ල දක්වා වලවේ ගඟ දිගේ ගමන් කරන මෙම අලි – ඇතුන් මෙම ගම්මානවලට පිවිසීම වැළැක්වීමට ගම්මාන ආවරණය වන පරිදි කුඩා විදුලි වැටක් ඉදි කර මෙම ප්‍රශ්නයට විසදුම් ලබා දීමට හැකියාව තිබිය දී දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස පවිත්‍රා වන්නිආරච්චි හා රංජිත් පුෂ්පකුමාර එක් වී මෙය ක්‍රියාත්මක කරන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විෂය භාර නිලධාරීන් ගේ සැලැසුමක්, අධීක්ෂණයක් හා මඟ පෙන්වීමක් නොමැති ව ය.

ක්‍රමවත් සැලැසුමකින් තොර ව අලි – ඇතන් ගේ වාසස්ථාන ඛණ්ඩනය වන පරිදි විදුලි වැටවල් ඉදි කිරීම හේතුවෙන් අලි – මිනිස් ගැටුම දිනෙන් දින වර්ධනය වෙමින් තිබිය දී මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වන ආකාරයෙන් අලි – ඇතුන් ගේ වාසස්ථාන ඛණ්ඩනය කිරීමෙන් මෙම ගම්මානවල මෙන් ම ඒ අවට ගම්මානවල ජනතාවට ද අනාගතයේ දී දරුණු අලි – මිනිස් ගැටුමකට මුහුණ දීමට සිදු වනු ඇත.

සමනල වැව වනාන්තරය ඇතුළු ව විශාල වනාන්තර ප්‍රදේශයක් වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව 2008 නොවැම්බර් 25 වන දින අංක 1577/5 දරන ගැසට් නිවේදනය මගින් රජවක වන රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. මෙම පනතේ 7(1) උප වගන්තිය යටතේ රක්ෂිත වනය තුළ තහනම් ක්‍රියා සියල්ල දක්වා තිබේ. එම උප වගන්තියට අනුව රක්ෂිත වනයට අයුතු ලෙස ඇතුළු වීම හා රැඳී සිටීම, ගස් කැපීම, පොතු ගැලවීම, ශාක පිළිස්සීම, දියපහරවල් අවහිර කිරීම, වනය තුළ ඇති පැළෑටි හෝ කොටස් ඉවත් කිරීම, ප්‍රවාහනය, විනාශ කිරීම, වැලි, පස්, ගල් ඉවත් කිරීම, යන සියලූ ම ක්‍රියා තහනම් වේ.

එවන් ක්‍රියාවකට මහේස්ත්‍රාත් අධිකරණයක දී වරදකරුවකු වන පුද්ගලයකු වසර 5 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 10,000 ත් ලක්ෂයත් අතර දඩයකට හෝ මේ දඬුවම් දෙකට ම ලක් කළ හැකි ය. මෙම දඬුවම්වලට අතිරේකව රක්ෂිත වනයට කරන ලද හානිය සඳහා අධිකරණය විසින් හානියේ ස්වභාවය අනුව තීරණය කරන වන්දි මුදලක් දඩයක් ලෙස නියම කළ හැකි ය.

පනතේ 7(2) උප වගන්තියට අනුව රක්ෂිත වනයක තහනම් ක්‍රියාවක් සිදු කිරීම සඳහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරදකරුවකු වන අතර එම තැනැත්තා ද එම දඬුවමට ම යටත් විය යුතු ය.

එපමණක් නොව වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව පාලනය වන රජයට අයත් වනාන්තර කොටස් එළි කරමින් මෙම විදුලි වැට ඉදි කිරීම සිදු කරයි. මෙම වගන්තියට අනුව රජයට අයත් වනයක ගස් ගපා හෙළීම, දැව හෙළීම, මාර්ග සකස් කිරීම හා භාවිතා කිරීම යන සියලු ක්‍රියා තහනම් වේ. එවන් තහනම් ක්‍රියාවක නිරත පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයකින් වරදකරුවකු කරනු ලැබූ විට වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50,000 ත් අතර දඩයකට හෝ මේ දඩුවම් දෙකට ම ලක් කළ හැකි ය. මෙම දඩුවම්වලට අමතර ව අධිකරණය විසින් නියම කළ වන්දි මුදලක් දඩයක් ලෙස හානිය සම්බන්ධයෙන් ගෙවීම ද කළ යුතු ය. මීට අමතර ව පනතේ 20(2) උප වගන්තියට අනුව රජයට අයත් වනාන්තරවල තහනම් ක්‍රියා සිදු කිරීමට ආධාර හා අනුබල ලබා දීම ද වරදක් වන අතර ඒ සම්බන්ධයෙන් වරදකරුවකු වන පුද්ගලයකු එම දඩුවම්වලට ම යටත් විය යුතු ය. එය පවිත්‍රා වන්නිආරච්චි හා රංජිත් පුෂ්පකුමාරට ද අදාළ වේ.

මෙම පනතට අමතර ව සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප්‍රදේශයක් එළි කර වනාන්තර නොවන භාවිතාවක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් විශාල වනාන්තර පද්ධතියක් එළි කර සිදු කරන විදුලි වැටවල් කිරීමේ කටයුතු කිසිදු පාරිසරික අනුමැතියකින් තොරව බලහත්කාරයෙන් සිදු කරමින් පවතී. ඒ සඳහා ජාතික පාරිසරික පනත ක්‍රියාත්මක කරන මධ්‍යම පරිසර අධිකාරිය මෙතෙක් මැදිහත් වී නොමැත.

අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදු කරන මෙම සියලු ක්‍රියා වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනී‌මේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ එවන් පුද්ගලයකු වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

මෙම නීතිමය තත්ත්තවයන් උල්ලංඝනය කරමින් පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරියට අභිමත බලය භාවිත කර සමනල වැවේ ප්‍රධාන ජල පෝෂක වනාන්තර හා රජවක වන රක්ෂිතයට අයත් අක්කර 40 කට වැඩි ප්‍රමාණයක් විනාශ කර විදුලි වැටක් ඉදි කිරීමට අනුමැතිය ලබා දීමට කිසිදු බලයක් නොමැත. මෙය නීති විරෝධී ක්‍රියාවකි. එපමණක් නොව බලය අයුතු ලෙස භාවිත කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් කොටසේ 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය පසිදලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුතු ය යන්න මෙමගින් උල්ලංඝනය කර ඇත.

විදුලි වැටක් ඉදි කිරීමේ දී එක් කිලෝමීටරයක් සඳහා අක්කර 2.5 ක වනාන්තර ඉවත් කිරීමට සිදු වන අතර රුපියල් මිලියන 2 ත් 3 ත් අතර මුදලක් වැය වේ. මේ මගින් කොමිස් මුදල් ලබා ගැනීම හා දැව ජාවාරම පදනම් කර ගෙන මෙම විදුලි වැට ඉදි කරන බව පෙනෙන්නට තිබේ. එසේ නොමැති නම් මෙම විදුලි වැට ජනාවාස ආවරණය කර ඉදි කිරීම සිදු කළ යුතු ය.

රක්ෂිත වනාන්තර විනාශ කරමින් නීති විරෝධී හා අලි – ඇතුන් ගේ වාසස්ථාන ඇතුළු සමනල වැවේ ජල පෝෂක වනාන්තර දෙකඩ කරන අවිධිමත් විදුලි වැට ඉදි කිරීම වහා ම නතර කර ඒ වෙනුවට පෝටකඩ සිට ඇල්ලකඳුර ගල දක්වා විදුලි වැට නිවැරදි අධ්‍යයනයක් හා සැලැසුමක් මත පදනම් ව මුල්ගම ඇතුළු ගම්මාන ආවරණය වන පරිදි ඉදි කර අලි – ඇතුන් ගම්මානවලට හා වගා බිම්වලට පිවිසීම වැළැක්වීමට ක්‍රමවේදයක් සකස් කර ක්‍රියාත්මක කරන ලෙස අවධාරණය කර සිටිමු. මීට අමතර ව පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය විසින් නීතියේ ආධිපත්‍යය බිඳ දමමින් දැව ජාවාරම්කරුවන් හා නීති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීම්වලට මැදිහත් වන ව්‍යාපාරිකයන් වෙනුවෙන් මේ අකාරයෙන් අන්තනොමතිකව ගනු ලබන තීරණ හා නීති විරෝධී ක්‍රියා නැවැත්වීමට ද පියවර ගත යුතු ව ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.