20 October, 2020

Blog

එල්ලන්න ද, එපා ද?

සාලිය පීරිස්

සාලිය පීරිස්

සාලිය පීරිස්

මරණ දඬුවම වෙනුවෙන් නැගෙන උද්වේගකර ඉල්ලීම් 

පස් හැවිරිදි සේයා දැරියගේ ඛේදනීය ඝාතනයත් සමග මරණ දඬුවම ඉල්ලා කෙරෙන හඬනැගීම් කරලියට විත් තිබේ. එල්ලූම් ගස ගැන තීරණයක් ගැනීම පාර්ලිමේන්තුවට භාර කරන බව කීමෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පවා මේ ප‍්‍රශ්නයට මැදිහත් වුණි. සමාජ මාධ්‍ය තුළ මීට අදාළව අනේක පෙත්සම් අත්සන් කෙරෙන අතර එල්ලූම් ගස නැවත ස්ථාපිත කරන්නැයි කරන ඉල්ලීම්වලින් එම මාධ්‍ය පිරී යයි. මෙය, සකල අපරාධවලට දිය හැකි කෝකටත් තෛලයක් සේ ගන්නා සෙයක් පෙනෙන්ට තිබේ. දහස් ගණන් අත්සන් කළ, බාගෙ විට උගත් සහ බුද්ධිමත් පිරිස් පවා ඒ අතරේ සිටිය හැකි එක් අන්තර්ජාල පෙත්සමක්, ළමා අපයෝජකයන්ව නිසි නඩු විභාගයකින් තොරව පවා මරා දැමිය යුතු බව කියා තිබුණි.

මරණ දඬුවම යළි ස්ථාපිත කිරීම ඉල්ලා සිටින මෙවැනි ඇවිස්සුණු ප‍්‍රතිචාරයන් තුළ අවදානමක් සහ අනතුරක් ඇත. ඒ අතරින් වඩාත් භයානක වන්නේ, දෝෂ සහගත අධිකරණ ක‍්‍රියාවලියක් තුළ වින්දිතයන් බවට පත්වන අහිංසකයන් නිරපරාදේ මරණයට ලක්වීමට ඇති ඉඩකඩයි.

කිසි දවසක අහෝසි කොට නැත

ලංකාවේ මරණ දඬුවම කිසි දවසක අහෝසි කොට නැත. බරපතල අපරාධ සම්බන්ධයෙන්, වැඩියත්ම මිනීමැරුමේ අපරාධය සම්බන්ධයෙන් අපේ රටේ විවිධ පෙදෙස්වල මහාධිකරණ මගින් නිතර මරණ දඬුවම නියම කෙරේ. මිනීමැරීම හැරුණු කොට, අපේ දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ මරණ දඬුවම පමුණුවන අපරාධ ඇත්තේ කිහිපයක් පමණි. කෙසේ වෙතත්, එම අපරාධ සඳහා අපේ අධිකරණ ඉදිරියේ පසුගිය දශක ගණනාව තුළ නඩු පැවරී නැත. රාජ්‍යයට එරෙහිව යුද වැදීම සහ අහිංසකයෙකු මරණ දඬුවමට ලක් කෙරෙන සේ බොරු සාක්ෂි සකස් කිරීම එම අපරාධ අතරට ගැනේ. සියදිවි නසා ගැනීමට තැත් කිරීම තවදුරටත් අපේ නීතිය යටතේ වරදක් නොවෙතත්, සියදිවි නසා ගැනීමට සහාය වීම මරණීය දණ්ඩනය ලැබිය හැකි අපරාධයකි. මිනීමැරීම යටතේ ශ‍්‍රී ලංකාවේ මරණීය දණ්ඩනය ලබන්නන් හැරුණු කොට වැඩියත්ම මරණ දඬුවමට නියම කෙරෙන්නේ, ග‍්‍ර‍්‍රෑම් දෙකකට වැඩි හෙරොයින් ප‍්‍රමාණයක් ළඟ තබාගෙන හෝ ජාවාරම කර තිබී වැරදිකරුවන් වන අයවළුන් ය.

මරණ දඬුවම ප‍්‍රකාශයට පත්කිරීම

මරණීය අපරාධයකට යමෙකු වැරදිකරුවෙකු කරන මහාධිකරණ විනිසුරුවරයෙකු මරණ දඬුවම නියම කිරීමට මත්තෙන් යමක් කීමට ඇත්දැයි එවැනි පුද්ගලයෙකුගෙන් විමසනු ලැබේ. විත්තිකරුවා කියන සෑම දෙයක්ම සටහන් කර ගැනෙන අතර එය ජනාධිපතිවරයා වෙත පසුව ඉදිරිපත් කෙරේ. වරක් යක්කලමුල්ලේ හය දෙනෙකු ඝාතනය කළ චූදිතයෙකුට එරෙහි පැමිණිල්ල වෙනුවෙන් මම ගාල්ල මහාධිකරණයේ පෙනී සිටියෙමි. ජුරිය මගින් එහිදී ඔහුව වැරදිකරු කරන ලදි. ඔහුට කීමට ඇත්තේ කුමක්දැ යි විමසූ විට විත්ති කූඩුවෙන් එළියට පැන ජුරිය ඉදිරියට ගිය ඔහු, ‘උඹලාව මං මරනවා’ යැයි කීය. තවත් අවස්ථාවකදී, මීගමුවේ තුන් දෙනෙක්, සාක්ෂි දෙන අවස්ථාවේ ගැබ්බරව සිටි කාන්තාවකගේ සාක්ෂි මත, මිනීමැරුමට වැරදිකරුවෝ වූහ. එවිට, ඇය බොරු සාක්ෂි දුන් බවට චෝදනා කළ තුන්වැනි විත්තිකරුවා වූ අනිත් විත්තිකරුවන් දෙන්නාගේ පියා, ඇයටත් ඇගේ කුසේ සිටි දරුවාටත් පළිගැසුවේය.

sadeumiවිත්තිකරුගේ අවසාන වචන දැන ගැනීමෙන් පසු අධිකරණ ශාලාවේ සියලූ විදුලි පංකා සහ විදුලි එළි නිවා දැමෙන අතර, අධිකරණ ශාලාවේ අසුන්ගෙන සිටින සියල්ලන්ට නැගිට සිටින ලෙස දන්වනු ලැබේ. අනතුරුව තීන්දුව ප‍්‍රකාශයට පත්කරන මහාධිකරණ විනිසුරුවරයා, ජනාධිපතිවරයා විසින් නියම කරන දිනයකදී සහ වේලාවකදී, වැලිකඩ හිරගෙදර බිත්ති හතර මැද්දේ, විත්තිකරු මරණයට පත්වන තෙක් බෙල්ලෙන් එල්ලිය යුතු බවට තීන්දු කරයි. ඉස්සර නම්, මරණ දඬුවම ප‍්‍රකාශයට පත්කිරීමට කලින් විනිසුරුවරයා කළු කැප් තොප්පියක් පළඳින අතර තීන්දුව දීමෙන් පසු, තමාගේ අප‍්‍රසන්න අත්දැකීම් නිරූපණය කරනු වස්, එම තීන්දුව ලියූ පෑන් තුඩ කඩා දමයි.

මෙසේ දෙන ලද මරණ දඬුවම ක‍්‍රියාත්මක නොකෙරෙන බව සියල්ලන් දැන සිටියත් කාටත් එය අප‍්‍රසන්න බරකි. පැමිණිල්ලේ නීතිඥවරියන්ගේ, අධිකරණ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සහ ජුරි සභිකයන්ගේ ඇස්වලින් ඇතැම් විට කඳුළු ඇද හැලේ. වැරදිකරුවාගේ පවුලේ සාමාජිකයෝ හඬා වැළපෙති. ඇතැම් මහාධිකරණ විනිසුරුවරු මරණ දඬුවම නියම කරන්නේ බලවත් අකමැත්තෙනි. විත්තිකරුවා ඉවතට ගෙන යන තෙක් අධිකරණ ශාලාව මිනිත්තු කිහිපයක් තිස්සේ මළගමකට ආසන්න තත්වයකට පත්වෙයි.

අභියාචන ක‍්‍රියාවලිය

තීන්දුව දීමෙන් අනතුරුව අපරාධකරුවා මරණ දඬුවමට ලක්වූවන්ගේ ලැයිස්තුවට එක් වෙයි. කෙසේ වෙතත්, දෙන ලද මරණ දඬුවමට එරෙහිව සෑම විටකම පාහේ අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීම සිරිතයි. එම ඇපෑල වීසි කළොත්, ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කෙරේ.

මරණ වරෙන්තුව

එසේ ඉදිරිපත් කෙරෙන අභියානා සියල්ල අසාර්ථක වීමෙන් පසු, වේලාවක් සහ ස්ථානයක් දන්වා මරණ වරෙන්තුවට අත්සන් කළ යුත්තේ ජනාධිපතිවරයා ය. තම අත්සන යෙදීමට මත්තෙන්, නීතිපතිවරයාගෙන් සහ නඩුව විභාග කළ විනිසුරුවරයාගෙන් ජනාධිපතිවරයා වාර්තාවක් ලබා ගත යුතු බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් නියම කොට තිබේ. එම වාර්තා ඊළඟට අධිකරණ ඇමතිවරයා වෙත ඉදිරිපත් කෙරෙන අතර, මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීම හෝ නොකිරීම පිළිබඳ ඔහුගේ අදහස ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුය. අනතුරුව අධිකරණ ඇමතිවරයාගේ එකී උපදේශය සහිතව, මරණ දඬුවම නියම කරන්නේද, නොඑසේ නම් ජීවිතාන්තය දක්වා වන සිර දඬුවමකට හෝ ඊට අඩු සිර දඬුවමකට අපරාධකරුවාව යටත් කරන්නේද යන්න පිළිබඳ අවසාන තීන්දුව ගන්නේ ජනාධිපතිවරයා ය.

1976 සිට ලංකාවේ කිසි ජනාධිපතිවරයෙකු මරණ දඬුවම පැමිණවීම සඳහා අත්සන් කොට නැත. අවසාන වරට එසේ අත්සන් කොට ඇත්තේ විලියම් ගොපල්ලවයි. සාමාන්‍යයෙන් කෙරෙන්නේ, එම දඬුවම ජීවිතාන්තය දක්වා වන හිර දඬුවමකට මාරු කොට, පසුව එම හිර දඬුවම් කාලය තවත් අඩු කිරීමයි.

රට කැළැඹූ එක් ද්විත්ව මිනිමැරුම් සිද්ධියක වැරදිකරු වී හිරේ ගිය දේවගැති මැතිව් පීරිස් අවුරුදු 15 කට පසු හිරෙන් නිදහස් වී ඇවිත් ටික කලකින් නිදහස් පුද්ගලයෙකු වශයෙන් මියගියේය. මෑතකදී, මරණ දඬුවමක් අඩු දඬුවමකට මාරු කොට නැත. එසේ වෙතත්, මරණ දඬුවම ක‍්‍රියාත්මක කොට ඇත්තේද නැත. එයින් සිදුවන්නේ, දෙලොවට නැති තත්වයකට පුද්ගලයෙකු පත්කිරීමයි.

නිවර්තනීය තර්කය

එල්ලූම් ගස ඉල්ලා කෑකෝගසන කුපිත ජනයාගේ ලොකුම තර්කය වන්නේ, මරණීය දණ්ඩනය හරහා අපරාධ අධෛර්යමත් කෙරෙන බවයි. එහෙත් ලෝකයේ කොතැනකවත් මරණ දඬුවම නිසා අපරාධ අඩු වූ බවක්වත්, අපරාධකරුවා අධෛර්යමත් කෙරුනු බවක්වත් පෙන්නුම් කොට නැත. සිංගප්පූරුව වැනි රටක අපරාධ අවම මට්ටමක තිබෙන්නේ මරණ දඬුවම තිබෙන නිසා යැයි කෙනෙකු තර්ක කළ හැකිය. එහෙත් සිංගප්පූරු සමාජය තුළ පොදුවේ රෝපණය කර ඇති විනයගත භාවයත්, එරටේ අකුරට ක‍්‍රියාත්මක වන නීතිය හා සාමය පිළිබඳ යාන්ත‍්‍රණය සහ ඉතා සක‍්‍රීය අධිකරණ පද්ධතියත් නිසා එවැනි තත්වයකට වඩාත් පිටුබලයක් සපයනවා විය හැකිය. ඇමරිකා එක්සත් ජනපදයේ මරණ දඬුවම තිබේ. එහෙත් ඒ නිසා අපරාධවල අඩුවක් සිදුව නැත. අපරාධකරුවන් බොහෝ විට අපරාධවල නියැලෙන්නේ අවදානම් ගැන සළකා බලා නොවේ. එහිදී, මරණ දඬුවමද, සිරබත් කෑමද යන්න බොහෝ දෙනෙකුට ප‍්‍රශ්නයක් නොවේ.

මරණීය දණ්ඩනයට එරෙහි තර්ක

අභියාචන ක‍්‍රියාවලියක් තිබියේ වී නමුත්, නඩුවේ විනිසුරුවරයාගෙන්, නීතිපතිවරයාගෙන් සහ අධිකරණ ඇමතිවරයාගෙන් නිර්දේශ ලබාගත යුත්තේ වී නමුත්, අහිංසකයෙකු මරණ දඬුවමට ලක්වීමේ සැබෑ අවදානමක් කොහොමත් තිබේ. එය ලංකාවේ පමණක් නොව, ලෝකයේ වෙනත් ඕනෑම තැනකත් සිදුවිය හැක්කකි.

සදාචාරමය කෝණයකින් මරණ දඬුවමට එරෙහිව නැගෙන ප‍්‍රධාන තර්කය වන්නේ, ජීවිතයක් නැති කිරීම කොහොමත් සදාචාර විරෝධී වන බවයි. ආණ්ඩුවක් මිනිස් ජීවිතයක් නැති කළ යුතු නැත. ශිෂ්ට සම්පන්න ලෝකයේ බොහෝ රටවල් මරණ දඬුවම අහෝසි කොට ඇත. මුළු යුරෝපයේමත්, ඕස්ටේ‍්‍රලියාවේත් මරණ දඬුවම නැත. එසේම ඇමරිකාවේ වැඩි ප‍්‍රාන්ත ගණනක, එක්කෝ මරණ දඬුවම අහෝසි කොට ඇත, නැත්නම් අත්හිටුවා ඇත. ඉන්දියාවේ පවා මරණ දඬුවම පනවන්නේ ඉතා කලාතුරකිනි. වැඩියෙන්ම මරණ දඬුවම පනවන රටවල් වන්නේ චීනය, ඉරානය සහ සෞදි අරාබිය බව අමුතුවෙන් කිව යුතු නැත.

මානව හිමිකම් පිළිබඳ දෘෂ්ටිවාදයෙන් බැලූවත්, මරණ දඬුවම අනුමත කළ නොහේ. සිවිල් සහ දේශපාලනික අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ දෙවැනි ප්‍රොටෝකෝලය, මරණ දඬුවම අහෝසි කරන ලෙස සෑම රටකින්ම ඉල්ලා සිටී. මරණ දඬුවමට එරෙහිව ලංකාවේ නැගෙන බලගතුම තර්කය වන්නේ, අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියේ පැනෙන, කෘර සහ අමානුෂික දඬුවම් ගනයට මරණ දඬුවම අයත් වන බවයි. සීමාවක් හෝ බාධාවක් නොපැනවෙන මූලික අයිතිවාසිකම් පිළිබඳ වගන්ති දෙකක් අපේ ව්‍යවස්ථාවේ අන්තර්ගතයි. 11 වැනි වගන්තිය ඉන් එකකි. යම් මිනිස් සත්වයෙකු මරණයට පත්කිරීම කෘර හෝ අමානුෂික නොවේ යැයි, සිහිබුද්ධිය ඇති කිසිවෙකු නොකියනු ඇත. ඇමරිකාවේ මරණ දඬුවම පමුණුවන මාදිලියට එරෙහි බරපතල විවේචන තිබේ. සිරකරුවා මරණයට පත්වීමට කලින් බරපතල විඳවීමකට ලක්කෙරෙන බව එහිදී පෙන්වා දෙනු ලැබේ. එයම, කෘර ක‍්‍රියාවකි. එම නිසා, කැලිෆොර්නියාව වැනි ඇමරිකානු ප‍්‍රාන්තයක මරණ දඬුවම පැවතියත්, ඝාතනය කිරීමේ නිසි මාදිලියක් සොයාගත නොහැකි වීම නිසා, එය ක‍්‍රියාවට නැංවීම නතර කොට ඇත.

අහිංසකයන් මරණයට පත්කිරීම

මරණ දඬුවම නැවත පැනවීමට එරෙහිව ඇති වැදගත්ම තර්කය වන්නේ, අහිංසකයෙකු වැරදිකරුවෙකු කිරීමට ඇති බරපතල අවදානමයි. හේතු ගණනාවක් නිසා, අහිංසකයෙකු වැරදිකරුවෙකු වීමට පුලූවන. ලංකාවේ බොරු සාක්ෂි දීම සහ සාක්ෂි විකෘති කිරීම ඉතා කුප‍්‍රකටයි. අපරාධකරු පවුලේ සාමාජිකයෙකු වන විට, විශේෂයෙන් පක්ෂග‍්‍රාහී සාක්ෂිකරුවෝ එම පවුලේ අනිත් සාමාජිකයන්වත් පැටලවීමට බලති. එවැනි සිදුවීම් විරල නොවන බව, රජයේ නඩුපවරන්නෝ දනිති. ඊට අමතරව, ලංකාවේ පොලීසියත්, සී.අයි.ඞී වැනි විශේෂ අංශ හැරුණු කොට, අපරාධ විමර්ශනය කිරීමේ ලා අකාර්යක්ෂම ය. ඞී.ඇන්.ඒ. පරීක්ෂණ පැවැත්වීම සහ ඇඟිලි සළකුණු ගැනීම වැනි විද්‍යාත්මක ක‍්‍රමවේද භාවිත කෙරෙන්නේද කලාතුරකිනි. කොටින්ම, විද්‍යාත්මක ක‍්‍රමවේද භාවිත කිරීම සඳහා අවශ්‍ය කරන සම්පත් ලංකාවට නැත. විත්තිකරුවා සහ ඔහුගේ සාක්ෂිකරුවන් කියන දේවල් නිවැරදි දැයි සොයා බැලීම සඳහා ලංකාවේ පොලීසිය කිසි දවසක වෑයම් කරන්නේ නැත. විත්තියේ ප‍්‍රකාශ සටහන් කර ගැනීමට පවා බොහෝ විට පොලීසිය මැළි වෙයි.

මේ සියල්ලට අමතරව, අපරාධ නඩුවලට මිනිසුන්ව පැටලවීම සම්බන්ධයෙන් පොලීසියට එල්ල වන චෝදනාද තිබේ. එසේ එක පැත්තකින් බොරුවට මිනිසුන්ව පැටලවීමත්, තවත් පැත්තකින් විත්තියේ කතාව විමර්ශනය කිරීමට වෑයම් නොකිරීමත්, පොලීසියේ පවතින         දූෂිත තත්වයට සම්බන්ධ කාරණයකි. මත්ද්‍රව්‍ය සහ ගිනි අවි ළඟ තබා ගැනීම ගැන බොරුවට නඩු පවරන අවස්ථා වාර්තා වී තිබේ. ඒ සඳහා අහිංසකයන් ළඟ මත්ද්‍රව්‍ය හෝ බෝම්බ වැනි දෑ තිබිණැයි පොලීසිය බොරුවට චෝදනා කළ බවට කතා තිබේ. මෙවැනි දේවල් සිදුවන බව විනිසුරුවරු, රජයේ නීතිඥවරු සහ විත්තියේ නීතිඥවරු දනිති. අවශ්‍ය වූ විට ගැනීම සඳහා, ඇතැම් විට මත්ද්‍රව්‍ය සහ බෝම්බ වැනි දෑ පොලීසිය ළඟ තබාගෙන සිටින බවට සැක කළ හැක. එහෙත් අවාසනාවට, පොලීසිය ඉදිරිපත් කරන කතාවල සත්‍යතාව ගැන විනිසුරුවරුන් බරපතල සැකසාංකා මතු කරන අවස්ථා ගැන සොයා බැලීමක් ලංකාවේ කිසි දවසක සිදුව නැත.

එසේම, සාක්ෂිකරුවෙකු බොරු සාක්ෂි දෙනවා නොව, ඇත්ත වශයෙන්ම කරුණු වරදවා වටහා ගැනීම නිසා අහිංසකයෙකු පැටලැවෙන වැරදි සාක්ෂි දෙන අවස්ථාද තිබේ. විශේෂයෙන් පුද්ගලයන් හඳුනා ගැනීම යන කාරණයේදී මෙවැනි මානුෂීය වැරදීම් සිදුවිය හැකිය.

යුක්තිය අයාලේ ගිය අවස්ථා

යම් සිද්ධියක් සම්බන්ධයෙන් නඩුවක් විභාග කරනු ලැබීමත්, ඒ නඩු තීන්දුවට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාවත් ඇති නිසා, මෙවැනි අක‍්‍රමික තත්වයන් ඇති වීම වැළැක්වෙන බවට කෙනෙකු තර්ක කළ හැකිය. එසේ වෙතත්, සාවද්‍ය ආකාරයෙන් වැරදිකරුවෙකු කරනු ලැබූවෙකුට හෝ අවුරුදු ගණනාවකට පසු අළුතෙන් සාක්ෂි මතු වන හෝ කලින් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් සැකසාංකා මතුවන අවස්ථාවක යමෙකුට හව්හරණයක් පැතිය හැකි ක‍්‍රමයක්, අභියාචනා ක‍්‍රියාවලිය අවසන් වීමෙන් පසු කෙනෙකුට ඇත්තේ නැත. සාවද්‍ය ආකාරයෙන් වැරදිකරු කරනු ලැබ මරණීය දණ්ඩනයට නියමව සිටියදී හෝ සිර දඬුවම් විඳිමින් සිටියදී, සිද්ධියෙන් දශක ගණනාවකට පසු නිවැරදිකරු බවට ඔප්පු වීම නිසා පුද්ගලයන් නිදහස් වූ අවස්ථා ගණනාවක්, ඇමරිකාවෙන් කැනඩාවෙන් සහ බි‍්‍රතාන්‍යයෙන් වාර්තා වී තිබේ. ඇමරිකාවේ උනන්දුමත් මිනිසුන්, යුක්තිය අයාලේ යන අවස්ථාවලදී මැදිහත් වීම සඳහා, ‘ඇරිසෝනා ව්‍යාපෘතිය’ වැනි සිවිල් සංවිධාන පිහිටුවාගෙන තිබේ. එවැනි රටවල අයථා අන්දමින් වැරදිකරුවන් වී සිටින අහිංසකයන්ව, නිසි තන්හිදී, එක්කෝ අධිකරණයේම මැදිහත් වීමෙන් හෝ නීතියෙන් ස්ථාපිත කොට ඇති විශේෂිත යාන්ත‍්‍රණයන් හරහා හෝ බේරාගන්නවා පමණක් නොව, ඔවුන්ට වන්දිද ගෙවනු ලැබේ. ශ‍්‍රී ලංකාවේ අපට එවැනි ආරක්ෂණ කිසිවක් නැත.

නීති වෘත්තියේ අසාර්ථකත්වයන්

විත්තිකරුවෙකු අධිකරණයක් ඉදිරියේ නිසියාකාරයෙන් ආරක්ෂා නොකෙරෙන අවස්ථා තිබේ. විටෙක විත්තිකරුවාගේ නිදහසට අදාළ කරුණු විත්තියේ නීතිඥවරයා නිසියාකාරයෙන් සැලකිල්ලට ගන්නේ නැත. එක් අවස්ථාවක ගැහැනියක් සිය සැමියාට පහර දී ඝාතනය කොට වැසිකිළි වළකට මළ මිනිය දමා තිබුණි. ඇය එවැන්නක් කර තිබුණේ, සැමියා බීමතින් තම ළාබාල දියණියව ¥ෂණය කිරීමට තැත් කිරීමේදී ය. යම් හේතුවක් නිසා, ඇගේ නීතිඥයා ඒ කාරණය නඩුව තුළ මතු කෙළේ නැත. ඇය මිනීමැරුමට වැරදිකාරිය වී මරණ දඬුවමට නියම කරනු ලැබුවාය.

මහාධිකරණයේ යම් විත්තිකරුවෙකුට නීතිඥයෙකු නැතොත්, අධිකරණයෙන් අහඹු ලෙස තෝරාගන්නා නීතිඥයෙකු ඔහු සඳහා පත්කරනු ලැබේ. එවැනි නීතිඥයන් බොහෝ විට තරුණ ය. නුපුහුණු ය. අත්දැකීම් විරල ය. මුළු නඩුවටම ඔවුන්ට ගෙවනු ලබන්නේ රුපියල් පන් දහසකි. මෙසේ පත්වන ඇතැම් නීතිඥයෝ තමන්ගේ නඩුව බරසාරව ගනිති. තවත් අය එසේ නොකරති. තමන්ගේ වියදමින් නීතිඥයෙකු ලබා ගැනීමට හැකියාවක් නැති විත්තිකරුවෙකු, අධිකරණයෙන් සපයන අර කී නීතිඥයා මත යැපිය යුතුය. තරුණ කාලයේ එසේ පත්කරන ලද නීතිඥයෙකු වශයෙන් එක් විත්තිකරුවෙකු වෙනුවෙන් පෙනී සිටි පසුකාලීන ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු, එකී විත්තිකරුවාගේ ආරක්ෂාව සපයා දීම සඳහා එදා තමාට ඊට වැඩි පළපුරුද්දක් තිබිණි නම් මැනවැයි දැන් තමා සිතන බව, වරක් මට කීය. එම විත්තිකරු එල්ලූම් ගසට නියම කොට මරණයට පමුණුවන ලදි.

නඩු පවරන්නන්ගේ ක‍්‍රියා කලාපයද විටෙක ප‍්‍රශ්නකාරී ය. සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම තම පරම වගකීම වශයෙන් කෙනෙකු සළකන අතර තවත් සමහරුන් බලන්නේ විත්තිකරුවාව මොන විදිහකින් හෝ බෙල්ලෙන් අල්ලා ගැනීමට ය. විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ඔහු සමේෂණ විනිසුරුවරයෙකු වශයෙන් සිටියදී, මරණ දඬුවම ලැබෙන මත්ද්‍රව්‍ය වරදකට යම් විත්තිකරුවෙකු වැරදිකරුවෙකු කිරීමට තීරණය කර සිටි බවත්, එහෙත් තීන්දුවට කලින් දා ? තමා එම අදහස වෙනස් කර ගත් බවත්, වරක් මට කීවේය. විත්තිකරුවාව නිදහස් කිරීමෙන් පසු ඔහු වෙතට පැමිණි පැමිණිල්ලේ නීතිඥයා එසේ විත්තිකරුව නිදහස් කිරීම ගැන තමාද සතුටු වන බව ඔහුට කියා තිබේ. මන්ද යත්, පොලීසියේ කතාව සැබෑවක් නොවන බව, නඩුව ඇසෙන අතරවාරයේ පොලීසිය විසින්ම ඔහුට කියා තිබී ඇති බැවිනි.

විනිසුරුවරු

එතකොට විනිසුරුවරුන්ගේ තත්වය කුමක්ද? විනිසුරුවරුන් යනු, නොවරදින සුළු පිරිසක් නොවේ. අප කවුරුන් අතිනුත් සිදු වන්නා සේ ඔවුන් අතින්ද වැරදි සිදුවෙයි. ඔවුන්ට තීරණ ගැනීමට සිදුවන්නේ තමන් ඉදිරියේ ඇති කරුණු අනුසාරයෙනි. විටෙක, ව්‍යාජ සහ ගොතන ලද සාක්ෂි, සත්‍ය සාක්ෂි සේ ගෙනහැර දැක්විය හැකිය. ඉතා තීක්ෂණ ඥානයක් ඇති විනිසුරුවරයෙකුට වුව එවැන්නක් හසු නොවිය හැක. සාක්ෂිකරුට වැරදීමක් සිදුව ඇති බවත් ඔහුට නොපෙනෙන්ට පිළිවන.

විනිසුරුවරුන්ටද, තමන්ගේම වන අගතීන් ඇත්තේය. විකාර ගති පැවතුම් ඇත්තේය. සමහර විනිසුරුවරුන් විත්තිකරුවා කෙරෙහි සාධාරණ නඩුවක් පවත්වාගෙන යන අතර තවත් විනිසුරුවරු විශ්වාස කරන්නේ පොලීසිය කවදත් නිවැරදි බවයි. නඩුකාර පාර්ශ්වයේ කතාව ඔවුහූ හිස මුදුනින් පිළිගනිති. සාධාරණ නඩුවක් තුළ අඩංගු විය යුතු ආරක්ෂණයන් සැපයීමට ඇතැම් විනිසුරුවරු අසමත් වෙත්. කතාවේ වෙනත් පැත්තක් තිබිය හැකි බව පිළිගැනීම ඔවුහූ ප‍්‍රතික්ෂේප කරති. එය, ලෝකයේ ඕනෑම තැනක සිදුවිය හැකි දෙයකි.

නිතරම නොවුණත්, ඇතැම් විනිසුරුවරුන්ගේ හැකියාවන් සහ අපක්ෂපාතීත්වය ගැනත්, මේ අතර, ප‍්‍රශ්න තිබේ.

මේ සෑම දෝෂයක්ම අභියාචන ක‍්‍රියාවලිය තුළත් තිබිය හැකිය. කෙසේ වෙතත්, මූලික නඩු විභාගයේ විනිසුරුවරයාට ඇති සෑම වාසියක්ම අභියාචන විනිසුරුවරයාට නැත. මුල් අදියරේ පැවති සෑම දෝෂයක්ම මේ අභියාචන විනිසුරන් තුළද තිබිය හැකිය. අළුත් සාක්ෂි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් අභියාචන විභාගයේදී දෙන්නේම නැති තරමි. විත්තියෙන් සිදුවූ අතපසුවීම් නිවැරදි කර ගැනීමට අවස්ථාවක් සැලසෙන්නේද ඉතා කලාතුරකිනි.

නිගමනය

කෙනෙකු මරණ දඬුවමට පත්කළ පසු එය ආපසු හැරවිය නොහැක. එසේ හෙයින්, තාර්කික හෝ විෂයබද්ධ නොවන, හුදී ජනයා තුටුපහටු කරවනු වස් දෙන වැරදි තීන්දුවක මෙහිදීත් බිල්ලක් විය හැක්කේ, පෑගෙන පීඩිතයෙක්ම ය. ඒ සඳහා ජීවිතයෙන් වන්දි ගෙවන අහිංසක ගැහැනුන් සහ මිනිසුන් සිටිනු ඇත. මරණ දඬුවම, කිසි දවසක යුක්තිය සමග පෑහෙන්නේ නැත. කොටින්ම, අපරාධයකට බිළි වූ තැනැත්තෙකුට සාධාරණයක්, අහිංසක ගැහැනියකගේ හෝ පිරිමියෙකුගේ මරණයෙන් කිසි දවසක අත්වන්නේ නැත.

*2015 සැප්තැම්බර් 27 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ To Hang Or Not To Hang ? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    essential reading for every citizen – Very well presented. many thanks

  • 1
    0

    Don’t put anyone to death row even he is found guilty. Rehabilitation and reconciliation could always work. Death penalty alone would not be the ultimate solution. Instead those who are found guilty of crimes must be sentenced to life without parole.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.